රුවන්පුරයේ සුන්දර පරිසරයක ගඟකින් සහ තේ වත්තකින් හැඩවූ කලාපයක හැදී වැඩුණු දැරිවියක, කුඩා කල සිට මල් එකතු කර මල් කිණිති තැනීමේ මෙන්ම කවි මිමිණීමේ පුරුද්ද පමණක් නොව තමන් නිර්මාණය කරන චරිත තනියෙන් රඟදැක්වීමේද යෙදී සිටියාය. ලේඛිකාවක වීමේ සිහිනයක් එකල නොතිබුණද පසු කලෙක පිටපත් පනස්දහසකට අධික ප්‍රමාණයක් අලෙවි වූ "Forget me not මල් කිණිත්තක පුරාවෘත්තය" නම් නවකතාවේ සම කතුවරිය බවට ඇය පත්වූයේ කුඩා කල සිටම කතන්දර ගොතන්නට හුදෙකලාවේ සිට ඇය උත්සාහ කළ නිසා විය හැකිද? ඉතින් ඒ ගැන ඇගෙන්ම විමසන්නට අපි තීරණය කළෙමු.
ඇයගේ සාහිත්‍ය ගමන ආරම්භ වන්නේ පාසල් සමයේදීමය. ‘පාළු ගෙදර බෝනික්කා’ නම් ළමා කෘතියත්, ‘බහිරව ගලේ නිධානය’ නමින් යොවුන් නවකතාවකුත් එළිදක්වන ලද ඇය පසුව ‘පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන’ නම් කාව්‍ය සංග්‍රහය තුළින් පාඨක ප්‍රජාව වෙත සමීප වූවාය. ඇය විසින් රචිත ‘බහිරව ගලේ නිධානය’ නම් යොවුන් නවකතාව එම වසරේ රජත පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය. මෑතකදී ඇය ‘ඇහැළ මලට දම් පාටක්’ නමින් තවත් යොවුන් නවකතාවක් ප්‍රකාශයට පත්කළාය. ආයුර්වේද වෛද්‍යවරියක ලෙස සිය උපාධිය අවසන් කර සිටින ඇය මේ සාහිත්‍ය මඟෙහි බොහෝ දුර ගමන් කරන්නට සිටින තරුණ ලේඛිකාවකි. මේ The Asian Review Sinhala වෙනුවෙන් ඇගේ ලේඛන ජීවිතය පිළිබඳ කළ කතාබහකි.
Q: ඔබව මම මුලින්ම අඳුන ගත්තේ ඉතාම දක්ෂ නැගී එන කිවිඳියක් විදියට, ඒ ඔබේ පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන කියන පොත හරහා. කවි ලියන්න පෙළඹුම ලැබුණේ කොහෙන්ද?
A: මට නිශ්චිත මතකයක් නැහැ ඒ ගැන. ඒත් අම්මයි තාත්තයි වැඩ කරන වෙලාවට මම තනියෙන් ඉද්දි කවි හදනවා. ඇත්තටම මම කටින් මුමුණ මුමුණ ඉන්නවා. හැබැයි හරියට කවියක් විදියට ලිව්වෙ නම් ඉස්කෝලෙ ගියාට පස්සෙ. කතන්දරත් එහෙම තමයි. මගේම චරිත මම තනියම රඟපානවා ඒ කාලේ .
Q: එතකොට ගෙදර පරිසරය ඇතුළෙ මේ කවියට හෝ කතන්දරයට ඉඩ තිබුණද?
A: ගෙදරින්, අම්මල තාත්තලා නම් එහෙම කවිය හෝ කලාව එක්ක සම්බන්ධයක් තිබුණෙ නැහැ. මගේ සීයා නම්, අම්මගේ තාත්තා, සල්පිල්වල කවි කියලා තියෙනවා. එහෙම කලාවට සම්බන්ධයක් තිබුණ කෙනෙක් හිටියා නම් ඒ සීයා විතරයි.
Q: ඔබ ජීවත්වෙන්නෙ රත්නපුරේ. සුන්දර පරිසරයක්. ඒ පරිසරය කොහොමද පොඩි කාලේ ඔබට බලපෑවේ?
A: පරිසරය කිව්වොත් මම ටිකක් ඔය කැලේ කොලේ ගැවසිලා තියෙනවා. අපිට පොඩි තේ කෑල්ලක් තියෙනවා. ඒ වටපිටාව සුන්දරයි. මගේ සිරිතක් තිබුණා ඉස්සර හැමතැනම ඇවිද ඇවිද මල් කඩනවා, මල් කිණිති, පොකුරු හදනවා.
Q: මල් කිණිත්තක පුරාවෘත්තය පටන් ගත්ත තැන එතන වෙන්නැති එහෙනම්?
A: මට සාමාන්‍යයෙන් කවියක් ලිව්වත් ගහක් කොළයක් මලක් තියෙන්නම උවමනයි. නැත්නම් මට ඒක දැනෙන්නෙ නැති ගතියක් තියෙනවා. සමහර අය මගේ කවිවලට කොළපාට කවි කියලත් කියනවා. මාව සම්පූර්ණ වෙන්නෑ කියලා හිතෙනවා එහෙම නැත්නම්.
Q: ඔබේ නිර්මාණ පරිසරය සමඟ බද්ධ වෙලා තියෙනවා ඔය කියන විදියට…?
A: ඔව් දැන් ඔය පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන කවිය එන්නෙත් ගඟ එක්ක. අපේ ගේ පහළ ගඟ තියෙනවා. ගඟෙන් එගොඩ තේ කෑල්ල. කඳු පේනවා. සිරීපාදෙ කන්ද පේනවා. සිරීපාදෙට නගින පාර දිගට ලයිට් දාලා තියෙන විදිය අපේ ගෙදරට පේනවා. ඒ් පරිසරයේ බලපෑම මට තියෙනවා.
Q: පොඩි කාලේ කතන්දර අහලා තියෙනවද? කියවීම කොයි විදියටද සිද්ධ වුණේ?
A: තාත්තා පොඩි කාලේ නිදියන්න යද්දී කතන්දර කියනවා. හුඟක්ම ගැමි කතා තමයි තාත්තා කිවුවෙ. මට මතකයි මම පෙර පාසල් යන කාලේ පත්තරයක් තිබුණා රංකිරි කියලා. ඒක තමයි මට කතන්දර ගැන මුලින්ම කුතුහලයක් ඇතිකරපු පත්තරය. ඒක පාට පාට පත්තරයක්. හරි ලස්සනයි. චිත්‍ර ඇඳලා. මේකේ කතන්දර වගේම විශේෂ සිද්ධි තිබුණා. උදාහරණයක් විදියට මට තාම මතකයි ඒ පත්තරේ චන්ද්‍ර ග්‍රහණය ගැන ලිපියක් තිබුණා. ඒකෙ තිබුණා චීන විශ්වාසයක් තියෙනවා මකරා හඳ ගිලිනවා කියලා. මේක හරි ලස්සන චිත්‍රයකින් ඇඳලා තිබුණා.
Q: ඔබේ කවි ඇතුළෙත් තරමක් මායාමය තානයක් රැඳිලා තියෙනවා. ඒ මේ බලපෑමද?
A: ඔව්. මම කැමති විදිය තමයි ඒක. මිතිකල් ටෝන් එකකට මම ආසයි. ඒ කාලේ තව තිබුණා යෝධයාගේ මල් උයන කියලා කතාවක්. ඒකෙ හරි ලස්සනට චිත්‍ර ඇඳලා තිබුණා. දැන් මම කල්පනා කරද්දි හිතෙනවා මම ලියන දේවල් ඇතුළෙ තියෙන්නෙත් ඒ වගේ දේවල් නේද කියලා.
Q: ඊට පස්සෙ අවුරුදු පහළොව විතර වෙනකොට කියවීම කොහොම සිද්ධ වුණේ?
A: මම ඒ කාලේ වැඩිය පොත් කියවපු කෙනෙක් නෙමෙයි. ලස්සන වසීලිස්සා වගේ පොතක් මම කියෙව්වෙත් හුඟක් පස්සෙ කාලෙක. ඒ කාලෙදි මම පන්තියෙ පළවෙනියා වුණොත් අම්මා පොතක් අරගෙන දෙනවා. යාලුවොන්ගෙන් ඉල්ලගෙන පොත් කියවනවා. හැබැයි බදාගෙන පොත් කියෙව්වෙ නෑ. මම වැඩියෙන් කියවන්න ගත්තෙ කැම්පස් ගිහින්. මහපොළ ලැබුණම තමයි මම මටම කියලා පොත් ගන්න පටන් ගත්තෙ.
Q: කියවීම කිව්වම පොත් කියවනවාම විතරක් නෙමෙයි. මිනිස්සු කියවීමත් කියවීමක් තමයි නේද?
A: ඇත්තටම මට අමුතු පුරුද්දක් තිබුණා. මම බස්එකේ යද්දි, ගමන් යද්දි හුඟක් වෙලාවට ගෙවල් කියවනවා. ගෙයක් දැක්කහම ඒ ගේ ගැන මගේ ඇතුළෙ කතාවක් මැවෙනවා. මේ ගේ ඇතුළෙ මොනවගේ දේවල් වෙනවා ඇද්ද කියලා. විශේෂයෙන් පාන්දර කොළඹ යද්දි, සමහර ගෙවල්වල ලයිට් දාලා තියෙනවා එක කාමරේක. මම හිතනවා ආහ් මේ කුස්සිය වෙන්නැති. එහෙම මම ඒකට අදාළ කතාවක් පරිකල්පනය කරනවා. බස් එකේ යන වෙලාවක නින්ද ගියේ නැත්නම් මම කරන්නේ ඒක තමයි.
Q: ලිවීම ගැන මුලින්ම තදබල විදියට මතක දේ මොකක්ද?
A: මම අට වසරෙදි රචනාවක් ලිව්වා විජය පත්තරේට. ඒක පළවුණා. ඒ් ලිව්වෙත් මේ පරිසරය ගැනමයි. කඳු වැටි මීදුමෙන් වැහෙන හැටි.
Q: ඉස්කෝලෙ යන කාලෙදි ලිවීම දිගටම සිද්ධ වුණාද?
A: ඔව්. මම හත වසරෙ ඉඳලා හැම අවුරුද්දෙම පොතක් ලියනවා. පොත ලියලා යාලුවන්ට දුන්නා මොනවා කියයිද දන්නෑ කියලා බයෙන්. ඊට පස්සෙ අට වසරෙදි පොතක් ලිව්වා. අටේදි තමයි මම මුලින්ම බහිරව ගලේ නිධානය ලියන්නෙ. මම පස්සෙ කාලෙක මුද්‍රණය කරද්දී කතාව වෙනස් කරලා, වෙනම විදියකට තමයි මුද්‍රණය කළේ. හැබැයි ඒ පරිසරය, ඒ චරිත ටිකම අරගෙන කතාව ලිව්වා. ඒ කාලේ ඉතින් මම ලියපු පොත් අපේ මුළු සෙක්ෂන් එකේම යනවා. ළමයි කියවනවා.
Q: යාළුවෝ කියවලා අදහස් කිව්වද?
A: ඔව්. එයාලා තමයි හුඟක්ම මාව දිරි ගැන්නුවේ. ඒගොල්ලො කියවලා දේවල් කියද්දී මම තව තවත් ලියන්න ආස වුණා. හැබැයි මට ඉස්කෝලෙ තරඟවලින් සහතික වගේ දේවල් නැහැ. මොකද මට මාතෘකාවක් දීලා ලියන්න කිව්වොත් ඒක කරන්න අමාරුයි.
Q: මෙහෙම කියද්දී මට හිතුණා මෙහෙම අහන්න. දැන් ඔය කතාවලට වස්තු බීජ සපයගන්නේ ඔයාගේ වටපිටාවෙන්මද? නැත්නම් පරිකල්පනයෙන්ද? බහිරව ගලේ නිධානය වගේ පොතක් ලියන්න බලපාපු කාරණය මොකක්ද?
A: ඔව්, මම දැකපු දෙයක් හෝ විඳපු දෙයක් තමයි මම හැමවෙලාවෙම ලියන්නෙ. බහිරව ගලේ නිධානය ලියන්න මුලින්ම අදහස පහළ වෙන්නේ අපේ පැත්තේ තියෙන ලොකු ගලක් දැකලා. අපි පන්සල් යනකොට මේ ගල පහුකරන් යන්නෙ. ඒක දකිද්දි මට මේ අදහස මුලින්ම ආවෙ. මගේ ඔළුවෙ නිර්මාණය වෙච්ච චරිත ටිකක් හිටියා. යාලුවො ටිකක්. මොකක් හරි විශේෂ තැනක් දැක්කහම, ඒ චරිත ටික මෙතනට ගෙනත් දැම්මනම් මොනවා කරයිද කියලා මම පරිකල්පනය කරනවා. මම මේ මෑතකදි කරපු ‘ඇහැළ මලට දම් පාටක්’ පොතටත් එහෙම තමයි වුණේ. 176 පාරේ යනකොට නාවල හරියෙ ඇහැළ ගහක් තියෙනවා. ඒ ඇහැළ ගහ තමයි පොත පටන් ගන්න මුල් වුණේ.
Q: මම දැනගන්න කැමතිම දෙයක් තියෙනවා. කවියක් ලියවෙන්න යනවා කියන මොහොත කොහොමද දැනෙන්නෙ? ඒ හැඟීම කොයි විදියේ එකක්ද?
A: කවිය මතුවෙන වෙලාව හරියට කියන්න බැහැ. හරියට දේවතා එළියක් වගේ. එකපාර මතුවෙලා නැතිවෙලා යනවා. හුඟක් වෙලාවට මට මේක සිද්ධ වෙන්නෙ. සෙනඟ පිරුණු බස්වල හිටගෙන යද්දි තමයි හොඳම අදහස් එන්නෙ. සමහර කවි මම ආපහු බලද්දි ඒවා මම ලිව්වේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.
Q: ඒ කියන්නෙ මූලාශ්‍රයක් හිතාගන්න බැහැ, කොහේදෝ තිබිලා එකපාරම මතුවෙනවා?
A: සමහර වෙලාවට ලියන්න ගත්තට මේක කොතනින්ද ඉවර කරන්නෙ කියලා මම දන්නෙ නැහැ. පටන් ගද්දි තිබුණ දේ නෙමෙයි අවසානයට යද්දි ලියවෙන්නෙ. ඇත්තටම මම කරන්නෙ ටයිප් කරන එක.
Q: දැන් එහෙම කවියක් ලියලා ඉවර වුණාම මොන වගේ හැඟීමක්ද දැනෙන්නෙ?
A: හරිම සනීපයක් තමයි දැනෙන්නෙ. සැහැල්ලුවක්. ලොකු බරකින් නිදහස් වීමක් වගේ. මගේ මිතුරියක් ඉන්නවා කවි ලියන. ඇයට ළඟදි දරුවෙක් ලැබුණා. එයා කිව්වා දරුවා බිහිකළාට පස්සෙ ජීවිතේ කවදාවත් නොදැනුණ විදියේ සනීපයක් දැනුණා කියලා. කවියක් ලිව්වට පස්සෙත් ඒ වගේ හැඟීමක් දැනෙනවා. සැනසිලිදායක සනීපයක් වගේ ගතියක් දැනෙනවා. මම කවිය ගැන කියද්දි පාවිච්චි කරන වචනයක් තමයි කිතිකැවෙනසුලු කියන වචනය. ඒ කියන්නෙ හිරිගඩු පිපෙනෙවා වගේ හැඟීමක්.
Q: දැන් අපි මෑත කාලෙට ආවොත්, Forget me not හරහා ඔබත්, චරිතාත් විශාල ජනප්‍රියතාවයක් ලබනවා. මොකද දැන් හිතෙන්නෙ ඒ ගැන?
A: ඇත්තටම පොත කරද්දි ඒක මෙච්චර ජනප්‍රිය වෙයි කියලා සිතුවිල්ලක්වත් තිබුණෙ නැහැ. අපි කල්පනා කළේ ගහපු පොත් ටික විකිණෙයිද කියන එක විතරයි. හැබැයි සති දෙකක් යද්දි පොත් ටික ඉවර වුණා. ගොඩදෙනෙක් චෝදනා කළා අපි නෙගෙටිව් මාකටිං කරන්නේ කියලා. ඇනොනිමස් පෝස්ට් දානවා කියලා චෝදනාත් ආවා. පොත කියවපු අයගේ ආසාවට ඒ අය කරපු දේවල් තමයි හුඟක් තිබුණෙ.
Q: පොත තෑගි දෙන්න යම් විදියක රැල්ලක් හැදුණා කිව්වොත්?
A: ඔව් මුල් පිටපත් අපිම තමයි තැපැල් කළේ. එතකොට ගොඩදෙනෙක්ගෙ ඉල්ලීම් තිබුණා. මේක තෑගි කරන්න, ලස්සන දෙයක් ලියලා දෙන්න කියලා. මේ පොතෙන් අපිට පුළුවන් වුණා පාඨකයා එක්ක සමීපව සම්බන්ධ වෙන්න.
Q: මට මතකයි එක වෙලාවක ඔබ දෙදෙනාම කියලා තිබුණා පොත නිසා හුඟ දෙනෙක්ගෙ ජීවිත කතා ඇහුවා කියලා…?
A: කියවපු අය අපිට කතා කළා. මැසේජ් කළා. ලියුම් එවුවා. ඒ හැමෝම කිව්වේ ඒ අයගෙ ජීවිතවලට සමීප දෙයක්, මටත් මෙහෙම වුණා, මටත් මෙහෙම වුණා කියන කාරණය. මම හිතන්නෙ පොත ජනප්‍රිය වෙන්න හේතුව තමයි පොත හු දෙනෙක්ගෙ ජීවිත කතාවලට සමීප වීම. හැමකෙනෙක්ටම මේක ඇතුළෙ එයාගෙ කරගන්න කොටසක් තිබුණා.
Q: ඒ එක්කම පොතට විරුද්ධ කණ්ඩායමකුත් බිහිවුණා…?
A: පොතකට හොඳ නරක කියන්න පුළුවන්. ඒවා හේතු සාධක ඇතුව ලියන අය ඉන්නවා. හැබැයි ඒ අතරෙ කිසිම දෙයක් නැතුව බනින අයත් ඉන්නවා. මේක මේ හැමතැනම තියෙනවා, මොකක්ද මේ පොත කියලා කියපු අයත් හිටියා.
Q: චතුරි හිතන්නෙ ඔය පොත වැඩියෙන්ම කියවන්න ඇත්තේ මොන කාණ්ඩය කියලද?
A: වයස විස්ස සහ තිහ අතර තමයි හුඟ වෙලාවට. අපිට ලැබුණ ප්‍රතිචාර හරහා තේරුණ දෙයක් තමයි ඒක. 90ස්ලා, 90 දශකයේ ඉපදුණ අය තමයි බහුතරය. මොකද පොතේ තියෙන දේවල් ගොඩක් සමීප ඒ අයට.
Q: මේ ආකෘතිය හැදුණෙ කොහොමද?
A: මම හිතන්නෙ දෙන්නෙක් එකතු වෙලා ලියුම් ඇසුරෙන් නවකතාවක් ලිව්ව පළවෙනි අවස්ථාව ලංකාව ඇතුළෙ. මීට කලින් යුගල හැටියට පොත් ලියලා තිබුණත්, තනිකර ලිපි ඇසුරෙන් පොතක් ලියවිලා නැහැ.
අපි ඔය කතා කර කර ඉන්න අතරෙදි ඒ කාලේ පොතක් ආවා දෙවරක් පෙරන ලද පිරිත් පැන් කියල. ඒක දෙන්නෙක් එකතු වෙලා ලියපු පොතක්. ඉතින් අපිටත් හිතුණා එකතු වෙලා පොතක් ලියලා බලන්න. එහෙම තමයි පොත මුලින්ම ලියවුණේ.
Q: දැන් මේ හදිසි ජනප්‍රියතාවත් එක්ක ඊළඟ නිර්මාණය පාඨකයා හමුවේ තියද්දී මොනවගේ දෙයක්ද දැනෙන්නෙ?
A: තිගැස්මක් තියෙනවා. මොකද Forget me not කියවපු පාඨකයෙක් මගේ ඊළඟ පොතෙන් ඒ විදියෙ දෙයක්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ලියන ඒවා පොතෙන් පොතට වෙනස්. ඒ තිගැස්ම තියෙනවා පාඨකයා කොයි විදියට මේක භාරගනීද කියලා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
