“චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්

ඇමරිකාවේ විස්කොන්සින්හි සිට ටික්ටොක් හරහා කුකීස් තනන්නියක මෙන්ම විවිධ හුරුබුහුටි දේ කියාදෙන්නියක වූ ඇය සිංහලෙන් නවකතා ද්විත්වයක් ලියා ඇති නවකතාකාරිණියක ලෙස හඳුනා ගන්නට ලැබීම කෙතරම් සතුටක්ද? ලංකාවට පැමිණි මොහොතක ඇය සමඟ ඇගේ ලේඛන කලාව සහ ජීවිතය ගැන කතා කරන්නට අපට අවස්ථාව ලැබිණි. සිනමා ක්ෂේත්‍රය, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය මෙන්ම ඇඳුම් විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය යන ක්ෂේත්‍ර ගණනාවක වැඩකිරීමෙන් ලත් පළපුරුද්ද සහ අත්දැකීම් මත සිය සාහිත්‍ය අනන්‍යතාවය ගොඩනගාගෙන සිටින නිලූකා බ්‍රැන්ඩන් පසුගිය වසරේදී හදවත් වරක් සහ අහම්බෙන් මිස අපි හමු නොවෙමු කිසිදා යලී නමින් නවකතා ද්විත්වයක් ප්‍රකාශයට පත් කළාය. ඉතා ඉහළ පාඨක ප්‍රතිචාර ලබමින් අලෙවිවන කෘති ද්විත්වයක් බවට ඉක්මනින්ම එය පත්විණි. ඇය නිලූකා බ්‍රැන්ඩන්. The Asian Review Sinhala කතිකාවත වෙන්වෙන්නේ නිලූකා බ්‍රැන්ඩන් වෙනුවෙන්.

Q: මම කැමතියි දැනගන්න පොත් ලියන්න කලින් පොත් කියවන්න හුරුවක් තිබුණද? ඒක ලැබුණෙ කොහොමද?

A: පොත් කියවන එක ගත්තොත් මෙහෙමයි. මගේ අම්මාත් පොත් කියවන කෙනෙක්. හොඳට කියවන කෙනෙක්. හැබැයි ඉස්සර අපිට පොත් ගන්න එහෙම සල්ලි නැහැ. ඒ නිසා මමයි අම්මයි තියෙන පුස්තකාල පුළුවන් හැම එකකටම බැඳිලා පොත් අරගෙන කියවනවා. ඉතින් පුස්තකාලෙන් ගන්න නිසා මේ ලේඛකයා කියලා අපිට තෝරාගැනීමක් නැහැ. තියෙන පොත කියවන්න වුණා. ඉස්කෝලෙත් හොඳ පුස්තකාලයක් තිබුණා. පොත් නොකියවන යාළුවන්ගේ කාඩුත් ඉල්ලගෙන ගිහින් කියවනවා. එහෙම තමයි පොත් කියවන්න පුරුදු වුණේ.

Q: එතකොට ඒ කියවීම ලියන්න කොච්චර දුරට උදවු වුණා කියලා හිතනවද?

A: දැන් මම ජීවිතේ විවිධ දේවල් හරහා යනකොට හිතෙනවා අපි ඇයි සිංහල ඉගෙන ගත්තේ. ඉංජිනියර් කෙනෙක් වෙන්න නම් මෙච්චර සිංහල ඉගෙන ගන්නෙ මොකටද වගේ දේවල්. හැබැයි ජීවිතේ අපි එක කාලෙකට ආවට පස්සේ හිතෙනවනේ මම මේ මොනවද හිතලා තියෙන මෝඩ දේවල් කියලා. මට මතකයි මමත් ප්‍රශ්න කරලා තියෙනවා අපි මොකටද සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තේ කියලා. දැන් මට අවුරුදු තිස් අටක්. දැන් මට හිතෙනවා අපි ඉගෙනගත්තු හැමදෙයක්ම එකට සම්බන්ධයි කියලා. කියවීම ජීවිතේදි ගත්තොත්, ජීවිතේට එන ප්‍රශ්න ගත්තොත්, අපිට ආපු ප්‍රශ්නම මීට අවුරුදු විස්සක තිහකට කලින් මේ පොත්වල හිටපු අයටත් ඇවිල්ලා තියෙනව වගේම ඒගොල්ලො ඒකට මේ විදියේ දේවල් කරලා තියෙනවා කියලා අපිට මතක් වෙනවා. ඔය විදියට කියවීම විතරක් නෙමෙයි අනිත් හැම දෙයක්ම ජීවිතේ විවිධ අවස්ථාවලදී භාවිත වෙලා තියෙනවා.

Q: මට මෙහෙම අහන්න හිතුණා. දැන් මම ගණිතය විෂය කරපු කෙනෙක්. ඔබත් එහෙමයි. ඒ වගේම ලංකාවේ සාහිත්‍යය ඇතුළෙ මේ වගේ වෙනත් විෂයන් හදාරලා ලිවීමේ කාර්යයේ ඉහළින්ම ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඔබට මොකද හිතෙන්නෙ ඒ ගැන?

A: මට ඒ ගැන මෙහෙමයි හිතෙන්නෙ. දැන් මම හදාරපු විෂය තමයි ෆැෂන් ඩිසයිනිං. මම මගේ විෂය ඇතුළෙ දෙයක් කරන්න හරිම ලිමිටඩ්. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. න්‍යායන් දන්නවා. ඔය න්‍යායන් සේරටම හිර වුණාට පස්සේ වැඩක් කරන්න ලේසි නෑ. හුඟක් වෙලාවට එතනදී මම කරන්නේ කවුරුහරි කරපු එකම තමයි. ඒත් ලිවීම මම ඉගෙනගෙන නෑ. මේකේ න්‍යාය දන්නෙත් නෑ. වැරදි දන්නෙත් නෑ. බය නෑ ඕනම අලුත් දෙයක් කරන්න. ලිව්වට පස්සෙ තමයි එන දේවල්වලට මූණ දෙන්නෙ. ගණිතය හැදෑරීම සහ ෆැෂන් ඩිසයිනිං මගේ ලිවීමට උදවු වෙන විදියක් තියෙනවා. ඒ තමයි, ගණිතයෙදි අපි තර්ක කරන්න පුරුදු වෙනවා. ඒ නිසා කතාවක් ගොඩනගද්දි ඒ තර්කන හැකියාව කතාව ගලපගන්න උදව් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම මම මේකත් කියන්න ඕන. මම ආගමික කෙනෙක් නෙමෙයි. හැබැයි ෆැෂන් ඩිසයිනිංවලදි අපි කියන්නේ ඒක ඇඳුම් නිර්මාණය කිරීමක් විතරක් නෙමේ, ප්‍රශ්න විසඳීමක් කියලා. Designing is a problem solving method. එතනදි අපි හැම දෙයක්ම කොටස් හතරකට බෙදනවා. ගැටලුව, ගැටලුව ඇතිවීමට හේතුව, ගැටලුවට විසඳුම, ගැටලුව විසඳීම. චතුරාර්ය සත්‍යයම වෙනත් වචනවලින්. මේ ක්‍රමවේදය අපි කතන්දර ලියද්දිත් අදාළ වෙනවා.

Q: අපි ඔබේ පළවෙනි නවකතාව ‘හදවත් වරක්‘ ගැන කතා කරමු. ඇයි මේ හදවත් වරක් කියලා නමක් මේ පොතට තියන්න හිතුවේ?

A: හදවත් වරක් පොතක් ලියන්න හිතාගෙන ලියපු කතාවක් නෙමෙයිනේ. හදවත් වරක් ගැන ඇත්තම ඇත්ත කියනවා නම්, මගේ යාලුවෙක් සිංදුවක් කළා. එයා සිංදුව නිකුත් කරන දවසෙ මට ඕන වුණා ඒක වෙනස්ම විදියකට හඳුන්වා දෙන්න. මම ඇඩ්වටයිසිං ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක්නෙ. එතකොට මම දකිනවා මාකට් කරන්න ඕන දෙයක් වෙනස් විදියකට කරන්නෙ කොහොමද කියලා. මම එතකොට හිතුවා කතාවක් ලියාගෙන ගිහින්, සිංදුව රිලීස් වෙන දවසේ කතාවෙ කොල්ලයි කෙල්ලයි මේ සිංදුව රිලීස් කරන විදියට මුහුණු පොතට ලියන්න පටන් ගත්තෙ. හැබැයි මේකට ලැබුණ ප්‍රතිචාර. අර මෙගා සිස්ටම් එකට තමයි මම පොත ලිව්වේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිවුණා. උනන්දුවත් වැඩි වුණා. කොටස් දහයක් පහළොවක් ලියන්න හිතපු එක දිගට ලියවුණා. ලංකාවෙන් ගිහිල්ලා මම හුඟක් ආතතියෙන් හිටපු කාලෙක තමයි මේ කතාව ලියන්න ගත්තේ. මම ලංකාවෙදි පිරිසක් මැද්දෙ හිටපු කෙනෙක්. යාළුවො, නෑයො, ඇත්තටම ලංකාවෙදි ළමයි බලන්න ලේසියි. උයල දෙන්න අම්මලා ඉන්නවා, ළමයි බලන්න පුංචිලා, නැන්දලා ඉන්නවා. පළවෙනි වතාවට ලංකාවෙන් පිට ගිහින් ගෙයක් නඩත්තු කරන්න වුණා. රටවල් දෙක අතරෙ කාලය හුඟක් ලොකු පරතරයක් නිසා මට කතා කරන්න බැහැ. ඔය වගේ කාරණා ගොඩක් තිබුණා. හදවත් වරක් ලියවුණේ ඔහොම වටපිටාවක. කතාවක් ලියන් යද්දී නමක් දාන්න එපැයි. මම සිංහල විෂයක් විදියට ඉගෙනගත්තු කෙනෙක් නොවන නිසා මට වචන භාවිතයට බයක් තිබුණෙ නැහැ. මම මේ පොත ලිව්වේ සිඩ්නි ෂෙල්ඩන්ගේ Other side of the midnight කියන පොතේ ආකෘතියට. මගේ පොතෙත් කතාවේ එකම සිද්ධියක් පාදක කරගෙන විවිධ චරිත තමන්ගෙ හදවතින් කතාව කියනවා. නැවත නැවත හදවතින් කතා කරනවා කියන එක අරගෙන තමයි හදවත් වරක් කියන නම යෙදුණෙ මේ කතාවට. ඒ නමට ගොඩ දෙනෙක් කැමති වුණා. ඉතින් පොත කරන වෙලාවේ ඒ නමම යෙදුවා.

Q: දැන් ඔබ හදවත් වරක් පොතට අපි කියනවා සීක්වන්ස් එකක්, නැත්නම් මාලාවක් විදියට දෙවෙනි පොතකුත් ලියනවා. එහෙම ලියන්න ඇයි හිතුවෙ?

A: මම හදවත් වරක් පොත ලියද්දිම මේකට දෙවෙනි කොටසක් තියෙනවා කියලා තීරණය කරලා තිබුණෙ. හදවත් වරක් පොතේ අවසානයටත් මම කියලා තියෙනවා දෙවෙනි කොටසක් එන බව. හදවත් වරක් නිකුත් කරන කොටත් මම ඒ දෙවෙනි කොටස ලියන්න පටන් අරගෙන තිබුණෙ. මොකද කතාව ඉවර වෙලා නැහැ හදවත් වරක් ඉවර වෙද්දි. සිනමාව පැත්තේ හිටපු කෙනෙක් නිසා මම ලියද්දි දේවල් පින්තූරෙකට අරගෙන, පික්චර් කරලා තමයි ලියන්නෙ. මේක ලියලා තියෙන්නේ ස්ක්‍රිප්ට් එකක් කරන්න ඕන නම් ලේසියෙන්ම ස්ක්‍රිප්ට් එකක් කරන්නත් පුළුවන් විදියට. දෙවෙනි කොටස ඇතුළෙ මිනිස්සුන්ට දෙයක් තියෙනවා කියලා මට හිතුණා. මේ කොටස මම ඉතාලියට ගිහින් මාස කිහිපයක් එහේ ඉඳලා තමයි ලියන්න හිටියේ. නමුත් මට ඒ අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ නිසා තමයි දෙවෙනි කොටස වෙනම විදියකට ලියන්න හිතුවෙ.

Q: තවත් කොටසක් ඒවිද?

A: නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ ඒ විදියට දිගට ලියන්න. නැත්නම් මම හැමදාම හදවත් වරක් ලිය ලිය ඉඳී.

Q: තකොට වෙනස්ම කතාවක් ගැන අදහසක් තියෙනවද?

A: එහෙම ලියපු කිහිපයක් තියෙනවා. හදවත් වරක් ගත්තොත් කතාකරන භාෂාවෙන් ලියපු පොතක්නේ. මම කැමතියි අත්හදා බැලීම් කරන්න. මොකද මේක මගේ රැකියාව නොවෙන නිසා මට ඒක ලොකු ගැටලුවක් නෑ. ඒ නිසා මම උත්සාහ කරනවා ඊළඟ පොතේදී වෙනස් දෙයක් අත්හදා බලන්න. ලිඛිත භාෂාවෙන් පොතක් ලියන්න මම කැමතියි. මම තව දැකපු ඒකක් තමයි අපි මොන භාෂාවෙන් ලිවුවත්, මළ භාෂාවකින් ලිව්වත්, මිනිස්සුන්ට උවමනා හැඟීම. ඉමෝෂන්ස්. හදවත් වරක් කියවපු හුඟ දෙනෙක් කියන්නෙ ඒ්ක ඒ් අයගෙ ජීවිතවලට හරිම සමීපයි කියලා.

ආත්මීය කොටසක් අවශ්‍යයි අපිට පොතක් එක්ක බද්ධ වෙන්න. ඔව් එක්කෝ එහෙම ආත්මීය දෙයක් තියෙන්න ඔ්න. නැත්නම් අපිට කවදාවත් ලබාගන්න බැරි විදියේ දෙයක් තියෙන්න ඕන. දැන් උදාහරණෙකට ලෝරාගෙ පොත් මාලාව ගන්න. දැන් මම ඉන්නේ විස්කොන්සින්වල. මිනිස්සු හිතන්නෙ මම ලෝරා ගෙවන ජීවිතය ගෙවනවා කියලා විස්කොන්සින් කිව්වම. ඒ තරමට ඒකත් එක්ක මිනිස්සු බැඳිලා ඉන්නවා.

Q: දැන් ඇමරිකාවෙ ඉන්න එක ඔබේ ලේඛන දිවියට කොහොම බලපෑමක් වුණාද?

A: සිංහලෙන් ලියන්න ලොකු උදව්වක් ඒක. මෙහෙට ආවට පස්සේ මගේ සිංහල භාෂා හැකියාව වර්ධනය වුණා. එහෙම වර්ධනය වුණේ ඇයි කියලා මම කියන්නම්. ලංකාවෙ ඉද්දි මම වැඩිපුරම කතා කළේ ඉංග්‍රීසියෙන්. වෘත්තියත් එක්ක. හැබැයි ඇමරිකාවට ගියාට පස්සෙ හරි ලේසියි අපිට එයාලට නොතේරී බනින්නත් පුළුවන්නේ. මම හස්බන්ඩ්ව ළඟ තියාගෙන හිනා වෙවි වෙන කෙනෙක් එක්ක බනිනවා සිංහලෙන් එයාට. එයත් හිනාවෙනවා. ඒකත් එක්ක මගේ වචන භාවිතය වැඩි වුණා. සිංහල වගේම ඉංග්‍රීසිත් දියුණු වුණා.

Q: පොතේ අසභ්‍ය කියන වචන අනික් පොත්වලට වඩා වැඩි බවක් දැනෙන්නෙ ඒකද? මම ලංකාවෙන් පිට ඉන්න ලේඛිකාවො දෙන්නෙක්ගෙ පොත් කියෙව්වා මෑතකදී ඔබේ පොතත් ඇතුළුව. ඒවයෙ පොදු ලක්ෂණයක් තමයි මේ අසභ්‍ය කියන වචන භාවිතය වැඩි වීම. ඒකට හේතුවක් තියෙනවද?

A: අනිත් අය ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නැහැ. හැබැයි ලංකාවෙදි වගේ නෙමේ මෙහෙදි අපිට ඒ වචන බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒ වචන අපේ වාග් මාලාවට එකතු වෙලා නිසඟයෙන්ම අපි ලියද්දි ඒක ඇතුළු වෙනවා කියලා මට හිතෙනවා. ඒ වචන සාමාන්‍යකරණය වෙලා කියන්න පුළුවන්.

Q: ඇමරිකාවට යාම නිසා මෙහේ දේවල් දුරස් වීම ගැන කම්පනයක් නැද්ද? එක් සංස්කෘතියක ඉඳලා තව සංස්කෘතියකට යන එක?

A: නැහැ. ඇත්තටම මම ලංකාවෙත් නාගරිකව ජීවත් වුණ කෙනෙක්. විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ ඉඳලා මම තනිවම ජීවත් වුණේ. අම්මලා ළඟ නෙමේ. ඒ් නිසා මට ලොකු සංස්කෘතික කම්පනයක් ඇති වුණේ නැහැ.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment