නිවැ‍රැදි කේතය

කුඩා බැවේරියානු ගම්මානයක් වූ රම්සෞ හි තවමත් 19 වැනි සියවසේ වූ නිදිබර ශාන්ත බව විද්‍යමාන විය.  වලාකුළු රහිත පැහැදිලි දිනවල රම්සෞහි ඉහළ අහසේ දර්ශනය වන කරත්ත රෝදයක හැඩයක් ගත් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඡායාව නොවන්නට මේ 23වැනි සියවස බව මෙහි වෙසෙන්නෙකුට ලෙහෙසියෙන් ම අමතක කළ හැකි විය. බහුතරය මැදිවිය ද ඉක්ම වූවන්ගෙන් සැදුම්ලත් මේ ගම්වැසියන් කුඩා පිරිසට මෙදින උදෑසනින් ම ලැබී තිබූ ඇදහිය නොහැකි ආරාධනා පතක් වසර ගණනාවක් මෙහි ආරක්ෂා වී තිබූ සන්සුන් බව බිඳ දැමීය.

සුපුරුදු ලෙස උදෑසන 6.30 වන විට ව්‍යායාම සඳහා මිදුලට බට ජේෂ්ඨ අර්නස්ට්  සිග්ලර් දුටුවේ සිය මිදුලේ හිස් කෙළවරක හදිසියේ ම පහළ වී තිබූ අතිශය අලංකාර මල් ගොමුවකි. කිසිදා නොවිඳි අපූරු සුවඳක් එයින් නික්මුණු අතර රිදී පැහැ සියුම් මීදුමකින් ඒ කුඩා මල් ගොමුව වට වී තිබිණි. හමා ආ සුළඟකින් විසිරෙමින් තිබූ මල්පෙති සහ රේණු ඒ අසල පොළොව මත යම් රටාවකට පතිත වෙමින් ඉලක්කම් කිහිපයක් සහ යම් වදන් පෙළක් නිර්මාණය කරමින් තිබිණි. මේ ආකාරයේ හොලොග්‍රෑම් ආරාධනා මීට වසර 50කට පමණ පෙර ප්‍රචලිත වී තිබුණි. මේ කාලයේ කිසිවෙක් එවැනි දේවලට උනන්දුවක් නොදැක්වූයේ මෙය ලාබ පරණ තාලේ ආරාධනාවක් වීමට හොඳටම ඉඩ තිබුණ බැවිණි. එහෙත් වඩා ළංවී එය නිරීක්ෂණය කිරීමේදී අර්නස්ට් විශ්මයෙන් ගල් ගැසිනි. එය සජීවී මල් ගොමුවක් විය. මීදුම මෙන්ම මල්පෙති රටාවකට බිම පතිත වීමද තත්‍ය කාලයේ සජීවීව සිදුවෙමින් පැවතිණි. 23වැනි සියවසේ වුවත් මෙය ප්‍රාතිහාර්යයකට අඩු යමක් නොවිණි.

යාබද ගෙවතු අසලින් ඇසුණු කෑ ගැසීම් සනාථ කළේ මෙවැනිම තවත් මල්ගොමු අවට මිදුල්වලද පහළ වී ඇති බවයි. 22වැනි සියවසේ අග බිහි වූ නව විෂය ක්ෂේත්‍රයක් වන සෛද්ධාන්තික දාර්ශනික භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු වූ අර්නස්ට් තමන් ඉදිරියේ වූ ප්‍රාතිහාර්යය වඩා තාර්කික දාර්ශනික පසුබිමක ලා තේරුම් ගැනීමට උත්සහ කළේය. අවසානයේ මල්පෙති සහ රේණුවලින් ලියැවී තිබූ ආරාධනාව කියවීමේදී ඔහුගේ සැකය තහවුරු විය. ‘අපි ඒක කළා!!. 10:30ට එන්න’. එහි සඳහන් විය. 

ආරාධනාව ලැබුණු සියල්ලෝ ම පෙරවරු 10:30 වන විට ගම්මානය කෙලවර වූ පර්යේෂණාගාරය වෙත පැමිණ තිබිණි. අවුල් වූ හිසකේ සහ දීප්තිමත් බලාපොරොත්තු සහගත දෑසක් යුතුවූ තරුණ ලුකාස් සීග්ලර් සහ ඔහු ගේ සහායකයින් කිහිප දෙනා සියල්ලන් ගේ පැමිණීම අපේක්ෂාවෙන් එහි සිටියේය.

අර්නස්ට් පැමිණියේ ප්‍රමාදවී ය. ඔහු උවමනාවෙන් ම ප්‍රමාද වූ බව ලුකාස් විශ්වාස කළේය. කෙසේ වෙතත් අභ්‍යන්තරය කැළඹු වරදකාරී හැඟීමක් නිසා ලුකාස්ට  සිය පියා දෙස එක එල්ලේ බැලීමට තරම් ධෛර්යක් උපදවා ගැනීමට නොහැකි විය.

“අපි හිතනවා ලබා දුන් මල්ගොමුවලට ඔබ සියලුමදෙනා කැමැත්තෙන් ඇති කියල”. අවසානයේ ලුකාස් පැවසූ විට පිරිස අතර කසු කුසුවක් පැන නැගිණි. “ඔව් මම දන්නවා ඒක ප්‍රාතිහාර්යයක් හෝ මායාවක් වගේ දෙයක් කියල ඔබට හිතෙනවා ඇති. ඒත් අපි ඇත්තම කිව්වොත් එක අතකට මේ සියල්ලම මායාවන්”

“මොකක්ද ඔබ කියන්න හදන්නේ?  පසුගිය සියවසේ දී අභාවයට ගිය ආගම වගේ සංකල්පයක් නැවත හඳුන්වල දෙන්න හදනවා ද?” පිරිසෙහි යමෙක් උපහාසයෙන් මෙන් ඔහුගෙන් ඇසිය.

“නෑ  කොහෙත්ම නෑ, ඒත් අපි දෙවියන් වහන්සේ ගේ භාෂාව හරියටම හොයා ගත්ත” යි තරුණයා පවසන විට පිරිස අතරින් සිනහ හඬක් ඇසිණි. නිහඬව කල්පනා කළ මහාචාර්ය අර්නස්ට් ට සිය කොඳු ඇට පෙළ දිගේ විදුලියක් ගමන්කරන්නා වැනි හැඟීමක් දැනිණි. විය හැකි නරකම දෙය සිදුවී ඇත. දැඩි කැළඹීමකින් ඔහු ප්‍රර්ථනා කළේ මෙය සිහිනයක් පමණක් වේවා යන්නයි.

තරුණයා සිය දේශනය ඇරඹීය.

“පරිගණක යුගය පටන් ගත් දා ඉඳලම මිනිසුන් නිර්මාණය කරපු අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවලට, ඒ වගේම වෙබ් බ්‍රව්සර්වලට සහ පරිගණක ක්‍රීඩාවලට යොදා ගත්තා වරද නිවැ‍රැදි කිරීමේ කේතයන් (error correction codes). මේ කේතයන් මුලින් ම හොයාගන්නේ 1940ස් ගණන්වල. මේ කේතයන් නිසා තමයි පරිගණක සෙවුම් පද්ධති හෝ ක්‍රීඩා නිවැරදිව ක්‍රියා කරන්නේ, එහෙම නැති වුණා නම් අපිට අසීමාන්තික පරිගණක බලයක් අවශ්‍ය වෙනවා මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට. නමුත් මේ නිවැ‍රැදි කිරීමේ කේතයන් නිසා අද දක්වාම අපිට පුළුවන් වෙලා තියනවා සීමිත පරිගණක බලයක් යටතේ වුණත් අවශ්‍ය විදිහට නිවැ‍රැදිව වැඩසටහන් ක්‍රියා කරවීමට” 

මීළඟට තරුණයා ත්‍රිමාණ හැඩතල රටාවක් හොලෝග්‍රමයකින් අවකාශයෙහි දක්වාලීය. “මේ තියෙන්නේ උප පරමාණුක අංශුන් ගේ හැසිරීම ගණනය කර ත්‍රිමාණ ලෙස ප්‍රස්ථාරගත කළාම ලැබෙන රටාව. දැන් මම ඒක විශාල කරන්නම්”.

රටාව විශාලනය කරන විට එය සෑදී ඇත්තේ බිංදු සහ එකේ ඉලක්කම්වලින් බවත් සෑම රටවකම අවසානයේ x අක්ෂරයක් අඩංගු බවත් පෙනිණි. “මේක පරිගණක භාෂාවකට සමානයි. අපි 2010 පමණ වන විටත් දැනගෙන උන්න මේ උප පරමාණුක අංශුන් ගේ හැසිරීම හරියටම ගණනය කරන්න නම් මේවාටත් වරද නිවැ‍රැදි කිරීමේ කේතයක් යෙදිය යුතු වූ බව”. මේ x අක්ෂරයෙන් පෙන්නන්නේ මේ කේතය. මේ කේතය තුළ තමයි අහඹුව කියන සංසිද්ධිය රැඳිල තිබුණේ. නමුත් අපි මේක නිවැරදිවම ගණනය කළා. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ ගේ භාෂාව හොයා ගත්ත”. තරුණයා උද්යෝගයෙන් පැවසීය. තව දුරටත් අපිට දේවල් අනුමාන කළ යුතු නෑ. අපිට සියල්ල පාලනය කළ හැකියි.

“එතකොට අර මල් ගොමු හැදුවේ කොහොමද?” නැවතත් දේශනය අසා සිටි යමෙක් ප්‍රශ්න කළේය”.

බැරෑරුම් බවක් ආරුඪ කරගත් තරුණයා සිය පැහැදිලි කිරීම ඇරඹීය. “මම හිතන්නේ මේක අහල කලබල විය යුතු නෑ. මොකද මොනවා වුණත් අපිට වෙනවා සත්‍යය පිළිගන්න. අනික මේ මොහොතේ ඉඳල අපි විශ්වයේ නියමුවන් වෙනවා. අපේ දැනුම, සහ ශිෂ්ටාචාරය වෙනස් වෙනවා”. සියල්ලෝ කුතුහලයෙන් පුරවමින් තරුණයා පැවසීය.

“නමුත් මේ වෙනස මොන විදිහක බලපෑමක් සාමාන්‍ය මහජනයාට කරයි ද කියල තේරුම් ගන්න තියන හොඳම විදිහ තමයි මුලින් ම මේ වගේ කුඩා ජනගහනයකට මේක පෙන්නලා දෙන එක”. ලුකාස් තව දුරටත් පැහැදිලි කළේය.

“අපි මේ නව ගණනය කිරීම් යොදාගෙන අපේ ක්වන්ටම් ගුරුත්ව පරිගණක පද්ධතියට නව මෙහෙයුම් වැඩසටහනක් නිර්මාණය කළා. එකෙන් අපි නිර්මාණය කරපු පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කරපුවහම ඒ දේවල් ඇත්තටම ඇත්ත අවකාශයේ ම ක්‍රියාත්මක වුණා.

තරුණයා ගේ මතය තහවුරු කිරීමට සඳහා ඔහුගේ සහයකයන් විසින් කුඩා ආලෝක ලපයක් වැනි යමක් අවකාශයේ මවා පෙන්වීය.

“ඒ කියන්නේ ඔයාල ගේ පරිගණක වැඩසටහනට පුළුවන් ද විශ්වයේ කාල අවකාශ වියමන සංස්කරණය කරන්න?” කිහිප දෙනෙක් එකවර ඇසීය.

“ඔව්”, සමාව ඉල්වන ස්වරයකින් තරුණයා උත්තර දුනි.

“ඒකෙ තේරුම?” සියල්ලන්ටම එහි තේරුම පැහැදිලි වුවත් දරාගත නොහැකි කම්පනය ඉදිරියේ ඔවුන් ප්‍රර්ථනා කළේ වෙනස් උත්තරයක් ලැබේවා යන්නයි.

” ඒකෙ තේරුම නම් අපි ජිවත් වෙන මේ විශ්වයත් ස්වභාවික නොවන කෘත්‍රිම නිර්මාණයක් බව. ඒක නිසා තමයි උප පරමාණුක අංශුන් ගේ චලිතය සඳහාත් වරද නිවැ‍රැදි කිරීමේ කේතයන් අවශ්‍ය වුණේ. මේ සියල්ල දැවැන්ත හොලොග්‍රම් මායාවක්. ඒ කියන්නේ අපි ජිවත් වෙන මේ විශ්වය තවත් එක පරිගණනක වැඩසටහනක් විතරයි!!.

කුඩා පිරිසේ සියල්ලෝ අතිශයින් කැළඹීමට  සිටි අතර තරුණ ලුකාස් සියල්ලන් සංසුන් කිරීමට උත්සාහ දැරීය.

“මම දන්නවා මගේ පියා, අර්නස්ට් ලුකාස් මගේ දිගින් දිගටම ඉල්ලුවේ මේ පර්යේෂණය නවත්වන්න කියල. ඒත් අපි සත්‍ය දැනගත යුතුයි”.

“අදින් පස්සේ අපිට පුළුවන් වෙනවා දෙවියන් හා සම වීමට. සොබාදහමේ සියලුම නීති අපිට වෙනස් කරන්න පුළුවන් වෙනවා. කොටින් ම අපි විශ්වයේ අමරණීය ජීවීන් වෙනවා”. එහෙත් පිරිස සන්සුන් නොවන බව ලුකාස් ට වැටහිණි. අවසානයේ ලුකාස් හමුවට පැමිණි අර්නස්ට් බලාපොරොත්තු කඩවුණු ස්වරයකින් සිය හඬ අවදි කළේය.

“ශ්‍රේෂ්ට කලා කෘතියක් වෙන මොනාලිසා චිත්‍රයට 100% සමාන අනුරුවක් නිර්මාණය කරන්න අපිට පුළුවන්.  ඒත් ඒක මුල් කෘතිය තරම් වටිනවද?”

“කොහෙත්ම නෑ.” ලුකාස් උත්තර දුන්නේ ය.

“මේ පර්යේෂණය නිසා අපි ඔක්කොම සැබෑ මිනිසුන් නොවන හොලොග්‍රෑම් පිටපත් බවට පත් වුණා. ඒක මිනිහකුට මරණයට වඩා බියකරු අත්දැකීමක්”. අර්නස්ට් කෝපයෙන් පැවසිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment