-මොහාන් ධර්මරත්න.
නොවේ අයෝධ්‍යාව, කපිලවස්තුව,
බෙත්ලෙහෙම, හෝ මක්කමද
නොච්චියාගමයි මගේ ශුද්ධවූ වන්දනා ගමන
බැවිනි ඒ මා ආදරිය දිනු බිම.
සම්සම් පොකුණද ගංගා නදියද
නැත මගෙ ආදරිය සිරුරේ පැන් සැනැහූ
කලා ඔයට වැඩියෙන් පිවිතුරු.
යොන්බස, සකුබස, හීබෘ බස වුව
නොවේය දෙවියන්ගේ බස වන්නේ
සිංහලයයි මා ආදරිය තෙපලන.
පොරොන්දු දේශය නොම වේ සිනායිද ජෝර්දානයද
ලංකාවයි ඒ, භූමියයි මා ආදරිය දිනූ.
මිහිමත දෙව්ලොව – කාෂ්මීරය හෝ
බර්නිස් දුර්ගය, නිල් කලපුව නොව
සිරිලකමයි දිව්‍යාලංකාර දේශය
මා ආදරියගේ ලස්සන දකින අහසැති.
එලිසබෙත්ගේ මාලිගයෙහි, තාජ්මහලේ නැත මහිමය
මා ආදරිය දිවි ගෙවන
කොළඹ කුඩා නිවසෙහි තරම්.
වැනීසිය හෝ අංකෝර් වට් ද
උයුනි ලවන විල ද වුව නැත මනරම්
එනමුදු කොළඹ නගරයයි – සන්තුෂ්ටියේ නගරය
ආදර සුවඳ විහිදමින් මා ආදරිය පිය මනින.
මේ ආකාරයෙන් ලංකාව ගැන ලියන්නේ ලංකාවට කිසිදා පා තබා නැත්තෙකි. එහෙත් ඔහු සිය කවි ඇසින් ලංකාව දකියි. තමා කිසිදා දැක නොතිබූ මල් වර්ගයක් පිළිබඳව වර්ණනා කරමින් කවි ලියූ ඉතාලි ජාතික ඉයුජීනියෝ මොන්ටාලේ කවියා මෙන් ලංකාව පිළිබඳව මෙසේ පද බඳින්නේ බංග්ලාදේශ ජාතික අබු ඉෂාහක් හොසේන් කවියාය. Colombo the City of Pleasure (සන්තුෂ්ටියේ නගරය, කොළඹ) නැමැති ඉහත කවිය ඔහුගේ Poet Prophet Lover (කවියා දිවැසිවරයා ආදරවන්තයා) කාව්‍ය සංග්‍රහයෙනි.
බෙංගාලි සහ ඉංග්‍රීසි දෙබසින්ම කවි ලියන ආචාර්ය අබු හොසේන් බංග්ලාදේශයේ සිරාජ්ගොන්ජ් දිස්ත්‍රික්කයේ තලාම් අදර් පාරා නැමැති ගමේ උපත ලැබුවේය. ඩකා අගනුවරදී උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන ඔහු, ගෞරව උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ ඩකා විශ්වවිද්‍යාලයෙනි. එම විශ්වවිද්‍යාලයෙන්ම ෆකීර් ලාලොන් ෂා, බංග්ලාදේශයේ අධ්‍යාත්මික ගුරු පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් සඳහා අබු හොසේන් ආචාර්ය උපාධිය ලැබුවේය. ලාලොන් පර්යේෂණ සහ සංස්කෘතික පදනමේ මූලාරම්භක සභාපතිවරයා හැටියට කටයුතු කරන ඔහු සාහිත්‍යය සහ සංස්කෘතිය පිළිබඳ විවිධ අංශයන්ගෙන් පර්යේෂණවල නිරත වෙයි. ඔහුගේ නිබන්ධ වර්තමානයේ බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල කිහිපයකම අධ්‍යයනය සඳහා නිර්දේශ වී තිබේ. ඔහු විසින් පළ කර තිබෙන සම්පූර්ණ කෘති ගණන 30කට අධිකය. ඔහු ඉංග්‍රීසි බසින් රචනා කළ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ Poet Prophet Lover වේ. ඔහු පළකර තිබෙන කාව්‍ය සංග්‍රහ 10 අතරින් ඉංග්‍රීසි බසින් ලියා ඇත්තේ 2ත් පමණි.
ලිවීමට අමතරව පරිවර්තකයකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු මෙන්ම රූපවාහිනී වැඩසටහන්වල සම්පත්දායකයකු ලෙසද, ඩකා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද ඔහු විවිධ භූමිකාවල කටයුතු කරයි. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.
ඔබ වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ මොන විදියේ ලිවීමකටද?
