ගෙම්බා සහ සුවද විලවුන් 

වසර ගණනාවකට පෙර විශ්ව විද්‍යාලයේදී අහම්බයකින් මෙන් නැරබිමට ලැබුණු චිත්‍රපටයකි. නමුත් "ගෙම්බා සහ සුවද විලවුන්" නමින් චිත්‍රපටයක් තිබුණාදැයි ඔබට ප්‍රශ්නාර්ථයක් මතුවනු ඇත. ඔව්! ඔබ නිවැරදියි. ඉතිහාසයේ කවරදාකවත් එවන් නමකින් චිත්‍රපටයක් නිෂ්පාදනය වු බවක් වාර්තා වී නොමැත. නමුත් එක් ලෝ සුපතල ග්‍රන්ථ කතුවරයෙකු විසින් ගෙම්බෙකු සම්බන්ධ කරගනිමින් නවකතාවක් නිර්මාණය කරනු ලැබිය. ගෙම්බෙක් සහ සුවද විලවුන් කිසිදා එකිනෙකට පෑහෙන දේ නොවුනද මේ කතුවරයා එය මනා ලෙස කළමනාකරණය කරමින් "Das Parfum" නමින් නවකතාවක් ලියනු ලැබිය. The Perfume ලෙස ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ එය 2009 වසරේ මා විසින් මුල් කෘතියෙන් "සුවද විලවුන්" නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබිය. "සුවද විලවුන්" නවකතාව ඔබ කුමන භාෂාවකින් කියවා තිබුනද එහි කිසිදු තැනක ගෙම්බෙකු පිලිබදව සදහනක් නොමැති බව ඔබට මතක ඇතැයි සිතමි. එසේනම් මා සුවද විලවුන් කතාවට ගෙම්බෙකු පටලවාගෙන ගමන් කරන්නට වැර දරන දිශානිතිය පිලිබදව ඔබ විපිලිසරව ඇති.

පැට්‍රික් සූස්කින්ඩ්, “සුවඳ විලවුන්” මුල් කෘතිය වූ ‘Das Parfum” හි කතෘ තම කතානායකා ලෙස තෝරාගෙන ඇත්තේ ගෙම්බෙක් බව ඔබ දැනසිටියේද? ඔබ කතාව කියවා ඇති, චිත්‍රපටයද නරබා ඇති බවට ඇතුවාට සක නැත. නමුත් කතාවේ ඇතුලත් පුද්ගල නාම හෝ ස්ථාන නාම හෝ අමුද්‍රව්‍ය නාම පිලිබදව ඔබ මදක් ඔබගේ අවධානය යොමුකලා දැයි විමසා බලන්න. සමහර විට එය ඔබ අතින් මග හැරෙන්නට ඇති. ගෙම්බා සහ සුවදවිලවුන් නම් මගේ මේ ලියවිල්ලේ අරමුණ ඔබට මගහැරුණු, නමුත් ඔබ දැනගතයුතු යැයි සිතෙන සම්බන්ධය පිලිබදව කෙටි පැහැදිලි කිරීමක් කිරිමටයි.

අපි බලමු කතාවේ කතානායකයා කවුරුද කියා. ඔහුගේ සම්පූර්ණ නම: ජෝන් බැප්ටිස්ට් ග්රෙනුයි.

පැට්‍රික් සූස්කින්ඩ් ඔහුගේ කතාව ආරම්භ කරන්නේ මේ අයුරින්: දහ අටවන සියවසේ ප්‍රංශයේ විසු බොහෝ පිළිකුල් සහගත මිනිසුන් අතරින් ප්‍රමුඛස්ථනයට පත්වන ද්ගලයෙක් වාසය කළේය. මතු කියවෙන්නේ ඔහුගේ කතාවයි. ඔහුගේ නම ජෝන් බැප්ටිස්ට් ග්රෙනුයි. එය එකල විසු බොහෝ පිළිකුල් සහගත පුද්ගල නාම වලින් බෙහෙවින් වෙනස් වූ අතර ම, එය ෆුෂ්, ද සාද්, සන් ජුයි(න්) හෝ බොනපාට් වැනි නම් අතරට ගමන් කලේ නැත. කතුවරයා මෙසේ විස්තර කරන මේ පුද්ගල නාමය සැබවින්ම අපුරු මෙන්ම සසමන්ය පුද්ගල නාමයක් බවට බලු බැල්මට නොපෙනෙනු ඇත. නමුත් “ග්රෙනුයි” නමේ අර්ථය පිඉබදව සැලකීමේදී මේ ලිපියට ප්‍රස්තුත වන වට පිටාව දැකබල ගත හැකිවනු ඇත.

ජර්මානු ජාතිකයෙකු විසින් රචනා කරනු ලැබුවද කතාවට පසුබිම සකසනුයේ දහ අටවන සියවසේ ප්‍රංශයේ පැරිස් නගරය ඇතුළු ඒ අවට අනෙකුත් නගර ප්‍රදේශයි. මෙහිදී කතුවරයා, කතාවේ ප්‍රධාන චරිතයට ග්රෙනුයි වැනි නමක් යොදාගත්තේ ඇයි? Grenouille (ග්රෙනුයි) මෙය මධ්‍යකාලින ප්‍රංශ වචනයක් වන අතර එය ඉපැරණි ප්‍රංශ වචනයක් වන Grenoille  බිදී ආවක් ලෙස සැලකේ. එය ලතින් භාෂාවේ ඇති Ranucula  නැමැති  වචනයෙන් බිදී විත් Renoille ලෙස ප්‍රංශ භාෂාවට එක්වී ඇති බවට සදහන් වේ. එහිදී සතුන් නගන ශබ්දවලට සම්බන්ධයක් ඇති “ග” ශබ්දය එක්කර ඇති බව සැලකේ. සෑම නමකටම අර්ථයක් ඇත්තා සේම ග්රෙනුයි නමටද අර්ථයක් ඇත්තේය. එනම්, “ගෙම්බා” යන්නයි.

පර්යේෂණවලට අනුව සමහර ගෙඹි වර්ගවලට ශිත  කාලයේ ඝන ද්‍රව්‍යයක් මෙන් මිදී එකම තැනක දීර්ඝ කාලයක රැදී සිටීමටත් වසන්ත කාලයේදී ඒ වර්ණවලට ගැලපෙන ආකාරයට වෙස්වලාගෙන සිටිමටත් හැකියාවක් පවතී. “සුවද විලවුන්” කතාවේ ග්රෙනුයි ද තමාගේ අරමුණ වෙත ගමන් කිරීමේදී ඔහුගෙන් ප්‍රකට වුයේද මෙවන් හැසිරීමකි. තම ගොදුර තමා සතු කර ගැනීමට ඉවසිලිවන්තව කටයුතු කිරීමේ හැකියාව ඔහු සතුව ඇත. එමෙන්ම ගෙම්බගෙන් වෙනස් වීම සංකේතවත් කරයි. හින්දු ආගමට අනුව ගෙම්බා, පරිවර්තන සහ නැවත ඉපදීම සංකේතවත් කරයි. එමෙන්ම අප්‍රිකානු සංස්කෘතියට අනුව ස්වභාවධර්මයට අනුගත වීම සංකේතවත් කරනුයේ ගෙම්බා ය. තවද ජෝන් ස්ටේන්බෙක්ගේ “කනේරි රෝ” කතාවට අනුව ගෙම්බා “දිවි රැකගැනීම” නැතහොත් “පැවැත්ම” සංකේතවත් කරයි. “සුවඳ විලවුන්” කතාවේ ග්රෙනුයි ද උපතේ පටන් විවිධාකාර භයානක අවස්ථාවලට මුහුණ දුන්නද ළදරු වියේ පටන් ම තම ජීවිතය කෙසේ හෝ රැකගන්නට සමත් වූ බව පෙනී යයි.   

කතාවේ පළමු පරිච්චේදයේ දී කතුවරයා ග්රෙනුයිගේ මව පිලිබදවත් දරු ප්‍රසුතිය පිලිබදවත් මෙසේ පැහැදිලි කිරීමක යෙදෙයි.

ප්‍රසව වේදනාවේ අවසානයක් දැකීම ඇයගේ ප්‍රබල අවශ්‍යතාවය විය. අවසානයේ ඇය මාළු ලැලල පිටුපස කොටසේදී ඇගේ බරින් නිදහස් වුවාය.
… ඒ මොහොතේ එක්වරම අලුත උපන් බිළිදා මාළු ලෑල්ල යට සිටිමින් මොර ගෑමට පටන් ගත්තේය. මාසි පොදියකින් වැසි මාළු අතුනුබහන් මත වැතිර හඩන දරුවෙකු දැක ගැනීමට මේසය යටට එබුනු කාහටත් හැකිවිය.

කිරි මවුවරුන් කිහිප දෙනෙකුගේ රැකවරණය යටතේ සිටියද ග්රෙනුයි දිගුකාලීනව රැකබල ගැනීමට ඒ එකදු කිරිමවක් හෝ  කැමති නොවුනේ ග්රෙනුයි වෙතින් දැනුනු අසාමාන්‍ය තත්ත්වයයි. එය කෙනෙකුට පැහැදිලි කිරීමට හැකියාවක් තිබුනේ නැත. එක් කිරි මවක් පවසා සිටියේ ඔහුගෙන් කිසිදු ආකාරයක ගඳක් හෝ සුවදක් නොදැනෙන බවයි.  

ග්රෙනුයි ගයිය(ර) මහත්මියගේ ළමා නිවාසයේ සිටින අතරතුරද මරණය ආසන්නයට පැමිණ ජිවිතය බේරාගත් බව කතුවරයා පවසයි.

…එක් රාත්‍රියක වැඩිමහලු දරුවෝ ග්රෙනුයි හුස්ම සිරකර මරා දැමීමට උත්සහ ගත්තෝය. ඔවුහු ඒ සදහා කඩමලු සහ ඇද ඇතිරිලි යොදා ගත්හ. ඒවා සියල්ල ග්රෙනුයිගේ මුහුණ මත තබා ඒ මතින් ගඩොල් තැබුහ.

එමෙන්ම පසු කාලයක ග්රෙනුයි ග්රිමල්ගේ සම් කර්මාන්තශාලාවේ රැකියාව කරන අතරතුර වැළදුණු දරුණු වසංගත උණ රෝගයෙන් පවා දිවි ගලවා ගැනීමට සමතව  සිටියේ  ගෙම්බාගේ දිවි ගලවා ගැනීමේ  හැකියාව සංකේතවත් කරමිනි.

පැට්‍රික් සූස්කින්ඩ්ගේ “Das Parfum” නවකතාව කියවීමේදී එය විවිධ මානයන් ඔස්සේ ගමන් කරන ආකාරයක් විද්‍යමාන වෙයි. එහිදී පිළිකුල, අත්භූතබව, ත්‍රාසය, විස්මය හරහා ලිංගික උත්තේජනය, ශෘංගාරය සහ කාමුකත්වය දක්වා පැතිරයයි. සුවද විලවුනකට මෙතරම් දුරක් හමන් කල හැකි දැයි විස්මයක් උපදියි. නමුත් ගෙම්බෙකු මෙන් තම පැවැත්ම ආරක්ෂා කරගන්නා, කූඩැල්ලෙකු මෙන් තම අවස්තාව එනතුරු ඉවසීමෙන් බලා සිටිනා ගඳ සුවද කෙරෙහි අසාමාන්‍ය සංවේදීතාවයකින් හෙබි ග්රෙනුයි වැනි චරිතයක් හරහා ගොඩනගන ලද කතාව අරුමයක්ම නොම වෙයි. 


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment