හංගේරියාවේ, බුදාපේෂ්ත් අගනුවර දොබ්රෙන්තෙයි වීදිය. මෙම ලිපිනයෙහි, මළවුන්ගේ සාප්පුව පිහිටා තිබේ. එය ඉරිදා දිනය ද ඇතුළුව සෑම දිනකම විවෘත කර තැබෙන්නේ : සෑම අයිතමයක්ම යුරෝ දෙක, පහ සහ දහය යටතේ මිළ කර ඇති බවට වන එකම නීතිය යටතේය.
එක් කලෙක එය දුක් මුසු දර්ශනයකින් හෙබි වටපිටාවක් විය. එකල සාප්පුව පිහිටි නිවස අබලන්ව ගිය, වසර ගණනාවකින් කිසිවෙකුගේ පහස නොලද අටුවක පිහිටි සුන් බුන් සහිත කාමරයක් මෙනි. පිවිසුම් ද්වාරයෙහි දෙපසම කපරාරු කඩා වැටෙමින් තිබිණි.
දැන් වීදි දීප්තිමත් වූවා සේම නිවස අලුතින් තීන්ත ගා මනාව පිරිසුදු කර ඇත. සියලුම දේවල් පිළිවෙලකට තෝරා කාණ්ඩ කර තබා දූවිලි පිසදමා ඇත.
පැරණි නත්තල් ගස්, කෙළි බඩු සිය ස්ථානය වෙනස් කර, මැද තට්ටුවේ සිට පහළ තට්ටුවට පැමිණිලා ය. මාස දහ අටකට පෙර ඔවුන්ගෙන් දහහත් දෙනෙකු : රතු දුසිමක්, රන් පැහැ දෙකක්, රිදී පැහැ දෙකක් සහ නිල් පැහැ එකක් ලෙස සිටියහ. ඔවුහු තවමත් හතරැස් වේවැල් බඳුනක වැතිර සිටිති. ඉන් එකක්වත් විකිණි නොමැත.
කාන්තාවන් විසින් භාවිත කරන ලද සුදු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා පරාසයක, පෙල්ට්, වූල් සහ ලොම් තොප්පි දුසිමක් – අසූ වෙනි වියට පා තැබූ කාන්තාවන්ගේ හිස්වලින් කෙලින්ම ගැලවී ආවා සේ – මැද පිහිටියා වූ රාක්කයක පසුපස සිට කවුළුව අසල රාක්කයකට පැමිණ ඇත. ඒවා හොඳින් පෙනෙන තැනක තිබුණ ද, සූර්යයා බොහෝ වේලාවක් තම හිරු කිරණින් ඒවායේ විෂබීජ හරණය කළ ද, ඔවුන්ගෙන් කිසිවෙකු හෝ නව හිසදරන්නෙකු සොයාගෙන නැත. කලු පැහැති දරදඬු කෙඳි සහ අඳුරු පැහැ ලී මිට සහිත ඇඳුම් පිරිමදින බුරුසු පහක්, එක් බිත්තියක් අසල සිට තවත් බිත්තියකට මාරු කර ඇති මුත් තවමත් එකිනෙකා සමඟ වාසය කරති. මීට වසර දෙකකට පෙර තිබුණාක් මෙන්, ඒවායින් එකක රිදී කෙඳි ස්වල්පයක්, බොහෝ විට කෙස්ගස් කිහිපයක් පැටලී තිබේ.
ගණන් කළ නොහැකි තරම් වූ හිස් පින්තූර රාමු තවමත් ගණන් කළ නොහැකි තරම් වුවද, ඒවා අවුල් ජාලයෙන් නිදහස් කර ප්‍රමාණය අනුව පෙළට තබා ඇත. මෙහි ඇති අනෙක් සියල්ලම මෙන් ඒවා අමු ලී වලින් තනන ලද අලංකාර නොකළ රාක්ක මත ඔවුහු සිටගෙන සිටිති.
මාස හයකට පෙර, හුණු බදාම වලින් කල – දිගු කෙස්වැටියක් සහිත අඩ නිරුවත් කාන්තාවක සහ කාන්තාව දෑතින්ම බදාගෙන ආලිංගනයේ යෙදෙනවා වෙනුවට තමන්ගේ වම් අත උකුල මත තබාගෙන ඉන්නා අඩ නිරුවත් පිරිමියෙකු -සිපගන්නා යුවලකගේ මූර්තිය මෙහි සාමාන්‍ය කළකිරුණු සොබාවයට බාධා පැමිණවූයේය. සමහර විටෙක මූර්ති ශිල්පියාට පිරිමියාගේ බාහු, මස් ගොබ සහ අලංකාර ලෙස රවුම් වූ පපුවේ මස් ගොබ පෙන්වීමට අවශ්‍ය වූයේද? මෙතැනට සතුට රැගෙන ආ එකම අයිතමය වූ බදාම මූර්තිය විකිණී ගොස් ය.
අවාසනාවකට මෙන් දැනට මෙහි පැතිර පවතින අඳුරට බාධා කළ හැකි කිසිවක් මගේ අවධානයට ලක් නොවේ. එම අඳුරට යටත් නොවන ඕනෑම දෙයකට මෙහි රැඳිය හැක්කේ කෙටි කාලයකට පමණි. සෑම ප්‍රීතිමත් අයිතමයක්ම ඉක්මනින්ම එම ස්ථාන අතැර යයි.
බුදාපේස්ත් හි දොබ්රෙන්තෙයි වීදියේ අංක 9 යන ලිපිනයේ පිහිටා ඇති මළවුන්ගේ සාප්පුව ඉරිදා ද ඇතුළුව සෑම දිනයකම විවෘතව තිබේ.
එහි නමට ‘මැකි වෙළඳපළ’ යන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් වේ. පාරිභෝගිකයා බලාපොරොත්තු වන්නේ ‘කෞතුක’ හෝ ‘අරුමෝසම්’ භාණ්ඩයක් මිළදී ගැනීම මිස මළවුන් විසින් ඉතිරි කර ගිය දේවල් නොවේ. අපට සත්‍යය බොඳ කිරීමට අවශ්‍යයි, මන්ද : ‘මම මරණයක් ගැන සාක්ෂි ටිකක් මිළදී ගත්තා’ යැයි පවසනවා වෙනුවට ‘මම ඇන්ටික් බඩුවක් මිලට ගත්තා’ හෝ ‘මම පරණ අරුමෝසම් බඩුවක් මිලට ගත්තා’ යැයි පැවසීම සහ සිතීම පහසු වේ.
එය බොහෝ විට හොඳ මනෝභාවයක සිටීම සඳහා පමණක් අවශ්‍ය වුව ද, සමහර විටෙක ඊට වඩා වැඩි යමක් ඇත. සමහර විටක එය අපගේ ප්‍රියතම, නිමක් නැති රැකියාව සමඟ සම්බන්ධ විය හැකි – සත්‍ය වශයෙන්ම මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් – එතැන නොසිටි යන සිතුවිල්ල ඉවත දමයි.
එහෙත් යම් වයස් සීමාවක් ඉක්මවා ඇති ඕනෑම වස්තුවක් තව දුරටත් ජීවතුන් අතර නැති කෙනෙකුට අයත් විය යුතුය. විය හැකි වෙනත් කිසිදු හැකියාවක් නොමැත. එමෙන්ම කිසිදු වචනයකට මෙම සත්‍යය අපැහැදිලි කළ නොහැක. කාල බෝම්බය පුපුරා යාමට පෙර, මෙම වස්තුව තවත් කෙනෙකුගේ අවකාශය පුරවා ඇති අතර වරක් එය සිය මෙහෙයුම අවසාන කළ පසු, වාසනාවක් ඇත්නම්, එයට තවත් කෙනෙකු සතු විය හැකිය; එය අඩුවෙන් වාසනාවන්ත නම්, එය මෙතැනට පැමිණෙයි. එමෙන්ම කිසිදු වාසනාවක් නැති දේවල් කුණු බක්කියට වැටේ. ජෝසෆ් බ්‍රොද්ස්කි සිය දෙමාපියන් ගැන ලියූ ‘අ රූම් ඇන්ඩ් අ හාෆ්’ නම් රචනාවේ දී කාල බෝම්බය විස්තර කළේය. ඔවුන්ගේ සිරුරු, ඇඳුම්, දුරකථන, යතුරු සහ ගෘහ භාණ්ඩ අතුරුදන්ව තිබූ අතර කිසි විටෙකත් ඒවා නැවත ලබා ගත නොහැකි වනු ඇත. හරියට ඔවුන්ගේ කාමරය සහ අර්ධයට බෝම්බයක් කඩා වැටුණාක් මෙනි ( එය එවුන් වාසය කළ ලෙනින්ග්‍රාද් පොදු මහල් නිවාසයක කොටසයි). එය නියුට්‍රෝන බෝම්බයක් නොවේ. මන්ද එය ගෘහ භාණ්ඩවලට අත නොතබා තබනු ඇති මුත් කාල බෝම්බය මතකයන් පවා විනාශ කරයි. ‘ගොඩනැගිල්ල තවමත් පවතින මුත් ස්ථානය අතුගා පිරිසිදු කර ඇත. එය අත්පත් කරගැනීමට භට පිරිස්, නව කුලී නිවැසියන් ඉදිරියට පැමිණ නැත.’
ඉතින්, දැනියුබ් ගං ඉවුර මත, නගරයේ බුදා පැත්තේ පිහිටි මෙතැන, කාල බෝම්බයකින් බේරීමට හැකි වූ සියල්ල එකතු වි ඇති බව මම කල්පනා කරමි.
එබැවින් මම තරයේ කියා සිටින්නේ මෙම සාප්පුවේ අරමුණ මරණය පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීම බවත්, එය මෙම කාර්යය ඉතා හොඳින් ඉටු කරන බවත්ය.
මෙහි හිමිකරු, ෂුඑල්ත් රීදෙයි, මිය ගිය මිනිසුන්ගේ නිවාසවලට නිතරම යන්නේය. පැමිණ කැමති දේ තෝරාගන්නා ලෙස පවුල් වල සාමාජිකයෝ ඔහුට ආරාධනා කරති.
2004 වසරේ එක්තරා රාත්‍රියක ඔහු පැරීසියේ මොන්ත්මාත්‍රා හරහා ගමන් කරමින් සිටියේය. හදිසියේම ඉදිරිපස ද්වාරය විවෘත කරන ලද නිවසක් සහ ඉන් ඔබ්බෙහි වූ දඟර ගැසුණු පඩිපෙළක් ඔහු දුටුවේය. පඩිපෙළ පතුලේ, කුඩා පින්තූර කිහිපයක්, පිඟන් සහ කාගේ අරමුණ උදෙසා දැයි අඳුරේ ඔහුට හඳුනාගත නොහැකි අයිතම තිබිණි. 1920 සිට 1960 දක්වා විවිධ කාල පරාස තුළ භාවිත වූ වස්තූන් සහ ගෘහභාණ්ඩ වලින් පිරීගිය කාමරයකට ඔහු පඩිපෙළ නැග පැමිණියේය. (ඔහු දේපළ වෙළඳාම් නියෝජිතයෙකුව සිටි බැවින් ගෘහභාණ්ඩවල විලාසිතාව ගැන ඔහු දැන සිටියේය) එතැන තිබු මේසය වටා වයසක මහත්වරුන් තිදෙනෙකු වාඩි වී වයින් බොමින් සිටියහ.
පැරණි පුටු, ඇඳුම් කබඩ් සහ…වීදුරු,සුදු සෙරමික් සහ මේස රෙදි වලින් පිරීගිය කැබිනෙට්ටු ඔවුන් වටා තිබිණි. තමන් පුද්ගලික නිවසකට ඇතුළු වූ බව සිතූ ඔහු සමාව ඉල්ලා සිටියද, එතැන සිටි මහත්වරුන් විසින් එය වෙළඳ සැලක් බව පැහැදිලි කර දී තිබිණි. ඔවුන්ගෙන් අයෙකු විශ්‍රාමික වෛද්‍යවරයෙකු වූ අතර ඔහුට සිය මිත්තණියගෙන් තනි කාමර එපාර්තමේන්තුවක් හිමිව ඇත. ඔහු සහ ඔහුගේ මිත්‍රයන් එක්ව සමාගමක් නිර්මාණය කර, මෙම ස්ථානය විවෘත කර. ඔවුන්ගේ කාලයෙන් බොහෝ වේලාවක් මෙහි ගෙවා දමති. ඔහු යුරෝ පහකට යමක් තෝරාගන්නා අතරවාරයේදී ඔවුහු මේ හංගේරියානු ජාතිකයාට රතු වයින් වලින් සංග්‍රහ කළහ. ඔහු එතැනින් පිටව ආවේ වැදගත් යමක් : වසර පහලොවක් පුර කළ තම දේපළ වෙළඳාම් රැකියාව අතහැර දමා, එවැනිම සාප්පුවක් තම නිවසේ විවෘත කිරීමේ තීරණය ද සමඟිනි .
ෂුඑල්ත් රීදෙයි ගේ තැන බලපවත්වන නීතිය මෙයයි : ඕනෑම අයිතමයක මිල යුරෝ දෙක,පහ හෝ දහය පමණක් විය යුතුය.
පිවිසුමෙන් පිටත ඇති පරණ බයිසිකලයේ ඇති ඩමිය හිසේ තොප්පියක් සහ බාස්කට් එකක සවිකරන ලද රාමුව රහිත උපැස් යුවලක් පැලඳ සිටින අතර මලෙව් – වසර හැටහයක් තිස්සේ පැවතීමෙන් පසු කාල බෝම්බයකින් පුපුරා මිය ගිය හංගේරියානු ගුවන් සේවය – ස්ටිකරය සහිත ඉරීගිය හම් ඔළොගුවක් හැඬලයේ එල්ලෙමින් තිබේ.
පිවිසුමේ බිම මත හැමවිටම සිටින මන්සි නම් තඩි කලු සුනඛයාගේ ඇඟට උඩින් පැන යාමට ඔබට සිදුවෙනු ඇත.
මෙය බුදාපේස්ත් හි මගේ ප්‍රියතම සාප්පුව, බොහෝ විට මුළු ලෝකයෙන්ම ප්‍රියතම සාප්පුව විය හැකිය. වසරකට දෙවරක් මම එම සාප්පුව වෙත යමි. එහි සිට මගේ හෝටලයට හෝ අද මෙන් ෆෙරෙන්ෂික් චතුරස්‍රයේ 4/17 යන ලිපිනයේ පිහිටි මගේ කුලී නිවාසයට පැමිණි විට , මම හැමවිටම මගේ දෑත් හොඳින් සෝදා ගමි. ඒ ඒවා ජරා වී ඇති නිසාම නොව, මානසික ගැටලුවක් නිසාවෙනි. දැන් එම ස්ථානය ගැන ලියමින් සිටින විට මම දෙවරක් අත් සෝදා ගෙන ඇත්තෙමි. හුදු මාතෘකාව එයට වගකිව යුතු වෙයි. මගේ දෑත් තුනී, නොපෙනෙන කුණු ස්ථරයකින් ආලේප වී ඇති බවට භෞතික හැඟීමක් මට දැනේ.
එහෙත් මෙම සාප්පුව ගැන මගේ ඇල්මට එය බාධාවක් නොවේ.
ඉතින් මෙතැනින්, වසරකට දෙවරක් මිය ගිය මිනිසුන් විසින් ඉතිරි කර ගිය දේවල් මම මිළදී ගනිමි. මෙහි ඇති දේවල් අවුස්සා බලමින් කාලය ගතකරන්නට කැමති තවත් පුද්ගලයෝ සිටිති. අපට මාර්ගගත ක්‍රම හරහා දේවල් මිළදී ගැනීමට අවශ්‍ය නැත. අපට ඒවා දෑසින් බලා, අතින් අල්ලා, ඒවා සමඟ පෙමින් වෙලීමට අවැසිය. අපගේ මේසය මත තිබෙන පැරණි රත්තරන් රාමුවක බහා ඇති ඡායාරූපය, වරෙක එය මිය ගිය කෙනෙකුට අයත් බව අපේ මතකයට නැගේ නම් එක් දෙයක්ද, එය කිසිවෙකුට අයත් නොවී යැයි මවා පෑවොත් තව දෙයක්ද අර්ථ ගන්වයිද? ඔව්.
පළමු සිදුවීමේදි අපි පෙර හිමිකරු සමඟ පාරභෞතික සබඳතාවයක් ගොඩනගාගන්නෙමු. ඔහු පින්තූරය අතේ තබාගෙන සිටියේය. ඔහු වීදුරුව පිසදැමුවේය. ඔහු මේසය මත එය අඟල් කිහිපයක් එහා මෙහා කළේය. එහි පැවැත්මෙන් අතීතයේදී කිසිවෙකු හෝ සතුටු වන්නට ඇති බව සරලවම දැනගැනීමෙන්, තවමත් අයෙකු එය භුක්ති විඳින බවට වන සතුටෙන්, මා සතුටට පත්වෙන අතර එය මගේ ජීවිතයට තවත් කුඩා අර්ථයක් ලබා දෙයි. වස්තුවේ පැවැත්මේ පළමු මට්ටමේ අවධියක් මා නියෝජනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
පෙර හිමිකරුගේ මරණය පිළිබඳව දැනුවත්ව සිටීම ජීවිතයේ නිවැරදි අනුපාත සොයා ගැනීමට අපට උපකාරී වන බව මට විශ්වාසය. මම අමරණීය නොවන බව මා දන්නේ නම්, මම වෙනස් ආකාරයකට ජීවිතය ගත කරමි.
(මගේ රත්තරන් සිතුවිලි පාෂාණ බවට පහසුවෙන් පත්නොවීමට වගබලාගන්නා ලෙස හැනා ක්‍රෝල් මට ලිපියකින් දන්වා සිටින්නීය. එමෙන්ම මා ඒවා ප්‍රකාශ කළ යුතු නම්, මා එය කළ යුත්තේ සැකයෙන්, පරාවර්තනයෙන්, ප්‍රශ්නාර්ථ ලකුණකින්, අසරණව හා උපදෙස් ඉල්ලන්නාක් මෙනි.)
මම අමරණීය නොවන බව මා දන්නේ නම්, මම වෙනත් ආකාරයකින් ජීවිතය ගත කරාවිද? අපේ මරණය වස්තූන් සඳහාද සහනයක් ගෙන දෙන බව මට හැඟී ගියේය .
අපේ මරණය වස්තූන් වලටත් සහනයක් ගෙන එනවාද?
(වඩා හොඳ කුමක්දැයි මම නොදනිමි.)
වියෙරා ලිනහර්තෝවා ගේ ‘ඕන දෙයක්’ ගැන කතාවල, නිවසේ සිට ප්‍රහසන චිත්‍ර අඳින සිත්තරෙකුගේ බිරිඳ ඔවුන් සිටින අවුල් සහගත මහල් නිවාසය අස් පස් කරන්නේ තම සැමියා ඒවායේ පය පැකිළී ඇද නොවැටීම සඳහා ය. ‘අපිට මෙතැනින් යන්න වුණොත් මොකක් වෙයිද? ඇය අසන අතර, පරණ ඇඳුම් ලබා දීම සහ පොත්, ඡායාරූප සහ ලිපි පුළුස්සා දැමීමට පටන් ගනී.
‘වරක් ඉවත් කළ පසු, ඒවා ඉවත් කළ විගසම ඇයට දැනුණු කණගාටුවට කරුණ නැවත පැමිණියේය. ඇය නිවසින් එළියට දමා ඇති දේ සහ තවමත් ඉතිරිව ඇති දේ පිළිබඳ තොරතුරු ඇයට අහිමි වූ හෙයින්, මහල් නිවාසය මෙතෙක් පැවති සියලු දේවලින් පිරී තිබුණි. වෙන කවරදාකටත් වඩා ඔවුන්ගේ මෙම සදාකාලික පැවැත්ම ඊටත් වඩා පීඩාකාරී විය.’ අපට එය සමඟ එකඟ විය හැක : දොබ්රෙන්තෙයි වීදියේ ඇති වස්තූන් බඑක් නොවේ – ඒවා තවදුරටත් පසුතැවිල්ල හරහා කෙනෙකු වෙත පිවිසෙන්නේ නැත.
එනමුත් අපට එය ඉන්තේරුවෙන්ම කිව හැකිද? ඔවුන්ගේ හිමිකරුවෙකු තවමත් ජීවතුන් අතර සිටී නම් සහ මුදල් ඉපයීම සඳහා එම වස්තුව අතහැර දමා ඇත්නම් කුමක් වෙයිද?
යුරෝ දෙක තුනකට? කොහෙත්ම නැත.
ඉතින් ඔවුන්ගේ හිමිකරුවන් මිය ගොස් සිටිය යුතුය.
අපට පෙනෙන පරිදි, මියගිය අයගේ සාප්පුව තුළ එකතු වන දේවල්වලට ඇත්තේ අපැහැදිලි ඉතිහාසයකි. එය පාරිභෝගිකයෙකුට හිස් අවකාශයකි. මා අර්ථකතනමය අපරාධයක් කරනවා විය හැකි වුවත්, මෙම වස්තූන් තුළ ‘එය තුළම ඇති යමක්’ ඇති බව මට හැඟී ගියේය. මෙය එමැන්නුවෙල් කාන්ට් විසින් ලියන ලද ස්වායත්තය සමඟ සම්බන්ධය. ‘එය තුළ ඇති යමක්’ යන්න නොදැනීම හා අපගේ මනසෙහි සීමාවෙන් ඔබ්බට පවතින බව ඔහු කියා සිටියේය. එය අද්භූතය, ඒ පිළිබඳව යමක් අප නොදන්නවා මෙන්ම දැනගත නොහැකිය. ඒ මන්ද යත්, ඒ සඳහා අවශ්‍ය මෙවලම් අප සතුව නොමැති බැවිනි. එබැවින් ‘එය තුළ ඇති දෙයට’ , ‘අපේ දෙයක්’ බවට පත්විය නොහැක.
කාන්ට් ට අනුව අද්භූත දෙය, මළවුන්ගේ සාප්පුවේදී අපට විශේසිත භෞතික වස්තූන්ට ආරෝපණය කළ හැකිය. දේවල්, අප කිසිදාක කතා නොකළ ආගන්තුකයන් විසින් අතීතයේ සිට එවවන ලද සන්දේශයන් මෙන්, ඔවුන්ව මිස අපට වෙනත් කිසිවක් ලබා නොදේ.
සමහර විටෙක එය වඩා හොඳද?
සමහර විට මෙය ඔවුන්ට හැකි එකම විදිය විය හැකිද? නොඑසේනම්, ඔවුන්, තනිකරම පණිවිඩයක්ද? කියක් මෙන් අර්ථ නිරූපණය කිරීමට සූදානම්ද? කවියෙකුගේ පද අර්ථ නිරූපණය කිරීමට ඔබ කවියා හඳුනා ගෙන සිටිය යුතු නැත.
ලාච්චු පුද්ගලික ඡායාරූපවලින් පිරී ඇත. නිවාස අහිමි ඡායාරූප දහස් ගණනක් තොග ලෙසින් ලබා දි තිබේ. මෙම පින්තූරවල ජීවිතය කිසිවෙකුගේ ජීවිතය කිසිසේත් අලංකාර නොකරයි. එය මෙම ඡායාරූපවල පෙනී සිටින ජනයාගෙන් පැවත එන්නන්ට කිසිදු ප්‍රීතියක් ගෙන එන්නේ නැත.
වෙනත් කෙනෙකුගේ ජීවියට අදාළ ඡායාරූප මිලදී ගන්නේ කවුරුන්ද? විකිණීමට අපහසුම ආලේඛ්‍ය ඡායාරූප බව කලාගාර හිමිකරුවන් මට පවසා ඇත. ඔබගේ නිවසට ආගන්තුකයෙකුගේ මුහුණක්, විශේෂයෙන් සමීප රුවක් හඳුන්වා දීමට ඔබ විවෘත චිත්තවේගයකින් සිටිය යුතුය. කැමතිම ලේඛකයෙකුගේ හෝ නළුවෙකුගේ පින්තූර අප දන්නා සහ අගය කරන පුද්ගලයින්ගේ වන අතර, එබැවින් ඔවුන් අපට සමීප, පවුලේ කොටසක් යැයි අපට හැඟේ. එනමුත් නුහුරු මුහුණක් ගැන කුමක් කිව හැකිද? ඔබට සමීප වටපිටාවේ? 1950 දශකයේ මුල් භාගයේ දී ලබාගත්, කිසිදාක හමු නොවූ යුවළකගේ මංගල ඡායාරූප හතළිස් නවයක හෝ ඔවුන් අඩංගු ඇල්බමයක හෝ ආලේඛය ඡායාරූපයක හිමිකරු වීමට කැමති කවුරුන්ද?
ෂුඑල්ත් රීදෙයි එය මට පැහැදිලි කළේය. ‘පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බටහිර යුරෝපෙන්. ඇමරිකාවෙන් මගේ සාප්පුවට තරුණ කට්ටිය එනවා. ඒ අය ඉපදුණේ කොමියුනිස් ලෝකයෙන් පිටත. ඒගොල්ලෝ අපේ රටවල ජීවිතය ගැන මුකුත් දන්නේ නැහැ. ඒ නිසා මේ වගේ පරණ පින්තූර හරි නැගෙනහිර යුරෝපෙන් ආවේණික පුරාවස්තු මිලදී ගන්නවා. ඒවයේ තියෙන හැම විස්තරයකින්ම ඒගොල්ලෝ පුදුමයට පත්වෙනවා. මැරිච්ච අයගේ ගෙවල්වලින් මම එකතු කරන ප්‍රධානම දේ පින්තූර කියලා මම පිළිගන්න ඕන.’
වසරකට දෙවතාවක් මම මගේ මිතුරන් වෙනුවෙන් මළවුන්ගේ සාප්පුවෙන් තෑගි මිලදී ගන්නෙමි. මම මේ වස්තූන් දරුකමට හදාගැනීම සඳහා ලබාදෙමි. මා ඔවුන්ට පවසන්නේ වෙනත් කෙනෙකුගේ ජීවිතයෙන් මම ඔවුන්ට යමක් ගෙන ආ බව මුත්, හරියටම පවසන්නේ නම් වෙනත් කෙනෙකුගේ ජීවිතය-නොවන ජීවිතයෙන් බව පැවසිය යුතු වෙමි.
2018 වසරේ පෝලන්තයේ ඉහළම සාහිත්‍ය සම්මානය වන නයිකි සම්මානය දිනාගත් ලේඛක මාරියුෂ් ෂ්ෂිජයෙල්ස් ගේ “Nie ma” (Not there) නැමැති කෘතියෙන් අන්තෝනියා ලොයිඩ් ජෝන්ස් විසින් පරිවර්තනය කර https://przekroj.pl/ යන වෙබ් අඩවියේ පළ කර තිබූ A time Bomb explodes යන ලිපියෙන් උපුටා ගත් කොටසකි.
පරිවර්තනය – රශ්මික මණ්ඩාවල
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
