සිනහවකින් හැමවිටම මුව සරසා ගන්නා ඇය ලිවීම තුළ මෙන්ම භාවිතය තුළද ප්‍රේමය පතුරවන්නියකි. දේශද්‍රෝහියෙකුගේ හෘදය කෙතරම් නිර්මල වේවිද? දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසෙන බොහෝ මිනිසුන් තුළ දේශය ගැන ඇති ආදරය කෙබඳුද? සිය පළමු නවකතාවෙන් එවන් දේශද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය ගැන පවසන ඇය 2018 දී ඒ වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ආධුනික නවකතාව සඳහා වන සම්මානය දිනාගත්තාය. ෆෙයාවේ සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කෘති පහ අතරටද එම කෘතිය නිර්දේශ විය.
ඉන් වසර පහකට පසුව ඇය ‘ජෙරුසලම් දූවරුනි‘ නම් නවකතාවක් ප්‍රකාශයට පත් කළාය. මේ ඉන් උපුටාගත් කොටසකි.
කුරුසිය කර තබාගෙන කල්වාරි ගිර තරණය කරනා ජේසුස්ය. හැඬුම් දෙඩුම් විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුය. ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද, ඔක්කේද, අතැඟිලි අස්සේද, වස්ත්‍ර කොන්වලද, එල්ලීගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය.
කුරුසය කර තැබූ තැන සිට නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත්‍රීන් වෙනුවෙනි.
“ජෙරුසලමේ දූවරුනි. මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහුද කිසිකලෙක දරුවන් නො දැරූ කුසද, කිරි නොදුන් පියයුරුද භාග්‍යවන්ත යැයි පවසන දවස පැමිණෙන්නේය.“
ඇය තරුරසී ප්‍රනාන්දුය. The Asian Review Sinhala කතිකාවතින් අපි ඇයගෙන් ඇගේ නවතම නවකතාව සහ ලිවීම පිළිබඳව මෙසේ විමසුවෙමු.
Q: තරමක නිහැඬියාවකින් පස්සේ ‘ජෙරුසලම් දූවරුනි’ කියන මේ නවකතාව ප්‍රකාශයට පත්කරන්න විශේෂ හේතුවක් තිබුණද?
A: මගේ මුල්ම නවකතාව ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’ නවකතාව පළ කරලා අවුරුදු පහකට පස්සෙ තමයි ‘ජෙරුසලෙම් දූවරුනි’ එන්නෙ. සාමාන්‍යයෙන් මම මගේ නිර්මාණ දෙකක් අතර යම් කාලයක් ගන්නවා දැනුවත්ව. ඒකෙන් කියන්නේ නැහැ මම නිර්මාණකරණයේ අඛණ්ඩව යෙදෙන්නෙ නැහැ කියලා. මම මගේ ලිවීම් සැලසුම් කරමින්, අදාළ තොරතුරු රැස් කරමින්, හිතින් ලියමින් තමයි ඒ කාලය ගත කරන්නේ. මුල් පිටපත ලියලත් අවම වශයෙන් අවුරුද්දක්වත් පැත්තකින් තියනවා. ඉන්පස්සෙ නැවත සංස්කරණය කරලා තමයි ප්‍රකාශයට පත්කළේ.
මගේ ජීවිතේ මම විවිධ වැඩවල යෙදිලා තියෙනවා, විවිධ සමාජ තලවල ගැවසිලා තියෙනවා. එතකොට මට හමුවුණු විවිධ ගැහැනු ඉන්නවා. විශේෂයෙන් ජීවන අරගලයට තනියෙන් මුහුණ දෙන ගැහැනු. මම දන්නෙ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා, ඒත් මට හුඟක් වෙලාවට තනිවුණ ගැහැනුන්ට සවන් දෙන්න, ඒ අයගේ කතා අහන්න, ඒ අයට හයියක් වෙන්න ඉඩ ලැබිලා තියෙනවා. ඒ අත්දැකීම් එතරම් සුන්දර නොවුණත් ඒ ගැහැනු හිත් හරි සුන්දරයි. ධෛර්යවන්තයි. ආදරවන්තයි. ඉතින් මමත් ඇතුළුව ඒ ගැහැනුන්ගෙ කතාව ලියන්න මට උවමනා වුණා. ‘ජෙරුසලෙම් දූවරුනි’ නවකතාව මට විශේෂ වෙන්නේ ඒ නිසයි. මේ නවකතාව ඇතුළෙ ජේසුගෙ මව වන මරියා චරිතයක් වෙනවා. ඒ චරිතයයි, වර්තමාන කාන්තාවන්ගේ කතායි එකතු කරලා මේක ලියන්නේම තනිවෙච්ච, ජීවන අරගලවලින් හෙම්බත් වෙච්ච, මේ ආර්ථික, දේශපාලනික, සමාජීය ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්න කාන්තාවන්ට හයියක් වෙන්න. එයාලගෙ ආදරයට, එයාලගෙ අධ්‍යාත්මික, මානසික ශක්තියට කොයිතරම් වෙනසක් කරන්න පුළුවන්ද කියන තරු එළිය දල්වන්නත් තමයි මම මේ නවකතාව සමාජගත කරන්නෙ.
Q: ඔය කතාව කියද්දි මට මෙහෙම අහන්න හිතුණා. දැන් ඔබ මේ පුරාණ කාන්තාව සහ නූතන කාන්තාව කියන දෙකම නවකතාවට අරගෙන එනවා. ඔබ දකින විදියට එදාට වඩා අද කාන්තාවගේ තත්වයෙ වෙනසක් වෙලා තියෙනවද? නැත්නම් වෙනසක් නැද්ද?
A: කිසිම වෙනසක් නැහැ. දැන් මම ඔය පුරාණ කතාව කියවද්දී එදා තිබුණෙ රෝම අධිරාජ්‍යය, අද ධනවාදී අධිරාජ්‍යය, එදා තිබුණ ආර්ථික ක්‍රමය වගේම තමයි අදත් මිනිස්සු පීඩාවට පත් කරන ක්‍රමයක් පවතින්නේ. පරිභෝජන සංස්කෘතියේ වෙනසක් ඇති වෙලා තියෙන නිසා මේ අධිරාජ්‍යවාදී, ධනවාදී සමාජ ආර්ථීක ක්‍රමය මනුෂ්‍යයා මත පතිත කරන පීඩනයේ යම් වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි කාන්තාව මුහුණ දුන් ප්‍රශ්න එදත්, අදත් වෙනසක් නෑ.
Q: එතකොට ඔබ කියන විදියට දැන් එදා ජෙරුසලමේ ඉඳලා අද වෙනකොට අවුරුදු දෙදහකට වඩා මානව ශිෂ්ටාරය ආපු ගමනේ ස්ත්‍රියගේ තත්වය අදත් එහෙමයි?
A: ඔව් අනිවාර්යයෙන්ම. මම මගේ නවකතාවෙ තේමා පාඨය විදියට ගන්නෙ ජේසු කුරුසිය කර තියන් යද්දි ඒ පස්සෙ අඬා වැටීගෙන ආව කාන්තාවන්ට කියපු කතාව. ”ජෙරුසලෙමේ දූවරුනි මා නිසා නොහඬන්න, නුඹ සහ නුඹලාගේ දරුවන් නිසාම හඬන්න.” එදත් ගැහැනුන්ට අඬන්න වුණා තමන්ගෙ දරුවො රෝම අධිරාජ්‍යය විසින් පීඩාවට පත් කරද්දි, මරාදාද්දි. තමන්ගෙ දරුවන්ට කෑම කටක් දෙන්න විදියක් නැතුව ඉද්දිත් අධිරාජ්‍යයකට බදු ගෙවන්න වෙද්දි. අදත් ලෝකෙ පුරාම ගොඩක් කාන්තාවන්ගේ ඉරණම ඒකමයි නේද? අද අපේ රටේ තත්ත්වයම බලන්න. මේ අසාධාරණ ආර්ථික ක්‍රමය අම්මලා තාත්තලා කීදෙනෙක්ගෙ නම් පපුවල ගින්දර අවුළුවනවද?
හැබැයි එදාට වඩා අද කාන්තාවට ජීවිතයේ ඉදිරියට යන්න අවස්ථා ලැබිල තියෙනවා. ඒ කාරණය අපි පිළිගන්න ඕන. බුද්ධිමත් ගැහැනුන්ව යක්දෙස්සියො කියල ගල් ගහල, මරල, පුච්චල දාපු යුගයක් පහුකරලා හැම ක්ෂේත්‍රයක්ම තමන්ගෙ දැනුමින්, හැකියාවෙන් පුරවන ගැහැනු ඉන්න යුගයකට අපි ඇවිත් ඉන්නවා. ඒවත් ඉබේ පහසුවෙන් ලැබුණු දේවල් නෙවෙයි. කාලයක් තිස්සෙ ජීවිතයෙන් වන්දි ගෙවලා, ලේ දහඩිය සිහින කැප කරලා ලබා ගත් ජයග්‍රහණ.
Q: එදා වගේම ස්ත්‍රිය අදත් තැලෙනවද? නැත්නම් වෙනසක් තියෙනවද?
A: ඔය තැලෙනවා, තලනවා කියන එක එදත් එකයි, අදත් එකයි. හැබැයි ගැහැනුන්ගේ ශක්තිය කියන කාරණයත් ඒ වගේම තමයි. මම මේ නවකතාවට සීමිත චරිත කිහිපයක් බයිබලයෙන් ගත්තා. ජේසුගෙ අම්මා වන මරියා, පව්කාර ස්ත්‍රිය විදියට සැලකෙන මරියා, ඒ වගේම වෙරෝනිකා. ඒගොල්ල ළඟ තිබුණා ඒ යුගයේ සමාජ ආර්ථික, දේශපාලන ක්‍රමයට අභියෝග කරන්න පුළුවන් පුදුමාකාර ශක්තියක්. බහුතර ගැහැනු අතර එදත් ඒ වගේ හිටියෙ සීමිත පිරිසක්. මම හිතනවා අදත් ඒ වගේ සීමිත ගැහැනු පිරිසක් අපි වටේ ඉන්නවා. අපි ඒ අයගෙ කතාව මතු කරලා ගන්න ඕන.
Q: දැන් එදා වගේම අපි අද ඉන්නෙත් ඉතා අසීරු, අඳුරු සමාජ තලයක. මේ වගේ කාලයක ලිවීම සහ කියවීම පවත්වාගෙන යාමේ වැදගත්කම කොහොමද ඔබ දකින්නෙ?
A: කොයිකාලෙක වුණත් මට ලිවීම, කියවීම කියන්නෙ ජීවන හුස්ම වගේ. මේ ආර්ථික ක්‍රමය ඇතුළෙ කියවීම විතරක් නෙමේ ලංකාවේ මනුෂ්‍යාගේ සමස්ත සංස්කෘතික ජීවිතය එහෙම පිටින්ම මරලා දාන තත්වයක් තියෙන්නෙ. ඒක ලොකු අභියෝගයක්. ඒ මොන අභියෝග තිබුණත් අපිට මේක අතාරින්න බැහැ. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කියවීමේ, ලිවීමේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕන. ප්‍රශ්න වැඩිවෙන්න වැඩිවෙන්න අපි තව තවත් සාහිත්‍ය කලාව එක්ක එකතු වෙන්න ඕන කියලා මම හිතනවා. එතනින් අපිට ශක්තියක්, පන්නරයක් ලැබෙනවා. උදාහරණයක් විදියට අපිට මේ මොහොතේ පොත් මිල දී ගන්න අමාරුයි. හැබැයි අපට මිලක් වැය නොවන නැත්නම් අවම මිලක් වැය වෙන කියවීම් මාර්ග, මාධ්‍ය තියෙනවා. පුස්තකාල තියෙනවා, ඊ බුක්ස් තියෙනවා. මේ හැම ක්‍රමයක්ම පාවිච්චි කරලා අපි සාහිත්‍ය කලාව එක්ක යන ගමන ඉදිරියටම යාම අත්‍යවශ්‍යයි.
Q: ඔබ දරුවො එක්ක නිතර වැඩකරන නිසා මට අහන්න හිතුණා මේ දරුවන්ගේ කියවීම මොන තත්වයකද තියෙන්නෙ කියලා.
A: ඇත්තටම දරුවන්ව කියවන්න පුරුදු කරන එක අද විශාල අභියෝගයක්. අපි දරුවන් එක්ක කාලයක් තිස්සෙ වැඩ කරනවා. අපි මොන දේ කළත්, ගෙදරින් ඒ කියවීමේ සංස්කෘතිය දරුවාට නොලැබුණොත් අපේ මහන්සිය අපතෙ යනවා. තරගකාරී අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ දරුවො හිරකාරයො කරන්නෙ දෙමව්පියො විතරක් නෙවෙයි, ගුරුවරු පාසල් පවා ඒකට වග කියන්න ඕන. අවසානයේ යන්ත්‍රයක් වගේ දරුවෙක් පාසල් පද්ධතියෙන් එළියට එන්නෙ. දරුවන්ට කියවන පුරුද්ද ඇතිකරන එක පවුලෙන් පටන් ගන්න ඕන. අඩුම තරමින් දවසකට පැය කාලක්, පැය භාගයක් පොතක පිටුවක් දෙකක් කියවන තැන ඉඳලා, පන්ති කාමරය ඇතුළෙත් මේ යොමු කිරීම තියෙනවා නම් හරිම වටිනවා.
දරුවන්ගේ ජීවිත එක්ක වැඩ කරද්දි ක්ෂණික ප්‍රතිඵලවලට වඩා දීර්ඝකාලීන දැක්මක් ඇතිව වැඩ කරන්න ඕන. අවුරුදු විසිපහකට වඩා දරුවන් එක්ක වැඩ කළ අත්දැකීම් මට තියෙනවා. එදා අපි කළ වැඩවල ප්‍රතිඵල අද මම දකිනවා. එදා අපි ළඟට ආව දරුවො, තරුණ තරුණියො අද දෙමව්පියො වෙලා, ඒ ගොඩක් ගෙවල්වල පොත් එකතුවක් තියෙනවා. දරුවන්ට පොත් කියවන්න පොළඹවනවා. පොත් ප්‍රදර්ශනයෙදි පවුල් පිටින් ඇවිත් පොත් ගන්නවා මම දකිනවා. අපි බලෙන් හරි, කොහොම හරි දරුවෙක්ව කියවීමට පෙළඹුවොත්, ඒක පුදුම විදියට එයාලගෙ ජීවිතයට බලපානවා.
Q: අපි පොඩ්ඩක් ඔබේ ළමාවියට ගියොත්, කියවන්න පෙළඹවීම ඔබට කොහෙන්ද ලැබුණෙ?
A: ඒක හරි ලස්සන අත්දැකීමක්. අපේ ගෙවල්වල පොත් කියවන පරිසරයක් තිබුණෙ නෑ. කොටින්ම පොත් තිබුණෙ නැහැ. අපේ ගම 1983 අවුරුද්දෙ ගම් උදාවෙන් අලුතින් බිහිවෙච්ච ගමක්. ගමට තිබුණා පුස්තකාලයක්. 1981 යාපනය පුස්තකාලය ගිනි තියන්න මුල්වුණු දේශපාලන හස්තම උදාගම් හදල පුස්තකාල හදනවා කියන එකම හරිම උත්ප්‍රාසාත්මක කාරණාවක් තමයි. මගෙ ජීවිතේ පළමු වතාවට කතන්දර පොතක් තෑගි ලැබුණෙ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා අතින් ඒ ගම්මානය විවෘත කළ දවසෙ. මට තාමත් ඒ කතන්දර පොත චිත්‍ර එක්කම මතකයි. ඉතින් ඒ පුස්තකාලෙ එක කබඩ් එකක හැට, හැත්තෑව දශකවල බිහිවුණු නවකතා, ශාස්ත්‍රීය පොත් එක්ක ළමා පොත් එකතුවක් තිබුණා. මගේ අම්මා පොත් කියවන්න කැමතියි. එයා පුස්තකාලෙට යන කොට මමත් පස්සෙන් යනවා. කතන්දර පොත් කියවනවා. එතන තමයි දැනුම් තේරුම් තියෙන වයසෙ මට පොත්වලට ආදරේ දැනුණ තැන.
Q: සාමාන්‍යයෙන් ගෙවල්වල පොත් කියවන එක නැතත් කටින් කතන්දර කියන දේවල් පවතිනවනේ. එහෙම තිබුණෙ නැද්ද?
A: එහෙම කතන්දර කියල දුන්නා කියල නම් මතකයක් නැහැ. හැබැයි අපේ ආච්චිල, සීයලා, මම්මල, අම්මල එයාලගෙ ජීවිත කතන්දර කියනවා අහන් ඉන්නවා. ඒවා ගොතපු කතා නෙවෙයි ඇත්ත කතා. ගමේ ආච්චිල සීයලට ඇහුම්කන් දෙන පුරුද්දක් මට තිබුණා. එයාලගෙන් මට ඇහුණෙත් ඇත්ත ජීවිත කතා. මට ගොඩක් කතන්දර ලැබුණා දහම් පාසලෙන්. දහම්පාසලේ ඒ කාලේ දැන් වගේ විෂය නිර්දේශ තිබුණෙ නැහැ. තරග විභාග තිබුණෙ නැහැ. දහම් පාසල හරිම නිදහස් සුන්දර තැනක්. මම කතෝලිකනේ. කතෝලික දහම්පාසලට අපි ගියේ. බයිබල් කතන්දර, මිනිස්සුන්ගේ ජීවිත කතන්දරවලින් තමයි ඒ කාලේ අපට ආගම ඉගැන්නුවේ. බයිබලය සාහිත්‍ය ආකරයක් විදියට මගෙ ජීවිතේට සමීප වෙන්නෙ එතනින්.
Q: ලියන්න පෙළඹවීමක් ඇතිවුණෙ කොයි කාලේ ඉඳලද?
A: මම පොඩි කාලේ ඉඳන්ම ලිව්වා. මට මතකයි දෙකේ තුනේ පන්තියෙදිත් කවි ලියනවා. ඒ කාලේ විජය, මිහිර වගේ ළමා පත්තර අපිට ආශ්‍රය කරන්න ලැබුණනේ. ඒවයේ තියෙනවා වගේ කවි ලියන්න, රචනා ලියන්න ආසාවක් ඇතිවුණා. ඒ නිසා ලියන එක උපරිමෙන්ම, හොඳට ලියන්න උත්සාහ කළා. ඉස්කෝලේ පවා ලිවීමට දක්ෂ කෙනෙක් විදියට මට යම් පිළිගැනීමක් තිබුණා. ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය එක්ක වැඩ කරන්න ගත්තට පස්සෙ මම ලිව්වෙ ළමයින්ට සහ ළමයි එක්ක වැඩ කරන තරුණ තරුණියන්ට. හැබැයි දැනුවත්ව ලේඛන කලාවට පිවිසුණේ එයිනුත් කාලෙකට පස්සෙ.
Q: එතකොට මේ ‘ක්‍රිස්තියානි විමුක්ති ප්‍රේමය‘ කියන කාරණය ඔබේ ලිවීමට එකතු වෙන්නේ කොහොමද?
A: ඒක අහම්බයක් නෙමෙයි. දැනුවත් ප්‍රවේශයක්. මම ඔය ළමා සංවිධානෙ වැඩවල යෙදිලා ඉන්නකොට මට කිතුසර කණ්ඩායම හමුවෙනවා. කිතුසර කියන්නෙ ලංකාවෙ දීර්ඝ කාලයක් විකල්ප ක්‍රිස්තියානි භාවිතාවක් තිබුණ කණ්ඩායමක්. කිතුසර ගැන මෙහෙම කියන්නත් පුළුවන්. හරියට ලංකාවෙ කතෝලික සභාවේ වම තමයි කිතුසර. මට ඒ අය එක්ක වැඩ කරන්න ලැබෙනවා. ලක්රිවි හරහා උතුරු නැගෙනහිර දරුවන් එක්ක වැඩ කරල තිබුණට දේශපාලනික අවබෝධයක් එක්ක මම මුලින්ම උතුරට යන්නෙත් කිතුසර එක්ක. කිතුසර මෙහෙයවන විමුක්ති දේව ධර්ම පාඨමාලාවකට සම්බන්ධ වෙලා මට එතෙක් නොදුටුව ක්‍රිස්තියානි දර්ශනයක් හදාරන්න ලැබෙනවා. ඒ තමයි ක්‍රිස්තියානි විමුක්ති දේවධර්මය. මේ අධ්‍යයනයන් සහ වැඩ හරහා තමයි මගේ ලිවීමට ක්‍රිස්තියානි විමුක්ති ප්‍රේමය කාන්දු වෙන්නෙ.
මගේ ලේඛන කලාවේ අනන්‍යතාව විදියට මං දකින්නෙත් මගෙ ලිවීම්වල පදනම විදියට මම ගන්නෙත් ක්‍රිස්තියානි විමුක්ති දැක්ම සහ ප්‍රේමය.
Q: ඔබේ ජීවිතයට වැඩියෙන්ම බලපාපු ලේඛක ලේඛිකාවො කවුද?
A: මගේ ජීවිතේට වැඩියෙන්ම බලපාපු දෙන්නෙක් මට මේ වෙලාවෙදි මතක් වෙනවා. එක්කෙනෙක් පාවුලෝ කොයියො. කොයියොගෙ පොත්වල මට ජීවිතේට සමීප දේවල් හුඟක් තියෙනවා. අනිත් කෙනා මංජුල වෙඩිවර්ධන. ”මම ලියන්න ඕන” කියන අදහසින් ලියන්න ගද්දි මට මුලින්ම මතක් වුණේ මේ දෙන්නා. ඒ ලියවිලි මට පුදුමාකාර උත්තේජනයක් ලබා දුන්නා.
Q: ඔබේ පළමු නවකතාව, දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය ලියවුණේ කොහොමද?
A: ඇත්තටම ඒක නවකතාවකට වඩා මගේ ජීවිතය කිව්වොත් හරි. අවුරුදු ගාණක් විවිධ සමාජ කණ්ඩායම් එක්ක වැඩකරලා, මම දැකපු, විඳපු දේවල් ඒ හැමදේකම එකතුවක් ඒ පොත ඇතුළෙ තියෙනවා. අදටත් හුඟක් අය වැඩියෙන්ම කැමති ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’ට. මමත් හිතනවා මගේ මුළු ආත්මයම ඒ නවකතාව ඇතුළෙ තියෙනවා කියලා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
