“ලේඛකයකු වීම යනු සත්‍යය දේශනා කිරීම නොවේ, සත්‍යය සොයාගැනීමය” – මිලාන් කුන්දෙරා.

දේශපාලකයා සහ සාහිත්‍යකරුවා යනු සදාකාලික සතුරන්ය, මන්ද ඔවුන් දෙගොල්ලම සටන් වදින්නේ එකම භූමියක් වෙනුවෙන් යැයි සල්මන් රුෂ්ඩි පවසා ඇත. මේ ප්‍රකාශය හා එකඟ වන ජීවන චරිත ඇති ලෝක ප්‍රකට ලේඛකයන් කිහිප දෙනෙකු අතරින් මිලාන් කුන්දෙරාට විශේෂ තැනක් හිමි වෙයි.

1929 අප්‍රේල් පළමුවැනිදා කොමියුනිස්ට් චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් නුවර උපන් මිලාන් කුන්දෙරා කොමියුනිස්ට් පක්ෂයට බැඳෙන්නේ වයස අවුරුදු 18දීය. පසුකලෙක ඒ පිළිබඳ මතකය අවදි කරන කුන්දෙරා, “කොමියුනිස්ට්වාදය මාව ආකර්ශණය කරගත්තේ හරියට ස්ට්‍රැවින්ස්කියි (නූතනවාදී රුසියානු සංගීතඥයෙකි. 20 වැනි සියවසේ වඩාත්ම බලපෑම්සහගත සංගීතඥයා ලෙස සැලකේ), පිකාසෝයි, අධියථාර්ථවාදයයි මාව ආකර්ශණය කරගත් විදියටමයි,” යනුවෙන් කීවේය. ඒ වන විට කොමියුනිස්ට් පක්ෂය අවුරුදු 26ක් චෙකොස්ලෝවැකියාව පාලනය කර තිබිණි. එතැන් පටන් අවුරුදු 20ක් ප්‍රබල කොමියුනිස්ට් පාක්ෂිකයකුව සිටි කුන්දෙරා 1967 පැවැති චෙකොස්ලෝවැකියානු ලේඛක සමුළුවේදී ප්‍රකාශ කළේ ‘සාහිත්‍යය කොමියුනිස්ට් පක්ෂ පාලනයෙන් පරිබාහිරව පැවැතිය යුත්තකි’ ය යන්න පමණකි. ඒ ප්‍රකාශය නිසා ඔහුව දේශපාලන දඬුකඳේ ගැසීමට ලක් විය. ඔහුගේ කෘති චෙකොස්ලෝවැකියාවේ වාරණයට ලක් විය. ලිටරාර්නි නොවිනි (සාහිත්‍ය පුවත්) නම් වූ ලේඛක සමුළුවේ නිල ප්‍රකාශනය ඇතුළු තවත් ප්‍රකාශන කිහිපයක්ම චෙක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පවරාගනු ලැබිණ.

1967 සිදුවූ ‘ප්‍රාග් නැගිටීම’ වූකලී චෙකොස්ලෝවැකියාවේ දැඩි කොමියුනිස්ට්වාදී පාලනයට එරෙහිව සිදුකළ පුළුල් ජනතා නැගිටීමකි. මිලාන් කුන්දෙරාද ප්‍රාග් නැගිටීම තුළ කැපීපෙනෙණ චරිතයක් විය. ඉන් පෙර ඔහුගේ කෘති වාරණය කිරීම සහ ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම අනුමත කළ අලෙක්සන්දර් දුබ්ෂේක් වැනි කොමියුනිස්ට්වාදීන් පවා දැඩි පාලනය ලිහිල් කර ජනතාවට නිදහසේ කටයුතු කළ හැකි රටක් බිහි කළ යුතුය යන අදහස දරමින් ප්‍රාග් නැගිටීමට පක්ෂව සිටියහ. මේ සමයේ පළ කළ කුන්දෙරාගේ අතිශයින් ජනප්‍රිය වූ The Joke (විහිළුව) නවකතාව කොමියුනිස්ට්වාදී පාලනය තුළ ගලායන ජන ජීවිතය දෙස හෙලූ දැඩි උපහාසාත්මක බැල්මකි. ‘චෙකොස්ලෝවැකියාවට කොමියුනිස්ට්වාදයෙන් පිට පැනීමට’ ඉඩ නොදෙනුවස්, එවකට ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් නායකත්වය දැරූ සෝවියට් සංගමයේ සොල්දාදුවන් 350,000 කින් පමණ යුතු ස්ටාලින්වාදී හමුදාවක් 1968දී චෙක් රාජ්‍යය ආක්‍රමණය කළේය. ඒ සමගම කුන්දෙරාගේ කෘති සියල්ල සමග තහනම් කරනු ලැබූ අතර, ඒ වනවිට ඔහු ප්‍රාග් නුවර චිත්‍රපට කලාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ ආචාර්යවරයකු ලෙස කළ රැකියාවෙන්ද පහ කර දමමින් දැඩි ලෙස පළිගනු ලැබුවේය. 

මෙලෙස පීඩාවට පත්කරනු ලැබූ කුන්දෙරා 1968දී ජීවිතයේ පළමු වරට සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගිය ගමන තීරණාත්මක එකක් වූයේය. එහිදී ක්ලෝඩ් ගැලිමාර්ඩ් නැමැති ප්‍රංශ ග්‍රන්ථ ප්‍රකාශකයා සමග මිත්‍රත්වයක් ගොඩනගාගැනීමට ඔහුට හැකි වුණි. නැවත ප්‍රාග් නුවරට පැමිණෙන කුන්දෙරාට ප්‍රංශයට පැන එන්නට උනන්දු කරන්නේ කුන්දෙරා බැලීමට ප්‍රාග් නුවරට නිතර ආ ගිය ගැලිමාර්ඩ්ය. එපමණක් නොව ඔහු චෙකොස්ලෝවැකියානු බලධාරීන්ගේ ඇස්වලට වැලි ගසා කුන්දෙරාගේ Life is Elsewhere (ජීවිතය අන් තැනක) නවකතාවේ අත්පිටපත හොර රහසේ ප්‍රංශයට රැගෙන එන්නටද සමත් වූයේය. අන්තිමේදී කුන්දෙරා සිය බිරිය වේරාද සමග 1975 දී ප්‍රංශයට පැමිණ පදිංචි වූයේය. 1979දී චෙකොස්ලෝවැකියාව ඔහුගේ පුරවැසිභාවයද නිලවශයෙන් අහෝසි කර දැමුවේය. 1979 සිට 1981 දක්වා කාලය ඔහුට ගතකිරීමට සිදුවූයේ රටක් නැත්තකු ලෙසිනි. කෙසේ නමුදු 1981දී ප්‍රංශය කුන්දෙරාට පුරවැසිභාවය පිරිනැමුවේය.

ප්‍රංශයේ නිහඬ පෙදෙසක පිහිටි ඔහුගේ නිවසේ සාලය සැරසූ විවිධ චිත්‍රවලින් මැවුණේ නූතන, අධියථාර්ථවාදී හැඟීම් ජනනය වන පරිසරයකි. ඉන් සමහරක් චෙකොස්ලෝවැකියානු සිත්තරුන්ගේ නිර්මාණ වූ අතර, ඉතිරිය කුන්දෙරා විසින්ම අඳින ලද වර්ණවත්, විශාල ඔළු සහ දිගු ඇඟිලි සහිත ඔහුගේම හැඩයට සමාන මිනිස් රූප විය. නිවස අසලම පිහිටි වෙළඳසැල නිසා පහසුවෙන් ගෙදරට බඩු ගැනීමට හැකි වීමත්, එහි තිබූ විශේෂ පළතුරු වර්ග ඇති පළතුරු කඩයත්, අවුරුද්ද පුරාම පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනත් ගැන ඔහු සහ බිරිය වේරා සිටියේ ඉමහත් පැහැදීමකිනි. ජනකාන්ත පුද්ගලයකු වූ මිලාන් වෙනුවෙන් ඔහුගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම් සහ යතුරුලියනය කිරීම් මෙන්ම යුරෝපයේ රූපවාහිනී, නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් පිළිබඳව සම්බන්ධීකරණ කටයුතුත් සිදුකළේ වේරා විසිනි. 

උපන් බිමෙන් පිටමං කර දැමූ ලේඛකයන්ට සිය ආනුභාවය අහිමිවන්නේ යැයි පවතින ප්‍රකට විශ්වාසය බිඳහෙළීමට 1975 සිට ප්‍රංශයේ ජීවත්වන කුන්දෙරාගේ නිර්මාණාත්මක ජීවිතය පමණක් ප්‍රමාණවත්ය. “1930 ගණන්වල (හිට්ලර් නිසා) ජර්මන් උගත්තු ඇමරිකාවට පැනලා යද්දි ඔවුන් දැනගෙන හිටියා ඒක තාවකාලික හැරයාමක් බව, දවසක සහතිකවම ආපහු ජර්මනියට එන බලාපොරොත්තුව ඔවුන්ට තිබුණා. ඒත් ආපහු යාමේ කිසිම බලාපොරොත්තුවක් මට නෑ. මං ප්‍රංශයේ ඉන්නෙ සදහටම. ඒ අර්ථයෙන් ගත්තම මං විගමනිකයෙක් නෙවෙයි. දැන් ප්‍රංශය තමයි මගේ එකම සැබෑ වාසභූමිය,” යැයි ඔහු 1985දී මාධ්‍යවේදියකු හමුවේ කීවේය. “ඒ වගේම මාව මව්බිමෙන් උදුරා දැමුවාය කියා හැඟීමක් මට ඇතිවෙන්නෙත් නෑ, මොකද අවුරුදු දහස් ගාණක් තිස්සේ චෙකොස්ලෝවැකියාව තිබුණේ බටහිර ලෝකයේ කොටසක් හැටියට. අද ඒක නැගෙනහිරදිග අධිරාජ්‍යයක කොටසක් වෙලා. මව් පොළවෙන් උදුරා දැමුවාය කියන හැඟීම මට පැරීසියේදී ඇතිවිය හැකිවාට වඩා කිහිප ගුණයකින් ප්‍රාග්වලදී දැනේවි. මම තවමත් නවකතා ලියන්නේ චෙක් බසින්, මොකද මගේ අත්දැකීම් සහ පරිකල්පනය බැඳී තිබෙන්නේ බොහීමියාව, ප්‍රාග් නුවර එක්ක.” ළමා සහ තරුණ වියේදී ඔහු අත්දුටු චෙකොස්ලෝවැකියාව විචිත්‍ර, මායාකාරී, එමෙන්ම ශෘංගාරාත්මක රටක් බවට පරිවර්තනය කිරීමට ඒ නිසා ඔහුට හැකි වූයේය. 

ප්‍රසිද්ධිය ඔහුට දරාගත නොහැක්කක් තරමට වර්ධනය විය. “කොට කලිසං අඳින පොඩි එකා කාලෙ මට බොහොම තදින් හිතුණ දෙයක් තමයි, අනේ මට නොපෙනී යන්න පුළුවන් තෛලයක් තිබුණා නම් කියන එක. ඉතින් මම වැඩිහිටියෙක් වෙලා ප්‍රබන්ධ ලියන්න පටන් ගත්තා. මට සාර්ථක ප්‍රබන්ධකරුවෙක් වෙන්න ඕන වුණා. දැන් මම ආයෙත් කැමතියි මං ඒ කාලෙ හිතපු අර නොපෙනී යන්න පුළුවන් තෛලය ලැබෙනවා නම්,” යැයි අප්‍රසිද්ධ ජීවිතයකට ආදරය කළ කුන්දෙරා තමන් සමග පැවසූ බව ඇමරිකානු නවකතාකරුවකු වන ෆිලිප් රොත් වරෙක කීවේය. 

1960 ගණන්වලදී ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් ලතින් ඇමරිකාව වෙනුවෙනුත්, 1970 ගණන්වලදී අලෙක්සාන්දර් සොල්ෂෙනිට්සින් රුසියාව වෙනුවෙනුත් කළ මෙහෙවර බඳු මෙහෙවරක් 1980 ගණන් වන විට මිලාන් කුන්දෙරා සිය උපන් බිම වන චෙකොස්ලෝවැකියාව වෙනුවෙන් ඉටුකර තිබුණේය. ඔහු සිය කෘති හරහා බටහිර පාඨකයා තුළ නැගෙනහිර යුරෝපය පිළිබඳව අවධානයක් ගොඩනැගීමට සමත් වූයේය. ඔහුට පිළිගැනීමක් ලැබීමට තීරණාත්මක ලෙස හේතු වූයේ සත්‍යය සෙවීමේ අභිලාෂයත්, ඒ සඳහා තිබිය යුතු යැයි ඔහු විශ්වාස කළ පුද්ගල ඇතුළාන්තයේ පැවැතිය යුතු පරම අවශ්‍යතාව වූ මානසික නිදහසත්, සත්‍යය සොයාගැනීමට නම් මරණයට වුව මුහුණදීමට සූදානම් විය යුතු යැයි ඔහු තුළ වූ අධිෂ්ඨානයත්ය. එනමුදු වම සහ දකුණ අතර සදාතනික ගැටුමට ඔහුගේ චින්තනය තුළ විශාල වැදගත්කමක් ලැබුණේ නැත. “වෙන කිසිවක් නොවේ ආඥාදායක අධිරාජ්‍යයයි අපට තර්ජනය කරන්නේ. කොමෙයිනි, මාඕ, ස්ටාලින් – ඔවුන් වමේද, දකුණෙද? ආඥාදායකත්වයට වම, දකුණ කියල එකක් නෑ. එහෙම අධිරාජ්‍යයක් තුළ වම දකුණ දෙකටම හිමිවන්නේ විනාශය,” යැයි කුන්දෙරා කීවේය. “මං කවදාවත් දෙවියෝ ඇදහුවේ නෑ, ඒත් ස්ටාලින්ගේ ත්‍රස්ත සමයේ චෙක් කතෝලිකයන්ට කළ පීඩා දැක්කම මට හිතුණේ මාත් ඔවුන්ගෙන් එකෙක් කියලා. දෙවියන් ගැන විශ්වාසය නිසා තමයි අප එකිනෙකා බෙදී තිබුණේ, ඒත් ඒ කාරණය අප එක් කළ හේතුවට දෙවැනි වුණා. ප්‍රාග් නුවරදි ඔවුන් සමාජවාදීන් වගේම පූජකයන්වත් එල්ලා මැරුවා. අන්න එහෙමයි එල්ලා මැරූවන්ගේ සහෝදරත්වය බිහිවුණේ. වම-දකුණ අතර මුරණ්ඩු ඝට්ටනය යල්පැන ගිය බොහොම ප්‍රාදේශීය එකක් හැටියට මට පේන්නේ ඒ නිසයි. දේශපාලන ජීවිතයකට මා වෛර කළත්, සංදර්ශනයක් කියල හිතාගෙන දේශපාලනය දිහා – නැගෙනහිරදිග අධිරාජ්‍යයේදී දුක්ඛිත සහ මරණීය වූත්, බටහිරදී බුද්ධිමය වශයෙන් ජීවාණුහරණය වූ විකට වූත් ඒ සංදර්ශනය දිහා – මං බලන් ඉන්නව.”

පසු කලෙක ඔහු චෙක් බසින් ලිවීම මුලුමනින් අත්හැර දමා ප්‍රංශ බසින් ලීවේය. පරිවර්තනවල පවතින ගැටලුව පිළිබඳව ඔහු දැරුවේ මෙවැනි අදහසකි: “අපේ පරිවර්තකයෝ අපට ද්‍රෝහී වෙනව. අපේ ලිවීම තුළ තියෙන අමුත්ත, අසාමාන්‍යබව, ප්‍රකෘතිය ඔවුන් පරිවර්තනය කරන්නෙ නෑ – පරිවර්තනය නරකයි කියලා විචාරකයන්ගෙන් බැණුම් අහන්න වෙයි කියලා ඔවුන් බයයි. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් අපව පුංචි කරලා, නොවැදගත් කරලා දානවා. මං මගේ පරිවර්තනය වූ පොත්වල වැරදි හරිගස්සන්න කොයිතරම් කාලයක් නාස්ති කළාද කියල ඔබට හිතාගන්නවත් බෑ.”ඔහු උදාහරණයට ගන්නේ ඔහුගේ ප්‍රියතම කතුවරයා වූ තෝල්ස්තෝයිගේ ‘ආන්නා කරේනිනා’ ය. “ආන්නා කරේනිනාගේ මරණයට පෙර පරිච්ඡේද ටික ආයෙත් කියවන්න. නිරපරාදේ ඈ සියදිවි හානි කරගන්නේ ඇයි? ඊට හේතු වූ අතාර්කික මෙන්ම දුරවබෝධ කාරණා මොනවාදැයි තේරුම් ගන්න හැකිවෙන්න තෝල්ස්තෝයි ආන්නාගේ සවිඥානකත්වයේ ගලායාම ඡායාරූපයක් මෙන් ඉදිරිපත් කරනවා. ඈ ඉන්නේ අශ්ව කරත්තෙක; වීදියේ රූප ඇගේ මනසේ අතාර්කික, කැබලිවුණු සිතිවිලි සමග මුසු වෙනවා. අභ්‍යන්තර ඒකභාෂණය කියන දේ මුලින්ම නිර්මාණය කළේ ජොයිස් නෙවෙයි, තෝල්ස්තෝයි, හරියටම ‘ආන්නා කරේනිනා’ හි මේ පිටු කීපය තුළයි ඔහු එය කළේ. ඒත් කවුරුවත් ඒක හඳුනාගන්නෙ නෑ, මොකද තෝල්ස්තෝයිව පරිවර්තනය වුණේ ඉතාම නරකට. මම වතාවක් මේ පරිච්ඡේදයේ ප්‍රංශ පරිවර්තනයක් කියෙව්වා. මට පුදුමෙනුත් පුදුමයි, තෝල්ස්තෝයි ලියාපු අතාර්කික, කෑලිවලට කැඩුණු අදහස් ප්‍රංශ පරිවර්තනයේ බොහොම තාර්කික, සම්පූර්ණ අදහස් බවට පත්වෙලා තියෙන හැටි දැක්කම! හරියට ජොයිස්ගේ ‘යුලිසීස්’ පොතේ අන්තිම පරිච්ඡේදයේ මොලී බ්ලූම්ගේ දීර්ඝ ඒකභාෂණය තාර්කිකව, සාම්ප්‍රදායික විරාම ලකුණු යොදා ආපහු ලිව්වා වගේ.”

මිලාන් කුන්දෙරාගේ ප්‍රියතම රුසියානු ගත්කතුවරයා තෝල්ස්තෝයි විය. එය කිසිදු හේතුවක් නිසා වෙනස් නොවන බව ඔහු කීවේය. “තෝල්ස්තෝයිටයි මං කැමති. ඔහුගේ ලිවීම දොස්තෝව්ස්කිට වඩා බොහෝ නූතනයි. මනුෂ්‍ය ජීවිතය තුළ අතාර්කිකත්වය, මෝඩකම, එමෙන්ම පාලනය නොවූ සහ පාලනය නොකළහැකි උපවිඥානයක් විසින් මෙහෙයවනු ලබන මිනිස් ක්‍රියාවල වගවීමක් නොමැති ස්වභාවය විසින් රඟදක්වනු ලබන චරිතය මුලින්ම ග්‍රහණය කරගත්තේ බොහෝවිට තෝල්ස්තෝයි වෙන්න පුළුවන්,” යැයි මිලාන් කුන්දෙරා කියයි.

වාරණය සහ පොලිසියට වඩා දේශපාලන හිංසනය නවකතාවට විශේෂයෙන්ම බලපාන බව කුන්දෙරා කීවේය. හිංසනය විසින් හොඳ සහ නරක අතර අතිශයින් පැහැදිලි සීමාවක් නිර්මාණය කරනු ලබයි. මේ නිසා ලේඛකයා ඉතා පහසුවෙන් බණකීමේ තත්වයකට පහත වැටීමට ඉඩ තිබේ. මානුෂීය දෘෂ්ටිකෝණයකින් බැලූවිට මෙය ඉතාමත් ආකර්ශණීය වන්නේ නමුදු සාහිත්‍යමය වශයෙන් එය මාරාන්තිකය. ‘ලේඛකයකුට ඇති සදාචාරය වූකලී දැනුම පමණකි’ යන ඔස්ට්‍රියානු කතුවර හර්මාන් බ්‍රොක්ගේ කියමන උපුටා දක්වන මිලාන් කුන්දෙරා, මෙසේ කියයි: “මනුෂ්‍යයකුගේ පැවැත්ම යුක්තියුක්ත වීමට හේතුවන නොදන්නා කිසියම් කුඩා දෙයක් හෙළිකළ හැක්කේ සාහිත්‍යයට පමණයි. ලේඛකයකු වීම යනු සත්‍යය දේශනා කිරීම නොවේ, සත්‍යය සොයාගැනීමය.”

-මොහාන් ධර්මරත්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.