“පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ මාව ගෙදරින් පැන්නුවා” – චාරු නිවේදිතා

ප්‍රසන්න ලෙස සිනාසෙන චාරු නිවේදිතා, හාපර්කොලින්ස් ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ ‘ලේඛකයන් 50ක් – කෘති 50ක්: හොඳම ඉන්දියානු ප්‍රබන්ධ’ නැමැති ලැයිස්තුවට ඇතුළත්වන, දෙසීද්‍ර ෆ්ලෙමිං විසින් ‘චේතන් භගත් සහ දුර්ජෝයි දත්තා වෙනුවට ඔබ කියවිය යුතු, වඩාත් අප්‍රසිද්ධ එහෙත් අතිශයින් පුදුමසහගත ඉන්දියානු ලේඛකයන් පහලොස්දෙනා’ ගේ ලැයිස්තුවේ සිටින, ද ඉකොනොමික් ටයිම්ස් විසින් නම්කළ ‘2001-2010 දශකයේ හොඳම ඉන්දියානුවන් දසදෙනා’ අතරට ඇතුළත්වන, එහෙත් ඔහු උපන් තමිල්නාඩු ප්‍රාන්තයේ නිල නොවන වෛරයකට වඩාත්ම පාත්‍රව සිටින ලේඛකයා බවද පැවසේ. ඔහුගේ පශ්චාත් නූතනවාදී, සීමාතික්‍රමණික (transgressive) සාහිත්‍යකරණය තමිල්නාඩු ප්‍රජාවගේ සමාජීය සීමාබන්ධනවලට පහර දී සීසීකඩ කිරීම මීට හේතුව බව චාරු නිවේදිතාගේ අදහසය.
ශ්‍රී ලංකාවේ දිගහැරෙන ප්‍රබන්ධයක් වන සිය අළුත්ම නවකතාවේ අවසාන පියවර කිහිපය නිම කිරීමට මේ දිනවල මෙරටට පැමිණ සිටින චාරු නිවේදිතා මගේ පළමු ප්‍රශ්නය පිළිගන්නේ සිනාමුසු මුහුණිනි.

ඔබේ සාහිත්‍ය නාමය වන ‘චාරු නිවේදිතා’ උතුරු ඉන්දියානු නමක් විදියටයි පේන්නේ. ඒත් ඔබ ඇත්තටම දකුණු ඉන්දියානුවෙක්. එවැනි සාහිත්‍ය නාමයක් භාවිත කරන්න විශේෂ හේතුවක් තිබෙනවද?

ඔව්, සත්තකින්ම. මම ලියන්න පටන් ගත්තෙ නවයොවුන් වියේදි – වැඩිපුරම අධ්‍යාත්මික රචනා. ඒවා පළවුණේ අධ්‍යාත්මික සඟරාවල, නිවේදිතා කියන නමින්. නිවේදිතා කියන්නේ ස්වාමි විවේකානන්දගේ අනුගාමිකයෙක්. ඒ කාලේ ඉඳලා වයස 25 වනතුරු මම ස්වාමි විවේකානන්දගේ දර්ශනය දැඩි ලෙසම අනුගමය කළා. ඉන් පස්සේ මට හදිසියේම මුණගැහෙනව නැක්සලයිට්වාදී සන්නද්ධ සටන්කාමියෙක්. ඔහු මාව මාක්ස්-ලෙනින්වාදියකු බවට පරිවර්තනය කරනවා. මෙතැනදි මට අහන්න ලැබෙනවා නැක්සලයිට් ව්‍යාපාරයේ ආරම්භකයා, චාරු මජුම්දාර්ගේ නම; ඔහු චේ ගුවේරා වගේ කෙනෙක්. ඒ වෙනකොට මම අදේවවාදියෙක් බවට හැරිලා හිටපු නිසා ‘නිවේදිතා’ නමින් හැඳින්වෙන්න කැමැත්තක් තිබුණෙ නැහැ. ඉතින් මම නිවේදිතා යන නමට සන්නද්ධ ක්‍රියාධරයෙක් වූ චාරු මජුම්දාර්ගේ නමේ මුල් කොටස එකතු කරගත්තා. මේ දෙකම බෙංගාලි නම්.

ප්‍රබන්ධයක් ලියන්න ඕනෑය කියා ඔබේ සිතට මුලින්ම දැනුණේ මොන වගේ කාලයකද? ඊට හේතු වුණ කාරණා තිබෙනවද?

වයස හත, අට, නමය වගේ වෙද්දි මම සෞඛ්‍යසම්පන්න වුණාට මොකද, අනිත් ළමුන්ට වැඩිය දුබල, කෙට්ටු ළමයෙක්. ඒ හින්දා අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියේ නෑ. අන්තර්වර්තිකයක් වුණු මම තනිවම හිටියා. අද වගේ නෙවෙයි අවුරුදු හැටකට විතර ඉස්සර, කාලය ගතකිරීම කියන්නේ ළමයෙකුට බොහොම අභියෝගාත්මක දෙයක්. විශේෂයෙන්ම පිරිමි ළමයෙකුට; මොකද ගැහැනු ළමයින්ට ගෙදර විවිධ වැඩපළ කරන්න තිබුණා. ඉතින් මට සිදුවුණා කාලය ගතකිරීමේ විධියක් සොයාගන්න. මම පොත්පත්වලට යටත් වුණා.

වාසනාවට මේ කාලේ ද්‍රවිඩියානු ව්‍යාපාරය හරහා පුස්තකාල, කියවීම් ශාලා ආදිය බහුල වුණා. අපේ ගමෙත් කියවීම්හල් හතරක් පහක් වගේම රජයේ පුස්තකාලයකුත් බිහිවුණා. පොත්වලින් පිරුණු ඒවා මාව ප්‍රබන්ධ ලෝකය තුළට ඇදගත්තා. ඉතින්, මම වයස 14 හෝ 15 වෙනකොට ලියන්න පටන් ගත්තා – ඒවා රහස් පරීක්ෂක කතා. ඊට පස්සේ, වයස 18, 19 කාලෙදි මම බැරෑරුම් සාහිත්‍යයට සහ අධ්‍යාත්මිකත්වයට යොමු වුණා. ඔන්න ඔහොමයි මම ලියන්න පටන් ගත්තේ. අවුරුදු 25 විතර කාලේ මම ‘කනයාඩි’ කියන සාහිත්‍ය සඟරාවට ලිව්වා. මගේ මුල් කෙටිකතාවටම පදනම් වූ මාතෘකාව වුණේ ව්‍යභිචාරය. මට පියෙක් වගේ හිටපු මේ සඟරාවේ සංස්කාරක අශෝකමිත්‍රන්ට මම කතාකරන මාතෘකා ගැන සතුටක් නොතිබුණත්, ලිවීම සම්බන්ධයෙන් මාව දිරිමත් කළා. මම දිල්ලියේ සිටි කාලේ මදුරාසියේ සිටි ඔහු මගේ හැම නිර්මාණයක්ම දිරිමත් කරලා තැපැල්පතක් එව්වා. පසු කාලෙක මම මදුරාසියෙදි ඔහු බලන්න ගිය වෙලාවෙ, “උඹ ඉස්සර නම් හුඟක් හොඳට ලිව්වා. මොනවද මේ දැන් ලියන්නේ? ඒවා නම් කිසි කමකට නැහැ, මට මොනවත් තේරෙන්නෙ නැහැ,” කියල මට කිව්වා (සිනාසෙයි). ඒක මම බාරගත්තේ, මං යන්නේ හරි පාරේ බව දන්වන ආශීර්වාදයක් විදියටයි.

එතකොට, ඔබ මුලින්ම නවකතාවක් ලිව්වේ කොහොමද?

මට ඕන වුණේ මගේම ළමාවිය ගැන ලියන්න. හැමෝටම තමන්ගෙ ළමාවිය විශේෂයි. මම උපන්නේ, හැදුණේ වැඩු‍ණේ මුඩුක්කුවක. මගේ අම්මගෙ අම්මා ඉන්දියාවට ඇවිල්ලා තිබුණේ දෙවැනි ලෝක යුද්ධ කාලේ බුරුමයේ ඉඳලා පා ගමනින්. අපේ පවුලේ ළමයි හයදෙනෙක්. පාසලේදි මට හොඳ ලකුණු තිබුණත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයෙදි මම සියළුම විෂයයන් අසමත් වුණා, ද්‍රවිඪ භාෂාවත් ඇතුළුව. මම පාසලෙන් ගිලිහුණා. මගේ බාලම නංගි මිනිහෙක් එක්ක පැනල ගියා. ඔහු ඈව ගණිකා මඩමකට විකිණුවා. ඈ නගරයේ ප්‍රසිද්ධ ගණිකාවක් බවට පත්වුණා. මට ඕන වුණා මේ හැම කෙනෙකුගේම ජීවිතය නවකතාවකට ගේන්න. මේ නවකතාව මම නම් කළේ Existentialism and T-shirt (ස්වනිර්ණිතපැවතුම්වාදය සහ ටීෂර්ට්) යන නමින්. ඒ නවකතාවෙන් පස්සේ මගේ පවුලේ උදවිය මාව පවුලෙන් පිටමං කළා. ඊට පස්සේ ඔවුන් එක්ක කිසිම සම්බන්ධකමක් තිබුණෙ නැහැ.

ඉන් පස්සේ දිල්ලියට ගිය මම, සෑහෙන කාලයකට පස්සෙ මදුරාසියට ඇවිත් තවත් නවකතාවක් ලිව්වා. ඒ තමයි බොහොම ප්‍රසිද්ධියට පත් වුණ Zero Degree (අංශක බින්දුව) නවකතාව. මුල් නවකතා දෙක අතර අවුරුදු 15ක් පමණ කාලයක් මම මිචෙල් ෆූකෝ ගැන, ඩෙරීඩා ගැන, පශ්චාත් නූතනවාදය ගැන මගේ කියවීම, ඉන්දියානු දර්ශනය ගැන දාර්ශනික ලිපි වගේම චිත්‍රපට විචාර, විශ්ව සංගීතය වගේ දේවල් ගැන නිර්ප්‍රබන්ධ ලිපි ලිව්වා. මම ලිව්වේ හරියට යකෙක් වගේ. මට දැන් හිතෙනවා ඒවා වෙනුවට මම නවකතා ලිවිය යුතුව තිබුණා කියල.

මාකී ද සාද් සහ ආන්දාල් ඔබේ ජීවිතයට බලපෑ චරිත දෙකක්. මොන විදියේ බලපෑමක්ද ඔවුන්ගෙන් ඔබට ලැබුණේ?

මාකී ද සාද් ප්‍රසිද්ධ ප්‍රංශ ලේඛකයෙක්. ඔහු ලියුවා පමණක් නෙවෙයි, ලියූ ආකාරයටම ජීවත් වුණා. ලියූ දේවල් නිසා හිරගත කරනු ලැබුවා. නැපෝලියන් ඔහුගේ හොඳ මිතුරකු වුණත්, සාද් කළ අපරාධවලට හිමිවූ දඬුවම්වලින් ඔහුව ගලවාගන්න හැකිවුණේ නැහැ. ඔහු ලියූ සියල්ලම පාහේ පුළුස්සා දමනු ලැබුවත් සමහර දීර්ඝ නවකතා ඉතිරි වුණා. සාද්ගේ නවකතා අවුරුදු 150ක් තිස්සේ ප්‍රංශයේ තහනම් කර තිබුණා. වධදීම් සහ මරාදැමීම් ගැන මාකී ද සාද් ලියූ දේවල්, දෙවැනි ලෝක යුද්ධයෙදි මිලියන අනූවක් පමණ මිනිසුන් මරා දමමින් හිට්ලර් මහා පරිමාණයෙන් සිදුකළා. සතුන් තුළ නැති, මිනිසා තුළ තිබෙන මේ ක්‍රෑරත්වය ගැනයි මාකී ද සාද් ලිව්වේ.

ආන්දාල් 7වැනි සියවසේ ජීවත් වූ සාන්තුවර-කිවිඳියක්. ළමා අවධියේම දෙමව්පියන් අහිමිව සිටි ඈට හිමිව තිබූ අතිශයින් අලංකාර කවි පබැඳීමේ දක්ෂතාව හිතාගන්නවත් බැහැ. ඒ සියල්ලම ඈ ලිව්වේ ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන්. පුහුණුවක් නැතිව මෙවැන්නක් කරන්න පුළුවන් වෙන්නේ සුධීමතකුට පමණයි. මම ආන්දාල්ගේ දීප්තිමත් භාෂාව, ශෛලිය, කවීත්වය, සුසංවාදය, තාලය, සංගීතය වැනි දිදුලන පැතිකඩ ගුරුකොට ගත්තා. මිනිස් මනසේ අඳුරු පැත්ත, එහි දුරවබෝධබව, පරස්පර විරෝධීතාව, හැඟීම් ආදී දේ මා ලබාගත්තේ මාකී ද සාද්ගෙන්.

ඔබ හාපර්කොලින්ස් ප්‍රකාශකයන්ගේ හොඳම ඉන්දියානු ප්‍රබන්ධ සහ කතුවරු 50 ලැයිස්තුවේ සිටිනවා. 2001-2010 දශකයේ හොඳම ඉන්දියානුවන් දසදෙනා අතර ඉන්නවා, දෙසීද්‍ර ෆ්ලෙමිංගේ විස්මයජනකම ඉන්දීය කතුවරු 15 ලැයිස්තුවේ ඉන්නවා. ඒත් ඔබේ කෘතිවලට තමිල්නාඩුවේ තහනමක් තිබෙනවා. ඇයි ඒ?

ඒක සාමාන්‍ය අර්ථයේ තහනමක් නෙවෙයි. තහනම් කළානම් මා මීටත් වඩා ජනප්‍රිය වෙනවා, පෙරුමාල් මුරුගන් වගේ. ඔහුට වගේ මරණ තර්ජන මට නෑ. තමිල්නාඩු සමාජය මට නිල නොවන තහනමක් පනවලා තියෙන්නෙ. මගේ නම කිසිදු අධ්‍යාපන ආයතනයක කියවෙන්නෙ නෑ. කිසිදු මහාචාර්යවරයෙක් මගේ නම දන්නෙ නෑ. සාහිත්‍ය ප්‍රජාව මගේ ලිවීම් නොසලකාහැර තිබෙනවා. කිසිදු විවේචනයක්, පහර ගැසීමක් කරන්නේ නෑ. එහෙත් කේරළයේ ජනයා මගේ ලිවීම් සලකන්නේ ඔවුන්ගේම දෙයක් හැටියට. 2001-2010 දශකයේ හොඳම ඉන්දියානුවන් දසදෙනා අතරට මාව ඇතුළු කළ ඉකොනොමික් ටයිම්ස් සඟරාවේ කතුවරයාත් මලයාලි ජාතිකයෙක්.

ඔබ මත්පැන් බොනවා කිව්වොත් තමිල්නාඩුවේදි සැලකෙන්නේ ස්ත්‍රී දූෂකයෙක් තරම් නරක විදියට. ඉතින් ඔබ හිතන්න මා ලිංගිකත්වය ගැන කතා කරන විට ඔවුන් මට කොහොම සලකාවිද කියල. ද්‍රවිඪ සමාජයේ බරපතලම අපරාධය, පාපකර්මය හැටියට සැලකෙන්නේ ලිංගිකත්වය ගැන කතාකිරීම. ඔවුන් මා නම්කර තිබෙන්නේ ලිංගික කතා ලියන්නකු හැටියටයි.

ඔබ කියන විස්මයජනකම ඉන්දීය කතුවරු 15 දෙනාම, විශේෂයෙන්ම අමිත් චෞද්රී, සුකෙත් මෙහෙතා, කරන් මහජන් මා සලකන්නේ මා එක්ක එකටම ගමන් කරන සහෝදර සහෝදරියන් හැටියට. ඔය ලැයිස්තුවට මම තව දෙන්නෙක් එකතු කරන්න කැමතියි; තරුන් තේජ්පාල් සහ ෂර්මිස්තා මොහන්ති. ඉන්දියාවේ මොවුන්ගේ නවකතා නොදන්නවා වුණාට, විදේශවල ඔවුන් ජනප්‍රිය කතුවරු.

ඔබේ ප්‍රියතම නවකතාකරු කවුද?

මරියෝ වර්ගාස් යෝසා. ඔහු මා වගේ සීමාතික්‍රමණික නවකතාකරුවෙක් නෙවෙයි, කාලෝස් ෆුවෙන්තේස් වගේ, අලෙහෝ කාපෙන්තියේර්, ඔක්තේවියෝ පාස්, නිකනෝර් පාරා වගේ බෑරෑරුම් නෑ. එහෙත් ඔහුගේ ලිවීමට මම කැමතියි.

ද්‍රවිඪ බසින් ලියූ ඔබේ කෘති බොහෝ ගණනක් අතරින් ඉංග්‍රීසියට පරිවර්තනය වී තිබෙන්නේ නවකතා තුනක් (Zero Degree, Conversations with Aurangzeb, Marginal Man) සහ කෙටිකතා සංග්‍රහයක් (Morgue Keeper) පමණයි. ඔබේ කෘති කියවා නැති කෙනෙකුට මුලින්ම කියවීමට ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?

‘ඕරංග්සේබ්’ වලින් පටන්ගන්න. මොකද අනික්වා චරිතාපදානීය ප්‍රබන්ධ. Zero Degree මුලින් කියෙව්වොත් බියවෙන්නත් පුළුවන්. Marginal Man කියන්නෙ බියජනක දේවල්, ලිංගික කාරණා ආදිය තිබෙන නවකතාවක්. ඒත් මම ඕරංග්සේබ් චරිතය ලිව්වේ බොහොම විනෝදකාමී විදියට. හැබැයි, Marginal Man යම් දිනෙක ඔබ කියවිය යුතු නවකතාවක්.

ඔබේ ජීවිතයට බලපෑමක් ඇතිකළ ග්‍රන්ථයක් තියෙනවද?

දැන් අවුරුදු පහළොවක විතර ඉඳලා මම නැවතත් දෙවියන් විශ්වාස කරන්නෙක්. මාව ආපසු මෙතැනට ගෙන ආ පොත් තුනක් තිබෙනවා. ඉන් පළමුවැන්න තාහර් බෙන් ජෙලෝන්ගේ The Blinding Absence of Light (ඇස් කණවෙන අන්ධකාරය) කියන නවකතාව. දෙවැන්න තමයි පරමහංස යෝගානන්දගේ An Autobiography of a Yogi (යෝගිකුගේ ස්වයංචරිතාපදානය). තුන්වැන්න තමයි රොබට් ස්වොබෝදාගේ Aghora, At The Left Hand of God (අඝෝරා, දෙවියන්ගේ වමත්සව්) නැමැති තුන් ඈඳුතු කෘතියේ පළමු කොටස. මේ පොත් තුන තමයි මගේ ජීවිතයට සහ චින්තනයට වැඩිම බලපෑමක් කළේ. මේ පොත් කියවන ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ඒවායේ බලපෑම අනිවාර්යයෙන්ම දැනේවි.

-චාරු නිවේදිතා සමග සාකච්ඡාකොට සකස් කළේ මොහාන් ධර්මරත්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment