මංජුල වෙඩිවර්ධන යනු සංසාරික ලියන්නෙක් බව යළිඳු පසක් කර ඇත. වෙඩ්ඩාණන්ගේ නවමු ප්‍රබන්ධය ‘මුන්නක්කරේ සංසාරේ’ දරාගත නොහැකි පුස්තකයක් බව නොකියා බැරිය. එමෙන්ම එයින් ලැබෙනා ප්‍රඥාව මෙතකැයි කිව නොහැක. ඔහු මුන්නක්කරේ නම් වපසරිය කේන්ද්‍ර කරගනිමින් මීගොමු පුරවර ඉතිහාසය කලම්ඹයි. එය මතුනොව සකල කිතුණුවන්ගේ ඉතිහාසය පේගනියානු ප්‍රාග් ලෝකය දක්වාම කැඳවාගෙන යයි. ඔහු ලාංකීය ප්‍රාග් ලෝකයේ මූලයන් හා ඇදහීම අතර ඇති විසංවාදය සංවාදගත කරයි. ඔහු පවතින පරත්වාරෝපිත විපරීතත්වයේ පතුළට සහෘදයා කැඳවාගෙන යයි. මෙකී පුස්තකය කේ.කේ. සමන් කුමාර හෙවත් සර්පයාගේ ‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’ නම් විචාර පුස්තකයේ නව මුද්‍රණයෙහි එන කිතුණු ප්‍රඥාමාර්ගික සාහිත්‍ය ධාරාව නියෝජනය කරයි. එය ථූප වංශය මතු නොව රාවණා පුරා වෘතාන්තයට ද ඈඳෙයි. මෙකී පුස්තකය මහා වාංශික මහා ආඛ්‍යානයේ ව්‍යාජ සළුපිළි ඉරා දමමින් චූල ආඛ්‍යානිත ඉතිහාසය වියමනට සම්මුඛ කරවයි. එය හෂිතයන් ගෙනා සයිමනියානු ප්‍රවාදය කිතුණු ප්‍රඥා මාර්ගයෙන් පාදා ගැනීමක් ලෙසද අර්ථකථනය කළ හැක. මාක්, මතෙව්, ලූක්, යොහාන් යන සුභාරංචිවලට පමණක් නොව සකල බයිබලීය ලියමන් ඉන්ටටෙක්සුවලීය සන්ධර්භයක තබා කියවා ගැනීම යෙහෙකි යන්න යෝජනා කරයි. එමෙන්ම බයිබලයෙන් ඉවතළූ මග්දලේනියානු සුභාරංචිය, යුදාස්ගේ සුභාරංචිය ආදී වූ ගොස්පලයන් පිළිබඳව ඉඟිතයන් ලබා දෙයි. එහිදි වෙඩිවර්ධනුන් කිසිඳු මතවාදයක් අතහරින්නේ නැත. එහි එක් තැනක හස්රත් මිර්සා ගුලාම් අහමද්ගේ ජීසස් ඉන් ඉන්දියාහි මතවාද ද (යේසුස් මෛත්‍රී බුදුන් ද? – පරිවර්තනය කේ.කේ. සමන් කුමාර/ ගොයුම් එවරස්ට් ආරච්චිගේ) සොයා බලන්නට සහෘදයා පොළඹවයි. එහිදී ජීන් බෝද්‍රිලාල්ගේ මුල්පිටපත නැතිවීම (Simulacrum) සංකල්පය ඔහු සංසාරය තුළට ගෙන එයි. මේ පුස්තකය තුළ ඇත්තේ මෙතෙකැයි කියන්නට බැරි වසර දහස් ගණනාවක් පුරාවේ ගලා ආ ලේඛණගත ඉතිහාසයක් නැවත අකුරුපත් කිරීමකි. එය දරාගැනීමට තියා හිතන්නටවත් බැරි දිව්‍යමය ශ්‍රමයකි. ඔහු කිතුණු දහමේ එන ද්වෛතභාවය එනම් ඩුඇලිටිය මහා පිපුරුමකට ලක් කරමින් විසිරී යන්නට ඉඩහරී. වියමනෙහි ඇතැම් තැන කැවෝසීයත්වයට පත්වන්නේ එබැවිනි.
පාලම් හරහා ඛණ්ඩණයට ලක්වන මුන්නකර මෝඩ ඇලේ වෘතාන්තය යනු එවපසරියෙහි බෙදා වෙන්කිරීම ම නොව අතීතයේ පටන්ම උත්පත්තිය දක්වාම සකල දෑ කඩ කඩා වෙන් කිරීමේ දිව්‍යානුභාවයෙහි දේශපාලනික අරුත් නැංවීමකි. එය වැල්ල කරයෙහි මාක්ස්වාදය කිතුණු උරුමය යූඇන්පී පාදඩ කරණයට නතුවීම දක්වාම විහිදුවාලයි. මුන්නක්කරේ සංසාරේ හරහා මීට පෙර ලියැවුණු ඊනියා පශ්චාත් යටත්විජිතවාදී නවකතාව සහ ඓතිහාසික නවකතාවට එරෙහිව අතුල් පහරක් එල්ල කරයි. මතු නොව ප්‍රඥාප්‍රදීප මුද්‍රිත පාප පල්ප (Pulp) ප්‍රබන්ධිත කුමන්ත්‍රණවාදයේ සැට්ටැඹි ක්‍රියා පිළිවෙතක මුනිවත ප්‍රශ්ණකරයි. පවනසර යනු ඊට එරෙහිව දියත් කළ හෘද සාක්ෂියේ සැබෑ මුද්‍රිත හදබසයි. පුස්තකයෙහි නැරේෂනය ගලා යන්නේ පත්තර මායාව සමගය. මාකේසුවන් පත්තර කලාව හරහා ගෙන ආ කරුමක්කාර කතා ආඛ්‍යානය වෙඩිවර්ධනයන් ලාංකික සන්ධර්භයක පැළ කරයි. එහි ඉන්ද්‍රජාලිකත්වය විදහා පාන්නේ පෙර නොවු විරූ අයුරකිනි. මාකේසුවන් සියක් වසක හුදෙකලාවෙන් දශක දෙක හමාරකට පසුව පළකළ පැහැරගැනීමේ විත්ති (News of a Kidnapping) තුළ ඔහු මැවූ ප්‍රබන්ධිත මායා ලෝකය කෙතරම් යථාර්වත් ද යන්න කියවන්නාට මුනගැසෙන්නට ඉඩ හැරියේය. ඒ අයුරින් වෙඩිවර්ධනයන් මීට බොහෝ පෙරාතුව ලියූ දෑ තුළින් සිය ප්‍රබන්ධය වර්ණ ගන්වයි. එය පෙර පැවතියා වූ කතා කලාවට මොහොම්මද් අලීයානු බොක්සිං අපර්කට් පහරකි.
සිංහල බොදු ජනයා සැබෑ බවුද්දයෙක් නොවී ව්‍යාජ බවුද්ද අන්තවාදියෙක් ලෙසට රූපාන්තරණය වීමෙහි අබග්ගය වෙඩිවර්ධනයන් අපට සම්මුඛ කරයි. එය බවුද්ද පුරස්නයක පටලා අත පිසදා ගැනීම ඔහුගේ අපේක්ෂාව නොවන්නේ ය. එය කිතුණුවාගේ ද පුරස්නය බව ඔහු පෙන්වා දේ. ඓතිහාසික දමිළ මූලයෙහි පවතින සාරය ඔහු මීගොමු කළපු දියෙන් දෝතට ගෙන ශුද්ධ දියරයට හරවයි. පුස්තකයෙහි හැම නිතොර භූගෝලීය වපසරියකට කොටු වූ සැබෑ යථාර්ථය ඔහු විශ්වීයත්වයට පත් කරයි. රත්මලානේ දුස්ටකම් හරහා ඔහු ගෙනා තෝල්ස්තෝයිය ‘ගමක වෙන දෙය ලෝකයේ කොහේත් වෙනවා’ යන උදාන වැකිය යළිඳු සනාථ කරයි. උතුරේ අරගලය යනු දකුණේ අරගලය බව ද සකල අරගලය යනු පීඩිතයාගේ අරගලය යන්න ඔහු පෙන්වා දෙයි. එය කිතුණු දහමෙහි මාක්ස්වාදී හරය ද එංගල්සියානු සොබාදහමේ දෛලෙක්තිකය ද මතක් කර දෙයි. එමෙන්ම මෙල්විල් ‘මෝබිදික්’ හරහා රැගෙන ආ මිනිසා සහ පරිසරය අතර ඇතිවන නොනවතින ගැටුම විදහාලයි. අසල් වැසියාට පෙම් කිරීමේ විසල් බවින් යුතු මේ පුස්තකය ආගම යනු පීඩිතයාගේ සුසුම යන මාක්සුවන්ගේ කියමනෙන් ගලවා ආගම තුළින් මාක්ස්වාදය ද මාක්ස්වාදය තුළින් ආගම ද කියවා ගැනීමේ ප්‍රඥාව එළිපෙහෙළි කරයි. එය පූර්ව කිතුණු යුගයෙහි කොමියන සංකල්පය යළි රැගෙන එනවා වෙන්ම සකළ දෑ ඓතිහාසික බවුතිකවාදයෙන් ඇනලීසගත කරයි. එක් අතකින් මේ පුස්තකය යනු මෝසසුන්ගේ යුගයේ පටන් යේසුස් කුරිසපත් වීම දක්වා ලියැවුණු ඉතිහාසය ප්‍රබන්ධගත කිරීමකි. ඔහු වත්මන් කවයේ කතිකාව වුව කැඳවන්නේ යළිඳු සිදුවන ඓතිහාසක පුනරාගමනයක් ලෙසිනි.
මුන්නක්කරේ සංසාරේ නම් බරපතල පුස්තකය ග්‍රීක කතුවර නිකෝස් කසන්සාකිස්ගේ ගැලවීම සොයා ගිය දිගු වන්දනා ගමනක් (Report To Greco), ක්‍රිස්තුස්ගේ අවසන් පෙළඹවීම (The Last Temptation of Christ) මෙන්ම ප්‍රතිකාල කතුවර ජොසේ සරමාගෝගේ ‘The Gospel According to Jesus Christ’ නම් බරපතල පුස්තකයන්ගේ සාරය උකහා ගනී. සරමාගෝ මේ කෘතිය හරහා ගෙනා මරියා ප්‍රවාදයන් වෙඩිවර්ධනයන් සිය පුස්තකයෙ අන් අයුරකින් වර නගයි. සමස්ත පුස්තකය පුරාවෙහි ඔහු කරනුයේ සකල කිතුණු ඉතිහාසයත් දහමත් වෙනත් අයුරකින් කියවා ගැනීමට මානයන් විවර කර දීමය. එය මට උම්බර්තෝ එකෝගේ ‘රෝස මලේ නම’ සිහිගන්වයි. වරෙක ආර්තෝ රිවාතේ ද්‍යූමා මණ්ඩලයෙ නවකතාවෙහි මෙසේ (El Club Dumas) කියයි. “ඕනෑම පුස්තකයක කතා දෙකක් තිබෙනවා. එකක් පොතේ තියෙන කතාව. අනිත් එක කියවෙන කෙනා මවා ගන්න කතාව” වෙඩිවර්ධනයන් රිවාතේගේ අදහස අර්බුධයට ලක් කරයි.
වෙඩිවර්ධනුන් බත්තලංගුණ්ඩුව හරහා රැගෙන ආ යුතෝපියානු ප්‍රබන්ධ කලාව මුන්නක්කරේ තුළ දිය කරමින් වෙනත් අඩවියකට කැඳවා ගෙනයයි. කුන්දෙරා නවකතාවේ රටාව හරහා රැගෙන ආ ඔපෙරාතික පොලිපොනි නවකතා ආඛ්‍යායන වෙඩිවර්ධනුන් ඔප්පාරීය කඳුළක මුසු කර හද ගැහෙන ඔරසම් මතට ඉසියි. මිකායෙල් බාක්තීනුන් විඩම්බනකාව්‍යය සහ ද්වී ශාබ්දික කතිකාව තුළ ගෙනා මතවාදයන් වෙඩිවර්ධනයන් අන් මගකට ගෙනයයි. එය පෙර පැවතියා වූ දොස්තොව්ස්කියානු භාවයට නව අර්ථකතනයක්ගෙන එයි. වරෙක ඒ.වි. ලුනාචාර්ස්කි සංගීතය ගැන මෙහෙම කියයි.
“සංගීතය මිනිස් හැඟීම් ප්‍රකාශනයක් වශයෙන් බිහි වෙයි. එය මනෝභාවයන්ගේ හඬ බැව් අපි නිසැක ලෙස විශ්වාස කරමු. සත්ව ලෝකයේ සංගීතය උපදින්නේ කොයිබින් දැයි අපි දනිමු. ඉතාම වෛෂයික නිදර්ශන නම් පක්ෂියාගේ කාමුක සංගීතයයි. එය නගන ලාලසාවේ නාදය වනවාට අමතර ව මධුරතර ස්වර ප්‍රවාහයකින් කිරිල්ලිය වසඟයට ගැනීමේ උපායකින් ද සංයුක්ත වී තිබේ. නියිටිංගේල් කුරුළු ගීයේ ඇත්තේ හුදෙක් පිරිමි කුරුල්ලාගේ හැඟීම් පමණක් නොවේ. එය සංසර්ගික ක්‍රියාවේදී දිග හැරී හුදෙක් තනි පක්ෂියෙකු තුළ නො ව සමස්ත වශයෙන් ඒ කුරුළු වර්ගයා තුළ ම සැබෑ පරිසමාප්තියකට පත් වන්නා වූ ස්වයං සංයුක්ත කලාවකි. සියළුම සංගීත ප්‍රභේදයන් වර්ධනය වන්නේ මීට සමාන ආකාරයකිනි. ඉකි බිඳුම වැලපීම දක්වා වර්ධනය වෙයි. එය අඳෝනා ගීයක් බවට පරිවර්තනය වෙයි. මනෝභාවයන්ගේ හඬ සංගීතය බවටත් බොහෝ විට සිදු විය හැකි පරිදි ගීතයක් බවටත් පරිවර්තනය වීමේ මුළු මහත් අර්ථසිද්ධිය රඳා පවතින්නේ කොතැනද?”
සැබැවින්ම මා සිතනා පරිදි එහි යතුර රඳා පවතින්නේ ප්‍රබන්ධිත සසර මතය. ෂොපාරය තුළ පවා ඇත්තේ ඒ සංසාරික ධ්වනියයි. ඒ සංසාරික ඔපෙරාව වනාහි ‘මුන්නක්කරේ සංසාරය’ නම් ඔප්පාරියයි. එය කොයියානු සන්තියාගෝගේ ව්‍යාජ සැරිසැරීමක ස්පිරිචුවල් මාර්කැට්ටු ලෝකය දෙදරවා හරී. මේ පුස්තකය දාන්තේ ඇලහියර්ගේ දිව්‍ය ප්‍රහසනයෙහි පැරදීසෝව, ඉන්ෆර්නෝව, පර්ගතෝරිය හරහා යන සංසාර චාරිකාව සිහිගන්වයි. එමෙන්ම මෙහි ඇති චැප්තරයන් බෙදීම පාපතරයන්ගේ නිරයෙහි කවයන් නවය මතක් කරවයි. එමෙන්ම මෙකී පුස්තකය මට නැටි කොටය මුඛයෙහි හොවාගත් ඖරෝබෝරස් සිම්බොලය මතක් කරයි. මේ තුළ නැවතීම ගමන කරගත් දිවැසිවර යෙහුදාලුන් ද, සංසාරයම නිවන කරගත් සිසාරෝ ද එකිනෙක ගිලෙන්නට හරී. පුස්තකය අවසන් වන්නේ ද ඒ සංසාරික චක්‍රයෙනි.
වරෙක වෝල්ටර් බෙන්ජමින් ඉතිහාසයේ දර්ශනවාදය පිළිබඳ ප්‍රවාදයෙහි මෙසේ කියයි.
“කාලය අචල වන්නා වූ ද, නැවතුමකට පැමිණෙන්නා වූ ද වර්තමානය පිළිබඳ හැඟිමකින් තොරව ඓතිහාසික බවුතිකවාදියෙකුට කටයුතු කළ නොහැකි ය. ඔහු විසින් ඉතිහාසය ලිවීමේදී රඳා සිටින්නා වූ වර්තමානයබ්විසින් මේ හැඟීම පූර්වාපේක්ෂා කරනු ලැබේ. ඓතිහාසිකවාදය විසින් අතීතය පිළිබඳව සදාතනික රූපයක් සම්පාදනය කරන අතර ඓතිහාසික බවුතිකවාදය අතීතය සමග අද්විතීය අත්දැකීමකට යාමට ඉඩ ලබා දෙයි. ඉතිහාසයේ සන්තතිය පුපුරවා විවෘත කළ හැකි මනුෂ්‍යයකු වූ බවුතිකවාදියා ඉතිහාසවාදය නැමැති ගණිකා මඩමේ එකෝමත් එක කාලයක නැමැති වෙසඟන සමග යාමට සෙස්සන්ට ඉඩහැර ස්වකීය බල පරාක්‍රමය සමඟ රැඳී සිටියි.
ඓතිහාසිකවාදියා ඉතිහාසයේ විවිධ නිමේශයන් අතර කාරණාමය සබඳතා සොයා යද්දී, ඓතිහාසික බවුතිකවාදියා ජපමාලයේ ඇට ගනින්නාක් මෙන් සිද්ධීන්ගේ අනුක්‍රමිකතාව ගෙන හැර දැක්වීම වෙනුවට තමා ජීවත් වන්නා වූ අවධිය මගින් මුළු මහත් නක්ෂත්‍ර මණ්ඩලයම ග්‍රහණය කර ගනී” (උක්ත උපුටනය එරික් ඉලයප්ආරච්චිගේ විචාර පත්‍රිකාවෙනි)
ප්‍රබන්ධය යනු බොංතිඤ්ඤෙක ඇට එකටෙක පෙළට තබා පෙළගැස්වීම නොවන බව වෙඩිවර්ධනයන් සනාථ කරයි. මුන්නක්කරේ සංසාරය තුළ මාකේසුවන්ගේ ලීවීම් කලාව මතු නොව, විසිවැනි සියවසේ ශ්‍රේෂ්ඨ තම නවකතාව ලෙස අවිවාධයෙන් පිළිගන්නා ජේමිස් ජොයිසුන්ගේ යුලිසස් හී අවතාරය සක්මන් කරයි. ජොයිසුන් වරෙක කීවේ. අයරලන්දයේ ඩබ්ලිනය සම්පූර්ණයෙන් විනාශ කළ ද ඔහුගේ නවකතාව කියවා ප්‍රතිනිර්මාණය කළ හැකි බවය. ඉදින් වෙඩිවර්ධනයන් මුන්නක්කරේ හරහා ගොඩනැගූ නැවත ගිය කාලය ගොඩ නැගීම සකල ලාංකිකයන් සතු වගකීමක් විනා අන් කවරක් ද?
වෙඩිවර්ධනයන් වරෙක සල්ලාපයකදී මෙසේ කියයි. මට අනුව නම් ලිවීම කියන්නෙ පරම දුකක්. ලිවීම කියන්නෙ මගේ දුක්ප්‍රාප්තිය. ඒ තුළ පවතින්නේ ස්වයං වධක කිතු මනසක මොෂකෙසීය භාවය නොවෙද? ඉදින් මුන්නක්කරේ සංසාරේ කියවීම යනු කියවන්නාගේ දුක්ප්‍රාප්තිය නොවන්නේ ද?
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
