පරිවර්තන පොත්, නැතිනම් විදේශීය සාහිත්‍යය ලංකාවේ සාහිත්‍ය රසිකයන් අතර එදා මෙදාතුර ඉමහත් ජනප්‍රිය සාහිත්‍ය ප්‍රවර්ගයකි. නිසියාකාරව පරිවර්තනය වූ පොතක් යනු පාඨකයාට ලොව තවත් සංස්කෘතියක් තුළට ඇතුළුවීමට ඉඩ සලසන දොරටුවකි. විදෙස් භාෂාවකින් ලියැවුණු කෘතියක් සිංහලට පරිවර්තනය කරන පරිවර්තකයා මුල් කෘතිය ලියැවුණු භාෂාව සහ එය අයත් වන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් සහිත වන තරමට, ඒ පරිවර්තනය පාඨකයාට වඩාත් ලෙන්ගතු මෙන්ම ආකර්ශනීය වූවක් බවට පත් කළ හැකිය. එක් සංස්කෘතියක අත්දැකීමක් තවත් සංස්කෘතියක අත්දැකීමක් බවට පරිවර්තනය කිරීම බරපතල මෙන්ම වගකීම්සහගත කටයුත්තක් වන්නේ එබැවිනි.
ශ්‍රී ලංකාවේ පරිවර්තන පොත් සංස්කෘතිය තුළ පාඨක සිත්හි නොමැකෙන සලකුණු තැබීමට සමත් වූ දක්ෂ ග්‍රන්ථ පරිවර්තකයින් බොහෝ දෙනෙකි. ඔවුන් නිසා සිංහලෙන් කියවන පාඨකයාට හඳුනාගන්නට ඉඩ ලැබුණු විදේශීය කතුවරු රාශියකි. මුල් අවධියේ, එනම් 1950 ගණන්වල සිට මෑත අතීතය වන තුරුම පරිවර්තනය වූ විදේශීය කෘති අතර බ්‍රිතාන්‍ය, රුසියානු, ඇමරිකානු සහ ප්‍රංශ ගත්කතුවරුන්ගේ නිර්මාණ ප්‍රමුඛ වූ බවක් දක්නට ලැබෙන අතර, මෑතක සිට අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු ගත්කරුවන්ගේ විශිෂ්ට සාහිත්‍ය කෘතිද පරිවර්තකයින්ගේ අවධානයට යොමුවී තිබෙන බව පෙනේ.
මේ වනවිට වැඩිම පොත් සංඛ්‍යාවක් සිංහලට නැඟී තිබෙන විදේශීය කතුවරයා ලෙස ඉනිඩ් බ්ලයිටන් (Enid Blyton) බ්‍රිතාන්‍ය ලේඛිකාව හඳුනාගත හැකිය. 1897 දී ලන්ඩන් හි උපන් ඈ 1934 සිට ළමුන් සහ නවයොවුන් පාඨකයන් සඳහා කතන්දර ලියුවාය. ලියන්නට පටන්ගත් දා සිටම ඇගේ කතන්දර පොත් අති මහත් ජනප්‍රියත්වයට පත්වූ අතර, මේ වන විට ඇය පළකළ හයසීයක් පමණ වන කෘතිවල, පිටපත් මිලියන හයසීයක් ඉක්මවා ලොව පුරා අලෙවි වී තිබේ. ඉනිඩ් බ්ලයිටන් 1968 දී මිය ගියද ඈ තවමත් ළමා සහ තරුණ පාඨකයන්ගේ හදවත් තුළ ජීවත් වන බව පෙනී යන්නේ ඇගේ කෘති වැඩි වැඩියෙන් පරිවර්තනය වීම තවදුරටත් සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් වීම නිසාවෙනි. ලොව පුරා ඉනිඩ් බ්ලයිටන්ගේ පොත් භාෂා 90 කට පරිවර්තනය වී තිබෙන අතර, ලොව වැඩිම වාර ගණනක් පරිවර්තනය වූ කතුවරුන් අතර ඉනිඩ් බ්ලයිටන් සිටින්නේ පස්වැනි ස්ථානයේය. සිංහලට නැඟී තිබෙන ඇගේ පොත් හතලිහකට ආසන්න සංඛ්‍යාව අතර Famous Five (පන් පසිඳුවෝ), Mallory Towers (මැලෝරි ටවර්ස් බාලිකා විදුහල), The Naughtiest Girl (දඟමල්ල), Noddy (නොඩී) යන කථා මාලාවන්ට අයත් පොත් මුල් තැනක් ගනී. මේවා ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද ඇතුළු තවත් විවිධ පරිවර්තකයන් විසින් පරිවර්තනය කර තිබේ.
1950 දී මියයන විට විවිධ ශානරවලට අයත් නවකතා 80 ක් පමණ ලියා තිබුණු එඩ්ගා රයිස් බරෝස් (Edgar Rice Burroughs) ඇමරිකානු කතුවරයා, ඉනිඩ් බ්ලයිටන්ට පසුව වැඩිම කෘති සංඛ්‍යාවක් සිංහලට පරිවර්තනය වී තිබෙන විදේශික කතුවරයා වෙයි. මේ වනවිට ඔහුගේ කෘතිවල සිංහල පරිවර්තන තිහකට ආසන්න ප්‍රමාණයක් තිබේ. 1875 දී ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි උපන් එඩ්ගා රයිස් බරෝස් 1911 සිට පොත් ලිවීම ඇරඹූ අතර, ඔහු විසින් 1912 දී නිර්මාණය කරන ලද ‘ටාර්සන්’ චරිතය ක්ෂණිකවම ලොව පුරා ජනාදරයට පත්විය. පොත් 26 කින් සමන්විත වන ඔහුගේ ටාර්සන් කථා මාලාව, ත්‍රාසජනක කථා කියවීමට කැමැති යොවුන් මෙන්ම වැඩිහිටි පාඨකයන්ට අසංක්ෂිප්තව සිංහලෙන් හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ විශිෂ්ට පරිවර්තකයකු වූ කේ. ජී. කරුණාතිලක සූරීන්ටය. එඩ්ගා රයිස් බරෝස්ගේ සිංහලට නැඟුණු වෙනත් කෘති අතර ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ Pellucidar (පෙලියුසිඩාරය), At the Earth’s Core (පොළොව මැද ලෝකය) සහ The Jungle Girl (වනගත යුවතිය)මෙන්ම කුමාර සිරිවර්ධන පරිවර්තනය කළ The Eternal Lover (ව්‍යාඝ්‍ර දඩයම) ආදී කෘති රැසකි.
වැඩියෙන්ම සිංහලට නැඟුණු මීළඟ විදේශීය කතුවරයා, 1856 වසරේ බ්‍රිතාන්‍යයේ නෝෆෝක් හි උපන් ශ්‍රීමත් හෙන්රි රයිඩර් හැගාර්ඩ්ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් වර්තමාන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ වැනි රටවල විදේශ සේවාවේ නියුතු වූ ඔහුට 1919 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉහළම ගෞරවය වන ‘නයිට්’ පදවිය පිරිනැමිණි. ත්‍රාසය, ආදරය සහ විස්මය කැටිකරගත් ඓතිහාසික, මායාකාරී මෙන්ම විද්‍යාත්මක ශානරවලට අයත්වන කථා හැගාර්ඩ් අතින් ලියැවුණේය. ‘සැඟවුණු ශිෂ්ඨාචාර’ නැමැති ශානරය බිහිවූයේ ඔහුගේ කෘති වෙනුවෙන්ම යැයි කියැවේ. 1885 දී රයිඩර් හැගාර්ඩ් ලියූ King Solomon’s Mines (සොලමන් රජුගේ ආකර) නවකතාව ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ අතර, ජී. බී. සේනානායක විසින් ‘දියමන්ති නිම්නය’ නමින්ද, කමලසිරි පෙරේරා විසින් ‘රත්නාගාරය’ නමින්ද, චන්ද්‍ර අනගිරත්න විසින් ‘සොලමන් රජුගේ දියමන්ති ආකර’ නමින්ද, අජිත් ප්‍රියශාන්ත විසින් ‘සොලමන් රජුගේ නිධන්’ නමින්ද සිව් වතාවක්ම සිංහලට නැඟී තිබීමෙන් මේ නවකතාවේ ඇති අපූරු ආකර්ශණීය ගුණය පෙන්නුම් කෙරේ. එහි කථකයා ලෙස හැගාර්ඩ් නිර්මාණය කළ ඇලන් ක්වාටර්මේන් චරිතය, ඔහු විසින් පසුව ලියන්නට යෙදුණු නවකතා ගණනාවකින්ම පාඨකයා හමුවට පැමිණි බැවින් එය ඇලන් ක්වාටර්මේන් කථා මාලාව ලෙසද හඳුන්වනු ලැබේ. 1925 දී මියයන විට රයිඩර් හැගාර්ඩ් ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති 70 කට ආසන්න සංඛ්‍යාවක් පළ කර තිබූ අතර, බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත ඇතුළු වාර ප්‍රකාශන කිහිපයකම ඔහුගේ ලිපි විශාල සංඛ්‍යාවක් පළවිය. චන්ද්‍රසිරි දසනායක, චන්ද්‍ර අනගිරත්න, ප්‍රභාත් මිරිහාගල්ල ඇතුළු පරිවර්තකයින් විසින් මේ වන විට රයිඩර් හැගාර්ඩ් කතුවරයාගේ කෘති තිහකට ආසන්න සංඛ්‍යාවක් සිංහලට නඟා තිබෙන අතර, Ghost Kings (සූලා රැජින), Benita (බෙනිටා), Barbera Who Came Back (බාබරාගේ පුනරාගමනය), Hue Hue: The Monster (හියු හියු හෙවත් රකුසා), Cleopatra (ක්ලියෝපැට්රා) ආදී කෘති රැසක් ඒ අතර වේ.
1828 රුසියාවේ යාස්නයා පොලියානා හි ඉපදී, අසූ දෙහැවිරිදිව 1910 දී මියගිය රුසියානු මහා ලේඛක, සිටුවර ලෙව් නිකොලායෙවිච් තල්ස්තෝයි (ලියෝ තෝල්ස්තෝයි) ලොව වැඩිම වාර ගණනක් පරිවර්තනය වූ කෘති අයත් කතුවරුන්ගේ ලැයිස්තුවේ 25 වැනි ස්ථානයේ රැඳී සිටී. ඔහුගේ නිර්මාණද රයිඩර් හැගාර්ඩ්ගේ තරම්ම සංඛ්‍යාවක් සිංහලට නැඟී ඇත. 1950 ගණන්වල සිට තෝල්ස්තෝයිගේ කෘති සිංහලට නැඟීම ආරම්භ වී තිබෙන අතර, 50 දශකය තුළ ඔහුගේ ප්‍රකටම නවකතාවලින් එකක් වන ආන්නා කරේනිනා (ඇනා කැරනිනා) ඇතුළු කෘති පහක් සිංහලට නැඟී ඇත. ඒ අතුරින් ආන්නා කරේනිනා නවකතාව ඇනා කැරනිනා නමින් පරිවර්තකයින් දෙදෙනෙකු අතින් (ජිනදාස ජී. ලේල්වල – 1958 සහ මුනිදාස සෙනරත් යාපා – 1959) පරිවර්තනය වීම විශේෂ සිදුවීමකි. තෝල්ස්තෝයිගේ තවත් කෘතියක් වන කෘට්සර් සොනාටා ද මේ අයුරින්ම පරිවර්තකයින් සිව්දෙනෙකු අතින් ප්‍රේමය හා ශෝකය (කේ. ඩී. පී. වික්‍රමසිංහ – 1962 සහ ඩී. එස්. ඒස්. මායාදුන්නේ – 1977), ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන (එස්. ජී. සමරසිංහ – 1963) සහ පේමතෝ ජායතී සෝකෝ (සිරිල් සී. පෙරේරා – 2009) නමින් තෙවරක් පරිවර්තනය වී තිබීමද විශේෂත්වයකි. තරමක දිග කතාවක් වන කෘට්සර් සොනාටා තෝල්ස්තෝයිගේ කෘති අතර වර්ග කෙරෙන්නේ කෙටි නවකතාවක් (නොවෙලාවක්) හැටියටය. එසේ වන කල, නවකතා හැටියට ගැනෙන ඔහුගේ යුද්ධය හා සාමය, ඇනා කැරනිනා සහ Resurrection (මළවුන්ගෙන් නැඟිටීම) යන කෘති කෙතරම් දීර්ඝ දැයි සිතාගැනීම අපහසු නොවේ. මිනිසා ජීවත්වන්නේ කුමකින්ද සහ විරත රත යන කෙටිකතා සංග්‍රහ දෙකද, ඉවාන් ඉල්යීච්ගේ මරණය, නිර්මාණය සහ ශෝකය සහ කලාව යනු කුමක්ද? යන කෘතීන් ද තෝල්ස්තෝයිගේ සිංහල පරිවර්තිත කෘති අතර වේ. රුසියානු බසින් ලියූ තෝල්ස්තෝයිගේ විදෙස් භාෂාවන්ට පරිවර්තනය වී තිබෙන ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන කෘති, සහ නාට්‍ය ආදී සියල්ලේම එකතුව 160 කට ආසන්නය. තවමත් කිසිදු භාෂාවකට පරිවර්තනය නොවූ කෘති 23 ක්ද, අවසන් කළ නොහැකිවූ කෘති 4 ක්ද ඔහුගේ සමස්ත නිර්මාණ එකතුවෙහි වෙයි.
වැඩිම කෘති ගණනක් සිංහලට නැඟී තිබෙන පස්වැනි විදේශීය කතුවරයා වන්නේ ඉංග්‍රීසි මහා ගත්කරු චාල්ස් ඩිකන්ස්ය. ලෝකයේ වැඩිම වාර ගණනක් පරිවර්තනය වූ කතුවරුන්ගේ ලැයිස්තුවේ විසිහත්වැනියා ඔහුය. 1812 දී එංගලන්තයේ පෝර්ට්ස්මත් හි උපන් ඩිකන්ස් 1870 දී මියයන විට 58 හැවිරිදි විය. 1836 සිට 1870 දක්වා නවකතා 23 ක්, කෙටිතා 39 ක්, කෙටිකතා සංග්‍රහ 7 ක් ඇතුළු නිර්මාණ රැසක් සිය කෙටි ජීවිතය තුළ නිමකළේය. 1946 දී ඊ. ආර්. එරත්න විසින් පියා සහ පුතා නමින් චාල්ස් ඩිකන්ස්ගේ කෘතියක් සිංහලට නඟා ඇත. මෙය ඩිකන්ස් ලියූ Dombey and Son කෘතිය විය හැකිය. ඉන් පසුව චාල්ස් ඩිකන්ස්ගේ ප්‍රකට නවකතාවක් වන A Tale of Two Cities කෘතිය ‘නගරද්වයේ කථාන්තරය’ නමින් 1954 දී ආනන්ද ගුණසේකරද, 1956 දී ‘දෙනුවර අන්දරය’ නමින් පී. ආර්. වික්‍රමසිංහද, 1961 දී ‘දෙනුවර කතාව’ නමින් ටී. බී. ඉලංගරත්නද පරිවර්තනය කළහ. Oliver Twist ඩිකන්ස්ගේ තවත් ජනප්‍රිය නවකතාවකි. එයද පරිවර්තකයන් සිව්දෙනෙකු විසින් – එනම්, 1962 දී එල්. ඩබ්ලිව්. පෙරේරා, 1996 දී කුලසේන ෆොන්ස්කා, සහ 2000 දී සෝමා සේනානායක විසින් ඔලිවර් ට්විස්ට් යන නමින්මද; 1995 දී කීර්ති කළහේ විසින් ‘අනාථ දරුවා’ නමින්ද – සිංහලට නගා තිබේ. ඩිකන්ස්ගේ Great Expectations කෘතියද පරිවර්තකයින් තිදෙනෙකු අතින් සිංහලට නැගී තිබේ; එනම්, 1960 දී ඊ. ආර්. එරත්නගේ ‘රොමාගේ වාසනාව’, 1994 දී කුසුම්සිරි විජයවර්ධනගේ ‘පින පෑදුණු දා’ සහ, 2001 දී චන්ද්‍ර අනගිරත්නගේ ‘උදාර අපේක්ෂා’ ආදී වශයෙනි. ලොව පුරා නත්තල් චිත්‍රපට ගණනාවකටද පාදක වූ චාල්ස් ඩිකන්ස්ගේ A Christmas Carol කෘතියද 1993 දී සිරිල් සී. පෙරේරා විසින් ‘නත්තල් ගීතය’ නමින්ද, 2022 දී සේනාරත්න වීරසිංහ විසින් ‘මනෝහර නත්තල් ගීතයක්’ නමින්ද දෙවරක්ම පරිවර්තනය විය. ඩිකන්ස්ගේ කෘති 25 වතාවක් පමණ මේ වනවිට සිංහලට නැගී තිබේ.
1868 දී රුසියාවේ නීෂ්නි නොව්ගොරොද් හි උපත ලැබූ අලෙක්සේයි මක්සීමොවිච් පෙෂ්කොව් හෙවත් මක්සිම් ගෝර්කි ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, පද්‍ය, සහ නාට්‍ය යන ප්‍රවර්ගවලට අයත් නිර්මාණ 180 කට අධික සංඛ්‍යාවක කතුවරයා වෙයි. මේ වන විට ඔහුගේ කෘති 24 ක් පමණ සිංහලට නැගී ඇත. ඉන් වැඩිම වතාවක් පරිවර්තනය වී තිබෙන්නේ ‘අම්මා’ නවකතාවයි. එය පළමු වරට 1958 දී උඩකැන්දවල සිරි සරණංකර හිමියන් විසින් පරිවර්තනය කරනු ලැබූ අතර, පසුව දැදිගම වී. රුද්‍රිගු සහ සේනාරත්න වීරසිංහ විසින්ද ඒ නමින්ම පරිවර්තනය කරනු ලැබිණි. ඔහුගේ තුන් ඈඳුතු ස්වයං චරිතාපදානය වන ළමාවිය, මිනිසුන් අතර, සහ මගේ සරසවි දැදිගම වී. රුද්‍රිගුගේ පරිවර්තන ලෙස සිංහල පාඨකයා අතට පත්විය. එහි තෙවැන්න මගේ විශ්වවිද්‍යාල නමින් එච්. ජයරත්නගේ පරිවර්තනයක් ලෙසද 2006 දී පළ විය. හිරු නැති ලොව (පරි: රංජිත් ධර්මකීර්ති-1975), පොතයි මමයි (පරි: සිරිල් සී. පෙරේරා-1996), මකාර් චුද්‍රා සහ වෙනත් කතා (පරි: කේ. ජී. කරුණාතිලක-1998), පොතක මහිම (පරි: සිරිල් සී. පෙරේරා-1995) ආදී කෘතිද මක්සිම් ගෝර්කිගේ සිංහල පරිවර්තිත පොත් අතර වේ. වැඩිම වතාවක් සිංහලට පරිවර්තනය වී ඇති විදේශික කතුවරු අතුරින් මක්සිම් ගෝර්කි හයවැනි තැන ගනී.
1870 රුසියාවේ සිම්බීර්ස්ක් හි උපන් විලදිමීර් ඉල්යීච් උල්යානොව් හෙවත් වී. අයි. ලෙනින් ලියූ මාක්ස්වාදී දේශපාලන දර්ශනයට අදාල පොත්පත් ලොව පුරා විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. ලොව වැඩිම වතාවක් පරිවර්තනය වූ කතුවරුන්ගේ ලැයිස්තුවේ අටවැනි තැන සිටින්නේ වී. අයි. ලෙනින්ය. 1924 දී මියයන තුරු ලෙනින් ලියා පළකළ සම්පූර්ණ කෘති ගණන හැටකට ආසන්න වන අතර, ඉන් 22ක් ම සිංහලට පරිවර්තනය වී තිබේ. ඒ පරිවර්තන සියල්ලක්ම පාහේ සෝවියට් සංගමය පැවැති අවධියේ සෝවියට් සංගමයේදී කළ පරිවර්තන වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් දැදිගම වී. රුද්‍රිගු විසින් පරිවර්තනය කෙරී ඇත. ‘මාක්ස්වාදයේ මූලාශ්‍ර තුන සහ එහි සංයුක්ත කොටස් තුන’, ‘වාමාංශික කොමියුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි’, ‘පියවරක් ඉදිරියට, පියවර දෙකක් පස්සට’, ‘රජය හා විප්ලවය’ වැනි කෘති ලාංකික පාඨකයා කලකට ඉහත බෙහෙවින් කියවූ පොත් අතර විය. වැඩිම කෘති සංඛ්‍යාවක් සිංහලට නැගී තිබෙන විදේශීය කතුවරුන් අතුරින් ලෙනින්ට හත්වැනි තැන හිමිවේ.
මීට අමතරව, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්, වික්ටෝරියා හෝල්ට්, අගතා ක්‍රිස්ටි සහ ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් යන කතුවරුද කෘති වැඩිම සංඛ්‍යාවක් සිංහලට නැඟී තීබෙන විදේශීය කතුවරුන් අතුරින් පළමු දොළොස්දෙනා අතර සිටිති. ආතර් සී. ක්ලාක්ගේ කෘති වැඩිම සංඛ්‍යාවක් සිංහල පාඨකයා වෙත ගෙන ආවේ පරිවර්තක එස්. එම්. බන්දුසීලය. ආතර් කොනන් ඩොයිල් කතුවරයාගේ සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ වැඩිම පරිවර්තන සංඛ්‍යාවක් සිදුකරනු ලැබුවේ චන්දන මෙන්ඩිස් විසිනි.
මේ සම්බන්ධයෙන් වඩාත් පුළුල් අධ්‍යයනයක් කිරීම සඳහා මේ ලිපිය උපස්ථම්භක විය හැකිය. ලිපිය සකස් කිරීම සඳහා තොරතුරු සොයාබැලීමේදී සහාය දැක්වූ මහාචාර්ය සාලිය කුලරත්න, සේනාරත්න වීරසිංහ සහ දුෂාන් ප්‍රේමරත්න යන මහත්වරුන් විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
-මොහාන් ධර්මරත්න.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