මගේ ලිවීම් වැඩි ප්‍රමාණයක්ම පර්යේෂණ නිබන්ධ. ඒවා සාහිත්‍යය සහ දර්ශනය සම්බන්ධව ලියූ පර්යේෂණ කෘති. බංග්ලාදේශයේ අධ්‍යාත්මික ගුරුවරයා වගේම දාර්ශනිකයකු වන ෆකීර් ලාලොන් ෂා (1772-1890) පිළිබඳව තමයි මගේ පර්යේෂණ වැඩි ප්‍රමාණයක් කෙරිලා තියෙන්නේ. ඔහු ජලාලුද්දින් රුමි වගේ, බංග්ලාදේශයේ භාවයෝගී කවියෙක් (mystic poet). පර්යේෂණමය ලිවීම්වලට අමතරව මම කවි ලියනවා. මා ලියූ කවි 100කින් සමන්විත The Flying Cloud (පියඹන වලාකුළු) නැමැති කාව්‍ය සංග්‍රහය සහ The Magic Spectacle (මායා උපැස්) කාව්‍ය සංග්‍රහය ඉදිරියේදී පළවීමට නියමිතව තිබෙනවා. මායා උපැස් කාව්‍යය ක්‍රිස්තුවර්ෂ 2200-3000 වගේ අනාගත යුගයක් පදනම් කරගෙන ලියූ විද්‍යා ප්‍රබන්ධ පන්නයේ කාව්‍යයක් – ටිකක් අමුතු වැඩක්. මේ දවස්වල නවකතාවකුත් ලියාගෙන යනවා Suicide Note (දිවිනසාගැනීමේ ලියුම) නමින්.
මේ අතරින්, මොන විදියේ ලේඛනයක යෙදීමෙන්ද ඔබ වඩාත් තෘප්තිමත් වන්නේ?
මම ඇත්තටම කැමතියි පර්යේෂණ නිබන්ධනවලට. ඒකෙන් අපට සත්‍යය සොයාගන්න ලැබෙනවා. ඕනෑම ලේඛකයෙකුගේ කාර්යය තුළ යම් ප්‍රමාණයකට පර්යේෂණ අන්තර්ගතයි. පර්යේෂණ කෘති 18ක් විතර මේ වන විට මම පළ කර තිබෙනවා.
කවිය කියන්නේ නිර්මාණශීලී ලිවීමක්. ඒක පර්යේෂණමය ලිවීමට වඩා බොහෝ වෙනස්. කවි ලිවීමෙන් මම ලබන්නේ වෙනස් විදියක තෘප්තියක්. ඒක අධ්‍යාත්මිකයි. කවි ලිවීමෙන් මම සන්සුන් වෙනවා. එක්තරා විදියකින් එය ආත්මීය මුදාහැරීමක් වගේ. මම බෙංගාලි භාෂාවෙන් කවි රචනා කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කවි ලිවීම පටන්ගත්තේ මෑතකදි. මගේ පළවෙනි ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය වන Poet Prophet Lover පළවෙන්නේ 2019 අවුරුද්දේ. දෙවැනි කාව්‍ය සංග්‍රහය Sense off Sense බ්‍රිතාන්‍යයේ ඔලිම්පියා ප්‍රකාශකයන් විසින් 2022 දී පළකරනු ලබනවා.
ඔබේ කාව්‍ය නිර්මාණ පසුපස කිසියම් දර්ශනයකින් හෝ පුද්ගල චරිතයකින් ලැබූ නිර්මාණ ආවේශයක් තියෙනවාද?
ඔව්, එහෙම දර්ශනයක් තිබෙනවා. ඇත්තෙන්ම ඒ වෙන කිසිවක් නෙවෙයි, ආදරයේ දර්ශනයයි (philosophy of love). මගේ කවි සෑම එකකම තිබෙන්නේ ආදරයේ දර්ශනය. අපි විවිධ රටවල්, ජාති, ආගම් ආදියට අයිති මිනිස්සු. අපි විවිධ භාෂා කතා කරනවා, විවිධ දේශපාලන විශ්වාසයන් තිබෙනවා. මේ මොන වෙනස්කම් තිබුණත් අපට ඒ සියල්ල අතරින් එක බැඳීමක් දකින්න පුළුවන්. ඒ තමයි ආදරය. Poet Prophet Lover කාව්‍ය සංග්‍රහයේ අවසන් කවිය වන Ism Religion Love (වාද ආගම් ආදරය) අවසන් වෙන්නේ මේ පද දෙකෙන්:
No ism or no religion but love is only hope
Let’s live in love, let’s live for love
(වාදයක් හෝ ආගමක් නොව ආදරයයි තනි බලාපොරොත්තුව
දිවි ගෙවමු අපි ආදරයෙන්, දිවි ගෙවමු ආදරය වෙනුවෙන්)
ඒ මුළු කාව්‍ය සංග්‍රහය තුළම තියෙන දර්ශනය පේලි දෙකකින් කිව්වොත් ඒ විදියයි.
