Forget Me Not මැජික් එකක්ද?

චරිතා සහ චතුරි එක්ව ලියූ Forget Me Not පොත ගැන පසුගිය කාලයේ බොහෝ කතාබහ ඇතිවිණි. ඒවා දෙස බලා සිටියේ ඒ සංවාද පැති දෙකකට ගොනුවෙමින් වූ ආන්තික කතාබහ නිසාය. ඊට අමතරව පොත නොකියවා තිබීමද ඒවාට සම්බන්ධ නොවී සිටීමට හේතුවක් විය. පොත් ප්‍රදර්ශනයේදී දුටු දේවල් කිහිපයක්ද මේ නිහඬ බවට හේතු විණි. කෙසේ වෙතත් ඒ සියල්ල දැන් අතීතයට එක්වී හමාරය. පොත විවේචනය කෙරෙනු වෙනුවට මඩ කැම්පේන් එකක් ද දියත් විය. එය පොත ගැන ඇතිවූ ඉල්ලුමේ ස්වභාවය මත නිර්මාණය වූවක් බව පෙනේ. පොතක් අලෙවිවීම, මිනිසුන් අතරට පොතක් යාම, පාඨකයන් උණු කැවුම් මෙන් පොත ඉල්ලීම සැබවින්ම සාහිත්‍යයට වඩා ක්ෂේත්‍රයට යහපත්ය. විශේෂයෙන් දැඩි අර්බුධ මැද දුවන පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයට එවැනි දසුනක් පවා ඇතිය. මෙවැනි සිදුවීමක හොඳ පැත්ත එයින් ඇතිවන උත්ප්‍රේරණයයි. එහි අයහපත් පැත්ත නම් රැල්ලට තවත් එවැනි පොත් මතුවීම සිදුවිය හැකිවීමය. ඕනෑම තැනක සමබරතාවය බිඳී යාම එය කඩා වැටීමට හේතුවක් වන්නට පුළුවන. විශේෂයෙන් ලංකාව වැනි සීමිත පාඨක පිරිසක් සිටින රටක එය තරමක් භයානකය. මන්ද එකී සමබරතාවය ඇති කරන්නට සමත් ආයතනයක් හෝ මැදිහත්කරුවන් අපට නොමැති හෙයිනි. Forget me not හිට් වුණේ facebook තුළ නොවේය. ඔබ Tiktok සමීපව අධ්‍යනය කරන්නෙකු නම් එය හිට් වුණේ කොතනකදැයි අඳුනාගත හැකිය. Tiktok හි Forget me not වෙනුවෙන් ඉතා ආකර්ෂණීය වීඩියෝ තැනී තිබිණි. ඒවාට ලක්ෂ දෙක ඉක්මවූ නැරඹුම් එකතුව තිබිණි. Olya.lk නම් tiktok ගිණුම බැලුවහොත් ඔබට එය පෙනී යනු ඇත. Tiktok යනු අද තරුණ පරපුරේ සාමාජ මාධ්‍යයයි. ඔවුන් Facebook පමණක් නොව Instagram වලටත් වඩා සිටිනුයේ Tiktok තුළය. පොත් ප්‍රදර්ශනයේදී පොත සොයා යෞවන යෞවනියන් පැමිණීමේ රහස එයයි. හැබැයි හැමපොතක්ම එවැනි මාධ්‍යයක හිට් වන්නේ නැත. Forget me not එසේ හිට් විය හැකි පොතකි. එහි පෙනුම, පිටකවරය, ආකර්ෂණීය නිමාව, ඒ හා බැඳුණු කඩදාසි බෝට්ටු ආදී මේ සියල්ලම ගාණට මිම්මට ගැලපෙයි. ඇත්තටම මේ සියල්ල අධ්‍යනය කළ යුතු දේවල් ලෙස මම දකිමි. Facebook වැනි මාධ්‍යයක අපේ පරම්පරාවේම සීමිත පිරිසක් සමඟ කයිවාරු ගසන අපට නොතේරෙන ඉල්ලුම ඇතිවුණේ එලෙසය.

මේ ලිපියේ අරමුණ මේ කාරණා ලිවීම නොවුණද අධ්‍යනය කරන්නෙකුට මෙකී කාරණා වැදගත් වේ යැයි සිතූ නිසා එය තරමක් දිගට ලියවිණි. පොතෙහි ආකෘතිය වෙනස්, අලුත් යැයි බොහෝ දෙනා කියූ නිසා මේ ආකෘතිය ගැන යමක් ලිවීම වැදගත් යැයි මට සිතේ. මේ පොතෙහි ආකෘතිය කොහෙත්ම අලුත්ම අලුත් එකක් නොවේ. එහෙත් සිංහල සාහිත්‍යය තුළ පවතින අඩු ශානරීය විවිධත්වය නිසා එය මෑතකාලීනව කළ හොඳ අත්හදා බැලීමක් ලෙස සලකමි. මෙවැනි නවකතා ලෝකයේ හඳුන්වන්නේ Epistolary Novel ලෙසය. එය සන්දේශ නවකතා ලෙස අපට පරිවර්තනය කරගත හැකිය. මෙවැනි නවකතාවක මූලික ලක්ෂණය වනුයේ කතාව ලිපි, පුවත්පත් වාර්ථා, රේඩියෝ සංවාද, දිනපොත් සටහන් ආදිය මගින් ගොඩනැගීමය. මෙම ශානරයේ නවකතාවල මෑතකාලීනව ඊමේල් පණිවිඩ, SMS, blog post ආදියද එකතු විය. Epistolary යන වචනය බිඳී එන්නේ ග්‍රීක Epistole යන වචනයෙනි. එහි අරුත ‘ලිපිය‘ යන්නයි. මෙවැනි ආකෘතියක් භාවිත කිරීමේ පළමු වැදගත්කම වන්නේ කෘතියට වඩා යථාර්ථවාදීබවක්වක් එකතු වීමය. ෆැන්ටසි මට්ටමේ ලියවිලි පවා යථාර්ථවාදී මානයකට ගෙන එන්නට මෙයින් හැකියාව ලැබෙයි. Forget Me Not සාර්ථකත්වයට මෙම ආකෘතිය හේතුවක් වී ඇති බව පෙනේ. සන්දේශ නවකතාවල අතීතය බොහෝ ඈතට දිවයන්නකි. මෙම නවකතාවල ප්‍රධාන වර්ග දෙකක් පැවතිණි. එකක් නවකතාව තුළට ලිපි බහාලමින් ලිවීමය. ලිපි ප්‍රමාණය එහි ආඛ්‍යානයට වඩා ප්‍රමාණයෙන් වැඩිවීම මෙම ශානරයේ නවකතාවක් වීමට හේතුවකි. අනෙක් ආකාරය නම් නවකතාව ලිපි සහ කවි මගින් ලියා තිබීමය. නූතන සාහිත්‍යය තුළ පළමු පරිපූර්ණ සන්දේශ නවකතාව ලෙස සැලකෙන්නේ Prison of love නම් ස්පාඤ්ඤ නවකතාවය. එය ලියැවී ඇත්තේ වර්ෂ 1485 දී පමණය. මෙම ශානරය වඩාම හොඳින් භාවිත කළ නවකතාවක් ලෙස 1684 දී ප්‍රකාශයට පත් කළ Love-Letters Between a Nobleman and His Sisterනම් නවකතාවය. මෙම ශානරයේ නවකතා අතර ලොව දීප්තිමත්ව නවකතා කිහිපයක් තිබේ. සුප්‍රකට ජර්මානු ලේඛක වෑන් ගතේ විසින් ලියන ලද The sorrows of young Werther කෘතිය, පළමු කැනේඩියානු නවකතාව වන 1769 දී ෆ්‍රාන්සස් බෘෘක් විසින් රචිත The history of Emily Montague කෘතිය ඒ අතර තිබේ. කෙසේ වෙතත් 18වෙනි සයවස පමණ වන විට මෙම ශානරය යල්පැන ගිය එකක් ලෙස සැලකිණි. පසුව එය ක්‍රමයෙන් අභාවයට යමින් පැවතිණි. ජේන් ඔස්ටින් විසින් ලියූ Pride and Prejudice නවකතාව මුලින්ම ලියවී ඇත්තේ First Impression නමින් මෙම ශානරයෙන් බව වාර්තාවල දැක්වේ. පසුව එය නැවත ලියා Pride and Prejudice ලෙස පළකර ඇත. කෙසේ වුවද නැවත 19 වැනි සියවසේදී බ්‍රෑම් ස්ටෝකර් මෙම ශානරයෙන් ඩ්‍රැකියුලා නවකතාව ලියුවේය. එය ලොව පුරා උන්මාදයක් බවට පත්විණි. ඩ්‍රැකියුලා නවකතාව දිවෙන්නේ දිනපොත් සහ ජර්නලීය සටහන්වලිනි.

සන්දේශ නවකතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකිය. එනම්, Monophonic, Dialogic, Polyphonic ලෙසය. Monophonic ලෙස සැලකෙන්නේ එක් චරිතයක ලිපි වලින් පමණක් නවකතාව ලියා ඇති විටය. The sorrows of young werther එයට උදාහරණයකි. Dialogic යනු දෙදෙනෙකු අතර ලිපි හුවමාරුවන, එනම් චරිත දෙකක් අතර ලිපි හුවමාරුවන ආකාරයට ලියූ නවකතාය. Forgot Me not අයත් වනුයේ මෙම කාණ්ඩයටයි. තුන්වැන්න Polyphonic යනු චරිත දෙකකට වඩා සම්බන්ධව ලිපි, සටහන් ආදියෙන් නවකතාව හැඩගැන්වෙන විටය. ඩ්‍රැකියුලා නවකතාව මෙයට හොඳ උදාහරණයකි. විශිෂ්ට රුසියානු ලේඛකයෙකු වන දොස්තයෙව්ස්කි පවා මෙම ශානරයෙන් නවකතාවක් ලියා ඇත. එය Poor folk නම් වේ. එය විප්ලවයට පෙර රුසියාවේ ජීවන තත්වය, ඔවුන් ගෙවූ දුක්ඛිත ජීවිතය ගැන මිතුරන් දෙදෙනෙකු අතර හුවමාරු වන ලිපි වලින් නිර්මිතය.

මෙම ශානරය තෝරා ගැනීම අභියෝගාත්මකය. නවකතාවක් තුළ ලිපිවලින් පමණක් පාඨකයා රඳවා ගැනීමට නම් ඒවා ඉතා සැලකිලිමත් ලෙස ලිවිය යුතුය. කතාවෙහි නාටකීය බව රඳවා ගන්නට වෙන්නේ මෙම ලිපි තුළම වීම එයට හේතුවකි. Forgot me not පොත පිටු 20ක් කියවා පසෙකින් තැබුවේ එය මට ආකර්ෂණයක් ඇති නොකළ බැවිනි. එය මගේ පුද්ගලික කාරණයකි. කිහිප දෙනෙක් මගෙන් නවකතාව ගැන විමසූ විට මගේ පිළිතුර වූයේද එයමය. එවැනි පොත් තිබේ. එවිට එය පසෙකින් තබා පසුව කියවීම මගේ ක්‍රමයයි. සාමාන්‍යයෙන් මම පොතක් ලේසියෙන් අතාරින්නේ නැත. ඉන්පසුව පොතම කියවීමි.

මෙවැනි ආකෘතියක් තෝරාගත් විට නිදහසේ ලිවිය හැකිය. එනිසාම අදාළ නැති වල්පල් පවා ලිවීම සාමාන්‍යය. වඩාත් සූක්ෂම විය යුත්තේ කෘතිය පුරාම පාඨකයා බැඳගන්නා තානයක් පවත්වා ගැනීමය. එය අඩු වැඩි වශයෙන් Forget Me Not තුළ තිබේ. තමන් ලියන්නේ කුමක්ද යන්න ගැන ලේඛකයා සූක්ෂම විය යුතුය. නවකතාව ලියන්නට පෙර මෙම ශානරයේ නවකතා ගැන චරිතා සහ චතුරි යම් හැදෑරීමක් කලාද නැද්ද යන්න මම නොදනිමි. ඔවුන් ලේඅවුට් කිරීමේදී තෝරාගෙන ඇති උපක්‍රම මත නම් යම් අවබෝධයකින් කළ බැව් පෙනේ. ලිවීමේදීද තව ටිකක් සූක්ෂම වූවා නම් අගනේය. ලිපි වෙනුවට අප ඉන්නා යුගයේ ඊමේල්, SMS සහ facebook posts මේ සඳහා යොදා ගත්තේ නම් මැනවැයි මට සිතුණි. 2004 දී Cecelia Ahern ලියූ Love, Rosie කෘතියේදී කෙටි පණිවිඩ යොදා ගෙන තිබිණි. ඒ මීට වසර විස්සකට පෙරදීය.

පොතක් ගැන කතා කරන විට එහි යම් පේළියක් ඡේදයක් පෙන්වමින් කතා කරනවාට වඩා සමස්තය කතා කිරීම වැදගත්ය. එහෙත් දැන් දැන් අපේ සමහර දැනුමැති විචාරකයන් පවා පෙළඹෙන්නේ යමක් ඉතා සිල්ලරව බැලීමට බැව් පෙනේ.

මෙහි අමුණා ඇති පින්තූර 1991 දී නිකුත් වූ නික් බැන්ටොක්ගේ Griffin and Sabine පොතෙන් උපුටා ගත් ඒවාය.

රශ්මික මණ්ඩාවල


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment