පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

ඇය මංජුලා පියුමාලිද සොයිසා, කවිකාර වෛද්‍යවරියක්. ස්වකීය පළමු කාව්‍ය සංග්‍රහය තිත් සහ කොමා නමින් 2022දී පල කළ ඇයට කවිය ආගන්තුක නොවේ. ඇගේ කවි ලිවීමේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ මුහුණු පොතෙනි. සමාජ මාධ්‍ය අවභාවිත වන මෙවැනි සමයක, එයම කවි ලියන්නට වේදිකාවක් කර ගත් මේ කාව්‍යක්කාර දොස්තර නෝනා ලියූ තිත් සහ කොමා කාව්‍ය සංග්‍රහය ගැනයි අද අප කතා කරන්නේ.

මිනිසා විසින් ස්වකීය සිත් සතන්හි පහළ වූ හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම සඳහා නිපදවා ගන්නා ලද, වචනය පදනම් කොට ගත් මුල්ම කලා මාධ්‍යය කාව්‍යය යැයි සිතිය හැකියි. පැරණි කාව්‍යයේ බාහිර ස්වරූපය සකස් වූයේ එය පහළ වූ සමයටත් පරිසරයටත් හැම අතින්ම අනුරූප වන ලෙසිනි. කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ සිතුම් පැතුම් අත්දැකීම් වෙනස් වන විට ඒවාට අනුකූලව කාව්‍යයේ බාහිර ස්වරූපයද වෙනස් වීම වැළැක්විය නොහැකිය. “හොඳම වචන හොඳම පිළිවෙළට ගැලපීම කාව්‍ය නම් වේ,” යැයි එස්. ටී. කොල්රිජ් කියයි (ගිනිකටුවැවේ විපුල හිමි, “කාව්‍ය නැමැති සාහිත්‍යාංගය හා එහි සමාජීය අවශ්‍යතාව” විදුසරණි ශාස්ත්‍රීය සංග්‍රහය, (සංස්.) දඹුල්ලේ සුදේව හිමි ඇතුළු පිරිස, පේරාදෙණි විශ්වවිද්‍යාලය සාමුහික භික්ෂු සංගමය, 2012, පි. 330.). භාමහ පවසනුයේ “ශබ්දාර්ථ සහිතවත් වූයේ කාව්‍යයි,” යනුවෙනි. ඒ අනුව පෙරදිග මෙන්ම අපරදිග කවිය සම්බන්ධ සමාන අදහස් පළ වූ අවස්ථා හඳුනා ගත හැකිය. කාව්‍ය යනු “රසවත් වැකිය වේ,” යන්න ශ්වනාථයන්ගේ මතයයි. රසය යනු වින්දනයයි. ශෘංගාර, හාස්‍ය, වීර හා අද්භූත යනාදී සිතෙහි ඇති වන මනෝභාව ඉන් හැඟවේ. ජගන්නාථ පවසන පරිදි “කාව්‍යය යනු රමණීය අර්ථයක් දනවන ශබ්දය වේ.” රමණය යනු ඇලීමයි. ශබ්දමය හා සංකල්පමය වශයෙන් රමණයක් ඇති කළ හැකි ශබ්ද සංයෝග මෙයින් ප්‍රතීතයි. එහෙත් මෙහිදී සාකච්ඡාවට නතු වන්නේ කවිය පිළිබඳ නොවේ. ආධුනික නමුත් එසේ කිව නොහැකි ප්‍රතිභාපූර්ණ කිවිඳියක ගැනයි.

පිටු හැටකින් යුත් මෙම කාව්‍ය සංග්‍රහය ප්‍රමාණයෙන් කුඩා නමුත් කාව්‍ය නිර්මාණ පනහකින් යුක්තය. මට ඕනි මකරෙක්, කුමුදු, කන්තක, මලූ මුලූ, කැදැල්ල, අත්හැරීම, මීට සදාදර ජනපද කල්‍යාණිය, අම්මෙක් වැනි කාව්‍ය නිර්මාණ ඒ අතරින් කිහිපයකි. පොත පෙරළා බැලු විගස පෙනෙණ එක් දෙයක් නම් කාව්‍ය නිර්මාණ නාමකරණයේ ඇති විශේෂතාවයි, කාව්‍ය නිර්මාණ නම් කර ඇති ආකාරය අන්තර්පඨිතමය ස්වභායක් ප්‍රකට කරන බවයි. කන්තක, මීට සදාදර ජනපද කල්‍යාණිය, නාලාගිරිලා වැනි කවි ඊට නිදසුන්ය. එසේම සුලබ මෙන්ම දුලබ තේමා කිවිඳියට වස්තු විෂය වී තිබේ.

කාව්‍ය සංග්‍රහයේ එන ආරම්භක කාව්‍ය නිර්මාණය මට ඕනි මකරෙක් යන්නයි. මකරා අපට හමුවන්නේ මිත්‍යා කතා හා සුරංගනා කතාවලය. දරුණු මායාකාරියන්ගේ ගිනි පිඹින, කීකරු මකරුන් අප කොතෙකුත් දැක ඇත. පියාඹන, ගිනි පිඹින මකරුන් මහ බලවතුන් බවට විශ්වාසයක් ඇත.

මට අවැසි
ගිනි පිඹින
මකරෙකුට
හද පුදන්න (09 පිටුව)

කවිය ආරම්භ වන්නේ එලෙසිනි. කථකයාට අවශ්‍ය වන්නේ ගිනි පිඹින මකරෙකුට හදවත පූජා කිරීමටය. සාමාන්‍යයෙන් මකරුන් නපුරුය, රළුය. එහෙත් කථකයාට අවශ්‍ය වන්නේ එවැන්නකුට හද පිදීමටයි. ඇතැම් විට එයට හේතුවක් තිඛෙන්නට පුළුවනි. එය එක්තරා ආකාරයකින් විරහ වේදනාවක්ද විය හැකිය. ඇයට ආශා කීපයකි. ඒවා ඉතා සියුම්ව කවියට නඟන්නට කිවිඳියට හැකිව තිබේ.

එරෙහිි වී
නැගෙන ලොව
ක්ෂණයකින්
අළුකරන්න (09 පිටුව)

මෙම කාව්‍ය ඛණ්ඩය එක්තරා ඉඟියකි. ඇය ප්‍රේම පරාජයෙන් වේදනා විඳින්නියකි. ඇයගේ විරහවට හේතුව ඔවුන්ගේ පෙමට එරෙහි වූ ලෝකයයි. ඒ ලෝකය, ඇගේ හිටපු පෙම්වතාගේ පවුල හෝ ඇයගේම පවුල විය හැකිය. ඔවුන්ගේ ප්‍රේමය වෙනුවෙන් හඬක් නඟන්නට පෙම්වතාට නොහැකි වන්නට ඇත. ඔහු ඉදිරිපත් නොවුණා විය හැකිය. ඔහුගේ පෞරුෂය ඇය අපේක්ෂිත මට්ටම නොවුණා විය හැකිය. එම නිසා දෙසනුහරයේ විරෝධය මැද ඔවුන් වෙන් වුණා විය හැකිය. විරහව විඳිනවා විය හැකිය. දැන් ඇයට පෙම් කිරීමට අවශ්‍ය වන්නේ මකරෙකි. ගිනි පිඹින මකරෙකි. ලෝකයේ එරෙහි වීම් මැද වුවද ප්‍රේමය රැක ගන්නට උත්සහ දරන බලවතෙකි. මේ එක්තරා අයුරකින් කථකයාගේ යටි සිත විවරණයකි. කිවිඳිය කවිය අවසන් කරන ආකාරයම ඊට දෙස් දෙයි.

මට ඕනි
ඒ වගේ
මකරෙක්ට
පෙම් කරන්න (09 පිටුව)

සාමාන්‍යයෙන් පෙම් සබඳතාවක් බිඳ වැටුණු පසු බොහෝ දෙනා මානසිකව කඩා වැටේ. පීඩනයට ලක් වේ. නැවත ප්‍රේමයක් නොපතයි. ජීවිතය අත්හැර දමයි. අළු මතින් නැඟිටින පිරිස සිටින්නේ අවම වශයෙනි. එහෙත් මෙහි එන කථකයා නැවත පෙමක් ආපේක්ෂා කරයි. ජීවිතයට නවමු බලාපොරොත්තුවක් ඇති කර ගනියි. මෙය නිර්මාණයක දැකිය හැකි සාධනීය ලක්ෂණයකි. නිශේධනාත්මක අදහස් හා සිතිවිලි සමාජ ගත කරන නිර්මාණ බිහිවන මෙවන් යුගයක මෙය උඩුගං බලා පිහිනීමකි. ඒ අනුව කවියා ආයාසයකින් තොරව ධනාත්මක සිතිවිලි ව්‍යාප්ත කරයි.

මෙහි එන පස්වන කාව්‍ය නිර්මාණය කැදැල්ලයි. එහි හයිකු කවියක හැඩය ඇත.

වඩු කුරුලූ කූඩුවක්
දිරපු අතු අග
පොඩි පැටව් දකිනවලූ
හෙටක මහ මග (14 පිටුව)

මෙය කුඩා කවක් නමුත් සංකේතාත්මකය. දිරපු අතු අග යන්න මෙහි එන ප්‍රබල සංකේතයයි. වඩු කුරුලූ කූඩුව යනු පවුලක් විය හැකිය. වඩු කුරුලූ කූඩුව ඉතා ලස්සනය. විධිමත්ය. (පක්ෂීන් අතර ඉතාම ලස්සන මෙන්ම විධිමත් කූඩුවක් හදන්නේ වඩු කුරුල්ලන්ය.) මෙහි එන පවුලද එසේම අංග සම්පූර්ණ නිවසක් හිමි දරුවන්ගෙන් යුත් පවුලක් විය හැකිය. නමුත් වඩු කුරුලූ කූඩුව කවියට අනුව ඇත්තේ දිරපු අතු අගයි. ඒ අනුව කූඩුව විනාශ වීමට ඉතා ආසන්නය. දිරපු අත්තක් කඩා වැටෙන අවස්ථාව කිව නොහැකිය. ස්වභාවික උවදුරු හෝ කාලයාගේ ඇවෑම එයට හේතු විය හැකිය. කවියට අනුව සංකේතවත් වන පවුලේ ඉරණමද එයයි. විනාශයට ආසන්නය. පවුල අභ්‍යයන්තරයේ දුරදිග ගිය විසඳා ගත නොහැකි මට්ටමේ ගැටු පවුලක දෙදරා යාමට හේතු විය හැකිය. කුරුලූ කූඩුව කැඩියාමෙන් කුරුලූ පැටවුන් මියයයි. නැතහොත් කුරුලූ බිත්තර කැඩී යයි. එසේම දෙමව්පියන් සහ දරුවන්ගෙන් යුත් පවුලක දෙදෙරා යාම සෘජු ලෙස දරුවන්ට බලපානු ලබයි. කුඩා දරුවන් අසරණ වේ. ඒ අනුව ඔවුන්ට ඇත්තේ අවිනිශ්චිත අනාරක්ෂිත අනාගතයක් බවක කිවිඳිය ප්‍රකාශ කරයි.

මීට සදාදර ජනපද කල්‍යාණිය “තිත් සහ කොමා” කාව්‍ය සංග්‍රහයේ එන තවත් එක් කාව්‍ය නිර්මාණයකි. ජනපද කල්‍යාණිය යයි ඇසූ සැනින් සිහි වන්නේ ජනප්‍රිය බුදු දහමේ එන ඉතිහාස පුවතකි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර සිද්ධාර්ථ කුමාර අවධියේ ඔහුගේ සහෝදරයෙකු ලෙස නන්ද කුමරු සැලකේ. ඔහුගේ විවාහ අපේක්ෂිත ආදරවන්තිය ජනපද කල්‍යාණියයි. ජනපද කල්‍යාණිය රුවින් අග තැන්පත් තැනැත්තියකි. බෝසත්හු බුදු වූ පසු කිඹුල්වතට වැඩම කළ සේක. බුදුන් පසුගමනේ ගිය නන්ද කුමරු ධර්මය කෙරෙහි පැහැදි භික්ෂු ශාසනයේ භික්ෂුත්වයට පත් විය. එය ඇසූ ජනපද කල්‍යාණිය බුදුන් මෙන්ම බුදු දහමටද පරිභව කරමින් විරහව විඳිබව ඉතිහාස පුවතේ දැක්වේ. ඒ අනුව මීට සදාදර ජනපද කල්‍යාණිය යන නාමය දුටු සැනින් අන්තර්පඨිතත්වය සහිත කවියක් බව හැඟේ. එක් අතෙකින් ඓතිහාසික කතා පුවතක් ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස මෙම කාව්‍ය නිර්මාණය දැක්විය හැකිය. එහි ආරම්භය මෙසේය.

මම හින්ද ආලේ බැන්ද
සබඳ නන්ද
කියනු සතුටින් ද
නැත නින්ද… (16 පිටුව)

ඇතැම් විට මෙහි එන ජනපද කල්‍යාණිය සහ නන්ද යනු නාමයක් පමණක් වුවද විය හැකිය. කෙසේ නමු් විරහා වේදනාවෙන් පීඩිත ජනපද කල්‍යාණිය ඇයට ආලය කළ නන්දගෙන් සතුටින්ද යන වග විමසයි. ඇය පවසන්නේ ඔහු නොමැති සොවින් ඇයගේ නින්දද අහිමිව ඇති බවයි. ඔවුන් කළ දේ මෙනෙහි කරන ඇය දෙනෙත අඳ කරමින් ගියේ ඇයි දැයි විමසයි. මෙකී දෙනෙත අන්ධ වීම ඔහුගේ දෘෂ්ටියෙන් ලෝකය දුටු ඇය ඔහු නොමැතිව අසරණභාවයට පත්වීම හෝ සැබැවින්ම නෙතු අන්ධ කරමින් පලා යාමක් විය හැකිය. එහෙත් ඔහු කෙරෙහි ඇයගේ ආලය අඩු නොවේ. ඇය ඔහුට නැවත එන ලෙස පවසයි.

මම කෝම වාව ඉම් ද
සිත හදම් ද
හෙළනු දුක කන්ද
එනු නන්ද (16 පිටුව)

නළු ගී විරිතෙන් රචිත මෙම නිර්මාණය සිව් පද කුඩා කවිවලින් යුක්තය. කථකයා ජනපද කල්‍යාණියයි. අනුප්‍රාස රසයෙන් යුත් පද සංඝටනාවකින් යුක්ත වේ. විශේෂිත අලංකාර නොවේ. අරපිරිමැස්මෙන් හොඳම වචන හොඳම පිළිවෙළට යොදමින් අර්ථ ජනනය කර තිබේ.

අම්මා යනු නිර්මාණ විෂයෙහි සුලබ තේමාවකි. මංජුලා පියුමාලිද ස්වකීය කාව්‍ය සංග්‍රහයේ එක් කවක් අම්මෙක් නමැති තේමාවෙන් රචනා කර ඇත. මෙය නිතර අපි දකින අම්මා වෙනුවෙන් ලියූ නිර්මාණවලින් වෙනස් වේ. මෙය මාතුපෝසක ජාතක කතාව සිහි ගන්වයි.

ගෙත්තම් කරන් හැඟුමන්
නොකරම නාද
රත්තරං පුතුට බුදු බව
නුඹ පැතුවා ද (17 පිටුව)

තිත් සහ කොමා මෙහි එන තවත් එක් සුවිශේෂ කවියකි. තිත සහ කොමා යනු සෑම භාෂාවකම යෙදෙන විරාම ලක්ෂණ වේ. මෙය එකී විරාම ලක්ෂණ සම්බන්ධ කවියක් නොවේ. ප්‍රේමය ගැන කවියකි. ප්‍රේමයේ විරහව සම්බන්ධ කවියකි. එහි යෙදෙන ප්‍රබල සංකේතය තිත සහ කොමාවයි.

ඔබ එවූ කොමාවේ
යට කොනක් හපා
මම තබා යමි තිතක්
පෙම ආයේ එපා… (17 පිටුව)

තිත සාමාන්‍යයෙන් වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ. කොමාව යෙදෙන්නේ වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවැතිය හැකි ඇතැම් මඳ විරාම දැක්වීම සඳහාය. මෙහි එන කථකයාගේ ආදරයට කොමාවක් වැටී ඇත්තේ ඔහුගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ මැදිහත්වීමෙනි. අවසානයේදී කථකයා එකී පෙම් සබඳතාව නැවත ඇති නොවන සේ නවතා දමයි. කථකයා ප්‍රේමයක් නැවත ආපේක්ෂා නොකරයි. එය දැඩිව ප්‍රතික්ෂේප කරයි. පෙම ආයේ එපා… , පෙම තදින් කපා… යයි පවසන්නේ එබැවිනි. මින් හැඟවෙන්නේ කථකයාගේ විරහා වේදනාවේ බලවත් බවයි.

“තිත් සහ කොමා” යනු කිවිඳියගේ පළමු කාව්‍ය සංග්‍රහය වුවද කිසිදු ආධුනික බවක් නොපෙනෙන්නේ හොඳම වචන හොඳම පිළිවෙළට ගළපා, කවිය අවියක් කොට ගනිමින් මානුෂීය ගුණාංග ඇතුළු නොයෙක් තේමා කාව්‍යයට නඟන්නට උත්සහ දරා තිබීමෙනි. කිවිඳියට කෙටි කවි වඩා ප්‍රියබවක් හැඟුණද දිගු කවිද ඇගේ රචනා අතර වේ. සුලබ දුලබ කාව්‍ය ආකෘති සමඟ විවිධ විරිත් අනුව පබැදුම් කර ඇති කවි නිසා කාව්‍ය සංග්‍රහයට විවිධ වර්ණ එක්වී තිබේ. එහෙත් ඒවායෙහි ඖචිත්‍ය සහ ඖදාර්ය ගුණය සුරක්ෂිතය. ශබ්ද රසයට වඩා අර්ථ රසය තීව්‍ර වේ. එහෙත් ශබ්ද රස නොමැති බවක් ඉන් අදහස් නොවේ. කිවිඳියගේ අධ්‍යාශය සහ කැමැත්ත පරිදි කාව්‍යාලංකාර යොදා ගෙන ඇත. ඒ අනුව එක් හුස්මට කියවා නිම කළ හැකි මෙම කාව්‍ය සංග්‍රහය ප්‍රමාණයෙන් කුඩා නමුත් අදහස්වලින් සුපෝෂිත බවත්, කිවිඳිය ඇසූ පිරූ තැන් ඇති මනා කියවීමක් සහිත තැනැත්තියක බවත් ගම්‍යමාන කරයි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

One thought on “පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

Leave a comment