මිනිහෙක් තමන්ගේ ජීවිතේ විවිධ චාරිකාවන් වල නිරත වෙන්න ඕන. ජීවිතේ හරිම කෙටියි: මොහාන් රාජ් මඩවල
“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි. එක කොටසක් මොහාන් රාජ් මඩවලට වෛර කරන මොහාන් රාජ් මඩවල පෙන්නන්න බැරි කොටස. අනිත් කොටස මොහාන් රාජ් මඩවල වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති, ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා කොටස”
මෙහෙම කියන මොහාන් රාජ් මඩවල කියන්නේ කවුද?
පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක්. මම ගැන හඳුන්වලා දෙනවා නම් මම කැමතියි එහෙම කියන්න. ලේඛකයෙක් වුණත්, චිත්‍ර ශිල්පියෙක් වුණත්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණත්, රංගන ශිල්පියෙක් වුණත්, මිනිස්සු වෙනුවෙන් දෙයක් අවංකව කරන්න බැහැ මිනිසුන්ගේ හෘද ස්පන්දනය අඳුනාගන්නෙ නැත්නම්. ඒ මිනිසුන්ගේ හෘද ස්පන්දනය අඳුනාගන්න පුළුවන් වෙන්නේ, තමන් ඒ හෘද ස්පන්දනය එක්ක ජීවත් වෙන මනුස්සයෙක් නම් විතරයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ පොළොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් වෙන්න ඕන. ඒකත් එක්ක මම හැම මොහොතකම අධ්‍යයනයක ඉන්නේ, කොහොමද මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. මම හිතනවා ඒ අධ්‍යයනය නැතුව මේ කරන වැඩේ කරන්න බැහැ කියලා, කලාකරුවෙක් වෙන්න බැහැ කියලා.
ලේඛකයෙක් විදියට මොහාන් රාජ් මඩවල ගේ ගමන්මඟ ගැන අපි කතා කරමු. මුලින්ම ප්‍රකාශකයෙක් හොයන්න ගත තැන ඉඳලා අද වෙනකල් ආපු ගමන ගැන.
මට පුංචි කාලේ ඉඳලම ලියන එකට හුරුව ටිකක් තිබුණා. ඒකට අනුප්‍රාණය සපයපු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මගේ සීයා. ආයුර්වේද වෙද මහත්තයෙක්. අධිරාජ්‍යවාදීන්ගෙන් ආපු නමක් තිබුණේ. ගිරිගෝරිස් ධර්මදාස. ඒ කියන්නේ ග්‍රෙගරි කියන නම නේ. සිංහල සහ ඉංග්‍රීසි කොතනද කියලා යාම දන්නැති තැනක ජීවත් වෙච්ච කෙනෙක්. මම පුංචි කාලේ එයත් එක්ක අවුරුදු ගාණක් ගත කළා. එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයා කුල ගර්වය බොහෝම තිබුන කෙනෙක්. ඒ අස්සෙ එයාගෙ මනුෂ්‍යත්වයත් තිබුණා.
මගේ තාත්තා ලේක්හවුස් එකේ වැඩ කරේ, සෝදුපත් බැලීමේ අංශයේ. එයා ඉගෙනගෙන තිබුනේ පන්සල් වල. මට ඒ කාලේ ඒ විස්තර කියනවා තාත්තා. ඒ ආභාෂයත් එක්ක එයා තමයි මම හිතන්නෙ මට කියවන්න පුරුදු කළේ.
මගේ පළවෙනි කෙටිකතා එකතුව මම ‘බෝදිලිමා’ කියන නමින් නිකුත් කරන්නේ අනූ ගණන් වල අග විතර මම කැම්පස් එකට ආවට පස්සෙ. ඒක තමයි මගේ පළවෙනි අත්දැකීම. ඊට පස්සේ මම අවුරුදු ගානක් මීඩියා වල ඉන්නවා. ලංකාවේ ගොඩක් මීඩියා චැනල්ස් වල මම වැඩ කරලා තියෙනවා. අන්තිමට චැනල් හෙඩ් කෙනෙක් වෙලා, චැනල් මැනේජර් කෙනෙක් වෙලා තැනකට ගියාට පස්සේ, යම් යම් දේවල් ගැන මට තිබුණු කලකිරිම එක්ක මම එලියට එනවා. එතැනදී මට හිතෙන්න ගන්නවා, මම ඊළඟට මොනවද කරන්නේ කියලා. චිත්‍රපටයක් කරන්න හිතනවා. ඒත් ප්‍රඩියුසර් බංකොලොත් වෙලා ඒක කෙලවෙනවා. කඩාවැටීම් ගණනාවක් එක්ක සියදිවි නසා ගන්න පවා හිතිලා තියෙනවා. එහෙම කාලෙක කාටවත් යටත් වෙන්නේ නැතුව මගේ ශක්තියෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හිතන කොට අන්න එතැන දී අහම්බෙන් වගේ තමයි “මාගම්සෝලිය” කියන පොත ලියවෙන්නේ. මගේ පළවෙනි නවකථාව. ඒක එක්තරා විදිහක අත්හදා බැලීමක් වුණත්, නොහිතපු විදියට ඒක පත්තුවුණා. මිනිස්සු ඒ පොතට බැන්නා, මාව පතුරු ගැහුවා. ඒ වගේම මිනිස්සු ම ඒ පොත ආදරෙන් වැළඳ ගත්තා.
ඇත්තටම මම මේ ක්ෂේත්‍රය ඉන්න ආපු ගමනක් නෙවෙයි මේක. මම කවදා වෙනකල් ලියයිද දන්නෙත් නෑ. ඒත් මට ආදරේ කරන පාඨකයන්ගෙන් ලැබෙන ඒ වගේ ආදරයක් මට මීට කලින් කවදාවත් ලැබිලා නැහැ.
මොහාන් රාජ් මඩවලගේ ජීවිතයේ භූමිකා ගණනාවක් තිබිලා තියෙනවා. මේ වෙනස් භූමිකාවන් කොහොමද ලිවීමට බලපාලා තියෙන්නේ?
දැන් අප කතාවක් ගත්තොත් ඒකෙ චැප්ටර්ස් තියෙනවනේ. මම ආසයි ලයිෆ් එකේ වුණත් එහෙම චැප්ටර්ස් පෙරළෙනවට. මගේ ලිවීම ගත්තත් එහෙමයි. මම හැම තිස්සෙම බලනවා මට යුනික් දෙයක් කරන්න පුළුවන්ද කියලා. එහෙම බැරිනම් මේ ලෝකෙට මගෙන් ඇති වැඩකුත් නැහැ.
හැමතිස්සෙම ගොඩක් අය හිතනවා, මීඩියා වල මිනිස්සුන්ට ඕන දේ විතරයි විකුණන්න පුළුවන් කියලා. ඒත් මම හිතනවා අපි මීඩියා වලින් ලබා දෙන්න ඕන මිනිස්සුන්ට හොඳ දේ කියලා. මේ පාඩම මට ඉගැන්නුවේ ජැක්සන් ඇත්තති. එතකොට ඔහු වැඩසටහන් අධ්‍යක්ෂ, මම වැඩසටහන් කළමනාකාර. මේක මම එතුමාට ගෞරවයක් විදියට කියන්නේ. එතනින් පස්සේ අපි දෙපැත්තට ගියා. ඒත් මම ඒ සංකල්පය මගේ ගොඩක් වැඩ ඇතුලෙදි අත්හදා බැලුවා. ඒක හරි ගියා.
මම ලේඛන කලාවට ආවට පස්සේ, මම කෙලින්ම පෙනී හිටියේ මේක ප්‍රඩක්ට් එකක් කියන අදහස වෙනුවෙන්. ගොඩක් අය හිතනවා නවකතාවක් වගේ දෙයක් ගැන ආර්ථික වටිනාකමකින් හිතන එක බරපතළ වරදක්, මේක හරි බං පාරිශුද්ධ දෙයක් කියලා. හරි, පාරිශුද්ධ වෙන්න ඇති, ඒ මොන මගුල තිබ්බත් මේක නිෂ්පාදනයක් නෙවෙයිද? මේකේ ලිවීමේ මහන්සියේ ඉඳන්, පිටු සැකසුම ඉඳන් මුද්‍රණය දක්වා මේකට මිලක් තියෙනවා. එතකොට අපි මේක අලෙවි කරන්නේ නැත්නම්, මේකට වටිනාකමක් ලැබෙන්නේ නෑ. මගේ ඕනම පොතකට මම ලියලා ඉවර උනාට පස්සේ මාර්කටින් ස්ට්‍රැටජි එකක් හදනවා. මෙන්න මේ කාරණාව මම ඉගෙන ගත්තේ මගේ මීඩියා ජීවිතෙන්. හැබැයි තවමත් මාව බිස්නස් කාරයෙක් විදියට හඳුන්වන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒක හරි, මේකත් බිස්නස් එකක් තමයි.
ඉතින් ඔයා අහපු ප්‍රශ්නෙට ආයෙමත් ආවොත්, මේ මම කිව්වේ නිදර්ශනයක්, කොහොමද මගේ ජීවිතේ තිබුන එක එක භූමිකාවන් මම කරන කියන දේට බලපාන්නෙ කියන එක ගැන.
මොහාන් රාජ් මඩවල මේ වෙනකල් ලියලා තියෙන පොත් මොනවද? ඒ පොත් වලින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තියෙන පොත් මොනවාද?
නවකතා සම්බන්ධයෙන් මම ඇවිත් තියෙන ගමනට දැන් අවුරුදු දහයක් විතර වයසයි. පොත් හතයි. මුලින්ම මාගම් සෝලිය, ඊට පස්සේ ලොවීනා, ඊට පස්සේ ආදරණීය වික්ටෝරියා, ඊළඟට රැජණ, ඊටපස්සෙ කළම්බු, ID, අන්තිමට නිල් කට්රොල්. මේ පොත් විවිධ තේමාවන් ඔස්සේ තමයි විසිරිලා තියෙන්නේ. බහුතරය ඓතිහාසික පසුබිමක් එක්ක යන පොත්. උදාහරණයක් විදියට ගත්තොත් මගේ පළවෙනි නවකතාව මාගම්සෝලිය තියෙන්නේ 1815 දී පමණ ලංකාවට ඉංග්‍රීසීන් ගේ පැමිණීමත් එක්ක, විදේශ ආක්‍රමණයක් එක්ක, ඌව වෙල්ලස්ස කැරැල්ලත් එක්ක ලංකාවේ හිටපු මිනිස්සුන්ගේ මතිමතාන්තරයන්, හැසිරීම් රටාවන් වෙනස් වෙන විදිය පසුතල කරගෙන. එතකොට ලොවීනා ගත්තොත් ඒකත් එක්දහස් අටසිය ගණන්වල කතාවක්. අපි හොඳට අහල තියෙන ගල්කිස්ස මහ හෝටලය, ඒ කියන්නේ ලංකාවට ආපු දෙවැනි ආණ්ඩුකාරයා වන තෝමස් මේට්ලන්ඩ්ගේ පුද්ගලික බංගලාව. එයාට ඒ කාලේ ලොවීනා කියලා රොඩී තරුණියක් එක්ක සම්බන්ධතාවක් තිබුණා කියලා ඉතිහාසය කියනවා. තෝමස් මේට්ලන්ඩ් මේ බංගලාවේ ඉඳලා අර ලොවීනා හිටපු කුප්පායමට යන්න භාවිතා කරපු උමං මාර්ගය තාමත් තියෙනවා. අන්න ඒ ඉතිහාස කතාවත් එක්ක බැඳිච්ච කතාන්තරයක් තමයි ලොවීනා පොතේ තියෙන්නේ.
තවත් උදාහරණයක් කියනවා නම්, රැජණ පොතේ තියෙන්නේ, දුටුගැමුණු රජතුමාගෙන් පස්සෙ ලංකාවේ බිහි වෙච්ච පළවෙනි රැජින කියලා කියන අනුලා බිසව ගැන. සාමාන්‍යයෙන් ඉතිහාසයේ මේ අනුලා බිසව ගැන කියවෙන්නේ, දකින දකින මිනිහත් එක්ක නිදාගන්න ඕන වුණ, ඊට පස්සේ ඒ මිනිස්සුන්ව මරලා දාන වනචර රැජිණක් කියලා තමයි. අඩු තරමේ මහාවංශයේ තියෙන්නේ එහෙමයි. හැබැයි මේ ගැන මම අධ්‍යයනය කරනකොට මට වැටහුණු කාරණාවක් තමයි, ඇත්තටම අනුලා බිසව ඒ වගේ කාන්තාවක් නෙවෙයි කියන එක. ඒක සම්පූර්ණයෙන්ම මහාවංශය ලියපු මහානාම හාමුදුරුවන් හදපු ප්‍රබන්ධයක් කියන එක තමයි මට වැටහුනේ. ඒ විතරක් නෙවෙයි, හරියටම මේ අනුලා බිසව ලංකාව පාලනය කරපු කාලයේ මිසරයේ ක්ලියෝපැට්‍රා ඉන්නේ. මම හොයාගෙන යනකොට, මෙන්න මේ ක්ලියෝපැට්‍රා රැජන සහ අනුලා රැජන අතර සම්බන්ධතාවයක් හම්බවුණා. මෙන්න මේ කාරණා තමයි රැජන පොතට පසුබිම් වෙන්නේ.
ඔබේ පොත් වල අන්තර්ගතය ගැන කතා කරනකොට තේරෙන දෙයක් තමයි, ඒ හැම කතාවකටම ඉතිහාසය පදනම් වෙලා තියෙනවා කියන එක. ඒක පූර්ව යටත් විජිත ඉතිහාසය වෙන්න පුළුවන්, පශ්චාත් යටත් විජිත ඉතිහාසය වෙන්න පුළුවන්. ඒ වගේම ඉතිහාසය කියන්නෙ ගොඩක් අයගේ ප්‍රියතම විෂයක් නෙවෙයි. ගොඩක් අය ඉතිහාසය ගන්නේ ප්‍රබන්ධමය නොවන තැනකින්. එතකොට ඔබ මේ ප්‍රබන්ධකරණයට ඇයි මේ තරම් ඉතිහාසය ගේන්නේ? ඇයි මොහාන් රාජ් මඩවලගේ ලිවීමට මේ තරම් ඉතිහාසය බලපෑමක් කරන්නේ? අනුප්‍රාණයක් වෙන්නේ? මොහාන් රාජ් මඩවල කියන්නේ මේ කාලය හරහා සැරිසරන කාල යාත්‍රිකයෙක් ද?
මම සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ රසිකයෙක්. එයාගේ Inception, Interstellar, Tenet වගේ හැම චිත්‍රපටයකම අපිට දකින්නට ලැබෙන එකක් තමයි, නෝලන් සයන්ස් සහ ආර්ට් එකට හප්පනවා කියන එක.
එතකොට කාලය කියන එක. මම හිතනවා කාලය කියන්නේ මායාවක් කියන එක මුලින්ම බය නැතුව කිව්වේ ඇල්බට් අයින්ස්ටයින් කියලා. ඒ මීට අවුරුදු සීයකට විතර කලින්. එතකොට දැන් විද්‍යාඥයෝ අතරේ ඒ බව සනාථ කරන මතවාද තියෙනවා. කාලය කියන එක මායාවක් වෙන්න පුළුවන්, කාලය කියන්නේ සිව්වෙනි මානය වෙන්න පුළුවන්. එතකොට අපිට උස පළල ගැඹුර කියන මාන තුන ස්පර්ශ කරන්න පුළුවන් වගේම, කාලය කියන සිව්වෙනි මානයක් ස්පර්ශ කරන්න පුළුවන් තැනකට එනවා නම්?
මෙතනදි මම තව දෙයක් ගැන කියන්න කැමතියි. ඒ තමයි Bootstrap paradox කියන සංකල්පය. පැරඩොක්ස් එකක් කියන්නේ තේරුම් ගන්න අසීරු දෙයක්, විරුද්ධාභාසයක් වගේ දෙයක් නේ. Bootstrap paradox කියන එක සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ කාල තරණය කියන සංකල්පයත් එක්ක. යම් වස්තුවක හෝ සිතුවිල්ලක මූලාරම්භය සොයා කාල තරණය ඔස්සේ අතීතයට ගිය විට, එය සොයා ගැනීමට නොහැකි වීම තුළ නිර්මාණය වන ප්‍රශ්නාර්ථය කියලා ගමු. අපි කියමු වර්තමානයේ ඉඳලා අතීතයට මනුස්සයෙක් යනවා සීගිරියේ චිත්‍ර හොයාගෙන. එතකොට ඒ මනුස්සයාට සීගිරියේ චිත්‍ර හම්බෙන්නෙ නැහැ. අන්න එතකොට විරුද්ධාභාසයක් තමයි එතැන තියෙන්නේ. මගේ නිල් කට්රොල් පොත ,…..ලියනකොට මෙන්න මේ අදහස මට බලපෑවා.
ඒ වගේම ඒ ප්‍රශ්නේ අනිත් කොටසට උත්තර දෙනවා නම්, කාලය සම්බන්ධයෙන් ලෝකයේ විද්‍යාඥයෝ කියන දෙයක් තමයි, ‘මේ මොහොතේ සියල්ල ම සිදු වෙමින් පවතී’ කියන එක. ඒ කියන්නේ කිසිම දෙයක් ඉවර නැහැ, මේ මොහොතේ අතීතයත් වර්තමානයත් අනාගතයත් සිදුවෙමින් පවතිනවා. ඒක මම විශ්වාස කරන කාරණාවක්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
