සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

‘සෙංකොට්ටං’ නවකතාව රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ දෙවන නවකතාව ‘මාණික්කාවත’ යි. 2015 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන අවසන් නවකතා පහ අතරට ද මෙම නවකතාව නිර්දේශ විණි. 1880 සිට 1980 දක්වා සියවසක් පුරා දිගහැරෙන පරම්පරා හතරක ජීවන අන්දරය මෙම නවකතාව ඔස්සේ රැගෙන ඒමට කතුවරයා සමත් වී ඇත.

මෙම නවකතාව ‘සෙංකොට්ටං’ නවකතාවට සමාන්තර ව යන නවකතාවක් බව මෙහි 60 වන පිටුවේ දැක්වෙන දෙබස් කාණ්ඩයකින් පෙනෙයි. එහි දී කතුවරයා අපට සම්මුඛ කරනුයේ ‘සෙංකොට්ටං’ නවකතාවේ ප්‍රධාන චරිතය වන වීරප්පුලි හේනයාගේ බාල විය යි.

” කවුද උඹලා…? මොක ද දුරට වෙලා උන්නේ…?”
“මං අරඹෙ හේනයා. මේ මගේ කොලූ වීරප්පුලි හේනයා. අපි රිදීවිට.” (60 පිටුව)

‘මාණික්කාවත’ ප්‍රබන්ධ කතාවක් බව කතුවරයා කෘතියෙහි ම සඳහන් කර ඇත. ප්‍රබන්ධ කතාවක් යනු යමෙකු විසින් ගොතන ලද නැතහොත් සකස් කරන ලද කතාවකි. ප්‍රබන්ධ කතාවල සත්‍යය මෙන් ම කල්පිතය ද සංයෝග වී පවතී. සත්‍ය සිදුවීමක් සුළු වශයෙන් හෝ ප්‍රයෝජනයට නොගෙන අලුතින් ම යමක් නිර්මාණය කිරීම අපහසු කටයුත්තක් බව අප සැවොම දන්නා කරුණකි. මස්ඉඹුල මෙහි දී පාඨකයා අභිමුඛයට ගෙන එන කතාවේ සිද්ධි දාමය කතුවරයා ජීවත් වූ කාලවකවානුවට වසර ගණනාවකට පෙරාතුරුව සිදු වන්නකි. මෙය කතුවරයෙකුට මුහුණ පාන්නට ලැබෙන අභියෝගයකි. මෙවැනි කතාවක් නිර්මාණය කිරීමේ දී ඵෙතිහාසික සංසිද්ධි මෙන් ම ජනප්‍රවාදගත කතා පවා අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය ය.

මෙහි ප්‍රධාන චරිතය කෙටිහාමි ය. ඔහුගේ බිරිඳ පිච්චි ය. පිටුවහල් කිරීමකින් කොළොන්න කෝරළයෙන් අටකළං කෝරළයට පැමිණෙන මෙම යුවළගෙන් පරම්පරා හතරක ආරම්භය සනිටුහන් වේ. කෘතියේ කේන්ද්‍රීය චරිතය බවට පත්වන්නේ කෙටිහාමි ය. ඔහුගේ චරිතය බෝධිසත්වයෙකුගේ චරිතයක් ලෙසින් නිරූපණය කර තිබේ. හෙතෙම සොබාදහම, සතා සීපාවා පමණක් නොව මානව ප්‍රජාව කෙරෙහි ද දක්වන අසීමිත දයාව ප්‍රශංසනීය බවකින් යුක්ත ය. පිච්චී ද එවැන්නියකි.

“ඕං බලාපල්ලා අස්වැන්න කර තියාගෙන යන අපූරුව..! ඕකට ඉතින් එපා කීහැකැ…? කුඹුරකින් කොයිතරම් නං උදවිය බඩ පුරෝ ගන්නව ද…? කාරි නෑ… මේ උන්ගෙත් මහ පොළොව නොවැ…” (11 පිටුව)

” මිනිස්සු හැම කොට්ටාසෙකට ම ඇයි බැරි අර කුඹුක් ගස් පෙළ වාගෙ එකට ගෑවිගෑවි සංතෝසයෙන් ඉන්න? මනුස්සෙකුට කරදරක් කොරනවා තියා කූඹියෙක් පාගන්න තරම හිතන්න නාක යි…’ (136 පිටුව)

ප්‍රබන්ධ කථාවල හමුවන චරිත සැබෑ පුද්ගල චරිත නොවුණ ද, ඔවුන් සැබෑ පුද්ගලයින් ලෙස පාඨකයාට පෙනෙන්නට ඉඩ තිබේ. මාණික්කාවතෙහි හමුවන චරිත ද එවැනි ය. කෙටිහාමි වැනි සුදු චරිත සැබෑ ලෝකයේ දී හමු වේද යන්න විමසා බැලිය යුත්තකි. නමුදු මේ මහපොළොවට අවැසි වනුයේ එවැනි චරිත ය. පිච්චි, ගුණාදරී, හතිරිහං රාල නවකතාවේ දී හමුවන, නවකතාව කියවා අවසන් කළ පසු ද මතකයේ රැඳෙන චරිත ය.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අටකළං කෝරළයට කොටු වූ දිවිපෙවෙතක් කෙටිහාමි ඇතුළු පවුලේ අය ගත කළ ද, වරින්වර අටකළං කෝරළයට පැමිණෙන පිරිස් සහ ගම්වාසීන් අතර සිදුවන කතාබස්වලින් සමකාලීන බ්‍රිතාන්‍ය යටත්විජිත සමාජයේ සිදු වූ සිද්ධි දාමයන් කතුවරයා විසින් පාඨක අභිමුඛයට ගෙන එනු ලබයි. මුහුදුබඩ පළාත් ශිඝ්‍රයෙන් ත්‍රිස්තියානිකරණය වීම, ඕල්කට්තුමා සහ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රචලිත ව පැවති බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය, තේ වගාවේ ආරම්භය සහ තේ වගාව සඳහා දකුණු ඉන්දීය දමිළ ජනතාවගේ ආගමනය මේ අතර ප්‍රධාන වේ. සාහිත්‍යයට සමකාලීන සමාජයෙන් වියුක්ත විය නොහැකි බවත්, සාහිත්‍යය සමාජීය ප්‍රකාශනයක් බව මින් වඩාත් තහවුරු වේ.

වැඩවසම් රදළ ක්‍රමය හමුවේ නිලධරයන්ගේ සටකපටකමින් සූරාකෑම්වලට ගම්වැසියෝ ලක් වෙති. ආර්ථික සහ ලිංගික සූරාකෑම් ඒ අතර වේ. 1958 අංක 02 දරණ කුඹුරු පනත පිළිබඳ ව මෙන් ම 1956/58 මෙරට වාර්ගික ජන සංහාර පිළිබඳ ව ද මෙහි සඳහන් වේ.

“කලබල දැං රට මැද්දටත් ඇවිදිං… සිංහල කාණ්ඩයක් කියනවලු සිංහල විතරක් කතා කොළා ම ඇති ය කියල. දෙමළ කාංඩෙ කියනවලු එහෙම බෑ කියලා. ඕං ඕකට එකට එක කියෝගෙන තමයි රංඩු ඇවිළිලා තියෙන්නේ.” (134 පිටුව)

ශතවර්ෂයක් දෙස පසුවිපරමක් කොට බැලීමේ දී ශීඝ්‍ර පරිණාමයක් අපට දැකගත හැකි ය. ගොවිතැනින් පෝෂිත ව පැවති අටකළං කෝරළයේ පතල් කර්මාන්තය ප්‍රචලිත වන්නේ මෙම පරිණාමය හේතුවෙනි. අවසානයේ ගොවියන් පතල්කරුවන් බවට පත් වෙයි. ‘අප්පොච්චා’ කියූ පරම්පරාව ‘තාත්තා’ යැයි තම පියාට ආමන්ත්‍රණය කිරීම, ගොවිතැනින්, සොබාදහමින් යැපුණු අල්පේච්ඡ දිවි පෙවෙතක් ගත කළ ජනතාව රැකියා සොයමින් නගරය වෙත සේන්දු වීම, රත්නපුරේ සිට දියබඩගම් පත්තුවට ම මාර්ග ඉදි වී රථවාහන ගමන් කිරීම, රේඩියෝ යන්ත්‍රවල ආගමනය සහ කවි මඩු වෙනුවට සංගීත සංදර්ශන පැවැත්වීම මඟින් සංකේතවත් වනුයේ එකී පරිණාමය යි. ‘ගම්පෙරළිය’ නවකතාවේ දී වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදී සමාජ ක්‍රමයක් බිහි වීම දක්වා වූ පරිණාමය ‘මාණික්කාවත’ නවකතාවේ දී ද දක්නට ලැබේ. ගම්පෙරළියේ ‘පියල්’ මෙන් මාණික්කාවතේ ධනවාදී සමාජ ක්‍රමය ප්‍රකට කරන්නේ ‘සිරිනයන’ ය.

ක්‍රමානුකූල ව ගලාගෙන පැමිණි කතාව 13 වන පරිච්ඡේදයේ සිට අනවශ්‍ය කලබලයකින් කෘතිය අවසන් කිරීම දක්වා ගමන් කරන බවක් හැඟුණි. කතාව වේගවත් වන බවට ඉඟියක් ද කතුවරයා 12 වන පරිච්ඡේදය අවසානයේ පාඨකයාට ලබා දෙන්නේ එබැවින් විය යුතු ය.

“කිසිදු දෙයක් සිදු නොවන තැනක දී පවා එක ම එක දෙයක් සිදු වන බව ස්ථීර විය. ඒ කාලය වේගයෙන් ගමන් කරන බවයි.” (116 පිටුව)

ඉතිහාසය නැවත නැවතත් සිදු වන බව අප හොඳින් ම දන්නා කරුණකි. කෙටිහාමි සහ පිච්චි කොළොන්නා කෝරළයේ සිට අටකළං කෝරළයට පැමිණියාක් මෙන් ඊට සියවසකට පසු ව තිලකරත්න සහ සෙනෙහෙලතා අටකළං කෝරළයෙන් කොළොන්නා කෝරළයට ගමන් කිරීම ඉතිහාසය නැවත නැවතත් සිදු වන බවට ලබා දිය හැකි කදිම නිදසුනකි. කෙතරම් නවීකරණය වුව ද පාරම්පරික ඥානය නූතන පරපුර ද තවදුරටත් ඉදිරියට රැගෙන යන බව කෙටිහාමි මඩ තවාලූ වී අහුරක් රැගෙන පැමිණියාක් මෙන් තිලකරත්න ද වී අහුරක් අතැති ව ගමන් කිරීමෙන් විද්‍යමාන වේ. විශාල සමාජ පරිවර්තනය නෙත ගැටෙන තිලකරත්න මහා හිස් බවකින් යුතු ව එකී සමාජයෙන් වියුක්ත වීමට වෙර දරන බවක් පෙනෙයි. මස්ඉඹුල පවසන්නාක් මෙන් ‘එක් චක්‍රයක් අවසාන වන විට තවත් චක්‍රයක් ආරම්භ වීමේ පරම විශ්වාසදායක ස්වභාවය කිසිදා වෙනස් නොවනු ඇත.’

“…තිලකරත්න සහ සෙනෙහෙලතා පල්ලෙබැද්දේ සිට කොළොන්න පාරේ කුඹුරුගමුව දක්වා සෙනඟ අදින ලොරියක නැගවිත් එතැන් සිට පයින් ගමන් කරන්නට වූ හ. තිලකරත්න අත වූ සිමෙන්ති කවරයේ අල්ප වූ අඩුම කුඩුම අතර තිබූ ඒ වටිනා වස්තුව, බොල් පිස දා ඉතිරි කර ගත් වී අහුර තරුණයා කී ගොවිපොළේ සිටුවීම ඔහුගේ බලාපොරොත්තුව යි.” (164 පිටුව)

කතුවරයා ස්වකීය නවකතාවල උච්චස්ථානයේ දී කතාව අවසන් නොකරන බව ‘සෙංකොට්ටං’ නවකතාවේ උච්චතම අවස්ථාව වන පොඩිනාගේ මරණය අභියසින් කතාව අවසන් නොකොට තවත් පරම්පරාවක් වෙත කතාව රැගෙන යාමෙන් පැහැදිලි වෙයි. එලෙසින් ම ‘මාණිකාවත’ තුළ ද කෙටිහාමිගේ මරණයෙන් හෝ ගුණාදරීගේ මරණයෙන් කතාව අවසන් නොකොට නව පරම්පරාවක් වෙත කතාව රැගෙන යාම දැකගත හැකි ය. එහෙත් වත්මන් පාඨකයා සිටින ස්ථානය පිළිබඳ මනා වැටහීමක් කතුවරයාට ඇති බව පෙනෙයි. ඒ ඔහු ‘සෙංකොට්ටං’ නවකතාව ඔස්සේ ලබාගත් අසීමිත පාඨක ප්‍රතිචාර නිසාවෙන් විය යුතු ය. ඒ පාඨක ප්‍රතිචාරවල උණුසුමින් ම ඔහු ‘මාණික්කාවත’ නවකතාව ද රචනා කර ඇත. අපෙන් දුරස්ථ වූ ගැමි ජීවිතයට පෙම්බඳින පාඨකයා ඔහුගේ ඉලක්කය බවට පත් වී ඇත. මෙතෙක් ඔහු රචිත නවකතා සියල්ල ගැමි සමාජයෙන් ඔබ්බට ගමන් නොකර ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. සුඛාන්තයට වඩා ඛේදාන්තය අපේක්ෂා කරන ලාංකික පාඨකයාට ස්වකීය සෑම නවකතාවක ම තදබල සංවේදී අවසානයක් ලබා දීමට කතුවරයා උත්සුක වී ඇති බව පෙනෙයි.

‘මාණික්කාවත’ නවකතාව ඇසුරෙන් එහි නමින් ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය විය. එය ස්වාධීන රූපවාහිනියේ 2021/2022 වසරවල විකාශනය විය. සුදත් රෝහණගේ අධ්‍යක්ෂණයෙන් සහ ෆහිම් මවුජුඩ්ගේ නිෂ්පාදනයෙන් මෙම ටෙලිනාට්‍යය නිර්මාණය විය. මෙම ටෙලිනාට්‍යයට සමගාමී ව රේඩියෝ නාටකයක් ද ලක්හඬ ගුවන්විදුලි නාලිකාවේ විකාශය විණි. කෙටිහාමිගේ චරිතයට ජගත් චමිල ද, පිච්චිගේ චරිතයට උමා අසෙනි ද රංගනයෙන් දායකත්වය ලබා දුනි.මෙහි තිර පිටපත් රචකයා බවට පත් වූයේ ද නවකතාවේ රචකයා වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ය. නවකතා රචකයා ම තිර රචනය සිදු කිරීම නිසාවෙන් නවකතාවේ රසය තිර රචනයෙන් පවා ලබා ගැනීමට ප්‍රේක්ෂකයාට හැකියාව ලැබුණි. නවකතාවේ විස්තර වන පසුබිම් දර්ශන ඒ ලෙසින් ම ටෙලිනාට්‍යයෙහි ද අන්තර්ගත වීම එයට හේතු වන්නට ඇත. කතාංග 72කින් සමන්විත වූ මෙම ටෙලිනාට්‍යය 2022 වසරේ හොඳම ටෙලිනාට්‍යය බවට ද පත් විය.

ඩේවිඩ් ලොජ් (David Lodge) නම් වූ විචාරකයා ‘Language of Fiction’ (1966) කෘතියේ දී පවසන්නේ කවියාගේ මෙන් ම නවකතාකරුවාගේ ද මාධ්‍යය භාෂාව බවයි. එමෙන් ම ඔහු වැඩිදුරටත් පවසන්නේ ගද්‍ය ප්‍රබන්ධයේ භාෂාව එදිනෙදා ව්‍යවහාර බසට සමීප බවක් දක්වන හෙයින් එය සාමාන්‍ය ජීවිතය පිළිබඳ ව උනන්දුවක් ඇති කරන බවයි. මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ නවකතාව මෙයට නිදසුනකි. මස්ඉඹුලගේ මේ දක්වා රචනා වූ ‘සෙංකොට්ටං’ (2012), ‘මාණික්කාවත'(2015), ‘අපොයියාව’ (2020) සහ ‘මැයි මාර ප්‍රසංගය’ (2023) යන සියලු නවකතා පාඨකයා අතර අතිශය ජනාදරයට පත් වන්නට හේතු වී ඇත්තේ ද ඔහුගේ මනරම් භාෂා භාවිතය නිසාවෙනි.
ප්‍රබන්ධ කතාවක් කියවීමේ දී සහෘදයා සහ ප්‍රබන්ධය අතර විශේෂිත බවින් යුතු තාවකාලික සම්බන්ධතාවක් ගොඩනැගෙයි. ‘මාණික්කාවත’ ප්‍රබන්ධ කතාව කියවීමේ දී ද එකී විශේෂිත සම්බන්ධතාව තාවකාලික බවින් ඔබ්බට ගමන් කරමින් ගොඩනැගෙන්නක් බව පැවසිය යුතු ය. ප්‍රබන්ධ කතාව අප ව ජිවිතයෙන් තාවකාලික ව පලායාමට පොළඹවනු ලැබේ. එහෙත් එය වඩාත් ශක්තිමත් ව ජීවිතයට මුහුණ දීමට අපට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ‘මාණික්කාවත’ නවකතාව ද අප වත්මන් සමාජයෙන් පලවා හැර අතීත ගැමි සුවඳ පිරුණු, සුළං ධාරාවන්ගෙන් පිරුණු ඈත පිටිසර ගම්මානයක් වෙත රැගෙන යනු ලබයි. එමෙන් ම සොබාදහමින් දුරස්ථ ව දිවිගෙවන වත්මන් ප්‍රජාවට සොබාදහමත් සමඟ අත්වැල් බැඳගන්නට ආරාධනා කරයි.

“සුළං සුළං වරෙන්නේ
වරෙං වරෙං සුළන්නේ
අපිත් එක්ක යන්න වරෙන්නේ…” (165 පිටුව)


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment