ත්‍රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…

ඌට නමක් තිබුනේ නෑ. හැමදෙනාම දැනගෙන හිටියේ ඌ “ගල් වඳුරා” (Shi Hou) කියන නමින්. ඒකට හේතුවක් තිබුනා, ඌ බිහිවුනේ ‘ඕලයි’ රටේ (Aolai Kingdom) පුෂ්ප ඵල පර්වතයේ (Hua Guo Shan) තිබුනු මායාකාරී ගල් කුළක් ගැබ්බර වීමේ ප්‍රතිඵලයක් විදියට. ගල් වඳුරා අනෙක් වඳුරොත් සමඟින් සතුටින්, කෙළිදෙළෙන් ජීවත් වුනා, එක් දවසක දී ඌ වඳුරන්ගේ නායකයා බවට පත්වන තුරැ…

එක් දිනයකදී වඳුරන්ගේ රජුට ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ කල්පනා වෙනවා. අපිට අමතක කරන්න බැහැ, වඳුරෙක් වුනත් මේ දෙව්ලොව සාරයත්, පොළවේ  රසයත් එක්වී බිහිවුනු අපූරැ නිර්මාණයක් බව. කොහොම වුනත් වානර රජු බටහිර මුහුදත් තරණය කර අමරණීයවීමේ රහස හොයාගෙන යනවා. එක් දිනකදී වානරයාට හමුවෙනවා තමන්ගේ ශ්‍රාවකයන් සමඟින් සිටිනා ටඕයිස්ට් සෘෂිවරයෙක්. සුබෝධි මුණි.

සුබෝධි මුණිවරයාගේ ශිෂ්‍යයකු බවට පත්වන වානරයා සිය ආගමික නාමය, Sun Wukong නාමය ලබා ගන්නවා. එසේම කල් ගතවීමත් සමඟින් වානරයා තමන් ජීවිතයේ අමෘතඵලය ලබන්නට සුදුසු බව පෙන්වා සිටිනවා. සෘෂිවරයා අමරණීයත්වයේ රහසත්, දෙසැත්තෑ මහා මායා බලත්, අහසින් යාමේ “වලාකුළු පිනුමත්” වානරයාට උගන්වනවා.

කෙසේ නමුත් සහජ වානර ගතිය පෙන්වා තම මායා බලයන් අනෙක් ශිෂ්‍යයන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමේ වරදට සෘෂිවරයා, වානරයාව තම ශිෂ්‍යභාවයෙන් නිදහස් කර පලවා හරිනවා. නැවතත් පුෂ්ප-ඵල පර්වතය වෙත යන වානර රජ යක්ෂ රාක්ෂයන් හා සටන් වදිනවා. මළවුන්ගේ ලෝකයේ රජු, Yen-lo-wang ඇතුළුව මුළු මළවුන්ගේ ලෝකයම බියෙන් තැතිගන්වා සියළුම වානරයන්ගේ නම් මළවුන්ගේ රජුගේ නාමලේඛනයෙන් ක‍ටුගා දමනවා. නැගෙනහිර මුහුදේ මකර රජු, Ao-Kuang ගෙන් වානර රජු ගේ මහා බලැති ආයුධය, පුරාවෘත්තගත රන් විලි යෙදූ යමුගුර (Ru Yi Jin Gu Bang) ලබා ගන්නවා. ඉන් නොසෑහී තමන්ට සන්නාහයක් සපයා දෙන මෙන් මකර රජුට තර්ජනය කරනවා.

මේ වානර රජුගේ නොහික්මුණු ක්‍රියාපිළිවෙත පිළිබඳව මළවුන්ගේ ලෝකය මෙන්ම මුහුදු සතරේ මකර රජවරැන්ද ස්වර්ගයේ ජේඩ් අධිරාජයාට පැමිණිලි කර සිටිනවා. එහෙත් ජේඩ් අධිරාජයා මේ ප්‍රශ්නය දෙස උපායශීලීව බලා රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතක් අනුගමනය කරනවා. වානර රජුව ස්වර්ගයට ගෙන්වා ස්වර්ගයේ අස් හලේ ප්‍රධානී (Bi Ma Wen) තනතුරට පත් කරනවා. මඳ කාලයක් සතුටින් සිටිනා වානර රජු එක් දිනකදී, තමන්ට දුන් තනතුර ස්වර්ගයේ පහළම පංතියේ තනතුරක් බව වටහා ගන්නවා. කෝපවන වානරයා නැවත තමන්ගේ රාජධානියට පැමිණෙනවා. 

ජේඩ් අධිරාජයා, වානර රජුව ජීවග්‍රහයෙන් ගෙන එන්නට ස්වර්ගීය සේනාව එවනවා. එනමුත් වානරයාගේ ශක්තිය, සටන් කෞශල්‍යය සහ මහා මායා බල සමඟින් සමව ඉන්නට ස්වර්ගීය සේනාවට නොහැකිව පසු බසිනවා. කෙසේ නමුත් ජේඩ් අධිරාජයා නැවතත් රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතක් අනුගමනය කරමින්, වානර රජු පරාජය කිරිම කළ නොහැක්කක් නිසා ඔහුට සමාව දී ඔහුගේ “ස්වර්ග සමබල මහා මුණිවරයා” (Qi Tian Da Sheng) යන ගෞරව නාමය පිළිගන්නවා.

කාලයක් සාමකාමීව පසුවන වානරයා එක් දිනකදී. තමන්හට වාර්ෂික ස්වර්ගීය පීච් (peach) උත්සවයට ආරාධනා කර නොමැති බව දැනගන්නවා. කෝප වන වානරයා සිය මැජික් බලයන් යොදා, ස්වර්ගීය පීච් උයනේ ඇති කෙනෙකු අමරණීය කරවන පීච් සියල්ල කා දමනවා. උත්සවය වෙනුවෙන් සූදානම් කර ඇති අමෘත පානයද අවසන් කරනවා. එයින් නොසෑහී ලා ඕත්සු විසින් ස්වර්ගයටම සෑහෙන්නට පිළියෙල කර තිබූ අමෘතයද මොහොතකින් කා දමනවා. ඉන් පසු තමන් රාජධානියට පළා යන වානර රජු සහ ස්වර්ගීය සේනාවන් අතර ඉන්පසුව ඇතිවන්නේ භීම සටනක්. ස්වර්ගයේ දහසක් සේනාපතිවරැන්, සතරවරම් දෙවි රජවරැන් ඇතුළු කුමන බලසම්පන්න සෙන්පතියන් පැමිණියත්, වානර රජු අත්පත් කරගෙන ඇති ශක්තිය, බලයන්, මායා බල සමඟින් ඔහු අනභිබවනිය බවට පත්වනවා.

කෙසේ නමුත් මෙහිදී කු ආන් යින් බෝධිසත්වයන් ගේ (Guan-yin) උපකාරයෙන් මහාමායා බලැති එර්-ලාං, වානරයාව උපායෙන් ජීවග්‍රහයට ගන්නට සමත්වනවා. කිසිම දිව්‍ය ආයුධයකින් වානරයාට හානියක් කල නොහැකි තැන වානරයාව ලාඕත්සුගේ අමෘතය උණුකරනා ඌෂ්මකයේ දමනවා. දින 49ක දහන කාලයකින් පසුවත් වානරයාගේ දෑස් රතු වීම හැරෙන්න වෙන දෙයක් සිදුවන්නේ නැහැ. නිදහස් වන වානර රජු ස්වර්ගය විනාශ කරන්නට පටන් ගන්නවා. මෙහිදී අවසානයේ පිහිටට එන්නේ බුදුන්. බුදුන් වහන්සේ වානර රජුව උපායෙන් දමනය කර වසර 500 ක් ශිලා පේටිකාවක සිර කර තබනවා.

මෙසේ අවසන් වන්නේ වානර රජු පිළිබඳ පුරාවෘත්තයේ පළමු භාගයයි. දෙවන භාගය ඇරඹෙන්නේ හ්ට්සුආං ත්සාං (Xuanzang) භික්ෂුව, චීන අධිරාජයාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටකය සොයා පෙරදිගට යන චාරිකාව ඇරඹීමත් සමඟින්. මෙහිදී බුදු දහම වැළඳ ගන්නා වානර රජු, Sun Wukong, හ්ට්සුආං ත්සාං භික්ෂුවගේ ප්‍රධාන ශිෂ්‍යයා බවට පත්වනවා. එසේම තවත් ශිෂ්‍යයන් දෙදෙනෙක්, Zhu Bajie සහ Sha Wujing ද අතරමඟදී ඔවුන්ට මුණගැසෙනවා. මේ දෙදෙනාම එක් කලක ස්වර්ගීය සේනාපතිවරැන්ව සිට සිදුවූ අත්වැරදීම් නිසාවෙන් පසුව මිනිස් ලෝකයට පළවා හැරි දෙවිවරැන්. මනුලොව ඔවුන් මහා බලැති යක්ෂයන් වී සිටිනවා. ඔවුන් දමනය වී බුද්ධ ධර්මය වැළඳ ගැනීමත් සමඟින්, හ්යුං-ට්සාං භික්ෂුවට පෙරදිග බලා යන චාරිකාවේ දී අතිශය ප්‍රයෝජනවත් වන ශිෂ්‍ය භික්ෂූන් වනවා.

මෙතැන් සිට ඇරඹෙන්නේ පෙරදිග බලා යන මහා වීර චාරිකාව. මෙහිදී ආචාර්‍ය හ්ට්සුආං ත්සාං භික්ෂූන් වහන්සේ, Sun Wukong, Zhu Bajie සහSha Wujing අතර සම්බන්ධතාවය ද, අතරමඟදී ඔවුන් හට මුහුණ පාන්නට වෙන දහසකුත් එකක් උපද්‍රවයන් සහ වානරයාගේ දක්ෂකම් වලින් ඔවුන් ඒවායින් ගැලවෙන ආකාරයද විසිතුරැව, විස්තරාත්මකව විදහා දැක්වෙනවා.

වානර රජු ගේ කථාව, නැතිනම් “පෙරදිගට ගිය ගමන” චීන සාහිත්‍යයට එක් කරන්නේ මිං රාජවංශය (Ming Dynasty) පැවතුණු කාලයේ ජීවත් වූ, වු චෙන් එන් (Wu Cheng’en) විසින්. කෙසේ නමුත් ඉතිහාසඥයන් පවසන ආකාරයට මෙහි එන හ්ට්සුආං ත්සාං භික්ෂුවත්, පෙරදිග චාරිකාවත් හුදු සංකල්පනා නොව සැබවින්ම ඉතිහාසගත සිදුවීම් වනවා. හත් වන ශතවර්ෂයේ සිදුවූ බවට සවිස්තරාත්මකව ලේඛන ගතවී ඇති මෙම චාරිකාව,ඉතිහාසය හරහා පැමිණෙන විට ඊට නොයෙක් අද්භූත සිදුවීම් ද එක්වී තිබීම නොවැළැක්විය හැකි දෙයක්.

වානරයාගේ කථාවේ දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සෙන් බුදු දහමට අනුව ස්වර්ගය සහ පෘතුවිය, බෞද්ධ තානාන්තර නිර්මාණය වී තිබුනත් එහි යටින් දිවෙන සංසන්දනාත්මක තවත් වියමනක් තිබීමයි. උදාහරණයක් ලෙසට මෙහි ස්වර්ගීය දෙවිවරැන් ලෙස අර්ථ නිරෑපණය කරන්නේ මනුලොව සාම්ප්‍රදායික පාලක පක්ෂයයි. ඉන් පාලක පක්ෂයේ දුබලතා, ‘ක්‍රමය’ සහ එහි අවශ්‍යතාවය, දුර්වලතාවයන්, පාලක පක්ෂය හාස්‍යයට ලක්වන තැන් සියුම්ව නිරෑපණය වනවා. වානරයාගේ චරිතය, සිය ගෞරවය සෑමවිටම උතුම් කොට සලකන රජවරයකුගේ චරිතයත්, අති ප්‍රබල, අනභිබවනීය වීරවරයකුගේ චරිතයත්, අදම්‍ය කැරලිකරැවකුගේ චරිතයත් මෙන්ම විකාර, විහිළු සහගත එමෙන්ම හැම දෙයකම හාස්‍යය දකින සහජ වානරයකුගේ චරිතයත් අතර සම්මිශ්‍රණයක් වනවා…

සාමාන්‍ය වීර කාව්‍යයකට වඩා “පෙරදිගට ගිය චාරිකාව” සුවිශේෂී සහ වෙනස් වන ප්‍රධානම මූලධාතුව වන්නේ එහි ඇති ගැබ්වී ඇති තියුණු උත්ප්‍රාසය සහ උපහාසයත්, එහි ඇති විකාර, හාස්‍ය, ප්‍රලාප කථා ආදියේ අපූර්ව සංකලනයත්. එසේම සමස්ත කෘතිය පුරාවටම චීන ජනකථාවන්, දෘෂ්ඨාන්ත කථාවන්, ඉතිහාස කථාවන් සහ ආගමික නැඹුරැව දිව යන වග පැහැදිලිව පෙනෙන කරැණක් වනවා. 

වානරයා, අපූර්ව නිර්මාණයක්. බොහෝ විට වානරයාගේ චරිතය, හින්දු දේව ගණයාගේ සාමාජිකයෙකු සහ ඉන්දියානු මිත්‍යා කථාවන්හි වීරයකු, එසේම පසුකාලීන දෙවියකු වුනු “හනුමාන්” ගේ චරිතය හා අතිශය සමානකම් උසුලනවා. විශේෂයෙන්ම චරිත ලක්ෂණ සළකා බලන කල, වානර සම්භවය, හාස්‍යයට ඇති දැඩි කැමැත්ත, ගෞරවය පළමු කොට සැලකීම, අසාමාන්‍ය ශක්තිය සහ මායා බල මේ චරිත දෙකටම පොදු වූ දේවල්. එලෙසින්ම Sun Wukang, වානර රජු මහා බලැති යමුගුරක් සිය ආයුධය ලෙස ‍තෝරාගෙන සිටින අතර “හනුමාන්” ගේ ආයුධයද යගදාවක් වනවා.

“පෙරදිග ගමන” අවසානයේ වානර මුණිවරයා බුද්ධත්වය ලබා, ස්වර්ගයේ අමරණීයයන් අතරින් එක් අයකු වන අතර “හනුමාන්” ද අවසානයේ අමරණීයත්වය ලබා මනුලොවට පිහිටවන දෙවියකු බවට පත්වූ බැව් හින්දු කථාවන්හි දැක්වෙනවා.

ශ්‍රී ලාංකිකයන් වානර රජු, Sun Wukang චරිතය හඳුනාගන්නේ සිංහලට පරිවර්තනය වූ, විශාල චිත්‍ර සහිත චීන කථා පොත් පෙළක් සමඟින්. “අමා ඵලය” ඉන් මුලින්ම එළි දකින කෘතිය වුවත්, වානරයාගේ කථා ඇතුලත් තවත් චිත්‍ර කථාන්දර කෘතීන්ද පසුව එළිදකිනවා. විශේෂයෙන්ම මේ පොත්පෙළ සමඟින් වානරයා, “වානර වික්‍රම” ලෙස ශ්‍රී ලාංකීය කුඩා දරැවන්ගේ සිත් සතන් තුළට ඇතුළු වනවා. ඉන්පසුව “වානරයා” ඒ පී ගුණරත්න මහතා විසින් මෙහෙයවූ ගුවන් විදුලි මාලා නාටකයක් ලෙසද, සිංහල හඬ කැවූ චීන කා‍ටුන් කථා මාලාවක් ලෙසද, ඉන්පසුව ඒ පී ගුණරත්නයන් අතින් “වානරයා” අසංක්ෂිප්ත පරිවර්තනයක් ලෙසද එළි දකිනවා.

තවමත්, Sun Wukang, මහ බලැති වානර රජු, සිය විකාර විහිළු කථාවන්ගෙන් සැරසී, සිය යමුගුරද කණතුර සඟවාගෙන, විවිධ මායා වේෂයන් ගනිමින් ලෝක සාහිත්‍යය පුරා සැරිසරනවා. ලඟ අනාගතයේදී වානර වික්‍රම, රිදී තිරය මත පවා සිය බලපරාක්‍රමය පෙන්වීමට සැදී පැහැදී ඉන්නවා. 

පැතුම් පුංචිහේවා

ගෝ සඟරාවේ මින් පෙර පළ වූවකි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment