කටුරොද ගමේ අසූ වසක පෙම් කතාව…

-මොහාන් ධර්මරත්න.

ගොඩ මඩ දෙකම සරුසාරය පල බර           ය

කටුරොද ගම්මාන තරමක පිටිසර    ය

මේ ගම මැදින් ගලනා ගඟ මනහර   ය

කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවර  ය

අටකලන්කෝරළේ ප්‍රාඥයා ලෙස ප්‍රසිද්ධියට පත් හද්දා පිටිසර ගැමියා, පරිසරයට ඇලුම් කළ කවියා, විප්ලවවාදියා ආචාර්ය සාගර පලන්සූරිය, කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටි යුගයේ අවසන් කාලයේ රසවත් කවි කතාවක් පද බැන්දේය. පැදි 136 කින් යුත් එහි මුල් පැදියෙන්ම පාඨකයාගේ සිත පිටිසර ගම්මානයක තනිකරවීමට සමත්වන ඔහු ඊට තැබුවේ පරපුරු හතරක ආදරය දිනූ ‘සුදෝසුදු’ යන නමයි.

සිය නමේ ඉංග්‍රීසි මුල් අකුරු වන KAS යන්න එක්ව කියවීමේදී උච්ඡාරණය වූ ‘කේයස්’ හඬ අන්වර්ථ නාමයක් ලෙස යොදාගනිමින් සාහිත්‍යකරණයේ යෙදුණු කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන් අතින් ‘සුදෝසුදු’ ලියැවුණේ ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබෙන්නට අවුරුදු 5 කටත් වැඩි කාලයකට පෙර විය යුතුය. 1943 ජනවාරි පළමුවැනිදා, ආනන්ද සාගර හිමියන් තිස්පස් හැවිරිදිව සිටියදී මුද්‍රණයෙන් පළ කළ ‘සුදෝසුදු’ ලාංකිකයින් ආදරයෙන් වැළඳගත්තේ එහි එන පිටිසර ගැමි පරිසරයේ අලංකාර වර්ණනාවන් මෙන්ම, එතෙක් අපේ සාහිත්‍ය රසිකයන් රස නොවිඳි පන්නයේ අලුත්ම තුන් කොන් ආදර අන්දරයක නැවුම් සාහිත්‍ය රසයක් එතුළින් වෑහුණු නිසාවෙනි.

‘හීන් මැණිකෙ මගෙ’ කියමින් කී ටිකි          රී

බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදි           රී

බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදි    රී

පත් වූ කීප වේලාවක මේ ළදැ         රී

ගහගන්නට එපා දෙන්නාටම බිරි                ඳ

වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙ    ද

සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොක      ද

කියමින් සැනසුවා සුමිහිරි බස් බොළ          ඳ

කුඩා වියේ සිටම එකට කෙළිසෙල්ලම් කළ ගමේ ගොවියකුගේ පුතකු මෙන්ම ශක්තිමත් තරුණයකු වන අදිරියන්, ගමේ නිල බලය හිමි පවුලක නුවණක්කාර පුතකු වන ටිකිරි සහ රූමත් ගැමි තරුණියක වන හීන් මැණිකේ අතර ඇතිවන තුන් කොන් ප්‍රේමය ටිකිරිගේ මෙන්ම අදිරියන්ගේත් ආත්ම පරිත්‍යාගයන් අතරින් ගලා ගොස් ඔවුන්ගේ අඳ පුත්‍රයාට සෙවන සලසන අයුුරු කේයස් කිවියාණන් අතින් නිර්මාණය වන්නේ අතිශය සුන්දර මනෝභාවයන් පාඨකයා තුළ දනවමිනි.

සම්මානනීය බ්‍රිතාන්‍ය කවියකු වූ ඇල්ෆ්‍රඩ් ටෙනිසන් 1864 දී පළ කළ ඊනොක් ආඩ්න් (Enoch Arden) නැමැති කවි කතාව ඇසුරෙන් කේයස් ‘සුදෝසුදු’ පබැඳූ බව ඊට ප්‍රස්තාවනාව ලියන මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ පවසති. ඉංග්‍රීසි බසෙහි හසල දැනුමක් තිබූ ආනන්ද සාගර හිමියන්ගේ සිත ඊනොක් ආඩ්න් වෙත ඇදීගොස් තිබුණා විය හැකිය. එහෙත් ‘සුදෝසුදු’ කිසිසේත්ම ඊනොක් ආඩ්න් කොපි කිරීමක් නොවූ අතර, කිහිප ආකාරයකින් ඇල්ෆ්‍රඩ් ටෙනිසන්ගේ කිවියාව අභිබවා යාමක්ද විය.

‘සුදෝසුදු’ කවෙහි පරිසර වර්ණනා පැදි මුඛ්‍ය කතාවේ ගලායාමට උදව්වක් කරගන්නවා විනා, කතාව පරයා නැඟෙන විසිතුරු කැටයම් හැටියට කවිකාරයාගේ දස්කම් ඔප්නැංවීමට යොදා නොගැනීම අතින් කේයස්ගේ කවීත්වය ටෙනිසන්ට ඉහළින් සිටින බව කිව හැකිය. හීන් මැණිකේට විවාහ යෝජනාවක් කිරීමේ අටියෙන් ඇගේ මව හමුවන්නට අදිරියන් නිවසට එන සැන්දෑ කාලය කේයස් අතින් මැවෙන්නේ මෙසේය:

අඳුරින් වැසුනු අහසෙහි බබලන තරු              ය

කුසුමින් හඬක් නැත බඹරුන්ගෙන් දුරු       ය

සුවඳින් මුසුව එන මඳනල පියකරු              ය

මෙය හැන්දෑවෙ කටුරොද අද තොරතුරු      ය

තමා විවාහ වන්නේ අදිරියන් සමඟද, නැතහොත් ටිකිරි බණ්ඩාර සමඟදැයි මානසික ගැටුමකට මැදිවන හීන් මැණිකේ, අවසන අදිරියන් තෝරා ගන්නීය. කුඩා කල සෙල්ලම් තරගවලදීද අදිරියන්ට පරදින ටිකිරි, මෙවරද පරාජය බාර ගන්නේ හීන් මැණිකේට ආදරය කළද අදිරියන් කෙරෙහි ඊර්ෂ්‍යා නොකරමින් ඔවුන්ගේ ජීවිතයට නිහඬව සුබ පතමිනි. 

ඔහු හා සැපෙන් උඹ වෙසෙතැයි තුටු වුයෙ   මී

වටින් පිටින් මම විපරම් කර බැලි               මී

මගෙ ආලයට නැඟිටින්නට නොම දුනි        මී

එතෙක් මෙතෙක් මගෙ තනිකඩ බව රකි     මී

එනමුත් හීන් මැණිකේටත් අදිරියන්ටත් ලැබෙන්නේ අඳ දරුවෙකි. අදිරියන් ලෙඩවීම සහ, පසුව රැකියාවක් සොයා නිවසින් පිටවී යාමෙන් පසු වසර ගණනාවකින් ආපසු නොපැමිණීමත් නිසා හීන් මැණිකේ තනිවම ජීවිතයට මුහුණ දෙන්නීය. ටිකෙන් ටික වැඩෙන ඔවුන්ගේ අඳ පුත්‍රයා සම වයස් යහළුවන් කතා කරන ඔහුට නොතේරෙන දේ ගැන මෑණියන්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව පාඨකයාගේ නෙතට කඳුළු නංවන ආකාරයකින් නිර්මාණය කරන්නට කේයස් සමත් වෙයි. 

‘මල් ලස්සනයි හොඳ හොඳ පාටයි’              කීවා

‘පෙණෙනවා’ ‘දකිනවා’ කියනා     ඒවා

මොනවද අම්මෙ මම අහගන්නට     ආවා

තෝරා දෙන්න මම දන්නේ නැහැ       මේවා

උණුසුම දැනේ දහවල මට රැයට                  වඩා

වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට       වඩා

මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු     කුඩා

ලොකු වෙනකොට දැනේවිද මම අසමි         අඬා

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ        ක

මට දැනෙනවා එය අල්ලන හැම විටෙ              ක

‘පාට’ කියා ඇත්නම් ගතියක් මලෙ              ක

අම්මේ අත නොගෑවෙන එක තමයි දු               ක

අඳ දරුවාගේ ප්‍රශ්න ඇසීම නිසා දුක්වන හීන් මැණිකේගේ දෑසින් වැටෙන කඳුළු බිඳු කුඩා පුත්‍රයාගේ අත දිගේ ගලා යද්දී, අම්මාගේ හැඬුම තේරුම් ගත නොහැකි වූ ඔහු කියන කවිය තවත් දුක්බරය, එමෙන්ම අතිශයින් නිර්මාණශීලීය.

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු                 සලා

මට දැනෙනවා යයි මගෙ අත දිගට              ගලා

නාඬන් අම්මෙ නාඬන් මම විහිළු                කළා

එන්ටද ගොසින් බොරු කී කොල්ලන්ට        තළා

අඳ දරුවාගේ ප්‍රශ්න වැල කියැවෙන මේ පැදි පෙළ කේයස්ගේ ප්‍රතිභාව පෙන්වන කැඩපතක් බඳු විශිෂ්ට නිර්මාණයකි. ගමේ සොබා සෞන්දර්යය වර්ණනා කරමින් හීන් මැණිකේ ගැන කියන 99 සිට 102 දක්වා පැදි පෙළ විදහා දක්වන්නේ කේයස්ගේ භාෂා හැසිරවීමේ අපූරුවයි.

රුවැත්තියක් මුත් කුලදම් සිරිත්                  සෙවී

ඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත්      තිවී

ජගත් සිරී ඈ වෙනුවෙන් අලුත්                   වෙවී

අදත් කියයි රස සංගීතවත්                         කවී

අව්‍යාජ ගැමිකම අතරින් පහළවූ අකලංක ප්‍රේමයක් සහ ඒ වෙනුවෙන් දෙදෙනෙකු කළ පරිත්‍යාගය ගැන කියැවෙන ‘සුදෝසුදු’ කාව්‍ය වෘත්තාන්තය, ගැමි ජීවිතයේ සරලබවට ගැලපෙන සරල කවි බසකින් රචනා වීම එය ලාංකීය රසිකයන් අතරට වේගයෙන් ගමන් කර ඔවුන් සිත් ඇද බැඳ ගැනීමට සමත් වීමේ රහස වේ. එක්තරා ආකාරයකින් ශෝකාන්තයක් යැයි කිවහැකි ‘සුදෝසුදු’ අවසානයේදී සිතට දනවන්නේ දරාගත නොහැකි ශෝකයක් නොව, ඊර්ෂ්‍යාව සහ මාත්සර්යයෙන් තොර පරිත්‍යාගශීලී ප්‍රේමයක සුපහන් හැඟුම්ය.

වලව්වේ ඉදිරිපිට වත්තේ කොණ                ක

අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැල         ක

මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙ        ක

මල් පහන් පුදනු කාටත් බැලිය හැ               ක

1961 අවුරුද්දේ ජූනි මස 22 වන දා කේයස් හෙවත් සාගර පලන්සූරිය කිවිඳුන් අප අතරින් වියෝ විය. ‘සුදෝසුදු’ කථාන්තරය ලාංකිකයාගේ සිත් තුළ මැව් චමත්කාරය භාෂා, ජාති, ආගම් බැමි විනිවිද ගිය හැටි කියන්නට මෙන් ඊට අවුරුදු හතරකට ආසන්න කාලයකට පසු, එනම් 1965 දී රොබින් තම්පෝ අතින් සිනමාවට නැඟුණේය. ‘සුදෝසුදු’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ රොබින් තම්පෝ යාපනය මධ්‍ය විද්‍යාලයේ (Jaffna Central College) සිසුවකුව සිටි අවධියේ සාගර පලන්සූරිය කිවිඳු ගුරුවරයකු ලෙස යාපන විද්‍යාලයේ (Jaffna College) සේවය කිරීමද දෛවෝපගත සිද්ධියකි. ආදායම් වාර්තා තැබූ ‘සුදෝසුදු’ කලු-සුදු චිත්‍රපටයේ අදිරි ලෙස ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතයට පණ පෙවූ අතර, හීන් මැණිකේ ලෙස සුවිනීතා වීරසිංහ චරිත නිරූපනය කළාය. සංගීතවේදී සෝමදාස ඇල්විටිගල සිනමා සංගීත නිර්මාණයට රැගෙන ආවේ ‘සුදෝසුදු’ චිත්‍රපටයෙනි. චිත්‍රපට නිෂ්පාදකවරයකු වන තිමති වීරරත්න සිනමාවට පිවිසියේද ‘සුදෝසුදු’ හි කැමරාකරණයෙනි. චිත්‍රානන්ද අබේසේකරගේ ගී සහ සාගර පලන්සූරියගේ කවි ඩබ්ලිව්. ඩී. අමරදේව, ලතා සහ ධර්මදාස වල්පොළ, සුජාතා පෙරේරා (අත්තනායක), නාරද දිසාසේකර සහ මිල්ටන් පෙරේරා ගේ හඬින් ගායනා වුණි. ඉන් නොනැවතී, ‘සුදෝසුදු’ 1998 අවුරුද්දේ පරාක්‍රම නිරිඇල්ලගේ අධ්‍යක්ෂණයෙන් ටෙලි නළුවක් බවටද පත් විය. එය මහකෙහෙල්වලදී රූගත කෙරුණේ TVT සමාගමේ නිෂ්පාදනයක් ලෙසිනි. හර්ෂ බුලත්සිංහල මෙහි අදිරියන්ගේ චරිතය නිරූපනය කළේය. 

‘සුදෝසුදු’ කවෙහි අලංකාර පැදි බොහොමයක් අද පවා අප මතකයේ රැඳී තිබෙන්නේ කටපාඩම් කිරීමෙන් නොව, කුඩා කල කිහිප වතාවක් ඇසූ-කියැවූ පමණකින් ඒවායේ ඇති කවි රසය සහ මනරම් භාෂාව අප තුළ ජනිත කළ ආශ්වාදය සහ කම්පනය නිසාවෙනි. ඒ ඇසුරෙන් කළ සිනමා සහ ටෙලි නිර්මාණයද පොදු ජනතාවගේ සිත් සතන් තුළ ගැඹුරින් පැළලදියම් වන්නට සමත් වූ බවද කිව යුතුය. ‘සුදෝසුදු’ කාව්‍යය ප්‍රකාශයට පත්වී 2023 ජනවාරි පළමුවැනිදාට අවුරුදු අසූවක් සපිරෙන මුත්, අද පවා ඉන් හැඟෙන, දැනෙන නැවුම් රසවත් හැඟීමෙහි කිසිදු අඩුපාඩුවක් නැත්තේය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.