ඒ වගේම, 2019 දී මට දිල්ලියේදී හමුවුණා ලාංකික ලේඛිකාවක්. ඇයත් මාත් අතර දැඩි මිත්‍රත්වයක් ගොඩනැගුණා. ඇත්තටම, එතෙක් මා කවි ලියා තිබුණේ බෙංගාලි භාෂාවෙන් විතරයි. මට ඉංග්‍රීසි භාෂාවෙන් කවි ලියන්න කියා කීවේ ඇයයි. ඈ තමයි මා ලංකාවට ආදරය කරන්න හේතුව. මා ලංකාවට ඇවිත් නෑ. ඒත් ඈ තුළින් මට ලංකාව සහ එහි මිනිසුන් දැකීමට හැකි වුණා. කවි ලිවීමට මට අනුප්‍රාණය දුන් පුද්ගලයා ඈ බවයි මා සිතන්නේ.
ඔබ හිතනවාද මිනිසුන් සිතන පතන විදිය, නැතිනම් ඔවුන්ගේ හැසිරීම් රටා වෙනස් කරන්න කවියට පුළුවන් කියලා?
ඔව්. මම හිතන්නේ ඒක තමයි අපේ කවීන් දීර්ඝ කාලයක් තිස්සේ කරපු දේ. ෆකීර් ලාලොන් ෂා, කාසි නස්රුල් ඉස්ලාම් වගේ අතීත බංග්ලාදේශ කවීන්ගෙන් පටන් අරගෙන අල් මහ්මූද්, රෆීක් අසාද්, ෂම්සූර් රහ්මාන් වගේ සමකාලීන කවීන් දක්වාම උත්සාහ කළේ මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න. ‘මේක හොඳ නෑ, මේ විදියට කරන්න එපා’ කියලා මිනිස්සු වෙනස් කරන්න බෑ. අපි කළයුත්තේ ඔවුන් තුළ අන්තර්ඥාණයක් පහළ කරවීමයි. උදාහරණයක් හැටියට Poet Prophet Lover කාව්‍ය සංග්‍රහයේ එන Bottom Source (මූලාශ්‍රය) නැමැති කවිය මෙන්න මෙහෙමයි,
කියයි කුඩා වැලි කැටයක් කතරේ ඉතිහාසය මට
දිය බිඳුවක් කියන්නේය සයුරේ ඉතිහාසය මට
සංගීතේ ඉතිහාසය කියන්නෙ මට කුරුල්ලෙක්ය
මිනිසා මට කියන්නේය දෙවියන්ගේ ඉතිහාසය
ඊළඟට, එම කාව්‍ය සංග්‍රහයේම තිබෙන History is the Half Truth (ඉතිහාසය අර්ධ සත්‍යයකි) කවිය බලන්න:
උදෑසනේ කතන්දරය රැයට පමණි කිව හැක්කේ
මිථ්‍යාවය, දෘෂ්ටාන්ත කතාය අන් සියල්ලක්ම
සත්‍යය කවරක් වේ දැයි සොයා නොදත් අප ලියමුව
හිමිදිරියෙන් අසාගත්ත උදෑසනේ කතන්දරය
මේවා ඉතා කුඩා සංකල්පිය බීජයක් රැගත් කෙටි කවි. මෙවැනි දේකින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ බීජය පාඨකයා තුළ පැළවිමයි – තවදුරටත් ඔහු හෝ ඇය අවිඥානිකව හෝ ඒ ගැන කල්පනාවක යෙදීමයි. ඒ ක්‍රියාවලියෙදි ඔහු හෝ ඇය තමා විසින්ම කිසියම් දෙයක් අවබෝධ කරගන්නවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබන මේ අවබෝධය කවදාවත් අමතක වෙන දෙයක් නෙවෙයි. එයින් ඉදිරියට තමයි ඔහුගේ හෝ ඇයගේ සිතිවිලි රටාව කුඩා ප්‍රමාණයකින් වෙනස් වෙන්නේ. මම විශ්වාස කරන්නේ මේ විදියට කුඩා වෘද්ධීන්ගෙන් වුණත්, කවිය විසින් මිනිසාගේ සිතිවිලි රටාවල කරන්නට යෙදෙන ස්ථිර වෙනස්කම් නිසා සමාජයක් හැටියට ලොකු වෙනසක් අපේක්ෂා කරන්නට හැකි වන බවයි.
කාව්‍ය නිර්මාණවලට බංග්ලාදේශයේ ඉන්න පාඨක පිරිස ගැන කතා කළොත්?
විශාල පාඨක පිරිසක් ඉන්නවා. ඇත්තෙන්ම බංග්ලාදේශයේ කවි කියවන පාඨක පිරිස වැඩියි කියලා කියන්න පුළුවන්. බංග්ලාදේශයේ මිනිස්සු පාරම්පරිකවම කවියට බොහොම ලැදියාවක් තියෙන අය. අපේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදිම වගේ කවිය ඉදිරියට එනවා. අරගලයේදී, පීඩාවේදී, වීදි බැස සටන් කිරීමේදී පවා සටන් පාඨ හැටියට සකස් වෙන එකම මාධ්‍යය කවියම තමයි. ආදරයේදී වගේම විරෝධය පළකිරීමේදීත්, දේශප්‍රේමීත්වය අවදිවීමේදීත් කවිය බංග්ලාදේශ ජාතිකයාගේ ආත්මයත් එක්ක වෙන් කළ නොහැකි විදියට බද්ධ වෙලා තිබෙනවා. ඉතින්, කවිය කියන්නේ අපේ රටේ මිනිස්සු අතරට ළඟා වෙන්න පුළුවන් හොඳම මාධ්‍යයක්. බෙංගාලි භාෂාවෙන් ලියන කවි තමයි ඔවුන් වැඩිපුරම කියවන්නේ, මොකද අපේ රටේ ඉංග්‍රීසි භාෂාවෙන් කවි කියවන්න හැකි පිරිස ඉන්නේ හරිම සුළු ප්‍රමාණයක්.
ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය භාවිතයට මිනිස්සු වැඩි වැඩියෙන් ඇබ්බැහි වීම නිසා වර්තමානයේ කවියට තිබෙන ප්‍රමුඛතාව ටිකෙන් ටික ගිලිහෙමින් යනවා. ඒත්, තවමත් බංග්ලාදේශයේ වැඩිම දෙනා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රධානතම මාධ්‍යය හැටියට පාවිච්චි කරන්නේ කවිය. ඒ තත්වය සැලකිය යුතු තරමින් වෙනස් වෙනවානම්, එසේ වීමට තව සෑහෙන කාලයක් යාවි.
ලංකාවේ පාඨකයන්ට වගේම ලේඛකයන්ටත් කියන්න කිසියම් පණිවුඩයක් ඔබට තිබෙනවද?
ඔව්. මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් ඔබට කියන්න. කවිය කියන්නේ මිනිස් සිතිවිලි ඉදිරිපත් කරන්න යොදාගන්නා ඉතාමත් පැරණි, ඒත් සෑම මොහොතකම අළුත් වෙන මාධ්‍යයක්. මිනිස් ජීවිතය තුළ පවතින සෑම විදියකම හැඟීම් බොහොම හුරුබුහුටි විදියට අල්ලා ගන්න, චිත්‍රණය කරන්න කවිය නැමැති මේ අනන්‍ය වූ මාධ්‍යයට පුළුවන්. ආදරය, මානව දයාව, විරෝධාකල්ප, වේදනාව වගේ හැඟීම් දනවන්න වගේම දර්ශනය උගන්වන්න පවා හැකියාව ඇති තියුණු, ව්‍යක්ත මාධ්‍යයක් තමයි කවිය. කවියට පුළුවන් අපට ගැලවීම, සහ නිදහස ගේන්න. ඒ වගේම අපට අපේ දක්ෂතා, ශක්තීන් සහ සුන්දරත්වය සොයා ගවේශණය කරන්න උදව් වෙන්නත් කවියට හැකියි. කවියට පුළුවන් අපව එකතු කරන්න, ඒ වගේම අපි අතර තිබෙන සම්බන්ධතාවල ධනාත්මක වෙනස්කම් ඇති කරන්න.
යුද්ධ, ත්‍රස්තවාදය, පාරිසරික බිඳවැටීම්, සමාජීය සහ රාජ්‍ය මට්ටමේ දූෂණය, සහ දේශගුණික විපර්යාසවලට අද අපි ලෝකයක් විදියට මුහුණ දෙනවා. මේ වගේ කාලෙක ලෝකයට ආදරය සහ තවමත් අප තුළ මානව දයාව තිබෙනවාය කියන සැනසිලිදායක හැඟීම දනවන්න අවශ්‍යයි. ඉතින් මගේ ශ්‍රීලාංකික පාඨකයන්ගෙන් සහ ලේඛකයන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා අපේ පවුල තුළ, සමාජය තුළ වගේම රට තුළ අප අත්දකින සියළු දුර්ගුණ අකා මකා දමන්නට කවිය සමග එකතු වෙමු. කවියට පුළුවන් ආදරය, සාමය, මානව ප්‍රේමය සහ නිදහස රැගෙන එන්න.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
