සැරිසර සටහනක් ලිවීම යනු තමන්ගේ අත්දැකීම් පරිණාමය කරන එක් ක්‍රියාවලියකි. මන්ද යත් මෙතෙක් ඉතා පුද්ගලිකව තිබූ අත්දැකීම් පොදු අත්දැකීමක් බවට ඉන් පරිණාමය වෙමින්, පාඨකයාව ද එහි කොටස් කරුවෙකු කරගන්නා අතරේම ඔවුන්ගේ ජීවිතවලටද ප්‍රඥාවක් එක් කරන බැවිනි. සනත් බාලසූරිය විසින් රචිත මචපුචාරේ අවාරේ පෙරවදනේ එන පහත කොටස උපුටා දක්වන්නේ එය මෙතැන් සිට මේ ලිපියට සෘජුවම සම්බන්ධ නිසාය.
“ලොව ඇත්තේ යාම් ඊම් පමණකැයි සරච්චන්ද්‍ර උපුටා දක්වමින් නිතර දෙවේලේ කියන කියමන ගැන මට හිතෙන්නේ එය එක්තරා ආගමික කතාවක් බව ය.
ඒ වෙනුවට මා මේ හදිසි සටහනෙන් කියන්නට කැමති මෙබන්දක් ය.
‘ලොව ඇත්තේ සැරිසැරුම් පමණකි.‘
ප්‍රශ්නය වන්නේ දැනගෙන සරනවාද, නොදැන සරනවාද යන්න යි. “
සැබවින්ම ලොව ඇත්තේ සැරිසැරුම් පමණක්ම නොවේද? උපන් දා සිට අපි කෙතරම් නම් තැන්වල සරන්නෝ වෙමුද? එහෙත් ඉන් බහුතරයක් නොදැන කරන සැරිසැරුම්ය. දැනගෙන සැරිසරන්නට අවකාශය ලැබෙන්නේ ඔබ ආර්ථිකව, මානසික පරිණතබවට පත්වූ විටම පමණය. සැබෑ සැරිසරන්නේ යළි පැමිණීමක් ගැන ලොකුවට තකන්නේ නැත. සංචාරය ඔවුන්ගේ ජීවිතයමය. එහෙත් එවැනි දිවියක් ගැන සිතන්නට තරම් ආධ්‍යාත්මිකබවක් අත්කරගැනීම පහසු නැත. සංචාරයකින් පසුව නැවත පෙරළා පැමිණෙන විට, පෙරළා අපේ පෙර දිවියට ළංවන විට අපිට මහා සාංකාවක් දැනෙන්නේ එබැවිනි. එක් සංචාරයක් නිමවා නැවත පැමිණෙන මේ සැරිසරන්නා මෙසේ ලියන්නේ එබැවිනි.
“ඒ සියලු රස්තියාදු නිමවා අවසන මම කෙලින්ම කත්මණ්ඩු ගුවන්තොටට පැමිණියෙමි. තවත් පැය කිහිපයකින් මා සිටිනු ඇත්තේ කොළඹ ගුවන්තොටේය.
යළිත් සුපුරුදු ජීවන කලබගෑනි මැදට වැටුණු පසු, මගේ නාගර්කෝට් රස්තියාදුව සිහිනෙන් ගෑ සුවඳක් බඳු මතකයක් පමණක්ව හදේ කොනක නිදන්වනු ඇත.“
මනුෂ්‍යයා වූ කලී සංචාරයට ලොල් සත්වයෙකි. එය අපේ ජානගතව ඇත්තක් බඳුය. කොරෝනා සමයේ ලොක්ඩවුන් වූ විට ඒ සිරගතවීම දරාගැනීමට නොහැකි තරම් ආතතියට පත්වූ තරම තවමත් ඔබට අමතක වන්නට හැකියාවක් නැත. එවැනි විටක මෙවැනි සංචාරක ආඛ්‍යානයකට කළ හැකි වැඩ බොහෝය. සංචාරය පිළිබඳ ඒ ආශාව දල්වාලන්නට මෙවැනි සැරිසර සටහන් ලබාදෙන උත්තේජනය සුළුපටු නොවේ. කෙසේ වුවද, මේ දූපතෙන් පිටතට සංචාරය කිරීම වර්ථමානයේ නම් විරාත් කෝලිගේ කඩුල්ල තුන්වෙනි විනිසුරුගෙන් දවා ගන්නවාටත් වඩා අසීරුය.
මචපුචාරේ අවාරේ මුල් භාගය වෙන්ව ඇත්තේ ඉන්දියාව, නේපාලය අතර හිමාලය ආශ්‍රිත ප්‍රෙද්ශවල සංචාරයන්ගෙනි. සුදු හිම දැන් දැන් මුහුණෙහි වදින්නාක් මෙන් දැනෙන ඒ වාක්‍ය තුළ කෙනෙකුට අතරමංව හිමාලය මුදුනට පවා යාමට හැකියාවක් ඇත. මේ ලිවීම කෙතරම් සාහිත්‍යමය ආශ්වාදයක් ජනිත කරවන්නේද කියා ඔබට පහත වාක්‍ය කිහිපයෙන් පැහැදිලි වනු ඇත. නාගර්කෝට් හී සිට ඉර උදාව නරඹන රචකයා මෙසේ ලියයි.
“අප දෑස් ඉදිරියේ, ඈත අනන්තයේ අඩ කවාකාරව හිමාල කඳු වළල්ලේ හිම කිරීට පැළඳි මනස්කාන්ත කඳු මුදුන්, අඳරු බොරපැහැ අගාධයකින් එක්වනම ඉහළට නැගුණේ ය. තවත් පසෙක කඳු වළල්ලට මඳක් මඳක් ඉහළින් හිරු තෙදවන් රන්වනකින්ම බැබැලෙමින් ම, ඒ අඳුරු කඳු මුවාවට ගාටමින් සිටියේය.“ පිටුව 14
“ගිනිගෙන දැල්වෙන හිමාලය හිම සිඛර වළල්ල මේ ගව්සියගව් දුර කුඩා කඳුගැටයට ලෝකෝත්තර වන්දනාවේ ද, ලෞකික සුඛස්වාදයේ ද රළ නැගුම එක්වර උදාකර තිබිණි.“ පිටුව 15
පැරණි සාහිත්‍යයත්, නව සාහිත්‍යයත් මිශ්‍ර කළ වාකය වලින් සමස්ත කෘතියම හැඩ වී ඇති බැවින් එක්තරා මත් බවක් පොත පුරාම රැඳී තිබීම පුදුමයක් නොවේ. කියවන අතරේ රම් බෝතලයක් බීමටත්, මනාලිවල කඩයකට වැදී රොටි කන්නටත් නොසිතෙන්නේ නම් පුදුමයකි. ඉන්දියාව, නේපාලය, ඇමරිකාව සහ ජර්මනිය ඇතුළු යුරෝපය ආශ්‍රය කරගෙන මෙම සැරිසර සටහන් ලියැවී ඇත. කියවීමේ ආශ්වාදය සමඟම පාඨකයාව සජීවීව එම මොහොතට, ඒ සංචාරයට රැගෙන යා හැකි නම් එය සාර්ථක සැරිසර සටහන් කෘතියකි.
කෘතියේදී අපට හමුවන සමහර කාරණා හුදු සංචාරයන්ම නොවේ. ඒවා ජීවිතය පිළිබඳ අපිට හමුවන සමහර ගැඹුරු කියවීම්ය. සංචාරය හැමවිටම ප්‍රඥාව වඩවන්නට හේතු කාරණා වන්නක් නිසාම, එවැනි සටහන් කියවන විට පාඨකයා තුළද එවැනි කාරණා දළුවලන්නේ නිතැතිනි. එවැනි ආත්මීය වැකි අතරින් හදවත එකවරම පැහැරගත් වාක්‍ය දෙකක් මෙසේ උපුටා දක්වන්නට කැමතිය. මේ සංවාදය සිදුවන්නේ සනත් සමඟ බයිසිකල් සවාරියක යෙදෙන ඉගෝර් නැමැති රුස්සෙකු (රුසියානුවෙකු) සමඟය.
“අපේ පාපැදි ගමන් එතැන් පටන් වසරක් හමාරක් යනතුරු නොකඩවා පැවතිණි. අප දිවිගෙවෙන පෙදෙසේ වූ විවිධාකාර සැඟවුණු සුන්දර ඉසව් පාපැදියෙන් දික්විජය කරන හැටි ඉගෝර් මට ඉගැන්නුවේය. ඇතැම් විල්තලාවක් අද්දර හිරු බැසයන යාමයට ඔහුත් මමත් තණබිස්සේ වාඩිලාගෙන වදනකුදු නොදොඩා ඔහේ බලා සිටියෙමු. වචන අන්තිම අඩුවෙන් ගිලිහෙන මුවක් ඇති ඉගෝර් මගෙන් එවැනි අවස්ථාවක මෙසේ විමසයි. “මෙතෙන්ට ආපු එක ගැන උඹ සතුටුද?“ මගේ සතුට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත ඌ එය මගේ දෑසේ දකී.
“උඹට සතුටු නම් මටත් සතුටුයි!“ එවිට ඌ කියන්නේ කුඩා දරුවෙක් විලසිනි.
බැසයන හිරුගේ අවසන් රැස් දහර උරාගත් උගේ දෑසේ කාන්තිය මට උගේ අහිංසක සතුට ගැන දෙන නොවරදින සහතිකය යි. “ – පිටුව 100
ජීවිතයේ කෙටි කාලසීමාවක හමුවන මිනිසුන් අතර ඇතිවන මෙවැනි සමීප, ආත්මීය සබඳතා තරම් මගේ හදවත ආශ්චර්යමත් කරවන වෙන කිසිවක්ම නැත. මේ ලෝකයේ මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියක් මා දකින්නේ මෙවැනි වාක්‍ය තුළය. මෙවැනිම අධි සංවේදී තැනක් මීට පෙර සවුදි ජීවිතය අළලා මොහාන් ධර්මරත්න ලියූ “කැකෑරෙන වැලි“ කෘතියේදී හමුවිය.
සටහන මා අවසන් කරන්නේ පොතේ අවසන් පිටුවෙනි. පාත්ත පවුලක් ආශ්‍රෙයන් පොතේ අවසානයට ගොඩනගන සංවාදය අප සැවොම නැවත නැවතත් කතා කළ යුතු බැරූරුම් මාතෘකාවකි. මිනිසා විසින් මේ සමස්ත පද්ධතිය අසමතුලිත කර ඇත්තේ කොයි අයුරින්ද, දැන් මේ පාත්ත පවුලටද සිදුව ඇත්තේ උන්ගේ නිජබිමේ ම අනාථයන් වන්නටය. මුළු ප්‍රෙද්ශයම මුදල් ඉපැයීමේ සංචාරක කර්මාන්තයේ දියුණුවට යටත් කරගෙන සිටින මිනිසා සොච්චම් ඉඩක් පාත්ත පවුල ඇතුළු අනාථයන්ට වෙන්කර ඇත. පොතේ අවසන් වාක්‍ය කිහිපයකින්ම මගේ සටහනට නිමාව තැබිය යුතුය. ඊට පෙර මා මෙය කිව යුතුමය. කිසියම් දවසක ඔබට, පෙරවදනෙන් හිස අතගා, ඉන්පසුව මුල සිට තොටිල්ලක තබා ඔබව සීරුවට පද්දා අවසන එක්වරම කුළු ගෙඩියකින් ඔබේ හිසට බරැති පහරක් දෙන පොතක් හමුවේ නම් එය වරක් නොව දෙතුන් වතාවක්ම කියවන්න. මන්ද එය ඔබේ හෘද සාක්ෂිය අවදි කරවන නිසාය. මචපුචාරේ අවාරේ යනු එවැනි පොතකි. මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි.
“අපි උන්ගේ නුරුස්නා බැල්මටත් හිනාවී, රැයේ නැගෙන අනාරක්ෂාවේ දුක් අඳෝනා ගැනත් මෙවැනි ලියැවිලි ලියා සතුටු වන්නෙමු.
පසුව අපේ ම යුදබිමක පෑගෙමින් සටන් කරමින් අර සටන අමතක කර දමන්නෙමු.
මුළුමනින්ම අනෙක් පැත්ත පෙරලා වෙනස් කරගන්නා තුරු ලෝකය එවැනි තැනක් නොවන්නේද?“
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
