සිසිර ගීතය නවකතාව කියවමු.

රෝහන කලුආරච්චි පරිවර්තනය කළ ප්‍රමුදිත් ඩී. රූපසිංහගේ ‘සිසිර ගීතය‘ (Bayan) නවකතාව වූකලී සෝවියට් පාලනය බිඳවැටීමෙන් පසු යුක්රේනයේ සිදුවූ සමාජ-ආර්ථික හා දේශපාලන විපර්යාසයට සෝවියට් ක්‍රමය යටතේ වියපත්වෙමින් සිටි පරපුර මුහුණ දුන් ආකාරය පිලිබඳ පුළුල් චිත්‍රයකි. පහත දැක්වෙන්නේ ‘සිසිර ගීතය‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. ‘සිසිර ගීතය‘ මින්සර ප්‍රකාශනයකි.

ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

අපගේ දුවගේ උපන් දිනයට තව වැඩිකාලයක් නැහැ.

ඔබගේ නාදියා.

ඉවාන් එය කොපමණ, වාරයක් කියවා ඇතිද යන්නට සාක්ෂි දරන්න තරම් එහි නවා දැමූ ස්ථානය ඉරී ගොස් තිබුණි. සමහරවිට, සිය වතාවක් පමණ. එවැනිම තවත් කොල කැබලි ඔහු තම නිදන කාමරයේ තබාගෙන ඇත.

ඔහු එය අතට ගෙන, පරීක‍ෂාවෙන් නවා හිතාමතාම ඔහුගේ පැරණි පොතේ පිටු අංක 91 සහ 92 අතර මැද තැබුවේය.

“ඒ කුමක්ද?”

“ඒ වැසිලි ග්‍රොෂ්මන්ගේ ජීවිතය සහ මරණය.” ඔහු මදක් නැවතී නැගිට්ටේය. ඊළඟට ඔහු ‘බයනය’ අතට ගෙන තම ඇඟිලි දෙසම බලා හිඳ, ප්‍රමුදිතව සිනාසුණේය.

“මගේ මිත්‍රයා, ඔබ කවදාවත් විශ්වාස කරණ එකක් නෑ, මේ ඇඟිලි කවදාවත් මේ යතුරු වලට පැරදිලා නැති බව. නමුත් අද මට හිතෙනවා ඒවා පටලැවෙයි කියා. ජීවිතය කියන්නෙ අඛණ්ඩ පරිනාමය වීමක්. ජීවත්වීම කියන්නෙ ඒ සමඟ පොර බැඳීමක්. නමුත් මට මගේ වයසට කාලයක් තියෙනවා. ඒත් මට ප්‍රිය උපදවන ලෙස වාදනය කරන්න බැහැනෙ; මට තිඛෙන්නේ මගේම රළු තනු, ඒවා ගැලපෙන්නෙත් මගේම තද සමට සහ වෙව්ලන ඇඟිලිවලට.”

මිනිස් සබඳකම් වල වේදනාකාරී කටුකත්වයන් ගෙන් මිදීමට අවශ්‍ය වූ නිසාදෝ ඔහු වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු ‘කත්‍යුෂා’ ගීතය වාදනය කළේය.

“‘කත්යුෂා’ ඇය අමරණීයයි. එසේම පරම්පරා ගණනක් තිස්සේ ජීවත්වෙනවා. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුවත්.” ඔහු බයනය තම උරහිසේ තබාගෙනම, ඔහු වාදනය නතර කර කීවේය.

තවත් වතාවක් ඔහු එම ගීතයම ගයා බයනය අසලකින් තැබුවේය. ඒ වනවිටත් ශීතල වී තිබූ ‘ග්‍රීන්’ තේ කෝප්පයට වත් කරන ගමන් කීවේ —සෝවියට් සංගමය කඩා වැටුනයින් පස්සෙ රැකියා අහිමි වුනු සිය දහස් ගනන් මිනිසුන් වාගේ නාදියාටත් ඇගේ රැකියාව නැති වුණා; හැමෝම වෘකයාගේ පැමිණීමෙන් භය බිරාන්ත වුණු බැටළුවෝ වගේ වුණා. මී වදයක් සෙලවුණු කළෙක මෙන්, සෝවියට් සමාජය එවිටයි භේදනයට පත්වුණේ. නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ කිසිදු සලකුනක් පෙනෙන්නට තිබුණේ නැහැ. ග්‍රීෂ්මය අවසානයේ මම නාදියාව බලන්නට ගියා. ඒ වනවිට තදින් වහිමින් තිබුණා වගේම කලින් අඳුර වැටෙමින් තිබුණා. ඒ වන විටත් ක්‍රමවත් ප්‍රවාහන සේවාවක් තිබුණා. දුෂ්කර ගම්මාන වල සිට ප්‍රාදේශීය මධ්‍යස්ථාන දක්වා මම ‘පර්වොමේස්ක්’ සිට ‘ලුකීව්’ දක්වා මර්ෂුට්කාවක නැගී පසුව ‘අහ්තිර්කා’ දක්වා විශාල මර්ෂුට්කාවක ගමන් කළා.

වර්ෂාව ගස් වියන මතට තදින් වැටුණා. සුළඟ කොල පැහැති ශාක පත්‍ර ඉරා දැමුවා. මගේ මනසේ තිබුණේ ඔල්ගා ගැන සිතුවිලි පමණයි. දශක ගණනක් පැරණි ඝන බිත්ති දිගේ ඇද වැටීමට කල් ගනිමින් තිබූ දිරාගිය භයානක වහලය යටයි ඇය සිටියේ. එදා, මම දෙවියන් වහන්සේට ජීවිතයේ පළමු වතාවට යාඥා කළා. මම අයැද සිටියා මම යනතෙක් වර්ෂාවට ඇයට ලං වෙන්න ඉඩ දෙන්න එපා කියලා.

ඉවාන් ගෙන් දිස්වූයේ තෙහෙට්ටු බවකි. නමුත් ඔහුට දිගටම කියවාගෙන යාමට අවශ්‍ය විය. ඔරලෝසු බට්ටා නැවත වදින්නට පටන් ගත්තේය; තවත් පැයක් පසුවී තිබිණි. ඔහු කීව පරිදිම, ඔරලෝසුවට නිවැරදි වේලාව දක්වන්න නොහැකි වුවත්, කාලයේ ගමන් මඟ තවමත් සංඥා කරයි. ‘ක්ලෙමන්තෝව්’ වලින් බැසගත් විට, නිවස තිබූ දිශාව බලන්නට තරම් මම නිර්භීත වුනේ නැහැ. ගං වතුර දැමීමට ආසන්නව තිබුණු ගං ඉවුර දිගේ ඇවිද ගොස් ගෙයි පිටුපසට මා ළඟාවුණා. නිවස තවමත් තිබූ අයුරින්ම දැක මා ඉතා සතුටු වුනා. මා දැක්කා කුඩා ඔල්ගා මිදුලේ වැටුණු කොල පසුපස දුවමින් සිටිනවා. මා ඇය ලඟට දිවගියා. ඇයව මගේ අත්වලට ගෙන තදින් පපුවට තුරුළුකර ගත්තා. මම නිතරම ඇයට ගෙනෙන ‘චීස්’ ගැන ඇය ඇසුවත් මෙවර මට එය අමතකව තිබුණා.

“ඔබ මහළු වන විට, කාලය ගත වන්නේ සෙමෙන්. අපට අවසාන වතාවට එය ඇසුන වෙලේ සිට පැයක් පමණයි ගෙවී තියෙන්නේ.” ඔහුගේ හාස්‍ය තවමත් තරුණ සේම උස් හ`ඩින් යුතුය. නමුත්, ඔහු වචන භාවිතා කරනුයේ සිනාව උපදවා ගැනීමටම පමණක්ම නොවේ. ඒවා කිසියම් තේරුම් ගතහැකි අදහසක් ප්‍රකාශ කරන්නේ ඔහුගේ කියමන් වල ඇති පරිණත භාවය නිසාය.

“ඔබ ආවද? අපි තවමත් ජීවතුන් අතර.” නාදියා නුරුස්නා අයුරින් ඇසුවාය. සැම විටම වාගේ, ඇයගේ හැඟීම්බර ගතිය සහ තාර්කික ගතිය අතර අපහැදිලි පටලැවිල්ලක් තිබුණි. එය බොහෝ දෙයක අවසානයේ ආරම්භය විය.

“මම ඔයාවයි ඔල්ගාවයි බලන්න ආවේ.”

“අපි තවමත් ජීවතුන් අතර.” ඇගේ වචන පිහි පහර වැනිය. එසේම ඒවා භාවිතා කරන අයුරු ඈ හොඳින් දැන සිටියාය.

“මම කියන්න ආවේ…” මම එය අවසන් කරන්න පෙර, ඇය ඇඩීමට පටන්ගත්තාය. “නාදියා අපි ගෙදර යමු.”

“ගෙදර?”

“ඔව්, පර්වොමේස්ක් වල ගෙදර.”

“මගෙ බල්ලාවත් එහෙ යන්නෑ. මම දරුවත් එක්ක මෙහෙ මැරෙන එක වඩා හොඳයි.”

අතේ තිබු තේ කෝප්පය විසිකල ඇය ගේ ඇතුලට දිව ගොස් ඉකිබිඳිනවා ඇසුණි. ඔල්ගා මගේ දෑත් තුලට වී මගේ රැවුල සමඟ සෙල්ලම් කරමින් සිටියා. ඇය සතුටින් සිටියේ තම පියා නිවසට ආ නිසාය.

“නාදියා.”

“ඔව්.”

“මම දන්නවා ඔබ මා සමඟ බොහෝ කරුණු නිසා අමනාපෙන් බව. මට ඒවා දැනගන්න උවමනා නැහැ. නමුත් මට අවශ්‍ය ඔබ දෙදෙනාම සුරක‍ෂිත වෙන්න.”

“ඔබට ඕන මගේ අම්මාව මෙහෙ දමලා ඔබත් එක්ක එන්නද?”

ඔල්ගාට රූබල කිහිපයක් දුන් මම නිවසින් පිට ආවෙමි. “අහ්තීර්කා” දක්වා මාර්ගය දිගේ සැතපුම් කිහිපයක් ඇවිද ගිය මා තානායම අසල නැවතුණි. නාදියාව මට මුලින්ම මුණගැසුනේ එතැනයි.

“ප්‍රවේශපත්‍ර නොමැතිව ඇතුළු වීම තහනම්” ලෙස දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කොට තිබුණි. ඒ දවස්වල කිසිදු තහනමක් නැතිව මේ ස්ථානයට ඇතුළුවීමට අවසර තිබිණි.

“එහෙමයි විවෘත ආර්ථීකය වැඩකරන්නේ.” කලින් දැක නොතිබූ මුරකරුගෙන් මම විමසීමි.

“මෙය දැන් පෞද්ගලික දේපලක්.” ඔහු උදාසීනව කීවේය.

අළුතින් සාදපු බීමහල් වෙත මා ඇවිද ගියේ මදක් කුසගිනි දැණුන නිසාය. ඒ කුඩා බීමහල් වල සිටි වෙළෙන්දෝ ‘පිරෂ්කි’ හෝ තේ කෝප්පයක් විකිණීම උදෙසා තරගයක යෙදී සිටියහ. මට හැඟුණේ සමාජය උමතු වෙමින් යන බවකි. සාමකාමිබව සහ මිත්‍රත්වය තරඟකාරිත්වය සහ පුද්ගලවාදයට යටවී තිබුණි.

“ග්‍රීන් තේ කෝප්පයක් සහ ‘පිරෂ්කි’ එකයි”

“රූබල දෙකයි.”

“මුදල් ගැන අහන්න ඉස්සර වෙලා, ආහාර සහ තේ ගේන්න කරුණාකරලා.”

“මුදල් පළමුවෙන්” ජීවිතය එක රැයින් වෙනස් වී තිබුණි. මම රූබල් පහේ කෝලයක් කවුන්ටරය මත තැබීමි.

කාන්තාවක් ‘පිරෂ්කි’ සමඟ ග්‍රින් තේ කෝප්පය මේසය උඩ තබා කිසි හැඟීමක් නැතිව එතැනින් ඈත්ව ගියාය.

මට මගේ දෑස් අදහා ගත නොහැකි විය. මිනිසුන් එක රැයින් වෙනස් වී ඇති ද? අපි ආශා කළ වෙනස එයද? මගේ දුව සහ නාදියා ගැන මගේ සිතුවිලි මොහොතකට සැඟව ගියේ එහි වූ අත්දැකීමෙන්; කාලය ගෙන මගේ තේ කෝප්පය රසවිඳිනවා වෙනුවට, ‘පිරෂ්කි’ එක කැබලි කිහිපයකින් ගිල දමා එක උගුරට තේ කෝප්පය හිස් කළෙමි. උණු තේ කෝප්පයෙන් ඇති වූ වේදනාව මනසේ ගොඩගැසි තිබු කරදරකාර සිතුවිලි වලට වඩා සැනසීමක් විය. අප අවට ලෝකය නොනැවැත්විය හැකි ලෙස වෙනස් වෙමින් යන බව පෙනුණි. ප්‍රජාතන්ත්‍රවාදය නම් කුණාටුව ඉතා වේගයෙන් ඇදී එමින් තිබුණි. දූෂිත පාලනය, ඒකාධිපතිත්වය, සහ කොටු වූ ජීවිතය අවසානයට පැමිණීම ගැන මට තිබුණේ සතුටක් වුවත් ‘අපේ සමාජයේ’ සිදුවෙමින් පැවති බරපතළ වෙනස ගැන මම බියට පත් වී සිටියෙමි.

ලුකිව් වලට මර්ෂුට්කාවෙන් ගොස් එතැනින් පර්වොමේස්ක් වලට තවත් එකකට නැංගෙමි.

“ජැක් ඩැනියෙල් බිල්ඩ් -නො-07, මිශ්‍ර නැති පිරිසිදු විස්කි, මේ පොළොවේ වෙනත් පානයකට නොදෙවෙනියි. කෙළින්ම අමෙරිකාවෙන්.”

“ස්ටොලිවිනායා ඉක්මනින් නැතිවීයාවි. හැමෝම වොඩ්කා වෙනුවට විස්කි බීමට පටන් ගනීවි. මා හිතුවා. නමුත් යුක්රේන ජනරජ භූමිය වෙනස් වී තිබුනේ නැහැ. අප පහුකරන් ගිය සෑම ගම්මානයක්ම ඒවා තිබූ ආකාරයටම නොවෙනස්ව තිබුණා. මට සමහර විටෙක සිතුනා මගේ බිය මායාවක් ද කියලා.

“කරුණාකරල මට ඔතනින් යන්න ඔබට අහකට වෙන්න පුළුවන්ද? මර්ෂුට්කාවට නැගගත් කාන්තාවකට බර ගමන් මලූ සමඟ පිටුපස ආසනයට යාමට අවශ්‍ය ව තිබිණි.

“කනගාටුයි මම ඔබව අවහිර කළානම්” ඇයට එතනින් යාමට ඉඩ දී ඒ ගමන් මලූ පසුපස ආසනයට පැටවීමට මම උදවු කළෙමි.

“මේවා මොනවාද? ගොඩක් බරයි…..” සිනාසී මම කථාවට මුල පිරුවෙමි.

“කර්කොව් වලින් ගෙදර උපකරණ ටිකක් සහ සපත්තු මිලට ගත්තා. මම ඒවා ලුකිව් වල නැවත විකුණන්න යන්නේ.”

“කර්කොව්?”

“ඔව්, කඩපොළෙන්”

සෝවියට් සංගමය කාලයේ නැවත විකිණීම, ද`ඩුවම් ලැබිය හැකි වරදක් වගේම ඒ ගැන ප්‍රසිද්ධියේ කථාකිරීමට තරම් කිසිකෙනෙක් නිර්භීත වුණේ නැහැ. එම කාන්තාවට පිළිතුරු දෙන්නේ කෙසේ ද කියා මා දැන උන්නේ නෑ. ඊට පසුව, මම කිසිත් කීමෙන් වැළකුණා.

බාහිර ලෝකයෙන් වෙන්ව ගිය මොහොතක නිහැ`ඩියාවත් අපව ගිලගත්තේ මර්ෂුට්කාව ඈතට දිවෙන තිරිඟු යායක් පසු කරන් යන අතරය. නාදියා සහ ඔල්ගා එක වරම මගේ මනසට ආවේය. නාදියා කුමක් සිතනවාද යන්න බොහෝ විට සිතා ගැනීමට අපහසුය. ඇය සෑම දෙයම පටන් ගැනීම කළේ අවසන් කොටසින් වූ අතර බොහෝ කරුණු අසම්පූර්ණව ඉතිරි කළාය. ඇගේ දක‍ෂතාවයට වඩා ඇගේ ආබාධිතකමට සමාජයෙන් ලැබුණු ප්‍රතික්‍රියාව ඇය සිතන ආකාරය සහ පසු ක්‍රියාවලට හේතුව බව මට වැටහී තිබුණි.

“නිදි නැති රාත්‍රියකින් පසුව, උදෑසන හතවන විට මම ඇඳෙන් නැගිට්ටා. හිරු අහස පැහැදිලි කරමින් තිබුණත්, වැහි වළාකුළු තිබුණේ එයට තාමත් අභියෝග කරමින්. එය මට මතකයට ගෙනාවේ පසුගිය රාත්‍රිය පුරාවටම විකාර සිතුවිලි සම`ගින් මා නිදි වර්ජිතව සිටි සැටියි; මගේ මනස ඒ වන විටත් අපහැදිලිව තිබුණා. එදා සැන්දෑවේ ලුකිව් වලට ගොස් බැංකුවෙන් මුදල් නැවත ලබා ගැනීමට උත්සාහ කළා.”

“මට රූබල 3000ක් ආපසු ගැනීමට අවශ්‍යයි.”

“රූබල්ස්? නැහැ අපට ගෙවන්න පුළුවන් වෙන්නේ කබොවත්ස්කිවලින්. යුක්රේනයේ අළුත් මුදල් ඒකකය; සෝවියට් රූබල්ස් සේරම රුසියාවේ තියෙන්නේ; ඒවා රත්‍රන් බවට පත්වේවි.”

“එතකොට කෝ මම පහුගිය අවුරුදු 20 පුරා ඉපයූ මුදල්?”

“අපට කණගාටුයි. අපට සුළු ප්‍රමාණයක් පමණයි ගෙවිය හැක්කේ. ඒකත් කර්බොවන්ස්කි වලින්, අපට එපමණයි කළ හැක්කේ.”

“සෝවියට් රූබලයක් එක්ක කබොවන්ස්කි එකක අගය කීයද?”

“එක රූබලයක් කබොවන්ස්කි එක හමාරක්.”

“මට දෙන්න කබොවන්ස්කි 4500ක්.”

“කණගාටුයි, අපට එපමණ ගෙවන්න බැහැ.”

“ඇයි? ඒ මගේ මුදල්. ඒක මට ඕන.”

“අපි ළඟ එච්චරක් නැහැ.” මුදල් අයකැමි තම මේසයට ගොස් පත්තරය කියවීමට පටන් ගත්තේය.

“එහෙනම් අඩුම තරමින් මට 3000 ක් දෙන්න.” මම බැගෑපත් විමි.

“ඔබගේ පාස්පොත, දෙන්න කරුණාකරලා.” උදාසීන විනීත බවක් පෙන්වූ ඔහුගේ හැසිරීමද නොසතුටුදායක විය.

“කබොවන්ස්කි 3000ක් ලබාගත් මම ආපසු නිවස බලා ගියෙමි. ඒ සතිය අවසානයේදී නාදියාව මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. නමුත්, දයාවිරහිත වර්ෂාව ඇදහැලෙන සෑම විටම, නින්ද මා මඟහැර ගියා. ජනේලය තුළින් බිම වැටුණු වර්ෂාව දෙස බලා සිටින අතර ධාරාණිපාත වර්ෂාවේ ශබ්දයෙන් මිදීමටයි බයනය වාදනය කිරීමට මා උත්සාහ කළේ.”

(පිටු අංක 72 සිට 78 දක්වා.)

වගකීම් රහිතයි: © මින්සර ප්‍රකාශකයෝ, 2022. මෙය ප්‍රකාශන හිමිකම් ඇවිරුණු ලියවිල්ලකි. ප්‍රකාශකයන්ගේ ලිඛිත අවසරයකින් තොරව උපුටන යොදාගැනීම, සහ/හෝ මුද්‍රිත/නිර්ස්පර්ශ මාධ්‍ය ඔස්සේ නැවත පළකිරීම සපුරා තහනම් වන අතර, එසේ කිරීමෙන් නීතිමය ගැටලු ඇතිවිය හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment