ස්වයං-අධ්‍යනිත බුද්ධිමතියකගේ සාහිත්‍යය…

ඩොරිස්මය ජීවිතය  

විසිවෙනි සියවස මිනිස් වර්ගයාට අතිශයින් තීරණාත්මක සියවසක් බව පැවසීම සාධාරණය. පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය, පරමාණුක බෝම්බ, සීතල යුද්ධය, භයානක වසංගත ආදී බොහෝ විනාශකාරී අත්දැකීම්වලට මිනිස් වර්ගයා මුහුණ දුන් කාලවකවානුවකි එය. තමන්ගේ පැවැත්ම පිළිබඳව මිනිසා නැවත කල්පනා කරන්නට පටන්ගත් මේ සියවසේ විවිධ දාර්ශනිකයෝ, ලේඛකයෝ බිහිවූහ. ඔවුන්ගේ ජීවිත මෙන්ම විෂය පථයද පුළුල් වීමට ඉහත කී මහා සිදුවීම් බලපෑවේය. ඩොරිස් ලෙසිං උපත ලබන්නේ 1919 වසරේ ඔක්තෝබර් 22දී, එවකට පර්ෂියාව ලෙස නම් ලැබූ වත්මන් ඉරානයේය. ඒ එවකට ඇගේ පවුල පර්ෂියාවේ ජීවත් වූ බැවිනි. ඇගේ මුල් නාමය වූයේ ‘ඩොරිස් මේ ටේලර්’ යන්නයි. 

පර්සියාවේ ගත කළ සිය ළමා කාලය පිළිබඳව තම ස්වයං චරිතාපදානයෙහි ඇය මෙසේ ලියා තිබේ. 

From the old stone house where I was born were views of the mountains with snow on them, and of the dusty plains that surround the little town. A high dry place. My mother said that the washing, put out to dry at eight in the morning was dry long before lunchtime. The outside world was present inside the house itself, in the person of a young American sharing the house with us. He was an oil man. “There were a lot of oil men around then”. Thus did the future announce itself. It was his voice I remember but overlaid by probably a hundred American voices since.

ඉන් වසර හයකට පමණ පසුව එනම් 1925 දී ඔවුහු එවකට රොඩේෂියාව ලෙස නම් ලැබූ වත්මන් සිම්බාබ්වේ රාජ්‍යයට සංක්‍රමණය වූහ. එහි බ්‍රිතාන්‍ය කොළනියක අක්කර ගණනාවක ඉඩමක් තමන් සතුකරගන්නා ඩොරිස්ගේ පවුල ගොවියන් ලෙස සිය ජීවිකාව අරඹයි. මෙම කටුක අපහසු දිවියට ඩොරිස්ගේ මව හැඩගැසුණද ඇගේ පියාට එම හැකියාව නොතිබිණි. ඔහු මිළදී ගත් අක්කර ගණනාවක ලඳු කැළය ඔහු බලාපොරොත්තු වූ ධනස්කන්ධය ඔහුට ලබා දුන්නේ නැත.  

ඩොරිස් විස්තර කර ඇති ආකාරයට ඇගේ ළමා විය මිශ්‍ර ජීවිතයක්, සතුට සහ දුක යන දෙකම පිරිණු එකක් විය. ඇය තම සහෝදරයා වූ හැරී සමඟ නිතරම ගවේෂණය කළ ස්වාභාවික ලෝකය දුක්ඛ දෝමනස්සයන් නිවා ගන්නට ඇයට ඉවහල් වී තිබිණි. එසේ නොවී නම් එම පැවැත්ම ඉතා දුක්ඛිත එකක් වනු නොඅනුමානය. ඉතා යහපත් දියණියක නිර්මාණය කරන්නට සිතූ ඩොරිස්ගේ මව ඇයට විශේෂිත නීති පනවා, අධ්‍යාපනය උදෙසා කන්‍යාරාමයකට පවා ඇතුළත් කළාය. 

ඉගෙනුම ලැබීම සඳහා බාලිකා කන්‍යාරාමයකට ඇතුළත් වුවද ඩොරිස් වසර දහහතරේදී නිවෙසින් පිටවූවාය. එයින් ඇගේ විධිමත් අධ්‍යාපනය හමාර විණි. ඉන්පසුව ඇය සාත්තු සේවිකාවක, දුරකතන ක්‍රියාකරවන්නියක සහ මාධ්‍යවේදිනියක ආදී වශයෙන් රැකියා ගණනාවක නිරත වූවාය. මේ කාලයේදී ඇය කෙටි කතා කිහිපයක් ප්‍රකාශයට පත් කළාය. දකුණු අප්‍රිකාවෙන් බිහිවූ නදීන් ගෝඩිමර් වැනි ලේඛිකාවන්ටද මේ ඉරණමට මුහුණ දීමට සිදුවිය. ඩොරිස් ස්වයං-අධ්‍යනිත බුද්ධිමතෙකු බවට පත් වූවාය. 1937 දී සැල්සිබරියට පැමිණි ඇය ඉක්මනින්ම එහි වාමාංශික පොත් කියවන්නන්ගේ සංගමයට බැඳුණාය. එතැනදී ඇගේ සැමියා වූ ගොට්ෆ්‍රීඩ් ලෙසිං ඇයට හමුවෙයි. විවාහයෙන් ඉක්බිති ඔවුන්ට පුතෙකු ඉපදුණි.   

1949 දී ලන්ඩනයේ ස්ථිර පදිංචියට පැමිණි ඇය දේශපාලන සහ සමාජ ප්‍රශ්න වලට සෘජුව මැදිහත් වූ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ අතර පරමාණුක අවිවලට එරෙහිව ප්‍රබල ලෙස තම හඬ අවදි කළාය. මේ වසරේදීම ඇය තම පළමු නවකතාව වූ ‘The grass is singing’ ප්‍රකාශයට පත් කළාය. 

ලෙසිංගේ ප්‍රබන්ධ ගැඹුරින් ස්වයං චරිතාපදාන වන අතර එයින් බොහෝමයක් ඇගේ අප්‍රිකාවේ අත්දැකීම් වලින් මතු වේ. ඇගේ ළමා කාලයේ මතකයන් සහ දේශපාලනය හා සමාජීය අවශ්‍යතා, සංස්කෘතීන්ගේ ගැටුම, වාර්ගික අසමානතාවයේ දරුණු අසාධාරණයන්, පුද්ගල පෞරුෂය තුළ ප්‍රතිවිරුද්ධ අංග අතර අරගලය සහ පුද්ගල හෘද සාක්ෂිය අතර ගැටුම සහ සාමූහික යහපත පිළිබඳව ඩොරිස් ලෙසිං ලියා ඇත. පනස් ගණන්වල සහ හැටේ දශකයේ මුල් භාගයේදී ප්‍රකාශයට පත් කරන ලද ඇගේ කථා සහ නවකතා, සුදු යටත් විජිතවාදීන් විසින් කළු අප්‍රිකානුවන් නෙරපා හැරීම හෙළා දකින අතර දකුණු අප්‍රිකාවේ සුදු සංස්කෘතියේ වඳභාවය හෙළි කරයි. 1956 දී, ලෙසිංගේ නිර්භීත කථිකත්වයට ප්‍රතිචාර වශයෙන්, ඇය දකුණු රොඩේෂියාවේ සහ දකුණු අප්‍රිකාවේ තහනම් පිටසක්වල ජීවියෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඩොරිස්මය නවකතාව 


ඩොරිස් ලෙසිංගේ කුළුඳුල් නවකතාව වූ ‘තණනිල්ල ගී ගයයි‘ කෘතිය 1949 දී නිකුත් වීමෙන් පසුව එය ලොව පුරා පාඨකයන් අතර මතකයේ රැඳෙන කෘතියක් බවට පත්විය. මෙම කෘතියට පාදක වන්නේ එකල දකුණු රොඩේෂියාව තුළ පැවති සමාජීය ජීවිතය, වාර්ගික ගැටුම, කළු සහ සුදු ජාතිකයන්ගේ වාර්ගික දේශපාලනය ආදී කාරණාය. කතාවට පාදක වන්නේ බ්‍රිතාන්‍ය කොළනියක ගොවිපළ හිමිකරුවන් වූ බ්‍රිතාන්‍ය ජාතික පවුලක කාන්තාව එම ගොවිපළෙහි සේවයෙහි යෙදුණ කළු ජාතික මෙහෙකරුවෙකු විසින් මරා දමනු ලැබීමය. මෙම නිශ්චිත ඝාතනය හරහා ඩොරිස් ලෙසිං අපව කැඳවා ගෙන යනු ලබන්නේ මරා දමනු ලැබූ කාන්තාව වන මේරී ටර්නර් සහ ඩික් මුණගැසීමේ සිට ඔවුන්ගේ ජීවිත කතාව පාඨකයා වෙත ගෙන එමිනි. ඒ හරහා අප්‍රිකාව තුළ බිහිවූ බ්‍රිතාන්‍ය කොළණිවල ජීවිතය දැඩි ලෙස නිරුවත් කරන ඩොරිස් ලෙසිං එහි අසංස්කෘතික බව පෙන්වා දෙයි. 

The grass is singing පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන බංගලාදේශයේ චිතගොං ජාත්‍යන්තර ඉස්ලාමික විශ්ව විද්‍යාලයේ මොහොමඩ් අහමඩ් කසෝර් මෙසේ පවසයි:

“තණ නිල්ලේ ගීතය යනු වාර්ගිකත්වයේ හිංසනයෙන්, ස්ත්‍රී පුරුෂ බවින් සහ අනෙකුත් සමාජ වෙනස්කම් විසින් පරාජය කළ සහ නිෂ්ප්‍රභ කළ කාන්තාවකගේ යටත් වීම පිළිබඳ කතාවකි. ලෙසිංගේ සෙසු චරිත මෙන් නොව, කිසිදාක නිදහසක් ලබා නොදුන් අයුරින් මේරි ටර්නර් මෙම පීඩාවේ වින්දිතයෙකු බවට පත්වූවාය.  හුදකලාව, මානසික සහ ආර්ථික වඳභාවය සහ චිත්තවේගීය හිස්බව ඇගේ මුළු ජීවිතයෙහිම ආධිපත්‍යය දැරීය. විවාහයෙන් පසු ඇය නොගැලපෙන විවාහයේ ලිහිල්භාවයෙන් හා අර්ථ විරහිතභාවයෙන් පීඩා වින්දාය. ඇය තම දෙමාපියන්ගේ ජීවිතය තුළද දුටු ආදරය රහිත විවාහය පිළිගැනීමට සමාජයෙන් ඇයට බල කෙරිණි.  ඇය හැදී වැඩුණේ බිඳුණු පවුලක බැවින්, විරසක වීම සහ සම්බන්ධ නොවීම ඇයව සම්පූර්ණයෙන්ම යටත් කර ගත්තේය. සමාජ අනාරක්ෂිත බව, ලිංගික අතෘප්තිය සහ හිස්කමේ තරංගයන්ගෙන් ඇගේ ජීවිතය පෙරළී ගියේය. ජාතියේ සහ පුරුෂාධිපත්‍යයේ ග්‍රහණය ඇයව හසුකරගන්නා විට එම කැළඹිලි සහිත රැල්ල තුළ ඇගේ අරගලය තීව්‍ර විය. කළු ජාතික වහලෙකු විසින් ඇයව ඝාතනය කරනු ලැබුවේ ඇය සුදු ජාතිකයෙකු වීම නිසා නොව, ඇගේ දුර්වල ලිංගිකත්වය(ස්ත්‍රියක) නිසා ය.” 

නවකතාව ආරම්භයේදී ලෙසිං ලියන පහත කොටස තුළින් රොඩේෂියාව තුළ පැවති සුදු ජාතික සංස්කෘතිය දැඩිව විවේචනය කරන්නට ලෙසිං සමත් වෙයි. 

“මිනීමැරුම නිසා කතාබහට ලක්වන්නට බොහෝ කලකට පෙර සිටම මිනිස්සු ටර්නර්ලා ගැන නීතිවිරෝධී, ස්වකැමැත්තෙන් පිටුවහල් වූවන් ලෙස සලකා කතා කළේ අපරාධකරුවන් සඳහා වෙන්කර තිබූ දැඩි නොහික්මුණු ස්වරයෙනි. ටර්නර්ලාට මිනිස්සු අකමැති වූහ. ඔවුන්ගේ අසල්වැසියන්ගෙන් කිහිප දෙනෙකු පමණක් ඔවුන්ව මුණගැසී හෝ දුරින් හිඳ දැක තිබිණි. එසේනම් මිනිසුන් ඔවුන්ට අකමැති වීමට හේතුව කුමක්ද? ඔවුහු සරලවම කටුව ඇතුලට වැදුණු ඉබ්බන් මෙනි. සියල්ලට හේතුව එයයි. දිස්ත්‍රික්කයේ කිසිදු සාද නැටුමක, උත්සවයක හෝ සැණකෙලියක ඔවුන් කිසිදාක දකින්නට නොලැබිණි. ලැජ්ජාවීමට කාරණයක් ඔවුන් සතු විය යුතුය. පොදු හැඟීම එයයි. ඒ ආකාරයේ හුදෙකලා ජීවිතයක් ගෙවීම නිවැරදි ක්‍රියාවක් නොවීය. එය අන් හැමටම අතුල් පහරක් ගැසුවාක් වන් ක්‍රියාවකි. මෙතරම් කොටුවූ දිවියක් ඔවුන් ගෙවිය යුත්තේ කුමක් නිසාද? ඇත්තෙන්ම, කුමකටද? එවන් කුඩා පෙට්ටියක් වන් නිවස තුල ඒ ආකාරයෙන් දිවි ගෙවීම! තාවකාලික වාසස්ථානයක් ලෙස එය දරාගත හැකි වුවද, ස්ථීරසාරව දිවි ගෙවීමට සුදුසු ස්ථානයක් නොවේ.  ඒ ඇයිද කිවහොත් සමහර ස්වදේශිකයන්ට (ස්වර්ගයට ස්තූතිවන්නට බහුතරයකට නොවේ) ඊට වඩා හොඳ වාසස්ථාන තිබිණි. සුදු ජාතිකයින් මේ ආකාරයට ජීවත් වනු දැකීම ඔවුන් තුළ වැරදි හැඟීමක් ජනිත කරවනු ඇත.  

‘දුප්පත් සුද්දෝ’ යන යෙදුම කිසිවෙකු හෝ භාවිත කළේ එවිටයි. එය අසහනය ඇති කළේය. මේ කාලයේදී මුදල් ප්‍රමාණය පිළිබඳ මහා භේදයක් නොතිබුණද,(එලෙස භේදයක් තිබුණේ දුම්කොළ වංශාධිපතියන්ගේ යුගයේදීය) පැහැදිලිවම වාර්ගික බෙදීමක් පැවතිණි. කුඩා ප්‍රජාවක් වූ සුදු අප්‍රිකානුවන්ට තමන්ගේම කියා ජීවිත තිබුණ අතර බ්‍රිතාන්‍යයෝ ඔවුන්ව නොසලකා හැරියහ. ‘දුප්පත් සුද්දන්’ වූයේ මේ සුදු අප්‍රිකානුවෝ මිසක බ්‍රිතාන්‍යයෝ නොවූහ. එහෙත් ටර්නර්ලාට ‘දුප්පත් සුද්දන්’ යනුවෙන් ආමන්ත්‍රණය කළ පුද්ගලයා පැහැදිලිවම විරෝධය දැක්වීමේ අරමුණින් එය ප්‍රකාශ කළේය. වෙනස කුමක් වීද? දුප්පත් සුද්දෙක් යනු කවරෙක්ද? එය යමෙකු ජීවත් වූ ආකාරයේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවකි. ඔවුන්ව දුප්පත් සුද්දන් බවට පත්කිරීමට ටර්නර්ලාට අවශ්‍ය වූයේ ළමයින් රොත්තක් පමණි.” 

ඇගේ විශිෂ්ටතම නවකතාවක් සේ සැලකෙන The Golden Notebook නවකතාව ලියවෙන්නේ 1962 වසරේදීය. නොබෙල් සාහිත්‍ය සම්මානය ඇයට ලබාදීමට ප්‍රමුඛ දායකත්වයක් ඉටු කළ මෙම නවකතාව ස්වයං චරිතාපදානික නවකතාවක් ලෙසද විචාරකයෝ සඳහන් කරති. සුප්‍රසිද්ධ The Time සඟරාව විසින් 2005 වසරේදී නිකුත් කළ, 1923 පසු බිහිවූ විශිෂ්ටතම කෘති සියය අතරට මෙම කෘතියද එක්විණි. ප්‍රකට ලේඛිකාවක වූ මාග්‍රට් ඩ්‍රැබ්ල් සඳහන් කළේ මෙම නවකතාව ඩොරිස්ගේ ‘අභ්‍යන්තර අවකාශමය ප්‍රබන්ධයක්‘ බවයි. මෙම නවකතාවට පාදක වන්නේ ඇනා වුල්ෆ් නම් ලේඛිකාවක විසින් සිය ජීවිතයේ විවිධ අවධි සටහන් කළ සටහන් පොත් හතරකි. මෙම පොත් හතරම රත්තරන් පැහැති පස්වැනි සටහන් පොතකට එකතු කරන්නට ඇය වෑයම් කරයි.  

The Golden Notebook පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් නැගෙනහිර වොෂිංටන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන රේචල් එම් ගූඩ්නර් මෙසේ පවසයි: 

“ඩොරිස් ලෙසිං ‘ස්වර්ණමය සටහන් පොත‘ ලියන විට, විසිවන සියවසේ පශ්චාත් දෙවන ලෝක යුධ සමාජ ජීවිතයේ ඉරිතලන ලද සාරය හසුකරගන්නට බලාපොරොත්තු වූවාය.“ 

නවකතාවේ දෙවැනි වාක්‍යය වන්නේ “මට පෙනෙන හැටියට සියල්ල ඉරිතලමින් තිබේ,“ යන්නයි. ඉහත ප්‍රකාශය මෙම වැකියෙන් පැහැදිලිව අර්ථ ගන්වයි. 1971 දී නිකුත් වූ නව සංස්කරණයට හැඳින්වීමක් ලියන ලෙසිං සඳහන් කරන්නේ වේගයෙන් වෙනස් වන බ්‍රිතාන්‍යයක් තුළ ඇගේ සියවසේ “බුද්ධිමය සහ සදාචාරාත්මක වාතාවරණය විස්තර කරන නවකතාවක්” ලිවීම ඇගේ ඉලක්කය වූ බවයි. 

කෙසේ වුවද, මෙම කෘතියත් සමඟ ඩොරිස් ලෙසින් ස්ත්‍රීවාදිනියක ලෙස දැඩි කතාබහකට ලක්වූවාය. ඇගේ මේ කෘතිය සියවස් ගණනාවක් පුරා කාන්තාවට සිදුවූ අසාධාරණයන් පෙන්වන කැඩපතක් බඳු යැයි සමහර ස්ත්‍රීවාදී විචාරකයන්ගේ අදහස විය. කෙසේ වුවද එය ප්‍රතික්ෂේප කරන ඩොරිස් ලෙසිං පවසන්නේ,

“ඔහ්, ඒක මෝඩ කතාවක්. මම නිතරම ඕක දැකලා තියෙනවා. මම කියන්නේ Golden Notebook වල ස්ත්‍රීවාදී කියලා මුකුත්ම නැහැ. පොතේ දෙවෙනි පේළිය : මට පෙනෙන හැටියට සියල්ල ඉරිතලමින් තිබේ. Golden Notebook කියන්නේ ඒ ගැනයි!”

ඇගේ මේ ප්‍රකාශය සනාථ වෙන වැකි කෘතිය තුළදී හමුවෙයි. 

“සමහර වෙලාවට මම කාන්තාවන්ට අකමැතියි, මම අපි හැමෝටම අකමැතියි, අපිට ගැළපෙන දේ ගැන හිතන්න අපිට ඇති නොහැකියාව නිසා.” 

තමා කිසිවිටෙක ස්ත්‍රි වාදිනියක් නොවන බව ඇය ප්‍රකාශ කරන්නේ කාන්තාවන් පමණක් ඉන්නා ලෝකයක ජීවත් වීමට තමන්ට අවශ්‍ය නැති බව පවසමිනි.  ස්ත්‍රීවාදිනියක් ලෙස මරණයෙන් පසුව තමාව හඳුන්වනවාට ඇය හුදෙක්ම අකමැති විය. The Golden Note book කෘතිය සමස්ථ පරම්පරාවක අත්පොත ලෙස හැඳින්වෙයි. 

Alfred And Emily යන නවකතාවේ ලෝක ඉතිහාසය, ඇගේ දෙමාපියන්ගේ ඉතිහාසය සමඟ සම්බන්ධවන අයුරු සහ මහා සිදුවීම්වල බලපෑම තනි තනි පුද්ගලයන්ට බලපාන අයුරු මැනවින් දක්වා ඇත. පොදු ඉතිහාසය සහ පුද්ගල ඉතිහාසය අතර ඇති ස්වචාර සම්බන්ධය විදහා දක්වයි. 

එක්තරා පවුලකට උපදින පස්වැනි දරුවා විසින් එම පවුලේ දෛවය වෙනස් කරන අයුරුත් එයින් ඇතිවන සංකූලතා පිළිබඳව ඩොරිස් ලෙසිං The fifth Child කෘතියෙහි සඳහන් කරයි. විශේෂයෙන් මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස ඒ යුගයේදී මෙය විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වෙයි. ලිවීමට ඉගෙනීම ගැන ලෙසිං කථනය කරන මෙම කෘතියෙහිද ඒ පිළිබඳව සඳහන් වෙයි. 

ඇය සිය සාහිත්‍ය දිවියේ දී නිර්මාණ 55ක් එළි දක්වා ඇත. ඒ අතරට නවකතා, කෙටිකතා, නාට්‍ය, ඔපෙරා, සහ කාව්‍ය සංග්‍රහ ඇතුළත් වෙයි.  ඇගේ නවකතා අතර The grass is singing, The Golden Notebook, The Summer Before the Dark , Memoirs of a Survivor ඉහළින් කතාබහට ලක්වන අතර  ඇගේ දිගු ජීවන කාලය තුළ ඇය විසින් නවකතා 20කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළකර ඇත.

වරක් එලිසබත් රැජිණ විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව යන ගෞරව නාමය ඇය වෙත ප්‍රධානය කළ ද ඇය එය ප්‍රතික්ෂේප කළේ ‘බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය’ තමන් නොපිළිගන්නා බව පවසමිනි.  ඇයගේ සාහිත්‍යයේ විශිෂ්ඨත්වය ලෙස විචාරකයන් දකින්නේ ඇය තුළ නිරීක්ෂණය සඳහා පැවති පැහැදිලි දෑසයි. 

ලෙසිංගේ සමස්ථ නවකතා නාමාවලිය ගැන කතාකරන්න ගියහොත් එය තවත් කෘතියක් බවට පත්කරන්නට සිදුවන බැවින් මෙම සටහනට සමාප්තිය සටහන් කරන්නට සිදුවේ. පසුකාලීනව විද්‍යා ප්‍රබන්ධ ශානරයද සිය ලිවීම්වලට එකතු කරගන්නට ඩොරිස් ලෙසිං සමත්කම් දක්වයි. මේ සියල්ල කරන්නේ වයස දහහතරේදී නිවසින් පිටව ගොස් පාසැල් අධ්‍යාපනය පවා හරිහැටි නොලද කාන්තාවක වීම කෙතරම් අගනේද? 

2007 වසරේදී ඇගේ සාහිත්‍ය ජීවිතය වෙනුවෙන් සාහිත්‍යය පිළිබඳ නොබෙල් සම්මානය ඇයට පිරිනැමුණි. එහිදී, 

නොබෙල් කමිටුව: 

“සැකය, ගින්න සහ දුරදිග දකින බලයෙන් යුත් ස්ත්‍රී අත්දැකීම්වල වීර ආඛයානිකයෙකු වෙමින්, බෙදුණු ශිෂ්ඨාචාරය සියුම් ව පරික්ෂා කිරීම විෂය බවට පත්කර ගැනීම වෙනුවෙන්”  ඇයට නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමූ බව සඳහන් කරයි.

ඉතිහාසයේ සාක්ෂිකාරියක වූ, ස්ත්‍රීවාදී, කොමියුනිස්ට්, වැනි ලේබල් වලින් පිරී ගියා වූ වසර 94ක කාලයක් නිර්මාණ 55කින් සාහිත්‍ය පෝෂණය කළ, ඒ වෙනුවෙන් සම්මාන රාශියකින් පිදුම් ලද, ඩොරිස් ලෙසිංග් 2013 නොවැම්බර් 17 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තාය. 

රශ්මික මණ්ඩාවල 


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment