හමා යන්න ඒ තුරු මුදුන් ඉම දිගේ
මට පාර කියාපන්
අරන් යන්න ඒ මුදු සුවඳ ලෝ තලේ
මට පාර කියාපන්
මට පාර කියාපන්
විල් දියේ ඕලු මල් – මකරන්ද සුවඳ දී
පෙති ඇරී මඳ සුළං – හා සමග මුසු වෙවී
නිදිකිරන නිල් දියේ – සඳ කැළුම් තරු එළි
කලඹා හෙළා දමයි – සිත සුසුම් නළ රැළි
වෙහෙරේ බෝමැඩේ – ගල් පූජාසනේ
මුදු මිහිරි සුවඳ දුන් ඒ – පර මල් පොඩි සිඹිමින්නේ
ඒ මිහිර ගෙන උරා – උන් හැම‘ත විසුරුවා
නැග තුරු මුදුන් කරා – උන් පත් සසල කළා
මුළු දිය තලේ මෙවන් අන් – කොහි වේද වේදනාවක්
ආලයම රුදුරු විදුරකි – නැසු හද කදා මිණක්
ඒ දැවුණු හදෙහි අළු සුණු – එහි සුසුම් සමග වී මුසු
මළ ආලයේ සුවඳ ගෙන – වැද අහස් ගඟේ දියඹට
හමා යන්න ඒ තුරු මුදුන් ඉම දිගේ
මට පාර කියාපන්
අරන් යන්න ඒ මුදු සුවඳ ලෝ තලේ
මට පාර කියාපන්
මට පාර කියාපන්
-මොහාන් ධර්මරත්න.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
