අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

“ගෙහන්නාවක සුසුම් ළය පුරා ඉහිරමින
පුරාවෘත්තයෙ සියුම් තැන් සොයා පාරමින
ස්වර්ගයේ වෛරීය නදිය අසබඩ පෙමින
සිඳීගිය ස්වප්න මිටියාවතේ සැතපෙන්න”

~ ලිලිත් සහ ලිලී

එදා රාත්‍රී මම ඈව සිහිනෙන් දුටිමි. කෙල්ටික් දේව පැන්තියමේ එන සුවදේවතාවී සිරෝනාවන්ට ගැයෙන කෙල්ටික ලොහො සජ්ඣායනාව පසුතලෙහි ලිලිතුන් ගැන කියවමින් නිදා වැටුණු මම එතරම් කාලයකට පසු ඈව සිහිනෙන් දුටිමි. අවාලු ඉන්ද්‍රචාපය ලියූ මිත්‍රවර පිටස්තරයාගේ ලිලිතුන් ඔහු කරා පැමිණ, ඔහුව දරා මළ මුහුද තෙක් පියාසරන්නේ ඔහු ලිලිතුන් අරමුණු කර අන් කිසිවෙකුටත් වඩා බවුන් වැඩීමේ ඕවර්ඩෝස් ප්‍රතිඵලයක් ලෙසිනි. මාගේ ලිලිතුන් මා හට සම්භ වන්නේ උත්පත්තියේ සිට විශ්වාත්මය පීරා සිදුකළ අවිඥාණික සෙවීමක ප්‍රතිඵලයක් ලෙසිනි. විටෙක දයාවන්ත මවුවත් ගුණ දැරූ ආදි මවුන් වෙසින්, තවත් විටෙක ආත්මීය සුවාලේපයක් බඳුවූ සිරෝනාවන් වෙසින් මෙන්ම තවත් විටෙක සුරදූතයින්ගේ තටු ගලවා ස්වර්ගීය ආරක්ෂාවෙන් පාතාල පතුලට ඇද දමනා යක්ෂණී වෙසින්ද පෙනී සිටිනා, ඒ කුමන වෙසක් දැරුවද සදාකල්හිම සිය භක්තිවන්තයන්ට ඉනානාවක, ඇෆ්‍රොදයිතියක හෝ අභිරාමියකම වූ ඈ, එදා රාත්‍රී මම සිහිනෙන් දුටිමි…

හිතනවට වඩා අයුඅස්කා ට්‍රාන්ස් එක පවර්ෆුල් මචං!

“කැපී කෙටී ගිය ජීවිත කැබලි ඉන් අනතුරුව කෙටි කතා බවට පත් විය…”

මා මිත්‍රවර පිටස්‍තරයාත් මමත් එක්ව බැඳෙනා ප්‍රධානතම පොදු සාධකය වූයේ, අප එකිනෙකා අතර දශකයක පමණ වයස් පරතරයක් වූවත් පැටි වියේ සිටම අපි සංස්කෘතික සාපිපාසාවකින් පෙලෙනා කොළුවන් වීමයි. හේරාවන්ගේ ළමැද්දෙන් ජනිත ක්ෂිර බිඳුවලින් උපත ලැබූ බව කියැවෙන ලිලී මල් ගැනත් ක්ෂිරපථය ගැනත් සෙවීමට, සයිමන්, තිලකසේන, සර්පයා, වෙඩිවර්ධන ඈ පුරෝගාමීන්ගේ ලියැවිලි කියවා විස්මයට පත් වීමට මෙන්ම ආදි මව් ලිලිතුන්ට පෙම් බැඳීමටද අප පෙළඹවූ කාරණාව වූයේ මෙම නොතිත් සාපිපාසාවයි. පෑ ගණන් පුරා ඇදුණු සාකච්ඡාමය ආහ්ලාදයට මුල් වූයේද එකී සාපිපාසාවයි.

ලිලිත් සහ ලිලී කියැවූ ක්ෂණයකින් පැහැදිලි වූ කාරණාවක් වූයේ මේ නම් කෙටිකතන්දරයක් නොවන බවයි. අවාලු ඉන්ද්‍රචාපයේ සිට ලැබුණු ඉඟි ගණන් නොගතද, මේ නම් සැබවින්ම අධිතාත්වික මායාවී ශේෂයන්හි දැවටුනු මිත්‍රවර පිටස්තරයාගේම ජීවිත කැබලි බව පැහැදිලි වෙයි. ලේඛකයෙකුගේ ෆැන්ටසිමය ආරම්මණයක් වන, සිය ප්‍රේමීන් හා ප්‍රේමයන් සාහිත්‍යගත කොට අමරණීයත්වයට ඔසවා තැබිමේ දොළ මිත්‍රවර පිටස්‍තරයාටද ඇති සෙයිනි. ලිලිතුන් සේම ලිලී නාමධාරී නන්නාඳුනන්නියද මිත්‍රවර පිටස්තරයාගේ ජීවිතයේ රවුම් ගැසූ මනුෂ්‍ය අමනුෂ්‍ය ඉතිරීන් වග වටහා ගැනීමත්, ඇතැම් තැනක ඒ චරිත ස්ව-ජීවිතයේ මුණගැසුණු චරිතයන් හා පර්යාය වීමත්, ලිලිත් සහ ලිලී කියැවීමට මා උනන්දු කරවයි.

මේ නයින්, කර්ම කෝප්පෙක කෝප කෝපි කවි කතන්දරයේ කවිකාර කොලුවෙකු අලිංගික සුරදූතයෙකු බවට රූපාන්තරණය කරවූ ඩොමිනෙට්‍රික්ස යක්ෂ ස්ත්‍රියත්, බේකරි මාලිගාවේ පාං බට්ටාත් මිත්‍රවර පිටස්තරයාගේ එක් එක් ජීවන කාලයක වේශයන් නැතිනම් ජීවිතයේ ආගිය චරිත බවටත් සඳහනක් ලිලිත් සහ ලිලී කෘතියේ නොයෙක් ඔත්තු ඔස්සේ සටහන් කරගමි. එයින් කෙටිකතා මාලාවේ රසයට වෙනසක් නොවූවත්, ආරම්භක ලිලිත් හා ලිලී කතාන්තරයට වඩාත්ම ඇලෙන්නට එය අවිඥාණික හේතුවක් වෙයි.

ගැඹුරු අන්ධකාරයක් පුරා විසුල සහසක් දීප්තිමත් එළි

“…මහවැලියේ කලා පොළේ එල්ලූ ඒ ඕක්ලිෆීය ලිලී සිත්තම හේ සිය ප්‍රේමියගේ ජන්ම දිනයට පිදීමට ගත්තකි. ඒ කැන්වසීය පිටපත් කිරීම සැබෑ සිත්තම සමග තැබුවොත් පටලැවෙනු සිකුරුය. ලිලී මල්වලට හේ ප්‍රේම කරයි. එ’මලට ඈ වෛර කරයි…”

මිත්‍රවර පිටස්‍තරයාගේ භාෂා හරඹයන් බලා හිඳීම, සයිකෙඩෙලීය ට්‍රාන්සයකින් වශීකෘතව, කාලය හෝ අවකාශය පිළිබඳ වගේ වගක් නැතිව ධ්‍යානගත වී හිඳීමක් වැන්න. වෙඩිවර්ධනියානු බස් හරඹයට ආසන්න එකක් ලෙසින් ආරම්භයේ සිට හැඟෙනා මිත්‍රවර පිටස්තරයාගේ බස් හරඹයන්, ඇතැම් විටක සුමටව ගලායන අතර, ඇතැම් විට ස්ටකාටෝමය රිද්මයකට අනුගත වෙයි. ලිලිත් සහ ලිලී කෘතිය පුරා කතන්දර කියවෙන මේ බස කියැවීම, ගැඹුරු අන්ධකාරයක් පුරා විසුල සහසක් දීප්තිමත් එළි දෙස බලා හිඳීම වැනිම ප්‍රහර්ෂයක් වෙයි. ඒ මොහොතේදී පුරෝගාමී වෙඩිවර්ධන අනුප්‍රාණය මිත්‍රවර පිටස්තරයාටද බලපා ඇති බව හැඟී යෑමම තවත් හර්ෂයක්ද වෙයි.

ඇතැම් විටක වෙනත් බසක වදන් සාර්ථකව සන්නිවේදනය කිරීම සඳහා තම බසෙහි යෙදීම් සීමාසහිත බවක් දැනී යාම ලේඛකයෙකු වේවා, සිතන්නෙකු වේවා මුහුණ දෙන අබියෝගයකි. එය භාෂාවේ සංස්කෘතියද හා බැඳී පවතී. මෙලන්කොලියාව යන්නෙන් දැනවෙන හැඟුම් සමුදාය, දුක්ඛ විශණ්ණතාවය, විෂාදීය බව හෝ උකටලී බව වැනි කෙවැනි යෙදුමකින් හෝ දැනවිය නොහැකි වීම ඊට උදාහරණයකි. එවැනි විටක එය මෙලන්කොලියාවම ලෙසින් අප බස තුළට බව්තීස්ම කිරීම නොයුතුද?

කෙසේ වෙතත්, එවන් ප්‍රයාණයක යෙදෙන්නෙකු පරිස්සම් විය යුත්තේ, යම් අරුතක් සාර්ථකව හඟවනා තම බසෙහි ඇති සුගම, මනෝහර යෙදුම් අමතක කොට නොදැනුවත් බව, පහසුව හෝ ශබ්ද රසය පිණිස අපර පර යෙදුම් කුලවද්දා නොගැනීමටයි.

වයිල්ද්, වොන්තියර් සිට ආදිපාදනී බතෝරි දක්වා

ඉක්මන් කියවන්නෙකුගේ සිට කියැවීම සාරෞෂධයක් බවට පත් කරගත් සාරගර්භ කියවන්නෙකු දක්වා උත්ථානය ලැබූවෙකුට, වචන අතර රැඳි අරුත් මෙන්ම වචන තුළින් ගොඩනැගෙන සම්බන්ධතාද කියැවීම සැබවින්ම ආහ්ලාදයක් වෙයි. සයිමනුවන්ගේ වචන අතර රැදි ගූඪ/වජ්‍රයානික බෞද්ධ අරුත් කියැවීම, වෙඩිවර්ධනයන්ගේ වචන අතර රැඳි ග්‍රීක මිත්‍යා දර්ශනයන් කියැවීම ඈ අභ්‍යාසයන් ආනන්දයටත් ප්‍රඥාවටත් ගෝචර වෙයි.

ඒ අරුතෙන්ම මා මිත්‍රවර පිටස්‍තරයාගේ ලිලිත් සහ ලිලී හි වචන ඔස්සේ වඩාත් සෘජුව යා කෙරෙනා සබැඳියාවන් කියැවීමද ප්‍රීතියක් වෙයි. අම්බෙර්තෝ එකෝ විසින් ෆූකෝ පෙන්ඩියුලමෙහි ඔබ්බා ඇති මෙවැනි සෘජු යා කෙරීම් තුළ ඇති අරුත් අරුත් ගන්වා ගනිමින් කියැවීමට මනා ඇසූ පිරූ තැන් ඇත්තෙකු වීම අනිවාර්ය සාධකයකි. නැතිනම් අඩු තරමින් විශ්වකෝෂ පිහිට පැතීමට සිදුවනු ඇත. මිත්‍රවර පිටස්තරයාද තම කෙටිකතන්දර කියැවීමේදී එවැනිම දැනුමක්, සමමුහුර්තවීමක් හෝ අඩු තරමින් ගවේෂණයක් කියවන්නාගෙන් බල කොට ඉල්ලා සිටී.

මිනීමරු ආදිපාදනී එලිසබෙත් බතෝරිය, බතෝරීය ප්‍රේමයට නාමකාය වන්නේ අහඹුවකින් නොවේ. රුහිරු දිය ඉහිරුණු ස්වේත ලිලී මල් ගොමු, ලේ වැකි පාස්කුවෙන් පසු සමයෙක ඉදිරිපත් වන ලිලිත් සහ ලිලී කතාන්දරයට පැමිණෙන්නේ අහඹුවකින් නොවේ. එසේම ටාගේරියානු වංශයේ මකර මවුන් පවා සිය ලියවිල්ල තුළ පසුතල නිර්මාණයට ගෙන එන මිත්‍රවර පිටස්තරයා, ලිලිත් සහ ලිලී කියවන්නෙකු ගේම් ඔෆ් ත්‍රෝන් නාටකය නැතිනම් සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් කෘති සම්බන්ධයෙන් පවා දැනුවත්ව සිටිය යුතු යැයි පවසයි. එසේම සේඩොමැසෝකිස්මීය භාවිතාවන් මොහොතකදී ඉඟි කරනා මිත්‍රවර පිටස්තරයා, කියවන්නාට මාර්කී දෙ සාද් නොදන්නේ නම් අඩු තරමින් කියවා බලන ලෙසද බල කරයි.

මේ ඔස්සේ ඇතැම් විටක ලිලිත් සහ ලිලී කල්ට් කියැවීමක් බවට පත්වූවත් මම විස්මයට පත් නොවෙමි.

-පැතුම් පුංචිහේවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment