පසුගිය සමය ලාංකීය ලේඛක ලේඛිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ලබාදුන් කාලයක් බවට පත් විය. 2021 වසරේදි අනුක් අරුද්ප්‍රගාසම් බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීමෙන් පසුව 2022 වසරේදී පිට පිට දෙවන වතාවට තවත් ශ්‍රී ලාංකිකයෙකු බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීම ලාංකීය සාහිත්‍යය කලාවට ලැබුණු මහත් උත්තේජනයකි. එලෙස කෙටිලැයිස්තුගත වූ ශෙහාන් කරුණාතිලක මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය නවකතා තරගය ජයගන්නේ ඔහුගේ චයිනමන් කෘතියෙනි. එය සිංහල පාඨකයන් අතරද ජනප්‍රියයි. තම සාහිත්‍ය ජීවිතය පිළිබඳව මෙන්ම ඔහුගේ නවතම කෘතිය වන ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ ගැන ශෙහාන් කරුණාතිලක අරුණ පුවත්පත සමඟ මෙලෙස අදහස් දැක්වීය.
1. ඔබ මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානය වැනි ජාත්‍යන්තර සම්මාන දිනපු කෙනෙක්. දැන් ලෝකයේ ප්‍රමුඛ පෙළේ සම්මානයක් වන බුකර් සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. සම්මාන දිනීම, ඒවාට නිර්දේශ වීම ඔබේ ලේඛන කලාවට අභියෝගයක්ද? නැත්නම් ඒක උත්තේජනයක්ද? ඔබ කොහොමද මේ දේවල් ගැන දකින්නේ?
සම්මාන කියන සෙල්ලම ඇත්තටම ලොතරැයියක්. ක්‍රිකට්, නෙට්බෝල් වගේ ක්‍රීඩාවක් නෙමෙයි. ෆයිනල් එකට ගිහින් හොඳටම සෙල්ලම් කරලා දිනන්න බැහැ. විනිශ්චය කරන අය අපි වගේම පොත්වලට ආදරේ කරන කට්ටියක්. ඒගොලන්ගේ ටේස්ට් එක අනුව තමයි සම්මාන දෙන්නේ, නිර්දේශ වෙන්නේ. මම නිර්දේශ නොවෙච්ච සම්මාන නිර්දේශ වෙච්ච ඒවට වඩා සෑහෙන්න තියෙනවා.
ලොතරැයිය ඇදුනම සන්තෝස වෙන්න ඕන. ඒත් පොතක් ලියනකොට ඕවා ගැන හිතන්න බැහැ. තමන්ට පුළුවන් උපරිම තත්වයට කතාව ලියන්න තියෙන්නේ. ඊටපස්සේ වෙන දේවල් ලොතරැයියට භාරදෙන්න.
2. චයිනමන් කෘතිය ඔබේ පළමු කෘතිය වුණත්, එයට පෙර ඔබේ ‘ද පේන්ටර්’ කෘතිය ග්‍රේෂන් සම්මානයට කෙටි ලැයිස්තුගත වෙනවා. නමුත් ඔබ එය ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. එහෙම ප්‍රකාශනය නොකළ පොත් තව දෙකක් ගැන සඳහන් වෙනවා. සම්මානවලට නිර්දේශ වෙලත් මේ කෘති ප්‍රකාශයට පත් නොකරන්න විශේෂ හේතුවක් තියෙනවද?
ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ. ඉවර කරන හැම කතාවම අච්චු ගහන්නත් අවශ්‍ය නැහැ. මම ලියන වචන, වාක්‍ය, ඡේද සියයට හැත්තෑවක්-අසූවක් නරකයි. ඒ ටික විසික් කරලා ඉතුරු විස්ස තවත් හොඳට කරලා, නාඳුනන කෙනෙක්ට රස විඳින්න හැකි මට්ටමකට අරං එන එක තමයි මගේ රාජකාරිය.
ඔබ ඔය කියපු පොත් පළ කරේ නැත්තේ ඒවා හොඳ මදි නිසා.
3. චයිනමන් කෘතිය ලියද්දි ඔබට ප්‍රදීප් මැතිව් කියන චරිතය ද මතුවුනේ, නැත්නම් ඒ කතා තේමාව සහ සිදුවීම් පෙළ ද ඉස්සෙල්ලා මතුවුනේ?
චයිනමන් පටන්ගත්තේ ප්‍රදීප් මැතිව් කියන චරිතයත් එක්ක. මට මතකයි එක්දහස් නමසිය අසූගණන්වල, මම පොඩි කාලෙදි බලපු ක්‍රිකට්. මුරලි කණ්ඩායමට එන්න පෙර අපිට දඟලන්දු යවන්නෝ කොච්චර හිටියද? අරුණසිරි, මදුරුසිංහ,වර්ණවීර, ජෙගනාතන්, ජුරන්ග්පති, සංජීව වීරසිංහ, අසෝක ද සිල්වා, රොජර් විජේසූරිය, වගේ හැම අවුරුද්දෙම අලුත් දඟපන්දු යවන්නෙක් ටීම් එකේ. ඊළඟ මැච් එකේ මිනිහා ඩ්‍රොප්. මම හිතුවේ ඒ කාලේ අපිට මුරලි, ෂේන් වෝන් මට්ටමේ ස්පිනර් කෙනෙක් හිටියනම්, මනුස්සය ලෝක ප්‍රසිද්ධ වෙයිද, නැත්නම් ප්‍රදීප් මැතිව්ට වෙච්ච දේ වෙයිද?
එතනින් තමයි කතාව පටන් ගත්තේ. තේමා සිදුවීම් සහ සෙසු චරිත පස්සෙයි ආවේ.
4. චයිනමන් කෘතිය ගැන ලෝක මට්ටමේ විචාර ගණනාවක් තියෙනවා. එහි සිංහල පරිවර්තනය කියවපු පාඨකයන්ගෙන් ඔබට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
ඒක පරිවර්තනය කරපු දිලීපගෙන් තමයි ඒ ප්‍රශ්නේ අහන්න ඕන. නොකියවපු කට්ටිය පොත දිග වැඩියි, අකුරු පොඩිවැඩියි කියලා කියනවා. කියවපු කට්ටියගෙන් මට හුඟක් දුරට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
5. ඉංග්‍රීසි ඔබේ මුල් බස ද? සාමාන්‍යයෙන් පිළිගන්න කාරණයක් තමයි ලේඛකයෙක්ට මුල් බසින් ලියන එක තමයි වඩා සාර්ථක කියලා. හැබැයි මේ කියමනට විරුද්ධව ගිහින් දෙවෙනි බසින් විශිෂ්ට නිර්මාණ කරපු අය ඉන්නවා. මේ අදහස සහ ඔබේ අත්දැකීම් මොන වගේද?
මම කොළඹ කොල්ලුපිටියේ මධ්‍යම පංතියේ පවුලක ඉපදුණේ. සිංහල කතා කරාට ගෙදර-පාසලේ වැඩියෙන්ම කතා කරේ ඉංග්‍රීසි. ඇහුවේ එම් ටීවී එකේ ඉංග්‍රීසි සිංදු. කියෙව්වේ ඉංග්‍රීසි පොත්. බැලුවේ ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපටි. සිංහල මවුබස වුනාට මම හිතුවේ විහිළු කරේ කතා මැව්වේ ඉංග්‍රීසියෙන්. මට සිංහල ලියන්න කියවන්න කතාකරන්න පුළුවන්. ඒත් නවකතා ලියන මට්ටමට එන්න තව සිංහල සාහිත්‍ය පොත් ඇසුරු කරන්න වෙයි. මම දැන් ඔන්ලයින් දෙමළ භාෂාවත් ඉගෙන ගන්නවා. කවදහරි සිංහල සහ දෙමළ භාෂාවලින් කතාවක් ලියාගන්න පුළුවන්නම් මම කරනවා. දැනට නම් අමාරුයි.
6. ලිවීම සහ කියවීම අතර සම්බන්ධයක් තියෙනවද? කියවීම ඔබේ ලිවීමට බලපෑම් කළාද? ඔබේ ආඛ්‍යාන මූලය එන්නේ කොතනින්ද?
පොත් කියවන්නේ නැත්නම් පොත් ලියන්න බැහැ. එක පොතක් ලියන්න පොත් සීයක්, දාහක්වත් කියවන්න වෙයි. කියවන්න අකමැති නම් පොත් ලියන්න අමාරු වෙයි. දැනුත් මම මොනවා හරි ලියන්න පෙර, ඒ විශයට අදාළ දේවල් ඕනවටත් වඩා කියවනවා. එතනින් තමයි අදහස්, වැකි, චරිත හිතට එන්නේ.
7. ඔබ එක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා ‘මම මොනවා ලිවුවත් ලංකාව ඒකේ චරිතයක් කියලා. සල්මන් රෂ්ඩි වරක් සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබුණා ඉන්දියානු කේන්ද්‍රීය නොවන චරිතයක් අරන් නවකතාවක් ලියන්න ඔහු සමත් වෙලා නැහැ කියලා. ඔබ හිතන්නේ ඔබට ලංකාවෙන් සම්පූර්ණයෙන් වියුක්ත කතාවක් ලියන්න අමාරුද? ලේඛකයන්ට මේක පොදු තත්වයක්ද?
නවකතාවක්, කෙටිකතාවක්, චිත්‍රපටියක් ලියන්න හුඟක් වෙලා ගතවෙනවා. මාස, අවුරුදු ගණන්. බොහෝවිට ලියන දේ අසාර්ථ වෙන්න පුළුවන්. ඉතින් ලියන්න තීරණය කරනකොට තමන්ට අවබෝධයක් තියෙන, තමන්ට ගැඹුරින් උනන්දුවක් තියෙන විශයක් තෝරගන්න ඕන. ලංකාව ගැන ලියන්න අනන්ත දේවල් තියෙනවා. මම ලන්ඩන්, සිංගප්පූරුව, වෙලිංටන්වල කාලයක් පදිංචි වෙලා හිටියා, ඒ රටවල් ගැන ලියන්න මට හිතුනෙ නැහැ. මම හිතුවෙ පිටකෙනෙක් හැටියට ඒ රටවල් ගැන ගියන්න අවසරයක් හෝ අයිතියක් මට තිබුණේ නැහැ කියලා.
මගේ කෙටිකතා පොත වෙන ‘ද බ්‍රිටිෂ් ලොටරි සහ අදර් සප්‍රයිසස්‘ මේ මාසේ ඉන්දියාවේ සහ ලංකාවේ පළ වෙයි. කතා තිහක් විතර තියෙනවා. ලංකාව විශේෂ නොවෙන එක කතාවක්වත් ඒකේ නැහැ.
8. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ තමයි ඔබ බුකර් සම්මානයට නිර්දේශ වන කෘතිය. සෙවන් මූන්ස් නැත්නම් හඳවල් හත කියන කාල ගණනය ගැන කියද්දි මට මතක් වෙන්නේ පාවුලෝ කොඑලොගෙ පොත් තුනක් තියෙනවා දින හතක් ඇතුළෙ සිද්ධවෙන කතන්දර. ඒ ජේසුතුමන්ගේ උත්තානය මත ගොඩනැගුණු ප්‍රවාදයක්. මේ දින හත ඔබ ගන්නේ බෞද්ධ සංකල්පයකින්ද?
ඔව්. ඒක ආසියාවේ හුඟක් සංස්කෘතිකව තියෙන ලක්ෂණයක්. හත් දවසේ දානව, තුන්මාසේ පිරිත. සිංගප්පූරුව, චීනය, ටිබෙටය, ඉන්දියාව වගේ රටවලත් ඒ චාරිත්‍රය තියෙනවා, ඒ සංකල්පය පිළිගන්නවා.
තව මේ කතාව අභිරහස්/ රහස් පරීක්ෂක කතාවක් නිසා දින හත ප්‍රයෝජනවත් වුනා කතාවේ වේගය ඉක්මන් කරන්න. මාලි අල්මේදා ට දින හතක් තියෙනවා තමන්ගේ මිනීමරුවා හොයන්න, තමන් ගත්ත ඓතිහාසික ලාංකීය ඡායාරූප ටික ලෝකය ඉස්සරහට ගෙනල්ලා පළකරන්න. ඒ හත්දවසේ ව්‍යුහය නිසා කතාව ගොඩනගන්න පහසු වුණා.
9. මේ කතාවේ ප්‍රධාන චරිතය ගොඩනගද්දි ඔබට ඒකට සමීප සැබෑ චරිතයක් තිබුණද? නැත්නම් මාලින්ද අල්මේදා සම්පූර්ණයෙන් ම ප්‍රබන්ධ චරිතයක්ද?
සමීප කට්ටිය කොච්චර හිටියද 1989-90 කාලේ? මියගිය තරුණ තරුණියො, අතුරුදන් වුණ අහිංසකයො, මරලා ටයර් සෑය වල ගිනි තියපු- එල්ලපු අසරණයො. මම ඒ කාල පරිච්ඡේදය ගැන පර්යේෂණයක් කළා. පොතට සමීප චරිත හුඟක් හිටියා. විශේෂයෙන් මාධ්‍යෙව්දී රිචඩ් ද සොයිසා, මහාචාර්ය රාජිණී තිරාණගම, ශිෂ්‍ය සංගම් නායක දයා පතිරණ සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ. ඒත් මගේ කතාව ප්‍රබන්ධයක්. ඇත්ත කතාව මගේ එකට වඩා හුඟක් භයානකයි.
10. මේ පොතේ සිංහල පරිවර්තනයක් පාඨකයන්ට කොයි කාලේ වගේ කියවන්න ලැබෙයිද?
ඒකත් දිලීපගෙන් තමයි අහන්න ඕන. මේ පොත සිංහල සහ දෙමළ බසින් කියවන්න පළ කරන වැඩේ ප්‍රකාශකයෙකුට පවරන්න බැරි වුණා. මගේ ලොකුම ප්‍රාර්ථනය එන අවුරුද්දේ අපිට මේ භාෂා දෙකෙන්ම රටේ සිංහල සහ දෙමළ පාඨකයන්ට කියවන්න ලැබේවා කියන එකයි. ඒක මට බුකර් සම්මානයට වඩා වැදගත්.
සංවාදය – රශ්මික මණ්ඩාවල
2022 සැප්තැම්බර් 08 වෙනිදා අරුණ පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්චාවකි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
