සිහිකල්පනාවෙන් යුක්තව මා අත්විඳි පළමු ඡායාරූපය වන්නේ මට උපත ලබාදෙන්නට පෙර මගේ මවගේ රුව ඇතුළත් වූ ඡායාරූපයකි. අවාසනාවට එය කළු-සුදු ඡායාරූපයක් වූ බැවින් අළු පැහැති හැඩයන් මිස සවිස්තරාත්මක බොහෝ දේවල් එයින් ගිලිහී තිබිණි. කවුළුවකින් පෙරී ආ වැසි දිනක මෙන් මළානික, වසත් සමයේ ආලෝකය වන් මෘදු ආලෝකයකින් කුටිය යාන්තමින් දිලිසෙයි. ශබ්දය අඩු වැඩි කිරීමට සහ නාලිකා සුසර කිරීමට ඇබ දෙකක් සහ කොළපැහැති රවුමක් සහිත අපේ ගුවන්විදුලිය අසල සිට ඇය ඡායාරූපයට පෙනී සිටියාය. මගේ ළමාවියේ සහචරයා බවට පසුව මෙම ගුවන්විදුලිය පත්විය. විශ්වයේ පැවැත්ම ගැන මම එයින් ඉගෙන ගතිමි. තද කළු ඇබය කරකවන විට ඇන්ටනාවේ සුකොමළ ස්පර්ශේන්ද්‍රියන් සීරු මාරු වී එහි පථයට වෝර්සෝ, ලන්ඩන්, ලක්සම්බර්ග් සහ පැරිස් වැනි විවිධ නාලිකාවන් හසුවේ. කෙසේ වෙතත් සමහර විටෙක ප්‍රාග් සහ නිව්යෝර්ක් හෝ මොස්කව් සහ මැඩ්රීඩ් අතර දී ඇන්ටනාවේ ස්පර්ශේන්ද්‍රියන් කළු කුහරයකට ඇද වැටුනාක් මෙන් ‘ෂෝ ෂෝ’ හඬක් නංවයි. ගුවන්විදුලිය හරහා වෙනස් චක්‍රාවාටයන් සහ සෞරග්‍රහ මණ්ඩලයන් ‘චර චර’ සහ ‘කීං කීං’ ස්වරයෙන් මවෙත තොරතුරු එවූ බව විශ්වාස කළ ද, ඒවා කියවා තේරුම් ගැනීමට මම තවමත් අසමත් වෙමි.
අපේ ගුවන් විදුලියේ ඇබ කරකවමින් මගේ මව මා සොයමින් සිටින්නට ඇති බව කුඩා දැරියක ලෙස ඒ ඡායාරූපය දෙස බලා සිටින විට මා තුළ විශ්වාසයක් විය. සංවේදී රේඩාර් යන්ත්‍රයක් මෙන් ඕ තොමෝ මා පැමිණෙන්නේ කවදාද, කොහේ සිට ද යන්න සොයාගන්නට උත්සාහ කරමින් විශ්වයේ අපරිමිත චක්‍රාවාටයන් පීරන්නට ඇත. ඇගේ කොණ්ඩා මෝස්තරය සහ ඇඳුම (ලොකු බෝට්ටු කරින් යුත්) ඡායාරූපය ගන්නට ඇත්තේ හැටේ දශකයේ මුල් භාගයේ බව පෙන්නුම් කරයි. ඉදිරියට මඳක් නැමී රාමුවෙන් පිටත ඇති යමක් දෙස බලා සිටින කාන්තාව, ඡායාරූපය දෙස පසුව බලන අයට දැකිය නොහැකි යමක් දකී. කුඩා දැරිවියක ලෙස එහි සිදුවන්නේ, ඇය කාලය දෙස බලා සිටීම බව මම උපකල්පනය කළෙමි. ඡායාරූපයේ සැබවින්ම කිසිවක් සිදු නොවේ. එය තත්වය පිළිබඳ ඡායාරූපයක් මිස ක්‍රියාවලියක් පිළිබඳ ඡායාරූපයක් නොවේය. කාන්තාව දුකින්, සිතුවිල්ලක ගිලී – කොහේ හෝ මංමුලාව ඇති බවක් පෙනේ.
පසුව කිහිප වරක්ම මේ දුක්ඛිත බව ගැන මම ඇගෙන් විමසා සිටි විට, සැම විටම එකම ප්‍රතිචාරය දක්වමින් මා ඉපදී සිටියේ නැති වුවද, ඇයට මා මතක් වී යැයි මව කියනු ඇත.
“මම ඉපදිලා නැතුවත් කොහොමද ඔයාට මං නැති අඩුව දැනුණේ?” මා අසනු ඇත.
තමන්ට අහිමි වූ යමෙකු මතකයට නැගෙන බවත්, ඒ මනදොළ අහිමි වීමෙන් ඇතිවන ප්‍රතිඵලයක් බවත් මම දැන සිටියෙමි.
“ඒත් ඒක අනිත් පැත්තටත් වැඩ කරන්න පුළුවන් නේ.” ඇය පිළිතුරු දෙයි. “කෙනෙක්ව මතක් වෙනවා කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියන එකයි”
හැටේ දශකයේ අග භාගයේ බටහිර පෝලන්තයේ පිටිසර පෙදෙසක මගේ මව සහ ඇගේ බාල දරුවා වූ මා අතර, සිදුවූ මේ කෙටි වචන හුවමාරුව මගේ මතකයේ හැමවිටම ශේෂ ව, ශක්ති මූලයක් සේ මුළු ජීවිත කාලය පුරාම පැවතිණි. මන්ද යත් එය, සම්භාවිතාවේ නීති, ප්‍රත්‍යය සහ බලපෑම ඉක්මවා, ලෝකයේ ද්‍රව්‍යමයභාවයෙන් ඔබ්බට, මගේ පැවැත්ම සාමාන්‍ය මට්ටමෙන් ඉහළට ඔසවා තැබූ හෙයිනි. ඇය මගේ පැවැත්ම කාලයෙන් එපිට, සදාකාලිකත්වයේ මිහිරි වටපිටාවේ තැබුවාය. මගේ දරුවාගේ මනසින් ඔහු මම උපකල්පනය කළාටත් වඩා මා මෙන් බැව් පසුව තේරුම් ගතිමි. “මම මංමුළාව සිටිමි” යැයි කිවහොත්, මා තවමත් ආරම්භ කරන්නේ ලෝකයේ වඩාත් වැදගත් සහ අමුතු වචනය වූ ‘මම’ යන්නෙනි.
කිසිදිනෙක ආගමික ඇදහීමක් නොකළ තරුණ කාන්තාවක වූ මගේ මව, ලෝකයේ විශිෂ්ඨතම සිවුමැළි අඛ්‍යානිකයකුගෙන් සම්පන්න ආත්මය නම් යමක් මට දායාද කර දුන්නාය.
ලෝකය යනු තොරතුරු, සාකච්ඡා, චිත්‍රපට, පොත්, ඕපාදූප, කුඩා වෘතාන්ත නම් විශාල වියුම් යන්ත්‍ර වලින් වියන ලද ඇතිරිල්ලකි. අද වන විට මෙම යන්ත්‍රයන්හි විෂය පථය අති මහත්ය. අන්තර්ජාලයට ස්තූතිවන්නට, වගකීම බාරගනිමින් හෝ නොගනිමින්, ආදරයෙන් හෝ වෛරයෙන්, යහපත හෝ අයහපත වෙනුවෙන් එම ක්‍රියාවලියේ කොටසක් වන්නට දැන් ඕනෑම අයෙකුට හැකිය. මෙම කතාව වෙනස් වෙද්දී ලෝකය ද වෙනස් වේ. මෙම අර්ථ දැක්වීමට අනුව ලෝකය නිර්මාණය වී ඇත්තේ වචන වලිනි.
අප ලෝකය ගැන සිතන ආකාරයට සහ ඊටත් වඩා වැඩියෙන් අප එම ලෝකය කථනය කරන ආකාරයට වැඩි වැදගත් කමක් පවතී. සිදුවූ යමක් පවසා නොමැති නම් එය අවසනාය කරා එළැඹ විනාශ වී යයි. මෙය ඉතිහාසඥයින් පමණක් නොව(සමහර විට ඊට ඉහළින්) සෑම මට්ටමකම සිටින දේශපාලඥයන් සහ ක්‍රෑර පාලකයන් හොඳින්ම දන්නා කාරණයකි. කතන්දරය වියන්නා එහි ප්‍රධානියා බවට පත්වෙයි.
අනාගතය සඳහා පමණක් නොව අධිවේගයෙන් පරිවර්තනය වන අද ලෝකයේ, වඩාත් ස්ථාවර වර්ථමානය සඳහා ද, ප්‍රමාණවත් ආඛ්‍යානයන් අප සතුව සූදානම්ව නොමැති වීමේ කාරණය අප ඉදිරියේ ඇති ප්‍රශ්නය බැව් පෙනේ. නව මිත්‍යාවන් සහ ප්‍රබන්ධයන්, රූපක, දෘෂ්ටි කෝණයන් මෙන්ම භාෂාවක හිඟතාවයක් අපට ඇත. එහෙත් අනාගතය සහ අනාගත උපකල්පනයන් සඳහා නොගැලපෙන,බුද්ධියෙන් සන්නද්ධ වීම්, කාලානුරුපි ආඛ්‍යානයන් නිර්මාණයට නිතර කරන උත්සාහයන් අපට පෙනුණද, කිසිවක් නැති නව්‍යයකට වඩා පැරණි දේ යහපත් බව උපකල්නය කිරීම හෝ අපේ බුද්ධිමය සීමාවන් සමඟ මේ ආකාරයෙන් ගනුදෙනු කිරීම ගැන කිසිදු සැකයක් නැත. කෙටියෙන් කියන්නේ නම්, ලෝකයේ කතාව කියන්නට අපට නව ආකාරයන්ගේ හිඟතාවයක් ඇත.
මතු සම්බන්ධයි
2018 නොබෙල් සම්මානලාභී පෝලන්ත ලේඛිකා ඔල්ගා තොකර්චුක්ගේ නොබෙල් දේශනයෙන් කොටසකි.
ඉංග්‍රීසි පරිවර්තනය – ජෙනිෆර් ක්‍රොෆ්ට් සමඟ අන්තෝනියා ලොයිඩ් ජෝන්ස්සිංහල පරිවර්තනය – රශ්මික මණ්ඩාවල
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
