“මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි සිංහල නවකතාව තුළ තමන්ට සුවිශේෂි වූ ලකුණත් තබාගෙන නිර්මාණකරණයේ යෙදෙන නවකතාකාරිණියෙකි. ඇය විසින් රචිත නවකතා අතර ප්‍රංශ පෙම්වතා, කුමර කොබෙයි, කෝමළ මානවක, මගේ චිකාගෝ හදවත වැනි කෘති කැපී පෙනෙයි. අවස්ථා ගණනාවකදී ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශ වූ ඇය දැනට කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජීවත්ව සිටින්නීය. විප්‍රවාසී ජීවිතවල කතා සිය කෘතිවලට තේමා කරගන්නා ඇය එක්තරා ආකාරයකින් සිංහල පාඨකයාට මේ බිමෙන් එහා රටවල ජීවිතය ගැන අපූරුවට කියාදෙන්නට සමත්කම් දක්වයි. මේ ඇය තමන්ගේ නවකතා කලාව සහ ලිවීම ගැන අප සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

Q: ළමා කාලයේ කියවීම, කතන්දර ඇහීම ගැන මොනවගේ මතකයක්ද තියෙන්නෙ?

A: පොඩි කාලේ කියවීම, කතන්දර ඇහීම කියන එකට වඩා මට මතක තියෙන්නෙ මෙහෙම දෙයක්. මගේ තාත්තා භූගෝල විද්‍යාඥයෙක්. අපේ සාලෙ ලොකු මේසයක් තියලා තිබුණා. ඒක ඇත්තටම කෑම මේසයක් වෙන්න ඕන වුණාට ඒකෙ පොත් තියලා තිබුණෙ. තාත්තගෙ භූගෝල විද්‍යා පොත් තමයි මේසෙ උඩ තිබුණෙ. කාලගුණය, ලෝක කාලගුණය, කාන්තාර ඔය වගේ දේවල් ගැන පොත් වගේම මම හිතන්නෙ තාත්තා විශ්වවිද්‍යාලෙ උගන්නන්න පාවිච්චි කරපු සටහන් පොත් වගේ පොත් ගොඩක් තිබුණා. මම පොඩි කාලේ ඒවා අකුරක් නෑර කියෙව්වා. සිතියම් පොත් පවා. මම හිතන්නෙ අවුරුදු දහය විතර වෙද්දි මට භූගෝල විද්‍යාවෙන් උපාධියක් ගන්න තරමට දැනුමක් තිබුණා. ඒක තමයි මගේ පොඩි කාලේ කියවීම. අදටත් මට දැනෙන කියවීම ඒක. අනිත් කාරණය, මම මේක කියන්නම ඕන. අපිට ඉස්සර ඇති තරම් නිදහස තිබුණා. මට ගෙදරදි පාඩුවේ පැත්තකට වෙලා මගේ සිතුවිලි එක්ක පොරබදන්න වෙලාව ලැබුණා. මම කියවපු දේ මට නැවත ආවර්ජනය කරන්න, ඊටත් වඩා මම කියවපු දේවල් මගේ අනික් අත්දැකීම් එක්ක මිශ්‍ර කරන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි ලොකුම දේ.

Q: එතනින් පස්සේ කොහොමද කියවීම ඉස්සරහට ගියේ?

A: ඔව් අවුරුදු දහය පහළොව වෙද්දි තමයි අපි ඔය නවකතා කෙටිකතා කියවන්න පටන් ගත්තේ. අපේ ඉස්කෝලෙ ඒ කාලේ හුඟක් ජනප්‍රිය වෙලා තිබුණෙ අගතා ක්‍රිස්ටිගෙ පොතුයි, නැන්සි ඩ්‍රෝ කතා මාලාවේ පොතුයි. අපි ඒවා සෑහෙන්න කියෙව්වා. ඊටපස්සේ රුසියන් පොත් කියවන්න ලැබුණා. මොකද ඒ කාලේ ඒවා පහසුවෙන් ලබාගන්න පුළුවන්කම තිබුණා. අපේ ලේඛකයන්ගේ පොත් අපිට එච්චර කියවන්න ලැබුණෙ නැහැ. ඒ කාලේ අපි ඉස්කෝලේ පුස්තකාලෙයි, මහජන පුස්තකාලෙයි තිබුණ පොත් ටික තමයි කියෙව්වෙ. කඩේකට ගිහින් පොතක් ගන්න සංස්කෘතියක් අපිට ලොකුවට තිබුණෙ නැහැ.

Q: දැන් මේ විද්‍යාවයි, නවකතාවයි අතරෙ ඝට්ටනයක් තිබුණෙ නැද්ද?

A: ඇත්තටම දැන් හිතලා බලද්දී මම සිංහල විෂයක් විදියට හදාරපු කෙනෙක් නොවන නිසා වාක්‍ය ගලපද්දී මට යම් ගැටළුවක් තිබුණා කියලා කියන්න පුළුවන්. හැබැයි මගේ පොත් හැම එකකම වගේ මම කරන්නේ ආත්ම කථනයක්. එක්තරා විදියක හැඟීම් කථනයක්. ඉතින් ඒකට මට මගේ ළඟ තියෙන භාෂා දැනුම ගලපගන්න හැකියාව ලැබුණා. බාධාවක්ම කියන්න බැහැ. නමුත් මම ලියන ක්‍රමය හැදෙන්න ඇත්තෙ ඒක නිසා. මට ඉදිරියට යන්න හේතුවක් වෙන්න ඇත්තෙම ඒක.

Q: දැන් ඔබ ආත්ම කථනය කියලා හැඳින්නුවානේ. මගේ අත්දැකීම ඕක ටිකක් අමාරු වැඩක්. මොකද ඒ චරිතය තුළට ආරුඪ වෙන්න වෙන්න වෙනවා. ඒක ඉබේ වෙනවද නැත්නම් ගොඩනගාගන්නවද?

A: මම ආඩම්බරෙන් කියනවා නෙමෙයි, හැබැයි මට ලේසිම විදිය ඒක තමයි. චරිතයට ආරූඪ වෙනවා කියන එක ගත්තොත්, මම කතාවක් පටන් ගනිද්දී එක්කෝ මට සිදුවීම් එනවා, නැත්නම් චරිත එනවා. මට යම්කිසි විදියක ඇබ්බැහියක් තියෙනවා ඒ චරිතය තුළ ජීවත් වෙන්න. ඇත්තම කියනවානම් මේ නවකතා ලිවිල්ල ඇතුළෙ තියෙන මගේ සතුටත් ඒකමයි. ඒ අවුරුද්ද පුරා මම ඒ චරිතවල ජීවත් වෙනවා. නිකන් ජීවත් වෙනවා නෙමේ බැහැගෙන ජීවත් වෙනවා. හරිම ආසාවෙන් ජීවත් වෙනවා. එහෙම චරිතෙට ඇතුළු වුණාට පස්සේ මට එයාට ඊළඟට සිද්ධ වෙන දේවල් පේනවා. දැන් හිතන්න ප්‍රංශ පෙම්වතා පොතේ මාලක ගත්තොත්, මාලක පැරීසියේ ඉඳලා ඉගෙනගන්න යන්න තියෙනකොට මොනවගේ ප්‍රශ්නද එයාට එන්නේ. කොච්චර සීතලත් දැනෙනවද, බස් එක ගන්න කොච්චර දුර ඇවිදගෙන යන්න ඕනද. කෝච්චියෙ නැග්ගම බහින තැන හොයාගන්න එක කොච්චර අපහසු වැඩක්ද, ඔය විදියට චරිතෙ තුළ ජීවත් වෙනකොට මට දැනෙන දේ මම ලියනවා හැබැයි ලියන්නෙත් අවශ්‍යම දේ. ඒ වගේම තව මම කරන දෙයක් තමයි, ඒ චරිත එක තැනක වාඩිකරවලා එයාලට කතාකරන්න ඉඩ අරිනවා. ඒගොලේලො මොනවද කතාකරන්නේ කියලා මම ඇහුම්කන් දෙනවා. දැන් ප්‍රංශ පෙම්වතා පොතේ ඉන්නවා මාලි, තාරුකා කියලා දෙන්නෙක්. මේ අයට තියෙන ප්‍රශ්න. මාලිට අතේ සතේ නැහැ. සුබසාධන මුදලින් ජීවත් වෙන්නෙ. මම හිතන්නෙ හුඟක් ලේඛකයො කරන්නෙත් මේකම තමයි. මට හැකියාවක් තියෙනවා චරිතයක ලක්ෂණ මුල ඉඳලා අගටම අරගෙන යන්න.

Q: ඒකට අත්දැකීම් වැදගත් වෙනවා නේද?

A: ඔව්. අත්දැකීම් තමයි, මම හිතන්නේ මම හැම පොතකම කරලා තියෙන්නේ අත්දැකීම් නැවත කියවීමක්.

Q: ඒ කියන්නේ ඔබ නිරීක්ෂණය කරපු දේවල් නැවත කියවීමක් කරනවා?

A: ඔව්. ඇත්තටම අපේ බොහෝ දෙනා අත්දැකීම් නැවත කියවීමකට ලක්කරන්නේ නැහැ. ඒවා අතෑරලා දානවා. ඒවා ආයෙත් ප්‍රයෝජනයට ගන්නෙ නැහැ. මම හිතන්නේ ලේඛකයෙක් වෙන්න තියෙන පළවෙනි දේ තමයි තමන්ට ලැබෙන අත්දැකීම් අනර්ඝව භාරගන්න ඕන. ඒ කියන්නේ අත්දැකීම ඇඟේ ලේවලටම උරාගන්න ඕන. ඒ විතරක් මදි. ඒවා වැඩෙන්න අරින්නත් ඕන. කොහොමද වැඩෙන්න අරින්නේ කියලා මම කියන්නම්. දැන් මට අද හවස තව කෙනෙක් හම්බෙනවා කියලා හිතන්න. එයත් එක්ක කතාකරද්දී මම බලනවා, ආහ් අරකෙනා මේ කාරණය මෙහෙම නෙමෙයි ගත්තෙ. මෙහෙම දේවල් ඝට්ටනය වෙන්නෝන. මෙහෙම වැඩුණට පස්සෙ මම ලියන්න ගත්තම මේ අත්දැකීම් මගේ කතාවට ඕන විදියට හැඩ ගැහිලා එනවා.

Q: ඒක පුහුණුවක් නෙමෙයිද? දැන් දීර්ඝ කාලයක් ලියන නිසා වෙන දෙයක්ද, නැත්නම් පළවෙනි පොතේ ඉඳලම ඔය දේ වුණාද?

A: ඇත්තටම ඒකට පුහුණුවක් කියන වචනෙ නෙමෙයි හරියන්නෙ. දැන් අපි අත්දැකීමක් ගත්තම ඒක පුළුල් පරාසයකින් දකිනවා. උදාහරණෙකට ප්‍රංශ පෙම්වතා පොතේ මාලක ගත්තොත් එයාට හැසිරෙන්න පුළුල් වටපිටාවක් තියෙනවා. එයා ඉන්න සමාජයෙ හැටියට එයාට ගොඩක් දේවල් වෙන්න පුළුළුන්. ඒ සේරම එයාට වෙන්න දෙන්නත් පුළුවන්. මට තියෙන්නෙ පුහුණුවකට වඩා ඒ චරිතය ඉන්න වටපිටාව ප්‍රයෝජනයට ගන්න එක.

Q: හරි මට මෙහෙම දෙයක් අහන්න හිතුණා ඒ කතාව එක්ක. කතාවද ඉස්සෙල්ලාම වර්ධනය වෙන්නෙ චරිතෙද?

A: මගේ නම් චරිතෙ තමයි. චරිතෙ හා ඒ චරිතෙ මුහුණ දෙන සිදුවීම් හරහා කතාව ගොඩනැගෙනවා, සමහර වෙලාවට කතාව පටන් ගනිද්දි ඒකෙ අවසානය ගැන මට අදහසක් නැහැ. අපි ප්‍රංශ පෙම්වතාව උදාහරණෙට ගමුකො. ඒක පටන්ගනිද්දී මට තියෙනවා මාලක මෙහෙම තැනකට යනවා, එයා නවතින්නේ මේ වගේ තැනක. සල්ලි නැතුව කොහොමද මේගොල්ලො ඉස්සහට යන්නෙ. ඔන්න එතකොට තාරකා කතාවට ගේනවා. මේ තුන්දෙනා කතාව ඇතුළෙ ගමන යනවා ඒත් මට අවසානය ගැන අදහසක් නැහැ. මට දැනෙන විදියට ආත්ම මූලික දෘෂ්ටි කෝණයකින් ලියද්දී අපිට අවසානය ගැන දළ සැකැස්මක් මිසක් නිශ්චිත අදහසක් ගොඩනගන්න බැහැ.

Q: හරි අපි ප්‍රංශ පෙම්වතාගෙන් ඈත්වෙලා ඔබේ කෝමළ මානවක පොතේ එන වැන්ඩර්ෆූටන් පවුල සහ ඒ ආශ්‍රිත චරිත, බොහෝමයක් ගොඩනැගෙනවා, මේ ගැන පොඩ්ඩක් කිව්වොත්?

A: ඔව්. මම දන්න වැන්ඩර්ෆූටන් පවුලක් හිටියා. ඒ වගේම මම දන්න ගමක ලස්සන පරිසරයක තිබුණු ගෙදරක ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. ඉතින් මේ දෙන්නගෙ ලස්සන නිසා ගමේ හිටපු පිරිමි ලමයි ඇතිකරගත්තු ප්‍රශ්න තිබුණා. ඊළඟට ග්‍රමීයව ස්වයං ආර්ථික රටාවක් ගැන මගේ සංකල්පයක් තියෙනවා. ඇයි අපිට ගමට ස්වයං ආර්ථික රටාවක් නිර්මාණය කරන්න බැරි කියන කාරණය. මම ඉන්න කැනඩාවෙ නම් ගඟක් තිබුණොත් ගඟ අයිනෙ මාළු ෆැක්ටරියක් හදලා ගමේ අයට රස්සාවල් දෙනවා. ඔය කියන තුන මොකක් හරි දෙයක් වෙලා එකට මිශ්‍ර වුණා. සමහරවිට මම වැරදි වෙන්න ඇති වැන්ඩර්ෆූටන් පවුලට අර ගෑනු ළමයි ටික දාලා එතන නිර්මාණය කරපු එක. ඒත් මම හිතන්නේ ඒක තමයි අපිට පාලනය කරන්න බැරි දේ.

Q: මෙතනදී මට පොඩි දෙයක් අහන්න හිතෙනවා. චරිතය ගොඩනගා ගත්තට පස්සේ අපි චරිතය පාලනය කරනවාට වඩා චරිතය අපිව පාලනය කරනවා නේද?

A: ඔව්. ඒක ඇත්ත. දැන් හිතන්න ඔතනදි මට හිතන්න තිබුණා ඇයි සිංහල පවුලක ගෑනු ළමයි නොගත්තේ. ඇයි වැන්ඩෆූටන් පවුලෙ ළමයි කතාවට ගෙනාවෙ. මට ඒක ඒ විදියට තමයි ආවෙ. ඒක හරිම අවිඥානිකයි.

Q: අවසාන වශයෙන්, මේ කතාබහ ඇතුළෙ මට දැනෙන දෙයක් තමයි අපි ලියද්දී අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රබන්ධ ලෝකයකට ඇතුළු වෙනවා. මේ ප්‍රබන්ධ සහ සැබෑ ලෝකය අතර සීමා ඉර ගැටෙන වෙලාවල් තිබිලා නැද්ද?

A: මෙහෙමයි. මට සැබෑ ලෝකෙදි මහත්තයා ඉන්නවා, පුතා ඉන්නවා. වැඩ කරන තැන අය ඉන්නවා. ඒ අයත් එක්ක මම සාමාන්‍ය ලෝකෙ ඉන්නවා. වැඩ කරනවා. හැබැයි මට ඉක්මනට ප්‍රබන්ධ ලෝකෙට යන්න පුළුවන්. එහෙම අවස්ථාත් මම හදාගන්නවා. ඔයා විශ්වාස කරනවද මම කාලයක් වැඩකරන තැනට වාහනෙන් යන්නැතිව කිලෝමීටර් දෙකක් විතර පයින් යනවා. ඒ පාරෙ යන වෙලාවෙදි මම ප්‍රබන්ධ ලෝකේ ගැවසෙනවා. ඒ කාලෙදි වැඩියෙන් මට ලියන්න පුළුවන් වුණා. ගිය ගමන් කරන්නේ අර මඟදි හදාගත්තු දේවල් ටික ලියන එක. පහුවෙලා තමයි ඒවා සංවර්ධනය කරලා ගන්නෙ. හැබැයි එහෙම කියලා මම ඒ ලෝකෙම ඉන්නෙ නැහැ. ඒ වගේම ප්‍රබන්ධ ලෝකෙ ඉද්දි තමයි මම හුඟක්ම සතුටෙන් ඉන්නෙ. එළියෙ ලෝකෙදි ප්‍රශ්න ගොඩයි. රාජකාරි කරන තැන ප්‍රශ්න. අනිත් අයගෙ වැඩ මට දාලා. ඒවට රණ්ඩු කරන්නද? නෑ. ගෙදර ආවම හවස මහත්තයා බඩු අරන් එනවා කිව්වට ඇවිත් නෑ, මම ගිහින් බඩු අරන් ඇවිත් උයනවද, එයාට කේන්ති යයිද, පුතාගෙ වැඩ, මේ විදියට කළ යුතු කාරණා රාශියක් තියෙනවා. ඉතින් මේ සේරම අතරෙ ප්‍රබන්ධ ලෝකෙට ගියාම පුදුම සැහැල්ලුවක් දැනෙනවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment