“කොට තුවක්කු“ නවකතාව කියවමු.

සමාන්තරව සිදුවන සන්නද්ධ අරගල දෙකක සුජාතභාවයට අභියෝග කරන විවිධාකාර විෂම බලවේග එකිනෙක ගැටී අරවින්ද නම් තරුණයාගේ ජීවිතයට ගෙනඑන බලපෑම ප්‍රියන්ත ලියනගේ ලියූ ‘කොට තුවක්කු‘ නවකතාවෙහි අපූර්ව ලෙස චිත්‍රණය වෙයි. එය එක්තරා අවධියක මෙරට බිහිවූ දේශපාලන කුණාටු යුගයකට මැදිවන තරුණයන්ගේ ජීවිතය සහ එකී දේශපාලන කුණාටුවේ අභ්‍යන්තර ස්වභාවය විවරණය කරයි. පහත දැක්වෙන්නේ ‘කොට තුවක්කු' නවකතාවෙන් තෝරාගත් කොටසකි. ‘කොට තුවක්කු' නයින් පබ්ලිෂිං ප්‍රකාශනයකි.

එය 1988 අවසාන භාගයේ දිනයකි. දෙපසින්ම සන්නද්ධ ක්‍රියාකාරකම් යහමින් සිදු වෙමින් තිබිණ. උත්තර දේශයේ K නගරයේ ධර්මපුරම්හි මණික් සාගර මාමාගේ නිවසේ චින්තනම් ශාක්‍යාගේ සාකච්ඡාවේ සිට පරණමාන කෙළින්ම පැමිණ තිබුණේ අගනගරයේ තිබූ තම සරසවිය වෙතය. පසු දිනට ඔහු විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් යොදා ගෙන තිබුණේය. ඒ දේශප්‍රේමී අරගලකරුවන් සමගිනි. ජාතියක් හා දේශයක් වෙනුවෙන් කරනා අරගලය ජාතික සමගියත් මිනිස් සාධාරණත්වයත් දෙසට හැරවීම ඔහුගේ වෑයම වී තිබිණ. ඒ වෙනුවෙන් වන අවංක වුවමනාව නිසා ඔහු ඔවුන් සමග තිබූ සියලූ ප්‍රතිවිරෝධතාවන් අතහැර දමන්නට සූදානමින් සිටියේය. සාකච්ඡාවේ තැන තීරණය කර තිබුණේ දේශප්‍රේමීන් විසිනි. පසුවදා උදෑසන ආ වෑන් රථයට ඔහු ගොඩ වූයේ කිසිදු දෙගිඩියාවකින් තොරවය. ජාතිවාදය හරණය කොට කකාරවා මිනස් පැණිය මතුකර ගැනීම ඔහුගේ අරමුණ විය. සාකච්ඡාව තුළ දී ජාතිවාදය හා ජාතිකවාදයේ රුදුරු බව පෙන්වා දුන් පරණමාන, එය හරණය කොට මිනිස් පැණිය මතු කර ගැනීමට ලෙනින්ගේ ජාත්‍යන්තරවාදී ආස්ථානයන් ගෙන හැර දැක්වීය. එහෙත් ජාතිකවාදය සීමාන්තිකය. පුළුල් නැත. ඔවුන් කලින්ම තීරණ කර පැමිණ තිබුණේ සාකච්ඡාව නොව අනෙකකි. කිඹුලන් සැඟවී සිටින බොල්ගොඩ නදිය නිසලව ගලා බැස්සේය. කිරල ගොල්ලක රුදුරු හස්තයනට හසුව සිටිද්දී පරණමානගේ ගෙල කැපී ගියේය. මිනිසත්භාවයේ උණු රුධිර ධාරාවක් හෙමි හෙමින් බොල්ගොඩ ගඟට මුසුව ගියේය. තවදුරටත් ලෝකය නොපෙණුන ද ඔහු ඇස් ඇරගෙනම මැරී සිටියේය. බොහෝ අවංක සටන්කාමීන් මිය යන්නේ හෝ අතුරුදන් වන්නේ තමන් නිරත අරගලයේ හොඳ නරක නොදැනමය.


හේ දේහධාරීය. උස අඩි හයයි අගල් හතරකි. පැහැපත්ය. නිතර මුහුණේ රැඳෙනා පියකරු සිනාවකි. කොණ්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. කතාව කරුණාවන්තය. හදවත විෂ සහිතය. අහිංසකයෙකු ලෙස පෙනෙනා හිංසකයෙකි. බොහෝ දෙනෙකු රැවටෙනුයේ ඔහුගේ කතාවට හා පෙනුමටය. ඒ.එස්.පී.ට වඩා නිලයෙන් පහළ මුත් බලයෙන් ඉහළය. ඒ.එස්.පී. ඝාතනය කෙරුවේ දේශප්‍රේමීන් වුවද ඒ ඝාතනයට හෝඩුවාව හා නියෝගය දුන්නේ මොහුය.

සාගර මාවතේ මුහුදට ඇරුණු කවුළුවකින් හෙබි මේ විශේෂ නිවසට ඔහු පැමිණෙන්නේ විශේෂ අමුත්තකු හමුවීමට හා විශේෂ රාජකාරියක දී පමණි. දැන් ඔහු මේ සුව පහසු තනිකඩ නිවාසයේ තවත් විශේෂ අමුත්තෙකු සමග බ්ලැක් ලේබල් විස්කි බෝතලයක් හිස් කරමින් සිටී.

“බොනව අයිසෙ! අදවත් නොබොන විස්කිවලින් වැඩක් තියෙනවද? තමුසෙගෙ ප්‍රතිවාදියො දෙන්නෙකුයි, මගේ ප්‍රතිවාදියෙකුයි පරලෝකෙට ඇරපු සතුටට බොනව. බයිට් එකට හොද ඌරු මස් වගයකුත් තියෙනව. ඊයේ තමුසෙලගෙ ව්‍යාපාරෙ ඉන්න මාක්ස්වාදී ඌරෙක් රේඩ් කරන්න ගිහිල්ල තමයි මගේ කොල්ලො මේ ඌරටත් වැඩේ දීල තියෙන්නෙ. උන් මගේ කොටහ උයලම ගෙනැල්ල දීල තිබ්බ අයිසෙ. ඔව් අයිසෙ උන් මට හරි ආදරෙයි.”

අමුත්තා තවමත් වචනයක්වත් කතා නොකළේය. ඒත් ඔහු මේ වන විට විස්කි හා ඌරු මස් බයිට් එක සප්පායම් වෙමින් සිටියේය.

“ඔන්න තමුසෙට පොරොන්දු වෙච්ච විදියටම අරූගෙ ඛෙල්ල කපන්න මගේ කොල්ලො දම්මල මං ඒරියා එක ක්ලියර් කරල දුන්න. වැඩේ අවුලක් නැතුව වුණානෙ." අමුත්තා කටින් නොව ඉඟියෙන් උත්තර දුන්නේය. හේ වැඩිපුර නොබීමට හා වැඩිපුර කතා නොකිරීමටද ප්‍රවේසම් වන සෙයකි.

“එදා අපේ උන්ට දිනන්න තිබ්බ මැච් එක පැරදුණේ මයිකලූයි හේමන්තයයි හින්ද? ඌව මරන්න තරම් විශේෂ දේශපාලන හේතුවක් පොලීසියට තිබ්ඛෙ නෑ. ඒත් අයිසෙ පොලිස්කාරයො එක්ක මැච් ගහනකොට උන් දැනගන්න ඕනෙ පොලීසියට දිනුම දෙන්න. විශේෂයෙන් මේ වගේ කාලෙක. ඒත් ඒ මාක්ස්වාදී ඌරට ඕනෙ වුණේ උගෙ විප්ලවීය නඩේට ‘අපිට පොලීසිය පරද්දන්න පුළුවන්’ කියන සංඥාව දෙන්න. ඒකෙන් ඌ උගෙ නඩේට ඉඟි කළේ උන්ට රජය පරද්දල විප්ලවෙත් දිනන්න පුළුවන් කියලයි. ඔය අතරෙ තමයි තමුසෙ මට කියන්නෙ තමුසෙලගෙ දේශප්‍රේමෙටත් මූ හිසරදයක් වෙමින් ඉන්නව කියල. තමුසෙ කියපු දවසෙම තමයි මං තීරණය කළේ ඌට වැඩේ දෙන්න ඕන කියල. බලනව අයිසෙ තමුසෙලගේ දේශප්‍රේමෙට අපේ මර්දනෙත් ඵලදායක වෙන හැටි. මයිකල් ගැන ඔත්තුව දෙන තමුසෙගෙ කෝල් එක ආවෙ නියම වෙලාවට. ඒක මගේ විශ්වාසවන්ත කොල්ලො සෙට් එකම හිටපු වෙලාව. උනුත් තිතට වැඩේ කළා. අර බූරු රාමය දැනගත්ත නං කීයටවත් ඒක කරන්න වෙන්නෙ නෑ. කතාව ආරංචි වුණු ගමන්, ‘මේ වගේ අපරාධවලින් පොලිස් දෙපාර්තමේන්තුවම පිරිහෙනව......’ ඌ මොර තිව්ව. ඊට පස්සෙ ඌ මං දිහා බලාගෙන පාරම්බෑව මේ අපරාදෙ කරපු මිනීමරුවන්ව මං කොහොමහරි කොටු කරනව කියලා. මට හැමදාම සැකයක් තිබුණ ඕකට තමුසෙලගෙ මොකෙක් හරි එක්ක සම්බන්ධකමක් තියෙනව කියල. එදා තමයි මං හරියටම තීරණය කළේ ඒ සම්බන්ධකම තිබුණෙ මයිකල් එක්ක කියල. ඒක මං තහවුරු කර ගත්තෙ පොලීසියේ ඌට හිතවත්ව ඉන්නව වගේ රඟපාගෙන ඉන්න අපේම එකෙක් හරහා මේ ආරංචිය උගේ කනේ තියලයි. ඒ වෙලේ ඌ කලබල වෙච්ච තරම් වෙන කිසිම වෙලාවක ඌ කලබල වෙලා නෑ. තමුසෙ දන්නවද රාමනායක කියන්නෙ ඉතා තීක්ෂණ බුද්ධියක් තිබුණු මිනිහෙක්. එහෙම එකෙක් චංචල වෙන්නෙ තමන්ගෙ ළඟම මිනිහෙක්ට මොනව හරි වුණොත් විතරයි. ඉතින් එදා තමයි මං තීරණය කෙරුවේ මූව ඉවරයක් කරන්න ඕනැයි කියල.”

“තමුසෙත් දන්නවනෙ කැරලි කාලෙක පොලීසියේ හිටපු අවංක නිලධාරියෙකුට සම්මාන හා උසස්වීම් ලැඛෙන්න නම් ඌ කැරලිකාරයෙක් අතින් මැරෙන්න ඕන කියල. ඉතින් මං මොනවත් දන්නෙ නෑ. තමුසෙලගෙ දේශප්‍රේමීන් ඒක කළා. ඒ වගේම විප්ලවවාදියෙකුටත් සැමරුම් වීරයෙක් වෙන්න නම් ඌ මැරෙන්න ඕනෙ පොලීසියෙන් හරි හමුදාවෙන් හරි. ඉතින් අපේ උන් ඒක කළා. දැන් තමුසෙලට පුළුවන් තමුසෙලගෙ මයිකල්ව වීරයෙක් වගේසමරන්න. අපිට පුළුවන් රාමනායක සර්ට උසස්වීමක් දීල ලොකු වන්දියකුත් දෙන්න! දේශප්‍රේමීන් මර්දනය කිරීමේ මෙහෙයුමේ දී දිවි පිදූ වීරෝධාර නිලධාරියෙක් විදිහට. බොනව අයිසෙ. තව බොනව. මේ අපි දෙන්නගෙම අරමුණක් ඉටුවුණු වෙලාවක්.”

“මූට ටිකක් වැඩියි වගේ මූ මෙච්චරම කියවන්නෙ ඒකයි.” මේ අතර අමුත්තා සිතුවේය.

“...තමුසෙ දන්නවද සමාජවාදී ස්ටාලින්ට මං ගරු කරන්නෙ මොකද කියලා. ඌත් හොඳම කොමියුනිස්ට්කාරයන්ට ගේම දුන්නු දේශප්‍රේමියෙක්. ජාතික සමාජවාදී හිට්ලර් මං අදහන තවත් නායකයෙක් ඕයි. මිනිහ තමයි අයිසෙ කොමියුනිස්ට් හැතිකරය ලෝකෙන් තුරන් කරන්න ඕනය කියලා බය නැතිව ඉදිරිපත් වුණේ. ඒ වගේම තව එකක්, තමුසෙ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද. මං තමුසෙලට කැමතිත් ඒකයි.”

මෙතෙක් වේලා කට වසාගෙන සිටි අමුත්තාට ඉන් හොඳටම රිදුණි.

“සහෝදරය දේශප්‍රේමය හෑල්ලූවට ගන්නවට මං කැමැති නෑ. මේ ක්‍රමය වෙනස් කරන්න මේ වෙලාවෙ තියෙන හොඳම ආයුදේ දේශප්‍රේමය. ඒක අවුල් කරන්නෙ මයිකල්ල වගේ සහොදරයින්ට සමහර දේවල් කරන්න වෙන්නෙ කැමැත්තකින් නෙමෙයි. ඒත් මවුබිමේ නිදහස ඒ ඔක්කෝටම වඩා ශ්‍රේෂ්ඨයි.”

අමුත්තා මුල් වරට කතා කළේය.

වෙරි මතින් කට කැඩිච්ච කතා කියෙව්වාට අමුත්තා අවුල් කර ගැනීම තම මෙහෙයුමට හානිකර බව මහතන්තිලට ඒ ක්ෂණයෙන් වැටහිණ.

“හරි, හරි. සහෝදරය කලබල වෙන්න එපා. මමත් හොදදේශප්‍රේමියෙක් තමා. දැන් තමුසෙ මාව හම්බ වෙන්න ආවේ ව්‍යාපාරෙ ඉන්න කොමියුනිස්ට්වාදීන් ගැන වධවෙන හින්දනේ. මේ මහතන්තිල වැඩකට අත ගැහුවොත් ඒක ලේසියෙන් අරින්නෙ නැති බව තමුසෙත් දන්නවනෙ.”

“තමුසෙ නම් මහ භයානක, ඔර්ජිනල් පරයෙක්. තමුසෙගෙ ඔය පියකරු සිනහව යට මෙච්චර ලොකු මුර්ගයෙක් හැංගිලා ඉන්නව කියල කවුද හිතන්නෙ.” අමුත්තා මුල් වරට පැවසීය.

“සහෝදරයා තමුසෙ දන්නවද මං පුහුණුවට ඊශ්‍රායලේට ගිය වෙලාවෙ අපේ පුහුණුව බාරව හිටපු ඊශ්‍රායෙල් බුද්ධි අංශෙ කැප්ටන් කියපු කතාවක්. ඌ කිව්ව, උඹල ඇවිල්ල ඉන්නෙ කැරැල්ලක් මර්දනය කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න. මේකෙදි ගොඩක් වෙලාවට අපිට මරන්න නියෝගෙ දෙන්න සිද්ධ වෙන්නෙ ඉතාම හොඳ මිනිස්සුන්ව. උන් කාටවත් පෞද්ගලිකව වැරදි කරපු නැති හොඳ මිනිස්සු. ඒත් උන් රාජ්‍යයට වැරද්දක් කරනව. ඉතින් රාජ්‍යයේ හතුරො අපෙත් හතුරො. ඒ නිසා ඒ හොඳ මිනිස්සුන්ට අපි අනුකම්පා විරහිතයි. ඒත් ඒ වගක් අපේ මූණෙන් පේන්න බෑ. අපේ වචනවලින් දැනෙන්න බෑ. ඒ නිසා අපිට හැම වෙලාවකම අපේ භයානකකම හංගන්න වෙනව. කොහේද? පියකරු මූණක, ලස්සන හිනාවක, කාරුණික වචනවල. තමන් මරන්න නියෝග දුන්න එකාට මරණ මොහොතෙත් දැනෙන්න ඕන ‘අනේ අර සර් මාව බේරගන්න ගොඩාක් උත්සාහ දැරුව’ කියල. හැමෝම හිතන්නෙ නයයි මුගටියයි නයි වෛරයි කියල. උන්ට වරදින්නෙ එතන.”

මහතන්තිල සිනාසුණේය. එවර නම් අමුත්තා ද සිනාසුණේය. අනතුරුව දෙදෙනාගේ මධුපානෝත්සවය එළි වෙන ජාමය දක්වාම ඇදී ගියේය.

වගකීම් රහිතයි: © නයින් පබ්ලිෂිං, 2019. මෙය ප්‍රකාශන හිමිකම් ඇවිරුණු ලියවිල්ලකි. ප්‍රකාශකයන්ගේ ලිඛිත අවසරයකින් තොරව උපුටන යොදාගැනීම, සහ/හෝ මුද්‍රිත/නිර්ස්පර්ශ මාධ්‍ය ඔස්සේ නැවත පළකිරීම සපුරා තහනම් වන අතර, එසේ කිරීමෙන් නීතිමය ගැටලු ඇතිවිය හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment