අර්සු (බලාපොරොත්තුව)

එකම රාජකාරියක නිරත වීම කෙනෙකුට මැදපෙරදිග ජීවිතයේ ලැබෙන නීරසම අත්දැකීම විය හැක. කිසිම වෙනසක් නැති ජීවිතයක් ගෙවීම අපහසු බව අපට දැනෙන්නේ එක්වරම එයට වෙනසක් ඇතිවූ විටය. එහෙත් වෙනස කුණාටුවක් ලෙස හඹා ආවේ නම් එය කෙසේ දරාගන්නද? සාමකාමීව ගෙවී ගිය මගේ ජීවිතය කුණාටුවකට ඇදදැමූ ඒ දවස උදාවූයේ අශුභ ලකුණක් සමඟිනි.

නිසල් ඒකනායක වන මම කටාරයේ සුපිරි වෙළඳසැලක ගෘහභාණ්ඩ අංශයේ අලෙවි සහකාරවරයෙකු ලෙස එවකට සේවය කරමින් සිටියෙමි. ලෝකයේ නන් දෙසින් ගෙනා ඉවුම් පිහුම් භාණ්ඩ මෙන්ම ඇද රෙදි, පාපිසි ආදී දෑ වලින් එය පිරී පැවතිණි. උදෑසන මගේ රාජකාරිය වන්නේ සියලු රාක්ක පරීක්ෂා කර බලා අඩුපාඩු ඇත්නම් යළි පිරවීමය. ඉන්පසු අංශය වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමය. උදේ කාලයේදී පාරිභෝගිකයින් සිටින්නේ මඳ වශයෙනි. ඉන් බොහෝමයක්ම අවට නවාතැන් ගෙන සිටින පවුල්වල මැදිවියේ හෝ වයසක කාන්තාවන්ය. වැඩි කතාබහක නොයෙදෙන ඔවුහු තම කාර්යය ඉටුකරගත් වහාම පිටව යති. එදින සේවයට පැමිණ අංශය පරික්ෂා කරද්දි සියල්ල මනාව පැවතීම මා පුදුමයට පත් කළේ ය. මගේ නේපාල මිතුරාට අනුව නම් එය අශුභ ලකුණකි.

අරාබි භාෂාව ගැන ඇති මගේ අඩු දැනීම දිගු කතාබහක් ඇතිවීම වළකාලයි. මේ කියන දිනයේ ඉතා රූමත් තරුණියක් පැමිණියාය. බැලූ බැල්මට ඇය අරාබි තරුණියක් විය හැකි බව පෙනුණද ඇය සැරසී සිටියේ ඩෙනිම් කලිසමකින් හා ටීෂර්ටයකිනි. දිගු ඇහිබැම යටින් වූ නිල්පැහැති ඇස් කාන්තිමත්ය. ඈ තුළ තිබුණේ විස්තර කළ නොහැකි අපූර්වත්වයකි. එයින් හැමතැනම ආලෝකමත් වූ බවක් පෙනිණි.

“හායි, මට කිංග් සයිස් බෙට් ෂීට් දහයක් ගන්න ඕන. මොනවද හොඳම ඒවා” මා වෙත පැමිණි ඇය විමසුවාය.

ඇගේ මේ ඉල්ලීම තරමක අමුතු සහගත එකකි. එනිසාම මට කුතුහලයක් ඇතිවිය.

“මැඩම් චයිනා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකන් ජාති තුනෙන්ම තියෙනවා. මෙන්න මේ රැක් එකේ තමයි හොඳම ඒවා තියෙන්නේ? ගොඩක් මැඩම්ලා නම් ඔය ගාන අඩු චයිනා එකෙන් තමයි අරන් යන්නේ, ගෙදර වැඩ කරන අයට දෙන්න”

“නෑ මගේ අයියගේ යාලුවෝ වගයක් එනවා, එයාලට දෙන්න හොඳම ඒවා ඕන.”

“ආහ් එහෙනම් මැඩම් මෙන්න මේවා තමයි හොඳම,මේ ෂෙල්ෆ් එකේ බලන්න”

“ආහ් මේකෙන් දහයක් දෙන්න” ඇය අළු පැහැති බෙට් ෂීට් එකක් තෝරා මට දුන්නාය. ඇයට මදක් ඉන්නට කියා ගබඩා කාමරයට ගිය මම බෙට් ෂීට් 10ක්ම රැගෙන ආවෙමි.

“අනේ තෑන්ක්ස්. මට ආයෙත් එන්න වෙයි. මං මෙහේ අයව වැඩිය අදුනන්නේ නැහැ. ඔයාගේ නම්බර් එක දෙන්න, මම ඕන දෙයක් තිබ්බොත් කතාකරන්නම්.”

මම වහා කොළයක් ගෙන මගේ දුරකතන අංකය ලියා දුන්නෙමි. මම සාමාන්‍යයෙන් දුරකතනය වැඩට යන විට රැගෙන නොයමි.

“මිස්ගේ නම මොකක්ද?”

“අර්සු”

මඳ සිනහවක් සටහන් කළ ඇය පිටව ගියාය. ඇය මගේ නම අසාවි යැයි සිතුවත් එය එසේ නොවිණි. එයින් පසු කාලය මා ගතකළේ තරමක අසහනයකින් කීම නිවැරදිය. ඒ ඇගෙන් ඇමතුමක් ලැබෙන්නේ කොයිවේලාවේද යන්න සිතාගත නොහැකි හෙයිනි. වෙනදා දුරකතනය කාමරයේ දමා ගියත්, දැන් මම සේවයට යන විටත් දුරකතනය රැගෙන යමි. එහෙත් ඇමතුමක් ලැබුනේ නම් නැත. මේ අතරේ ඇය හා මගේ සිත තදින් බැඳෙන්නට විය. ආදරයක අංශු මාත්‍රයක් හෝ ඇගේ සිනාවේ තැවරී තිබුණාදැයි බලන්නට මම හැමවිටම රාත්‍රියේදී ඇය පිටව යන මොහොතේ නැගු සිනාව මගේ මතකයෙන් ගෙන මගේ දෑස් ඉදිරියේ විශ්ලේෂණය කළෙමි. එහෙත් එවැන්නක් හඳුනා ගැනීමට මම අපොහොසත් වීමි.

දිනෙන් දින ගතවෙද්දී අපේක්ෂාභංගත්වයට පත්වූ මම නිසි ලෙස වතුර නොලැබූ පැළෑටියක් මෙන් අඩපණව ගියෙමි. එහෙත් ඒ අනපේක්ෂිත මොහොතේදි මට ඇගෙන් ඇමතුමක් ලැබිණි.

“හායි මම, හෙට හවස ඔයා ඉන්නවද? තුනට විතර මම එනවා බඩු වගයක් ගන්න”

“ඔව්, ඔව් මැඩම් එන්න” ගැහෙන හදවතින් මම කීවෙමි.

මගේ සේවා මුරයට අනුව තුනට පමණ මා නැවත මගේ කුටියෙහි සිටිය යුතු බැවින් ඇයව හමුවීමට නොහැකි වනු ඇත. මම වහාම අංශ ප්‍රධානියාට කතාකර මගේ සේවාමුරය මාරුකර ගතිමි. ඇය හමුවීමේ ප්‍රීතිය මගේ පාදවල සිට හිස දක්වා විදුලියක් මෙන් ගලාගියේය.

පොරොන්දු වූ පරිදිම පසුදින හවස තුනට ඇය පැමිණියාය. වෙනදාට වඩා පිළිවෙලට සැරසී එදින මම වැඩට ගියෙමි.

“හායි, මොනව ගන්නද අද ආවේ?”

“ම්ම්.. අද මෙතනින් නම් ගන්න විශේෂ දෙයක් නෑ. මොනවද තියෙන්නේ කියලා මට පෙන්නන්නකෝ?”

“එන්න මං පෙන්නන්නම්” එවෙලෙහි අංශයටම හිටියේ එක පාරිභෝගිකයෙකු පමණක් බැවින් මට ඇය සමඟ රිසි සේ කතාකිරීමට ඉඩ ලැබිණි.

“මෙතන තමයි බෙට් ෂීට්, කොට්ට උර, කොට්ට තියෙන තැන.” විවිධ වර්ගයේ බෙට් ෂීට්, කොට්ට හා කොට්ට උර තිබූ ෂෙල්ෆ් කිහිපයක් මම ඇයට පෙන්වීමි. ඇය පෙරදා අතගා බැලූ බෙඩ් ෂීට් , කොට්ට උර ආදිය අතගා බැලුවාය. මෙතන තියෙන්නේ එක එක විදියේ පාපිසි වර්ග. අර තියෙන්නේ කිචන් ක්විප්මන්ට්ස්”

ඇය ඒ සියල්ල සෙමෙන් වඩාත් පරීක්ෂාකාරීව බැලුවාය.

ක්‍රමයෙන් අප පිවිසියේ අංශයේ ඉවත් කරන අයිතම ගොඩගසා තිබූ කොටසටයි. මේ කොටස අංශයේ සෙසු කොටසට එකවර දර්ශනය නොවන්නේ එය පැත්තෙන් ගුහාවක් මෙන් ඇතුළට පිහිටා තිබීම නිසාය. ඒ කුඩා ඉඩකඩෙහි රැඳී සිටීමට අපට සමීප වීමට සිදුවිය. කෙමෙන් අපගේ හුස්ම පවා අපට දැනෙන්නට පටන්ගති. ඇගේ පියයුරු මගේ පපුවෙහි ගෑවෙන නොගෑවෙන තරමින් ළංවන විට මම ඉහල බැලුවෙමි. ඒ CCTV කැමරා මේ ප්‍රදේශය වෙත එල්ල වී ඇතිදැයි දැනගන්නටය. පසුව මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. එහි කාන්තිය මගේ දෑස් නිලංකාර කළේය. අපේ මුහුණු සමීප වෙද්දී ඇය කම්මුලකට හාදුවක් තබා අංශය වෙත පැනගියාය. මඳ වේලාවක් එලෙසම ගතකළ මම අංශය වෙත එනවිට ඇය පිටව ගොසිනි. ඉන් දෙදිනකට පසුව දෝහා අග නගරයේ සුපිරි වෙළඳසැලක බෝම්බයක් පුපුරා ගොස් රජයේ ප්‍රභල නිලධාරියෙකු සහ තවත් තිස්දෙනෙකු පමණ මියගියහ. කටාර් රාජ්‍යයම භීතියෙන් සලිත කරන්නට එම පිපිරීම සමත් විය. පිපිරීම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ විය.

ඉන් සතියකට පමණ පසුව කටාර් පොලීසිය අපේ සුපිරි වෙළඳසැලේ දොරකඩ පෙනී සිටියේ මා අත්අඩංගුවට ගැනීමට ය. ත්‍රස්තවාදියෙකු ලෙස මා අත්අඩංගුවට ගැනුනේ බෝම්බ ප්‍රහාරයට මා සම්බන්ධ බව පවසමිනි. නිසල් ඒකනායක වන ලාංකික මට, කටාරයට බෝම්බ තබන්නට ඇති උවමනාව කුමක්ද? කෙසේ වුවද දැන් සියල්ල තීරණය වී හමාර ය. මගේ දඬුවම කුමක් වේවිද? සැබවින්ම මා මෙයට ඈඳුණේ කෙලෙසද යන ප්‍රශ්න මගේ මනසේ නලියමින් පැවතිණි. රහසිගත ගොඩනැගිල්ලට මා කැඳවාගෙන ගිය ඔවුහු දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කළහ. එහෙත් මා කිසිවක් දැන සිටියේ නැත. අවසානයේදී ඔවුන් මට පෙන්වූයේ ඇදහිය නොහැකි ඡායාරූපයකි. එහි සිටියේ අර්සු ය. ඇය සිරියාවේ දී සටන්කාමිනියක ලෙස තුවක්කුවක් ද අත තබාගෙන ලබාගත් ඡායාරූපයකි.

“තමුසෙගෙ ෆෝන් එකෙන් තමයි බෝම්බෙ පුපුරන තැන වෙලාව තියෙන මැසේජ් එක යවලා තියෙන්නේ. තාමත් කියන්නේ තමුසෙ අහිංසකයි කියලද?”

මම එම පණිවිඩය බැලුවෙමි. එය ඉංග්‍රීසියෙන් යවන ලද පණිවිඩයකි. එහෙත් මගේ දුරකතනයේ එවැනි පණිවිඩයක් යැවූ බවට සටහනක් නොවී ය. අර්සු මගේ දුරකතනයෙන් එම පණිවිඩය යවා පසුව මකා දමන්නට ඇත. එසේ නම් ඇය මා බිල්ලට දුන්නාද? ආදරය හැමවිටම ගෙනෙන්නේ මිහිරියාව නොවේ. සිදුවූ සියල්ල මම ඔවුන්ට පැහැදිලිව පැවසුවෙමි. එහෙත් ඉන් ඵලක් වේදැයි මම නොදනිමි. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මා සිර කුටියකට යවන ලද්දේ ය. එහි වැතිරී අඳුර නම් තිරය මත මගේ සිතුවිලි එහා මෙහා කරන විට මට අර්සුගේ සිනහව නැවත නැවතත් පෙනේ. මට ඇය ගැන වෛරයක් නූපදින්නේ ඇයි? මම කල්පනා කළෙමි.

එළියේ මුරට සිටින නිලධාරියා මා වෙත කෑම පිඟාන ලබාදුන්නේ ය. එහි කුබුස් දෙකක් සමඟ එළුමස් හොද්දකි. කුබුසයක් ගෙන දිග හරින විට මට එහි පිහියකින් සලකුණු කර තිබුණු සලකුණක් දකින්නට ලැබිණි. එහි ‘අර්සු’ යනුවෙන් ලියා තිබිණි. එහි තේරුම මට නැවත සිහියට නැගිණි. ‘බලාරෛාත්තුව.’

එදින රාත්‍රියේ මම එක්වරම අවදිවීමි. සියල්ල නිශ්චලය, නිහඬය. කුටියේ දොර විවරව තිබේ. එය කෙසේ නම් සිදුවීද? දොරටුව අසල සිටියේ අර්සු ය.

“අපි යමු.” ඇය කීවා ය.

“ඇයි ඔයා මට මෙහෙම කළේ?”

“සොරි, එළියට යමු, මම ඉක්මනට යන්න ඕන. වැඩි වෙලාවක් නැහැ.”

මම ඇය සමඟ පිටවුණෙමි. මගේ අතින් අල්ලාගත් ඇය එම ගොඩනැගිල්ලෙන් පිටතට මා රැගෙන ගියා ය.

“මට ඔයාට කියන්න කතාවක් නැහැ. මගේ අසරණකම ඔයාට කියලා අනුකම්පාවක් ලබාගන්න මට ඕන නැහැ. මේක සටනක්. සටනකදි ඉත්තෝ පාවිච්චි වෙනවා. මගේ තාත්තටත් වුනේ ඒකයි. ඒත් ඔයා ඉත්තෙක් නෙමෙයි. ඔයා තමයි ගොදුර. ඔයාව මරන්න තීන්දු වෙලා තිබුණේ.

ඔයාව හමුවෙන්න මම පළවෙනි දවසේ ආවේ ඔයා කවුද කියලා බලාගන්න. ඒත් නොහිතපු විදියට මම ඔයාට ආදරේ කරන්න ගත්තා. මම දැනන් හිටියා ඔයාටත් එහෙම හැඟීමක් තිබුණා කියලා. ඔයාව මරණයෙන් ගලවගන්න මට තිබුණ එකම ක්‍රමය මේක විතරයි. ඔයාව මේකට අහුකරලා හිරේට ගන්න එක. මෙතනදී ඔයාට අනතුරක් කරන්න අපේ සංවිධානේ අයට බැහැ. හැබැයි ඔයාට දඬුවමක් ලැබෙනවා. ඒකෙන් මට ඔයාව නොමරා හිත හදාගන්න පුළුවන් වෙයි.”

ඇය දීර්ග සුසුමක් හෙළලා කතාව නතර කළා. ඒත් ඇයි මාව මරන්නේ කියන කාරණය ඇය කිවුවේ නැහැ.

“ඇයි මාව මරන්නේ?”

“මීට අවුරුදු තුනකට කලින් ඔයා මේ සුපර්මාර්කට් එකේදී කෙනෙක් අල්ලලා දුන්නා මතකද?”

මට සියල්ල පැහැදිලි විය.

“ඒ ඔයාගෙ තාත්තා?”

“ඔව්. තාත්තගෙ සාක්කුවට ඒ කුඩු පැකට් එක දාලා අල්ලලා දෙනවට ඔයාට කීයක් ලැබුණද?”

“අර්සු, මටත් නැහැ ඔයාට කියන්න කතාවක්. මට ඕන නැහැ ඔයාගෙන් අනුකම්පාවක් දිනාගන්න. ඒත් මම එදත් ගොදුර, අදත් ගොදුර. එදා මම වැඩට එද්දී කෙනෙක් මට පින්තූරයක් පෙන්නලා කිවුවා මේ කෙනා කුඩු අරන් එනවා ඇතුළට, අල්ලලා දුන්නොත් රියාල් 20000 දෙනවා කියලා. මගේ අම්මා ලොකු පපුවේ අමාරුවකින් ඒ දවස්වල ලංකාවේ හිටියේ. බයිපාස් එකට සල්ලි ඕන වෙලා තිබුණා. මම කුඩු පැකට් දාන්න ගියේ නැහැ. සමහරවිට එයා ඇතුළට එද්දි දාන්න ඇති. මම හිතුවේ මම කරන්නේ හොඳ වැඩක් කියලා. කුඩු විකුණන කෙනෙක්ව අල්ලලා දෙන එක.”

“හ්ම්… එයාලට ඕන වුනේ ප්‍රසිද්ධ තැනකදී, විශේෂයෙන් ලොකු සෙනගක් ඉස්සරහා තාත්තව අල්ලලා දෙන්න. මොකද එයාලට එයාව මරලා විතරක් මදි වුනා. එයාගේ චරිතයම විනාස කරන්න ඕන වුනා. තාත්තා ලැජ්ජාවටම හිරේදී මැරුණා. දැන් ඒවයින් වැඩක් නැහැ. ඔයාට ඉක්මනටම ආපහු යන්න ලැබෙයි. අපි නැවත හමුවෙන්නේ නැහැ. ඒත් මම ඔයාට ආදරෙයි! යුද්ධෙක තවත් ඉත්තෝ දෙන්නෙක් විදියට වුණත් අපිට ආදරේ අඳුන ගන්න ලැබුණා. සුබ ගමන්!”

මෙතනින් එහාට මට මේක ලියන්න අමාරුයි. මම ඉතුරු ටික ඔයාලට කියන්නම්.

අර්සු එකවරම මැකිලා ගියේ පරිගණකයක දත්ත මැකිලා යනවා වගේ. මම නැවතත් සිරකුටිය ඇතුළෙ. අර්සු කියන්නේ මායාවක් ද? මේ වැලිකතරේ විවිධ මායාවන් තියෙනවලු. අර්සු ත් එහෙම මායාවක්ද?

සතියකට පස්සේ මාව නිදහස් කළා, අර්සු කිවුව විදියටම. මම නිදහස් මිනිහෙක් විදියට එළියට ආවා. කාලය ගියත් මට අර්සුව අමතක වුනේ නැහැ. අවුරුදු දෙකක් ගෙවුණා. අර්සු ගැන තොරතුරක් හොයන්න හැදුවත් මට මුකුත්ම හොයාගන්න බැරි වුනා. දවසක් සවුදියේ ඉඳන් ආපු යාළුවෙක් කෑම වගයක් ඔතාගෙන ආවා පත්තරේක. කෑම ටික අරගෙන පත්තරේ විසික් කරන්න යද්දි තමයි මම පත්තරේ දැක්කේ. ඒකේ තිබුණෙ සවුදි රජයට විරුද්ධව වැඩ කරපු ෂෙයික් අල් නිමර් ඇතුළු 47 දෙනෙක් ත්‍රස්තවාදී ලෙස සලකා ඝාතනය කරපු පුවතක්. ඒ ලැයිස්තුවේ අර්සු ගේ නමත් තිබුණා. ඒ හරියටම මීට අවුරුදු දෙකකට කලින්. අර්සු, මට බලාපොරොත්තුව දීලා තියෙන්නේ ඇගේ බලාපොරොත්තු කැපකරලා. මම වෙවුලන දෑතින් ඒ පත්තර කොළය දිහා බලන් හිටියේ. දියවෙලා යනව නම් ඒ වෙනකොටත් මගේ හදවත දියවෙලා ගිහින්. එදා ඒ රෑ අර්සු ත් මම ත් හමුවුනාට පස්සේ දවසෙ අර්සු අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. ඇය මගේ කුටියට ආවේ කොහොමද? කුබුස් එකේ අර්සු කියලා ලිවුවේ කවුද? මේ කිසිම දේකට මට පිළිතුරු නැහැ. මේ සිද්ධිය වුණේ 2016 අවුරුද්දෙදි. අද 2021 අවුරුද්දෙ සැප්තැම්බර්. හරියටම සිද්ධිය වෙලා අවුරුදු පහක්. අර්සු නැතිවෙලා අවුරුදු පහක්. වෙනදා වගේම මම එදා අල්කෝර් වල බීච් එකට ගියා. අර්සු තමන්ගේ තාත්තව අල්ලලා දුන්න මනුස්සයාට ජීවිතය දීලා ඇගේ ජීවිතේ කැපකරලා අවුරුදු පහක්. ඇය මනුස්ස දුවක් වෙන්න බැහැ. ඇය මේ වැලිකතරේ දේවතාවියක් වෙන්න ඇති. අල්කෝර් වෙරළෙදි මම දැක්ක දර්ශණයෙන් මම තුෂ්නිම්භූත වුනා. දැඩි ඉර අවුව වැලි වලට වැටිලා දිස්නේ දෙනවා. ඒ රශ්මි ධාරාව අතරින් මගේ දිහාට ආවේ අර්සු!

මට සියල්ල අදහාගන්න බැරි වුනා. ඒත් ඇය මාව අඳුනගත්තේ නැහැ. මම ඇය පසුපස්සෙන් ගියා. එහෙත් ඇය නොපෙනී ගියා. මට කිසිදෙයක් හිතාගන්න බැරි වුනා. මම එතන වාඩිවෙලා ඉර බැහැලා යනකම්ම බලන් හිටියා. ඉර බැහැලා කළුවර වෙද්දී මට තේරුණා දෙයක්. අර්සු කියන්නේ බලාපොරොත්තුව.

බලාපොරොත්තුවට අවසානයක් නැහැ.

නිමි!

රශ්මික මණ්ඩාවල


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment