ජීවිතයේ සත්‍යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි

සෑම දිනයක්ම කෙටි ජීවිතයක්ම වෙයි. සෑම අවදිවීමක්ම ක්ෂුද්‍ර තලයේ උත්පත්තියක්ද වෙයි. සෑම ප්‍රාණවත් උදෑසනක්ම තාරුණ්‍යයක්ද, සෑම නින්දට යෑමක්ම කෙටි මරණයක්ද වෙයි. මෙය ආතර් ෂෝපන්හවර් විසින් නිතර නිතර ඔහුගේ කෘතීන් තුළ ඉඟි කළ කරුණක් වෙයි. ඊට විවරණ සැපයූ මහාචාර්ය ගුණපාල ධර්මසිරි නම්වූ අපූර්ව මිනිසා දීර්ඝ නින්දකට ගොස් ඇත.

මෙවැනි කෙටි සටහනක් සටහන් කරන්නට සිතුනේ මීට සතියකට පමණ පෙර උදෑසනම ලැබුණු පණිවුඩයක් හේතුවෙනි. “මහාචාර්ය ගුණපාල ධර්මසිරි මියගොසින්”! මෙය වඩාත් දැනෙන්නට කරුණු වූයේ මහාචාර්යතුමා හමුවීමට යාමට දිනයක් නියම කරගැනීමට මමත් මිතුරු හෂිත අබේවර්ධත් කතිකා කොටගෙන, මහාචාර්යතුමාගේ දුරකතන අංකයද සොයාගෙන සතියක්වත් නොමැති වීමය. එනම්, එතුමා මියයෑමට සතියකට පෙරාතුවත් මහාචාර්යතුමන් රචනා කළ ෂෝපන්හවර් සහ නීට්ෂේ කෘතිය අරභයා අප සාකච්ඡා කළෙමු.

හෂිත අබේවර්ධන, මහාචාර්යතුමා රචනා කළ ෂෝපන්හවර් සහ නීට්ෂේ කෘතිය අරභයා මෙසේ ලියා තබයි. 

“පුළුලැති මහායානය වෙත නැඹුරු වෙමින් එහි විවිධ සූත්‍ර, සුත්‍රාන්ත, අපදාන ආදිය පෙරලීමට පෙර, මහාචාර්ය කේ එන් ජයතිලකයන්ගේ -Early Buddhist Theory of Knowledge – ආස්වාදයෙන් ‘දාර්ශනික ප්‍රශ්න’ නමින් කෙටි නමුත් මගහැර යා නොහැකි අත් පොතක් රචනා කළ ධර්මසිරි සූරීන් අන් අයුරකින් අප වෙත බලපෑහ. ඒ 1980 දශකයේ තරුණ නැගිටීම් හා ඒවායේ පසු ප්‍රතිඵල කෙරෙහි අනුකම්පාවෙන් 1987 ලියා පළ කළ ‘ශෝපන්හවර් හා නිට්ෂේ’ නම් කුඩා පොත් පිංචෙනි. ඔහු එහි පෙරවදනෙහි ඉතා සාරවත් කාලාම සූත්‍රානුරූප ඡේදයක් බහාලයි.”

“මේ දාර්ශනිකයින් දෙදෙනා කියවීමෙන් අපේ මූලික ප්‍රශ්න වලට ඔවුන්ගෙන් පිළිතුරු හිඟා කෑමට තැත් කිරීම අනුවණ කමකි. ඔවුන්ගේ දර්ශනයන් කියවීමෙන් ප්‍රශ්න පිළිබඳ ඉදිරිපත් කළ හැකි විවිධ දෘෂ්ඨිකෝණයන් පිළිබඳ අවබෝධයක් අපට ලැබෙයි. එම අවබෝධයෙන් ලබා ගත් පාඩම් අනුව අප චින්තනය ස්වාධීනව මෙහෙයවා අපේ ප්‍රශ්න වලට අපෙන්ම පිළිතුරු ලබා ගත යුතුය” – ශෝපන්හවර් හා නිට්ෂේ – පිට 13- ගුණපාල ධර්මසිරි.

මහාචාර්ය ගුණපාල ධර්මසිරි මූලිකවම රචකයා හට හඳුනාගැනීමට ලැබෙන්නේ මහායානික අධ්‍යයනයන් සම්බන්ධයෙන් පතලා වූ දැනුමැති විද්වතෙකු ලෙසිනි. එතුමන් විසින් පරිවර්තනය කරන්නට යෙදුණු හෙවත් තිබ්බතීය මළ පොත මහායාන/වජ්‍රයාන ඈ ධාරාවන් කෙරෙහි උනන්දුවක් දැක්වූ සෑමදෙනාගේම විමසුමට පාත්‍ර වූ කෘතියක් විණි. මෙය මහාචාර්යවරයා විසින් “මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළ පොත” යන මැයෙන් යුතුව පරිවර්තනය කරන්නට යෙදිණි.

මහාචාර්ය ගුණපාල ධර්මසිරි තුළ පෙරදිග ආධ්‍යාත්මික සංකල්ප, පෙරදිග දර්ශනය සම්බන්ධයෙන් පමණක් නොව අපරදිග දර්ශනයද සම්බන්ධයෙන් වූ දැනුම එතුමාගේ කෘතීන් තුළින් ප්‍රකට වේ. විශේෂයෙන්ම දාර්ශනික ප්‍රශ්න කෘතියත්, ෂෝපන්හවර් හා නීට්ෂේ කෘතියත් ඒ සම්බන්ධයෙන් දෙස් දෙයි. ෂෝපන්හවර් හා නීට්ෂේ කෘතියෙන් එතුමන් සාකච්ඡා කරන්නේ ජීවිතයේ නිස්සාරත්වය සම්බන්ධයෙන් මෙම මහා දාර්ශනිකයන් දෙදෙනා ගෙන ආ මතාන්තරයන් සහ එහි විවරණයකි. මෙය කියවන විට එතුමන් බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් අත්පත් කොටගෙන ඇති දැනුමද මහා සෙවණැල්ලක් ලෙසින් පාඨකයාට ග්‍රහණය වෙයි. එසේම එහි මහාචාර්යවරයා අවධාරණය කරන්නේ අතීතයේ පටන් පැමිණි සැබෑ දාර්ශනිකයන්ගේ ප්‍රයාණය අපද අනුගමනය කළ යුතු බවයි. එනම්, අප කළ යුත්තේ ජීවිතයේ ප්‍රශ්න සඳහා ෂෝපන්හවර්ගෙන් හෝ නීට්ෂේගෙන් හෝ එමතුද නොව ශාක්‍යමුණීන්ද්‍රයන්ගෙන් හෝ පිළිතුරු ඉල්ලා සිටීම නොව ඔවුන් ආරම්භ කළ දාර්ශනික සංවාදය ඉදිරියට ගෙන යෑම බවයි. ජීවිතය සම්බන්ධයෙන් පැන නගිනා ගැටළු වලට අප තුළින්ම පිළිතුරු ලබාගත යුතු බවයි.

The Packet of Gods යනුද මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීන් විසින්ම රචනා කළ, එහෙත් එතරම් ශ්‍රී ලාංකීය සාහිත්‍ය ලෝකයේ අවධානයට පාත්‍ර නොවූ කෘතියකි. 1967 වර්ෂයේ මුලින්ම ලියැවී ඇති මෙය සැබවින්ම ජීවිතය, ප්‍රේමය සහ බැඳීම් සම්බන්ධයෙන් ගැඹුරු, දාර්ශනික පර්යාවලෝකයක් සඳහා පාඨකයාට බල කෙරෙනා කෙටිකථා සමුච්චයකි.

ක්‍රිස්තියානි දේව සංකල්පය පිළිබඳ බෞද්ධ විචාරයක් අන්තර්ගත කරගත් A Buddhist Critique of the Christian Concept of God කෘතිය පළ කරමින් දර්ශනය සහ තුලනාත්මක ආගමික අධ්‍යයන ක්ෂේත්‍රයන්ට යුග නිර්මාණක දායකත්වයක් සිදු කළ ඔහු “දාර්ශනික ප්‍රශ්න”, “බෞද්ධ සචාදාරයේ මූලධර්ම” ඇතුළු කෘති ගණනාවක් පළ කළේ ය. සද්ධර්මපුණ්ඩරික සූත්‍රයද මහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් ආචාර්ය ලියෝන් හුවිට්ස්ගේ ඉංග්‍රීසි පෙළ පාදක කරගනිමින් සිංහලට නඟා තිබේ. ෂොපන්හවර් සහ නීට්ෂේ, දාර්ශනික ප්‍රශ්න, මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළ පොත, සද්ධර්මපුණ්ඩරික සූත්‍රය හැරුණු විට මෝක්‍ෂ මාණික්‍යාභරණය, ලංකාවතාර සූත්‍රය යනු එතුමන් විසින් රචිත/පරිවර්තිත කෘතීන්ගෙන් කිහිපයක් වේ.එතුමන් විසින් සම්පාදිත සම්පූර්ණ ග්‍රන්ථ සංඛ්‍යාව තිහකට අධික වේ.

කොළඹ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය නිම කොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසෙන විටත් ගුණපාල ධර්මසිරි පාලි සංස්කෘත හා සිංහල උගතෙකු ලෙසින් සම්භාවනාවට පාත්‍ර වී තිබිණි. පේරාදෙණිය සරසවියේදී දර්ශනය හදාරා ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධි හිමි කර ගත් ගුණපාල ධර්මසිරීන් ආචාර්ය උපාධිය දිනා ගත්තේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් සරසවියෙනි. ඒ ක්‍රිස්තියානි දේව සංකල්පය ථෙරවාද බුදු දහම පාදක කොටගෙන අභියෝගයට ලක් කළ නිබන්ධනයක් සඳහායි. අනතුරුව ෆුල්බ්‍රයිට් ආරාධිත මහාචාර්යවරයකු ලෙසින් එක්සත් ජනපදයේ කලක් උගන්වා ඔහු පෙරලා ලංකාවට පැමිණියේ පේරාදෙණි සරසවියේ දර්ශන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙසිනි.

පේරාදෙණිය විශ්ව  විද්‍යාලයීය දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරයකු හා අංශාධිපති ලෙස ලෙස දශක කිහිපයක් තිස්සේ කටයුතු කළ මහාචාර්ය ගුණපාල ධර්මසිරි ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිතව සිටියේ මහායානය සහ සමස්ත බෞද්ධ දර්ශනය සහ පෙරදිග දාර්ශනික සංකල්පයන් සම්බන්ධ පඬිවරයෙකු ලෙසිනි. සාංදෘෂ්ටිකවාදය ඇතුළු විවිධ නූතන දාර්ශනික ධාරා සිංහල බසින් හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක ද හෙතෙම නිරත විය.විශේෂයෙන්ම ගැඹුරු දාර්ශනික මතවාදයන් පවා අතිශයින්ම මිතුරු බසකින් රචනා කිරීමට එතුමන්හට අපූරු හැකියාවක් තිබූ බවද සඳහන් කළ යුතුවේ.

පැතුම් පුංචිහේවා

අද පුවත්පතේ මින් පෙර පළ වූවකි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment