පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්

ඇල්ජීරියාවේ උපත ලබා ප්‍රංශයට පැමිණ ලෝ ප්‍රකට ලේඛකයෙක් සහ දාර්ශනිකයෙක් බවට පත් වූ ඇල්බෙයා කැමූ විසින් ප්‍රංශ බසින් රචිත L’Étranger නම් කෘතිය සෝමරත්න බාලසූරිය විසින් 1984 වසරේදී පිටස්තරයා නමින් පරිවර්තනය කර ඇත. එම පරිවර්තනය පිළිබඳ මගේ විමසුම මෙසේ දක්වමි.

කැමූ විසින් 1942 දී පළකරන ලද මෙම නවකතාව පිළිබඳව ඉංග්‍රීසි පාඨක ලෝකයේ ඇස ගැටෙන්නේ බ්‍රිතාන්‍ය ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකු වූ සිරිල් කොනලි විසින් එවකට බ්‍රිතාන්‍ය පාදක කරගත් නවකතාවල ඒකාකාරී ව්‍යුහය පිළිබඳ කළකිරීමට පත්ව යුරෝපයේ වෙනත් සාහිත්‍යයන් සොයාගෙන යන අතරතුරදී ඔහුට හමුවන මෙය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ යුතු බව ඔහු විසින් තීරණය කිරීමෙන් අනතුරුව ය. මෙහි පළමු ඉංග්‍රීසි පරිවර්තනය සිදු කරන්නේ එවකට සිටි ප්‍රමුඛ පෙළේ ලේඛකයෙකු හා පරිවර්තකයෙකු වූ ස්ටුවට් ගිල්බර්ට් විසිනි. ස්ටුවට් ගිල්බර්ට් විසිවන සියවසේ විශිෂ්ට ලේඛකයෙකු වූ ජේම්ස් ජොයිස් සමඟ සමීපයෙන් කටයුතු කළ අයෙකු විය. ඒ අනුව 1946 වසරේදී මෙහි පළමු ඉංග්‍රීසි පරිවර්තනය පිටවෙයි. නමුත් මෙම පරිවර්තනය ඇමරිකාවේදී The stranger නමිනුත් බ්‍රිතාන්‍යයේදී The Outsider නමිනුත් පළවෙයි. කෙසේ වුවද මෙහි පරිවර්තක පොත නම්කර ඇත්තේ The stranger නමිනි. ඇමරිකාවේ එය එනමින් පළවුවද, බ්‍රිතාන්‍යයේදී එය The outsider බවට පත්වන්නේ මෙම පරිවර්තනය පළවන්නට තිබූ ආසන්න කාල සීමාවේදී වෙනත් බ්‍රිතාන්‍ය ප්‍රකාශකයෙක් විසින් පෝලන්ත නවකතාවක් The stranger නමින් පළකිරීම නිසා ය.

කෙසේ වුවද ගිල්බර්ට් ගේ පරිවර්තනය 1982 දක්වාම කිසිදු අභියෝගයකට ලක් නොවී පැවතුණු අතර එය අභියෝගයට ලක්වන්නේ 1982 දී ජෝසප් ලොරාඩෝ විසින් මෙම කෘතිය නැවතවරක් පරිවර්තනය කිරීමෙන් පසුව ය. ජෝස්ප් ගේ පරිවර්තනය පිටවීමත් සමඟම ගිල්බර්ට් ගේ පරිවර්තනය ගැන ප්‍රශ්න කිරීම මතු වෙයි. එහිදී පළමුවෙනි ගැටලුව බවට පත්වන්නේ ගිල්බර්ට් විසින් යොදාගන්නා භාෂාවයි. එය වටහා ගැනීමට අප මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන මාර්සෝ ගැන වැටහීමක් ලබාගත යුතු ය.

කැමූ විසින් නිර්මාණය කරන මාර්සෝ ගේ චරිතය වැඩකරන පංතියෙන් පැමිණෙන සාමාන්‍ය චරිතයක් වන අතර ඔහු කාව්‍යාත්මක හෝ මහා දාර්ශනික ආඛයානයකින් කතාකරන්නෙක් නොවේ. ඔහුගේ දර්ශනය වචනවලින් නොව ඔහුගේ හැසිරීමෙන් විද්‍යාමන වන ලෙස කැමූ නිර්මාණය කර ඇත්තේ හේතුවක් ඇතිව ය. කතාකිරීමට දෙයක් නැත්නම් කතා නොකිරීම ඔහුගේ සොබාවයයි. මෙම චරිතයේ මෙම ලක්ෂණ නිර්මාණය වන්නේ එයට අදාළ සංදර්භය තුළයි. මහා සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීම, මවගේ මරණීය වේදනාව, දැඩි රස්නය වැනි කාරණා පවා ඔහුගේ චරිතයට බලපා ඇත. ගිල්බර්ට් ගේ පරිවර්තනයේ පළමු ගැටලුව ලෙස විචාරකයන් දකින්නේ ඔහු මාර්සෝ ගේ ආඛ්‍යානය වඩා පිරිපුන් කාව්‍යාත්මක භාෂාවකට පෙරළීම ය. එම චරිතයට එවැනි විභවයක් නොමැතිව එවැනි භාෂාවක් භාවිතා කිරීම ප්‍රබන්ධය පළුදු වීමකි. යම් චරිතයක තානය (Tone) නිවැරදිව හඳුනා නොගතහොත් එම චරිතය මගින් මුල් කතුවරයා අපේක්ෂා කරන වටිනාකම නොලැබේ. මෙය පරිවර්තනයේදී පරිවර්තකයා බොහෝ සෙයින් සැළකිලිමත් විය යුතු කාරණයකි. විශේෂයෙන්ම යම් කෘතියක ආඛ්‍යානිකයාගේ තානය ගිලිහී යාම පරිවර්තනයෙන් අපේක්ෂිත කාර්යය ඉටු නොවීමකි. ජෝසප් මෙය පරිවර්තනයේදී ඊට වඩා සරල බස්වහරක් යොදාගනිමින් වැඩකරන පංතියේ චරිතයකට ගැලපෙන පරිදි භාෂාව නිර්මාණය කර ඇත. පරිවර්තනයකදී පරිවර්තකයා තම භාෂා පාණ්ඩිත්‍යය උචිත ලෙස යොදාගත යුතුබවට මෙය හොඳ උදාරණයකි. ලෝක ප්‍රකට ඉංග්‍රීසි පරිවර්තක ගිල්බර්ට් ට එසේ වැරදුණද මෙය සිංහලට පරිවර්තනය කරන ආචාර්ය සෝමරත්න බාලසූරිය විසින් එකී කාරණය ඉතා නිවැරදිව හඳුනාගෙන තිබේ. ඔහු විසින් මාර්සෝගේ ආඛ්‍යානය නිර්මාණය කිරීමේදී යොදාගන්නා වචන කිහිපයක් සලකා බලමු.

ඔහු ස්තුති වෙනුවට යොදන්නේ ඉස්තුති කියාය.

එමෙන්ම පරිසරය විස්තර කිරීමේදී අනවශ්‍ය කාව්‍යා‍යාත්මක බසකට නොයන පරිවර්තක එය මෙසේ ලියයි.

-නිල් අහසේ තැනින් තැන විසිරිලා තිබුණෙ වළාකුළු කෑලි-

-අහස හොඳට කළඑළියයි-

පරිවර්තකයා අනවශ ලෙස කාව්‍යාත්මක නොවී, තමන්ගේ භාෂා හැකියාව පෙන්වීමට නොයා සංයමෙන් පරිවර්තනය කරයි.

පුද්ගලයන් සම්බන්ධ දේවල් විස්තර කිරීමේදී,

-පත්තු වෙන දෑස්-

-ඇවිදින්ඩ ගිය අය රොතු රොතු පිටින් එනවා-

කොමසාරිස් නෙමේ මොනසාරිස් හම්බ උණත් වැඩක් නෑ

වැනි වාක්‍ය දැකිය හැකිය.

සමස්ත කෘතිය පුරාම පරිවර්තක යෙදාගන්නේ රළු, කටවහරින් යුතු බසකි. එය හරියටම මාර්සෝගේ චරිත ස්වභාවය සමඟ සමපාත වෙයි. එමෙන්ම කෘතියේ වෙනත් චරිතවල දෙබස් ලියද්දී ඔහු ඒවා ද නිවැරදිව අනුගමනය කරයි. ඉස්තුති, පුළුහන්, කරන්ඩ, පාදඩ වරත්තුව, කංජයියා වැනි වචන ඔහු නිසි පරිදි භාවිත කර තිබේ.

විශේෂයෙන් පූජකවරයා කතාකරද්දී ඔහුගේ දෙබසේ පුළුහන් යැයි නොලියා පුළුවන් කියා ලියන්නට තරම් පරිවර්තකයා සූක්ෂම වී තිබේ. මන්ද යත්, පූජකවරයාගෙන් එවැනි භාෂාවක් අපේක්ෂා කළ නොහැකි බැවිනි.

කැමූ ගේ භාෂාව පිළිබඳ ෂන් පෝල් සාර්ත්‍ර විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එය සිදුවන්නේ ගිල්බර්ට් තම පරිවර්තනය කිරීමෙන් පසුව වීම සමහරවිටක ගිල්බර්ට්ට සිදුවූ අවාසියක් විය හැකි ය.

පිටස්තරයා කෘතියෙහිම සාර්ත්‍ර ගේ එම ප්‍රකාශයෙන් කොටසක් සෝමරත්න බාලසූරිය විසින් පරිවර්තනය කර තිබේ. එහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.

“මෙම නවකතාව කියවද්දී කතුවරයා නිශ්ශබ්ද වෘතය රකින්නේ යැයි අපට සිතේ. ඔහුගේ යෙදුම් විශ්ව භාෂා ප්‍රයෝගවලට ඇතුළු නොවීමට පුළුවන. වාක්‍යයක් දිග්ගැස්සීම සඳහා සම්ප්‍රදායානුකූලව කෙරෙන පද බෙදීම් හෝ බැඳීම් මෙහි නැත. වාක්‍යවල අන්තර්ව්‍යුහය සාම්ප්‍රදායානූකූල නොවේ. හැම වාක්‍යයක්ම එක හා සමාන නොවේ…

චිරාගත ශෛලියෙන් ඉවත්වීමේ අදහසින් කතුවරයා වක්‍ර යෙදුම් නිරතන්තරයෙන් යොදයි.”

සාර්ත්‍ර ගේ මෙම අර්ථ දැක්වීම තුළින් මාර්සෝ ගේ ආඛ්‍යාන බස නිර්මාණය කිරීමේදී කැමූ කෙතරම් සැලකිල්ලක් දක්වා අතිද යන්න දැකිය හැකිය. එනිසාම එම වාකය රටාව රැකගැනීම පරිවර්තකයෙකු ගේ වගකීමකි. භාෂාව සංස්කෘතිය නොතකා එය රැකගැනීමට පරිවර්තකයා කටයුතු කළ යුතුය. එහිදී මෙහි පරිවර්තක සෝමරත්න බාලසූරිය ඉතා විශිෂ්ට ලෙස එය සිදුකර ඇත. ඔහු සාම්ප්‍රදායික බෙදීම වෙනුවට මෙලෙස ලියයි.

“අම්ම එක්ක එකට හිටිය මෙතන ඉන්න උදවිය තව ටිකකින් එනව මිනිය තනි රකින්ඩ- ඒක මෙතන තියෙන සිරිතක්. මම දැන් යන්ඩ ඕනෑ- එ උදවියට පුටුයි – කෝපියි ලෑස්ති කරන්ඩ.” – පිටස්තරයා පිටුව 9

මේ ආකාරයේ භාසාවක් යොදාගැනීම සිංහල භාෂාවේ අලංකාරවලට නොගැලපිය හැකි වුවද, පරිවර්තකයා වඩා වැදගත් කර්තළු්‍ය වන කැමූ ගේ වාක්‍ය ගොඩනගයි. බොහෝ විට පරිවර්තිත භාෂාවට ( target language) උචිතවන අයුරින් වාකය රටාව බිඳදමා කෙරෙන පරිවර්තන අපට හමුවේ. එය නිවැරදි පරිවර්තනයක් ද යන්න ගැන නැවත සිතා බැලීමට මේ කාරණය ඉවහල් කරගත හැකි ය.

අවසාන කරන්නට පෙර එක් කාරණයක් තිව යුතුව ඇත. කැමූගේ නවකතාව මෙන්ම එහි ඉංග්‍රීසි පරිවර්තන ගැන ද ලොක්යේ බොහෝ කතා මතුවී තිබේ. යම් නවකතාවක පළමු වාකය පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මෙම කෘතිය තරම් කතාබහට ලක්වී ඇති කෘතියක් ඇද්දැයි යන්න සැක සහිත ය.

කැමූ විසින් රචිත මුල්කෘතියේ ප්‍රංශ බසින් ලියැවී ඇති පළමු වාක්‍යය මෙසේ ය.

“Aujourd’hui, maman est morte,” – ඕජුද් වී මමෝ ඒ මොර්ත්

මෙම වාක්‍යය ඉංග්‍රීසි බසට පෙරළීමේදී ගිල්බර්ට් මෙන්ම ජෝසප් පවා එය පෙරළන්නේ මෙසේ ය.

-Mother died today-

බැලූ බැල්මට මෙහි වරදක් නැතැයි කෙනෙකුට පෙනිය හැකි ය. එහේ මෙහි කැමූ විසින් යොදන මමෝ යන ප්‍රංශ වචනය ඉංග්‍රීසි මදර් යන වචනයට සමපාත නොවේ. මමෝ යන්න මව ඇමතීමට භාවිත කරන්නේ කුඩා දරුවන් ය. කැමු එම වචනය යෙදීම තුළ මාර්සෝ සහ ඔහුගේ මව අතර තිබූ වෙනස් සබඳතාවය පාඨකයාට පළමු වැකියෙන්ම ගෙනෙයි. එය ඉංග්‍රීසි බසින් යොදන්නට තිබුනේ Mommy ලෙස හෝ maman ලෙස බව විචාරකයෝ පවසති. එසේ වී නම් පමණක් එය කැමූ ගේ වචනයම වන්නට ඉඩ තිබිණි. කෙසේ වුවද මෑතකාලීනව මෙය නැවත පරිවර්තනය කරන වෝර්ඩ් එය නිවැරදි කෙරුවද, මෙම වාක්‍යයේ තවත් වරදක් ඇත.

කැමූ විසින් යොදන වාක්‍යය නැවත බලමු.

“Aujourd’hui, maman est morte,”

මෙහි Aujourd’hui යන වචනය මුලට යොදා තිබෙන්නේ හේතුවක් ඇතුවය. එයින් අදහස් කෙරෙන්නේ අද යන්නය එසේනම් මෙය පරිවර්තනය විය යුතුව තිබුණේ,

Today, mommy died හෝ Today, maman died ලෙස බව විචාරකයෝ පවසති.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ. කතාවේ තීරණාත්මක අවස්ථාව වන මාර්සෝ අරාබි ජාතිකයාට වෙඩි තබන අවස්ථාවේ පායා තිබූ ඉර මව මියගිය දිනයේ පායා තිබූ ඉරට සමාන බව මාර්සෝ පවසයි. එයින් හැඟවෙන්නේ එම අද දිනයම එදිනද එළඹි බව ය. එය සමස්ත කතාවම හකුළුවා තබන තනි වාක්‍යයකි. සංකේතීයව බැලුවහොත් ඉර මාර්සෝගේ මවගේ මරණය සංකේතවත් කරන අතර මාර්සෝට කොකා ගැස්සීමට බලපෑම් කරන්නේ ඉර ය.

කැමූ මෙම වචන පෙළගස්වන්නේ නොසිතා නොවේ. අද නම් දිනයට මවගේ මරණයෙන් බාධා පැමිණ තිබේ. එනිසා එය ‘අද, අම්මා අන්ත්‍රා වුණා’ යනුවෙන් විය යුතු ය. කෙසේ වුවද සිංහල පරිවර්තනයේ දී අද යන්න යෙදී නැත. එය පසු වාක්‍යයකට යොදා තිබීම යම් දුර්වලවීමක් ලෙස පෙනී යයි. කෙසේ වුවද මෙම පරිවර්තනයේ විශිෂ්ටත්වය ඉන් පළුදු නොවේ.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment