කරිජ්ජ විල්ලුව

(2022 ආතර් සී ක්ලාක් අණුස්මරණ විදුසර විද්‍යා ප්‍රබන්ධ තරගයේ දෙවැනි ස්ථානය දිනූ කෙටිකතාව)

ඉර බැහැගෙන යන හැන්දෑ යාමයේ ඉමක් කොනක් නොපෙනෙණ කරිජ්ජ විල්ලුවේ ජල තලය පුරා විහිදී තිබුණේ ගූඪ නිසල බවකි. ඉවුරුවල ඝනව වැඩී තිබෙන පන් පඳුරුවල හෙවණැලි අස්සෙන් ඇවිද ගිය කොක්කු මසුන් ඩැහැගැනීමේ තරගයක යෙදෙති. කයිරා උළා කමින් තමා දෙසට එන හැටි රොබා ඇස් කොණින් දුටුවේය. සිතිජය පුරා ඒ මේ අත විසිර ගිය වර්ණ දෙස මුසපත් වී බලා ඉන්නා ගමන් ඔහු කල්පනා කළේ තැඹිලි සහ දම් පැහැ කෙතරම් අපූරුවට එකිනෙක හා ගැලපෙන්නේදැයි කියාය.

කරිජ්ජ විල්ලුවේ මේ තරම් ඈතට එන්නට නිර්භීත වූ එකම එකා රොබා පමණි. උපන් දා සිට කරිජ්ජ විල්ලුව ගැන අසා තිබෙන හිත කීරි ගැහෙන බියකරු කතා සියවස් ගණනාවක් තිස්සේ ගමේ හැම එකෙකුම සලිත කර තිබුණේය. දැන් ඒ කතා ඇත්ත සිදුවීම් යැයි සිතෙන තරමටම හැමගේම සන්තානයේ ගැඹුරටම කිඳා බැස තිබේ. සීයා කියන පරිදි, ඔහු රොබාගේ වයසේ සිටියදී ගෙදරට බොහෝ ඈතින් තිබුණු කරිජ්ජ විල්ලුවේ දිය මායිම දැන් ගේ පෙනෙන තෙක් මානයට ලං වී ඇත. ඔවුන්ගේ ජීවිතත් පොළවත් ගිලගනිමින් සිටින විල්ලුව ජීවිතයේම කොටසක් වන තරම්ම ඔවුනට බොහෝ ආසන්නයෙන් පිහිටි භූ විෂමතාවක් වුවද, ඒ තරමටම එය ඔවුන්ගේ හිතේ ඇතිකර තිබුණේ බොහෝ දූරස්ථ, බියජනක, අඳුරු හැඟීම් සමුදායකි.

“ආදි පුරාණෙ අපි බොහොම දියුණුවට හිටි මිනිස්සු කොටසක්…” සීයාගේ හඬ රොබාගේ කන්වල දෝංකාර දුන්නේය. “අපේ මුතුන්මිත්තන්ට අහසේ පාවෙලා යන්න පුලුවංකම තිබුණා, පොළවේ උනත් දිග ගමන් ගියේ පාවෙන රථවාහන වලින්.”

“රථවාහන! ඉතිං, මොකද්ද ඒගොල්ලන්ට උනේ?”

“කරිජ්ජ උන්ව ගිලගත්ත පුතේ,” සීයා ඇස් තෙත් කරගෙන කියන හැටි රොබාට මතක් විය. “මහපොළව කිඳාබැහැලා, මහා නගර ගම් කුඹුරු වතුපිටි කරිජ්ජට යටවුණා, ආයෙ නොඑන්නම…”

සීයා කතන්දරයක් සේ දිගහරින්නේ ඔහු පවා නොදුටු, වෙනෙකක් තියා ඔහුගේ සීයාගේ සීයාවත් නුදුටු මහා විනාශයක් ගැනය යන්න රොබා තේරුම් ගත්තේ සෑහෙන කාලයකුත් ගතවුණාට පසුවය. ගමේ කිසි එකෙකු නොදැන සිටි මේ කතන්දරය ඔවුන් දැනගත්තේද අමුතුගෙදර සීයාගෙනි. ගමේ උන් රොබාලාගේ ගෙදරට ‘අමුතුගෙදර’ කියා කියන්නට මූලික හේතුව වුණේද රොබාලාගේ පරම්පරාවේ අයගේ නම්ගම් වල වෙනසය. මයිලා, ටික්කා, කලූ, සුදූ, දිගා, කිරී වැනි ගමේ උන්ගේ නම් ගම් හා බලන විට රොබාලාගේ පරම්පරාවේ කාගෙත් නම් බොහොම වෙනස් බව රොබා දන්නේය. අවුරුදු අටකට දහයකට ඉස්සර කරිජ්ජ විල්ලුවට බිලි වූ රොබාගේ තාත්තාගේ නම මාටි ය, අම්මාගේ නම ටීනා ය. විල්ලුවට බිළි නොවී තවමත් ජීවත්වන වයසක සීයාගේ නම ඊටන් ය. නීටා, ටෝනි, සාගා, ජීනා, සැලී වගේ නම් බාප්පලා පුංචි අම්මලා නැන්දලා සහ උන්ගේ ළමයින්ට තබා ඇත. මේ නම් වල අමුත්ත නිසා කවුරුත් මේ අයට කීවේ ‘අමුතුගෙදර ඈයෝ’ යනුවෙනි. ඒ අනුව ‘අමුතුගෙදර රොබා’ යනු රොබාගේ නම වූයේය.

කරිජ්ජ විල්ලුවේ අමුතුගෙදර පුංචි උන්ට නම් තැබුවේ සීයාය. ඒ අවස්ථාවට අමුතුගෙදර ඈයෝ පමණක් නොව අහල පහල හැමෝමත් සහභාගි වන්නේ, අවස්ථාවේ ඇති ගාම්භීරකම දැක බලා ගැනීමට යැයි රොබාට හැඟී තිබුණේය. මිනිස් වාසයේ ජීවත් වූ වයස්ගතම, දැනමුතුකමින් වැඩිම තැනැත්තා වූ ඊටන් සීයා, අනාදිමත් කලෙක පටන් තමා සතුව තිබෙන කිසියම් ගුප්ත රෙදිකෑල්ලක් ආධාරයෙන් පවුලේ අයට නම් තැබුවේය. පැරණි රෙදිකඩක් වූ එ් මත විවිධාකාර හැඩතල සහ ඉරිකෑලි ඇඳ තිබෙන හැටි රොබා දැක තිබුණේ, සීයා එය දිගහැරගෙන ඉන්නා විටෙක පසුපසින් ගොස් හොරෙන් එබී බැලීමෙනි. ඒ මායාකාර රෙදිකඩ දිහා බලන්නට පවා ඔහු හැර අන් කිසිවකු මෙතෙක් කලකට නිර්භීත වී නැත.

“සීයෙ…”

දවසක් රොබා හිතට වද දෙන කුතුහලයක් ගැන සීයාගෙන් ප්‍රශ්න කරන්නට තීරණය කළේය.

“ම්හ්..!”

“සීයා පොඩි ඈයොංට නං තියනකොට දිගෑරගෙන ඉන්න අර රෙදිකෑල්ල මොකද්ද?”

රොබා කවදා හෝ මේ ප්‍රශ්නය අසන බව සීයා දැන සිටියා වැන්න. ඔහුගේ මුවට නැංවුණ මන්දස්මිතය ඒ බව කියා පෑවේය. රොබා නිර්භීත කොල්ලෙකි. රොබාට කලින් ඊටන් මේ රහස කී එකා මාටි ය. තමාගෙන් පසුව අමුතුගෙදර පරම්පරාවේ ගැටවුනට නම් තබන සාස්තරේ දෙන්නට තෝරාගෙන ඉන්නේ මාටි බව ඊටන් මාටි සමඟ කියන්නට ඉක්මන් වූවා වැඩිය. තම පියා වූ ටෝබි මේ විස්තරය තමාට කියන්න පෙර කෙතරම් කාලයක් තමාව මානසිකව සූදානම් කළේදැයි ඊටන් ට මතක් වුණේ වරක් දෙවරක් නොවේ. මාටිගේ කලබලකාරී චරිතය හොඳින් දැන සිටි තමා, ඒ වැඩපිළිවෙලම ඔහු කෙරෙහි ක්‍රියාත්මක කර නොබැලුවේ මන්ද? වරදකාරී හැඟීම ඊටන්ගේ කල්පනා ලෝකය ගිලගත්තේය. එකම වැරැද්ද දෙවරක් කළ නොහැකිය. රොබා දැන් අවුරුදු දහයක ගජ ඉලන්දාරියෙකි. මෙවර වරදක් වූවොත්, ඒ වෙනුවෙන් දුක්වන්නට හෝ ඊටන්ට කාලයක් නැත. ඊටන් සමඟම ඒ රහසද අභාවයට යනු ඇත.

“ඒක මයෙ පුතේ, අපේ පරම්පරාවට අයිති ශුද්ධ වස්තුවක්,” සීයා බැරෑරුම් ලෙස රොබාට උත්තර දුන්නේය. “මගේ පරම්පරාවෙ අවුරුදු දහස් ගාණකට පෙර උන්නු කුලවීර මීමුත්තා තමයි මේ ශුද්ධ ලියවිල්ලෙ ආදි කත්තුරු. උන්නාන්සෙගෙ නම ඒ ලියවිල්ලෙ ලියල තියෙනව, උන්නාන්සෙගෙ අත් අකුරින්ම.”

“ලියවිල්ල…! අකුරු…! ඒ කියන්නෙ සීයෙ?” යනුවෙන් රොබා ඇසුවේ මින් පෙර ඒ වචන අසා නොතිබුණ නිසාය.

“ලියවිල්ලක් කියන්නේ මයෙ පුතේ, අනන්ත අපරිමාණ කාලයක් ඉදිරි අනාගතේට පණිවුඩයක් යවන්න පුලුවං කෙරේමයක්…” සීයා කීවේ රොබා ඇස් දෙක ලොකු කරගෙන, මුව අයා ඔහු දෙස බලා හිඳිද්දීය. “අකුරු කියල කියන්නෙ අපේ කටින් කියවෙන සද්ද ඇහින් බලන්න පුලුවං වෙන්න හදාපු කෙරේමෙයක්…”

සීයාගේ මහලු කටහඬ විල්ලුවේ පන් පඳුරු අතර හිඳි රොබාගේ දෙකන්වල දෝංකාර දුන්නේය. “අකුරු…!” රොබා තමාටම කියාගත්තේය, “මොනවගේ පුදුමයක්ද ඒක!”

කල්පනාවේ ගිලී සිටි රොබා නොදැනුවත්වම අඳුර වැඩිවිය. මී වැස්සිය උළා කමින් පැමිණ රොබාගේ පිටට හොම්බෙන් ඇන්නේ ‘දැන් යමන් ගෙදර’ යැයි කියන්නාක් මෙනි.

රොබා නැගිට කයිරාගේ හිස අතගා, “ඉස්සර වෙයං,” යැයි කීවේය. කරිජ්ජ විල්ලුවේ අඟලක් ගානේ දැනසිටි කයිරා ගැඹුරු දියෙන් පිරි මරු වළවල් මඟහැර සවිමත් පොළව තෝරා බේරාගෙන අඩි තබමින් රොබාට මඟ පෙන්වීය.

***

මිදුලේ වැලි පොළවේ පිහිටි ගල මත සිටි ඊටන් අසලින් රොබා වාඩිවිය. උදෑසන සිසිල් සුළං රැල්ලක් ඇඟපත හිරිගඩු නගාගෙන හමා යද්දී, රවුම් ලී කෝටුවක ඔතා තිබුණු ශුද්ධ වස්තුව ඉණේ ගසාගෙන හුන් ඊටන් එය පරෙස්සමින් ඇද අතට ගත්තේය.

“මට දැන් හතළිස් අටකුත් උනා,” ඊටන් කෙඳිරීය. “මං මැරෙන්න ඉස්සරිං මේ සාස්තරේ උඹ මගෙන් ඉගෙනගන්න ඕන.”

රොබා පුදුමයෙන් සීයාට තවත් ළං විය. “අනේ මට පෙන්නපන් සීයේ ලියවිල්ලයි අකුරුයි…!”

තරුණ ගැටයාගේ මුහුණේ දැල්වෙන උනන්දුව නිසා මහල්ලා ඔහුගේ හිස අතගෑවේය. “උඹෙ අප්පොච්චි මේක බොහොම අගේට ඉගෙනගත්ත. ඌට තිවුණෙ පුදුමාකාර තදියමක්. ඒ හින්දමයි විල්ලුවෙ ගැඹුරු දිය කඳ ඒකාව බිලිගත්තේ…”

සීයාගේ කටහඬ හැඟුම්බර වී බිඳී යාමට ආසන්න විය. “කරිජ්ජ විල්ලුව අපේ ජීවිත පාලනේ කොරනවා දැන් අවුරුදු දාස් ගාණක් තිස්සේ… උඹ හදිස්සි නොවී මේක ඉගෙනගනිං. තදියං වෙන්න යන්න එපා. උඹ පුංචි කාලෙ හිටම්ම හොඳ මොළේ ඇති එකා. අප්පොච්චිට කරන්න බැරිවුණ දේ උඹෙන් කෙරෙන්න ඕන…” සීයා ඇස් දෙක පිසදමා රොබාගේ හිස මත අතක් තැබුවේය. “අපේ පරම්පරාව විතරක් නෙවෙයි, මුළු මිනිස් වාසෙම ගොඩ දාන්න පුලුවං සාස්තරයක් මේ. බොට පුලුවං ඒක කොරන්න…”

සීයා රොබාගේ ඇස් ඉදිරිපිට රෙදිකඩ දිගහැරියේය. ඒ පුරාම කිසියම් මෝස්තරයකට විසිරී තිබුණේ කැලෑ කොලවල, ගෙඩිවල, ඉපල් කෑලිවල පමණක් නොව නොයෙකුත් සතුන්ගේ හැඩහුරුකමද ගත් කුඩා චිත්‍ර රාශියකි. රොබා පුදුමයෙන් ඒවා මත දෑස් අලවා, ඒ මොනවාදැයි සිතාගන්නට වෙර දැරුවේය.

“මේ තියෙන්නෙ අපේ කටින් පිටවෙන විවිද සද්ද; අ, න, උ, ර, බ, ක, ඔයාදී ඔක්කෝම මෙතැන තියෙනව. ඕවට තමයි ‘අකුරු’ කියල කියන්නේ. මං බොට මේ සේරම උගන්නන්නං…” යි කී සීයා, අසල ගහකින් කෝටු කෑල්ලක් කැඩුවේය. “ඕන්න බලාගනිං,” කී හෙතෙම වැල්දොඩම් වැලක පහුරක්, දිග නැට්ටක් සහිත ගෙඩියක්, ඒ මේ අතට ඇඹරුණු සර්ප මාල්ලෙක් සහ වක ගැහුණු පණුවකුගේ වැනි හැඩ වැලි පොළවේ කෝටුවෙන් ඇඳ, “ඕන්න ලිව්වා උඹේ නම, ‘රොබා’,” යැයි කීවේය. “උඹ හොඳට මතක තියාගනින් කොල්ලො, අමුතුගෙදර රොබා කියල හැමෝම කිව්වට මොකද උ‍ඹේ හැබෑ නම රොබට් කුලවීර…”

රොබාට දැනුණේ වචනයෙන් කිව නොහැකි, උපන්තේකට නොදැනුණු තරම් සන්තෝෂයකි. “මේ තියෙන්නේ කුලවීර මීමුත්තා තමුන්ගෙ අතින් ලියාපු උන්නාන්සෙගෙම නම,” සීයා රොබාට රෙදිකඩෙහි පහළම කෙළවර පෙන්නා කීවේය. රොබා ඒ දෙස ඇසිපිය නොහෙළා බලා හිඳිමින්, ඒ අකුරුවල හැඩය මතක තබාගන්නට උත්සාහ කළේය. “මේ තියෙන්නෙ අපේ පරම්පරාවෙ උන්ට තියන්න කියලා කුලවීර උත්තමයා නියම කොරාපු නම් තුන්සිය හැටපහ,” සීයා රොබාට රෙදිකඩෙහි මුල් කොටස පෙන්වා කීවේය. “උඹ මේ අකුරු කියවන්න ඉගෙනගත්තම, අපේ පොඩිඋන්ට නම්තබන රාජකාරිය මං බොට පවරලා නිදහස් වෙන්නයි හිතාගෙන ඉන්නේ.”

රොබාගේ හිතට ආඩම්බරයක් දැනුණි. “එතකොට සීයෙ, මේ ඉතුරු හරියෙ මොනවද ලියල තියෙන අකුරු?”

“හ්ම්… ඒ හරියෙ තියෙන්නේ කුලවීර මීමුත්තලාට වෙච්ච අකරතැබ්බෙ ගැන. මහපොළව එක යායට ගිලාබැහැල කරිජ්ජ ඇවිත් අපිව යටකරගත්ත හැටි…”

රොබා ලෑලි කෑල්ලක් හොයාගෙන, බිඳුණු පුරාණ බෝතල් අඩියක් උරච්චි කර හදාගත් ‘ගිනි වීදුරුව’ හිරු එළියට අල්ලා, මතකයේ රඳවාගෙන සිටි අකුරු පේලිය ලෑල්ල මත කළු පාටින් පිළිස්සුවේය. ඉන්පසුව ඒ දෙස ආඩම්බරයෙන් බලා සිටින ඔහුගේ පිටුපසින් පැමිණි සීයා ඒ අකුරු කියවූයේය.

“කු… ල… වී… ර”

ලෑල්ල ගෙයි ඉදිරිපිට ගහේ දෙබලක රැඳවූ රොබා ඒ දෙස බලමින් කල්පනා කළේය.

***

“පුරෝගාමී මාටි කුලවීර!”

ගරු ගාම්භීර පෙනුමැති අඩ අඳුරු වේදිකාවේ එක් තැනකට ආලෝකය එල්ල වී තිබුණි. අවස්ථාවට උචිත ලෙස හැඳපැළඳ, එක කෙස් ගහක් හෝ එහා මෙහා නොවන සේ පීරූ කොණ්ඩය ඇති සිහින් උස තරුණිය ආලෝකය මැද සිටගෙන සියලු අසුන් පිරීගිය සභාවට ඇසෙන සේ මාටිගේ නම හඬගෑවාය. ඉදිරි පෙළේ මැද තැනෙක වාඩි වී සිටි විශේෂඥ වෛද්‍ය තිසුල් සිනා පිරි මුවින් යුතුව ඔහු අසල අසුන්ගෙන සිටි තැනැත්තාට වමතින් ඇන සංඥා කළෙන්, හෙතෙම ගැලී හුන් කල්පනාවෙන් මිදී නැඟිට සිටියේය. අත්පොළසන් හඬ කෙමෙන් ඇරඹී මුළු සභාව පුරාම පැතිරුණු මහා හඬක් බවට වැඩෙද්දී හිටගත් මිනිසා වේදිකාව වෙත ගමන් කොට ඒ මතට ගොඩ විය.

“අධිලේඛනාගාරය වෙත නිර්භීත ගමන්වාර 150 ක් සම්පූර්ණ කළ පුරෝගාමී මාටි කුලවීර නායක ගවේශක නිලයට උසස් කිරීම සහ, ඔහුට නව ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම සම්මානය වන ‘පොළෝ ගැබේ ආලෝකය’ පදක්කම පැළඳවීම සඳහා…”

මාටි පපුව ඉදිරියට දමා කෙළින් සිටගත්තේය. ආලෝකය ඔහු වෙත එල්ල විය.

“…මගේ ගෞරවනීය ආරාධනය…”

මාටිගේ සම මතුපිටින් නැඟුණු රිදීවන් දිස්නය ඔහුගේ පෙනුමට එක් කළේ මායාකාරී බවකි. එය ඔහුගේ සිරුර වටා චන්ද්‍ර කොරෝනාව බඳු අද්භූත රැස් වළල්ලක් මැවීමට සමත් විය. තරුණියගේ කටහඬ නිහඬ සභාව සිසාරා පැතිර ගියේය.

“…අද්මිරාල් මානව දයාරත්න, අල්ටා ඇක්වා ජනාවාසයේ උත්තරීතර නායක තුමන්ට…”

වේදිකාවට ගොඩවූ අද්මිරාල් තැන තරුණිය අසල නතර වී ඈ අතින් කළු, කහ සහ නිල් වර්ණ තීරු සහිත පටිය ගෙන, “නායක ගවේශක මාටි කුලවීර, ඉදිරියට එන්න,” යි කීවෙන්, මාටි ඔහු කරා අවතීර්ණ වූයේය. අද්මිරාල් අතින් වර්ණ පටිය සහ ‘පොළෝ ගැබේ ආලෝකය’ පදක්කම පළඳින අතර අද්මිරාල්ගේ කටහඬ සිය කනට කොඳුරනු මාටිට ඇසුණේය: “උත්සවෙන් පස්සේ මාටි මාව මුණගැහෙන්න.”

මාටි පෙරළා පැමිණ විශේෂඥ වෛද්‍ය තිසුල් අසලින් අසුන්ගේතේය. “මාටිගෙ හම දැන් ලුණු වතුරට ඔරෙත්තු දෙන්න හොඳට හැඩගැහිලා,” තිසුල් ඔහුගේ කනට කෙඳිරුවේ සතුටිනි. “මං දැක්කා ලයිට් එකට මාටිගෙ ඇඟම අපූරුවට දිළිසෙන හැටි.”

පුටු ඇන්ද මත වූ මාටිගේ වැලමිට මත තිසුල් සිය ඇඟිලිවලින් ස්පර්ශ කළේය. “දැන් අපේ ගානටම ඇවිත්!”

අද්මිරාල් තැනගේ ගැඹුරු කටහඬින් නැවතත් සියල්ලන්ම නිහඬ කෙරිණි.

“මාටි කුලවීර කියන්නෙ වීරයෙක්, සහෝදර සහෝදරියනි. අධිලේඛනාගාරයක් තියෙන බව අපි දැනගෙන හිටියත්, ඒක හොයාගෙන, ඒකට ඇතුල් වෙලා එහි අවුරුදු දහස් ගණනක් පැරණි ලේඛනවලින් කොටසක් පරෙස්සමින් අල්ටා ඇක්වාව වෙත ගෙන එන්න මාටිට පුළුවන් වුණා. අවුරුදු පහක් තුළ, ජීවිතය පරදුවට තියපු විශිෂ්ට ගමන් වාර 150 ක් යන්න මාටිට හැකි වුණේ ඔහු තුළ තිබුණු, අපට විශ්වාස කරන්න පවා අමාරු උනන්දුවක්, ධෛර්යයක් නිස. ඒක මාටිට පරම්පරාවෙන් උරුම වුණ දෙයක්. ඉහළ පොළවේ වැසියෙක් හැටියට ඉපදිලා, ඉතාම කෙටි කාලයකින් අල්ටා ඇක්වාවේ උපන් පරපුරක කෙනෙකුටවත් කරන්න බැරිවූ ජලීය ක්‍රියාන්විතයක් සාර්ථකව ඉටුකිරීම ගැන නායක ගවේශක මාටි කුලවීරට මගේ ගෞරව ප්‍රණාමය පුදකරනවා.

සහෝදරවරුනි, සහෝදරියනි, අල්ටා ඇක්වා ජනපදය තමයි අපේ අවසාන බලාපොරොත්තුව. අපි අලුත් විශේෂයක්. ස්වාභාවික වරණයේ හැම වාසියක්ම අප සතුයි. නමුත් ඉහළ පොළවේ ජීවත්වන පරම්පරාවේ යහපත් ජාන අපි ආරක්ෂා කරන්න ඕන. ඒ සඳහා අපි කෘත්‍රීම වරණයකට යායුතුයි. අල්ටා ඇක්වාව ඉදිරියට ගෙන යන්න මාටි වගේ තව සිය ගණනක් අපට අවශ්‍යයි…”

***

කුලවීර මීමුත්තා රෙදිකඩෙහි ලියා තිබෙන වචනයක් නෑරම සීයා කියවා තිබෙන්නේදැයි රොබා කරිජ්ජ විල්ලුවේ ජල තලය අද්දර හිඳ කල්පනා කළේය. සීයා ඒවා නොකියවා තිබෙන්නට හේතුවක් නැත. එහෙනම් ඒ සම්පූර්ණ කතාවම ඔහුට මේ වන තෙක්ම නොකීවේ ඇයි? මුළු මහත් මිනිස් වාසයම නැවත ශ්‍රී විභූතිය කරා ගෙන යා හැකි මහා ධන නිධානය කරිජ්ජ විල්ලුවේ ගැඹුරු තැනෙක සැඟවී තිබෙන බවත්, එය සොයාගන්නා ලෙසත් කුලවීර මීමුත්තා ලියා තිබෙන්නේය. “උඹේ අප්පොච්චි ඉක්මං වුණා වැඩියි,” කියා සීයා රොබාට නිතරම කියන්නේ කුමන විදියෙක ඉක්මන් වීමක් ගැනද? විල්ලුව පුරා පොළව මතුපිට දිවයන, අගක් මුලක් සොයාගත නොහැකි කුකුස් වැලක කොටසක් දෙපයේ පටලා ගනිමින් රොබා දැඩි කල්පනාවක ගිලී උන්නේය.

හිටිගමන් නැඟිට සිටි රොබා, කුකුස් වැල ගෙන ඉනේ ඔතා නොලිහෙන ගැටයක් දමාගෙන, හොඳ හුස්මකින් පෙණහළු පුරවාගෙන කරිජ්ජ විල්ලුවේ ගැඹුරු කළු පැහැති ජලයට පැන්නේය.

***

“මං හිතුවෙ නෑ, අපේ පුරාණ වරායක් අත්පත් කරගෙන හිටපු විදේශීය රාජ්‍යයක් මේ වගේ සවි ගන්වපු ආයුධ ගබඩාවක් මුහුද පතුලේ ගොඩනංවලා තියෙයි කියල…” උත්තරීතර නායක අද්මිරාල් මානව දයාරත්න ඇල්ෆා-1 කුටියේ සෝෆාවක වාඩිවී සිටින මාටි වෙත මුහුදු පැළෑටියකින් නිස්සාරණය කළ ශක්තිජනක පානයක් පිළිගන්වමින් කීවේය. “මේක අපට මුණගැහුණේ අහම්බෙන් වගේ…”

“මේක ඔබතුමාගේ කාර්යාල සංකීර්ණයට හැම අතින්ම සුදුසු තැනක්…” පානය සහිත වීදුරුව අතට ගත් මාටි අවට බලමින් කීවේය.

“මම සැලසුම් කරන්නේ, අධිලේඛනාගාරයේ දැනට අපි සතුව තියෙන කොටස වගේම ඉතිරි ටිකත් මේ ගොඩනැඟිලි පද්ධතිය ඇතුළෙම ප්‍රතිස්ථාපනය කරන්නයි මාටි,” යනුවෙන් අද්මිරාල් මානව කීවේ සිය කමීසයේ උසැති කරපටිය අතින් ඔසවා හකුපාඩාවලට මඳක් යටින් වූ කුඩා කරමල් විවර වසාගන්නා ගමන්ය.

“අවුරුදු දහස් ගණනකට කලින් ගිනිකොණ-දකුණු දිග මුහුදු භූ තැටියේ ඇතිවුණ ඉරිතැලීමක් දිගේ අභිසාරී තැටි මායිමක් හැදෙයි කියල අපේ රාජ්‍යයේ විද්‍යාඥයෝ දැනගෙන ඉඳල නැහැ. ඒත් මේ කලාපයේ තිබුණු අපේ වරාය අත්පත් කරගෙන හිටි විදේශීය රාජ්‍යය මේ බව කල් ඇතිව දැනගෙන, වරාය අතහැරලා පිටමං වෙලා තියෙනව. දවසක් එකපාරටම ඔය වරාය, අහස් තොටුපල, විශාල නගර, ගම්මාන එහෙම පිටින්ම මේ අභිසාරී භූ තැටි මායිම දිගේ පොළව යටට කිඳා බහින්න පටන් අරන්. ඔය අතරේ තිබුණ වටිනාම සම්පත තමයි අධිලේඛනාගාරය. අපේ මුතුන්මිත්තන්ගේ මහා දැනුම් සම්භාරයක් අධිලේඛනාගාරයේ තියෙනව. අල්ටා ඇක්වා ජනපදයේ අනාගතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මේ අධිලේඛනාගාරයෙන් අපිට නැවත ලබාගන්න පුළුවන්වෙන දැනුම මතයි…”

ඉන්පසු ඔහු සිය අසුන මාටි අසලටම ඇදගෙන ඔහුගේ මුහුණට සිය මුහුණ බොහෝ ළං කළේය.

“මාටිට තව පුතෙක් ඉන්නවා…”

මාටි හිස සැලුවේය. “ඔව්. ඉහළ ලෝකෙ…”

“දැන් එයාවත් මෙහාට ගේන්න කාලෙ හරි!”

***

රොබා හීන් කෝටුවක් ගෙන වැලි පොළවේ යමක් ලියනු ඊටන් ඈත සිට බලා සිටියේය. කෝටු කෑල්ල පැත්තකට වීසි කළ රොබා, ඔහු ලියූ දෙය වටා මිදුලේ රවුමට සක්මන් කළේය. ඊටන් ඒ අසලට ආවේය. රොබා දිග වචනයක් ලියා තිබුණි.

“අ… ධි… ලේ… ඛ… නා… ගා… ර… ය”

අකුරෙන් අකුර කියවූ ඊටන්, නළල රැළිගන්වා රොබා දෙස බැලුවේය. “උඹ කොහෙන්ද මේ වචනෙ හොයාගත්තේ?”

“කුලවීර මීමුත්තගෙ ලියවිල්ලෙ තමයි ඉස්සෙල්ලම දැක්කෙ,” රොබා කීවේය, “පස්සේ මං ගිහින් ඒක හැබැහිම්ම දැකගත්ත…”

ඊටන් රොබා දෙස විමතියෙන් බැලුවේය. “උඹ? ඒ කියන්නෙ උඹ කරිජ්ජ විල්ලුවෙ…”

“ඔව්… මං කිමිදුනා.”

ඊටන් ඉහ අත ගසාගෙන මිදුලේ වූ ගල මත වාඩි වූයේය. “මං බොට ඉහේ කෙස් ගානේ කිව්වා තදියං වෙන්න එපාය කියල! තොගෙ අප්පොච්චිටත් උනේ…”

“කුලවීර මීමුත්තා ඒක තියෙන තැන හරියටම ලියල තියෙනව. ඉතිං මොකටද කලබල වෙන්නෙ? සීයෙ උඹට කුලවීර මීමුත්තගෙ වචනෙ විස්වාස නැද්ද?”

“උඹට මොකක්හරි උනානං…!”

“මක් වෙන්නද? මේ මං ඉන්නෙ… මෙච්චර හරියක් කළා, උඹ ඩිංගක් හරි මං කළ දේ අගේ කළාද? ඇයි උඹ මට අකුරු ඉගැන්නුවෙ? ඇයි මට කුලවීර මීමුත්තගෙ ලියවිල්ල දුන්නෙ? උඹ වගේම පොඩිඋන්ට නම් තියතියා ගෙටවෙලා ඉන්න නං ඒවා මොකටද මට?”

සීයා සමඟ හිත නරක් කරගත් රොබා ආපසු හැරී මිදුලෙන් පිටව, විල්ලුව දෙසට යන අඩිපාරට වැටුණේය.

***

දැඩි සීතල උහුලාගෙන රොබා තව තවත් ගැඹුරට කිමිදුණේය. ඔහුට උවමනා වුණේ වතුරේ සෑහෙන ගැඹුරකදී හමුවන පළමු වාඩිය වෙත යෑමය. එහි ගොස් හිත හැදෙන තුරු නිදහසේ තනිව කල්පනා කිරීමය. රොබා වාඩිය යැයි කීවේ, අස්ථාවර වූ භූ ඵලක එකිනෙක වියරුවෙන් මෙන් ගැටෙන විට කැඩී බිඳී ගිය කැබලි අතර වාතය සිරවී දිය යට අහඹු ලෙස නිර්මාණය වී තිබුණු ගුහාවක් වැනි යෝධ අවකාශයකටය. හදිසියේ ඔහුට හමුවූ එය, බොහෝ ගැඹුරට කිමිදෙද්දී විවේකයක් ගැනීමට හැකි තැනකි. අධිලේඛනාගාරය වෙත ගිය ගමනේදී ‘වාඩි’ කීපයක්ම ඔහුට හමු විය. ක්ෂුද්‍ර ඇල්ගී විශේෂයක ජෛව සංදීප්තිය නිසා වාඩිය තුළ සියුම් දම් පැහැති ආලෝකයක් පැතිරිණි.

රොබා එහි කෙතරම් වේලාවක් හිටියේදැයි ඔහුටම නිනව්වක් නොවීය. ඔහුට නින්ද ගොස් තිබුණි. හදිසියේම ඇහැරුණේ කුමක් නිසාදැයි හරියටම කීමට ඔහු නොදැන සිටි මුත්, වාඩියේ තවත් කෙනෙකු ඉන්නා බව පැහැදිළිව පෙනුණි. අමුත්තා රොබාට පසුපස හරවාගෙන ගුහාවේ ජල ඉවුර අද්දර වාඩිවී ජලයෙහි දෙපා රුවාගෙන සිටි අතර, ඔහු තමාට වඩා තරමක් වෙනස් බව රොබා සැනෙන් නිගමනය කළේය.

“රොබා…” අමුත්තා කතා කළේ රොබාට පසුපස හරවාගත් ගමන්මය. මින් පෙර අසා ඇති බවක් මතක නැති වුවද, ඒ කටහඬේ වූයේ තරමක හුරු පුරුදු බවකි.

“ඔය කවුද?”

“මම මාටි… මාටි කුලවීර!”

රොබා නැඟිට්ටේ විදුලි සැරයක් වැදුණු කලෙක මෙනි. “මාටි කුලවීර කියන්නෙ මගෙ තාත්ත. එයා මැරිලා!” ඔහු අමුත්තා වෙත දිවගොස් ඔහුගේ උරහිසින් අල්ලා සෙලවූයේය. “තමුන් කොහොමද මාටි කුලවීර වුණේ…?”

අමුත්තා හිස හරවා රොබාගේ මුහුණ බැලුවේය.

“මං මැරුණෙ නෑ පුතේ, කරිජ්ජ විල්ලුවට වැටිල මායි උඹේ අම්මයි මාළුවො වුණා…!”

***

රොබා නැති කණස්සල්ලෙන් නින්දට ගිය සීයා පැය කීපයකට පසුව ඇහැරෙන විට, ඔහුගේ ඉහ අද්දර තැබූ ලා පැහැතිව ගිය පැරණි රෙදිකඩක මෙසේ ලියා තබා තිබුණේය:

“සීයේ, තාත්ත ඉන්න දිහාවට මාත් යනවා. උඹ දුක් වෙන්න එපා, මාව හොයන්න එපා, හරි වෙලාවට මං ආයෙත් එනවා. – රොබා.”

එය කියැවූ සීයාගේ හිස කැරකෙන්නට වූයේය. තදින් දහඩිය දමන්නට වූ අතර, පපුවේ දැඩි වේදනාවක්ද හටගත්තේය. ඇඟේ අමාරුව නිසා ඔහු ආයෙත් ඇලවුණේය.

මිනිස් වාසයේ ඈයෝ, අමුතුගෙදර ඊටන්ගේ ප්‍රාණය නිරුද්ධ වූ දේහය කරිජ්ජ විල්ලුවේ එක්තරා තැනෙක හෑරූ වළක වැළලූහ. ඊටන්ගේ අතෙහි ගුලිවී තිබුණු අමුතු හැඩතල සටහන් වූ පැරණි රෙදිකඩද ඔහුගේ පපුව මත තබා වළට පස් දමනු ලැබිණි.

නිමි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment