-දයානන්ද තිරිමාන්න ලියයි.
සිංහල කෙටිකතාවේ නව ආකෘතිමය අත්හදාබැලීමකින් යුත් කෙටිකතා අතරට එක්වන දයානන්ද තිරිමාන්නගේ මෙම කෙටිකතාව මුල්වරට පළවූයේ 'කල්පනා' සඟරාවේ 1982 නොවැම්බර් කලාපයේය. පුද්ගලයකුගේ චින්තන දහරාවක් ඉදිරිපත් කරන මෙහි සම්පූර්ණ වාක්‍ය නොමැතිය. දයානන්ද තිරිමාන්න 1975 සහ 1979 වසරවල කෑගලු දිසා සාහිත්‍ය උළෙලේ කෙටිකතා තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ඇත.
ස්ථාන මාරුව. දුෂ්කර ප්‍රදේශය. ලීව් නෑ. අනිවාර්යයයි. වැඩභාර ගැනීම. පළවෙනිද. හෙට. අද. තිස් වෙනිද. රෑ කෝච්චිය. 9.30. කණස්සල්ල.
උත්සාහය. සමිතිය. ලේකම්. අපේ මිනිහෙක්. මැම්බර්. මංත්‍රී. ඇමති! සලකා බැලීම? පුද්ගලික ලේකම්. ස්ථාවර ලේකම්. සහකාර ලේකම්. කොමසාරිස්. කාර්යාල සහායක. ප්‍රධාන ලිපිකරු. බලාපොරොත්තු බිඳවැටීම. තීරණය. අද යනව. දෙගිඩියාව. කොහොම හරි. ආයෙමත්. වැඩ කෑල්ල.
“අයිසෙ මම කිව්වනෙ… එහෙ වැඩට කවුද යන්නෙ…?” අන්න හරි. ඕනෑ එකක්. දැන්. අදම. රෑම. යනව.
දුම්රිය පොළ. වේදිකාව. ටිකට්. කණු දිගේ ප්ලොරසන්ට් ලයිට්. මද සෙනග. බංකු උඩ මළකඳන්. දවල්ට ෂූ ගාල. පවර් සෙට්. පුට්බෝඩ්. වවුල්ලු. පොද වැස්ස. මද සීත. රෑ නින්ද. කමක් නැ. රතු එළිය. කහ එළිය. නිවුණා. රතු එළිය ඉතුරු වෙයි. වැහි බිංදු. නෑ ඉරි. ඔව් ඉරි. රතුපාට. කහපාට. පොද වැස්ස. දොඹ ගෙඩි. හිරිකඩ. වෙලාව. 8.30. කෝච්චිය. 9.30. තවපැයක්. සක්මන්. එතැනට. මෙතැනට. ඔබ-මොබ. ඈත-මෑත. වහල යට. ඉන් එහා තෙමෙනව. අපරාදෙ. වේලාසන. අම්මගෙ කරදරේ.
“පලයන්… පලයන්… බස් නෑ… වහින්න වගෙයි…”
තරු නෑ ආකාසෙ. කළුවර. වෙලාව! බස් නෑ. පොදවැහි. දොඹ වැහි. ධාරානිපාත. ආපසු ගෙදර. හෙට. උදේ බස් එක. සීග්‍රගාමී. කඳු. පල්ලම්. වංගු. ‘කාපට් එකේ ඇරල ගියෑකි.’ (පාර ලිස්සන සුළුයි) වංගුව. කෙළින් යං. ප්‍රපාතෙ. රෝද නෑ. වහල නෑ. මිනිස්සුන්ගෙ බෙල්ල නෑ. සංසාරෙ! ඩ්‍රයිවර් බීලා? වැස්ස. අප්‍රමාදය. පැමිණීම. අම්මට පින්. සිතට සතුට. සිරිපොද. මඳ සීත. අපූරුයි. සිගරැට්. රතු දැල්ල. කරස්; කරස්. මළ කඳන්. පණ ඇවිත්. කරදරේ – යටි හිතින්. කරස්; කරස්. වැලි. ලෙදර් සෝල්. ටාං-ටාං-ටාං-රතු-කහ-කොළ. කොළ ඉරි. පැත්තකට ඇලව. වාහනේ! අපොයි නෑ. වෙන එකක්. කොළඹට. අපි යන්නෙ නෑ එහෙ. දුෂ්කර ප්‍රදේශය. වෙලාව. තව පැය බාගයක්. කොළ-කහ-රතු-රතු ඉරි.
වැහි ඉරි. වැහි බිංදු. දොඹ ගෙඩි. මොර සූරණ. ගං වතුර. කුණාටුව. ගස් වැටිල. කනු වැටිල. කෝච්චිය අවලංගුය. බස් පාර. නාය යයි. ගමන් බිමන් අඩපණ වෙයි. හීන් හිනා. විකාර. ටැලිපෝන්-නෝ කෝල්. යළිත් කොළඹ. මාරුව අවලංගුය. මනස්ගාත. කල් යයි. අවුරුද්දක්. හය මාසයක්. මාසයක්. එච්චර කල් වහීද? මුරුග සං වරුසාව. ඒත් නෑ. බෑ. තවමත් පොද වැස්ස. වැඩිම වුණොත් දවස් දෙක. ඒත් කැෂුවල් ලීව්. තාම හිරිපොද. ගං වතුර හිනා…
හෙට! අලුත් තැන. අලුත් පැත්ත. අලුත් නවාතැන. අලුත්. අලුත්. ඒත් හිත ගෙදර. මාරුවට නොගියොත්? නොදන්වා නොපැමිණීම. ඉල්ලා අස්වීම. සේවය පැහැර හැරීම. ටැලිග්‍රෑම්. අද බෑ. හෙට එනව. ඒත්? දැන් බෑ. දුම්රිය. වේලාව. හෙට වැඩට යෑම. ප්‍රමාදය. රතු ඉර. හා පුරා රතු ඉර පැනල. ලොක්කා. “මිස්ටර්!” කණ්ණාඩිය මේසෙ උඩ. ඔළුව උඩ-පහල. කටුස්සා. උපහාසය. රතු ඉර. බ්ලැක් මාර්ක්. ඉන්ග්‍රිමන්ට්. උසස්වීම. හෝව්! හෝව්!! රතු ඉර. රතු ඉරි… කොළඹ. හැතැක්ම පහළොව. ගම. කෝච්චිය. ප්‍රමාදය. සිග්නල් නෑ. කලර් ලයිට් අප්සෙට්. ප්‍රමාදය. ලොක්කා. “බෑ හලෝ හැමදාම“ කම්ප්ලේන්. පනිෂ්මන්ට්. දුෂ්කර ප්‍රදේශය. ආයාචනා. ගෙදර. අම්මා. නංගිලා. වෙන කවුද? වතුපිටි. හරකබාන. හොර හතුරො. ගේට්ටුව. ඉබ්බා. ඒත් මං නෑ. මිත්‍ර පක්ෂය; සති අන්තය; දින දෙක. ගෙදර ඒම. වියදම. ගමන් ගාස්තු – බලපත්‍ර. බෝඩිම. ලොන්ඩරි. හපොයි බෑ! මාසෙකට සැරයක්. ගිහිල්ලත් බෑ. නොගිහිල්ලත් බෑ. රස්සාව. රතු ඉර. පනිෂ්මන්ට්. ඉන්ටඩික්. දිස්මිස්.
සිරිපොද. නෑ. පොද වැහි. තද කරයි. ෂෝ…ක්. හොඳ නින්දක්. නෑ. වෙලාව 9.30. කෝ දුම්රිය? ප්‍රමාදය. එයිද? එයි. නාවොත්? හොට වැඩ? කමක් නෑ. ප්‍රමාදය; විනාඩි 10. පැය කාල. බාගෙ. පැයක්. ඒත් එයිද? නිවේදක. “දුෂ්කර ප්‍රදේශය බලා යන දුම්රිය පැය… ප්‍රමාදයි.” හෙට උදේ අට. කොහොමටත් ඊට ඉස්සෙල්ල යාවි.
සීතල. සිගරැට්. ප්ලේන්ටි. කෝපි. චැහ් මරු! ඒත් බෑ. කෝච්චිය දැන් එයි. අප්පමාදෝ අමතපදං. අද අද එයි මරු. රාත්‍රී ආහාරය 8.00. දැන් ආසන්න වේලාව රාත්‍රි 10.00. තිබහ. වෙහෙස. නිදිමත. හෙට උදේ 6.00 තෙක් පිපාසෙ. නිල්පාට මර්කරි එළිය. හිරිපොද. තෙමිච්ච පාර. දිළිසි දිළිසි. කෙරෝලෙ හෝටලේ. අත වනනව. මාව දැකල. “එන්න එන්න තේ බොන්න.” බෑ… බෑ… කෝච්චිය දැන් එයි. එයිද? ඔව් එයි. ඇස්. ඇම්. විමසීම්. ඔව්/නෑ/කියන්න බෑ. ටිකක් ඉඳගන්නව. කෝ ඉඩ? මළකඳන් බාවල. ඉඩ නෑ. මෙහෙ බෑ. වැසිකිළිය. පුර්ෂයන්ට. මගීන්ට. යතුර කාර්යාලයේ. වැස්ස. කුඩු පොද. මළ ඉලව්ව! තේ එකක්…? හා-යං! බෑ. බෑ. කෝච්චිය. එයිද? එනව. කවදද? කවද හරි. ෂෙඩුල් ටයිම්. ලේට්. අපි ගියොත් ඉර. අර්ජන්ට් ට්‍රාන්සර්. හදිසි මාරු. උඩරට මැණිකෙට-රතු ඉරි නැත නැත. නමයයි තිහ. ගැණීම. අවරෝහණ. දහය, නවය, අට… දෙක, එක, බිංදුව. 9.30. කෝ? ප්‍රමාදය. ආයෙ ගණිමු. දශම බිංදුවයි එක. දශම බිංදුවයි බිංදුවයි එක. හූස්ටන් + හඳ. කොළඹ – හැතැත්ම පහළොව. දුර වෙලාව පැය දෙකද? නෑ. ටිකක් අඩු. නෑ. වැඩි. එහෙම බෑ – ගානට. ඕන් නෑ. විකාර. තේ එකක්. වෙලාව? පහුවෙලා. විමසීම්. එයිද? ටැලිපෝන්. කොන්ට්‍රෝල් රූම්. මොකද…? හරි වැඩේ… ඇත්තද… තව නෑ… කියන්න බෑ… ඕකේ!
චහ්! තැවීම්. දැන් කරන්නෙ? උදේ කෝච්චිය. අපරාදෙ. ඇයි බස්? කූල් පිට. හෙට උදේ. ගිය නුවණ. වැඩක් නෑ. නිදිමත. පත්තරයක් කියවන්න. ආ… නවකතාව. බෑග් එක. යතුර. සාක්කුව. දැන් බෑ. ඕනැ නෑ. කම්මැලියි. වැස්ස අඩුවෙලා. කෝ වැස්ස? කුඩු පොද. සිතල-ඊතල. හෝටලේ. කෝපි. විමසිලි. කෝච්චිය දැන් එයි. ගියාදෙන්. හෙට! හෙට? “ඔබ එව් ලිපිකරුවා තවම වැඩ බාරගෙන නැත” උදේම හුවමාරුවන වචන. නිවේදන. “දුෂ්කර ප්‍රදේශය බලා යන දුම්රිය, එළි වීමට පෙරාතුව වේදිකාවට ළඟා වෙනු ඇත” ටක් ගාල. තේ බොනව.
පාර තෙමිල. දිලිසෙනව. හෝටලේ ලයිට්. දිලිසෙනව. කැෂියර්. බුදි නෑ. “සර්, සර් වාඩිවෙන්න” ආප්ප-ස්වීට්-මාලුපාන්-කෙසෙල්ගෙඩි. එපා කෝපි එපා! “හා ගේනව ආප්ප. සර්. කන්නෙ. මස්-මාලු-සම්බල්-කෝලිකුට්ටු-උණු- උණු-ආප්ප. බිත්තර. කමුද? අගෙයි. නින්දත් නෑ. ගමනත් නෑ.
බිත්තරේ. හැන්ද. චරාස්. සුදුමදේ. කහමදේ. තාච්චිය. කට කටු බෑ. මහපාරට. ටැක්සිය. පාර. ක්රස්. බිත්තර කට්ට. කෝච්චිය? එයිද? තාම යාඩ් එකේ. ආප්ප. ලුණු කුඩු. සීතල. සිගරැට්. ස්පෝට්ස්මන්. කෝච්චිය. මොකද? අද. ගුස්පියක්. පාරෙ. හෙට. වැඩ. ඉර. ගුස්පිය. පොද වැස්ස. චිරි. තව එකක්. කෝපි. එපා ප්ලේන්ටියක්. සිගරැට්. “ගේනව.”
කවුද? මහ රෑ. මොට්ටැක්කිළිය? නෑ සාරිය. පොරවගෙන. ඇයි මේ? කුටු කුටු. කැෂියර්-දැන් කොහෙද? බස් නෑ. ගෑනියක්. මහ රෑ. පව්! අපරාධෙ. අහිංසක ඇස්. කපටි නෑ. පව්. අකරතැබ්බයක්. මට මොකෝ? කෝච්චිය තාම නෑ. තොල් දෙකත් ලස්සනයි. වැඩක් නෑ. කෝච්චිය තවත් නෑ. කැෂියර්. බස් නෑ. මහ රෑ. අයියෝ! පොඩි දෙන්න තනියම. කන්න පාන් ගෙඩියක්. පාන් නෑ. ඉඳිආප්ප. හා-හා අයියෝ! වැස්ස. ගෙදර ගමන. පයින්. කළුවර. මදවැහි. තනිකම. ගෑනියක්. මහ පාර. රෙදිමෝල. වහල. බස් ගිහින්. ඉල්ලීම්. කැෂියර්. කාව හරි තනියම. ඇරලන්න. “පිස්සුද ඔහේට?” අපිට ඇයි? කුණු කෝඩ! වල් ගෑනියක්!
නෑ අයිසෙ. පව් අයිසෙ. කරදරයක්. මොකක් හරි. මීටිස්සෙල්ල. ආවද? නෑ! ඒක හරි. ඒ වුණත් රටේ හැටි දැනගන්න මහත්තය. අපි කවුද? වෙන වැඩ නැතුවට.
මොකක් හරි කරදරයක්. අහිංසක පාටයි. අනුකම්පාව. පව්! දුක. ඇයි? මහ රෑ මොකද? තනියම. මහත්තයට අන්තිමයි. රෝහල. මාස ගණන. ටැලිග්‍රෑම්. මං ගියා. අයියෝ! සුසුම්. කඳුළු. සාරිපොට. “හා – හා එපා.” බස් එක කැඩුණ. අන්තිම එක. පයින්. දැන් කාර් නෑ. සල්ලි නෑ. කෝච්චිය නැද්ද? අපොයි තාම නෑ. ඉලව්ව. හෙට. වැඩට රතු ඉර. අමතක වීම. ඉතින්? මේ රෑ. තනියම. හැතැක්ම හතරක්. තනියම. කොහොමද? උදව්වක්. පුළුවන් නම්. ඇරලන්න. බඩ ගින්නෙ පොඩි උන්. තනියම. පව්! දුක. වැස්ස. පොද. සීතල.
අනුකම්පාව. කෝච්චිය. ප්‍රමාදය. වැඩ. හෙට. රතු ඉර! “නොදන්වා නොපැමිණීම.” පනිෂ්මන්ට්. අලි ගුස්පිය. පව් නේද? මොට්ටැක්කිළිය. බොරුද? නෑ. වෙන්න ඇති. අහිංසක ඇස්. කතාව. දුක. “යන් එහෙනං” කෝච්චිය? තව පැයක්. ප්‍රමාදද? එක හොඳයි! ඇරලලා ආ හැකි. ගියොත්? ගියාවෙ. පාන්දර තව එකක්. නොවැරදීම. ඔව්-එයි. දවල්ට එහේ. යාන්තන් ෂේප්. කන්තෝරුව. පළවෙනි දවස. වරුවයි වැඩ. රිපෝට්. මතකයිනෙ පනිෂ්මන්ට්. ඔව් සර්! ආයෙ නෑ. ප්‍රමාදය මගෙ නොවෙයි. කෝච්චිය!
“යං” තීරණය. ඇරලීම. පාර. තනිය මකන්න. බිය නොවන්න. කතාව. ඉතුරු ටික. වේදනාව. ඉස්පිරිතාලෙ. හුඟක් කල්. පපුව. කැස්ස. පව්. ඉතින්. ඇයි? තනියම. කවුරුත් නෑ. පින්සිද්ධ වීම. බුදු බව. එපා! වෙලාවට කෝච්චිය. හෙට වැඩ. ඒ ඇති.
තකහනියෙ. ඇයි යන්නෙ. එන්නෙ. එන්න. ගෙට. තේ එකක්. මහන්සිය. සීතල. වැස්ස. තද වෙයි. දොඹ ගෙඩි. මොර සූරණ. ස්තුතිය. එන්න. එපා! කමක් නෑ. තේ එකක්. වැහි කෝඩ. ආපහු ගමන? කෝච්චිය. ගියාද? නෑ! සද්ද. පාන්දර ඒවිද? ඒවි. ච්. මේ ඉලව්ව. රෑ ගියානං ලේසියි. පාන්දර පරක්කුයි. පසු තැවීම. අලි වැඩේ. සංතාප. මොඩකම. ඇයි? අනුකම්පාව. හරහට. හෙට. වැඩ. රතු ඉර.
තේ එක. බොන්න. වැස්සනෙ. යන්න බැරිවෙයි. ඉන්න. නවතින්න. නිදන්න. අද මෙහි. ඇඳක්. ඔව්. නිදිමත. මාංසිය. ඇඳක්! එපා. මං යනව. මේ වැස්සෙ? එපා! පාන්දර. පළවෙනි බස් එක. ඇඳක්. පාන්දර එලාම් එක. ඔරලෝසුව. ටික් ටික්! එපා. දැන් යනව. වැස්ස තුරල් කරල. නෑ ඉන්න. මං හන්ද කරදරේ. අපොයි නෑ. සුළු දෙයක්. එහෙනං ඉන්න. ඉල්ලීම්. නොසන්සුන්. කෝච්චිය. යන්න ඇති. හෙට. පාන්දර. පළවෙනි බස් එක. පළවෙනි කෝච්චිය. සීතල. නිදිමත. අහිංසක ඇස්. ඒ වුණත්? රස්සාව. ඔන්න මං දුවනවා. දුවනවා. හූ…! කෝච්චිය.
© දයානන්ද තිරිමාන්න, 1982.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
