බාධක ජයගන්න දරුවන්ට දිරිය දෙන ‘අපූරු වූ අබලන්’

කාලයෙන් කාලයට විවිධාකාර ළමා සාහිත්‍යයමය වටිනාකමක් ඇති ග්‍රන්ථ ස්වතන්ත්‍ර හෝ පරිවර්තන ලෙස ළමුන් අතරට පිවිසුනද, ඉන් කිහිපයක් පමණක් ළමා ලෝකය තුළ සදාකාලිකව වැජඹේ. ළමුන් ආශාකරන මායාකාරී අමුතු සිදුවීම්වලට මුහුණදෙන තමා වැනිම කුඩා වීර චරිත තිබීම ඊට එක් හේතුවකි. පිනෝකියෝ නම් චරිතය ද එලෙස ලොව පුරා ළමුන් වැළඳගත් චරිතයකි. බොරු කියන විට පිනෝකියෝගේ නාසය දික්වීම, ළමුන් තුළ ආකල්පමය වෙනසකට මග සලසයි. මී පැටියකු තම සපත්තුව තුළ නිදාගෙන සිටිනු දකින ළමයෙක් සපත්තු රහිතව පාසල් ගොස් විදුහලේ ගුරුවරුන්ගේ දෝෂාරෝපණයට හසුවන අයුරු කියැවෙන සිබිල් නැන්දාගේ සපත්තුව ළමා කතාවද සතුන්ට කරුණාව දැක්වීමේ යහපත් ආකල්පය ළමුන් වෙත කාන්දු කරන අතර, පසුව ඒ දරුවාගේ සහකම්පනීය ගතිගුණ හේතුවෙන් සියලුම දෙනාගේ ප්‍රශංසාවට ලක්වන අයුරු දක්වා ඇති සපත්තුව හා අපූරු වූ අබලන් ළමා කතන්දර එකිනෙක ගැලපීමෙන් බොහෝ සමානකම් හා වෙනස්කම් සොයාගත හැකිය.

තාමරසී මහවත්තගේ අනුවර්තනය කළ අපූරු වූ අබලන් ග්‍රන්ථයේ ප්‍රධාන චරිතය කකුලක් ඇද වූ පුටුවකි. පෙර පාසල තුලදී එම අජීවී පුටුවේ හැසිරීම් රටාවත්, ඌනතාවයක් සහිත තම මිතුරට අනිත් පුටු සළකන අයුරුත් එකිනෙක පෙළගැසීමෙන් ගොතන ලද කතාන්දරය ළමා සිත්තුළ සහකම්පනය ඇති කරවීමට හේතු වෙයි.

ළමා සිත් මටසිළිටුය, මෙලෙක්‍ ය, බොහෝ දේවල් ධාරණය කර ගැනීමට අපහසු ය. එබැවින් ළමුන් වෙත ලඟාවිය යුත්තේ ඔවුන් කැමති ආකාරයෙනි. යම් ඌනතාවක් සහිත ළමයෙකු පාසලේදී, පන්ති කාමරය තුලදී විවිධ අපහසුතාවලට ලක්වූවත්, ජයග්‍රහණය වන්නේ නොසැලී ඉදිරියට යෑමෙන් පුනර්ජීවය ලබා ප්‍රතික්ෂේප කල අය අතරට යෑම බව අපූරු වූ අබලන් දරුවාට කියා දෙයි.

පෙර පාසල් අවධියේ පසුවන ළමුන් නිතරම තමා අවට තිබෙන දේවල් ඇසුරුකොට චිත්තරූප මවාගනී. තමා මවාගත් ලෝකය තුළ වීරයෙකු ලෙස තම සිත්ගත් චරිතය හදුන්වයි. එලෙසින් ‘අබලන්’ චරිතයෙන් ළමුන්ට ආදර්ශමත් වීරයෙකු ඉස්මතු වේ.

අපූරු වූ අබලන් හි ප්‍රධාන චරිතය වන අබලන් නැමැති පුටුව විවිධ බාධක ජයගෙන අවසානයේදී තම කකුලේ ඇදය සාදාගනිමින් ළමුන් අතරට පැමිණෙයි. කලින් පන්තියේ මුල්ලකට විසිකර තිබුණේ එම පුටුවමදැයි ළමයා තුළ පුදුමයක් ඇතිවීම කතාවේ විශේෂ සිද්ධියකි. එය ළමුන් තුළ ආත්මවිශ්වාසය ඇතිකරයි.

අනෙක් පුංචි පුටුවලට ‘සුදු’, ‘රතු’, ‘රෝස’ වගේ ලස්සන නම් තිබුණද, අපේ මේ යාළුවට කවුරුත් කිව්වේ ‘අබලන්’ කියල.

ළමා මනසට පුටුව පිළිබඳව අනුකම්පාවක් ඇතිවීම නොවැළැක්විය හැකිය. පුටුවට නමක් දීමෙන්ම එය ජීවමාන වස්තුවක් බවට පත්කර ඇත. කුඩා කල සිටම තම යහළුවන් සමග එකතුව සෙල්ලම් කරන ළමුන් පාසලේ වටපිටාව දෙස බලා බොහෝ දේවල් ඉගෙනගනියි. පණ තිබෙන මෙන්ම පණ නැති දේවල් කෙරෙහි ද තම අවධානය යොමු කරයි. අජීව වස්තුවලට පවා නම් දීමට ළමුන් කැමතිය. ජීවී-අජීවී, සතුන්, මිනිසුන් කියා ළමයාට භේදයක් නැති තරම් ය. හඳමාමා, බලුරාළ ආදී වශයෙන් ඇමතීමට ඔවුන් කැමැතිය.

යම්කිසි දෙයක නමින් එහි ස්වභාවය හැඟෙන පරිද්දෙන්, ‘අබලන්’ යනුවෙන් එම චරිතයට ඔබින නමක් පටබැඳි කතුවරිය, අබලන්ගේ කකුලක් ඇද වූ නිසා එම නම ලැබුණු බව පවසමින් ළමා මනසට සුදුසු වචන යොදාගෙන ළමයා සමග සුහද වෙයි.

යහළුවෝ අබලන්ව ප්‍රතික්ෂේප කලේ කකුලක් ඇද නිසාය.

ඒ මොකද, එයාගේ කකුල් හතරෙන් එක කකුලක් අනෙක්වාට වඩා ටිකක් කොටයි.

ඇය යොදාගන්නේ ළමුන්ට තේරුම් ගත හැකි සරල බසකි. පුටුවේ අබලන්බව හැඟෙන්නට එක් හේතුවක් ලෙස ඉන් ඇසෙන ශබ්දය ගැන කතුවරිය කතා කරයි.

පුංචි ගෑණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි මේ පුටුවේ වාඩිවුණ හැටියේ පුටුව පැත්තකට ඇදවෙලා ගිහින් ‘ටකස්’ කියලා සද්දයක් එනවා.

පෙර පාසලක් තුලදී ළමුන් හැසිරෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කර නොමැති නම් මෙවන් නිර්මාණයක් කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව නොහනුමානය. ළමයා තුලට ගොස් එහි රූපක මවා එහි ජීවත්වන චරිතයක් ලෙස අබලන්ගේ චරිතය නිර්මාණය කර එයට පණ පොවා ජීවය ලබාදීම තුළින් අපූරු වූ අබලන් ග්‍රන්ථය ළමා සාහිත්‍යයට මිලකල නොහැකි වටිනාකමක් ඇති කරයි.

ආබාධ සහිත ළමයෙකුට පාසල මෙන්ම පන්ති කාමරයද එපා වන තරමට පන්තියේ ළමුන්, අහළ පහළ උදවිය උසුළු-විසුළු කිරීම හුවාදක්වමින්, අබලන්ටද එසේ පෙර පාසල තුලදී මුහුණදීමට සිදුවන අකරතැබ්බ ඉතා අනුවේදනීය ලෙස ළමා මනසට දැක්වීමට කතුවරිය සමත් වේ.

