දුරස්ථකරණයේ මෙලන්කොලියාව

ක්‍රිස්ටෝෆර් නොලාන්ගේ Interstellar චිත්‍රපටිය ඇතුළේ ඉතාම තදබල ශෝකයක් ජනිත කරවන ජවනිකා කිහිපයක් ඇතුළත්. විශේෂයෙන් ම කූපර් සහ ඔහුගේ දියණිය අතර සම්බන්ධතාවය චිත්‍රපටිය පුරාම ඇති කරන්නේ ශෝකී බවක්. ඒත් මේ චිත්‍රපටියේ මට තදින්ම ශෝකයක් දැනුණ තැන වෙන්නෙ චිත්‍රපටියේ අවසානයේ එන අමේලියා එඩ්මන්ඩ් ගේ ග්‍රහලෝකයේ තනිවෙන දර්ශනය. නොලාන් චිත්‍රපටය පුරාම මේ මෙලන්කොලියාව ඇතිකරන්න හේතුව මම දන්නේ නැහැ. ඒත් ඒක පපුවට හරිම බරයි.

මට ඒ දර්ශනය තදින් දැනෙන්න හේතුවක් වෙන්න ඇත්තේ මේ චිත්‍රපටිය නරඹද්දී මම ලංකාවේ බැහැරව විප්‍රවාසී ජීවිතයක් ගතකරපු නිසා වෙන්න පුළුවන්. චිත්‍රපටයේ අමේලියාට තමන්ව බේරගන්න කවුරුත් ඒවි කියලා හිතන්න හැකියාවක් නැහැ. ඇය සියළු දෙයින්ම, මන්දාකිණි ගණනාවක් දුරස් වෙලා. විප්‍රවාසී ජීවිතයේ සමහර අවස්ථාවලදී අපිට ඒක අවසන් කරලා ආපහු එන්න හැකියාව තියෙනවා. ජීවිතේට නැවත එන්න බැරි අයත් ඉන්නවා. හැබැයි අමේලියා ට එහෙම දෙයක් හිතන්නවත් බැහැ. ඇය මන්දාකිණියක, පුංචි ග්‍රහලෝකෙක තනිවෙලා බලන් ඉන්න ඒ දර්ශනය මට කවදාවත් අමතක කරන්න බැරි එකක්. මට හැමවෙලේම හිතෙන්නේ ඒ වගේ තනිකමකට මුහුණ දෙන්න වුණොත් ඒක දරාගන්නේ කොහොමද කියන එක. මොකද ලංකාවෙන් පිටවෙලා ගියපු දවසෙ මම අත්වින්ද අත්දැකීම්වලින් සියදහස් ගුණයක් දරුණු අත්දැකීමක් වෙන්න ඕන ඒක. අඩුම ගානේ ප්ලේන් එකේ නැගලා ගෙදර එන්න මට පුළුවන්කම තිබුණා.

හැබැයි මම කියන්න යන්නේ අපිට පාලනය කළ නොහැකි මේ දුරස්ථකරණය ගැන නෙමෙයි. සම්බන්ධතාවලදී අපි විසින් ම ඇතිකරගන්නා මෙවැනි දුරස්ථකරණයන්. අපි දැනුවත්ම වගේම නොදැනුවත්ම මිනිස්සු අපේ ජීවිතවලින් ඈත් වෙනවා. මෙන්න මේ විදියට කෙනෙක්ව දුරස්කරණය කළහම ඇතිවන හැඟීම අර අමේලියාට දැනෙන හැඟීම වගේම ඇති කියලා මට හිතෙනවා. අපිට අමේලියා ගැන සහකම්පනය දැනෙන තරමටම ඒ සිදුවීම ප්‍රභලයි. අපි නොහිතා කරන දේවල්වලින් තව කෙනෙක්ගේ ජීවිතයට කොයි තරම් නම් තුවාලයක් ඇතිකරන්න පුළුවන්ද?

South of the border, west of the sun පොතේ මුරකමි මෙහෙම කතාවක් කියනවා.

“ජීවත් වෙන එකෙන් විතරක් කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ට හරිගස්සන්න බැරි තරමට හානි කරන්න” කියලා.

මිනිස් සබඳතා කියන්නේ අන්න ඒ තරම් සංකීර්ණ තත්වයක්. මුරකමිගෙ ඔය කියපු පොත පුරා ඒ ගතිය දැනෙනවා. මුරකමි 1999 දි Sputnik Sweetheart කියලා පොතක් ලියනවා. ස්පුට්නික් II යානයේ තමයි සුප්‍රසිද්ධ ලයිකා බැල්ල අභවකාශයට යවන්නේ මිනිසාගේ අනාගතය වෙනුවෙන්. පොත පටන් ගන්න කලින් මුරකමි ඒ සිදුවීම මතක් කරලා තියෙනවා. ලයිකා බැල්ලට කොයි වගේ හැඟීමක් දැනුණද කියලා අපිට අපේ මිනිස් හැඟීම්වලින් විග්‍රහ කරන්න බැහැ. මොකද ගොඩක් අය කියයි බල්ලා දන්න අභ්‍යවකාශයක් නැහැ කියලා. ඒත් තනිවීම කියන කාරණය නොදැනෙන සතෙක් ඉන්නවි කියලා මම හිතන්නේ නැහැ. ඉතාම කුරිරු විදියට අපේ උවමනාවට ලයිකා බැල්ලව යානයක දාලා අභ්‍යවකාශෙට යවපු මිනිස්සු අන්තිමට ඒක වහගන්න ලයිකා බැල්ල වීර චරිතයක් කරනවා. හිතලා බලන්න මිනිස්සුන්ට පවා අත්වුණේ ඔය ඉරණම නෙමේද?

මේ නවකතාවේ කතා නායකයා තරුණයෙක්. ඔහු ආදරය කරන තරුණිය සුමිරෙ. ඒත් ඇය ආදරය කරන්නේ මැදිවියේ කාන්තාවකට. තරුණයා සුමිරෙට ආදරය කළත් ඔහු සුමිරෙ වෙනුවෙන් ඒක ප්‍රකාශ කරන්නෑ. කොහොම හරි සුමිරෙ ආදරය කරන කාන්තාව ධනවත්. ඇය සුමිරෙට රැකියාවක් දෙනවා. අවසානයේදි දෙන්නා ව්‍යාපාරික වැඩකට යුරෝපයේ සංචාරයෙ යෙදෙනවා. සුමිරෙ තමන්ගෙ හැඟීම් යන්තමින් හෙළි කරන වෙලාවෙ අර කාන්තාව සුමිරෙව දුරස් කරනවා හෝ කෙරෙනවා. අවසානෙදි සුමිරෙ අතුරුදහන් වෙනවා වාෂ්ප වුනා වගේ. හරියට ලයිකා බැල්ල වගේ. ජීවිතේදි අපිට මෙවැනි මොහොතවල් හමුවෙන් නැද්ද? අපි දෙයක් කරද්දි නැවත නැවත හිතන්න ඕන කියන්නේ එනිසයි. සමහරවෙලාවට අපි කරපු දේක ප්‍රතිඵලය අපි දන්නෙවත් නැතිවෙන්න පුළුවන්. කොහොම වුනත් නොලාන් ගේ interstellar සහ මුරකමිගේ Sputnik Sweetheart කියන කතා දෙකම අභ්‍යවකාශයට සම්බන්ධ නම් තියෙන කතා දෙකක්. මේ දෙකෙන්ම මතු කරන ඒ මෙලන්කොලියාව ඉතාම ගැඹුරුයි. වෙලාවක් අරන් ආයෙත් හිතලා බලන්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment