ප්‍රබන්ධය වූකලී අප තුළම ඇති මිදුණු මුහුද කඩාදමන හිම පොරවකැයි කෆ්කා කීවේය. ඔහුගේ ප්‍රබන්ධ ඒ අයුරින්ම අප කම්පනය කරවමින් අපගේ හිසට පහරක් එල්ල කරයි. ඇතැම්විට එක් ඡේදයකින් පමණක් සමන්විත වන කෆ්කාගේ කෙටිකතා බොහොමයක සම්භාව්‍ය උපමාකතාවල ආභාසය පෙන්වයි.
මේ ෆ්‍රාන්ස් කෆ්කාගේ Children on a Country Road (Kinder auf der Landstraße) නැමැති කෙටිකතාවේ පරිවර්තනයකි.
වත්තේ වැට පහුකරගෙන යන කරත්තවල ජරබරය මට ඇසුණි. විටෙක මම ඒවා හෙමින් වැනෙන ගස්කොළන් අතර හිදැස් තුළින් පවා දැක්කෙමි. ගිම්හානයේ රස්නය මැද ඒවායේ රෝදවල ගරාදි සහ පොලු කිරි කිරි ගෑ හැටි! කම්කරුවෝ කුඹුරුවල සිට සිනාසෙමින් එන්නේ ලෝකාපවාදයකට හසුවූ වූ පරිද්දෙනි.
මා මගේ දෙමාපියන්ගේ වත්තේ කුඩා ඔන්චිල්ලාවේ වාඩිවී ගහ කොළ අතර විවේකීව උනිමි.
වැටෙන් එහාපැත්තේ පෝලිමේ යන වාහනවල කෙළවරක් නොවීය. දිවයන ළමුන්ගේ පාද මොහොතකින් පසුවී ගියේය; පිදුරු ගොඩවල් වටා නවත්වා තිබූ පිරිමින් සහ ගැහැනුන්ගෙන් සමන්විත අස්වනු අදින කරත්ත නිසා මල් පාත්ති අඳුරු විය; හවස් වෙද්දී හැරමිටියක් ගත් වියපත් මහත්මයකු හෙමින් ඇවිද යනු මා දුටු අතර, ඔහු ඉදිරියට පැමිණි අත් අල්ලාගත් ගැහැනු ළමුන් දෙදෙනෙකු ඔහුට ආචාර කරමින් තණබිස්සට පිනූහ.
වරුසාවක් කඩාවැටුණු විටෙක මෙන් කුරුල්ලෝ ඉහළට පියෑඹූහ. උන් ඉහළට නැගෙනවා නොව මා පහළට වැටෙන බව මට දැනෙන තුරුම ඇස්වලින් උන් පසුපස ගිය මම උන් කෙතරම් උසක් දක්වා එක හුස්මට අහසට නගිනවාදැයි දැකගත්තෙමි. ලනුපොටවල් තදින් අල්ලාගත් මා, තනිකරම මාගේ දුබලකම නිසාම ඔන්චිල්ලාවේ හෙමින් පැද්දෙන්නට වූයෙමි. ඉක්මනින්ම, සීතල සුළං හමද්දී මා වඩාත් වැරෙන් ඔන්චිල්ලාව පදින්නට වූ අතර, ගුවන අරා පියාඹන කුරුල්ලන් වෙනුවට වෙවුලන තාරකා දිස්වන්නට විය.
ඉටිපන්දම් ආලෝකය මැද මා හට සැන්දෑ ආහාරය ලැබිණි. බොහෝවිට දෑතම ලෑල්ල මත තබාගෙන උන් මා, බටර් පාන් කෑමට ගත්තේ වෙහෙසට පත්වය. ජනෙල්වලට දමා තිබුණු රළු දැලක් වැනි තිර රෙදි උණුසුුුම් සුළඟට පිම්බුණු අතර, නිතරම එතැනින් ආ ගියවුන් තම අත්වලින් එය අල්ලාගෙන සිටියේ, හරියට ඔවුන්ට මා දෙස හොඳින් බලන්නට හෝ මා සමග කතා කරන්නට උවමනා වූ අයුරිනි. සාමාන්‍යයෙන් ඉටිපන්දම ඉක්මනට නිවී ගිය අතර, හෝහපුටුවෝ ඉන් නැගුණු කළු දැළී දුමාරය සමග ටික වෙලාවක් දැවටෙමින් සිටියහ. කිසිවකු ජනේලයෙන් එබී මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ නම්, මා ඈත එපිට කන්දක් දෙස හෝ හිස් අවකාශය දෙස හෝ බලා හිඳින්නාක් මෙන් සිටිනු ඇති අතර, ඔහුද තමාට පිළිතුරක් ලැබුණේද නැද්ද යන්න ගැන වද වනු නැත. එහෙත් යමකු ජනෙල් පට්ටම උඩින් පැන, අනිත් අය මගබලා සිටින්නේ යැයි නිවේදනය කළොත්, එවිට මම සුසුමක් හෙළමින් දෙපයට බර දෙමි.
“මොකද උඹ හූල්ලන්නේ? මොකක්ද අවුල? ආයෙ කවදාවත් හරිගස්සන්න බැරි භයානක වරදක් සිද්ධ වෙලාද? අපිට ඒකෙන් කවදාවත් තිබුණු තත්වෙට එන්න බැරිද? හැම දේම නැතිවෙලාද?”
කිසිවක් නැතිවෙලා නැත. අපි ගෙයි ඉදිරිපසට දිව ගියෙමු. ‘දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න, අන්තිමේදි මේ තමුසෙ ආවෙ!’ -‘තමුසෙ හැම තිස්සෙම පරක්කුයි!’ -‘මොකෝ මං විතරක්?’ -‘විශේෂයෙන්ම තමුසෙ, තමුසෙට එන්න උවමනාවක් නැත්තං මොකෝ ගෙට වෙලා ඉන්නැත්තේ?’ -‘කිසිම සමාවක් නෑ!’ -‘කිසිම සමාවක් නෑ? ඒකද කතාකරන විදිය?’
අපි හැකි උපරිම වේගයෙන් සැන්දෑව තුළට දිව ගියෙමු. දිවා කාලයක් හෝ රාත්‍රී කාලයක් නොපැවතිණි. දැන් අපේ වේස්ට්කෝට්වල බොත්තම් දත්ඇඳි එකටෙක වදින්නා සේ වදියි. යළිත් එකිනෙකා අතර ඒකාකාර පරතරයක් තබාගනිමින් දිව යන අපි, නිවර්තනවල ජීවත්වන වන මෘගයන් මෙන් නහයෙන් ගිනි පිම්බෙමු. අපගේ පාදවල වේගය යොදාගනිමින් ප්‍රධාන පාර අද්දර වූ එක් බිමක් වෙත අප එකිනෙකාව පන්නාගෙන ගියේ ගී ගයමින් උඩ පනිමින් යන පුරාණ යුද්ධවල සිටි සන්නාහ ඇඳගත් භටයන් මෙන් අඩි හප්පමින් සහ උස් හඬින් සින්දු කියමිනි. ඇලට පිනූ ඉබාගාතේ යන ඡායාවෝ අඳුරු මොහොර බෑවුම දිගේ නොපෙනී යන්නටත් පෙර, අභිනවයෙන් පැමිණියවුන් සේ ඉහළින් වූ නියරේ හිටගත්තෝ ඉහළ සිට පහළ බලා උන්හ.
‘පහළට වරෙල්ලා!’ -‘ඉස්සෙල්ලා වරෙල්ල උඩට !’ -‘එතකොට බොලාට පුළුවන්නේ අපිව ආයෙත් පාරක් පහළට තල්ලු කරල දාන්න, අනේ නිකං හිටහල්ල, අපි එච්චර මෝඩයො නෙවෙයි.’ -‘ඒ කියන්නෙ බොලා බයද? වරෙල්ල උඩට, බයගුල්ලෝ!’ -‘බය? තොපි වගේ එවුන්ට? බොලා අපිව තල්ලු කරන්න බලන් ඉන්නෙ නේද, යසයි වැඩේ.’
අප ඊට උත්සාහ කළ අතර, අපව පාර අද්දර ඇලේ තණකොල ගොල්ලට තල්ලු කර දමනු ලැබුවේ කොණ්ඩෑරුම් ගසාගෙන පහළට ඇද වැටෙන පරිද්දෙන්, අපේ නිදහස් කැමැත්තට අනුව පෙරළී යමිනි. හැම දෙයක්ම අපට එකසේ උණුසුම් විය, තණ ගොල්ලේ අපට උණුසුමක් හෝ සිසිලක් දැනුණේ නැත, වෙහෙස වූවා පමණය. එතැන කෙනෙකුට තම දකුණු ඇලයට හැරී, කන යටින් අතක් තබාගෙන පහසුවෙන්ම නින්දට වැටිය හැකිව තිබුණේය.
එහෙත් නිකට ඉහළට ඔසවා නැගිට සිටීමට උවමනා වූ කෙනෙකුට වූයේ ඇලේ තවත් පහළට රූටා යෑමටය. ඊළඟට අතක් රුයිතෙට දික්කරගෙන ඇඟ හරහට දමා, දෙපා පසෙකට ගසමින් යළිත් වරක් උඩපැනීමට සිතන කෙනෙකු අන්තිමේදී සහතිකවම ඇලේ තවත් ගැඹුරකට ඇද වැටෙයි. කෙනෙකුට මෙය ඉවරකිරීමට කොහෙත්ම උවමනාවක් නොවිණි. ඇලේ අවසාන අඩියේ හරියට නිදාගැනීමට කෙනෙකු තම ශරීරය, විශේෂයෙන්ම දණිස් දිගහරින්නේ කෙසේද යන්න සිතා බැලුවේ කලාතුරකිනි. ලෙඩෙකු මෙන් උඩුබැලි අතට දිගාවී සිටින කෙනෙකු ටිකක් හැඬීමට කෙලින් විය. ඉනට දෑත් ගසාගත් පොඩි එකෙකු ඉඳහිට කෙනෙකුගේ හිසට ඉහළින්, අඳුරේ පාවෙන පාවහන් අඩි ඇතිව ඇල බෑවුමේ සිට පාරට පනින විට කෙනෙකු ඇසිපිය ගැසුවේය. දැනටමත් තරමක් අහසේ ඉහළ නැගී තිබුණු චන්ද්‍රාලෝකය මැදින් තැපැල් අශ්වකරත්තයක් ධාවනය විය. සෑම තැනකම සිසාරා හමන්නට වූ මඳනළ ඇල පතුලේ සිටින්නන්ටද දැනුණු අතර, අසල කැලෑවේ ගහකොළ සිරි සිරි ගෑවේය. එවිට, තවදුරටත් තනිව හිඳීමට කෙනෙකු තුළ එතරම් උනන්දුවක් නොවුණි.
‘තමුසෙල කොහේද?’ –’මෙහෙ වරෙල්ලා!’ –’ඔක්කොම එකට!’ –’මොනවටද බොලා හැංගෙන්නේ, ඔය විකාරෙ නවත්තපල්ල!’ –’තැපැල් කරත්තෙත් ගියා, දන්නැද්ද ඕයි?’ –’තාම ගියේ නෑ නේ?’ –’මොකෝ නැත්තෙ; උඹ නිදාගෙන ඉද්දි තමයි ඒක ගියේ.’ –’මං නිදාගෙන හිටියෙ නෑ. කාගෙ අදහසක්ද ඒක?’ –’වහගනිං බං කට, උඹ තාමත් ඉන්නෙ බාගෙට නිදාගෙන.’ –’අනේ නෑ බං.’ –’ඔය ඉතිං, ඕං කිව්වා!’
අපි දිව්වේ එක රොත්තටය, වැඩි දෙනෙක් අත් අල්ලාගෙන සිටි අතර, කන්ද පහලට යමින් සිටිය බැවින් කෙනෙකුට ඇති පමණ හිස ඔසවාගෙන යා නොහැකි විය. කිසිවකු ඉන්දියානු යුද හඬගෑමක් කියා මොරගැසුහ, අපේ පාද අසකුගේ පාද මෙන්, මින් ඉහත කිසිම දාක නොවූ ලෙස අප රැගෙන දිවූහ. අප උඩපනිද්දී හුළඟින් අපේ ඉඟටි ඔසවනු ලැබිණි.
අපේ වේගය බාලකිරීමට හෝ නතර කිරීමට සමත් කිසිදු කිසිදු දෙයක් නොවීය; අප කෙතරම් වේගයකින් දිවයමින් සිටියෝද යත්, අනිත් අයව පසුකර යද්දී පවා අපට දෑත් බැඳගෙන නිහඬව හිස හරවමින් අවට බැලීමට හැකි විය.
දිය කඳුරට උඩින් දිවෙන පාලම අසලදී අපි නැවතුනෙමු; එය පසුකර දිවූවෝ ආපසු පැමිණියහ. පහළ දිය ගල් මුල්වල හැපුණේ තවමත් සැන්දෑවේ අපර භාගය ළඟාවී නැතුවාක් මෙනි. අපෙන් කෙනෙකු පාලමේ තාප්ප කොටයෙන් නොපනින්නට හේතුවක් නොවිණි.
ළඳු කුට්ටිවලට පිටුපසින් ගමන් කළ දුම්රියේ සෑම පෙට්ටියක්ම ආලෝකමත් කර තිබුණු අතර, ජනෙල් පළු පහතට දමා තිබුණු බව සහතිකය. අපෙන් එකෙකු ජනප්‍රිය කැච් ගීතයක් ගැයීමට පටන් ගත් නමුදු, අප හැමටම ගී ගැයීමට සිතුණි. අපි දුම්රියටත් වඩා වේගයෙන් ගී ගැයුවෙමු, අපේ කටහඬවල් මදිවූ නිසාවෙන් අපි අපේ දෑත් වැනුවෙමු. අපේ කටහඬවල් එකට එක්වී ගිරිහිමනිපාතයක් සේ ගලා යාමෙන් හොඳක් සිදුවිය. එකෙකු අනිත් අය සමග ගැයුමට එක්වූයේ බිලී කොක්කකට ඇමිනී ආ විලාසයෙනි.
ඉතින් අපි වනාන්තරයට පිටුපා, දුර ඈත තැන්වල ඇවිදින සංචාරකයන්ගේ කනට ඇසෙන්නට ගී ගැයුවෙමු. ගමේ වැඩිහිටියෝ තවමත් අවදියෙනි, අම්මලා සිටියේ රාත්‍රී නින්දට යාමට ඇඳන් සූදානම් කරමිනි.
අපේ වෙලාව ඉවරය. අසල සිටි එකාට හාදුවක් දුන් මම, ළඟම සිටි තවත් තිදෙනෙකු අතින් ස්පර්ශ කර ගෙදර දුවන්නට වූ අතර, කිසිවකු මට ආපසු හඬගෑවේ නැත. ඔවුන්ට තවදුරටත් මා නොපෙනෙණ තරම් දුරක ඇති පළමුවන මංසන්ධියෙන් ඉවත හැරුණු මා, නියරවල් දිගේ දිවගොස් යළිත් වනාන්තරයට වැදුණෙමි. මා යමින් සිටින දකුණින් පිහිටි නගරය ගැන ගම්මු කියන්නේ මෙවැන්නකි:
“එහේ ඉන්නෙ මහ අමුතුම ඈයො වගයක්! ටිකක් හිතල බලාපං, උන් කවදාවත් නිදාගන්නෙ නෑ!”
“ඒ මොකෝ?”
“මොකෝ, උන්ට වෙහෙස මහන්සියක් නැහැ නොවැ.”
“ඒ මොකෝ අර?”
“උන් මෝඩයො හන්දා.”
“ඉතිං මෝඩයො මහන්සි වෙන් නැතෙයි?”
“කොහොමද බං මෝඩයො මහන්සි වෙන්නේ?”
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
