සොබාදර්මේ කියන්නෙම හරි ලස්සන වචනයක්. සොබාදර්මේ කියනකොට අපේ හිතට එන්නේත් ලස්සනට එක යායට පිපිලා එක තාලෙට වැනෙන මල්, අතොරක් නැතුව රැව් දෙන කුරුල්ලන්ගේ සද්දේ, තද නිල් පසුතලයේ එකා පස්සේ එකා තරගෙට වගේ හඹාගෙන යන සේද පාට වලාකුළු, එක රැළේ වැටිලා සමගියෙන් වතුර බොන්න යන එක එක ජාතියේ සත්තු රංචු වගේ හරි ලස්සන චිත්‍රයක්. පුංචි කාලේ අපි කළු ඩ්‍රෝයිං පොතෙන් පටන් අරගෙන සෑහෙන කාලයක් යනකල් ‘සොබා අසිරිය’ කියලා නම් දාලා ඇන්දෙත් ඔය වගේම අච්චුවේ චිත්‍ර. චිත්‍රේ ඉන්න සත්තුත් හරිම තන්තෝසෙන්, චිත්‍රේ බලලා ලකුණු දීපු ටීචරුත් තන්තෝසෙන්, චිත්‍රේ ඇඳපු අපිත් තන්තෝසෙන්.
හැබැයි පස්සේ කාලෙක අපිට තේරෙන්න ගන්නවා සොබාවදර්මේ කියන්නේ ඒ තරම් සුන්දර, සේද සිනිඳු හීන වලින් හැදුණා වගේ පේන දෙයක් නෙවෙයි කියලා. ගංවතුර එන්න පටන් ගන්නවා, සුනාමි එනවා. ඒ හැමදෙයක්ම පැත්තකින් තිබ්බත් දවසකට හරි මහ කැලේක අතරමං වෙලා බලන්න ඕන ඇත්තටම අර කියපු තාලේ මල්, කුරුල්ලෝ, වලාකුළු, හිතමිතුරු සත්තු ඉන්න පරමාදර්ශී සහජීවන පින්තූරේ ඇත්තම ඇත්ත කැලේක තියෙනවද කියලා. ඇත්තම ඇත්ත කැලේක හතුරු අදහස් තියෙන සත්තු සර්පයි ඉන්නවා. ඇත්ත කැලේකදී අපි තනිවෙලා ඉන්නකොට අපිට මුණගැහෙන සතෙක් එක්කෝ අපිට බයේ දුවනවා, එහෙම නැතිනම් අපිව හපන්න, කීතු කරන්න පනිනවා. කුරුල්ලෝ වුනත් අපිව නැලවෙන සිංදු කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ. එක්කෝ දරාගන්න බැරි තරමේ තද නිහැඬියාව කැලේ පුරාම රජයනවා. එහෙම නැතිනම් කේන්තියෙන් ඉන්න ගෑණු මිනිස්සු දාහක් එකට මොර දෙන තාලෙට කුරුල්ලෝ නැත්නම් රිලවු කරවු කරනවා. ඝන තුරුවිටප අස්සෙන් නීල ආකාසේ පෙනුනත්, වලාකුළු එකා පස්සේ එකා දුවනවා පෙනුනත් ඒක ඒ හැටි හිතට සහනයක් වෙන්නේ නෑ.
මේ වගේ මහ කැලේක රාත්තිරිය ඊටත් හපන්. එක එක ජාතියේ කෙඳිරිගාන සද්ද, බෑඟිරි ගාන සද්ද, ගොරවන සද්ද, හපන, විකන සද්ද, හාරන සද්ද, මරහඬ සද්ද මේ ඔක්කොම ඇහෙන්න පටන් ගන්නවා. හුළඟ පවා හමන්නේ හිත බයගස්සන විදියේ සද්දෙට. හරියට හෙක්ටර් බෙර්ලියෝස්ගේ සිම්ෆනි ෆැන්ටෑස්ටීක් එකේ යක්දෙස්සියන්ගේ සබත් දින හීන වල වගේ. එහෙම නැතිනම් වාග්නර්ගේ පියාඹන ලංසියා ඔපෙරාවේ පටන් ගැන්ම වගේ. ආන්න එතකොට මනුස්සයෙක්ට හිතෙන්න පුලුවන් ඇත්තටම මේ මහ කැලෑවේ යක්දෙස්සියෝ ඉන්නවා කියලා. පේගන් දෙවිවරු ලෝකේ ඉන්නවා කියලා. සමහර වෙලාවට බය වුණු හිතට තියෙන එකම සහනය ඒ වගේ කැලෑවට අධිගෘහිත දේවතාවෙක්ව මවාගෙන ඒ දෙවියන්ට කන්නලව් කරන එක වෙන්න පුලුවන්. කොහොම කොහොම හරි අන්තිමට කැලෑවේ කලබලය එක මොහොතක සංසිඳෙන වෙලාවක් එනවා. වාග්නර් සමහර වෙලාවට පියාඹන ලංසියා ඕවර්ටූ එකේ අනුකරණය කරන්නේත් මේ අපි කියන සොබාදර්මේ වෙන්න පුලුවන්. අන්න එතකොට අපි අර නොපෙනෙන කැලයට අධිගෘහිත දෙවියන්ට ස්තුති කරනවා, ඒ කියන්නේ ඒ වෙනකොට අපි වනසතෙක්ගේ දත් අතරේ හිටියෙ නැතිනම්.
ඔන්න ඇත්ත සොබාදර්මේ. හැබැයි අර ශිෂ්ඨාචාරේ බොරු ආටෝප ආයිත්තං ගලෝලා දාපු, ආයෙමත් වනචාරී ඉව අවදි කරගත්තු මිනිහෙක්ට මේ නිර්දය, අනනුකම්පීය සොබාදර්මේ ලස්සන පේන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඒ තමයි ඇත්ත මිනිස් සතා. මේ නගර වලට ගම් වලට ගාල් වෙලා ඉන්නේ ඇත්ත සොබාදර්මයත් එක්ක මිනිස්සු වගේ හැප්පෙන්න බැරි සාටෝප ජේත්තුකාරයෝ ටිකක්. ඒ නිසාම වෙන්ඩැති ඒ හාදයෝ සොබාව සවුන්දර්ය කියලා ලස්සන චිත්‍ර ටිකක් ඇඳලා, ඒ චිත්‍ර දිහා බලලා සතුටු වෙලා ඉන්නේ.
දැං මට ආයි වනන්තරෙන් නගරෙට යන්ඩ බෑ මල්ලි. මේ ගහකට වෙලා රුක් දෙයියෙක් විදියට ඉන්න එක තමයි එකම සැපත…
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
