“පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“

අපි අපේ මූඩ් එක අනුව කරන දේවල් විටින් විට වෙනස් වෙනවා. කොටින්ම පොතක් කියවන්න ගත්තත් එහෙමයි. සමහර ඒවා ඒ වෙලාවට හරියන්නෙ නෑ. ඉන්න මූඩ් එකට සෙට් වෙන්නෙ නෑ. මූඩ් ෆික්ස් කරගන්න පොතක් කියවන්න අතට ගත්තත් පොතේ කවරෙ ඉඳන්ම හිතට වැදුනෙ නැත්නම් මූඩ් අවුට්. වැරැද්දක් කියනව එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් කියවන්න කලින් පොතේ කවරය දිහා වෙලාව අරන් බලන් ඉන්න එක මගේ පුරුද්දක්. ඇත්තෙන්ම ඒකට හේතුව පොතක් කියන්නෙම මට ආත්මීය හැඟීමක් ගෙනදෙන්නක් නිසා. කවරයෙන් විතරක් පොතක අන්තර්ගතය අපට තීරණය කරන්න බැරි වුනත්, පොතක කංචුක නිර්මාණය ඒ පොතේ අන්තර්ගතය යම් විදියකින් විද්‍යමාන කරන කැඩපතක් වගේම පාඨකයාව ලේඛකයාගේ නිර්මාණය කියවීම සඳහා යම් පෙළඹවීමක් ඇතිකරන සාර්ථක ප්‍රවේශයක් දැක්වීමක් හැටියට මං විශ්වාස කරනවා. (හැබැයි මං මේ කතා කරන්න යන්නෙ පොත් කවර නිර්මාණකරණය සම්බන්ධව නම් නෙමෙයි.)

ඔන්න පහුගිය දවසක Reading Planet ප්‍රකාශනයක් විදියට රශ්මික මණ්ඩාවල ගේ අලුත්ම නවකතාව- ‘ත්‍රිමූර්ති’ මගේ අතට පත්වුන වෙලාවෙත් මේ විදියට ම මං නොදැනීම කල්පනාවට වැටුනේ කංචුක නිර්මාණය කල විකුම් ජිතේන්ද්‍ර පොත ගැන දෙන ඉඟිය මොකක්ද කියලා හිතමින්.

කොළ පැහැයක් ගත් පසුබිම යම්කිසි විදියට යෞවනත්වයේ නැවුම් බව, සැහැල්ලුව වගේම පාඨකයාට ආමන්ත්‍රණය කරන ස්වභාවයක හැඟීමක් ඇති කලා. මදක් ඇලයට එක් පැත්තකට හැරී සර්පිලාකාර තරප්පු පෙළක් පාමුල පොළව මත හිඳගත් පිරිමි රුවේ සිතිවිලි වලින් බරවූ යම් විඩාබර බවක් වගෙම ඉහළින් ඔහු වෙතට විත් විසිරී යන රත් පැහැ රෝස මල් දෙස වේදනාත්මක ස්වරූපයකින් බලා හිඳින සේයාවක් පෙනෙන්නට තිබුනා. ඒක හරියට තමන්ට හිමිවෙන්න තියෙන ප්‍රේමය බලා ඉඳිද්දීම තමන්ගෙම නොසැලකිලිමත්කමින් ගිලිහිලා තමන්ට අහිමි වෙලා යනවා වගේ. ඒ මල් වැටෙන තරප්පු පෙළ ඉහළ බලන කොට ස්ථානගතව හිඳින කාන්තා රූප තුනක් දකින්නට තියෙනවා. ත්‍රිමූර්ති කියලා නම දාන්න මේ කාන්තා රූප තුනේ නියෝජනයේ යම් සම්බන්ධයක් තියෙනවා වගේ හිතෙනකොට සර්පිලාකාර පියගැට පෙළ සංකේතාත්මකව ඒකට යම් විදියක ගුප්ත බවක් ඇති කලා කියන්න පුලුවන්. හේතුව සාමාන්‍යයෙන් සිරස් පඩිපෙළකට නගින කොට අපිට ගමනාන්තයට ලං වෙන බව පේන්න තියෙන නමුත් සර්පිලාකාර හැඩය යම් පැටලිලි සහගත බවක් වගේම සත්වයාගේ පරිණාමය, ජීවන චක්‍රයක සංකේතයක් විදියටත් යොදාගන්න පුලුවන් නිසයි. නමුත් මේ පියගැට පෙළ දිහා ප්‍රතිවිරුද්ධ පැත්තෙන් බැලුවොත් ගැඹුරු හෙලකට දෙපා යොමා ගෙන හිඳිනා කාන්තාවන් තුන්දෙනා, පසෙකින් හිඳිනා පිරිමි චරිතය පුරාම මූර්තිමත් වුණ ඡායාදෝයි හිතෙන්නට ගන්නවා.

ඉතින් කොහොම හරි පිටු 208 කින් යුක්ත මේ නවකතාව එක හුස්මට දවසකින් කියවන්න පුලුවන් වුනත්, මං කියවලා ඉවර කරන්න ටික දවසක් ගත්තෙ හිතාමතාමයි. ඒ කියවලා ඉවර වෙලත් ‘ත්‍රිමූර්ති’ ගැන සටහනක් තියන්න මට සෑහෙන්න කල්පනා කරන්න වුනා. (මගේ මූඩ් එක එහෙම පිටින්ම අවුල් වුණාද මන්දා) ඒ කියන්නෙ මෙහෙමයි, ඕනෙම කෙනෙක් මේ පොත කියවගෙන යද්දි මණ්ඩාවල යොදාගෙන තියෙන සරල ලේඛන ශෛලිය වගෙම පොත කොටස් කරලා ඒ ඒ පරිච්ඡේදයට අදාල වන විදියේ ඔලුවට යන ටැග් ලයින් එකක් එහෙම යොදලා ඕනෙම වර්ගයේ පාඨකයෙක්ට පොත නීරස වෙන්නෙ නැති කියවීමේ අත්දැකීමක් ලබාදෙන්න හිතලා තියෙනවා. මණ්ඩාවල පොත බිම තියන්නෙ නැතිව එක දිගට කියවාගෙන යන්න පුළුවන් විදියට සකස් කරලා තියෙන්නෙ බොහෝ පිරිසක් අතරට ත්‍රිමූර්ති ගෙනියන්නම වෙන්න ඕනි. උඩින් පල්ලෙන් කියෙව්වොත් නම් මේක හරියට කියව ගන්නම බැරි වෙනවා. මොකද ප්‍රස්තාවනාව තමයි ගංගාවක් වගේ ඉදිරියට ගලායන මේ කතාව හරියට අල්ලගන්න පුලුවන් පළවෙනි තැන. ‘වෙලාව හයයි දහයයි’ ‘වෙලාව හයයි විසිපහයි’ ‘වෙලාව හයයි හතලිහයි’ කියමින් පටන් ගැන්මේ දීම නිරෝෂන් විදියට හදුන්වා ගත්තු ‘ත්‍රිමූර්ති’ කතා නායකයා වෙලාව අපිට මතක් කරන හැම සැරේකම මොකක්දෝ කම්පනයක් හිත තුල ඇති කරන්නෙ කතාව අවසානය දක්වාම දහන පෝෂකයක් විදියට ඉන්ධන යොදවමින්. පාඨකයාගේ හිත තුල කුතුහලය හ නොසන්සුන් කමක් ඇති කරන ඒ පටන්ගැන්ම සිනෙමැටෝග්‍රැෆික සීන්ස් ටිකක් වගේ පෙළට දිග හැරෙනවා. දුම්රිය මඟක පීළි එකම දිසාවකට ඇදුනත් ඒවා කිසිලෙසකින් එකට හමුනොවෙන බව යථාර්ථය වනවා වගේමයි මිහිදුම් දුමාරයෙන් වැසීගත් දුම්රියපොළ උදාහරණයට ගත්තම; නිරෝෂන් ගේ ජීවිතය හරහා ගමන් ගත් කිසිම දුම්රියකට ගොඩ වෙලා (තාවකාලිකව නතර වීම් විටින් විට වුනත්) ගමනාන්තයක් කරා යන්න එයාට බැරි වීම ඒ ප්‍රස්තාවනාවේ සඟවලා තිබුණ බව මට තේරුණේ, පොත කියවලා හමාර කරලා නැවතත් මුලට ආ වෙලාවෙදියි. විශේෂය වෙන්නෙ මේ කතාව පුරාම මට වරින් වර හරුකි මුරකමිගෙ කෘතිවල උපුටන වගේම එයාගෙ ප්‍රකාශත් මට ඔලුව ඇතුලෙන් තට්ටු කරන්න වීම. මුරකමි ඔහුගේ Blind Willow, Sleeping Woman කෘතියේ ලියනවා, ” මට වෙලාවකට හිතෙනවා මිනිසුන්ගේ හිත් හරියට ගැඹුරු ළිං වගේ කියලා. ළිං පතුලේ තියෙන දේ කවුරුවත් දන්නේ නැහැ. ඔයාට කරන්න පුලුවන් විටින් විට මතුපිටට පාවෙන දේ ගැන හිතින් හිතා ගැනීම තමයි.” කියලා.

ඇත්තටම ‘ත්‍රිමූර්ති’ ත් එහෙමමයි. සරලයි, ෆැන්ටසියක් වගේ කියලා කොහෙත්ම ඔයාට හිතා ගන්න බැහැ, එක හුස්මට කියවලා ඉවර කලත්. මේක පතුලක් නැති ළිඳක්. ඇත්තටම ‘පතුලක් නැති හෙලක්’ කිව්වත් හරි! හෙල වටේ මිහිදුම් දුහුල් සළුවකින් අපිව ඔතාගෙන පරිසරයේ සුන්දරත්වයෙන් අපිව වශීකෘත කරලා අන්තිමට ඒ හෙලටම අපිව තල්ලු කරලා දානවද? නැත්නම් අපිම කැමැත්තෙන් ම ඒ හෙල තුරුලට යනවද කියන එක ලිහා ගන්න බැරි පැටලවිල්ලක්!
මොකක් හරි හේතුවකට (ඒක පොත කියවලම හොයාගන්න!) පොතේ අවසාන භාගය සනිටුහන් කරන්න නිරෝෂන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම පිටියට සම්ප්‍රාප්ත වෙන රශ්මික මණ්ඩාවල කතාවේ ඉතිරිය කියන්න මෙන්න මෙහෙම දෙයක් එකතු කරනවා.

ටිබෙට්වල ආශ්‍රමයකට වෙලා භාවනා කරන නිරෝෂන්වත්, කැනඩාවේ කඳු අතරේ ඇවිදින නිරෝෂන්වත් විදියට නිරෝෂන් ගේ රූප දහස් ගාණක් මට මැවිලා පෙනුණා” කියන වැකියත් එක්කම මට පොතේ ප්‍රස්තාවේ දී දුම්රිය පොළේ සිතිවිලි අතර නිමග්නව නොපෙනී ගිය නිරෝෂන්, තැනින් තැන හට ගනිමින් බිඳි බිඳී යන නොනිමි සංසාර චක්‍රයේ සේයාවක ඉව දැනෙව්වා කියන්න පුලුවන්.

හැබැයි ප්‍රස්තාවනාවෙන් පසුව එන මුල් කොටස නිරෝෂන් ගේ නවයොවුන් වියේ ජීවිතයේ සිට යම් පරිණත අවධියක් දක්වා මුහුකුරා යන කාලසීමාවක සටහන් වන මුලු සිද්ධි දාමයම පොදුවේ ගත්කල සාමාන්‍ය බොළඳ තරුණ සිතිවිලි පාරාදීසයක් නැවත සිහි කැඳවීමක් ලෙස සනිටුහන් කිරීම, එකදිගට ඔහුගේ ජීවිතය හරහා හමායන ගැහැනු ආත්මවල ඇත්තේ යාම් ඊම් විතරක්මද, යන්නට වඩා වැඩිදෙයක් විය යුතු බව මට හිතුණා. මොකද හැමවිටම මණ්ඩාවල ගේ ලිවීම් සියුම්ව හැදෑරුවොත් ඔහුගේ සරල වැකි වල නිරන්තරයෙන්ම හිතාමතා සැඟවූ යටිපෙළ ගැඹුරු අර්ථ ගැබ්ව තිබීමයි.

නිරෝෂන්ට අනෙකා සමඟ සංවාදය ගැන පුරුදු කළේ සමාධි. නිරෝෂන්ට තමා එක්ක සංවාදය පුරුදු කළේ සඳුනි. අන්තිමට පරිසරය එක්ක සංවාදය පුරුදු කලේ ඉමාෂා. -පි.අ.200

මේ සම්පූර්ණ කතාවම තණ්හා, රති, රඟා ලෙසින් ත්‍රිත්වයකට ඛණ්ඩනය කිරීම හරහාත් මණ්ඩාවල පොදු මිනිස් සබඳතා වල පැවැත්මේදී මතුවන සංවේදී මෙන්ම සංකීර්ණතාවයන් තුලින් වරින්වර තමාව ම ප්‍රශ්න කරමින් සාකච්ඡා කිරීමට පාඨකයව පොළඹවන්නේ තම තමන්ගේ අතීත මනෝලෝක වලට නැවත නැවතත් රැගෙන යන අතරමයි. මිනිසුන් යමක් තමන්ට හිමිකරගන්නා තෙක් ස්වකීය ආත්මය සමඟම එකිනෙකා හා පොරබැදුවත්, අවසානයේ ඇතැම් සබඳතා ඇතිවීමට පෙර ගිලිහී යාම්, හිමිකර ගැනීමේ ආශාව පවා කැපකිරීමට සිදුවීම්, නිරායාසයෙන් ආකර්ෂණය වන ඇතැම් සබඳතා වලට වටිනාකමක් ඇති නොවීම නිසා වන මඟහැරීම් හා, හිමි වී නැවත අහිමිවූ බැඳීම්, මේ ආදී වශයෙන් තමන්ගෙ අම්මා, තමන්ගේ සමීපතම පවුලෙන් පටන් ගෙන මිනිස් ජීවිතයේ පවත්වාගෙන යන සියලු සබඳතාවන් පුද්ගලයෙක්ගේ පැවැත්මට, පෞරුෂයට කොයිතරම් බලපෑමක් කරනවාද යන්න නිරෝෂන් ගේ ජීවිතය කියවාගෙන යාමේදී එහි මුල් භාගයේ සමාධි, සඳුනි, ඉමාෂා සිට චත්‍රිකා දක්වා යන චරිත සමඟ ඔහු කරනා ගණුදෙනු සම්බන්ධයෙන් පැහැදිලි වෙනවා. ඒකටම හරියන්න නිරෝෂන් ගේ ජීවිතය කියවීම හරියට කසුන් කල්හාර ගායනා කරන “අතීතයෙ මා පෙම් බැඳි ලියන්ටයි මේ ගීය ගයන්නේ” කියන ගීයේ පද පෙළ යස අපූරුවට ගැලපෙනවා කියලත් හිතෙන්න පටන් ගත්තත් මං කලින් කිව්ව විදියට මිනිසුන්ගේ ඇතුලාන්තය තමන්ට ම විනිශ්චයට ඉඩ සලසවන වෙනස්ම ක්‍රියාන්විතයක් විදියට තමයි කතාව ගලාගෙන යන්නෙ. කිසිම කෙනෙක්ට ඒක එහෙම නෙමෙයි කියලා මිදෙන්න බැහැ.

ඒ වගේම මට මතකයට නැගෙනවා තවත් වතාවක මුරකමි එයාගෙ Dance Dance Dance කෘතියේ මෙන්න මෙහෙම කියනවා, “මිනිස්සු හැමදාම මැරෙනවා. ජීවිතය අපි හිතනවාට වඩා ගොඩක් බිඳෙන සුළුයි. ඒහින්දා ඔයා අනිත් අයට සලකන්න ඕනි පසුතැවිලි නොවන විදියට. සාධාරණව, වගේම පුලුවන් නම්, අවංකව.” ඇත්තටම මණ්ඩාවල ‘ත්‍රිමූර්ති’ කතා නායකයාගෙ භූමිකාවට පණ පොවන නිරෝෂන් ගෙ චරිතය නිර්මාණය කිරීමේදීත් බොහොම පරිස්සමින් කෙලිලොල් බවට එහා ගිය මානුෂීය ගතිපැවතුම් වලින් යුක්ත තරුණයෙකුගේ ලක්ෂණ සියුම්ව ගැබ් කර තියෙනවා. නිරෝෂන් ප්‍රේමය සම්බන්ධයෙන් ඔහුගේ හැඟීම් මෙහෙයවන ආකාරය, විඳ දරා ගැනීම්, අනේකවිධ කැපකිරීම්, ජීවිතය පිළිබඳව ඔහු ගන්න තීන්දු තීරණ හැම දෙයක්ම ස්වකීය සුඛ විහරණය නොතකා අනෙකාගේ යහපත වෙනුවෙන් කටයුතු කල නොයෙකුත් අවස්ථාවලින් තහවුරු වෙනවා.

ජීවිතය මහා දාර්ශනික අඛ්‍යානයකින් ලියන්න පුලුවන් වගේ ම හරි සරල සිදුවීම් වලිනුත් ලියන්න පුලුවන් බව දැන් මට තේරෙනවා. අපේ ක්ෂුද්‍ර ජීවිතය බැඳිලා තියෙන මහා විශ්වීය දේවල් අඩංගු වන්නේ කුඩා දේවල් ඇතුලෙ කියලා කියමනක් තියෙනවා. -පි.අ.65

ඇත්තෙන්ම නිරෝෂන් ගේ චරිතය අනෙකුත් සෙසු සහාය චරිතයන් මනාව හසුරවන්නේ එයාටම අනන්‍ය සහකම්පනයයි. නිරෝෂන් ගේ දැක්ම, සංවේදී බව කෙනෙකුට දුර්වල කමක් විදියට හිතෙන්න පුලුවන් වුනත් එය සැබෑව නොවේ. ඒක තහවුරු කරන්න මුරකමිගෙ මේ ප්‍රකාශය හොඳටම ගැලපෙනව කියලා මට හිතෙනවා.

“මං හොයන ශක්තිය ඔබ දිනන හෝ පැරදෙන වර්ගය නොවේ. මම පිටතින් එන බලය පලවා හරින පවුරක් පසුපස හඹා යන්නේ නැහැ. මට අවශ්‍ය වන්නේ එවැනි බලයක් අවශෝෂණය කර ගැනීමට, එයට එරෙහිව නැගී සිටීමට හැකි ආකාරයේ ශක්තියක්. අසාධාරණය, අවාසනාව, දුක, වැරදි, වැරදි වැටහීම්-ආදී දේවල් නිහඬව විඳදරාගැනීමේ ශක්තිය.”


ඊට අමතරව කතාවේ අතිරේක චරිතයන්ගෙන් සුරලි නැන්දාගේ චරිතය ප්‍රබලව ඉස්මතුවී තරමක් දුරට ඉදිරියට ආවත් නිරෝෂන් ගේ කතාවේ සැබෑ ත්‍රාසය හා කුතුහලය තව දුරටත් පවත්වාගෙන යන්න ඒ අතිරේක චරිතය වල විකසනය ඉතාම සංයමයෙන් මණ්ඩාවල හසුරුවා තියෙනවා කියන්න පුලුවන්.


අනිත් දේ තමයි ජීවිතය සම්බන්ධයෙන් මිනිස්සු ප්‍රබල තීන්දු තීරණ වලට අවතීර්ණ වෙනකොට ඒ අයගෙ ගමන්මගේ දිශානතිය වෙනස් කරන්නත් තමා ඇසුරු කරන එදිනෙදා පරිසරයෙන් මිදිලා රේස් දිවීම මදකට නවත්තලා සොබාදහමට වැඩි වැඩියෙන් ආකර්ශනය වීමත් ඒ ඇසුරෙන් විසඳුම් සෙවීමේ වෙනස්ම මගකට අවතීර්ණය වීමත් දකින්න පුලුවන්. ‘ත්‍රිමූර්ති’ වඩා සංයමයෙන් කියවුවොත් මේ ටික අල්ල ගන්න පුලුවන් නිරෝෂන් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ගත්ත තීරණ එක්ක.

ජීවිතය යළිත් සංචාරයකට අවතීර්ණ ව ඇත. එදා මෙන් ම අදත් ගොළුබෙලි ගමනින් ඇදෙන බස් රථයක මම වාඩි වී සිටිමි. දැන් බස් රථය අවතීර්ණ ව ඇත්තේ පයිනස් ලෝකයකටය. පෙරදී ඈතින් දිස් වූ කඳු වැටි වෙනුවට දැන් මුළු මහත් ලෝකයම පයිනස් යායක් බවට පත්ව ඇති අයුරකි. දැඩි සීතල, කවුළුවෙන් මා සියොළඟම ඇවටෙන්නේ සීතල ස්පර්ශයක ආස්වාදය මෙන්ම කටුක බවද එක්තැන් කරමිනි. පයිනස් තුරු අතරින් එබෙන්නට වෑයම් කරමින් හිරු මවන ආලෝක ලප මාර්ගය පුරා මවන්නේ අපූරු රටාවකි. ආලෝක කැබලිති ය. ජීවිතයේ කැබලිති මෙන්‍ ය. දැන් මාර්ගය වියමන්ව ඇත්තේ ආලෝක ලප සහ අඳුරු ලප සම්මිශ්‍රණයකිනි. හරියට ම ජීවිතය මෙන්‍ ය.

දියතලාවට පිවිසෙන විට හිරු බැස යමින් තිබිණි. යා යුත්තේ කොහේදැයි අදහසක් මට නොතිබිණි. -පි.අ.190-191

දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් විදියට ලංකාවේ සැරිසරන්න ලොබකම් හිතෙන බන්ඩාරවෙල, දියතලාව, ඔහිය, නුවර, මාතලේ, නුවරඑළිය ආදී සොබා සෞන්දර්යයෙන් පොහොසත් ප්‍රදේශ වල කරන සංචාර වගේම පරිසරය පාඨ්කයාට වඩා සංවේදී කරවීමට ඒ ඒ අවස්ථාවන් වලට ගැලපෙන කවි, ගීත ඛණ්ඩ එක් කිරීම ‘ත්‍රිමූර්ති’ කියවීම ප්‍රිය වෙන්න තවත් එක හේතුවක් වෙනවා.

සීතල හුළඟ කපාගෙන බයිසිකලේ ඉස්සරහට ඇදෙනවා. ෂෝලේ චිත්‍රපටියේ සින්දුවක් මට මතක් වුණා. හේ දෝසති.. හම් නහී තෝඩඟේ…. පොඩිකාලෙ ෂෝලෙ බලද්දි ධර්මේන්ද්‍රයි, බච්චනුයි වගේ දවසක බයිසිකලේක නැගල යන්න ආසාවක් තිබුනා. මේ වගේ තීරණාත්මක ගමනක් එහෙම යන්න ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ. ටිකෙන් ටික උඩට යද්දි සීතල වැඩි වෙන්න ගත්තා. අව්‍ රැල්ල කඳුමුදුන්වලට පාත් වෙලා ඒවායෙ කොළ පාට ලා කහ පැහැයකට හරවමින් තියෙන අතරේ උස් තුරු මුදුන් යායට පේනවා. කඳු බෑවුම්වල හදපු ගෙවක් පුංචි ගිනි පෙට්ටි වගේ අහුවෙන දර්ශනය අමතක නොවෙන එකක්. ජීප් එජේ ගමනට වඩා මේ ගමනෙ පුදුම සනීපයක් දැනෙනවා. පරිසරය එක්ක බදධ වුනු ගමනක්. තේ වතු මැද්දෙන් යනකොට දකින සුන්දර දර්ශනය. තේ දළු කඩාගෙන යන කාන්තාවෝ. ඒ අයගෙ වැහැරුණු සිරුරු.සුන්දරත්වය තුල පවතින අපි නොදකින, අපි දකින්න අකමැති අසුන්දරත්වය. පරම්පරා ගාණක් විඳවන ඒ අසාධාරණය. මේ සියල්ල මගේ හිතේ ඇඳිලා ගියා. -පි.අ.117

පාරිසරික සුන්දරත්වය සඟවන ඇතැම් ජීවිත වල අඳුරු පැතිකඩවල් පවා නිරෝෂන් ගේ ආත්මීය සංවාද වල කැපී පෙනෙන්න තියෙනවා.

අපේ හැඟීම් වලට පරිසරය කොයිතරම් නම් බලපෑමක් කරනව ද කියලා මට හිතුණා. පරිසරයත් අපිත් අතර තියෙන මේ සම්බන්ධය සියුම්.ඇල්බෙයා කැමූගේ පිටස්තරයා පොතේ මාර්සෝට ඒ ඝාතනය කරන්න හේතුවෙන්නේ දැඩි හිරු රශ්මිය කියන කාරණය අපිට ලේසියෙන් බැහැර කරන්න බැහැ. කැමූ ඒක ලියන්නෙ එහෙම. -පි.අ.124

ඊට අමතරව මේ කතාවේ හමුවන ‘චත්‍රිකා’ කියන චරිතය හමුවීම නිරෝෂන් ගෙ ජීවිතය වෙනස් වන හැරවුම් ලක්ෂය වුනා කියන්න පුලුවන්. කතාව මතුපිටින් ගත්තම ඇය ‘ත්‍රිමූර්ති’ යේ අභිරහස මතුපිටට ගෙනෙන ප්‍රබල චරිතයක් වුවත් මට හැඟුනු දෙයනම් ‘හෙල’ කියන සංකේතය ඇසුරෙන් චත්‍රිකා විශ්වය හා නිරෝෂන් ව සන්නිවේදනයට මෙහෙයවන්නට බාහිර අවකාශය හා ඒකාත්මික වන ඔහුගේම එක් ඉහළ අධිසංවේදන මනෝභාවයක් විය හැකි බවයි.

කතාවේදී චත්‍රිකා වරින් වර චරිතයක් විදියට කිහිප දෙනෙකු දැක ඇති, හමු වුණු යම් ගුප්ත ආකර්ශනීය බවක් තියෙන තරුණියක් වුනත් සියුම් කියවීමකදී නිරෝෂන් හා චත්‍රිකා අතර ඇතිවන අදහස් හුවමාරු වීම් වලදී ‘චත්‍රිකා’ ඇත්තෙන්ම හෞතිකව අපට පුද්ගල ස්වරූපයෙන් මුණගැහෙන කෙනෙක්මද කියන එක ගැටළු සහගතයි. ඒක එහෙම නොවෙන්න පුලුවන් මට දැනෙන විදියට.

චත්‍රිකාව විශ්වාස කරනවද? නැද්ද? මේ උභතෝකෝටිකය ඇතුළෙ ඉද්දි මගේ ඔළුව කැරකෙන්න ගත්තා. මේ ගැඹුරු සත්‍යයට පිවිසෙන්න නම් ඉතාම අමාරු බව මට වැටහුණා. චත්‍රිකා එහෙම ලේසියෙන් තමන් තුළ ට පිවිසෙන්න ඉඩ දෙන කෙනෙක් නෙමෙයි. එයා බලය පතුරුවන චරිතයක්. තමන් තුළම ප්‍රාකාරයක් ගොඩනගාගෙන ඒක ඇතුළෙ ආරක්ෂාව හදාගන්න කෙනෙක්. හැබැයි එයා ඒක ඇතුළෙම හිරවෙලා වගේ මට දැනුණේ. ඒත් කෙනෙක් ව විනිශ්චය කරන්න අපිට කිසිම අයිතිවාසිකමක් නැහැ. මොකද හිරවෙලා ඉන්නෙ අපි ද කියලත් අපි දන්නෙ නැහැ. විශ්වයේ තියෙන තාරකා, චක්‍රාවාට, මන්දාකිණි වගේ ගොඩක් දේවල් ගැන දැනගත්තාට අපි තාමත් මිනිස් මනස ගැන දන්නෙ බොහොම සුළු දේවල් ටිකක්. -පි.අ.120

ඉතින් මේ නවකතාව රසවිඳින්න නම් හරියට නිදහස් මනසකින් කියවන්න ඕනි. මොකද කියවලා ඉවර වුනත් සමහර විට ඇත්තටම මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරි ප්‍රශ්නය ඇති වෙන්න පුලුවන්! ඇත්තටම නිරෝෂන් අපිට කියන්න හැදුවෙ මොකක්ද?

ඒ ගැන ඉඟියක් දෙනවනම් මෙන්න මේ වගේ දෙයක්…
“කුණාටුව හමාර වුනාම, ඔයා ඒක කොහොමද කලේ, ඔයා ජීවිතය බේරගන්න දක්ෂ වෙච්ච විදිය ඔයාට මතක නැහැ. කුණාටුව ඇත්තටම ඉවර වෙලාද කියලා ඔයාට විශ්වාසයක් නැහැ. ඒවුනත් එක දෙයක් ස්ථිරයි. ඔබ කුණාටුවෙන් එළියට එනකොට ඉන්නෙ, ඔයා ඒක ඇතුළට ගිය පුද්ගලයාම නෙවෙන එක. මේ කුණාටුව ගැන කියන්න තියෙන්නෙ ඔන්න ඔච්චරයි.” – හරුකි මුරකමි/ කෆ්කා මුහුදු වෙරළේ.

නිරෝෂන් කියන්නෙ මේ විදියට ,
“ජීවිතය අහිමි කරගෙන ජීවත් වීම කළ නොහැක්කක් වුවද මම එය භාර ගනිමි.”

ඔබව නොඇසී
ඔබව නොදුටූ
දින සති ගෙවේ
දුරම හිඳිමී
ළඟට නොඑමී
ඔබට පැවසූ
ලෙසම හිඳිමී
ඔබම කියුවත්
මින් මතු නොඑමී…

ජීවිතය යනු සෑම මොහොතකම ජීවත්වීම බව මම දැන සිටියෙමි. මොහොත, නිමේෂය වැදගත් ය. අතීතයට එකතු වන්නේත් , වර්තමානය බවට පත්වන්නේත්, අනාගතය වන්නේත් නිමේෂයමය. -පි.අ.189

පොඩි උපදෙසක්: කවදාවත් පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න උත්සාහ කරන්න එපා!

ඉතින් ඔබ දැනටමත් ‘ත්‍රිමූර්ති’ කියවලා තියෙනවා නම් මං යෝජනා කරනවා ආයෙමත් වතාවක් කියවන්න, ඔබට තවත් වෙනස් විදියකට කතාව ගැන යම් හැඟීම්ක් ඇතිවේවි!

කියවලා නැත්නම්, කියවන්න එපා! ඇයි කියලා නම් අහන්න එපා!


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment