චයිනාමන්: ශ්‍රී ලංකාව, ක්‍රිකට් සහ ප්‍රදීප් මැතිව්!

ලංකාවේ අපි උමතු ක්‍රිකට් ලෝලියෝ නෙවෙයි. උමතු ක්‍රිකට් ලෝලියෝ බලන්න නං යන්න ඕන ඉන්දියාවට. අපිට ක්‍රිකට් කියන්නේ අර බැවේරියන් ලාගර් ටවර් එකක් ඇස් ඉස්සරහා පිට තියෙනකොට දැනෙනවා වගේ දැනෙන, අපූරු තිබහක්. ඒක උමතුවකට වඩා ගැඹුරින් ශ්‍රී ලාංකික ආත්මයන්ට කාවැදුණු දෙයක්.

‘සුද්දාගේ’ ක්‍රීඩාව වුණාට, ක්‍රිකට් කියන්නේ හරියට ශ්‍රී ලංකාවේ නොනිල ජාතික ක්‍රීඩාව වගේ. ඉන්‍ටර්නැෂනල් මැච් එකක්වත් වරද්දන්නේ නැතුව බලන, මැච් එක ඉවර වෙනකල් ටීවී එක ඉස්සරහින් නැගිටින්නේ නැති හාඩ්කෝර් ක්‍රිකට් ෆෑන්ස්ලාට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන තියෙන කැක්කුම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒත් අපි වගේ ක්‍රිකට් ගැන එහෙමට උනන්දුවක් නැති, වර්ල්ඩ් කප් එකක ෆයිනල්ස් බැලුවොත් ඇරෙන්න අමුතුවෙන් ක්‍රිකට් ගැන හොයන්නේ නැති ශ්‍රී ලාංකිකයන්ට පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන හැඟීමක් තියෙනවා. අපිට ෂෙහාන් කරුණාතිලකගේ ‘චයිනාමන්’ වැදගත් වෙන කාරණාව එන්නේ අන්න එතැනින්.

ප්‍රදීප් හූ?

දැන් ඇති නේද ඇගතාමට සිංදුවක් හදන්න තියෙනවා”

ඇත්තටම අලුත් තාලයක් ඈත මුහුදෙ ඉඳන් එනවා වගේ මට දැනුණෙ.

ඒක වැල්ලෙ වදින්න කලින් තව වචන කීපයක් ලියාගත්තොත් ඇති.

පොඩි දේවල් ටිකක් තියෙනවා. ප්‍රධාන චරිතෙ නම?”

විනෝදන් කර්නයින්”

එපා.”

චාලි ජෙගනාදන්?”

චී.”

සංජීව අමරසිංහ.”

සිංහල නමක් වෙන්න බෑනේ.”

ජුරම්පති ජෙයරාජසිංහම්.”

මෝඩයි.”

ප්‍රදීප් මැතිව්.”

ඒ කවුද?”

මමත් දන්නෙ නෑ.”

එහෙනම් ඒ නම දාමු.”

කවුද ඇත්තටම මේ ප්‍රදීප් මැතිව්? මම චයිනාමන් පොත වහලා කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්තටම මේක තමයි ‘චයිනාමන්’ පොත පටං ගත්තු තැන ඉඳලා ඉවර වෙනකලුත්, ඉවර වුනාට පස්සෙත් පොත කියවපු කෙනෙක්ගේ හිතේ දැවෙමින් නැගෙන ප්‍රශ්නය. ඒ කියන්නේ මේ ප්‍රදීප් මැතිව් ඇත්තටම හිටියද, ප්‍රදීප් මැතිව්ගේ ඇත්ත නම මොකක්ද, ප්‍රදීප් මැතිව්ට ඇත්තටම මොකද වුනේ කියලා හොයාගන්න එන වුවමනාව. 

පොතේ ඉන්න ක්‍රිකට් චරිත බොහෝ දෙනෙක් ප්‍රදීප් මැතිව්ව දන්නවා වුනාට දැනගෙන හිටියේ ඒ තරම් හොඳ විදියට නෙවෙයි. ක්‍රිකට් ගහන්න සුදුසු නැති කම්මැලිකමක්, උද්දච්චකමක්, නාහෙට අහන්නෙ නැති ගතියක්, උඩින් ඉන්න එකෙක්ට ගරු කරන්න දන්නෙ නැති ගතියක් තියෙන, මහත්තුරුන්ගෙ ක්‍රීඩාවට හරියන්නෙ නැති කෙනෙක් කියලා තමයි හැමෝම ප්‍රදීප් මැතිව් ගැන කියන්නේ. හැබැයි මිනිහා දක්ෂයා.

ප්‍රදීප් මැතිව්ගේ දක්ෂකම තියෙන්නේ මිනිහගේ බෝලින්ග් වල. මම ක්‍රිකට් දන්නෙ නැති නිසා මට ඔය නං මතක හිටියෙ නෑ. කැරම් ෆ්ලික් එකයි, ගුග්ලි එකයි තව චයිනාමන් එකයි තමයි මතක හිටියෙ. කතන්දරේ හැටියට ප්‍රදීප් මැතිව් මේ ඕන ට්‍රිකී පන්දුවක් දාන්න එක්ස්පර්ට්. වමතෙන් විතරක් නෙවෙයි,මහන්සි වෙනකොට දකුණතෙනුත් පන්දු දාන්න පුලුවන් මිනිහට. හැබැයි ප්‍රදීප්ගේ නියුක් එක වුනේ චයිනමන් පන්දුව. මේ චයිනමන් පන්දුව පොත පුරාම විටින් විට දෘෂ්‍යමානවත්, අදෘෂ්‍යමානවත් පෙනෙන, දැනෙන සංකේතාත්මක අර්ථයක් වගේ.

අයිසේ, හූ ඊස් ප්‍රදීප් මැතිව්??

චයිනමන් මුල් පිටු හතළිහ පනහ කියවනකොට ඕනම කෙනෙක්ට ප්‍රදීප් මැතිව් කියන්නේ ඇත්තටම කවුද කියන එක හොයන්න අර කියපු දැවෙන වුවමනාව මතුවෙනවා. පොත වහලා තියපු මම මුලින් ජනේලෙන් එහා රුසියන් පොල්කා සංගීත තාලෙට කන්දොස්කිරියා තූර්යවාද පවත්වන කුරුල්ලොන්ගෙ නාදෙ අහං හිටියා. ඊට පස්සේ “ප්‍රදීප් මැතිව්” කියලා ගූගල් කරලා බැලුවා. ඊලඟට වෙන්න පුලුවන් වෙන වෙන නම් ගූගල් කරලා බැලුවා. ප්‍රදීපන් මැතිව්, ප්‍රදීපන් සිවනාදන්, සිවනාදන් මැතිව්… සතුටුදායක ප්‍රතිඵලයක් ම්හු. ඊට පස්සේ චයිනාමන් පන්දුවේ නමින් ගූග්ල් කරලා, චයිනාමන් පන්දුවට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද කියලා ගූග්ල් කරලා බැලුවා. ලෙෆ්ට් ආම් අන්ඕර්තොඩොක්ස් ස්පින්! එහෙමයිලු චයිනාමන් එකේ භෞතීස්ම නාමය. 

පොතක් පතක් පෙරළලා හොයාගන්න ඕන දේවල් හොයන පරම්පරාවක් සහ මේ ලෝකේ සහ වෙන ලෝක වල වෙන ඕනම දෙයක් ගූග්ල් එන්ජිම දන්නවා කියලා හිතාගෙන ඉන්න පරම්පරාවක් අතර මැද්දේ ඉපදුණු මං ඊලඟට ගියේ හැම මාසෙම ක්‍රිකට් ආටිකල් දෙක තුනක් යන, 1984 ඉඳලා පරම්පරා දෙකක් තිස්සේ එකතු වුණු පරණ මුතුහර සඟරා ගොන්න පෙරළන්න. ප්‍රදීප් මැතිව් කෙනෙක් එතන නෑ. එතනිනුත් වැඩේ හරිගියේ නැති තැන ෂෙහාන් කරුණාතිලකට කෝල් එකක් ගත්තා. ම්හු, වැඩ නෑ. දැන් වෙන්න යන දේ මං දන්නවා. ඩබ්ලිව්.ජී ට වගේම මටත් ඇත්තටම ප්‍රදීප් මැතිව් කවුද කියලා හොයන්න වෙනවා. ඒකට දිගටම චයිනමන් කියවගෙන යන එක තමයි මේ මොහොතේ කරන්න තියෙන හොඳම දේ.

ප්‍රදීප් මැතිව් කියන්නේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා ඩබ්ලිව්.ජී ට ඒත්තු යන්නේ 87 අස්ගිරියේ නවසීලන්තෙට එරෙහිව ශ්‍රී ලංකා මැච් එක ඩබ්ලිව්.ජී ඇස් දෙකටම දැක්ක නිසා. ඒක බොහොම අපූරු පන්දු ප්‍රහාරයක්. පොතේ හැටියට. නියම පාලනයක් එක්ක. හැබැයි  මල්වෙඩි සැණකෙලියකට වඩා විචිත්‍රයි. ‍ෆින්ගර් ස්පිනර්, අන්ඩර් කටර්, ගුග්ලි, චයිනාමන්, කැරම් ෆ්ලික්, ඩාටර් මෙකී නොකී විවිධ පංදු අතරේ හංගලා මැතිව් තමන්ගේ නියුක් වලින් පිතිකරුවන්ට දමලා ගැහුවා. ලකුණු පහකට විකට් දහයක්. පාලිත ඈපාසේකර නව ලෝක වාර්තාවක් ගැන කියනවා ඇහුනා. ඒක බලන්න වටින මැච් එකක්. 

හැබැයි ටී බ්‍රේක් එකෙන් පස්සෙ දේවල් වෙනස් වුනා. නවසීලන්ත කණ්ඩායම පිටියට එන්න බෑ කිව්වා. තණතිල්ල හරි නැහැ කියලා. අන්තිමට උණුසුම් වාද විවාද ඉවර වුනේ තරගය අත්හිටවලා. කිසිම මාධ්‍යයක් මේ තරගේ ගැන වාර්තා කලේ නෑ. විස්ඩන් එකේවත් වෙන කොහේවත් මැතිව්ගේ ලෝක වාර්තාව තිබුණෙත් නෑ. මැතිව්ගේ යක්ෂ පන්දු යැවිල්ල ගැන කිසිම කෙනෙක් දැනගත්තෙත් නෑ. ඇස් පනාපිට ඉතිහාසය බලධාරීන් විසින් මකා දැමුණු එකම වතාව මේක වුනෙත් නෑ.

කොහොමනමුත් ප්‍රදීප් මැතිව්ගේ නාහෙට අහන්නෙ නැති, ලොක්කන්ට ගරු කරන්නෙ නැති ගතිගුණ එක්ක වැඩිකාලයක් ටීම් එකේ ඉන්නෙ නෑ. ඒත් ප්‍රදීප් මැතිව්ගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්නේ කැපිලි හින්දා නං නෙවෙයි. හැමදේමත් එක්ක ලංකාවේ විශිෂ්ටතම මායාකාරී දඟ පන්දු යවන්නා ප්‍රදීප් මැතිව් අතුරුදන් වෙනවා. ගෙදර මිනිස්සු ප්‍රදීප් මැරිලා කියලා සාක්ෂිත් පෙන්නනවා. ප්‍රදීප් මැතිව්ට ඇත්තටම මොකද වුනේ??

96 සහ 96 න් පස්සේ

බිග් මැච් එකකදිවත් ග්‍රවුන්ඩ් එකේ වෙන්නෙ මොනවද කියලා බලන්නෙ නැති, ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් නැති මම, අනූහයේදී පොඩි කොල්ලා. ජීවිතේ මම බලපු පළවෙනිම සහ එකම ක්‍රිකට් මැච් එක තමයි අනූ හයේ වර්ල්ඩ් කප් ෆයිනල්ස්. ඒක හරියට අපිව පුටුවේ අගට ගෙන්වන, දාන හැම බෝලයක්ම මේ අන්තේ ඉඳලා එහා අන්තෙට යනකල් දරාගන්න බැරි ආතතියක් ඇතිකරවන තාලේ උද්වේගයක්. එදා පෘතුවිය කැරකැවුණේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය වටා. 

අන්තිමට මැච් එක දින්නා. තාත්තා හුරේ තිබ්බා. මම පු‍ටුව වටේ නැ‍ටුවා.

අරවින්දත් එක්ක අර්ජුන සෙට් වුනාට පස්සෙ ඔස්ට්‍රේලියන්කාරයන්ට වැදෙන්න පටන් ගත්තා. පැය ගාණක් බීලාවෙන්න බැරි දේවල් වෙනවා දකිද්දී අපේ කටවල් එකතු වුණා ජයඝෝෂාවකට. එළියෙ රතිඤ්ඤා සද්දෙ මුලින් මුලින් වෙඩි වගේඊලඟට ඩයිනමයිට් වගේ ඇහුණෙ.

“අපි ඔක්කොම රජවරු අංකල්” මගේ ගජයා, මූණේ දැලිපිහිපාරක් තිබුණු ත්‍රීවිල්කාරයා මාව ඉම්බා. මුළු කොළඹම ගිණිකෙළි සංදර්ශනයක්. තඩි මිනිස්සු පොඩි එවුන් වගේ ඩෙඟා නැ‍ටුවා. එදා රෑ පාටිය එක දිගට ගියා අවුරුදු තුනක් විතර. ලෝකෙ පුරා ශ්‍රී ලාංකිකයන්ට ලෝකයක් දිනුව වගේ. දැන් ඉතිං යුද්දෙත් ඉවර වෙලා රටත් දියුණු වෙයි. මෝල් ගහෙත් දළු ලියලයි කියලා අපි ඔක්කෝටම ඒ වෙලාවේ හිතුනා.

මේ ටික කියවනකොට මට එක දෙයක් පැහැදිලි වුනා. ෂෙහාන් කරුණාතිලක මේ ලියන්නේ ප්‍රදීප් මැතිව් ගැනම නෙවෙයි, ක්‍රිකට් ගැනමත් නෙවෙයි. ෂෙහාන් මේ ලියන්නේ අපි ගැන, අපේ රට ගැන. රටවැසියන්ගේ සිහින ගැන. ඒ අවබෝධෙත් එක්ක මට අනූහයේදී ගත්තු වර්ල්ඩ් කප් එකේ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා දැනෙන්න පටන් ගත්තා. අනූහයේදීත් අපි ලස්සන රටක් ගැන හීන දැක්කා. යුද්ධෙ ඉවරවුනහමත් අපි ලස්සන රටක් ගැන හීන දැක්කා. තාමත් අපි ලස්සන රටක් ගැන හීන දකිනවා. තාමත් අපි ඒ හීනේ ජීවත් වෙනවා.

අංකල් ඩබ්ලිව්.ජී

 තොරතුරු අවශ්‍යයිප්‍රදීප් සිවනාදන් මැතිව්ක්‍රිකට් ක්‍රීඩක: 1977-83 තර්ස්ටන්, 1986-94 බ්ලූම්ෆීල්ඩ්/ඇන්සීසී, 1985-95 ශ්‍රී ලංකා කණ්ඩායම් වලට ක්‍රීඩා කරන ලදී. දුරකතන අංක 724520ට තොරතුරු දන්වන්න.

 – ඩබ්ලිව්.ජී., මිතුරෙක් සහ අගය කරන්නෙක්

නිව්ටන් සහ ආරි කුකුල් මස් අඬු, බිරියානි සහ අතින් පයින් ගහගත්තු වෙඩිමෙදි ලෝකේ හොඳම ටීම් එක ඩිසයින් කලාට පස්සේ හිටපු හොඳම ක්‍රීඩා මාධ්‍යවේදී, වත්මන් පූර්ණකාලීන බේබදු සහ නිදහස් ලේඛක ඩබ්ලිව්.ජී. කරුණාසේනගේ සම්පූර්ණ පිස්සුව වෙන්නේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාව හෙවීම. ඒකට එකතුවෙනවා ඩබ්ලිව්.ජී ගේ අතිජාත බොන පාට්නර් සහ සංඛ්‍යාලේඛන විශේෂඥ ආරි බයිඩ්. මේ දෙන්නාගේ රිසර්ච් එකත් එක්ක චයිනමන් පොත පුරා මුණගැහෙන්නේ සමහර වෙලාවට නැෂනල් ට්‍රෙෂර් බයිස්කෝප් එක පරදින විදියේ ක්‍රිකට් ලෝකයේ රහස්. ක්‍රිකට් ඔට්‍ටු අල්ලන රහස් ක්ලබ්, ඇල්කොහොල් සහ ලස්සන කෙල්ලොන්ගෙන් විතරක් නෙවෙයි, කඩල වලින් පවා මැච් ‍ෆික්ස් කරන මැච් ‍ෆික්සර්ස්ලා, කවුරුවත් නමින් දන්නෙ නැති ඒත් ලංකාවේ හැම තැනකටම අඬු විහිදුණු ලංකාවේ මා‍ෆියා බොස්ලා, ඇඟිලි හයේ අද්භූත ක්‍රිකට් පුහුණුකරුවෝ, ලංකාවේ සුප්‍රසිද්ධ ක්‍රීඩාංගනයක පොළව යට සුද්දෝ හදලා දාල ගියපු රහසිගත බංකර්, ඒකේ තියෙන කමියුනිකේෂන් ගැජට් වලින් සහ පිට්ටනියේ හැමතැනම හයි කරපු මයික් සහ ඒවලින් එදා ඉඳන් අද දක්වා කරපු රෙකෝඩින්, ඒ රෙකෝඩින් වලින් එළිවෙන ලංකාවේ ක්‍රිකට් ලෝකේ හිතාගන්න බැරි රහස්… කොටින්ම කියනවා නම් පිස්සු කොර!

මේ හැමදේම හම්බෙන්නේ ඩබ්ලිව්.ජී සහ ආරිගේ මතයේ හැටියට ලංකාවේ විශිෂ්ටතම මායාකාරී දඟ පන්දු යවන්නා, ප්‍රදීප් මැතිව් හොයාගෙන යන ඉන්වෙස්ටිගේෂන් එකත් එක්ක.

සෙනසුරාදා රෑ ගතවෙන්නෙ අනෙක් සෙනසුරාදාවල් වගේම තමයි. ආරිගෙ බැල්කනියෙ බෝතල් දෙක තුනක් අතරඑතනට විතරයි මං හිතන්නෙ මුළු ඩි සේරම් පාරෙන් හොඳටම මුහුද පේන්නෙ. ආරිත් මාත් අහළ පහළ වහලවල් උඩින් සීරුවෙ යන බළල් රාලලා දිහා බලාගෙන හිටියා………”

ප්‍රදීප් මැතිව් හොයාගෙන යන, පැන්ෂන් ගියපු බේබදු අංකල්ලා දෙන්නෙක් වෙන ඩබ්ලිව්.ජී සහ ආරිගෙන් ෂෙහාන් හිතාගන්න බැරි සමාජ පරාසයක් කවර් කරනවා. උදාහරණයක් විදියට මොර‍ටුමුල්ලේ “කාණුව” කියලා හඳුන්වපු පොඩි පංතියේ සහ මැද පංතියේ මිනිස්සුන්ගේ ජනප්‍රිය බාර් එකේ ඉඳන් ටාජ් එකට යනකල් හම්බුවෙන මිනිස්සුන්ට “අංකල්” වෙන ඩබ්ලිව්.ජී ගේ ගමනේ පහුවෙන, ආයෙමත් හමුවෙන මූණු වල රේන්ජ් එක හදන්න හරියනම චරිතෙත් ඩබ්ලිව්.ජී. කරුණාසේනම තමයි.

ඇත්තටම මම අංකල් ඩබ්ලිව්.ජී. ගැන කල්පනා කරනකොට මට හිතට එන්නේම හේමසිරි ලියනගේව. සමහර විට කවදාහරි කවුරුහරි චයිනාමන් ෆිල්ම් එකක් කළොත්, ඒකේ අංකල් ඩබ්ලිව්.ජී ගේ චරිතෙට හේමසිරි ලියනගේ ඇරෙන්න වෙන කෙනෙක් ගන්න හිත හිතා ඉන්න දේකුත් නෑ කියලා මට හිතුණා.

ෂෙහාන් සහ දිලීප: රචකයා සහ ප්‍රතිරචකයා

ෂෙහාන් එක තැනක ඉන්ටර්වීව් එකකදී කියනවා මෙහෙම. 

“මේ පොත ඇත්තටම සිංහලෙන් ලියන්නේ දිලීප අබේසේකර. ඊට අවුරුදු කීපෙකට කලින් මම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කළා.”

ෂෙහාන් කරුණාතිලක කියන නිහතමානී මිනිහා එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. ඒක චයිනමන් පරිවර්තනය ඉස්සරහාපිට ගහලත් තියෙනවා. දිලීප අබේසේකර කරන්නේ අනුවර්තනයක්! මගේ විදියට කියනවා නං දිලීප ෂෙහාන්ගේ පොත අරගෙන, ඒකේ විදියටම අලුත් පොතක් ලියනවා. ඒක ප්‍රතිරචනයක් කියතෑකි. ඉංග්‍රීසි පොත වගේම සිංහල පොතත් කියවපු මට ඇත්තටම දැනුනේ රස දෙකක්. ඔරිජිනල් පොත ෂෙහාන්ගේ හැකියාව. ඒකෙන් සිංහල පොතක් ලියන එක දිලීපගේ හැකියාව.

“Today Newton looks like a hippo, those days he was more like a rhino” කියලා ෂෙහාන් ලියන කතන්දරේම දිලීප ලියනවා දැන් නිව්ටන් පුස් ඌරෙක් වගේ වුනාට ඒ කාලේ වල් ඌරෙක් වගේ” කියලා. ඇත්තටම සිංහලෙන් හිතන අපිට හිපපොටේමස් සහ රයිනෝසිරස්ට වඩා නැඩ ශක්තිමත් වල් ඌරෙක් සහ, කාලයත් එක්ක අර දැඩි මාංශපේෂි ජොල් වෙලා ද්විගුණ වුණු, ඒත් පරණ වල් ඌරු ජීවිතේ විභූතිමත් සලකුණු එහෙන් මෙහෙන් තියෙන පුස් ඌරෙක් ඔලුවේ ලේසියෙන් මැවෙනවා.

“Perched alone next to a table of bottles, puffing on a crumpled cigarette is Gatsby himself, Mr. Graham Robin Snow.”

මෙහෙම ලියන්නේ ෂෙහාන්. ඒක දිලීප ග්‍රේට් ගැට්ස්බි කියවලා නැති සිංහල පාඨකයින්ට සම්පූර්ණයෙන්ම ඒත්තු ගන්නනවා මෙහෙම.

බෝතල් පිරුණු මේසයක් ලඟ පොඩිවුණු සිගරට්‍ටුවක් උරමින් ග්‍රැහැම් ස්නෝ හිටියා පරසතු මල් ‍ෆිල්ම් එකේ බොනී මහත්තයා වගේ. ඇහිබැම උස්සලා බැලුවා අපි දිහාව.”

අසූ ගණන් වල ඉපදුණු, අනූ ගණන් වල පැටි විය ගෙවපු අපිට, හැටහයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු පරසතුමල් අමතක වෙලා නෑ. ෆිල්ටරේට ගහපු සිගරට් එකක් ඇඟිලි අග රඳවගෙන, බැරෑරුම් මුහුණින් බලා සිටින, මධුවිතටත්, ගීතයටත්, ගැහැණියටත් ප්‍රේම කරන බොනී මහත්තයාවත් අපිට අමතක නෑ!

ෂෙහාන් තමන්ගේ කතාවේදී පාවිච්චි කරන්නේ උපහාසයෙන් පිරුණු, වේගවත් කථා ශෛලියක්. කෙටි වාක්‍ය විතරක් නෙවෙයි, කෙටි උපසි‍රැසි වලින් යුතු කෙටි පරිච්ඡේද. හරියට ක්‍රිකට් කමෙන්ට්‍රීස්, ක්‍රීඩා වාර්තා වගේ. ‍ෆිල්ම් එකක් බලාගෙන යනවා වගේ. දිලීපත් ඒ ටෝන් එක ඒ විදියටම සාර්ථකව ග්‍රහණය කරගන්නවා.

හැමදාමත් බැට් කරන්න බෑ පුතා!

ෂෙහාන් කරුණාතිලක චයිනමන් පොතේ සෑහෙන්න භාවිතා කරනවා, ලංකාවේ අපිට හොඳට හුරුපුරුදු දේවල් මතකෙට එන, ඒ නම් නොවුණත් ඊට ලඟින් යන නම්. හොඳම දේ තමයි ඒ නම් කියවනකොට අපිට ඇත්ත ලෝකේ ඒ නම් අයිති මිනිස්සුන්ව පටස් ගාලා ඔලුවට ඒමත් එක්ක, අපි පොතේ යන කතාව එක්ක සමාරෝපය වීම. උදාහරණයක් විදියට ජයන්ත පුංචිපාල කියනකොටම මට ආනා පුංචිහේවාව මතක් වෙනවා. තමන්ගේ නෝනයි ළමයිනුයි එක්ක එකතු වෙන්න ප්ලේන් එකක් හයිජැක් කරන ලංකාවේ පරාක්‍රම ඒකනායක කියනකොට අසූව අනූව කාලේ හිටපු පූසෙක්ට වුනත් මතක් වෙන්න ඕන මේ කියන්නේ සේපාල ඒකනායක ගැන කියලා. ෂෙහාන් තමන්ගේ පොතෙන් ක්‍රිකට් ලෝකය විතරක් නෙවෙයි, හැත්තෑව අසූව අනූව කාලවල මැද පංතියේ ජනතාවගේ ජීවිතය, කළු ජූලිය ඇතුළු ලංකාවේ අපි මුහුණ දීපු අඳුරුම සිදුවීම්, මේ කාලේ සිද්ධ වෙන දේශපාලන පෙරළි පවා කතාවේ පසුතලයේ නොතියා, කතාව මැද්දට සක්‍රියව ඇදලා ගන්නවා.  චයිනාමන් කියවන කෙනෙක්ව මේක ඇත්ත කථාවක්ද, ප්‍රබන්ධයක්ද, අර්ධ-ප්‍රබන්ධයක්ද කියන තැන අතරමං කරන්නත් ෂෙහාන්ගේ මේ නම් භාවිතය සහ මේ ශෛලිය හේතුවක් වෙනවා.  

කොහොම වුණත්, අංකල් ඩබ්ලිව්.ජී ඇල්කොහොල් හින්දම අවසානයකට ආපු තමන්ගේ ජීවිතේ වර්ල්ඩ් කප් එක විදියට හිතලා ප්‍රදීප් මැතිව් හොයාගෙන යන ගමන, ඒ දිහා බලාගෙන ඉන්න අපිට අපේ රට ගැනත්, අපි ගැනත්, අපේ වර්තමානය ගැනත් හිතන්න පොළඹවනවා. ඒ අතරේම අපේ හිත්වල, දශක කිහිපයකට පෙර අපේම අතීතය ගැන නොස්තැල්ජියාව මුසු වුණු ශෝකී බවක් ඇති කරවනවා. කොයි තරම් ජගතෙක්ට වුණත් මොන ඉන්ටර්නැෂනල් පිච් එකේ වුණත් හැමදාමත් බැට් කරන්න බෑ කියන යතාර්ථය මතක් කරලා දෙනවා. හැබැයි…හැබැයි අමතක කරන්න එපා, අන්තිම බෝලෙටත් හයේ එව්වා වදින්න පුලුවන්…!

ලේඛකයෙක්, ක්‍රීඩා ලෝලියෙක් හැටියට මං මේ කියන්නේ නිකම් නෙවෙයි. එක්ස්ට්‍රා ටයිම් එකෙන් ගෝල් එකක් ගහන්න පුලුවන්. දොළොස්වේ වටයේදීත් ප්‍රතිවාදියාට වැටෙන්න ගහන්න බැරි නෑ. අන්තිම බෝලෙටත් හයේ පාරවල් වදිනවා…ශීලාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගාෆීල්ඩ්ගේ දයාබර පියාණන් වූද, ප්‍රදීප් සිවනාදන් මැතිව්ස්ගේ අතිජාත හිතෛශියා වූද ඩබ්ලිව්.ජී.කරුණාසේන එහෙව් මිනිහෙක්.

පැතුම් පුංචිහේවා


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment