නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

-ෆ්‍රෑන්ක්ලින් උසෝවා (නයිජීරියාව), පරිවර්තනය මොහාන් ධර්මරත්න

ඔබ ඔබේ මවගේ එකම දරුවා වනු ඇත. නිවාඩු දිනවල ඔබේ මෑණියන්ගේ නිවසේදී ඔබේ අත්තම්මා ඇගේ දියණියට පුතෙක් ලබාදෙන්නැයි දෙවියන් යදින හැටි ඔබේ කන වැකෙණු ඇත. ඒත්, ඔබෙන් පසු ඔබේ මව නැවතත් ගැබ් නොගනු ඇති අතර, ඈ ඇගේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට කෑම පිණිස දුන්නේ යැයි ඔබේ පියාගේ පවුලේ අය ඈට චෝදනා කරනු ඇත.  මේ චෝදනා මුල්වරට අසන ඔබේ ළමා සිතට නැ‍ඟෙනු ඇත්තේ, විශාල කෑම මේසයක් වටා හිඳගත් ස්ත්‍රීහු පිරිසක් සහ ඒ මේසය මැද තැබූ විශාල පීරිසියකි. පාසලේදී ඔබ දැක තිබෙන, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යනුවෙන් තද කලු අකුරින් උඩින් ලියා ඇති රූපසටහනේ දැක්වෙන විදියේ ගර්භාෂයක් ඒ පීරිසිය මත තිබෙනු ඇත. මේ ගර්භාෂයට තිබෙනු ඇත්තේ බැදපු කුකුළුමස්වල වැනි තද දුඹුරුපාට වයනයකි. කෑම මේසයේ මුල් පුටුවේ සිටින ඔබේ මව ගර්භාෂය කෑලිවලට කපා, එක් එක් කෑල්ල කුඩා පිඟන්වල තබා ඉන් එකක් බැගින් ගැහැනුන් හැමදෙනාටම බෙදා දෙනු ඇත. පිඟන් ලබාගන්නා ගමන් ඔවුහු ඈට ස්තුති කරනු ඇති අතර, ඇගේ ගර්භාෂය එසේ දීම කෙබඳු දෙයක්දැයි ඔබ කල්පනා කරනු ඇත.

ඔබව මඟහැර සිටින්නැයි ඔබේ පියාගේ පවුලේ උදවිය ඔවුන්ගේ ළමුන්ට කියනු ඇත. මන්ද යත්, ඔවුන් හා බෙදාගන්නැයි කියා ඔබේ මව ඔබට දෙන රසකැවිලි හරහා ඔවුන්වද මායාකාරියන්ගේ කණඩායමට බඳවාගනු ඇතැයි කියාය. මේ හේතුව නිසා ඔබ වඩා නිශ්ශබ්ද, තනි ළමයකු වනු ඇත. ඔබේ නෑදෑ ළමුන් තරම් ඔබ සෙල්ලම් නොකරනු ඇතිවා මෙන්ම, කරන සෙල්ලමක් වුව ඔබ කරනු ඇත්තේ තනිවමය. ඔබේ අන්තර්වර්තිකබව නිසා ඔවුන් ඔබේ මව දෝෂාරෝපණයට ලක් කරනු ඇත්තේ ඈ ඔබවත් ඇගේ මායාකාරියන්ගේ සංසදයට ඇදගන්නා බව කියමින් වන අතර, එ් කතාව සනාථ කිරීමට ඔවුන් ඔබ කුඩා කාලයේ නිරන්තරයෙන් දුටු බියජනක රාත්‍රී සිහින ගැන කියනු ඇත. කිසිවෙක් ඔබ සමග සෙල්ලම් නොකරන නිසා, ඔබ සිතින් මවාගත් ඔබේ මිතුරු මිතුරියන් මළගිය ආත්ම විය යුතුය. මේ ප්‍රශ්නය ගැන කතාබහට ලක් කළ පවුලේ රැස්වීමකින් පසුව ඔබේ බීමත් පියා ඔබට පහර දෙනු ඇති අතර, මව ඔබ බේරාගන්නට ඉදිරිපත් වන විට ඈ ‘මායාකාරියක්’ යැයි කියාසිටිනු ඇත. ඊළඟ දවසේ ඔහු ලැජ්ජාවෙන් ඔබේ දෑස් මඟහැර යනු ඇති අතර, ඔබටත් අම්මාටත් වටිනා තෑගි – වචනයෙන් නොකී කනගාටුව පළකිරීමක් – දෙනු ඇති නමුත්, ඔහු අසලක සිටින අවස්ථාවල ඔබ ඔබේ පාරිකල්පනික මිතුරන් හා සෙල්ලම් කිරීම නවතා දමනු ඇත.

මේ කටකතා පාසල කරාද පැමිණෙනු ඇති අතර, ළමුන් ඔබව මඟහරිනු ඇත. ඔබ එවැනි තනිකිරීමකට ඒ වන විටත් හුරු පුරුදු වී සිටින අතර, ඔබේ පාරිකල්පනික මිතුරන් පසුකර ඔබ වයසින් වැඩෙද්දී විනෝද වීමට ඔබට ඔබේ සිත පමණක් සෑහෙනු ඇත්තේය. ඔබ ඔබ සමඟම තනිව විනෝද වීමට කෙතරම් හුරුපුරුදු වනු ඇත්දැයි කිවහොත්, වඩා නිර්භීත ළමුන් ඔබ සමඟ මිතුරු වීමට උත්සාහ කිරීම ඔබ දකිනු ඇත්තේ ඔබට බාධා කිරීමක් ලෙසිනි. ඒ නිසා සමහරු ඔබ මායාකාරියක ලෙසද, සමහරු ඔබ ඉහළ පැලැන්තියේ උන් පමණක් ඇසුරු කරන ආඩම්බරකාරියක ලෙසද දකිනු ඇත. කටකතාවලින් හොඳක් ද සිදුවනු ඇත: ගුරුවරු ඔබට දඬුවම් කිරීමට මැලිවනු ඇත. කෙසේ නමුදු අතරින් පතර සිටින බෝර්න්-එගේන් ක්‍රිස්තියානිය අදහන ගුරුවරයෙක් තමාගේ ආගමික විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම, අනෙක් ගුරුවරු ඉදිරියේ නිර්භීතබව ප්‍රදර්ශනය කිරීම සඳහාද පොඩි වරදකට වුව ඔබට පහර දෙනු ඇත. 

මේ අතර ඔබ ඔබට යහමින් තිබෙන කාලය පොත් සමඟ ගතකොට පාසලේ වැඩ ඉතා හොඳින් කරනු ඇත. ගෙදර තත්වය නම් එන්න එන්නම නරක අතට හැරෙනු ඇත. ඔබේ පියාගේ පවුලේ උදවිය වැඩි වැඩියෙන් රැස්වීම් පවත්වනු ඇත. මේ රැස්වීම්වලට ඔබ ඉත්මනින්ම හුරු වනු ඇත. ඔබේ පැවැත්ම නොවැදගත් සේ සලකමින්දෝ, ඔවුන් ඔබේ අම්මා වඳ ගෑනියෙකැයි කියනු ඇත. ඔබේ පියාට තවත් දරුවන් උවමනා බව ඔවුන් කියනු ඇත. තවත් ‘දරුවන්’ යැයි කීවද ඔවුන් අදහස් කරන්නේ ‘පුතෙක්’ බව පැහැදිළිය. මායාකාරියන්ගේ සංසදයකට කැප කරනු ලැබූ එකම දරුවකු විතරක් ඔහුට සිටිය නොහැකිය. ඔවුන් ඔබට ‘මායාකාරිය’ යැයි කියනු ඇති නමුත් එහි නියම තේරුම වනු ඇත්තේ ‘කෙල්ල’ යන්නය. ඔබේ පියා තවත් ගෑනියක ගෙනා යුතුය.

බොහෝවිට ඔබේ නිවසේ පැවැත්වෙන එවැනි රැස්වීම්වලදී ඔබේ පියා නිශ්ශබ්දව හිඳිනු ඇත. ඔහු ඔහුගේ නෑයින් සමඟ එකඟවීමට හෝ විරුද්ධවීමට නොයනු ඇත. ඔහු ඔබවත් ඔබේ අම්මාවත් ආරක්ෂා කර නොගන්නේ මන්දැයි ඔබ කල්පනා කරනු ඇත්තේය. අම්මාගේ හැසිරීමද ඊටත් වඩා ගැටලුකාරී බව ඔබ දකිනවා ඇත. ඇගේ පවුල කඩාදමන්නට එන උන්ට කන්න බොන්න දීමට ඈ කෑම උයන්නේ මන්ද? ඈ කෑමෙන් අනුන් පොළඹවාගත හැකි මායාකාරියක නම්, ඔවුන් ඈ උයන කෑම කන්නේ මන්ද?

පටන්ගැන්මේදී ඔබේ පියා ඔහුගේ නෑ සනුහරේ කීම මත වෙන ගෑනියක නොගෙනෙන මුත්, බොහෝ රාත්‍රීන් නිවසින් පිටත ගතකිරීමට පටන්ගනු ඇත්තේය. මුලදී, ඔහු උදෑසන නිවසට එන විට අම්මා ඔහු සමඟ රණ්ඩු අල්ලනු ඇත. පහරදීම් දක්වා වර්ධනය වන රණ්ඩුවකදී ඔබේ මව ඈ සතු ලොකුම හැන්දෙන් පියාගේ හිස්මුදුනට පතබානු ඇති අතර, එයින් පසුව දින කීපයක් ඔහු නිවසට නොඑනු ඇත. ඔබේ අම්මා කිසිවක් නොවුණ ගානට හැසිරෙනු ඇත. තාත්තා කොහි ගියේදැයි ඔබ අසන ප්‍රශ්න ඈ නොසලකාහරිනු ඇත. මුදල් ඉවර වූ විට ඈ ඔබත් කැටුව, මුදල් ඉල්ලා ගැනීමට මාමාකෙනෙකුගේ ගෙදරට යනු ඇත්තේය. ඈ ‘අනේ’ යන පදය බොහෝවාරයක් පවසනු ඇති අතර, ඈ මුදල් හිඟමන් යදින බව ඔබ සැක කරනු ඇත. මාමා අහංකාර සිනාවක් ඇතිව, ‘බයවෙන්න කාරි නෑ’ යැයි කියනු ඇත. ඔබ දෙදෙනා සමඟ ඔහු ගෙයි දොරකඩ දක්වා එන අතර ඔබේ මව ඔහුට ස්තුති කරනවා ඇත. ඔහු කිසිදු මුදලක් නොදෙන අතර, සිදුවන්නේ කුමක්දැයි දැයි ඔබ කල්පනා කරනු ඇත. එදා හැන්දෑවේ ඔබේ පියා ගෙදර එනු ඇති අතර, අම්මා දණින් වැටී ඔහු පිළිගනු ඇත. සතියක් පමණ යනතුරු ඔහු නිවසින් පිට නිදන්නට නොයනු ඇති නමුත්, ඔහු සිය නිශාචර සංචාරය නැවත පටන්ගත් කල්හි ඔබේ අම්මා ඔහු නිවසට පැමිණිවිට රණ්ඩු නොකර සිටිනු ඇත. ටික කලකට රැස්වීම් නොපැවැත්වෙනු ඇත.

ඔහොම ගිහින් එක් දිනෙක මහා රණ්ඩුවක් සිදුවනු ඇත. ඉන් පසු පැවැත්වෙන රැස්වීමට ඔබේ මවගේ නෑයින්ද සහභාගි වනු ඇත්තේය. නාඳුනන ගර්භිණී කාන්තාවක්ද ඊට සහභාගි වී සිටිනු ඇත. නිතරම කරන ලෙස ඔබ ඊට හොරෙන් කන්දෙනු ඇත. ඔවුහු කතා කරනු ඇත්තේ කෝපය කැටිවූ පහත් ස්වරයෙනි. ඔබේ දෙමාපියෝ නිහඬව සිටිනු ඇති අතර, ඔවුන්ගේ නෑයින් පමණක් කතා තරනු ඇත. කෝපය මුසු ශබ්ද වඩා හිතවත් ස්වරයන්ට හැරෙද්දී ඔබ හැංගී ඒ දෙස බැල්මක් හෙළීමට නිර්භීත වනු ඇති අතර, ගර්භිණී ගැහැනිය ඔබේ මව ඉදිරිපිට දණින් වැටී ඇගේ දෙපා බදාගෙන සිටිනු ඔබ දකිනවා ඇත. ඔබේ මව ප්ලාස්ටික් හිනාවක් මූණේ අලවාගෙන සිටින අතර, ඈ දිදුලන පුළුල් සිනාවක් ඇතිව සිටිනවා ඇත. පිරිසට කෑම බීම අල්ලමින් ඔබ සැන්දෑවේ ඉතිරි අඩ ගෙවාදමනු ඇති අතර, නිදහසේ ගලා යන රැස්වීම අවසන සාදයක් බවට හැරෙනවා ඇත. එක්තරා මොහොතක, ඔබ සාදය මැදින් බැදපු මස් බන්දේසියක් රැගෙන යන අතර, ඔබේ තාත්තාගේ පැත්තේ නැන්දා කෙනෙකු ඔබට ගර්භිණී ගැහැනිය හඳුන්වා දෙමින් ඈ ඔබේ පියාගේ අලුත් බිරිය බව කියනු ඇත. ක්ෂණිකවම ඔබ ඈට වෛර කරනු ඇත. ඔබ මුරණ්ඩු ලෙස ඇගේ පලමු නමින් ආමන්ත්‍රණය කිරීම මඟින් ඔබේ විරෝධය දක්වනවා ඇත. එය රණ්ඩු සරුවල් කිහිපයක ආරම්භයට හේතු කාරණා වුවද, කිසිවක් නොසලකා හරිමින් ඔබ ඈට දිගටම ඒ ආකාරයෙන්ම අමතනවා ඇත.

රැස්වීමෙන් සති කීපයකට පසු ගැහැනිය පැමිණ නිවසේ පදිංචි වෙනවා ඇත. ඔබේ අම්මා ඔබේ කාමරයට එනු ඇත. ඈ හඬමින්ම නින්දට යන රාත්‍රීන්වලදී ඔබට ඇගේ ඉකිබිඳුම් ඇසෙනු ඇත. ඔබ ඔබේ පියාට වෛර කරන්නට පටන් ගනු ඇත. ඉක්මනින්ම ඔබට ඔබේ නිවස තුළ ආගන්තුක බවක් දැනෙනු ඇත. ආතතියෙන් යුතුව එකට ජීවත්වන කාලපරිච්ඡේදය අතරතුර ඉඳහිට ඇවිලෙන රණ්ඩු සරුවල් නැමැති විරාම ලකුණු සටහන්වනු ඇත. මුලදී ඔබේ පියා ඔහුගේ අලුත් බිරිය බේරාගන්නට දුවගෙන එනු ඇති මුත්, ඉතා ඉක්මනින්ම ඔහු රණ්ඩුවක් ඇතිවන විටෙක නිවසින් පිටව යාම හෝ වාඩිවී ප්‍රසංගය නැරඹීම හෝ කරනු ඇත්තේය.

ඔබේ පියාගේ අලුත් බිරිය මළ දරුවකු බිහිකරනවා ඇත. ඊට සහ, ඉන්පසුව ඈ ප්‍රසූත කරන මළ දරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පැහැදිළිවම දෝෂාරෝපණයට ලක්වනු ඇත්තේ ඔබේ මවය. අන්තිම මළදරු උපතට පසුව ඔබේ පියා ඔබේ මවට අයත් බඩුමුට්ටු නිවසින් පිටතට වීසි කර දමනවා ඇත. ඔබේ පියා ඔබට යන්න කියා නොකියනු ඇති මුත්, ඔබේ අම්මා පසුපස යන ඔබ නතර කරගැනීමට ඔහු උත්සාහ නොදරණු ඇත. ටික කාලයකට ඔබ ඔබේ අම්මාගේ වැඩිමහල්ම සොහොයුරාගේ නිවසේ ජීවත් වනු ඇත. ඔහුගේ බිරිය ඔබ ලවා නිවසේ වැඩ බොහෝ කරවාගනු ඇති නමුත්, ඔබේ ඥාති සොයුරු සොයුරියෝ බොහොම විනෝදකාමී අය වනු ඇත. එහි ඔබ මායාකාරියක නොවනු ඇති අතර, එය ඔබේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලවලින් එකක් වනු ඇත්තේය.

එක් දිනෙක ඔබේ පියා සහ ඔහුගේ නෑයින් දෙදෙනෙකු පැමිණෙනු ඇත. ඔවුහු ඔබේ මව ඉදිරියේ දණින් වැටී යදිනු ඇත්තේය. ඔබේ තාත්තා අම්මා ඉදිරිපිට දණින් වැටී සිටිනු ඒ වනතෙක් ඔබ නොදැක තිබූ දෙයකි. ඔබේ පියාගේ දෙවැනි බිරිඳ දවසකට වැඩි කාලයක් විළිරුදාවෙන් සිට ඇත. ඔබේ මවට ආපසු ගෙදර එන්නැයි කියා ආයාචනා කරන්න පැමිණියේ යැයි ඔවුන් කියනු ඇති මුත් ඉන් අර්ථගැන්වෙන්නේ කුමක්ද යන්න පැහැදිළිය. මායාකාරියන් කරන ලෙස ඔබේ අම්මා ඒ ගැබ බන්ධනය කර තිබෙන්නේ යැයි ඔවුන් විශ්වාස කරන අතර, ඇගෙන් එම බන්ධනය ඉවත් කර දෙන්නැයි සැබැවින්ම ඔවුහු අයැද සිටිති. ඔවුන් වෙනුවෙන් ඔබේ මවගේ සොහොයුරාද ඔබේ මවගෙන් ආයාචනා කොට ඉල්ලා සිටිනු ඇති අතර, එය අයැදුමකැයි ඔහුගේ වචනවලින් පෙනීගියද ඔහු සැබැවින්ම කරන්නේ එවැන්නක් නොවන බව ඔබට දැනෙනු ඇත. ඔහුගේ පණිවුඩයද ඔවුන්ගේ පණිවුඩය තරමටම පැහැදිළිය. ඔබ දෙදෙනා ඔබව පිළිගනු ලැබූ කාලයට වඩා වැඩි කාලයක් එහි නතරවී සිට ඇති බැවින්, ඔබේ මවට ඇගේ ස්වාමිපුරුෂයාගේ ගෙදරට නැවත යාමට කාලය පැමිණ ඇත. ඔබේ මව එය පිළිගනු ඇත. කෙසේ වුවද ඔබේ පියා අතින් එක්තරා චාරිත්‍රයක් ඉටුවන්නේ නැතිව ඈ නිකම්ම ආපසු යවන්නට ඇගේ සොහොයුරාට නොහැකිය. එසේ වුවද, ඔබේ මව ඇගේ සැමියා සහ ඔහුගේ නෑයින් සමඟ රෝහලට යනු ඇත. ඔබේ පියාගේ බිරිය නිරුපද්‍රිතව දරු ප්‍රසූතිය සිදුකරනු ඇත. ඇය ගැහැනු දරුවකු වනු ඇත. ඔබේ පියාගේ නෑයින්ගේ සිනා ප්ලාස්ටික්වලින් තැනූ ඒවා වනු ඇති අතර, ඔවුන්ගේ ප්‍රීති උත්සව පුහු වනු ඇත්තේය. කිසිවකු ශබ්ද නඟා නොකීවද ඔවුන්ට උවමනා වූයේ පුතකු බව ඔබ දනී. ඔබේ මව දරුවාගේ ලිංගිකත්වය මාරු කළේ යැයි කිසිවකු කියනු ඇත. එය ඉතා විකට කියමනක් ලෙස ඔබට හැඟෙනු ඇත.

මේ දරු උපත හා සම්බන්ධව සිදුවූ සිද්ධි දාමය නිසා ඔබේ මවගේ මායාකාරී බලය තහවුරු වනු ඇත. සාමාන්‍යයෙන් කටකතාවලට සිදුවන්නාක් මෙන් එය පෙරී, අලුත් කෑලි එකතු වී විශ්වාස කළ නොහැකි කතාවක් බවට පත්වනු ඇත. ඔබේ පියාගේ බිරිය විළිරුදාවෙන් පෙලුණු කාලය දිනක සිට සතියක් දක්වා ඉහළ යනු ඇත. වාට්ටුව පිටත අනෙක් ගැහැනුන් හා රැඳෙමින් ඈ කළේ දෙවියන් යැදීම පමණක් යැයි ඔබේ අම්මා ඔබට කී නමුදු, ඔවුන් පවසනු ඇත්තේ ඈ වාට්ටුවට ඇතුළු වී ඔබේ පියාගේ බිරියගේ යටිබඩට අත තබා, අමුතු වචන කියා මැතිරීමෙන් පසුව පමණක් දරුවා බිහිවූ බවය. ඔබේ අම්මා කලු ඇඳුමින් සැරසී මුළුමහත් මායාකාරියන්ගේ සංසදයම පිරිවරාගෙන මන්ත්‍ර ජප කරමින් රෝහලට පැමිණියේදැයි කිසිවකු පාසලේදී ඔබෙන් අසනු ඇත.

පසුව මතක්වූ දෙයක් මෙන්, දරු උපතින් සතියකට පසුව ඔබේ පියා ඔහුගේ නෑයින්ද සමඟ අවශ්‍ය සිරිත් විරිත් ඉටුකිරීමට ඔබේ මාමාගේ නිවසට එනු ඇත. ඔබත් ඔබේ අම්මාත් යළි නිවස බලා එනු ඇත. අලුත උපන් බිළිඳා සහ ඇගේ මව ‘කිසියම් යක්ෂ බන්ධනයකින්’ ගලවාගැනීම උදෙසා විශේෂ ගලවාගැනීමේ යාඥා මෙහෙයක් සිදුකෙරෙනවා ඇත. ඔවුන් සමඟ යාඥාවට එකතුවන්නැයි ඔබේ මව ඔබට කීවේ වුවද, පාස්ටර් ඔබ දෙදෙනා දෙස ඔරවාගෙන, “මම උඹලාව ගැරහීමට පත් කරනවා!” හෝ “ගින්නෙහි පිළිස්සී මැරේවා!” යනුවෙන් යටි ගිරියෙන් බෙරිහන් දෙනු ඇත්තේය.

ඔබේ පියාගේ දෙවැනි බිරියට තවත් ගැහැනු දරුවන් දෙදෙනෙකු ලැබෙනු ඇත. අන්තිමයාගේ නම් තැබීමේ උත්සවයට ඔබේ පියාගේ එකද නෑයෙකුවත් සහභාගි නොවනු ඇත. ඔබේ පියා ගෙදරින් පිටවී රාත්‍රී ගතකිරීම නැවත පටන්ගනු ඇත. අලුත් බිරියට එ් වැඩේ හරි නොයනු ඇත. පවුල් රැස්වීම් පැවැත්වෙනු ඇත. ඔබේ පියාටද ඒ ආකාරයෙන්ම සලකන බවට ඈ තර්ජනය කරනු ඇත. ඈට උස් හඬින් බැනවදිනු ලැබෙනවා ඇත. ඔබේ පියා ඔහුගේ නිශාචර ගමන්වල අඛණ්ඩව යෙදෙනු ඇත. ඈ ඇගේ තර්ජනය ක්‍රියාත්මක කරනු ඇත. රණ්ඩුවක් ඇවිලෙනු ඇත. තවත් පවුල් රැස්වීමකට පසු, ඔබේ පියාගේ නෑයින් විසින් අවජාතකයින් හැටියට හඳුන්වනු ලැබූ ඈත් ඇගේ දූවරුනුත් බඩුමුට්ටුද සමඟ පිටමං කෙරෙනු ඇත්තේය. ඊට පසුව ඔබේ පියා කලාතුරකින් හෝ නිවසේ රාත්‍රියට නිදා නොගනු ඇති නමුත්, නාඳුනන බඩදරු ගැහැනුන් සමඟ කෙරුණු පවුල් රැස්වීම් ඉන් පසුව සිදු නොවනු ඇත. තුන්වැනි බිරියක් නොඑනු ඇත. සමහරු ඔබේ මවට දොස් නඟනු ඇති අතර, ඔබේ පියාගේ පිරිමිකම පරීක්ෂාවට භාජනය කිරීමට යාම පිළිබඳව ඒ භේදභින්න වූ දෙවැනි බිරියට තවත් සමහරු දොස්නඟනු ඇත.

විශ්වවිද්‍යාලය ඔබට ආදරණීය පලායාමක් වනු ඇත. ඔබ ඔබවම සොයා යාම අරඹනු ඇත්තේ එහිදීය. එහිදී ඔබ නොසිඳෙන උත්සාහයකින් හා ඉහළ අධ්‍යයන කාර්යසාධනයක් රඳවාගෙන සිටිනු ඇත.

ඔබ සැබැවින්ම දෙවියකු පිළිබඳව විශ්වාස නොකරනු ඇත. ඔබ ඔබේ මව සමඟ පල්ලියට යනු ඇත: ළමයකු ලෙස ඔබ කතන්දර ඇසීමට ආශා කළ නමුත්, වයසින් වැඩෙත්ම පල්ලි යන්නන් තුළ පවතින කුහකත්වය තේරුම් ගැනීමට ඔබ පටන්ගනු ඇත. ඔබ තුළ ඇති විශ්වාසය දියවී යනු ඇත. ගැලවීමේ යාඥා සහ මහා උසස්ම දෙවියන්ගේ නාමයෙන් කෙරෙන බැණවැදීම් නිසාද ආගම පිළිබඳව ඔබේ මුව තුළ අමිහිරි රසයක් ඉතිරිකර තිබේ. මිනිස්සු දෙවියන්ගෙන් ශක්තිය ලබාගන්නවා හෝ එසේ කරන බව කියනවා ඔබ දකිනු ඇත – එහෙත් ඔබ ශක්තිය සොයාගනු ඇත්තේ ඔබ තුළින්මය.

ඔබව පල්ලියට ඇදගෙන යාමට අම්මා නැති බැවින් විශ්වවිද්‍යාලයේදී ඔබ පල්ලි යෑම අතහැර දමනු ඇත. ඔබට කාමර සගයකු සිටිනු ඇත. ඈ ආගමට බොහෝ ලැදි වනු ඇත. එහෙත්, ඔබට හුරු පුරුදු එවැන්නන්ට වඩා ඈ වෙනස් එකියක වනු ඇත. ඔබ ඈට ප්‍රිය කරනු ඇත. ශිෂ්‍ය මිත්‍රත්ව රැස්වීම්වලට ඈ සමඟ එන්නට ඈ ඔබව පොළඹවාගනු ඇත. ඔබද යනු ඇත. ඔබ බලාපොරොත්තු වනවාට වඩා එය වෙනස් එකක් වනු ඇත. එහි සිටින අය පල්ලි යන්නන් මෙන් තමා නිවැරදියැයි සිතන අහංකාර අය නොවනු ඇත. ඔවුහු අවිධිමත්, තාරුණ්‍යයෙන් හා ජීවයෙන් පිරි, එමෙන්ම තමන් ටිකෙන් ටික දේවල් තේරුම් ගනිමින් යන පිරිසක් බව පිළිගන්නවා ඇත. මේ මිත්‍රත්ව සංසදයට ඔබ ප්‍රිය කරනු ඇත. පාසලේ ඔබේ සමාජ ජීවිතය වැඩිහරියක්ම පිරෙනු ඇත්තේ මේ මිනිසුන්ගෙන්ගෙනි. එහෙත් තවමත් විශ්වාස නොකරන්නකුව සිටින ඔබ දෙවියන් වෙනුවෙන් නොව මිනිසුන් වෙනුවෙන් මිත්‍රත්ව රැස්වීම්වලට යනු ඇත.

ඔබ මුල්වරට ප්‍රේම හමුවක් යොදාගනු ඇත. එය ඉවරවනු ඇත්තේ නරක ලෙසයි. ඔබ ඊට සමාන සබඳතා ඇති අය නිරීක්ෂණය කරනු ඇත. වයසින් වැඩෙන අතර ඔබට දකින්නට ලැබුණු ආයතනගත ලිංගික නැඹුරුතාව සඳහා නමක් දැමීමට ඔබට හැකිවනු ඇත. ඔබ නිකම්ම සිටීම හෝ ඊට සහාය දීම නොකරනු ඇත. ඔබට සමාන සිතුම් පැතුම් ඇත්තන් මුණ ගැසේවි. ඔබට විරුද්ධ පාර්ශවය ඔබ මත විවිධ අපහාසාත්මක ලේබල අලවනු ඇත්තේය. ඉඳහිට ‘මායාකාරිය’ යන වචනය අන් සියල්ලට ඉහළින් සිය හිස ඔසවා බලනු ඇත. ඊට විරෝධය පෑ විටදී එම වචනය භාවිත කළවුන් ඊට සමාව යැද, එවැනි කෝපාවිෂ්ට වචන හුවමාරුවකදී එවැන්නක් පාවිච්චි කිරීම ගැන දෝෂාරෝපණය කරනුද ඇත. ඒ නම්බු නාමය පිළිබඳව ආඩම්බර වීමට ඔබ උගනිනු ඇත. ඒ වචනය ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීමට විරුද්ධවාදීන් උසිගැන්වීම අභ්‍යන්තරයෙන් එන ආඩම්බරකාර හැඟීමක් ජනනය කරන්නක් වනු ඇත.

ගෙදර තත්වය හොඳ අතට නොහැරෙනු ඇති අතර, සිදුවනු ඇත්තේ කතාබහේ අඩුවීමක් පමණය. ඔබේ පියා වඩ වඩාත් වයස්ගත වී, රාත්‍රිය නිවසින් පිටත ගතකිරීම ඔහුට වෙහෙසකර දෙයක් වනු ඇත. ඔහු පවුල් රැස්වීම් තැබීම හෝ ඒවාට සහභාගි වීම නවතා දමනු ඇත. ඔබත් ඔබේ මවත් ‘අවසානයේදී ඔහුගේ ආත්මය දමනය කිරීමට සමත් වූයේ යැයි’ ඔහුගේ නෑයින් කියනු ඇත. ඔබ වැඩුණු ගැහැනියක බවට පත් වෙද්දී, මායාකාරියකගේ දුවක් වීමට වඩා ඉහළ වූ පිළිගැනීමක් ඔවුන්ගෙන් ඔබට ලැබෙනු ඇත. සාප කිරීමටත්, දරුගැබ් බන්ධනය කිරීමටත් ඔබේම වූ හැකියාවක් ඇති අංග සම්පූර්ණ මායාකාරියක ලෙස ඔබව සැලකෙනවා ඇත. ගැබ්ගෙන සිටින අවස්ථාවලදී ඔබව මඟහැර සිටින ලෙස ඔබේ ඥාති සොහොයුරියන්ට උපදෙස් ලැබෙනවා ඇත. ඔබ වඩාත් කිට්ටු සම්බන්ධකම් පවත්වනු ඇත්තේ ඔබේ මවගේ පවුල සමඟය.

ඔබ ඔබේ වෘත්තිය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇත. මුදල් යහමින් ලැබෙනු ඇත. ඔබේ පියාගේ නෑයින් ඉරිසියාවෙන් බලනු ඇත. ඔබ ‘උසස්වීමක්’ වෙනුවෙන් ඔබේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට පූජාකොට තිබෙන බැවින් ඔබට කසාද බැඳීමට නොහැකි යැයි ඔවුන් කියනවා ඇත. මායාකාරියන්ගේ සංවිධානවල අභ්‍යන්තරයේ සිදුවන මෙවැනි දේවල් ගැන ඔවුන් ඒතරම් හොඳින් දැන සිටින්නේ කෙසේදැයි ඔබ පුදුමයට පත්වනු ඇත. විවාහ වීමට ඔබේ සූදානමක් නැති බැවින් ඔවුන් කුමක් සිතන්නේද යන්න ගැන ඔබ කරදර නොවනු ඇත. හැම මිනිහාම එකයැයි ඔබ කල්පනා කරනු ඇත. ඔබේ ස්ත්‍රීවාදී සංසදය තුළදී ඔබට පිරිමියකු හමුවනු ඇත. ඔහු වෙනස් එකෙකු වනු ඇත. ඔබ ඔහු සමඟ විවාහ වනු ඇත. 

ඔබ ඔබේ වයස්ගත අම්මා ඔබේ නිවසට ගෙන්වා ගනු ඇත. ඔබ දෙදෙනාගේ ජීවිතය ගැන තොරතුරු වැඩි වැඩියෙන් ඔබ අතර හුවමාරු වනු ඇත. ඈ දුර්වල තැනැත්තියකැයි සිතමින් ඈ පිළිබඳ නුරුස්නා හැඟීමක් ඔබ තුළ ඇතිකරගෙන සිටි බව ඔබට අවබෝධ වනු ඇත. ඔබ ඈට සමාව දෙනු ඇත. ඔබට දූවරුන් දෙදෙනෙකු ලැබෙනු ඇත. ඔබේ සැමියාගේ පවුලේ උදවිය ඔබට නපුරු වූවද, ඔවුන් ආ කල ඔබ ඔවුන්ට හොඳින් සලකනු ඇත. කල්යාමේදී ඔබේ අම්මා ඔබට පුතකු ලබාදෙන ලෙස යාඥා කරනු ඔබේ දූවරුන්ගේ කන වැකෙණු ඇත. 

දරුව, මේ ඔබ විසින් ගෙවනු ඇත්තා වූ ජීවිතයයි. මෙහි කිසියම් කොටසක් ඔබට අපැහැදිළි නම්, පැහැදිළි කරගැනීම සඳහා අවශ්‍යනම් නැවත වරක් ඒ කොටස කියවා බලන්න. ප්‍රශ්න නැතිනම් ඔබට ඉදිරියට යා හැකිය. ලෝකය ඔබ එනතුරු බලා සිටී. දරුව, මම ඔබට සුබ පතමි!


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.