අබලන්ගේ කකුල්වලින් ‘ටකස් ටකස්’ සද්දේ එනකොට වටේ හිටපු අනිත් පුංචි පුටු එක එක්කෙනා දිහා බලලා ‘හිකි හිකි’ ගාලා හිනාවෙන්න පටන්ගන්න එකත්, පෙර පාසලේ කුඩා ළමුන් නැති වෙලාවට මේගොල්ලෝ අබලන්ගේ නම කියල විහිළුකිරීමත් පුරුද්දක් කරගත්තා.

කකුලේ ඇදය නිසාම අබලන්ට පෙර පාසලේ නිසි ස්ථානයක් හිමිනොවුනු බව කතුවරිය කතාවේ පුනපුනා පෙන්වා ඇත. අබලන්ගේ තත්වය එන්න එන්නම නරක අතට හැරුණු බව පද පේළි දෙකකින් රසවත් ලෙස දක්වා ඇත.

බකල් කරත්තේ දූවිලි නාලා
අබලන් හොඳටම මළකඩ කාලා

යම් දෙයක් පාවිච්චි නොකර පැත්තක තැබූවිට මළකඩ කන්නාක් මෙන් අබලන්ද කිසි ප්‍රයෝජනයක් නොමැතිව සිටීම මින් කියවේ. එහෙත්, කෙසේ හෝ දිරියෙන් ඉදිරියට එන අබලන් ළමුන් තුළ වීරයකු වෙයි. නොයෙකුත් බාධක හමුවේ නොසැලී සිටින අබලන් අවසානයේ ජයගනියි.

පෙර පාසල වනාහි ළමයාගේ සිතට වැටෙන බීජය පැළවී එය මහා රුකක් ලෙස වර්ධනය වන ගමනෙහි ඇරඹුමයි එහිදී ළමා මනසට වැටෙන ධනාත්මක කරුණු පෙරදැරිකරගෙන දරුවාගේ මනස වර්ධනය වේ, ඍණාත්මක ආකල්ප පෙරදැරි කරගෙන ළමා මනසට යම් දෙයක් ඇතුල්වුවහොත් එයද ළමයා වැඩිහිටියෙකු දක්වා වැඩීමේදී මනසේ පතිතවේ. ළමා මනසට ගැළැපෙන පරිදි කතාන්දර කියාදීමද ඉන් එකකි.

එපා ඔන්න නපුරු වෙන්න
අනිත් අයට හිනාවෙන්න

අපොයි අබලන්ගේ සද්දේ පරණ කරත්තයක් වලක වැටෙනවා වගෙයි හරියට, අනිත් පුටු දෙක දෙකට නැවී හිනාවුණා.

යමෙකු කරදරයකට පත් වූ විට සිනාසීම නරක පුරුද්දක් බවද මෙමඟින් අදහස් කරයි.

පාසැලේ සැන්දෑකාලය ගෙවුනේ
සිනාසීමෙන් හා ප්‍ර්‍රීතීඝෝෂාවෙන්.

සියලුම පුටු ඉතා සතුටින් තරගවලට ඉදිරිපත්වුණද, අබලන්ගේ කකුලේ ඇදය එයට හරස් වෙයි. මෙලෙස තරග පවත්වද්දී අබලන්ගේ ජීවිතය වෙනස් කල සිදුවීමට අබලන්ට මුහුණදීමට සිදුවේ. එනම් යහළුවන් සමග තරගකිරීමෙන් අබලන්ගේ කකුලක් ගැලවී යෑමයි. එහෙත් අබලන් තම උත්සාහය අත්නොහැර තරගයට සහභාගි වී පැරදුම සතුටින් භාරගත් විලාශය පද දෙකකින් අපූරුවට පවසා තිබෙන අයුරු ඉතා අලංකාරය.

පැරදුනාම මක් වෙනවද
ඉන් පාඩම් ඉගෙනගන්න

ජීවිතයේ ලබන පැරදුමෙන් වුවද පාඩමක් ඉගෙනගැනීමට හැකි බව දරුවාට මින් කියාදී තිබේ.

ඉන්පසුව අබලන්ට මුහුණදීමට සිදුවූ නීරස සිද්ධීන් මුල්කොට අවසානයේදී ගබඩා කාමරයක කොටුවූ අවස්ථාවේ වඩුබාසුන්නැහේ අබලන් නෙත ගැටීම අබලන්ගේ ජීව්තය සහමුලින්ම වෙනස්කල අවස්තාවක් ලෙස හැදින්විය හැකිය.

කකුල් ඇදවී අබලන් පුටුවක් වූ අබලන්ව වඩු බාසුන්නැහේ පැද්දෙන පුටුවක් බවට නිර්මාණය කිරිමේදී ළමුන්ට හඩ නගමින් කියවීමට හැකිවන පරිදි බස හසුරුවා තිබීම අපූරුය.

“සරස් බරස්”
“ට් ර් ර් ර්, ට් ර් ර් ර්”
“ඩග් ඩග්”
“ටොක ටොක ටොක”
“සිලිං බිලිං”
“සිරිස් බිරිස්”
“ක්ලින්ක් ක්ලින්ක්”
” ටොං ටොං ටොං”
“රූං රූං රූං”
“සුෂීස් සුෂීස්” යන ශබ්දනැගීමට ළමුන් කැමතිය. ඔවුහු ඉන් නොමඳ ආස්වාදයක් ලබයි.

අවසානයේදී, උත්සාහවන්තයා ජයගනී යන්න සනාථ කරමින් කටුක බාධක ජයගෙන තම නොපසුබට උත්සාහයෙන් යලිත් පෙර පාසල් ළමුන් අතරට පැමිණීමෙන් අබලන් ළමා මනසෙහි වීරයෙකු වෙයි.

පිටු බෙදීමේදී ළමයාගේ අර්ථ විග්‍රහයට දුෂ්කර නොවන සේ සරලව ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්ය. මෙවන් ළමා ග්‍රන්ථ ළමා පරපුරට දායාද කිරිමෙන් කතුවරිය වැදගත් කර්තව්‍යයක් සිදුකර ඇතිබව ද කිව යුතුය. මතුවටත් අපුරු වූ අබලන් වැනි සාර්ථක අනුවර්තන බිහිකිරීමට මෙය අඩිතාලමක් වනු නිසැකය.

තාමරසී, මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ අංශාධිපතිනියක, ඉංග්‍රීසි කථිකාචාර්යවරියක,ගුරුවරියක, භාෂා පරිවර්තිකාවක, සමකතුවරියක යන විවිධ අත්දැකීම්වලින් ලද දැනුම් සම්භාරය ප්‍රයෝජනයට ගෙන, 2023 රාජ්‍ය ළමා ඉංග්‍රීසි සාහිත්‍ය සම්මානය දිනු “Rickety Rocks” කෘතිය අපූරු වූ අබලන් නමින් සිංහලට අනුවර්තනය කර තිබෙන බව පැහැදිළිය. එහිදී අප්‍රාණික පුටුවකට ජීවය දෙමින් කතාවක් නිර්මාණය කර, පෙර පාසලේදී ළමයා දකින දේ මූලික කරගනිමින් ළමා මනසට සිතීමට බොහෝ දේවල් ඉතිරි කරමින්, විවිධ බාධකයන් හමුවේ නොසැලී තම උත්සාහය අත්නොහැර ඉදිරියට යෑමට දරුවකුට අඩිතාලමක් දමයි. අපුරුවූ අබලන් ග්‍රන්ථයෙහි කතාවට ගැළපෙන ශෙනාලිද සිල්වාගේ චිත්‍රවලින් ද කතාවේ අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස කීමට පිටුලබයක් ලැබේ.

ළමා සාහිත්‍යය යනුවෙන් හැඳින්විය හැකි ග්‍රන්ථ ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බැවින්, එම හිදැස පිරවීමට මෙවන් නිර්මාණ තව තවත් බිහිවිය යුතුය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment