මෙයට දශක එකහමාරකට පමණ පෙර තිබූ බම්බලපිටිය අපගේ වැයික්කිය හෙවත් මරියකඩේට බොහෝ එපිටින් විහිදී තිබුණත්, සැබවින්ම බම්බලපිටියද අපේම වැයික්කියක් වූ බව හැඟෙන්නට හේතුව බම්බලපිටියේ උපකාරක පංති යෑමම නොවේ. පංති පටන් ගන්නා තුරු, පංති අවසන් වෙන තුරු සිදුවන නුවර සිරි නැරඹුම් සඳහාද පුරප්‍රවරය වූයේ බම්බලපිටිය වීම මෙනුවරට ඇති ලබැඳියාවට හේතුවක් විණි. අද මෙන් පා ගමනින්ම යනෙන පදිකයින්ව සරතැසින් පෙළනා දැඩි හිරු රැසක් නොතිබුණු වගක් හැඟෙනා එදා, පැටි වියේ පසුවූ අපට බම්බලපිටිය මල්ගුඩියක්ම විණි. බොහෝ විට මරියකඩේ සිට ආරම්භ කරනා බස් ගමන කෙළවර වෙන්නේ අමතර පංති පැවැත්වුණු මිලාගිරියෙන් නොව ඊට බොහෝ මෙපිට මැජෙස්ටික් සිටිය කිට්‍ටුවෙනි. එතැන් සිට පංති පටන් ගන්නා වේලාව ආසන්න වුවත්, පංතියට යෑමට වේලාසන වැඩි වුවත් මග දෙපස සිරි නරඹමින්, එකෙල මෙකෙල වෙමින්, මග දෙපස පිපි සොඳුරු පුෂ්පයන් විඳිමින් යන පා ගමනට සැලකිය යුතු කාලයක් ගතවෙයි.
කාල වේලාව තිබූ ඇතැම් විටක සරස්වතී හෝටලයේ ලූණු තෝසයක රස නොවිඳ යන්නට හිත හදාගැනීමට නොහැකි වෙයි. ඒ ලෙසින්ම ඉර හැරෙන්නට ඔන්න මෙන්න තිබියදීද පංති අවසන් වී පා ගමනින්ම බම්බලපිටිය ස්ටේෂමට පැමිණෙන්නට මිලාගිරියේ සිටම රේල් පාරම තෝරා නොගැනීමටද හිත හදාගැනීමට නොහැකි වෙයි. 1941 පමණ ආරම්භ වූ සරස්වතී හෝටලයට ගොඩ වැදෙනා විට සයිවර් සුවඳ සමගින් පැමිණෙන නොස්තැල්ජික හැඟීම් මෙන්ම පැරණි තාලේ ගොඩනැඟිලි සහ වෙරළේ ගල්පර නහවන රැළි නගන ඉන්දියානු සාගරය මැදින් වක් වෙමින් වැටුණු රේල් පාර දිගේ වූ අතීත මතකයන්ද බම්බලපිටිය පුරය කෙරෙහි ලැබැඳියාව දැඩි කරවයි.
බම්බලපිටිය නගරය අපගේ මල්ගුඩිය වූවා සේම බටහිර වර්ජිනියාවද වූ සෙයකි.
Country roads, take me home
To the place I belong
West Virginia, mountain mama
Take me home, country roads
නිල්වන් හිසින් යුත් මහා කඳු ප්‍රාන්තයන් හෝ ෂෙනන්ඩෝආ ගංගාවක් බම්බලපිටිය පෙනෙනා තෙක් මානයක නොතිබුණත්, රේල් පාර දිගේ සුළඟ පරයමින් Country roads, take me home යනුවෙන් ගයමින් පිය මැනීමට ඒ කිසිවිටකත් බාධාවක් නොවුණි.
බම්බලපිටිය හංදියේ උත්තුංගව නැඟී සිටි මැජෙස්ටික් සිටිය එදා ද අපගේ ප්‍රියතම සැරිසර පෙදෙසක් නොවුණි. නමුත් එතැනින් ඉදිරිපිට ඩුප්ලිකේෂන් පාර වෙත දිවෙන ලෝරිස් පාරේ මැදක වූ උයන අද මෙන්ම එදාද අපගේ ගමන හෝරාවකට දෙහකට නවතන්නට සමත් විණි. අද මෙන්ම එදාද උයන සමුවන්නේ උයන සොයා යන්නෙකුට පමණක්ම යැයි සිතෙනා ලෙසට අනෙකුත් පැරණි ගොඩනැඟිලි හා මුසුව, කුඩා ඉඩක සැඟවී තිබිණි. උයනට ඇතුළු වන පටු දොරකොඩ එතරම් දෙයක් නොවූවත්, ඉන් එබී බලන්නෙකුට පෙනී යන්නේ දොරකොඩින් එපිටට විහිදී ගිය රැකෝඩ්ස්, චිත්‍ර, මූර්ති, සැපෝ ලයිටර්, දුම් බීමට වන අංගෝපාංගයන්ගෙන් පිරි නාර්නියා දේශයකි. සැබවින්ම සංස්කෘතික සාපිපාසාවකින් පෙළුණු කොල්ලන් වූ අපට උයන නාර්නියාවක්ම විණි. එහි දොරින් ඇතුළු වූ විට දක්නට ලැබුණේ තුරු විටපයෙන් සෙවණ වූ, නේක සුපුෂ්පිත පුෂ්පයෙන් වැසී ගිය උයනකි.
ඉන්දියානු මූර්ති වල සිට ඔරිජිනල් රැකෝඩ් තැටි දක්වා වූ විවිධ ශෛලීන්ට, විවිධ රටවලට අයත් වූ චිත්‍ර, ගීත තැටි, මූර්ති, කුඩා අනුරූ ඈ දහසක් අලංකරණයන්ගෙන් උයන වැසී ගොස් තිබිණි. මෙම උයනේ පියතිලක නම් වූ යෝධයෙකු විණි. කාලවර්ණ වූ කේශයෙන්ද, ධවල වර්ණ වූ දිගු රවුලෙන්ද යුතු වූ මෙම යෝධයා උයන අරා හිඳ සිටිනු ලෝරිස් පාර ඔස්සේ උයනට පැමිණෙන අප බලාපොරොත්තු වූ දසුනයි. ජෝන් ඩැන්වර් විසින් බටහිර වර්ජිනියාව වර්ණනා කරමින් තම මුල් ගම් කරා දිවෙන පිටිසරබද මං පෙත් ගැන ගීයක් ගැයූ බව මුලින්ම කියා සිටියේද උයනෙහි වූ යෝධයායි.
ජෑස්, කර්ණාටක්, ඇෆ්‍රෝ, රෙගේ, රිදම් ඇන්ඩ් බ්ලූස්, ෆියුෂන්, ලතින්, රොක් ඈ ෂානරයන් වෙන් කොට චිත්‍රණය කරමින්, මරියකඩේ පාසැල් ගිය කුඩා කොල්ලෙකුට සංගීතයෙන් පිරි ලෝකයක් හඳුන්වා දෙමින් කල් ගත කරන්නට උයනෙහි වූ යෝධයාට කෙදිනකවත් කාල වේලාව මදි නොවූ සැටියකි.
අද බම්බලපිටිය නවීකරණය වී ඇත. නව ගොඩනැඟිලි මැද තවමත් පැරණි උයන ඇත. තවමත් මල් පිපෙනා උයනෙහි පෙර තිබූ විභූතිය නැත. ඒ සංස්කෘතික විභූතිය මැවූ යෝධයාද නැත. උයනට ආගියවුන්ගේ සත්කාරකයාද, උයන් පල්ලාද වූ යෝධයා වෙනුවෙන් නොනිවෙන පහනක් උයනේ දැල්වී ඇත.
ලෝරිස් පාර අයිනේ
ඇති කුඩා උයනේ
නොනිවෙන කුඩා පහනක්
උයන් පල්ලා නමින් දැල්වේ..!
(කවි පිංච හෂිත අය්යාගෙනි)
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
