ප්‍රබන්ධ කියෙව්වොත් වෙන දේ මෙන්න!

නුතන රැකියා වෙළඳපොළ ශ්‍රම බලකායෙන් බලාපොරොත්තු වන කුසලතා සහ චරිත ලක්ෂණ මොනවාදැයි ඔබ සොයා බලා තිබේද? පීඩනයක් යටතේ වැඩකිරීම, කණ්ඩායමක සාමාජිකයකු ලෙස වැඩකිරීම, අන්‍යයන්ට සහාය වීම, නායකත්වය දීම, ක්ෂණික තීරණ ගැනීම, අපහසු තීරණ ගැනීම, වගකීම සහ වගවීම ඔබේ සේවායෝජකයා ඔබෙන් ඉල්ලා සිටින දක්ෂතා අතුරින් සමහරකි. සහකම්පනයෙන් යුතු වීම ඉහත තුසලතා තවත් මුවහත් වීමට බලපාන වැදගත් චරිත ලක්ෂණයක් වෙයි. ඔබ පාසල් අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනය හමාරකොට රැකියා වෙළඳපොළ වෙත පියමං කරන මොහොත වන විට, සේවායෝජකයන් මෙන්ම සමාගම්වල ඉහළ කලමණාකරුවෝ බලා සිටින්නේ ඉහත සඳහන් ගුණාංග සහ කුසලතාවලින් පොහොසත් පුද්ගලයකු තම කණ්ඩායමට ඒක් කරගැනීමටය. මේ කුසලතා සහ ගුණාංගවලින් කීයක් ඔබ තුළ තිබේද? ඔබ තුළ මේවා නැතිනම් ඒ්වා උපදවාගැනීමට ක්‍රමයක් තිබේද? ඇත්ත වශයෙන්ම මේවා ඔබට මෙන්ම සමාගම්වල හිමිකරුවන් සහ කලමනාකරුවන්ටද මුහුණපෑමට සිදුවී තිබෙන විශාල ප්‍රශ්නයකි.

මෙකී කුසලතා සහ ගුණාංග තම සේවක මණ්ඩලයට ලබා දීමට විවිධාකාර පුහුණු සැසි සහ වැඩමුළු පැවැත්වීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුලබය. ඒ් අතර, නොයෙකුත් පර්යේෂණ වාර්තා, සිද්ධි අධ්‍යයන ආදිය කියවන්නට සැලැස්විම, විවිධ පරීක්ෂණ, කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම ආදී ක්‍රමවේද උපයෝගී කරගනු ලබයි. මෙවැනි ප්‍රබන්ධ නොවන ලේඛන කියවීමෙන් දැනුම එක්කාසු කරගත හැකිවන නමුදු, පෙර කී ගුණාංග කිසියම් පුද්ගලයකුගේ චරිතය තුළට බැසගැනීම සිදුවන්නේ ප්‍රබන්ධ කියවීමෙන් පමණක් බව බොහෝදෙනා නොදන්නා දෙයකි. පුද්ගලයකුගේ බුද්ධි ඵලය (IQ) සහ ප්‍රබන්ධ අතර පවතින කිට්ටු සම්බන්ධය මිනිස් ඉතිහාසය තරම්ම පැරණි බව බුකර් සම්මානලාභී මාග්‍රට් ඇට්වුඩ් කියයි.

කලාව අපේ පැවැත්ම වෙනුවෙන් විශේෂ කාර්යයක් ඉටු කරන්නාවූ පරිණාමික අනුවර්තනයක්ය කියන එක තමයි නූතන මතය. කතන්දරයක් තේරුම්ගන්න ඔබට පුලුවන් නම්, මම කීවොත් ගඟේ අන්න අර තැනදි ජෝර්ජ් මාමාව කිඹුලා අරන් ගිය සිද්ධිය – ඔබ ඒකෙන් ඉගෙනගන්නවා එතැන පිහිනීම අත්හදා බලන්න ගිහින් කිඹුලාට අහුවෙන්න ඕනෑ නැති බව. ඒ විදියට තොරතුරු හුවමාරු කරගත් කණ්ඩායම් අනික් අයට වඩා ඒ අයගේ පැවැත්ම තහවුරු කරගත්තා.

ලොව සාර්ථකම ව්‍යාපාරිකයෝ කියවීම සඳහා වැඩි කාලයක් ගත කරති. වොරන් බෆට් මේ අතර ප්‍රමුඛ වේ. ඔහු දිනකට පිටු 500ක් කියවන්නෙකි. තමා දිනකට පැය තුනක් කියවීම සඳහා වෙන්කරන බව මාර්ක් කුබාන් පවසයි. රොකට් තැනීමට තමාට හැකිවූයේ පොත් කියවීමෙන් බව එලෝන් මස්ක් පවසයි. ශාරීරික ව්‍යායාම කිරීමෙන්, දරාගැනීමේ භෞතික හැකියාව වර්ධනය වන බව අපි දනිමු. ප්‍රබන්ධ කියවීම යනු අපගේ මනසෙහි චිත්තවේගීය ඵලයේ මූලාරම්භයේ ඇති එක්තරා වැදගත් ‘පේෂියකට’ ව්‍යායාම ලබාදීමක් වැනිය. සරලව කියන්නේ නම්, ප්‍රබන්ධ කියවීම යනු ඔබට දීමට රැකියාවක් අතේ තබාගෙන සිටින ව්‍යාපාරිකයන් සහ කලමනාකරුවන් ඔබ තුළ සොයන ගුණාංග සියල්ල වර්ධනය කළ හැකි එකම ව්‍යායාමය වන්නේය.

දැනුම සඳහා කියවීම හොඳම කියවීම නොවන බව පර්යේෂකයන්ගේ අදහසය. ප්‍රබන්ධ කියවීමෙන් ඔබ නොසිතන වාසි ඔබට ලැබේ: සමාජය හා ගනුදෙනුවේදී තීව්‍ර තීක්ෂණබව සහ අන්‍යයන්ගේ අපේක්ෂා, ආධ්‍යාශ ආදිය කල්තබා හඳුනාගැනීමේ හැකියාව ලැබීම උදාහරණයක් ලෙස කිව හැකිය. මහා විද්‍යාඥ අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය බොහෝ දුරටම ගොඩනැගුවේ සිය අපූර්ව පරිකල්පනය ඇසුරෙනි. ඔහු වරෙක පැවසුවේ, සිය මිත්තනියගෙන් කුඩා කල ඇසූ සුරංගනා කතා නොවන්නට තම පරිකල්පනය එතරම් තියුණු නොවනු ඇති බවය. ප්‍රවේගය නිසා කාලය සහ අවකාශයේ සිදුවන හැකිළීම ඔහු අවබෝධ කරගන්නට ඇත්තේ කෙතරම් අපූරු ලෙසද යන්න, Probabilities of the Quantum World ලියන ඩැනියෙල් ඩේනින් මෙසේ පැහැදිලි කරයි:

“කාලයේ සහ අවකාශයේ සාපේක්ෂතාව අයින්ස්ටයින් හඳුනාගත්තේ කොහෙන්ද? සොබාදහම එය ඔහුට ඉගැන්වූයේය.

ආලෝක ප්‍රභවය ආලෝකයේ දිශාවටම ගමන් කරමින් තිබුණත්, ඊට විරුද්ධ අතට ගමන් කරමින් තිබුණත්, ආලෝකයේ ප්‍රවේගය එකක්ම වන්නේ යැයි ඔහුට කීවේ සොබාදහමය. කෙටියෙන් කිවහොත්, ආලෝකයේ ප්‍රවේගය යොමු වස්තුව මත රඳා නොපවතී. ඊළඟට අයින්ස්ටයින් කළේ, ආලෝකයේ ප්‍රවේගය නියතයක් විම සොබාදහමේ නියමයක් බව ප්‍රකාශයට පත්කිරීමය.

ඔහුගේ නිගමනය අතිශයින්ම සරල විය: ප්‍රශ්න කළ නොහැකි සත්‍යයක් ඔහුගේ නව යාන්ත්‍රවිද්‍යාවට පදනම වුවද, එය ගැලීලියෝගේත් නිව්ටන්ගේත් යාන්ත්‍රවිද්‍යාව සමඟ ගැළපුනේ නැත. ඒ අමුතු සත්‍යය ද්‍රව්‍යමය වස්තූන්ගේ චලිතය පිළිබඳව කෙරෙන  පැහැදිලිකිරීම තුළ මූලික උපග්‍රහණයක් ලෙස ඉබේටම අන්තර්ගත වන බැවින්, එය යුක්තියුක්ත කිරීමේ අවශ්‍යතාව වහාම නිශේධකර දැමුවේය. එවකට අයින්ස්ටයින් මිකෙල්සන්ට ලැබුණු ප්‍රතිඵල ගැන නොදැන සිටියේ යැයි පවසන ඉතිහාසඥයකු සිටින බව ඇත්තකි. එය සිදුවිය හැකිය. සැබැවින්ම වැදගත් වූයේ ඔහු කිසිදු අයුරකින් ආලෝක ප්‍රවේගයේ නියතබව පිළිබඳව ප්‍රශ්න නොකිරීමය.”

“මිකෙල්සන්ගේ ප්‍රතිඵල පොදු තලයකට ගෙන ආ තරුණ අයින්ස්ටයින්, ‘සෑම අවස්ථිතික යොමු පද්ධතියක් සඳහාම ආලෝකයේ ප්‍රවේගය එකක්ම වේ’ යන ඔහුගේ යාන්ත්‍ර විද්‍යාවෙහි පළමුවන පූර්ව නිගමනය වෙත ළඟා විය.

සම්භාව්‍ය න්‍යායයට අනුව විකාරයක් වූ මේ පූර්ව නිගමනය, ‘සම්භාව්‍යවාදියකුට’ වුවද ස්වයං-ප්‍රත්‍යක්ෂ වූවක් සේ දැනෙන දෙවැනි පූර්ව නිගමනයක් සමඟ එකතු කරනු ලැබිණි: එනම්, ‘සොබාදහමේ නීති සෑම අවස්ථිතික යොමු පද්ධතියකදීම එකම විශ්ලේෂණාත්මක ස්වරූපය දරයි’ යන්නය.

මේ පූර්ව නිගමන පසුපස තර්කානුකූලව පැමිණෙන, ‘ස්කන්ධය ප්‍රවේගය මත රඳා පවතී’ සහ තවත් දේ තවමත් අපගේ දුබල පරිකල්පනය අවුල් කිරීමට සමත්ය.

19 වැනි සියවසේ ලොව හෙල්ලූ සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම්වාදය වැනි න්‍යායයන් බිහිකිරීමට මූලික පදනම වැටුණේ අත්තම්මෙකුගේ සරල සුරංගනා කතාවලින් වීම අපට නොසලකා හැරිය නොහැකිය. කුඩා කල කතන්දර ඇසීම ඔබේ ජීවිත දැක්ම කෙතරම් පුළුල් කරන්නේද යන්න ගැන මාග්‍රට් ඇට්වුඩ් පෙන්වා දෙන්නේ මෙලෙසය:

පුංචි ළමයි බොහොම උනන්දුවෙන එක දෙයක් තමයි හොඳ අය කවුද, නරක අය කවුද, අන්තිමට හොඳක් වෙන්න යන්නෙ කාටද කියන දේ දැනගන්න. සුරංගනා කතා ඒ තරමට ජනප්‍රිය වෙන්න හේතුව ඒකයි – නීතියක් විදියට සින්ඩරෙල්ලාට හැමදේම හරියනවා, ඒත් පුංචි රතුහැට්ටකාරිගෙ ආච්චිට නං එච්චර හොඳවෙන්නේ නෑ.

වෘකයාට දඩයක්කාරයා වෙඩි තියාපු එක (පරණ කතාවේ), එහෙම නැතිනම් ඌ නිර්මාංශක වුණ බව (අලුත් තාලෙට කියන කතාවල) දැනගන්න ළමයි කැමතියි. ඔක්කොම හොඳ විදියට සිද්ධවුණාද, එහෙනම් පරිස්සම් ඇතිව නින්දට යන්න පුලුවන්ද කියල දැනගන්නයි එයාලට ඕනෑ. හැබැයි, ඇඳ යට යකෙක් නැහැ කියල පොඩි දරුවකුට කියන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක හරියන්නෙ නැහැ. කියන්න ඕන මෙහෙමයි: ඇඳ යට ඉන්න යකා එක්ක අපි දැන් මිතුරු වෙලා ඉන්න හින්දා ඌ අද රෑට එළියට එන්නෙ නැහැ.

ප්‍රබන්ධ කතා ගැන 2022 බුකර් සම්මානයට නිර්දේශ වූ Glory නවකතාවේ සිම්බාබ්වේ ජාතික කතුවරිය නෝවයලට් බුලවායෝ සිය පරිකල්පනය තියුණු වීමට කතන්දර විසින් කරනු ලැබූ බලපෑමේ තරම පැවසුවේ මෙලෙසිනි:

මට සෑහෙන බලපෑමක් ඇතිකළේ ජනශ්‍රැති. මම ලොකුමහත් වුණේ කතන්දර අහමින් – මා අවට හිටපු මිනිස්සු කතන්දර කිව්වේ හරියට ජීවත්වෙන්න හුස්ම ගන්නවා වගේ. ඒ හැමෝම අතරින් මගේ නැතිවුණු අත්තම්මා, ගොග් නාඑදේනි – එයා අපි පොඩිකාලේ හැම රාත්‍රියකදීම අපව වාඩිකරවාගෙන කතන්දර කිව්වා, ඒ වගේම මගේ තාත්තා – එයාගේ අම්මා තුළ කතන්දරවලට තිබුණු ආසාව එයාටත් පිහිටලා තිබුණා. ඒගොල්ල තමයි සැබෑම බලපෑම වුණේ. පොත්පත්වලට බොහෝ කලින්, අපට උගන්වන්නයි අපව විනෝදමත් කරන්නයි පාවිච්චි කරපු අත්තම්මාගේ පුදුම හිතෙන සත්තුන්ගෙ කතාවලට අනවරත ලෙස නිරාවරණය වුණු මගේ ළමාවියට මං බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ දෙන්නා නොවෙන්න, මම අද පත්වෙලා ඉන්න ලේඛකයා බවට පත්වෙන්න හැකිවෙයි කියලා මං හිතන්නෙ නැහැ.

දැනුම සඳහා ඔබ කෙතරම් කියවූවද, බුද්ධි ඵලය (IQ) සහ චිත්තවෙගීය ඵලය (EQ) තියුණු කරගැනීම තවමත් ඔබට බොහෝ දුරස්ථ ඉලක්කයක් වනු ඇත. කනගාටුවට කරුණ නම්, ඔබව සාර්ථකත්වයේ හිණිපෙත්තට නැංවිය හැකි වැදගත් ව්‍යායාමයක් වන ප්‍රබන්ධ කියවීම අද වන විට ඔබේ වර්ධනීය අවධිවලදී නොසලකාහරිනු ලැබීම සහ, එයින් පසුව අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ එය ප්‍රශ්නපත්‍රයක ඇති නොවටිනා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ලකුණු කිරීම සඳහා කටපාඩමින් ලබාගන්නා දැනුමක් බවට ඌණනය කර තිබීමය. දැනුම යනු සියල්ලම නොවන බවත්, දැනුම නිපදවා තිබෙන්නේ බුද්ධිය යොදාගෙන බවත්, එබැවින් බුද්ධිය දැනුමට වඩා ඉහළින් පවතින්නක් බවත් ඔබට වැටහෙන්නේ ප්‍රබන්ධ කියවීම තුළිනි. එහෙත්, මෙතෙක් ඔබව පුහුණුකොට රඳවා තිබූ මානසික සිරකුටිය කඩාගෙන නිදහස් ලෝකයට පිටමං වී සාර්ථක පුද්ගලයකු වීමට තවමත් ඔබ ප්‍රමාද නැත.

‘ෆයිනෑන්ෂල් ත්‍රිලර්’, නැතිනම් මූල්‍යමය ත්‍රාසජනක කතාවක් හැටියට සැලකෙන ජෙෆ්රි ආචර්ගේ ‘කේන් සහ ඒබල්’ නවකතාව පුරාම උපක්‍රමශීලී තීරණ ගැනීම, අනෙකාගේ සිතිවිලි තේරුම්ගැනීම, මුදල්වල අධික ද්‍රවශීලතාව නිසා නොසිතන තරම් කෙටි කාලයක් තුළ ‘ඇති-නැති’ ස්වභාවය ‘නැති-ඇති’ ස්වභාවයට පෙරළෙන ආකාරය පෙන්වා දෙයි. මේ නවකතාවේ චරිත හරහා පාඨක මනසට ඇතුලු කරන නොපසුබටවීමේ, අප්‍රතිහත ධෛර්යයේ, බාධක මැඩගෙන ඉදිරියට යාමේ, අධිෂ්ඨානයේ, පරාජයේදී ඉවසීමේ ගුණයන් ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ කියවීමෙන් ලැබිය හැකිද යන්න සිතා බලන්න.

ජෝන් කොඑට්සිගේ Age of Iron සහ Disgrace නවකතාවලට පදනම් වන්නේ දකුණු අප්‍රිකාවේ කළු සහ සුදු මිනිසුන් වර්ණභේදවාදයට මුහුණ දුන් ආකාරයයි. එක් පැත්තකින් කළු මිනිසා නීතියෙන් පීඩාවට පත්වීමත්, අනිත් අතින් පොදුවේ හමේ වර්ණය නිසාම පීඩකයා නියෝජනය කරනමුත් ඇතුළාන්තයෙන් ඒ හා අනුගත නොවන සුදු මිනිසා තුළ ඇති මානසික පීඩනය අතර ගැටුම එහි පෙන්වයි. පීඩකයාගේ කටයුතු අනුමත නොකරන අතරම පීඩකයාගේ නියෝජිතයකු බවට පත්වීමට සිදුවීමේ උභතෝකෝටිකයට මුහුණදෙන ආකාරය, එය සමනය කළයුත්තේ කෙසේද යන්න මේ ප්‍රබන්ධ හරහා කොඑට්සි පාඨකයා තුළට ඇතුල් කරයි.

මානව සමාජය තුළ යථාර්ථය වන්නේ හොඳ හා නරක ලෙස බෙදිය හැකි මිනිසුන් නැතිවිම සහ, හොඳ නරක විවිධ පරිමාණයෙන් සම්මිශ්‍රණය වූවන් පමණක් සිටීම බවත්, මිනිසා විසින් නිර්මාණය කරනු ලබන නපුර පරාජය කරන්නේද මිනිසා විසින්ම බවත් ප්‍රබන්ධ තුළින් අවබෝධ කරවන සත්‍යයකි. ශාන්ති දිසානායකගේ ‘වාලුකා’, කාලෝස් රුයිස් සෆෝන්ගේ The Shadow of the Wind, ප්‍රියන්ත ලියනගේගේ ‘කොට තුවක්කු’, පාවුලෝ කොයියෝගේ නවකතා වන Veronica Decides to Die (වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි – ගාමිණී වියන්ගොඩ), The Devil and Miss Prime (යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය – චූලානන්ද සමරනායක), රොසානා ලේගේ Return to Mandalay, උවෙම් අක්පාන්ගේ Say You’re One of Them වැනි නවකතා උදාහරණ ලෙස සඳහන් කළ හැකිය.

සේවාස්ථානවල අන්තර්පුද්ගල සම්බන්ධතා කෙරෙහි ප්‍රබන්ධවලට ඇතිකළහැකි ධනාත්මක බලපෑම පිලිබඳව අධ්‍යයනයේ සහ ක්‍රියාකාරකම්වල නිරත වන Books@Work නැමැති එක්සත් ජනපද ස්වේච්ඡා සංවිධානයේ නැන්සි කිඩර්ගේ අත්දැකීම්වලට අනුව පොත් කියවන සහ ඒවා ගැන සාකච්ඡා පවත්වන පුද්ගලයෝ වඩාත් ගැටලුසහගත අවස්ථාවල විසඳුම් සෙවීමට දක්ෂතා දක්වති. ප්‍රබන්ධ කියවන්නෝ එදිනෙදා වැඩකටයුතු විවෘත මනසකින් යුතුව ඉටුකරන අතරම මොළය තුළ දත්ත පිරිසැකසුම් කිරීමෙහි නිපුනත්වයක් දක්වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ‍2013 දී මේ සම්බන්ධයෙන් කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ ඥාණ සංවෘතිය (cognitive closure) නැමැති මානසික තත්වයකට පුද්ගලයන් පත්විය හැකි බවයි. එනම්, ක්ෂණිකව තීරණ ගැනීම නැවැත්වීම සහ, වක්‍රෝත්ති හා ව්‍යාකූලත්වය පිළිකෙව් කිරීමේ තත්වයට පත්වීමයි. වඩා කල්පනාකාරී, වඩා නිර්මාණශීලී, මෙන්ම එතිනෙක හා ගැටෙන තොරතුරු හමුවේ වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක වීම ඥාණ සංවෘතියට පහසුවෙන් පත් නොවන පුද්ගලයන්ගේ චරිත ස්වභාවය වේ. මෙය කෙනෙකු තුළ ඉහළ චිත්තවේගීය ඵලයක් (IQ) පවතින බව පෙන්වන්නකි.

ඔබේ කාලය සහ මුදල් ප්‍රබන්ධ කියවීමට යෙදවීම කිසිදු ලෙසකින් සම්පත් අපතේ හැරීමක් නොව ආයෝජනයකි.

-මොහාන් ධර්මරත්න විසිනි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment