නවකතාවේ සනුහරයෙන් රූපකත්වයට

ගියවර තීරුවෙන් අප කතා කළ් නවකතාවේ පාත්‍රවර්ගයා හෙවත් එහි සනුහරය ගැන. වෙනත් විදිහකට කියනවා නම් නවකතාවක චරිත හැදෙන්නෙ කොහොමද කියන කාරණාව පිළිබඳවය.

අද අප සූදානම් වන්නේ ප්‍රබන්ධකරණයේදී බහුලව භාවිත වන metaphors හෙවත් රූපක කියන්නෙ මොනවද? යන්න කෙටියෙන් විමසා බැලීමටත් නවකතාවක් තුළ රූපකයක් වැඩ කරන්නෙ කොහොමද කියන කාරණයත් නවකතා පොතක උදාහරණ කීපයක් ඇසුරින් විමසා බැලීමටය.

ඉතාමත්ම සරල තැනකින් පටන් ගන්නේ නම් රූපකයක් යනු යම්කිසි වස්තුවක් හෝ පද්ධතියක් විස්තර කිරීමේදී නිපාත පදයක් හෝ සහායක පදයක සහයක් නොමැතිව කෙළින්ම එම දෙය කරා වෙනත් නිරූපණයකින් එළඹීමකි. තවත් ආකාරයකින් මේ කරා එළඹෙන්නේ නම් අපට උපමාවක් සහ රූපකයක් අතර වෙනස සලකුණු කිරීමකින්ද මෙයට පුවේශ විය හැකිය. උපමාවක් කිසිවිටෙක දෙයක් කරා තනිවම නොඑළැඹෙයි. ඔහුට හැම විටම යම් අයෙකු හෝ දෙයක් වෙත එළඹීමේදී වෙනත් සහකරුවෙකුගේ සහාය අවැසිය. එම සම්බන්ධීකාරකයාට අපි භාෂාවේදී නිපාතය යැයි පවසමු. මේ අනුව හැම විටම උපමාවක් හැම විටෙකම තවකෙකුට සමවීමට හෝ ඒ වගේ වීමට නම් එයට තම නිපාතමය සඟයාගේ සහාය අවැසිය. රූපකයක් හා උපමාවක වෙනස මෙලෙස සරල බෙදුම්කඩනයකින් වෙන්කර ගන්නා අපට ටිකක් සාහිත්‍යාකාරයකින් එය මෙලෙස දක්විය හැකිය. රූපකයට ස්වාත්මයක් පැවැතිය ද උපමාවට ස්වාත්මයක් නොමැතිය. තවදුරටත් පවසන්නේ නමි විවිධ තන්හි ලා රූපකයට විවිධාකාරයෙේ අර්ථ ජනනය වන සේ විවිධාකාරයේ රූපාකාරයෙන් හැසිරිය හැකිය. එය සතු මේ ශක්‍යතාවෙන් ප්‍රබන්ධ රචකයෝ විපුල ඵල ලබති.

රූපකය පිළිබඳ යම් ප්‍රමාණාත්මක කතිකාවකට පැමිණි අපට දැන් නවකතාවක් තුළ රූපකයක් සිදු කරන කාර්යභාරය උදාහරණ කීපයක් ඇසුරින් සලකා බැලීමට පුළුවන්. ඒ සඳහා මම කැමතියි මම මෑතකදීම කියවපු නවකතාවකින් මේ කාර්යය අරඹන්න.ඒ දීපා අනප්පරා කියන ඉන්දීය ලේඛිකාවගේ Djinn Patrol on The Purple Line කෘතියෙන්. එය මුළා මංසල නමින් සිංහලට පරිවර්තනය වී ඇත. දීපා අනප්පරාගේ මනරම් ආඛ්‍යාන රටාව නොනසා එලෙසින්ම සිංහල පාඨකයා වෙත රැගෙන එන්නට මෙම කෘතිය සිංහල බසට පරිවර්තනය කළ මොහාන් ධර්මරත්නගේ සමත්වීමද සිංහල පාඨකයාටද කියවීමේ රුචිකර අත්දැකීමක් ලබා දීමට සමත්ව ඇත. ඉන්දියාවේ නාගරික මුඩුක්කු පරිසරයක ජන ජීවිතය විදාරණය කරමින් ලියැවී ඇති මෙම කෘතිය එම පරිසරයේ වෙසෙන දරුවන් කීපදෙනෙකුගේ අතුරුදන් වීම් කේන්ද්‍ර කර ගනිමින් නාගරික මුඩුක්කුවක ජනතාවගෙේ ජීවිත කලි කහලයන් අප හමුවෙි තබයි.

නාගරික මුඩුක්කු පරිසරයක ජීවන සිතියම සිතුවම් කිරීමේදී දීපා අනප්පරා යොදා ගන්නා ඝන මීදුම් දුමාරය එම ජීවිත වියමන් කිරීමට ප්‍රයත්න දරනා ඕනෑම ප්‍රබන්ධ රචකයෙකුට හෝ රචිකාවකට ගත හැකි ප්‍රබලම රූපකයකි.

මෙම පොත කියවමින් සිටියදී ඇස ගැටුණු ‘අද’ පුවත් පතේ පලවූ ප්‍රවෘත්තියක් ද මේ මොහොතේ මට සිහිපත් වෙයි. ඒ නවදිල්ලියේ පිළිකා රෝගයට ගොදුරු වූ ළමයින්⁣ගෙන් බහුතරයක් එම රෝගයට ගොදුරු වී ඇත්තේ පරිසර දූෂණයේ ඵලයක් ලෙස නවදිල්ලිය වසා පැතිර යන දූවිල්ල හේතුවෙනි. මෑතක නවදිල්ලියට ගොස් පැමිණි තවත් මිතුරෙකු මුළු නවදිල්ලියම දුඹුරු පාටයි කියමින් මා හා පැවසුවේද එකී ප්‍රවත සනාථ කරන කරුණුය. දිල්ලියේ පාරිසරික වාස්තවිකය එසේ පැවැතියදී Djinn Patrol හි ගෙන එන මුඩක්කු පරිසරය වසා පැතිරුණු ඝන මීදුම් දුමාරය නවදිල්ලියේ කාර්මික දූවිල්ල අබිබවා ගිය අර්ථ බාහුල්‍යයකින් යුක්තකි. එම අර්ථ බාහුල්‍යය තුළ මතුවෙන ඝන මීදුම් දුමාරය තුළ සැඟව ඇත්තේ ජායි නම් අවුරුදු නවයක පොඩි කොලුවා කියන කතාව පමණක් නොවේ. සමස්ත ඉන්දියාවේම යථාර්ථය ඒ තුළ සැඟව ඇත. ඒ පමණක් නොවේ විචක්ණශීලී පාඨකයෙකුට මේ මොහොතේ ඊශ්‍රායලයේත් අපේ මේ පුංචි ලංකාවේත් මුළු මහත් ලෝකයේමත් මේ ඝන මීදුම් දුමාරයට යටව ඇති මිනිසුන්ගේ ජීවිත කියවා ගැනීමට දීපා අනප්පරාගේ ජින් පැට්රෝල් ඔන් ද පර්පල් ලයින් කෘතියෙන් මතු කරන ඝන මීදුම් දුමාරයේ රූපකයෙන් හැකියාව ලැබෙයි. ප්‍රබන්ධකරුවෙකුට රූපකයකින් ගතහැකි වැඩ අසීමිත බවට මේ කතාවේ එන ඝන මීදුම් දුමාරය හොඳ නිදසුනකි. හොඳ රූපකයක් යනු හැම විටම වාච්‍යාර්ථය ඉක්මවා යන්නකි. දීපාගේ මෙම නවකතාව තුළ එන යක්ෂ තිප්පොළ, මීහරක් බාබා මෙන්ම ⁣ගෝල්ඩන් ගේට් ද රූපකමය ද්වනිතාර්ථයන් ජනිත කරවයි. ඊට උචිත සන්දර්භයක බහාලන කළ රූපකවලින් ප්‍රබන්ධකරුවෙකුට කෙතරම් වැඩගත හැකිදැයි යන්න පැවසීමට දීපා අනප්පරාගේ Djinn Patrol මෑත කාලය තුළ මට හමුවූ කදිම නවකතාවකි.
මුළා මංසල යනු දීපාගේ නවකතාව සිංහල භාෂාවට නැගීමේදී එහි පරිවර්තකයා වන මොහාන් ධර්මරත්න ඊට දී ඇති නාමකරණයයි. මොහාන්ගේ මෙම පරිවර්තනය ද මෑත කාලයේ මට කියවීමට ලැබුණු අපූරු පරිවර්තනයකි. දීපාගේ බසේ රස හා උපහාසාත්මක බව එලෙසින්ම සිය පරිවර්තනය තුළ දී ආරක්ෂා කර ගැනීමට මොහාන් ධර්මරත්න දක්වන බුහුටිකම මනරම්ය. එයටත් වැඩියෙන් ඔහු සිංහල පොතට දී ඇති නාමකරණයට මගේ සිත ඇදී යයි. එය අතිප්‍රබල රූපකයකි. ජීවිතයේ දී අපට ඝන මීදුම් දුමාරයන් මෙන්ම විවිධ මුළා මංසලවල් ද නොයෙක් විට අභිමුඛ වීම වැළකිය නොහැකිය. වැදගත් වන්නේ ඒවායේ නොවැටී ඒවා පියමං කර යාමට අප සමත්වීමය. අවසාන වශයෙන් කිවයුත්තේ හොඳ ප්‍රබන්ධ රචකයෙකුට රූපකය කෙතරමි ප්‍රබල මෙවලමක් කරගත හැකිද යන්නට මුළා මංසල කදිම නවකතාවක් බවයි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment