පොත් ගුල්ලන්ට තමන්ගේ පොත් ආරක්ෂා කරගන්න උපදෙස් කිහිපයක්

පොත් කියවන්න ආස අයටත්, පොත් එකතු කරන්න ආස අයටත් මතුවෙන පොදු ගැටළුවක් වෙන්නේ තමන්ගේ පොත් ආරක්ෂාකාරීව තබාගැනීම කියලා කියන එක බොරුවක් නෙවෙයි. විශේෂයෙන්ම සමහර පොත් එකතු කරන්නෝ තමන්ගේ පොත් එකතුව පිරික්සලා බලන්න උනන්දු වෙන්නෙත් කාලාන්තරයකට වරක් නිසා, තමන් නොදැනම පොත් එකතුව සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා යන්න තියෙන ඉඩ වැඩියි.

ඒ නිසා, පොත් කියවන්න වගේම පොත් එකතුවක් පවත්වාගෙන යන්නත් ආස කරන අයට, තමන්ගේ පොත් එකතුව ආරක්ෂා කරගන්න ප්‍රායෝගික උපදෙස් කීපයක් තමයි මේ.

පොත් රාක්ක

ගොඩක් වෙලාවට පුස්තකාලයක් කියලා කියනකොට වුණත් අපේ ඔළුවට එන්නේ විවෘත ලී රාක්ක වල අහුරපු පොත් ගොන්නක්. නමුත් ලංකාව වගේ රටක අපිට ප්‍රශ්නයක් වුණු දුහුවිල්ල වගේ කාරණාත් එක්ක ගත්තහම, නිරාවරණය වුණු තැනක විවෘත ලී රාක්ක වල පොත් අහුරලා තියනවා කියන්නෙම පොත් වලට සිද්ධ වෙන්න පුලුවන් හානි වැඩි වෙන එක තමයි. නමුත් වායු සමීකරණය කළ හෝ දුහුවිල්ලට කරදරයක් කරන්න බැරි විදියට මනාව ආවරණය කරලා තියෙන කාමරයක නම් විවෘත ලී රාක්ක ගැටළුවක් වෙන එකක් නැහැ.

එහෙම නැතිනම් සාර්ථක වෙන්නේ වීදුරු දොරවල් තියෙන යකඩ හෝ කුඩු නොහැලෙන ලී වලින් නිර්මාණය කරපු පොත් අල්මාරි භාවිතා කරන එක තමයි. විශේෂයෙන්ම තමන් ලඟ දුර්ලභ පොත් පත් එහෙම තියෙනවා නම්, ඒ විදියේ ආවරණිත පොත් අල්මාරි ඒ දුර්ලභ පොත් පත් වෙනුවෙන් වෙන් කරන එක අනිවාර්ය කාරණාවක්.

මේ විදියට තමන්ට අවශ්‍ය රාක්ක තෝරාගත්තට පස්සේ, ඒ රාක්ක තට්ටු වල නිකම්ම පොත් අසුරන එක නිර්දේශ කරන්න බැහැ. සමහරු පත්තර කොළ රාක්ක තට්ටු වල එළලා ඒ මත පොත් අසුරනවා. නමුත් අපිට අත්දැකීමෙන් නිර්දේශ කරන්න පුලුවන් හොඳ ඝනකම තියෙන ‘බ්‍රවුන් පේපර්’ කියලා පොත් කඩවලින් ලබාගන්න පුළුවන් කඩදාසි ගාණට මිම්මට කපලා පොත් රාක්ක තට්ටු වල එලන එක ඉතාම සාර්ථකයි කියලා. ඒ කඩදාසි වලට පැඟිරි තෙල් මිශ්‍ර කළ බේගෝන් දියරය ස්ප්‍රේ කෑන් එකකින් ඉහලා, ඒ කඩදාසි ගේ ඇතුළේ හොඳින් වේලෙන්න හැරලා පොත් රාක්ක තට්ටුවලට අතුරන එක සාර්ථකයි කියලා ඒ ක්‍රමය ප්‍රායෝගිකව අනුගමනය කරලා බලපු අය උපදෙස් දෙනවා. 

ඒ වගේම සෑම විටම පොත් රාක්කයක පොත් ඇසිරිය යුත්තේ උස් අතට කියන එකත් කියන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම පොත් එක උඩ එක තට්ටු ගහලා තිබීමෙන් පොත් වලට හානි පැමිණෙන්න පුළුවන් ඉඩ වැඩියි. ඊට අමතරව උස් අතට රාක්කයක පොත් අසුරලා තියෙන විටකදී වුණත්, ඒ උඩින් හදිසියට හරි තවත් පොත් කීපයක් හෝ ගොඩගහන එකත් පොත් වලට හානි පමුණුවා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා උස් අතට අසුරලා තියෙන පොත් උඩින් වෙනත් කිසිම දෙයක් නොතබන්නත් වග බලා ගත යුතුයි.

හානිකර කෘමීන් පළවා හරින මග

පොත් අල්මාරියට හෝ පොත් රාක්කයට කෘමින් පැමිණීම වළක්වන්නටත් ප්‍රායෝගිකව සාර්ථක බවට අත්දැකලා තියෙන ප්‍රතිකර්මයක් ගැන අපිට කතා කරන්න පුලුවන්. මේ ප්‍රතිකර්මයට අවශ්‍ය වෙන්නේ ඔය විවිධ වැක්සීන් වර්ග එන කුප්පි කිහිපයක්, මැලතියන් කුඩු සහ කපුරු බෝල තමයි. මුලින්ම කළ යුත්තේ මේ කුප්පි හොඳින් සෝදා වියලා ගැනීම. දැන් මැලතියන් කුඩු සහ කුඩු කළ කපුරු බෝල 1:1 අනුපාතයට අරගෙන, අර කුප්පියේ භාගයක් පමණ පිරෙන්න පුරවා ගන්න ඕන. ඒකට තලපු කරාබු නැට්ටක් දෙකක් දාගත්තටත් ගැටළුවක් නැහැ. දැන් කුප්පිය සීල් කරන්න තියෙන රබර් පියනේ රත් කරපු කටුවකින් සිදුරු කිහිපයක් හදලා, කුප්පිය හොඳින් රබර් පියනෙන් වහ ගන්න ඕන. ඊට පස්සේ මේ කුප්පි හැම පොත් රාක්ක තට්ටුවකම හතර කොණේ කෙලින් අතට තියලා, නොවැටෙන විදියට හොඳින් ටේප් කරගන්න ඕන. මේ මිශ්‍රණය සහිත කුප්පි මාස හයකට වරක් මාරු කළා නම් ප්‍රමාණවත්. මේ සත්කාරයෙන් පසුව පොත් රාක්ක වලට කිසිම හානිකර කෘමියෙක් පැමිණෙන්නේ නැහැ කියලා විශ්වාසයෙන් කියන්නට පුලුවන්.

ඒ වගේම, ආර්ද්‍රතාවයෙන් පොත් වලට සිදුවෙන්න පුලුවන් හානිය වළක්වාගන්න කළ හැකි දෙයක් වෙන්නේ පොත් අල්මාරියේ හැම තට්ටුවකටම එක බැගින් තබාගන්න සිලිකා ජෙල් පැකට් මිලදී ගැනීම. ඉන් පස්සේ පොත් අල්මාරියේ තට්ටු වල සිලිකා ජෙල් පැකට් තැන්පත් කරලා තබාගැනීමෙන් තෙතමනයෙන් පොත් වලට සිදුවෙන්න පුළුවන් හානි වැළකෙනවා.

මේ මැලතියන්-කපුරු කුඩු කුප්පි මාස හයකට වරක් වත් මාරු කරන අතරේ, අවුරුද්දකට වරක් වත් රාක්ක තට්ටු වලට දැමූ, පැඟිරි තෙල්-බේගෝන් ස්ප්‍රේ කළ බ්‍රවුන් පේපර් සහ සිලිකා ජෙල් පැකට් මාරු කළ යුතුයි.  

එහෙම අවුරුද්දකට වරක් පොත් රාක්ක වලට කරන සත්කාරය යාවත්කාලීන කරන අතරතුරේදීම, අපිට පොත් එකතුවේ තියෙන පොතුත් එළියට අරගෙන දුහුවිලි පිසදාලා ආයෙමත් අඩුක් කරන්න පුලුවන් නම් ඉතාම හොඳයි.

පොත් වලට හානි කරන නරක පුරුදු

අපි බොහෝ දෙනෙක් නොදැනුවත්වම ඇබ්බැහි වෙලා තියෙන විවිධ කරුණු කාරණා නිසාත්, අපි ආදරයෙන් එකතු කරන පොත් පත් වලට හානි සිද්ධ වෙන්න පුලුවන්.

ඒකට එක උදාහරණයක් තමයි ආහාර ගන්න අතරේ පොත් කියැවීම. මෙතනදී පොත් කියවමින් ආහාර ගැනීම කියන්නේ කොහොමත් නරක ආහාර පුරුද්දක් කියලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අය කියනවා. ඒක වෙනම කාරණාවක්. ඒ ඇරෙන්න, පොත් කියවමින් ආහාර පාන ගැනීමේදී අපි පොත් පිටු අල්ලන්නේත් ඒ ඇඟිලි වලින්මයි. එතකොට ඒ ආහාර වල තියෙන තෙල් වගේ දේවල් පොත් පිටු වල ඉතාම පහසුවෙන් පැල්ලම් ඇති කරන්න පුලුවන්. ඒ වගේම “වැස්ස වෙලාවක කෝපි බොන අතරේ පොත් කියවන අය” ඉතාම ප්‍රවේසම් විය යුතු කාරණාවක් වෙන්නේ, පොත් උඩ තේ කෝපි හෝ වෙනත් පාන වර්ග හලා නොගන්න තමයි. කෝපි හෝ තේ පැල්ලම් පොතක පිටුවලින් යවන්න බැහැ කියලා ඒ ගැන අත්දැකීම් තියෙන අය දන්නවා ඇති.

ඒ වගේම, අපි කියවන්නට අරගෙන පොත් අල්මාරියට පිටතින් තියෙන පොතක් වුණත් කියවලා අවසන් කරලා ආයෙමත් පොත් අල්මාරියට දාන්න කලින් රෙදි කැබැල්ලකින් දුහුවිලි පිසලා දාන එක හොඳයි.

පොත් කියවීමේ හොඳ පුරුදු

සෑමවිටම පොතක් පොත් අල්මාරියෙන් පිටතට ගැනීමේදී පොතේ බැම්මේ උඩ කොටසින් අල්ලලා එළියට අදින එකෙන් සමහර පොත් වලට හානි පැමිණෙන්න පුලුවන්. ඒ නිසා හරි ක්‍රමය වෙන්නේ පොතේ මැද කොටසින් අල්ලලා පොත එළියට ගැනීම තමයි.

ඒ වගේම පොතක් පෙරළන කොට ප්‍රවේසමෙන් පිටු පෙරළන එකත් හොඳ දෙයක්. ඒ වගේම පොතක් මේසයක් වගේ මතුපිටක තියලා පිටු දෙපැත්තට යන කල් සම්පූර්ණයෙන්ම තද කරලා කියවන්න උත්සාහ නොකිරීමෙන්, පොතේ පිටු බැඳීම කල්පවත්වා ගන්නට පුලුවන්. ඒ වගේම බොහෝ දෙනෙක් අත්දැකීමෙන් කියන දේ වෙන්නේ අත් දෙකම පාවිච්චි කරලා පොතක් කියවන තරමට, පොතේ ආයු කාලය වැඩි වෙනවා කියලා තමයි. එතනදී ඇත්තටම තමන් පොතක් කියවන ඉරියව්ව ගැන වුණත් දෙපාරක් හිතන්න වෙනවා.

සාමාන්‍යයෙන් පොත් කියවන අපි ගොඩක් දෙනෙක් පොතක් බිම වැටෙන්නට නොදී තියාගන්න උත්සාහ කරනවා කියන එක බොරුවක් නෙවෙයි. සමහරුන්ට කුඩා කාලයේ ඉඳලම උගන්වලා තියෙන්නේ පොතක් බිම වැටුණොත් පව් සිදුවෙනවා කියලා. ඒක කොහොම වුණත්, පොත් -විශේෂයෙන් ප්‍රමාණයෙන් සහ බරින් වැඩි පොත්- බිම වැටීම නිසා ඒ පොත් වල පිටු බැඳ තිබෙන බැම්මට හානි පැමිණීම, පිටු ගැලවීම, කවරය තැලී යෑම වගේ උපද්‍රව සිදුවෙන්න ඉහළ ඉඩක් තිබෙනවා.

ඒ හැරුණහම, පොත් වල කියවපු තැන් සලකුණු කරන්නට පිටු වල කොන් නොනැවීම, සෑහෙන්න ඝනකමින් යුතු ‘බුක් මාර්ක්’ පාවිච්චි නොකිරීමත්, පොත් වල ආයු කාලය දීර්ඝ කරන්නට සමත් හොඳ පුරුදු.

තමන්ගේ පොත් තියෙන කාමරයට හිටගෙන පොත් කියවන්නට හැකි ආකාරයේ උස “බුක් ස්ටෑන්ඩ්” එකක් නැතිනම් මේසය උඩ තබාගන්න පුලුවන්, හැකිළිය හැකි “බුක් ස්ටෑන්ඩ්” එකක් මිලදී ගැනීමත්, සෑහෙන්න පමණට පොත් කියවන පාඨකයෙක්ට හොඳ ආයෝජනයක්. 

අපේම පොතක් සම්බන්ධයෙන් වගේම, පුස්තකාලයකින් හෝ වෙනත් කෙනෙකුගෙන් කියවන්නට ඉල්ලා ගෙන එන පොතක් සම්බන්ධයෙන් වුණත්, මේ කියලා තියෙන හොඳ පුරුදු අනුගමනය කිරීමත්, නරක පුරුදු වලින් වැළකීමත් හොඳ පොත් කියවන්නෙකුගේ ලක්ෂණ. “පොත් සමගින් ආත්මීය බැඳීම්” තිබුණත්, පොත් මැනවින් ආරක්ෂා කරගන්නට දන්නේ නැති නම්, ඒක නාස්තියක් බව අවසානයට කියන්නට වුවමනායි. මක් නිසාද කියනවා නම්, අපි ඇත්තටම පොතක් මිලදී ගන්නේ එක් පරම්පරාවකට හෝ දෙකකට නොවෙන නිසායි. 

පැතුම් පුංචිහේවා

මන්ත්‍රණ සිංහල වෙබ් අඩවියේ මින් පෙර පළ වූවකි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment