මට හරි පාළුයි…

අජිත් කුමාරසිරි කියන්නේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ ඉන්න සංගීතවේදියෙක් නෙවෙයි. එක පාරක් මම පිටපත කරපු ටෙලිවිෂන් වැඩසටහනකට මම අජිත්ව ගෙනාවම, එතන හිටපු නිවේදකයෙක්ගේ පැමිණිල්ල වුනේ අජිත්ගේ ගිටාර් එකේ ටියුන් නැහැයි කියන එක. අජිත්ගේ ස්වර රටා තාක්ෂණිකව නිසියුම් නැහැයි කියන එක. ඒත් අජිත්ගේ සිංදුවක් අහන මට හෝ ඔබට ඔය එක කතාවක්වත් වැදගත් වෙන්නේ නෑ. අජිත්ගේ සිංදුවල තියෙන්නේ හැඟීම්.

ලංකාවේ ජනගහණේ… කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුනන්නෙත් නෑ
කවුරුත් මාව අඳුනන්නෙත් නෑ
මට හරි පාළුයි…

මේ දවස් වල හවසට වැහි බීරුමත් එක්ක අමුතු පාළු ගතියක් තියෙන කරුවලක් තියෙන්නේ. ඈතින් ඈතට විහිදුණු තුරු විටප වුනත් හෙලවෙන්නේ බොහොම ශෝකාකූල හැඟීමකින්. කුරුල්ලෙක්ගේ සද්දයක්වත් නැහැ. මේ වගේ වෙලාවට අතේ තියෙන බ්‍රැන්ඩි වීදුරුවේ රහ වුනත් මලානිකයි වගේ දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි අජිත්ගේ මේ සිංදුව තවත් තීව්‍ර වෙලා දැනෙන්නේ. ඒකට සිංදුවේ ශෝකී ස්වර රටාවන් සහ අමුවෙන් වුනත් හිත පතුළෙන්ම නැගෙන ප්ද මාලාව විතරක් නෙවෙයි, අජිත් ගිටාර් එකෙන් මවන තත් රටාවනුත් එකතු වෙනවා. විශේෂයෙන්ම සිංදුව අවසානය ලං වෙනකොට.

…මං ආයෙත් මෙහේ එන්නෙ නෑ… අජිත් කියනවා.

අජිත්, මේ තමයි මෙලන්කොලියාව…

මෙලන්කොලියා කියන්නේ හරි අපූරු වචනයක්. හැබැයි සිංහලෙන් ඒකට තේරුමක් දෙන එක හරි අමාරු වැඩක්. මෙලන්කොලියාව දැනෙන්න පටන් ගන්න යම් යම් නිර්මාණයන් තියෙනවා. අජිත්ගේ මේ සිංදුව එකක්. හරුකි මුරකාමි Norwegian Woods ලියන්නේමත් දීප්තිමත් පසුතලයක මෙලන්කොලික හැඟීම් සමුදායක් ඉතිරි කරමින්. හැබැයි හරුකි මුරකාමිගේ කෘති බොහෝමයක මේ මෙලන්කොලියාව ගැබ් වෙලා තියෙන නිසා අපිට මුරකාමිගේ සාහිත්‍යය හරහා මෙලන්කොලියා ගැන අදහසක් ගන්න පුලුවන්. තවත් උදාහරණයක් තමයි මුරකාමිගේම Sputnik Sweetheart.

එමිලි බ්‍රොන්ටේගේ Wuthering Heights සමස්ත කතාව විතරක් නෙවෙයි, පසුතලය පවා නිර්මාණය වෙන්නේ මේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු මෙලන්කොලියා හැඟීමත් සමගින්. අනූ ගණන් වලදී Wuthering Heights ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු ටෙලි කථාන්තරයේත් හොඳින් හිරු ‍රැස් වැටිලා තිබුණු දීප්තිමත් දිනයක් දකින්නට නොලැබුණු තරම්. පැටි අවදියේ බලපු ඒ ටෙලි නාට්‍යය තාමත් මට ඔලුවට එන්නේ අර මීදුම පිරුණු තැනිතලාවල පෙනී නොපෙනෙන හුදෙකලා, කොළ රහිත ගස්, ග්‍රෙගෝරියානු ගෘහනිර්මාණ ශිල්පයෙන් හැඩවුණු නුවර එළියේ ගෙවල් එක්ක තියෙන ග්‍රෙගෝරියානු පසුතලයක් එක්ක. ඒ මතකය පවා මෙලන්කොලිකයි.

මිනිහෙක් කොයි තරම් සතුට හොයාගෙන ගියත්, දවස අවසානයේ සතුට කියලා දෙයක් ගැන ඒ මිනිහාට හිතාගන්න බැහැ කියලා, මිනිස්සුන්ගේ ජීවිත මැරෙනකල්ම කාලකණ්ණි කමකින් වැහිලා තියෙනවා කියලා, සත් සමුදු‍රු තරණය කරලා අවසානයේ ඒ මනුස්සයාගේ නෞකාව වරායට ලඟා වෙන්නේ මුහුදුබත් වුණු, පෙඳ පාසි වලින් වැහුණු සුන්බුන් ගොඩක් විදියට කියලා ෂෝපන්හවර් සහ අනෙකුත් දාර්ශනිකයෝ කියනවා අහනකොට මෙලන්කොලියාවෙන් මරණය තෙක්ම මනුස්සයෙක්ට ගැලවෙන්න බැහැයි කියන හැඟීම දැනෙන්න පටන් ගන්නවා. මෙලන්කොලියාව තේරුම් ගන්න කැමූව සහ ෂෝපන්හවර්ව කියෙව්වත් ඇති. මේ සා දුක් කම්කටොලු හා ගැලෙමින් ජීවත් වීමත් ප්‍රමෝදයක්…

මෙලන්කොලියා කියන්නේ නිකම්ම විශාදයද? ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙලන්කොලියාවට නැතිද? හින්දියෙන් මෙලන්කොලියාවට දෙන වචනය “විෂාද්”. සිංහලෙන් “විෂණ්ණතාවය” වගේම දෝමනස්සයන් සමගින් උකටලීව වී හිඳීම වගේ අර්ථයකුත් ලබාදෙනවා. “මෙලන්කොලියා කියන්නේ ගොම්මන් අඳුර වගේ හරි නොපැහැදිලිකමක්. විඳවීමත් ඒකටම දියවෙලා එකතු වෙලා දුක්මුසු ප්‍රමෝදයක් නිර්මාණය වෙනවා. මෙලන්කොලියා කියන්නෙම දුකේ ගැලී හිඳීමේ ප්‍රමෝදය.” වික්ටර් හියුගෝ තමන්ගේ Toilers of the Sea කෘතියේ එහෙම කියනවා.
ෂේක්ස්පියර්ගේ “As you like it” ගෝපි ප්‍රහසනයේ රොසලින්ඩ් ජාක් ට මෙහෙම කියනවා.

“හැමෝම කියන්නේ ඔයා හරිම දුකෙන් ඉන්න මනුස්සයෙක් කියලා.
මෙතනදී රොසලින්ඩ් පාවිච්චි කරන්නේ මෙලන්කොලික් කියන වචනය. ඒක දුක කියලා පරිවර්තනය කරන එකම වැරදියි. ජාක් එතනදී මෙහෙම කියනවා.
“මමත් එහෙම තමයි කියන්නේ. හිනාවෙනවට වඩා මම ඒකට ආසයි”

මෙලන්කොලියා හැඟීම ව්‍යාධියක් කියා හඟිනවා නම් ඊට ප්‍රතිකර්මය සතුට වෙන්නට බැහැ. ශූන්‍යත්වය තුළින් මෙලන්කොලියාව පැන නගිනවා නම්, ශූන්‍යත්වය පසිඳ ගැනීම තුළින් ඊට ප්‍රතිකර්මය ලැබෙනු ඇති.

හැම සංවේදී මනුස්සයෙක්ම තමන්ගේ ඇතුළේ පෞරාණික ප්‍රාකාරයන්ගෙන් වැහුණු පුරාතන නගරයන් දරා හිඳිනවා. මෙලන්කොලියාව නැතිනම් ජීවිත කාන්සාව විසින්ම ජීවත් වීමේ ආසාවත් ඇතිකරනු ඇති.

“මට හරි පාළුයි” – අජිත් කුමාරසිරි.

Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment