ඉන්දියානු කෘතහස්ත ලේඛකයෙකු වන අමිෂ් ත්‍රිපති වඩාත් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ ශිව දෙවිඳු අලලමින් ලියූ නවකතා ත්‍රිත්වයෙන් වූවත්, ඊට අමතරව ඔහු විසින් සම්භාව්‍ය රාමායණ කථාවස්තුවද නව ෆැන්ටසි හැරවුමකින් යුක්තව ඉදිරිපත් කිරීමට ඔහුගේ රාමචන්ද්‍ර නවකතා මාලාවෙන් උත්සාහ දරයි. මෙය සැබවින්ම ශිව ත්‍රිත්වයේ කථාවට පෙර ඈඳුණු නවකතා මාලාවක් ලෙසින් හැඳින්විය හැකි වේ, මෙහි පළමුවැන්න වනScion of Ikshvaku 2015 වසරේදී එළිදැක්වුණි. අමිෂ් ත්‍රිපති විසින් හින්දු දේවධර්මයේ එන චරිත සහ කතාවස්තූන් ෆැන්ටසිමය විශ්වයක තබා ඉදිරිපත් කළත්, ඔහු සැබවින්ම අදේවවාදියෙකු වීමද එක්තරා උත්ප්‍රාසයකි. ලාංකීය අපට අමිෂ්ගේ කෘතීන් වඩාත් සමීප වනු ඇත්තේ, හින්දු දේවධර්මය ශ්‍රී ලංකාවේ අපටද ආගන්තුක නොවනා නිසාවෙන්ම වේ. අමිෂ් ත්‍රිපති කියැවීම ආරම්භ කරන්නෙකුට ඔහුගේ ශිව ත්‍රිත්වයේ පළමු කෘතිය වන Immortals Of Meluha හොඳ අත්දැකීමක් වනු ඇත.
ඕම්… ත්‍රියම්භකම් යජාමහේ
සුඝන්ධිම් පුෂ්ටි-වර්ධනම්
ඌර්වාරුකමිව බන්ධනම්
ම්‍රිත්යෝර් මුක්ෂීය මම්රිතාත
~ මහා ම්‍රිත්යුන්ජය මන්ත්‍ර: සෘග්වේද
ශිව යනු නිර්මාපකයායි, නාශකයායි. ශිව යනු රූපාන්තරණයේ විශ්වීය සංකේතයයි.
හින්දු මිත්‍යා විශ්වාසයන් විෂයෙහිදී පවා ශිව යනු ත්‍රිමූර්තියෙන් පමණක් නොව අනෙකුත් සුවිශේෂ, අවශේෂ දේව මණ්ඩලයෙන් වෙන්ව කැපී පෙනෙන්නාවූ, චින්තනමය කුතුහලය අවුස්සන්නා වූ චරිතයයි. විශේෂයෙන්ම ශිවගේ පරමෝත්තම භාවය, මුරණ්ඩු භාවය සහ යෝගාවචර පරිචයන් පෙන්වන්නේ උත්තරීතර මහදෙව් වීමේ අධිපතිවාදී භාවය නොව තමන්ට තමන් පමණක්ම වග කියනා, අසම්ප්‍රදායික භාවයයි. කොටි සමින් සැරසී විටෙක භාවනායෝගයෙන් පසුවෙමින්, විටෙක ප්‍රේමයෙන් ඇළලෙමින්, විටෙක සංග්‍රාමභූමියේ සතුරන් බියෙන් මුසපත් කරමින්, තවත් විටෙක කෛලාශකූටයේ හිඳ ත්‍රෛලෝක විජය පත්‍රම් ධූමාශ්වාදයෙන් ඒකාත්මිකත්වය සොයමින් පසුවෙන නීලකණ්ඨ නොහොත් ශිව යනු සැබවින්ම හින්දු දේවධර්මයේ බොහිමියානුවා වෙයි.
ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ දෙවියන් විසින් ක්‍රමය නිරූපණය කරනා අතරේ ශිව වැනි බොහිමියානුවෙකු දක්නට ලැබීමම හින්දු දේවධර්මයේ ගැඹුරු දාර්ශනික ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරවන්නා වූ සාධකයකි. ශිව යනු ග්‍රීක හෝ රෝම මිත්‍යා කතාන්තරයක මනුෂ්‍යයෙකු වූවා නම් අනිවාර්යයෙන්ම ඔහු ඇනාර්කිස්ට් කෙනෙකු ලෙසින් හංවඩු ගැසී දේව උදහසට පාත්‍ර වනු ඇත.
ඉන්දියානු ජාතික අමිෂ් ත්‍රිපති විසින් සිය ශිව තුන් ඈඳුතු නවකථා ත්‍රිත්වයට මුල් කරගන්නේ මෙම හිතුවක්කාරී, නිර්භය, සංග්‍රාමශූර ගෝත්‍රික නායකයෙකු, සාමාන්‍ය මනුෂ්‍යයෙකු වූ ශිවයි. ඇසිරියානුවන් මෙසපොතේමියාව හා ඒකාබද්ධ වූ ක්‍රිස්තු පූර්ව 1900 කාලය සිය කථාන්තරයේ පසුතලය ලෙසින් ගන්නා අමිෂ් විසින් දේව මණ්ඩලයට එක්වීමට පෙරාතුව මනුෂ්‍ය නායකයෙකු ලෙසින් උත්තම වූ රණශූරයෙකු, ශිව නමින් මවා පෙන්වයි.
අමිෂ් විසින් මෙහිදී සිය කාල්පනික චිත්‍රය මැවීම සඳහා හින්දු දේව කථාන්තරයන්හි එන සෑම සියළු අංගෝපාංගයක්ම වහල් කරගන්නා’තර, ඔහු සිය මූලික පදනම ලෙසින් තෝරාගන්නේ අයෙකුට සිය ක්‍රියාවන් (කර්ම) තුළින් දේවයකු පමණක් නොව මහදෙව් පවා විය හැකි බවට වේදයේ පැමිණෙන මතාන්තරයයි.
අමිෂ් විසින් ගොතනා මෙම කථා ත්‍රිත්වයේ මුල් කථාව වන The Immortals Of Meluha නවකථාවට අනුව ශිව යනු තිබ්බතීය සම්භවයක් සහිත ගෝත්‍රික නායකයෙකි. ඔහු නොදැන සිටියත් මේ වනවිට සූර්යවංශිකයින් හා චන්ද්‍රවංශිකයින් අතර බිහිසුණු යුද්ධයක් හට ගෙන තිබේ. මෙය සූර්යවංශිකයින්ට අවාසිදායක වන්නේ ඔවුන්ගේ රාජ්‍යයේ ප්‍රධාන තැන් ගන්නා සරස්වතී නදියද කෙමෙන් මියැදෙමින් පවත්නා නිසාවෙනි. මේ අතර සූර්යවංශික නායක ‘දක්ෂ’ රාජයින් විසින් සියලුම ගෝත්‍රයන් සිය ධජය යටතේ එකමුතු කරන්නේ නිරනුමාන විනාශයට මුහුණ දෙනු පිණිසයි. මේ ආරාධනාවක් යටතේ සූර්යවංශිකයින්ගේ මෙලුහා පුරප්‍රවරයට සිය ගෝත්‍රය සමගින් යන ශිව, පුරාතන අනාවැකි සනාථ කරමින් විගසින්ම සූර්යවංශිකයින්ගේ ශූරයා බවට පත්වේ. කෙසේ නමුත් නාගයින්ද සමගින් සූර්යවංශිකයින්ට විරුදුව සටන් වදිනා චන්ද්‍රවංශිකයින් පරදවා තම පසට විජයග්‍රහණය ගෙන එන්නට ශිව හට හැකිවනු ඇතිද? තමන්ගේ දෛවය සූර්යවංශික අනාවැකි හා පමණක් නොව, චන්ද්‍රවංශික අනාවැකි සමගින්ද බැඳී ඇති බැව් දැනගැනුම ශිවගේ ගමන වෙනස් නොකරනු ඇතිද? අවසානයේ තමන් හා ප්‍රේමයෙන් වෙළී ගිය කුමරිය හා එක් වන්නට ශිවට හැකිවනු ඇතිද? අමිෂ් විසින් The Immortals Of Meluha නවකථාවෙන් විස්තරාත්මකව ගෙන එන්නේ මෙයයි.
මෙහිදි අමිෂ් විසින් හින්දු දේවකථා පුරාණයේ එන බොහෝ සිදුවීම් හා දේවගණයා රිසිසේ තමන්ගේ කථාව තුළ වෙනස් අර්ථයන් ගෙන ඒමට යොදාගෙන තිබේ. සැබවින්ම අමිෂ්ගේ කථා කීමේ භාෂාව සමගින් අනුගත කොටගෙන තිබෙනා ඔහුගේ කථා මැවීමේ විලාසය එයයි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් මන්දර පර්වතය මත් දඬුව ලෙසින් ගෙන කිරි සයුර කැළඹවීම, හළාහල විෂ පානයෙන් ශිවගේ ග්‍රීවය නිල්වන් වී ඔහු නීලකණ්ඨ යැයි නම් ලැබීම, කිරි සයුරින් සෝමරසය හෙවත් අමෘතය මතුවීම ආදී සිදුවීම් අමිෂ් විසින් සිය කථා රේඛාවේ තැන් තැන් වල සිදුවීම් පිරිද්දීම සඳහා සරලවම භාවිතා කරයි.
මෙහිදී අමිෂ් විසින් සිය කථාව ගෙතීම සඳහා අමුද්‍රව්‍ය ලෙසින් රිසිසේ හින්දු දේව පුරාණය භාවිතා කරනු විනා, හින්දු දර්ශනය ආශ්‍රය කරගනිමින් යටිපෙළක් මැවීම සඳහා කිසිදු උනන්දුවක් නොදැක්වීම, වඩාත් බැරෑරුම් කියැවීමක් අපේක්ෂා කරනා පාඨකයෙකු ගේ සිත් නොගනු ඇත. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් සෝමරසය හෙවත් පුරාතන ඉන්දියාවේ පමණක් නොව පූර්ව ඉන්දු-ඉරානීය සංස්කෘතීන් තුළ පවා දක්නට ලැබෙනා සෝම පානය (අම්රිතා/අමෘතය) සැබවින්ම සංකේතවත් කරන්නේ විශ්වීය සන්තුෂ්ටියයි. අමිෂ් මෙය සරස්වතී නදී ජලයෙන් තනනා අමරණීයත්වය ගෙන දෙන පානයක් ලෙසින් වචනාර්ථයෙන් පමණක් ගනී. කථාව ආරම්භයේදී ශිව, මනසරෝවර් විල (මානස විල?) අභිමුව සිට වේගයෙන් දිවයන වළාකුළින් ගහණ රඹ පෑ අහස දෙස බලා හිඳිමින් ත්‍රෛලෝක විජය පත්‍ර ධූමයෙන් අස්වැසිල්ල සොයනා බව පවසන අමිෂ් අමතක කරනු ලබන්නේ මෙක්සිකානුවන්ට පෙයොට් මෙන්, විශ්වය හා ඒකාත්මීය අත්දැකීමක් ලැබීම සඳහා ගංජා භාවිතය සම්බන්ධයෙන් වන අතීතයක් පෙරදිග ලෝකයට තිබෙනා බවයි. මේ උදාහරණ කිහිපයක් පමණි.
එසේම හින්දු දේවධර්මය හා සැසඳීමේදී අනුගත නොවනා තැන්ද මෙහි දක්නට ලැබේ. උදාහරණයක් ලෙසින් ගත්විට සූර්යවංශික අමරණීයයන්ගේ මෙලුහා පුරය රාම් දෙවිඳුන්ගේ නිර්මාණයකි. කථා ත්‍රිත්වයේ පළමු කොටස අවසානයේදී ශිව රාම් දෙවොලට යයි. එසේ නමුත් මෙම රාම් යනු විෂ්ණු අවතාරය වන රාමා ලෙසින් සැලකුවහොත්, හින්දු පුරාණයේ සමස්ත කාල රේඛාවම මෙම සඳහනින් අවුල් වී යයි. වාල්මිකී රාමායණයේ එන ලෙසට යුධයට යන රාමා විසින් රාමේෂ්වරමේදී ශිව දෙවිඳු නමස්කාර කරයි!
කෙසේ නමුත් මෙම කරුණු කාරණා පසු කර බැලූ විට සැබවින්ම The Immortals Of Meluha යනු දක්ෂ කෘතහස්ත නිර්මාණයකි. මෙය ජනප්‍රිය ශානරයට ගැලපෙන, ‘ෆික්ෂන්’ එකක් ලෙසින් මිස කිසිසේත්ම ඓතිහාසික නවකථාවක් ලෙසින් හැඳින්වීමට මම අකැමැත්තෙමි. අමිෂ් ත්‍රිපතිගේ සිත් ඇදගන්නා සුළු කථා කීමේ හැකියාව නිසාවෙන් මෙය අතට ගන්නා ඔබට කියවා අවසන් කර මිස පොත බිමින් තැබීමට සිත්නොදෙනු ඇත. ඔබට හින්දු දේව පුරාණය ගැන කිසිදු අදහසක් නොමැතිව වුවද ගැටළුවකින් තොරව මෙම ශිව ත්‍රිත්වය රසවිඳීමට හැකියාව ලැබෙනු ඇත. අමිෂ් විසින් ඒ සඳහා වැඩිමනත් උපකාරයක් ලෙසින් උපග්‍රන්ථයක්ද ඇතුලත් කොට තිබේ.
මෙම ශිව නවකථා ත්‍රිත්වයේ ඉදිරි කොටස් වන්නේ පිළිවෙලින් The Secret of the Nagas සහ The Oath of the Vayuputras යන නවකථා වේ.
පැතුම් පුංචිහේවා
ගෝ සඟරාවේ මින් පෙර පළ වූවකි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
