මුළා මංසල නවකතාව කියවමු.

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කේරළ ලේඛිකා දීපා අනප්පරාගේ ‘මුළා මංසල‘ (Djinn Patrol on the Purple Line) නවකතාව දිගහැරෙන්නේ දින්දියාවේ පැල්පත් ජනාවාසයක වෙසෙන කුඩා පිරිමි ළමයකුගේ දෘෂ්ටිකෝණයෙනි. පහත දැක්වෙන්නේ ‘මුළා මංසල‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. මුළා මංසල සුභාවි ප්‍රකාශනයකි.

‘භූතයෙක් බහදූර්ව ගෙනිච්චා වෙන්න බැරිද?’ මං අහනවා.

‘නරක භූතයෝ ඉන්නව,’ මාමා කියනවා, ‘උන් ඔයාගේ ආත්මයට රිංගාවි. උන් ළමයි අරන් යන්නේ බොහොම කලාතුරකින්. ඇත්තටම, ඒ වගේ වැඩකට උන්ට චෝදනා කරන්න බැහැ. සමහර භූතයෝ මහ කරදරකාරයෝ.’

පටු දෙබිත්ති පාරේ සද්දයක් හින්දා එයාගේ අවධානය වෙන පැත්තකට යනවා. ඒ මං කලිනුත් දැකලා තියෙන හිඟන්නො දෙන්නෙක්. හැබැයි ඒ දෙන්නා වෙනස්. එක්කෙනෙක් රෝද පුටුවක යනවා, අනිත් එක්කෙනා එයාගේ කකුල් වක ගැහුණු යාළුවා, රෝද පුටුව තල්ලු කරගෙන කකුල් අද්ද අද්දා පස්සෙන් යනවා. රෝද පුටුවේ පස්සෙන් හයිකරපු ස්පීකරේකින් පටිගත කරපු ගෑනු කටහඬක් වීසි වෙනවා. අපි දෙන්නාටම කකුල්වල ලෙඩ, කියලා ඈ කියනවා. කරුණාකර අපට මුදල් ආධාර කරන්න. අපි දෙන්නාටම කකුල්වල ලෙඩ, ඈ නවත්තන්නේ නැහැ. කරුණාකර… ඈ කවදාවත් වෙහෙසට පත්වෙන්නෙ නැහැ.

‘මෙහෙ එනවා, මෙහේ,’ මාමා ඒ දෙන්නට එන්න කියලා සංඥා කරලා, ඒගොල්ලන්ටත් තේ අරන් දෙනවා.

‘රෑ වෙනවා වගේ,’ වීදි ලාම්පුවල එළියෙන් කළු ඝන මීදුම් දුමාරය කහපාට පැල්ලම් බවට හරවනකොට පරී කියනවා.

අපි මාමාගෙන් සමු අරගෙන පයින් ගෙදර යනවා.

‘මගේ ඉව කියනවා බහදූර් පැනල ගියාය කියල,’ පරී කියන්නේ රහස් පරීක්ෂකයෙක් වගේ. ‘අපේ මුඩුක්කුවේ කෙනෙකුට එයාව උස්සන්න කිසිම හේතුවක් නෑ. මාමාට වැඩ කරලා එයා සල්ලි ගොඩක් හොයන්න ඇති. දැන් එයා ටීවී හදන වෙන සාප්පුවකට ගිහින් ඇති. මෙහෙන් හුඟක් ඈත, ලාලූ බේබද්දාගෙනුත් ඈත.’

‘මනාලීවලද?’

‘වෙන්න බැරිද? මනාලීවල මිනිස්සුත් ටීවී බලනවා නේ.’

පටු දෙබිත්ති පාරේ සෙල්ලම් කරන අපේ ඉස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ අපට අත වනනවා. මං උන්ට අත වනන්නේ නැහැ. මට ඕන නෑ උන්ට අපේ රහස් පරීක්ෂක කණ්ඩායමට බැඳෙන්න දිරිගන්වන දේවල් කරන්න.

‘එක්කෝ අපි බහදූර්ගේ මනාලී යන ප්ලෑන් ගැන එයාගෙ අම්මට කියන්න ඕන, ‘ පරී කියනවා, ‘එහෙම නැත්තං අපි කෝච්චි ස්ටේෂන් එකට ගිහින් මිනිස්සුන්ට එයාගේ ෆොටෝ එක පෙන්නලා, එයාව දැකල තියේද කියලා අහන්න ඕන.’

‘අපට බෑ බහදූර්ගේ අම්මටයි බේබදු ලාලූටයි ඒක කියන්න. ඒගොල්ල බහදූර්ගේ නංගියි මල්ලියි එක්ක තරහ ගනීවි, සමහරවිට උන්ට ගහවි.’

‘එහෙනම් අපට නගර ස්ටේෂන් එකට යන්න වෙනවා,’ පරී කියනවා. ‘බහදූර් කෝච්චියකට නගින්න ඉස්සෙල්ලා එයාව නවත්තගමු.’

‘ඌ දැනටමත් මනාලී ගිහින් නම් මොකද හලෝ කරන්නෙ?’

‘අපට හරියටම දැනගන්න පුළුවන් නම් එයා මනාලී යන්න කෝච්චියට නැගපු බව, එහේ පොලිසියෙන් එයාව හොයාවි. ඒගොල්ල අපේ මුඩුක්කු පොලීසිය තරම් නරක වෙන්න බෑ නේ? මේ වෙලාවේ අපි දන්නෑ බහදූර් එහේද, නැත්තං කොහේද කියල. අපට ඕනේ එක හොඳ හෝඩුවාවක්, එච්චරයි.’

කෝච්චි ඉස්ටේසමේ සීසීටීවී කැමරා තියෙන බව මට මතකයි; පොලිස් පැට්රෝල් එකේ ඉන්න පොලිස් නිලධාරියෝ සීසීටීවී වීඩියෝ පීරනවා අපරාධකාරයෝ, පැනල යන ළමයි එහෙම අල්ලන්න. මං පරීට ඒ බවක් කියන්නෙ නෑ. ඒ වෙනුවට මං එයාට කියන්නේ, ‘ඔයාට අමතක වෙලාද? මුලින්ම ඈත ටවුමෙ තියෙන ඉස්ටේසමට යන්න ඕන, ඊළඟ කාරණේ – එතනට යන්න වෙන්නේ පර්පල් ලයින් එකේ; එකේ යන්න නම් මෙට්රෝ වේදිකාවකින් ගොඩවෙන්න ඕන, ඒත් මෙට්රෝ එකේ වේදිකාවකටවත් යන්න බෑ ටිකට් එකක් නැතුව. මෙට්රෝ කියන්නේ ඉන්දියානු දුම්රිය සේවය නෙවෙයි නේ.’

‘මං දන්නව.’

‘ඔයාගේ තාත්තා, අපට ඒකේ ටිකට් ගන්න සල්ලි දෙන්න පුළුවන් කෝටිපතියෙක්ද?

‘අපි ෆායිස්ගෙන් සල්ලි ඉල්ලමු.’

‘කොහොමවත් බැහැ.’

‘පළවෙනි පැය හතලිස් අටෙන් පස්සේ, නැතිවුණ ළමයෙක් හොයාගන්න එක සෑහෙන්න අමාරු වෙනවා කියලා ඔයා කිව්වෙ නැද්ද?’

එහෙම කිව්වද කියල මට මතක නෑ, ඒත් ඒක කියාපු විදියට නම් මං කියපු එකක් වගේ තමයි.

*

මං ගෙදර එනකොට රෑ වෙලා, ඒත් මගේ වාසනාවට අම්මයි තාත්තයි තාමත් ගෙදර ඇවිල්ල නෑ. රූණු අක්කා ශාන්ති නැන්ද එක්ක කතා කරන ගමන් කොකෙක් වගේ දකුණු කකුලෙන් හිටගෙන විහිදුම් ව්‍යායාම කරනවා. එයාගේ වම් කකුල දණහිසෙන් නමාගෙන.

‘ඔයා කෑම හදන්නෙ නැද්ද?’ මං අක්කගෙන් අහනවා.

‘බලන්න මෙයා මට කතාකරන හැටි,’ එයා ශාන්ති නැන්දට කියනවා. ‘හිතන් ඉන්නේ එයා කුමාරයෙක්, මං එයාගෙ අතට පයට සේරම කරල දෙන්න ඕන කියල.’

‘එයා ලොකු වුණාම,’ නැන්දා කියනවා, ‘වාසනාවක් තිබුණොත් මං වගේ ගෑනියක් හම්බවෙලා එයාට උගන්නයි, උයාගෙන කාපන්, නැත්තං බඩගින්නේ හිටපන් කියලා. එයා කැමති විදියක්.’

ඒක වෙන්න ඇති ශාන්ති නැන්දගේ පළවෙනි මිනිහා එයාට ‘ඕකේ-ටටා-බායි’ කිව්වේ. එයාගේ ලොකු ළමයි තුන්දෙනා එයාව බලන්න එන්නෙත් නැත්තේ ඒක වෙන්න ඇති. ඒත් මං දන්නවා ඒකට කියන්න ඕන දේ.

‘මං කවදාවත් බඳින්නෙ නෑ,’ මං අපේ ගේ ඇතුළෙදි රූණු අක්කට කියනවා.

‘බයවෙන්න එපා, තමුසෙගෙ ගඳ හැතැක්මක් විතර එහාදි දැනුණාම ඕනම කෙල්ලෙක් පැනල දුවාවි.’

මං මගේ කිහිලි ඉඹිනවා, එහෙමට ගඳක් නෑ නේ.

අම්මයි තාත්තයි එනකොට රෑ වුණා, ඒත් දෙන්නම ආවෙ එකට. ඒගොල්ල පටු දෙබිත්ති පාරේ නැවතිලා අසල්වැසියන්ට කතා කරනවා. දෙන්නා කොහේදිද සෙට් වුණේ කියල අහන්න බැරි තරමට එයාලාගේ මූණු දුකෙන් බරවෙලා, තරහත් ගිහින් වගේ. රූණු අක්කා බතුයි පරිප්පුයි උයලා අම්මටයි තාත්තටයි කෑමට කතා කරනවා, ඒත් ඒගොල්ල කියන්නේ, දැන්ම බෑ රූණු කියලා.

‘මිනිහෙක් මෙහේ බඩගින්නේ මැරෙන්න යනව හලෝ,’ බඩ තද කරගෙන මං කියනවා.

රූණු අක්කා පිලිවෙලකට එළියට යනවා. මාත් එයාගෙ පස්සෙන්, ‘ඇයි මා මෙහෙම වුණේ?’ සිංදුව කියාගෙන වම-දකුණ ගහනවා. ගෙවල්වලින් එළියට එන දුම පරිප්පු සහ වම්බටු බර්තා සුවඳින් බරවෙලා.

තාත්තා මාව පෙන්නලා, ‘මේ පුංචි යක්සයා ගැන ඇහැ ගහගෙන හිටියෙ නැත්තං, මූ තමයි ඊළඟට අතුරුදහන් වෙන එකා,’ කියලා කියනවා.

‘මොකක්?’ මං අහනවා.

‘ඉස්තිරික්ක කාරයාගේ පුතා අතුරුදහන් වෙලා,’ අම්මා කියනවා. ‘අපි එයාව දැක්කනේ දවස් දෙකකට කලින් නේ, මතකද ජායි?’ ඊළඟට අම්මා අනිත් කට්ටිය දිහාට හැරිලා කියනවා: ‘අපි ඒ ළමයගෙන් ඇහුවා, ඔයා බහදූර් ඉන්න තැන දන්නවද? කියල. ඌ කිව්ව නෑ කියල. කොහොමද ඌ එහෙම ගානක් නැතුව බොරු කියන්නෙ? මට කොහොමවත් තේරෙන්නෙ නැහැ.’

‘ඕම්වීර් අතුරුදහන් වෙලා?’ මං අහනවා.

‘ඌ බහදූර් එක්ක එකතුවෙලා මේ ඔක්කොම ප්ලෑන් කරන්න ඇති,’ අම්මා කියනවා.

‘මෙහෙමත් ආත්මාර්ථකාමී ළමයි,’ එක නැන්දා කෙනෙක් කියනවා. ‘දෙමව්පියෝ උන් ගැන කොච්චර දුක්වෙනවද කියල ඩිංගක්වත් හිතුවද. දැන් පොලිසිය වැඩේට බහීවි. උන් ඒවි උන්ගෙ මැෂින් අරගෙන. අපි සේරටම අපේ ගෙවල් නැතිවෙනවා.’

‘අපි ඕනවට වැඩිය කලබල නොවී ඉමු,’ ශාන්ති නැන්දා කියනවා.

‘ඒක ඇත්ත,’ කියලා අම්මා ඒ කතාවට එකඟ වෙනවා. එයා දැන් ඉන්නේ අපේ මුළු ගේම අස්කරලා පොට්ටනියක් බැඳලා දොර මුල්ලේ තිබ්බේ නෑ වගේ.

‘අපේ මිනිස්සු ළමයින්ව හොයනව,’ ශාන්ති නැන්දා කියනවා. ‘ඒගොල්ල අද රෑම කොල්ලන්ව ගෙදර ගෙනේවි.’

‘උන් මුම්බායි ගිහින් ඇති,’ මං රහසින් වගේ කිව්වා. ‘මනාලී වෙන්නත් පුළුවන්.’

‘මං මගේ රහස එළියට දානවා, ඒත් ඔක්කොම නෙවෙයි.

‘මොකද්ද උඹ කිව්වෙ?’ තාත්තා අහනවා, අත්දෙක ඉනට තියාගෙන.

‘මං පරීලගෙ ගෙදර යන්නද?’ මං අම්මගෙන් අහනව. ඒ මේ මොහොතේ අහන්න පුළුවන් වැරදි ප්‍රශ්නය තමයි කියලා ඒක අහනකොටම මට තේරෙනවා.

‘ඒකිත් එක්ක උඹට මොන වැඩේ තිබුණත්, ඒකට හෙට වෙනකං ඉන්න පුළුවන්,’ අම්මා කියනවා.

‘ඔයා මට මොබයිල් එකක් අරන් දෙන්න,’ කියලා මං ගෙට යන්න හැරෙනවා.

‘එච්චර ඉක්මනක් මොකද?’ කියලා තාත්තා මගේ උරහිසෙන් අල්ලගන්නවා. ‘බහදූර් ඔයාට කිව්වද එයා මනාලී යනව කියල?’

‘මං එයා එක්ක කවදාවත් කතා කරලා නෑ,’ මං කියනවා. ඒක තමයි ඇත්ත. මං පරීට කියන්න ඕන මට බොරු කියන හැටි උගන්නන්න කියලා.

තාත්තගෙ ඇඟිලි මගේ ඇටකටුවලට තදවෙනවා. ‘ඕම්වීර් ඉන්නෙ මගේ පන්තියෙත් නෙවෙයි,’ මං කියනවා.

‘මේ ළමයි එච්චර දුරක් ගිහිල්ල නම් අපි කොහොමද උන්ව හොයාගන්නේ?’ එක නැන්දා කෙනෙක් ඇස් පුංචි කරගෙන, ඉසේරදයක් හැදිල වගේ ඇඟිලි නළලට තියලා තදකරගෙන කියනවා.

‘මගේ පුතාට ඩුබායි බලන්න ඕනේලු. ඒකෙන් කියන්නෙ නෑනේ ඌ ළඟදි දවසක එහේ යන විත්තියක්,’ තවත් නැන්දා කෙනෙක් කියනවා.

‘ඔය කොල්ලෝ හයි-ෆයි බිල්ඩිමක් ළඟ තියෙන පාක් එහෙක හැංගිලා ඇති,’ මාමා කෙනෙක් කියනවා. ‘අපේ චර්පායි ලනු ඇඳවල්වලට වඩා එව්වයෙ තණකොළත් සනීපයි බං.’

‘ගෙදරවැඩ කරන්න තියෙනවා,’ කියල මං තාත්තට කියනවා, එතකොට එයා මාව ප්‍රශ්නකරන එක නවත්තනව නේ. ඉතින් එයා මට යන්න අරිනවා.

අම්මා ගේ ඇතුළේ පැරචුට් තෙල් භාජනේ තියාපු කුස්සි රාක්ක තට්ටුව ඉස්සරහ මං ඉන්නේ. අම්මා ඒක තිබුණ තැන වෙනස් කරපු හින්දා මට දැන් ඒක ලේසියෙන්ම අරගන්න පුළුවන්. ඒකේ පියන උඩ අම්මා අලවපු කළුපාට කඳුළු බිංදුවක හැඩේ තියෙන පොට්ටුවක්. ඒක එයා ආපහු පාවිච්චි කරන්න හිතාගෙන අලවන්න ඇත්තෙ, ඒත් අමතක වෙලා. නින්දට යන්න කලින් හරි, මූණ හෝදන්න යනකොට හරි අම්මයි රූණු අක්කයි දෙන්නා එයාලගෙ නළලේ අලවපු පොට්ටු ගලවලා අතට අහුවෙන ඕනැම තැනක අලවනවා – ඇඳේ දෙපැත්තේ, වතුර බැරල් එකේ, ටීවී රිමෝට් එකේ, සමහර වෙලාවට මගේ අච්චුපොත් වලත් අලවනවා.

මං පියන ඇරලා ඔක්කොම නෝට්ටු කොළ එළියට ගත්තා. එතැන රුපියල් 450 ක් – මං දැකපු ලොකුම සල්ලි ගොඩ. මං රුපියල් පනහක් ආපහු දාලා පියන කරකවලා වහලා, භාජනේ ආපහු අඹ කුඩු ටින් එක උඩින් තිබ්බා. අනිත් සල්ලි මං මගේ කාගෝ කලිසමේ සාක්කුවල හංගා ගත්තා.

දාඩිය දාලා මගේ අල්ල ඇලෙනවා, දිවත් හොඳටම රත්වෙලා. සල්ලි හොරකම් කළාම දැනෙන්නේ හරිම භයානක විදියට. ඒත්, සාක්කුවේ රුපියල් 400 ක් තියෙන එක හරිම විශිෂ්ට හැඟීමක්. මේ සල්ලිවලින් මට බිත්තර බුර්ජියි බටර් පානුයි කන්න පුළුවන් අවුරුද්දක්ම. සමහර විට අවුරුද්දක්ම බැරුව ඇති. සමහර විට මාසයක් විතර වෙන්න ඇති.

මං සල්ලි ආපහු තියන්න ඕන. අළුත්ම අළුත්, සිනිඳු, ලොකු උදවියගේ බලයෙන් පිරුණු නෝට්ටුවක් කලිසම් සාක්කුවේ තිබිලා මගේ අතට අහුවෙනවා. ඒකේ ඉඳලා මගේ ඇඟිලි තුඩු හරහා යන විදුලියක් හින්දා මං බේබදු ලාලූ වගේ වැනෙනවා.

‘මේවා කොහෙන් කෙළවර වේවිද?’ ගෙට එන ගමන් අම්මා අහනවා. ‘අපිට වෙන ප්‍රශ්න නැතුවට.’

එයා මගේ දිහා බලනවා. මං තමයි එයාගේ අංක එකේ ප්‍රශ්නේ.

‘එන්න අපි කමු පුතා,’ එයා මාත් එක්ක හිනාවෙවී කියනවා. ‘ඔයාට බඩගිනිත් ඇති.’

එයා මගේ බෙල්ල පිටිපස්සේ කිතිකවනකොට, මං එයාගේ අත ගසලා දානවා.

මං රහස් පරීක්ෂකයෙක්, ඒත් මේ දැන් අපරාධයක් කෙරුවේ.

හොඳ වැඩකට නම් තමයි. පරීයි මායි එකතුවෙලා බහදූර්වයි ඕම්වීර්වයි ගෙදර ගෙනාවොත් අපේ ගෙවල් අපට නැතිවෙන එකක් නෑනේ. අපේ ගෙදර රුපියල් 400කට වැඩිය කොයිතරම් ගොඩක් වටිනවද.

*

පහුවෙනිදා උදේ ඝන මීදුම් දුමාරය මැදින් අපි ඉස්කෝලෙට යන අතරේ ඕම්වීර් ගැන කතා කර කර යනවා. එයාව තාමත් හොයාගන්න නෑ. රූණු අක්කගෙන් සල්ලි ඉල්ලගත්තා කියල මං පරී එක්ක කියනවා. ‘එයා දුවන තරගෙකින් දිනලා ලැබුණ මුදල් තෑග්ගක්,’ කියලා මං බොරුවක් කියනවා.

‘කීයක්ද?’ පරී අහනවා.

‘පර්පල් ලයින් එකේ එක ටිකට් එකක් ගන්න ඇතිවෙයි,’ මං කියනවා. මං දන්නෙ නෑ ටිකට් එකේ ගාන, ඒත් ඒක රුපියල් 400කට වැඩි වෙන්න බෑ. මං මගේ සල්ලි කා එක්කවත් බෙදාගන්නෙ නෑ. පරී එක්කවත් නෑ.

‘රූණු අක්කා හරි හොඳයි,’ පරී කියනවා. ‘මටත් අක්කෙක් හිටියා නම් මං කැමතියි.’ ඊළඟට එයා ෆායිස් දිහා බලනවා. ‘ඔයා නම් වාසනාවන්තයි, ඔයාට අයියලයි අක්කා කෙනෙකුයි ඉන්නව නේ.’

‘ඒගොල්ල හොඳයි,’ ෆායිස් එයාගේ ඔළුව උඩ හිටගත්ත කෙස් ගස් වාඩිකරවන්න හදන ගමන් කියනවා. එයා අද මූණ හෝදලා නෑ. හුඟක් රෑ වෙනකම් වැඩකරපු නිසා වෙන්න ඇති, උදේ අම්මා, නැත්තං ෆර්සානා අක්කා හරි එයාව හොල්ලලා නැගිටුවන තුරු පෙරළි පෙරළි නිදාගෙන. පරී මගේ බොරුව ලේසියෙන්ම විශ්වාස කළා. සමහර විට මං හොඳ බොරුකාරයෙක් වෙන්න ඇති. මං ඒක දැනගෙන හිටියෙ නෑ නේ. රූණු අක්කා තරගෙකින් දිනපු කෑල්ල නම් බොරුවක් නෙවෙයි ඉතින්. එකම දේ, සල්ලි වෙනුවට එයාට ලැබුණේ අම්මා දොර මුල්ලේ පොට්ටනියට දාලා තියෙන සහතිකෙයි, රත්තරන් ආලේප කරපු පදක්කමකුයි තමයි. අම්මා ඒ පදක්කම දීලා ලීටර් දෙකේ සූරියකාන්ත තෙල් බෝතලයක් ගත්ත හින්දා රූණු අක්කා සෑහෙන දවසක් රෑට ඇඬුවා. ඒ හින්දා තමයි අම්මා එයාගෙ සහතිකේ රාමු කරලා දුන්නේ.

(පිටු අංක 86 සිට 93 දක්වා)

වගකීම් රහිතයි: © සුභාවි ප්‍රකාශන, 2023. මෙය ප්‍රකාශන හිමිකම් ඇවිරුණු ලියවිල්ලකි. ප්‍රකාශකයන්ගේ ලිඛිත අවසරයකින් තොරව උපුටන යොදාගැනීම, සහ/හෝ මුද්‍රිත/නිර්ස්පර්ශ මාධ්‍ය ඔස්සේ නැවත පළකිරීම සපුරා තහනම් වන අතර, එසේ කිරීමෙන් නීතිමය ගැටලු ඇතිවිය හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment