නිදහස්වීම

වැස්සත් එක්ක ගෙවුණු තුන්වැනි දිනය වනවිට නිවස තුළ ඔවුන් කෙතරම් කකුළුවන් ප්‍රමාණයක් මරා දැමුවාද කිවහොත්, මඩ වූ මිදුල හරහා ගොස් උන් මුහුදට වීසි කිරීමට පෙලායෝට සිදුවිය. මන්ද යත් ඔවුන්ගේ අලුත උපන් දරුවා රාත්‍රිය පුරාම උණෙන් පෙළුණු බැවින්, ඔවුහු සිතුවේ ඒ මැරුණු කකුළුවන්ගේ ගඳ නිසාවෙන් බවයි. අඟහරුවාදා සිටම ලෝකය දුකෙන් සිටියා මෙනි. මුහුදත් අහසත් එකම අළු පැහැයකි. මාර්තු මස රාත්‍රියේ, කුඩු කළ ආලෝක සුණු මෙන් දිලිසුන මුහුදු වෙරළ, කුණු වූ බෙල්ලන් සමග මඩෙන් හැදූ හොද්දක් බවට හැරී ඇත. ආපහු ගෙට යන පෙලායෝට ගෙමිදුලේ පිටුපස කොටසේ රළු කෙඳිරිල්ලකුත් සමග හෙලවෙන්නේ කුමක්දැයි දහවල මඳ ආලෝකය නිසා හරිහැටි හඳුනාගත නොහැකි විය. ඒ වූකලී මඩ ගොඩේ මුනින් අතට වැටී සිටින වයස්ගත, බොහොම වයස්ගත, මිනිසකු බව හඳුනාගන්නට ඔහුට ඒ අසලටම යාමට සිදුවිය. මිනිහාව නැගිටුවාගැනීමට ඔහු කළ බලවත් උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ වූයේ ඔහුගේ යෝධ අත්තටු නිසාවෙනි.

මේ බියකරු දර්ශනයෙන් බියට පත් පෙලායෝ, ගෙට ගොස්, අසනීපයෙන් සිටින දරුවාට වතුර පෙඟූ රෙදි කෑලි තබමින් හුන් බිරිය එලිසෙන්දාට හඬගසා, ඈ මිදුලේ  පසුපසට රැගෙන ගියේය. බිම වැටී සිටින ශරීරය දිහා ඔවුන් දෙදෙනාම අන්ද මන්ද වී බලා සිටියේ කිසිත් කතාවක් නැතිවය. මිනිහාගේ වස්ත්‍ර, පාවිච්චි කළ ඇඳුම් එකතු කරන්නකුගේ මෙනි. ඔහුගේ තට්ට හිසේ ඉතිරිව තිබුනේ ඉදුණු කෙස් ගහක් දෙකක් පමණය, කටේ තිබුණේ එහෙන් මෙහෙන් දතක් දෙකක් පමණි. දියබත් වූ මුත්තා කෙනෙකු වැනි ඔහුගේ පෙනුම, ඔහු සතුව තිබෙන්නට ඇති විභූතිය ඔහුගෙන් උදුරාගෙන තිබිණි. බාගෙට පිහාටු ගිලිහුණු රාජාලියකුගේ වැනි ඔහුගේ පියාපත්වල බොහොම තදින් මඩ වැකිලාය. ඔවුහු කෙතරම් වේලාවක්, කෙතරම් ආසන්නයෙන් ඔහු දෙස බලා සිටියාද කිවහොත්, පෙලායෝ සහ එලිසෙන්දා දෙදෙනා තුළම වූ පුදුමය ඉතා ඉක්මනින් යටපත් වී ඔහුව හුරු පුරුදු ලෙස දැනෙන්න පටන් ගත්තේය. ඊළඟට ඔවුහු ඔහුට කතා කරන්නට තරම් නිර්භය වූ නමුත්, ඔහු උත්තර දුන්නේ තේරුම් ගත නොහැකි භාෂාවකින් සහ නාවිකයකුට හිමි රළු කටහඬකිනි. ඒ කරදරකාර අත්තටු අමතක කොට, ඔහු කුණාටුව නිසා මුහුදුබත් වූ විදේශික නැවකින් පණ බේරාගත් ඉබාගාතේ යන තනිවූ නාවිකයෙකැයි ඔවුහු ඉතා නුවණක්කාර ලෙස තීරණය කලේ ඒ ආකාරයෙනි. එසේ වුවද ඔවුන්, ජීවිතය සහ මරණය ගැන බොහෝ දේ දන්නා අසල්වැසි කාන්තාවක් ඔහුව බැලීමට කැඳවූහ. ඔවුන්ට සිදු වූ වැරදීම පෙන්වා දීමට ඇයට උවමනා වූයේ එකම එක බැලුම් මාත්‍රයක් පමණය.

“ඔහු දේවදූතයෙක්,” ගැහැනිය ඔවුන්ට කීවාය. “එයා එන්න ඇත්තෙ ළමයා වෙනුවෙන්, ඒත් මහලු අසරණයා වැහි කුණාටුවට අහුවුණා.”

ලේ මස් වලින් හැදුණු දේවදූතයෙක් පෙලායෝගේ ගෙදර අත්අඩංගුවේ සිටින බව පහුවදා හැමටම ආරංචි විය. ඒ අවධියේ දේවදූතයෝ වනාහී දිවියලෝකයේ සිදු වුණ කුමන්ත්‍රණයකින් බේරී පැන යන්නවුන් කට්ටියකැයි කියන අර නැණවත් ගැහැනියගේ අදහසට පිටුපාමින්, පොලු පහර දී ඔහුව මරා දමන්නට ඔවුන්ට හිත හදාගන්නට බැරි විය. පිස්කල් මුලාදෑනිවරු පාවිච්චි කරන මුගුරක් අතැතිව, මුළු හවස් වරුවම කුස්සියේ හිඳ පෙලායෝ ඔහු දෙස ඇස ගසාගෙන සිටි අතර, රෑ නින්දට යන්න පෙර ඔහුව මඩ ගොඩෙන් ඇදගෙන ගොස් කිකිළියන්ගේ කම්බි දැල් කූඩුවට දමා අගුළු දැමුවේය. රෑ මැදියමේ වරුසාව නතර වූ වෙලාවේ එලිසෙන්දාත් පෙලායෝත් සිටියේ කකුළුවන් මරමිනි. ටික වේලාවකට පසු දරුවා ඇහැරුණේ උණෙන් තොරව, බඩගින්නකුත් සමගය. මෙතැනදී ඔවුන් තුළ ශ්‍රද්ධාවක් ඇති වීමෙන්, දේවදූතයා පාරුවක නංවා දවස් තුනකට සෑහෙන පරිදි බීමට වතුර සහ කෑමත් සමග මහ මුහුදට පා කර යවා ඔහුගේ ඉරණමට ඔහුව භාරදෙන්න ඔවුහු තීරණය කළහ. එහෙත්, උදෑසන කළු කපා එළියෙහි මිදුලට බට අවස්ථාවේ ඔවුහු දුටුවේ මුළු ගමම කිකිළි කූඩුව වටකරගෙන, කිසිදු ගරුසරුවකින් තොරව, ඔහු අධිස්වාභාවික සත්වයකු නොව සර්කසයක සිටින සතකු සේ සලකා ඔහුට කෑමට නොයෙකුත් දේ කූඩුවේ දැල් අස්සෙන් විසිකරමින් දේවදූතයා සමග විනෝද වෙන අයුරුය. 

අමුතු ආරංචියෙන් බියට පත් වූ ගොන්ගාසා පියතුමා හත වෙන්න පෙර එතැනට පැමිණියේය. ඒ වනවිට උදේ පාන්දර ආ නරඹන්නන්ට වඩා පිස්සුවෙන් අඩු පිරිසක් එතැනට පැමිණ සිටියා මෙන්ම, සිරකරුවාගේ අනාගතය ගැන විවිධ අනුමානද ඉදිරිපත් කළහ. ඔවුන් අතර සිටි සරලම තැනැත්තා පැවසුවේ ඔහු ලෝකයේම නගරාධිපති කළ යුතුයැයි කියාය. ඊට වඩා දැඩි සිත් ඇති අය කීවේ හැම යුද්ධයක්ම දිනා ගැනීම සඳහා ඔහුව තරු පහේ ජනරාල්වරයෙක් බවට උසස් කළ යුතු බවය. සමහර දුරදක්නා ඥානවන්ත අය බලාපොරොත්තු වූයේ විශ්වයම පාලනය කළ හැකි, පියාපත් සහිත නුවණක්කාර මිනිසුන් පරම්පරාවක් බිහි කර ගැනීම සඳහා ඔහු පට්ටි ගැස්විය යුතුයැයි කියාය. එහෙත්, ගොන්ගාසා පියතුමා පැවිද්දකු වීමට පෙර ශක්තිමත් ගස් කපන්නෙකි. කම්බි අසල හිටගෙන සිය කැතිකීස්මය මොහොතකින් ආවර්ජනා කළ ඔහු, පුදුමයට පත්වූ කිකිළියන් අතර සිටින්නාවූ බොහෝ වයස්ගත කිකිළියක සේ පෙනුණු ඒ දුක්ඛදායක මිනිසා අසලටම ගොස් දැක ගැනීම සඳහා දොර අරින ලෙස ඔවුන්ට පැවසුවේය. ඔහු කූඩුවේ කොණකට වී පාන්දර පැමිණි නරඹන්නන් තමන්ට වීසිකළ පළතුරු ලෙලි සහ ඔවුන්ගේ උදේ ආහාරයෙන් ඉතිරි වූ කොටස් මැද දිගාවී, දිගහැරගත් සිය පියාපත් හිරු එළියේ වියළමින් සිටියේය. ලෝකයා ගේ නොසන්සුන්බව නොදැන සිටි හෙතෙම, කිකිළි කූඩුවට ඇතුළු වී ලතින් භාෂාවෙන් සුභ උදෑසනක් පැතූ ගොන්ගාසා පියතුමාට සිය පෞරාණික දෑස් පමණක් විවර කර තම භාෂාවෙන් කිසිවක් මිමිණුවේය. දෙවියන්ගේ භාෂාව තේරුම් ගැනීමට හෝ උන්වහන්සේගේ නියෝජිතයන්ට සුභාශිංශනය කිරීමට නොදත් මොහු වංචාකාරයකු විය හැකිය යන පළමු සැක සංකාව වසමේ පියතුමාට උපන්නේය. ඔහු ඉන්පසු නිරීක්ෂණය කළේ, ආසන්නයෙන් බැලූවිට ඔහු ඉතාමත් මනුෂ්‍ය පෙනුමක් දැරූ බවය: ඔහු ළඟින් ඉවසිය නොහැකි හඩු ගඳක් හැමුවේය, ඔහුගේ පියාපත්වල යට පැත්තේ පරපෝෂිතයෝ වැලිකැට ගාණට සිටි අතර ඔහුගේ ප්‍රධාන අත්තටුවලට ලෞකික සුළං නිසා හානි වී තිබුණි. ඔහුගේ කිසිම දෙයක් දේව දූතයන්ගේ ප්‍රෞඪත්වය සමග ගැලපුණේ නැත. කිකිළි කූඩුවෙන් පිටතට ආ පියතුමා, කුතුහලයෙන් බලා සිටි පිරිසට අව්‍යාජ වීම තුළ පවතින අන්තරාය පිළිබඳව ධර්ම දේශනයක් කළේය. ප්‍රවේසම්සහගත නොවන්නන් මුළාකිරීම සඳහා සැණකෙළිවල පෙන්වන ආකාරයේ සූත්තර යොදාගැනීමේ නරක පුරුද්දක් යක්ෂයාට තිබෙන්නේ යැයි ඔහු ඔවුන්ට මතක් කළේය. අහස් යානාවක සහ උකුස්සකු අතර ප්‍රධාන වෙනස පියාපත් නොවේ නම්, දේවදූතයකුද නැද්ද යන්න තීරණය කිරීමේදී පියාපත්වල වැදගත්කම ඊටත් වඩා අඩු බවට ඔහු තර්ක කළේය. එසේ වුවද, තමා බිෂොප්තුමාට මේ ගැන දන්වා ලිපියක් ලියන බවත්, ඔහු එය අග්‍ර රාජගුරු ප්‍රසාදීන්වහන්සේට ලියනු ඇති බවත්, උන්වහන්සේ එය පාප්තුමාට ලියා අවසන් තීන්දුවක් ඉහළම තීරක මට්ටමෙන් ලබාගනු ඇති බවටත් පොරොන්දු විය. 

ඔහුගේ ප්‍රඥාව පවිත්‍ර හදවත් මත පතිත විය. අල්ලාගනු ලැබූ දේවදූතයා පිළිබඳ ප්‍රවෘත්තිය කෙතරම් වේගයෙන් පැතිර ගියේද කිවහොත්, පැය කිහිපයකට පසු මිදුල මාර්කට්ටුවක් මෙන් සෙනගින් පිරී ගිය අතර, නිවස පවා බිමට සමතලා කර දැමීමට ඉඩ තිබූ පිරිස විසුරුවා හැරීමට බයිනෙත්තු සවි කළ අවි රැගත් හමුදා භටයින් කැඳවීමට ඔවුන්ට සිදුවිය. කොන්ද කඩාගෙන කඩපොළක තරම් කසල පිරිසිදු කළ එලිසෙන්දාට, නිවස වටා වැටක් ගසා දේව දූතයා බැලීමට පැමිනෙන්නන්ගෙන් සත පහක් බැගින් අය කිරීමේ අදහසක් පහළ විය. 

කුතුහලයෙන් පිරුණු ඔවුහු බොහෝ දුර ඈත සිට පැමිණියහ. පියාඹන කරණම්කරුවකු සිටින, තැන තැන යන සැණකෙළියක් එතැනට පැමිණි අතර, එහි සිටි කරණම්කරුවා සෙනගට උඩින් කිහිප වතාවක් එහාමෙහා පාවී ගියත් ඔවුහු ඔහුව සතයකට මායිම් නොකළේ, ඔහුගේ පියාපත් දේවදූතයකුගේ පියාපත්වලට වඩා අන්තරීක්ෂ වවුලකුගේ මෙන් පෙනුණු බැවිනි. මහපොළවේ විසූ වඩාත්ම අසරණ ලෙඩුන් ආරෝග්‍යය පතා එහි පැමිණියහ: බාල කාලයේ සිටම තම හෘද ස්පන්දන ගණන් කරමින් සිට ඉලක්කම් මදිවූ අසරණ ගැහැනියක්; තාරකාවල හඬ නිසා නින්දට බාධා වුණු පෘතුගීසි කාරයෙක්; අවදිව සිටියදී කළ කී දේ ආපසු හැරවීමට රාත්‍රියේදී ඇහැරෙන නිදි-ඇවිදින්නෙක්; සහ තවත් එතරම් බරපතළ නොවන අසනීපකාරයෝ එහි වූහ. පොළොව කම්පා කිරීමට හේතු වූ ඒ නැව් මුහුදුබත්වීමේ අවුල මැද, පෙලායෝ සහ එලිසෙන්දා ඔවුන්ගේ මහන්සිය ගැන සන්තෝස වුණේ, සතියක් ගතවීමටත් පෙර ඔවුන් සිය නිවසේ කාමර සල්ලි වලින් පුරවා තිබීමත්, තමන්ගේ වාරය එනතුරු බලා සිටින වන්දනාකාරයින්ගේ පෝලිම තවමත් සිතිජය දක්වාම පැතිර තිබීමත් නිසාය.

තමන් විසින් කළ ක්‍රියාවේ කොටස්කාරයකු නොවූ එකම තැනැත්තා දේවදූතයා පමණය. කම්බි දැල දිගේ දල්වා තිබූ තෙල් පහන් සහ සක්‍රමේන්තු ඉටිපන්දම්වල අපායක වැනි දැඩි රස්නය නිසා සිහිය විකල් වූ ඔහු, ණයට ගත් සිය කුරුලු කුඩුවේ සැප පහසුවෙන් සිටීමට උත්සාහ කරමින් කාලය ගෙව්වේය. මුලදී ඔවුන් උත්සාහ කළේ ඔහුට කපුරු බෝල කන්න දීමටය, මක්නිසාද යත්, නුවණක්කාර අසල්වැසි ගැහැනියගේ ප්‍රඥාවට අනුව දේවදූතයන් සඳහා අනුමත ආහාරය වූයේ එය බැවිනි. එහෙත් පශ්චාත්තාප වන්නන් විසින් රැගෙන එනු ලැබූ පාප්තුමාගේ පූජාවට තබන ආකාරයේ දිවා ආහාර වේල් ප්‍රතික්ෂේප කළ පරිද්දෙන්ම ඔහු ඒවාද ප්‍රතික්ෂේප කළ බැවින්, ඊට හේතුව ඔහු දේව දූතයෙකු වීමද, නැතහොත් වයස්ගත වීමදැයි කියා ඔවුන්ට සොයාගත නොහැකි වූයේ, අවසානයේ දී ඔහු වම්බටු තලපයක් පමණක් ආහාරයට ගත් බැවිනි. ඉවසීම ඔහුගේ එකම දිව්‍යමය ගුණ ධර්මය බව පෙනී ගියේය. විශේෂයෙන්ම මුල් දින කිහිපයේදී ඔහුගේ පියාපත්වල වේගයෙන් වර්ධනය වන දිව්‍යමය පරපෝෂිතයන් සොයමින් කිකිළියෝ ඔහුට කෙටූ විටත්, කොරුන් ඔවුන්ගේ අප්‍රානික ශරීරාංගවල ස්පර්ශ කිරීමට ඔහුගේ පිහාටුවලින් ඇද්ද විටත් පමණක් නොව, වඩාත් කරුණාවන්ත වූවෝ ඔහු නැගිටුවාගෙන ඔහු හිටගෙන සිටින ආකාරය දැක බලා ගැනීම සඳහා ඔහුට ගල් වලින් ගැසූ විටද ඔහු ඉවසුවේය. ඔහුව ප්‍රකෝප කරවීමට ඔවුන් කළ උත්සාහයන් සාර්ථක වූ එකම අවස්ථාව වූයේ, සෑහෙන වේලාවක් නිශ්චලව හිඳීම නිසා ඔහු මිය ගියා යැයි සිතූ ඔවුහු හරකුන් හන ගසන යකඩයකින් ඔහුගේ ඇලපත පුච්චා දැමූ විටදීය. තිගැස්සී අවදි වුණු හෙතෙම සිය වායුරෝධී භාෂාවෙන් බැන වදිමින් කඳුළු පිරි දෑසින් යුතුව දෙවතාවක් පමණ අත්තටු ගැසුවේ, කුකුළු බෙටිත්, චන්ද්‍ර දුහුවිලිත්, මෙලොවට අයත් යැයි නොපෙනුණු භීතියේ කුණාටුවකිනුත් සමන්විත සුළි සුළඟක් බිහි කරවමිනි. ඔහුගේ ප්‍රතික්‍රියාව කෝපයෙන් නොව වේදනාවෙන් සිදු කළ එකක් බව බොහෝ දෙනා සිතුවද, එතැන් පටන් ඔවුන් ඒ ගැන ප්‍රවේශමෙන් කටයුතු කළේ, ඔහුගේ අක්‍රීයබව විවේක ගන්නා වීරයකුගේ වැන්නක් නොව නිදා සිටින මහා විනාශයක ස්වරූපයක් ගත් බැවිනි. 

ගොන්ගාසා පියතුමා, රැස්ව සිටියවුන්ගේ නිරර්ථක විහිළු තහළු ගෘහ සේවිකාවන්ගෙන් ආභාෂය ලැබූ ක්‍රමවේදයන් මගින් නතර කරවාගෙන සිටියේ, සිරකරුවාගේ ස්වභාවය පිළිබඳ තීන්දුව සම්ප්‍රාප්ත වන තුරුය. එහෙත් රෝමයේ සිට එන ලිපිවලට කිසිදු හදිසියක් තිබූ බවක් පෙනුණේ නැත. සිරකරුවාට නාභියක් තිබේද, ඔහු කතා කරන බස ඇරමෙයික් භාෂාවට කිසියම් සමානත්වයක් තිබේද, අල්පෙනෙති හිසක් මත කී වතාවක් ඔහුට සිට ගත හැකිද, ඔහු පියාපත් සහිත නිකම්ම නිකම් නෝර්වීජියානුවකු නොවේද, වැනි දේවල් සොයමින් ඔවුහු කාලය කා දැමූහ. 

ඒ දිනවල සිදුවූ තවත් දෙයක් වූයේ, එහි පැමිණි ආකර්ෂණීය විනෝද සැනකෙළි අතර වූ, තම දෙමාපියන්ට අකීකරු වීම නිසා මකුළුවකු බවට පරිවර්තනය වූ ගැහැනිය පෙන්වමින් තැන තැන යන සංදර්ශනයයි. ඇය බැලීමට පෝලිමේ සිටි පිරිස දේව දූතයා බැලීමට සිටි පිරිසට වඩා අඩු වුවත්, ඇය සිටින විකාරරූපී තත්ත්වය පිළිබඳ විවිධාකාර ප්‍රශ්න ඇසීමට මිනිසුන්ට අවස්ථාව ලැබීම සහ, ඈට සිදු වූ බියජනක සිද්ධිය පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවනුවස් ඔවුන්ට ඇයව ඉහළ සිට පහළට පරීක්ෂාකර බැලීමට ඉඩදීමත් එහිදී සිදුවූයේය. ඇය දුක්බර යුවතියකගේ හිසක් සහිත, බැටළුවෙකු තරම් වූ බියකරු ටැරැන්ටියුලාවක විය. කෙසේ වුවද, වඩාත් හද කම්පා කරවන දෙය වූයේ ඇගේ බාහිර ස්වරූපය නොව, ඇය තමාට සිදු වූ අකරතැබ්බය පිළිබඳව විස්තර කරන කණගාටුදායක ස්වභාවයයි. ඈ ළමයකුව සිටි කාලයේ නැටුමකට සහභාගිවීමට තම දෙමාපියන්ගේ නිවසින් හොරෙන් පැන ගිය අතර, මුළු රාත්‍රිය පුරාම අවසරයකින් තොරව නටමින් සිට කැලය මැදින් ආපසු නිවසට එන ගමනේදී අහස දෙබෑකරගෙන ගැසූ ගෙන්දගම් ගලක් වැනි හෙණ පහරකින් ඇය මකුළුවකු බවට පරිවර්තනය වී තිබිණි. ඇගේ එකම පෝෂණය වූයේ ත්‍යාගවන්ත ආත්මයන් විසින් ඇගේ කටට විසිකළ මස් බෝල පමණය. මානුෂීය සත්‍යයන්  පිරුණු, එමෙන්ම එතරම් බියකරු පාඩමක් කියාදෙන එවැනි අපූර්ව දර්ශනයකට, මරණීය ආත්මයන් දෙස හදිසියේ හෝ ඇසක් ඇර බැලීමක් තරම්වත් නොකරන උද්දච්ච දේව දූතයෙකු උත්සාහයකින් තොරවම පරාජය  කළ හැකි වීම අනිවාර්ය දෙයකි. එපමණක් නොව, දේවදූතයා සිදුකළ ඇතැම් ආශ්චර්යයන් තුළ, උදාහරණයක් ලෙස අන්ධයෙකුට පෙනීම ලැබෙනවා වෙනුවට කටේ අලුත් දත් තුනක් පහළවීම, නැතිනම් අංශභාග රෝගියෙකුට ඇවිදීමට හැකිවනවා වෙනුවට ලොතරැයි දිනුමක් ලැබීමට ආසන්න වීම, එමෙන්ම ලාදුරු රෝගියකුගේ වණ තුළින් සූරියකාන්ත මල් පිපීම වැනි දේ වලින් පෙනුනේ යම් විදියක මානසික රෝගී තත්ත්වයකි. මිනිසුන්ට ඇද කර විනෝද වීමක් වැනි වූ එවැනි සිල්ලර ආශ්චර්යයන් නිසා දේවදූතයාගේ කීර්තිය පළුදු වූ අතර, මකුළුවකු බවට හැරුණු ගැහැනිය විසින් අවසානයේදී ඔහුව සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කර දැමුවේය. ගොන්ගාසා පියතුමාගේ නින්ද නොයාමේ රෝගය සදහටම සනීප වූයේද, පෙලායෝගේ ගෙමිදුල දින තුනක් වර්ෂාව වැටී කකුළුවන් ගෙට එන්නට පටන් ගත් කාලයේ තිබුණු විදියේ හිස් තැනක් බවට පත්වූයේද එයින් පසුවය. 

නිවසේ අයිතිකාරයන්ට වැළපෙන්නට හේතුවක් තිබුණේ නැත. ඔවුහු ඉතිරි කරගත් මුදල්වලින් සඳළුතල, උයන්, සහ ශීත කාලයේදී කකුළුවන්ට ගෙට පැමිණීමට නොහැකි ලෙස උස දැල් ගැසූ දෙමහල් මන්දිරයක් ගොඩනැගූ අතර, දේව දූතයන්ට පැමිණිය නොහැකි වන ලෙස ජනේලවලට යකඩ පොලු සවිකළහ. නගරය ආසන්නයෙන් හා කොටුවක් අටවාගත් පෙලායෝ ඔහුගේ පිස්කල් මුලාදෑනි රස්සාවට සදහටම ආයුබෝවන් කීවේය. උස් අඩි සහිත විල්ලුද පම්ප් සපත්තු සහ, එකල වඩාත් ආකර්ෂණීය ගැහැනු ඉරිදාට හැඳපැළඳි ආකාරයේ විවිධාකාර දිලිසෙන සේද ඇඳුම් රාශියක් එලිසෙන්දා මිලදී ගත්තාය. කිසිදු අවධානයක් යොමු නොවූයේ කිකිළි කූඩුවට පමණි. ඔවුහු නිතරම එය ක්‍රියොලීන්වලින් සෝදාහැර මයිරා සුවඳ ලාටු එතුළ දැල්වූයේ දේවදූතයාට කරන පූජාවක් හැටියට නොව, සෑම තැනකම අවතාරයක් සේ පැතිර යමින් අලුත් නිවස පැරණි නිවසක් බවට හරවන වසුරු ගඳ පලවා හැරීමටය. දරුවා ඇවිදීමට පුරුදු වූ මුල් කාලයේ ඔහු කිකිළි කූඩුව අසලට අනවශ්‍ය ලෙස ළං නොවීම පිළිබඳව ඔවුහු පරිස්සම් වූහ. එහෙත් ඔවුන්ගේ බිය කෙමෙන් තුරන් වූ අතර, දරුවාගේ දෙවැනි දත එන්නටත් පෙර ඔහු දැල් කැඩුණු තැනකින් රිංගා සෙල්ලම් කිරීමට කූඩුව ඇතුළට ගොස් සිටියේය. දේව දූතයා දරුවා සමග කටයුතු කළේද අන්‍ය මරණීය ආත්ම සමග ගනුදෙනු කරනවාට වඩා අඩු තරමකින් නොවන නමුත්, අතිශයින් උපායශීලී කුප්පකම් ඔහු ඉවසා සිටියේ රැවටිය නොහැකි බල්ලෙකු පරිද්දෙනි. ඔවුන් දෙදෙනාටම එකවර පැපොල රෝගය වැළඳුණේය. දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට දේවදූතයාගේ හදවතට සවන් දීමට ඇතිවූ ආශාව මැඩගත නොහැකි වූ අතර, ඔහුගේ හදවත තුළ බොහෝ නලා ශබ්ද සහ වකුගඩුවලින් ඇසුනු තවත් ශබ්ද නිසා ඔහු ජීවතුන් අතර සිටීම පවා සිදුවිය නොහැක්කක් ලෙස පෙනී ගියේය. වෛද්‍යවරයාගේ පුදුමයට වඩාත් හේතු වූයේ ඔහුගේ පියාපත්වල ස්වභාවයය. ඒවා ඒ මනුෂ්‍ය ශරීරය මත කෙතරම් ස්වාභාවිකව දිස්වූයේද යත්, අනිත් මිනිස්සුන්ටද එසේ නොපිහිටන්නේ මන්දැයි කියා ඔහුට සිතිණි.

ළමයා පාසල් යන සමය වන විට කිකිළි කූඩුව අව්වට වැස්සට හසු වී කැඩී බිඳී ගොස් ටික කලක් ගතවී තිබිණි. දේව දූතයා බඩගාමින් තැන තැන ඇදුණේ මැරෙන්න වැටී සිටින මිනිසකු මෙනි. ඔවුහු කොස්සකින් ගසා ඔහුව නිදන කාමරයෙන් පන්නා දමා මොහොතකින් ඔහු කුස්සියේ සිටිනු හමුවෙයි. ඔහු තැන් කිහිපයකම එකවර සිටින බවක් පෙනී ගිය අතර, ඔවුන් කල්පනා කළේ ඔහු ගුණනය වෙමින් නිවස තුළ තමා විසින්ම ප්‍රජනනය වන බවය. කෝපයටත් වියරුවටත් පත්වූ එලිසෙන්දා, දේවදූතයෝ පිරිච්ච මෙහෙම අපායක ජීවත් වන්නේ කොහොමදැයි කියා කෑගැසුවාය. ඔහුට ආහාර ගත හැකි වූයේ ඉඳහිටය. ඔහුගේ පෞරාණික ඇස්  පවා බොඳ වී ගිය අතර, තැන තැන යනවිට කණුවල පවා හැපුණේය. ඔහුට ඉතිරිව තිබුණේ ඔහුගේ අවසන් පිහාටුවල කුඩා මුල් කෑලි පමණි. පෙලායෝ ඔහුගේ පිටට බ්ලැන්කට්ටුවක් පොරවා මඩුවේ නිදා ගන්නට සැලැස්වීමේ පිංකමට දායක වූ අතර, ඔහුට රාත්‍රියේදී උණ වැළඳී ඇති බවත්, පැරණි නෝර්වීජියානු භාෂාවේ දිව උළුක්කුවන වචනවලින් උණ විකාරයෙන් දොඩවන බවත් දැනගත්තේ එහිදීය. එය ඔවුන් අනතුරුදායක අඩියකට පත් වූ අවස්ථා කිහිපයෙන් එකක් වූයේ, මියගිය දේවදූතයකුට කුමක් කරන්නේදැයි අසල්වැසි නුවණක්කාර කාන්තාව පවා ඔවුන්ට පවසා නොතිබුණු බැවිනි.

කෙසේ වුවද, ඔහු සිය‍ නරකම ශීත සෘතුව පසුකර ගැනීමට සමත් වූ අතර, සූර්යාලෝකය සහිත පළමු දින කිහිපය තුළදීම වඩාත් යහපත් තත්ත්වයකට පත්වූ බව පෙනුණේය. ඔහු මිදුලේ ඈත කෙළවරක කිසිවකුට නොපෙනෙන තැනකට වී දින කිහිපයක් නිසලවම සිටි අතර, දෙසැම්බර් මස මුලදී ඔහුගේ අත්තටුවල පඹයකු ගේ බඳු විශාල ප්‍රමාණයේ පිහාටු කිහිපයක් වර්ධනය වීමට පටන් ගත්තේය. පෙනී ගියේ එය මහලු වයසේ තවත් අවාසනාවන්ත සිදුවීමක් ලෙසිනි. එහෙත් එම වෙනස්කම්වලට හේතුව ඔහු දැන සිටියා විය යුතුය, මන්ද, කිසිවෙකුට ඒවා නොපෙනෙණ ලෙස තබාගැනීමටත්, ඇතැම් විට ඔහු තරු යට හිඳ ගයන පැරණි නාවික ගීත කිසිවකුට නෑසෙන ලෙස ගැයීමටත් ඔහු ප්‍රවේශම් විය. එක් උදෑසනක එලිසෙන්දා දවල් ආහාරය සඳහා ලූණු මිටියක් කපමින් සිටියදී ගැඹුරු මුහුදේ සිට හමා එන්නා සේ පෙනුණු සුළඟක් මුළුතැන්ගෙට වැදුණි. එවිට ජනේලය වෙත ගිය ඈ දුටුවේ පියෑඹීමේ උත්සාහයක් මුල් වතාවට කරන දේවදූතයාය. ඒ උත්සාහයන් කෙතරම් පාලනය කරගැනීමට අපහසු ලෙස සිදුවීද යත්, ඔහුගේ අත්වල නියපොතු වැදී එළවළු පාත්තිය හෑරී ගිය අතර, ඉපිලුමක් නොලද සැහැල්ලුවෙන් ලිස්සා ගිය හුළං නොබැදූ තටුගැසීම නිසා තව පොඩ්ඩෙන් ඔහු මඩුව බිමට ඇද වට්ටන්නට ඉඩ තිබුණි. එහෙත් ඔහුට ඉහළ නැගීමට පුළුවන් විය. නාකි ගිජුළිහිනියකු මෙන් අනතුරුදායක ලෙස තටු ගසමින් තම උන්නතිය පවත්වාගෙන අවසන් ගෙවල් කිහිපය උඩින් පාවී යන ඔහු දෙස බලා සිටි එලිසෙන්දාට, තමා වෙනුවෙන් මෙන්ම ඔහු වෙනුවෙන්ද ලද සැනසීමේ ප්‍රීතිය නිසා කෑගැස්සුණේය. ලූණු කපන අතරතුර පවා ඈ ඔහු යන දෙස බලා සිටි අතර, ඔහු නොපෙනී යන තෙක්ම ඈ ඔහු දෙස බලා සිටියේ ඔහු තවදුරටත් ඇගේ ජීවිතයට වදයක් වූවකු නොව, මුහුදේ සිතිජය මත පෙ‍ෙනණ මනඃකල්පිත තිතක් පමණක් වූ නිසාවෙනි.

ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස්ගේ A Very Old Man With Enormous Wings කෙටිකතාව.

-පරිවර්තනය මොහාන් ධර්මරත්න-


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

One thought on “නිදහස්වීම

Leave a comment