මෙය ඔබේ දිවි ගලවන කතාවක්


මුළා මංසල නවකතාවේ රූපකත්වය ඇසුරින් සමාජ, දේශපාලනය කියවා ගැනීම

දීපා අනප්පරා, ඇය උපන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. එහෙත් 2020ට පෙර එනමින් වන නවකතාකාරියක ඉන්දියාවවත් කේරළ ප්‍රාන්තයවත් දැන සිටියේ නැත. එනමුත් දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලියූ කියූ ජනමාධ්‍යවේදනියක ලෙස පුරා වසර එකොළහක් ඇය කටයුතු කරමින් සිටියාය. කේරළය පුරා පැතිර පවතින දුගී බවත් ආගමික ප්‍රචණ්ඩත්වයත් මේ චූල ජානපදිකයන්ගේ ජීවිත වෙලාගෙන ඇති ආකාරය එහි දී ඇය දුටුවාය. විශේෂයෙන් දරුවන්ගේ ජීවිතවලට ඉන් සිදුවන බල පෑම සිය ජනමාධ්‍ය භාවිතාව තුළ ඇය සුවිශේෂී අවධානයට ලක් කළ විෂය ක්ෂේත්‍රය බවට පත් කරගෙන තිබිණ.

2020 දී ඇගේ අතින් Djinn Patrol on the Purple Line නම් සිය පළමු නවකතාව උපදිනුයේ මේ අත්දැකීම් ඇසුරේය. දීපා අනප්පරා නම් පත්තරකාරිය මතුනොවී නවකතාකාරියක ලෙස යළි ඉපදීම මෙහිදී දීපා මුහුණ දෙන පළමු අභියෝගයයි. දීපා සම්මානයට පාත්‍ර වූ හොඳ ජනමාධ්‍යවේදිනියකි. එවැන්නියක සතුව හොඳ තොරතුරු සංචිතයක් පවතී. එවන් තොරතුරු සංචිතයක් පවතින අයකු තමන් වැඩ කළ වැඩබිම ඇසුරේ ප්‍රබන්ධයක් ගොඩ නැංවීමේදී එම ක්ෂේත්‍ර දෙකේ වෙනස සහ එහි සීමා මායිම් වටහාගත යුතුය. දීපා එය හොඳින් අවබෝධ කරගෙන තිබේ.
එහෙත් අපේ රටේ දී නවකතාවක් වෙනුවෙන්ම තොරතුරු එක්රැස් කරන්නෝ ද බහුතරයක් මෙම කරුණ වටහා නොගනිති. මේ නිසාම මෑත කාලයේ ජනප්‍රියත්වයට පත් වූ ඇතැම් නම් දැරූ ලේඛකයන්ගේ හොඳ නවකතාවන් බවට පත්වීමේ විභවයන් සහිත නිර්මාණ පවා ඒවායේ පුබන්ධාත්මක ගුණයෙන් හීන වී තිබිණ. ඒ, නවකතාවේ රුව ගුණ පරයා තොරතුරුවලින් ඒවා පිරී යාම නිසාය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ගවේෂණයේදී තමන් සොයාගත් තොරතුරුවලින් පුරවා ප්‍රබන්ධයේ අරුමැසි බව ආසානාසි කර ගනිති.

දීපා අනප්පරාද වසර එකොළහක් තිස්සේ ළමයින් ඇසුරේ වැඩ කළ, තොරතුරු කප්පරක් සහිත පත්තරකාරියකි. එහෙත් සිය නවකතාව ලිවීමේදී ඇය තමා තුළ සිටිනා පත්තරකාරිය සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබිණ. එනිසාම ඇයට තම පළමු නවකතාවෙන්ම හොඳ නවකතාකාරියක විය හැකි වුණි. බොහෝ දෙනෙකු වරද්දා ගන්නා ලක්ෂ්‍යය ඇය සීරුවෙන් පියමැන්නාය. ඒ අතින් ගත්විට ජින් පැට්රෝල් ලංකාවේ ප්‍රබන්ධකරුවන්ට ද ආදර්ශ කෘතියක් බඳුය.

නවකතාවක් යනු තොරතුරු කෝෂ්ඨාගාරයක් නොව යථාර්ථය සහ පරිකල්පනය අතර පවතින්නකි. ජින් පැට්රෝල් කියවද්දී දීපා එය සිය විෂයද්වය මනා අවබෝධ⁣යෙන් වටහාගෙන ලියූවක් බව අපට වැටහෙයි. මුළා මංසල ලිවීමට දීපා පාදක කර ගන්නේ සිය වෘත්තීය ජීවිතයේදී ලද අත්දැකීම් වුව ද ප්‍රබන්ධකරණයේදී ඇය සිය වෘත්තිය දුරස්ථකරණයක රඳවයි.

ඇය තම නවකතාව නාමකරණය කරනුයේ ජින් පැට්රෝල් ලෙසිනි. සරල පදගත අරුතෙන් අප එය සිංහලට නගන්නේ නම් භූත සංචාර හෝ කුම්භාණ්ඩ සංචාර ලෙස ගත හැකිය. එහෙත් එම සරලත්වයෙන් ඔබ්බේ වන දේශපාලනමය සහ සමාජමය ගැඹුරක් මෙම නවකතාව තුළ අන්තර්ගත බැවින් හුදු මතුපිටට යටින් දිවෙන කතාව අල්ලා ගැනීමට නම් මෙම නමේ පවතින රූපකමය ගුණයද, තියුණු දේශපාලනමය සහ සමාජමය උපහාසය ද පාඨකයන් අවබෝධ කරගත යුතුය. ඒ සඳහා මුලින්ම අප කළ යුත්තේ දීපා මෙම ප්‍රබන්ධය පිහිටුවන ප්‍රබන්ධමය වපසරිය වෙනත් ලෙසකින් පවසන්නේ නම් මේ කතාවේ සිද්ධි දාමය දිගහැරෙන පරිසරය වටහා ගැනීමය.

එම පරිසරය විෂ වායු සහිත අළු පැහැති දුමාරයක් පැතිර පවතිනා නාගරික මුඩුක්කුවකි. දීපා ඇගේ කතාව ස්ථානගත කරන්නේ මෙම පරිසරයේය. වෙනත් විදියකින් පවසන්නේ නම් ඇගේ මෙම ‘භූත සංචාරය’ට පාදක වන්නේ මෙම නාගරික මුඩුක්කු පරිසරයයි. ජනමාධ්‍යවේදී රැකියාවෙන් ලද අත්දැකීම දීපාට එම මුඩුක්කු පරිසරය ප්‍රතිනිර්මාණය කරන්නට ඉවහල් වුවද ඇය මෙහිදී සිය රැකියාව අතේ දුරින් තබා ගන්නට පරිස්සම් වෙයි.

කතුවරිය මුළා මංසල පළමු පරිච්ඡේදයේදී වීදි දරුවන් අතර මැන්ටල් නමින් ප්‍රකටව සිටි මිනිසකු පිළිබඳ අතීත කතාවක් ගෙනහැර දක්වයි. ඒ කතාවට අනුව, කලකට ඉහත ගෙදරින් පැනවිත් වීදි දරුවෙකු වූ මැන්ටල් වීදියේ වැඩුණු මිනිසෙකුව පසුව ඔහු වැනිම වීදියේ දරුවන් පිරිසකගේ රැකවලා වෙයි. මේ ගැලවුම්කරුවා එසේත් නැතිනම් රැකවලා නොදන්නා හේතුවකින් මියගිය පසු අසරණ වන දරුවන්ට ඔහු භූතයකු ලෙස විත් උපකාර කළ බවට ඒ ළමුන් තුළ විශ්වාසයක් පවතින බව පවසයි. මට අනුව, ප්‍රබන්ධයක් ලෙස ජින් පැට්රෝල් දුවවන ඉන්ධනය දීපා සපයා ගන්නේ මෙහිදීය. එම ඉන්ධනයෙන් ඇවිළීගත් කතාව අපට කියන්නට දීපා තෝරා ගන්නේ ද නාගරික මුඩුක්කු පරිසරයේම දරුවෙකි. එය දීපාගේ දැනුවත් තේරීමකි. ඒ මන්ද යත් වැඩිහිටි ව්‍යාජ සමාජයක් වඩාත් අව්‍යාජව විනිවිදිය හැක්කේ සාපේක්ෂ වශයෙන් හෝ අව්‍යාජ දරුවෙකුගේ මනසින් නිසාය. එනයින් දීපා ජින් පැට්රෝල් ගැන අපට කීමට තෝරා ගන්නේ ඉන්දීය රූපවාහිනියේ විකාශය වෙන පොලිස් පැට්රෝල් නම් රහස් පරීක්ෂක මාලා නාටකයට වශී වී සිටින, එම කතාවේ රහස් පරීක්ෂකයා මෙන් මනසින් අපරාධකරුවන් ලුහුබැඳ යන ජායි නම් නවහැවිරිදි දරුවාවය. රූපවාහිනියේ විකාශය වන මාලා නාටකයට අනුව සත්‍ය අපරාධ හඹා යමින් ඒවායේ අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන එන්නේ බක්ෂි නම් එහි සිටින රහස් පරීක්ෂකයාය. ළමුන්ට හැම විටම වීරයකු අවශ්‍යය. ළමයා හැම විටෙකම නපුරට එරෙහිව මෙහෙයවන්නේ ඔහුගේ ෆැන්ටසි ලෝකයේ සිටින මෙම වීරයන්ය. ජින් පැට්රෝල් කතාවට පාදක වන්නේ මේ මුඩුක්කු පරිසරයේ ළමුන් අතුරුදන් වීමේ සිදුවීම් මාලාවකි. එබැවින් මේ අභිරහස හෙළිකර ගැනීමේ කතාව පාඨක අපට පැවසීමට සුදුසුම කථකයා බවට ජායි පත්කර ගැනීම දීපාගේ දැනුවත් තේරීමක් බව මා කීවේ එහෙයිනි.

දුක් පීඩාවන් යනු චූල ජානපදිකයන්ගේ උපත් උරුමයන්ය. නාගරික චූල ජනාවාසයක වෙසෙනා ජින් ද මේ පොදු උරුමයේ කොටස්කරුවෙකි. තාත්තා කුලීකරුවෙකු ලෙසත් අම්මා සල්ලිකාර ලොකු නෝනා කෙනෙකුගේ ගෙදර ආයම්මා කෙනෙකු ලෙසත් වෙහෙසෙන්නේ මේ දරුවන්ට උගන්වා මේ නරකාදියෙන් ඔවුන් කෙසේ හෝ පිටමං කරනු පිණිසය. ජායිගේ එකොළොස් වියැති අක්කා රූණු සිතනුයේ දිවීමට සමත් තමාගේ දෙපයේ සවියෙන් ජීවිතයේ මැරතන් එක දිනා අම්මාත්, තාත්තාත් මල්ලීත් රැගෙන මේ නරකාදියෙන් පිටවීමය. පුංචි ජායිට ඒවා අදාළ නැත. ඔහු දවසරින්නේ පාසල් අවසන්ව පැමිණ පොලිස් පැට්රෝල් නරඹමින් එහි සිටින රහස් පරීක්ෂක බක්ෂි මෙන් කවදා හෝ රහස් පරීක්ෂකයෙකුව අපරාධකරුවන් හබා යාමේ ෆැන්ටසියකය.

දීපා සිය නවකතාවේ ඇරඹුමේ සිට පරිසමාප්තිය දක්වාම පාඨකයා රැගෙන යන්නේ ජායි නැමති මෙම කතාවේ කතානායකයා වන නවහැවිරිදි දරුවාගේ සිතිවිලි විශ්වය හරහාය. මේ චූල ජනාවාසයේදී ළමයින්ට කිසිදු දෙවියෙකු හෝ බඹෙකුගෙ පිහිටක් නැති බව දීපා අපට පවසන්නේ භූතයන් කරළියට කැඳවමිනි. ජන විශ්වාසයන්ට අනුව භුතයන් සිටිනුයේ දෙවියා සහ යක්ෂයාගේ අතරමැදි තැනකය. ඔහුට දෙවියාට හෝ යක්ෂයාට තරම් බලයක් නැත. මේ යක්ෂ – දේව ලෝකයේ ඌ කුඩා කප්පන්කාරයකු පමණි. මේ චූල ජානපදිකයන්ට දෙවියන්ගෙන් කොහෙත්ම පිහිටක් නැත. යක්ෂයන්ගෙන් ඇත්තේද පීඩාවන්ම පමණි. සවිමත් සහ බුද්ධිමත් මිනිසුන්ටද යක්ෂයන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. දෙවියන්ගෙන් සහ යක්ෂයන්ගෙන් වැඩගත හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණි. අඩුක්කු පුදන්නේ නැතිවම උන් ධනවතුන් සහ බලවතුන් හමුවේ දණින් වැටෙති. එවන් සන්දර්භයකදී මෙවන් අසරණ චූලජානපදිකයන්ට පිහිටක් හෝ සරණක් පැතිය හැක්කේ මෙවන් කුඩා කප්පන්කාර පිසාචයන්, කුම්භාණ්ඩයන් වෙනත් වචනයකින් කියන්නේ නම් මේ භුතයන්ගෙන් පමණි. රාක්ෂයන් වැනි ඇතැම් දුෂ්ට මිනිසුන්ගේ අනෝරා අතවරයන්ට මුහුණදෙන, දේශපාලන සහ ආගමික දැලක පැටලී සිටින, චූල ජානපදිකයන්ගේ ජීවිත විනිවිද දකිමින් දීපා කියන මේ කතාවට ඇය එක්කර ගන්නා මෙම භූතයන් කදිම බහුඅර්ථ රූපක⁣යකි. මුළා මංසල කියවද්දී එය ඔබට හොඳින් වැටහෙනු ඇ.තැයි සිතමි.

දීපා ඇගේ නවකතාවෙ පළමු පරිච්ඡේදය නම් කරන්නේ ‘මේ ඔබේ ජීවිත ගලවන්න පුළුවන් කතාවක්’ යනුවෙනි. ඊට පසුවත් කීප තැනකම ඇය එය කියනවා. දීපා පාඨකයන්ව තම ප්‍රබන්ධයට හසුකර ගන්නා පළමු ඇටවුම කතාව ඇරඹුමේම අතහරින මේ වාක්‍ය කණ්ඩය කියලයි මට හිතෙන්නෙ. මේ ඇටවුම තුළ ඇය පාඨකයන්ට ඉඟියක් දෙනව මේ පරිසරය දිවි තොර වෙන්නත් පුළුවන් එකක් කියලා. ඒ දෙගිඩියාවත් එක්ක ප්‍රබන්ධය ඇතුළට පිවිසෙද්දි තමයි අතීතයේ වීදි දරුවෙක්ව සිට පසුව වීදි දරුවන්ගෙ රැකවළෙක්ව ඉඳල මියගියපු මෙන්ටල්ගෙ කතාව අපට හමුවෙන්නෙ.

ප්‍රබන්ධයක් තුළ රූපකයක් එළන විධිය.

නවකතාවක් හොඳින් කියවන පාඨකයො දන්නව හොඳ නවකතාකරුවෙක්ට හරි නවකතාකාරියකට හරි හොඳ රූපකයකින් මොන තරමි වැඩ ගන්න පුළුවන්ද කියලා. ඒකට කතාව තුළ කතාකරුව හෝ කාරිය තම රූපකය එළන විදිය හරිම වැදගත්. කතාවක් තුළ වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් රූපකයක් වෙන්නෙම ඒ එළන විදිය අනුව කියලයි මට හිතෙන්නෙ.

මෙහි මම කැමතිම වැදගත්ම දේ තමයි දීප කොයිම වෙලාවකවත් තමන්ගෙ කතාව ඇතුළෙ ඉන්න භූතයන්ට පණ පිහිටුවල සක්‍රිය චරිත බවට පත් නොකිරීම. ඇය හැම වෙලාවෙම මේ භූතයන්ව තියන්නෙ ළමයින්ගෙ විශ්වාසය ඇතුළෙ. ඔබ දන්නව මිනිසුන්ගෙ විශ්වාස ඇතුළෙත් භූතය කියන්නෙ දෘශ්‍යමානයක් නෙමෙයි අදෘශ්‍යමානයක්. මේ කතාව තුළත් දීපා ඒ අදෘශ්‍යමානය එලෙසම තියන්න කටයුතු කරනවා. කතාව ඇතුළෙ දි නගරයේ කුණු කසළ එකතු කරන ළමයි පිරිසකගෙ බොස් විදියට අපිට හමුවෙන මැන්ටල් නොදන්නා හේතුවකින් මැරෙනව.

ඔහු ජීවත්ව සිටි කාලයේ ඔහුගෙ ඇල්ම බැල්ම ලද දරුවන්ට භූතයෙක්ව උදව් කරන බව ඔහුගෙ ගෝලයන්ව සිටි දරුවන් විශ්වාස කරනව. ළමයින්ගෙ ඒ විශ්වාසය තමයි කතාව තුළ අපිට හමුවන පළමු භූත රූපකය. කතුවරිය ඒ විදියට රූපකයට රූපයක් නොදී විශ්වාසයක් තුළ එය රැඳවීම නිසා තමයි ඇයට පුළුවන් වෙන්නෙ එයට බහුඅර්ථකාරක ගුණයක් දෙන්න. දීපගෙ කතාවට පදනම් වන
මේ චූල ජනාවාසයේ දරුවො අතර විතරක් නෙමෙයි ඇතැම් වැඩිහිටියන් අතර පවා මේ භූතයන්ගෙ කතාව ප්‍රචලිත එකක්. ඒ භූත විශ්වාසය කෙතරමි ප්‍රබලයිද කිව්වොත් භූතයන්ට මිනිස්සු බාර හාර සිදු කරන තැනක් පවා මෙහි තියෙනව.

අධියථාර්ථවාදී සන්දර්භයක භූතයො සහ කුම්භාණ්ඩයො ස්ථානගත වෙන්නෙ දෙවියන් සහ යක්ෂයන් අතරමැද තැනක. ඒ අයට දෙවියන් වෙන්න කොහෙත්ම බෑ වගේම උන් යක්ෂයො තරම් නපුරුත් නැති, එහෙමට හොඳකුත් නැති, මිනිස්සුන්ගෙ ඉඳුලෙන් යැපෙන කොට්ඨාසයක්. මේ භූතයන්ට කවදාවත් යක්ෂයන්ටවත් දෙවියන්ටවත් තමන්ගෙ බල පරාක්‍රමය පතුරන්න බෑ. ඒ අයට බලය පතුරවන්න පුළුවන් ඒ අයට යම් බය පක්ෂපාතිත්වයක් පවතින අසරණ මිනිස්සුන්ට විතරයි. උන්ට තියෙන්නෙ අසරණ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්න පොඩි කප්පම්කාරී ස්වරෑපයක්. අපි ඉහතින් සඳහන් කරපු මැන්ටල් කියන්නෙ ඒ අතර හිටිය පොඩි මානුෂික ස්වරූපයක් තිබුණු භූතයෙක්. නාගරික මුඩුක්කුවක් ඇතුළට නිකමට හරි ගිහින් තියෙන අය දන්නවා නාගරික කැළි කසල පිරුණු, හරි හමන් සනීපාරක්ෂක පහසුකම් නැති, ඒවා කිසිසේත්ම මනුෂ්‍ය වාසයකට සුදුසු තැන් ⁣නෙවෙයි කියලා. ඉතින් ඒවායෙ දිවි ගෙවන මිනිසුන්ගෙ ජීවිතත් අපි ඉහතින් කිව්ව භූත ස්වරූපයට ඉතාම සමීපයි.

මෙි නවකතාව ඇතුළෙ නිතර කියවෙන තවත් වාක්‍ය කණ්ඩයක් තමයි ‘ඝන මීදුම් දුමාරය’ කියන්නෙ. මුළු නවදිල්ලියම වසාගෙන තියෙන විෂ වායුව පිරුණු කාර්මික දුහුවිල්ලෙන් හැම විටම වැසිල තියෙන මේ මිනිසුන්ගේ ජීවිත කියද්දි මේ ඝන මීදුම් දුමාරයත් අතිප්‍රබල රූපකයක්.

මේ විෂ වායුව පිරුණු ඝන මීදුම් දුමාරයෙන් වැසුණු මෙහි සිදුවෙන ළමා අතුරුදන් වීම් ගැන පරීක්ෂණ පවත්වන්න එන පොලිසිය මට පේන්නෙ අර ඝන මීදුම් දුමාරය අතර සැඟවුණු කප්පංකාර භූතයො වගෙයි. අතීතයෙ තමයි මෙන්ටල් වගේ හිතහොඳ භූතයො හිටියෙ. වර්තමානයේ ඉන්නෙ මිනිස්සුන්ගේ ඛේදවාචකවලින් යැපෙන කප්පම්කාර භූතයො. මේ විදිහට රූපකයක් තවත් රූපකයක් සමග අතිපිහිත කරමින් වින්දිතයාගේ පිහිටට සිටිනවා යැයි කියන නීතිය සහ යුක්තිය ඝන මීදුම් දුමාරයකින් වැසී යන බව අපට පවසනවා. මෙය අපට තවත් තීව්‍ර වන්නෙ ජාතිය, ආගම, දේශපාලනය සහ ජනමාධ්‍ය මේ මිනිස් ඛේදවාචක අතරෙ වැඩ කරන විදිය සමග සමපාතව තියල හිතන විටයි.

මිනිස් දූවිලි බවට පත්කළ ජනාවාසයක දරුවන්ගේ අතුනුබහන් මතින් ජීවිතවල රන් ගේට්ටුව ඇර ගන්නට වලිකන, දැනටමත් එවැනි රන් දොරටුවලින් ආවරනිතව සුරක්ෂිතව දිවි ගෙවන, එහෙම ජීවිතයකට යන්න වලිකන, සමාජයක, එවැනි සමාජයකට රැකවල් සදන ආගමික, දේශපාලනික සහ නීතිමය රැකවලුන් සහ ඛේදවාචකවලින් බඩගෝස්තරය සරි කරගන්නා, ජනමාධ්‍ය සමාජයක වැඩිම අවදානමට මුහුණදෙන්නේ දරුවන් බව දීපා සිය භූත සංචාරයේදී අපට පෙන්වයි. මේ කතාව පැවසීමේදී ජායි නම් නව හැවිරිදි පිරිමි දරුවාගේ ඇසින් අපට පෙන්වන මෙම ඛේදවාචකය තුළ අතුරුදන් වන්නෝ දරුවෝය.

නීතියත් පාලනයත් අන්ධ භූතයන් බවට පත් වූ රටක දෙවියන්ගේ බැල්මක් කොහෙත්ම නොවැටෙන, මිනිසුන්ගෙන් ගසා කන නීතියේ නිල සුනඛයන් සහ ආගමික කයිරාටිකයන් බහුල රටක් මුළා මංසල හරහා දීපා අපට අභිමුඛ කරවයි. එවන් රටක සිටින දරුවන්ට විශ්වාසයේ ඡායා මාත්‍රයක් හෝ තැබිය හැක්කේ හිත හොඳ භුතයකු කෙරේ පමණක් එය කොතරම් ඛේදවාචකයක්ද?

දීපා අනප්පරා අපට කියනා මේ කතාවේ ජායි නම් කතා නායකයාගේ මිතුරා බහදූර්ය. බහදූර්ට නීතිය විශ්වාස නැත. මේ ඛේදවාචකයෙන් ඔවුන්ට යම් පිළිසරණයක් පැතිය හැක්කේ හිතහොඳ භූතයෙකුගෙන් පමණි. ⁣මිනිසුන් රකින්නට සිටිනා පොලීසිය ද කප්පම්කාර නපුරු භූතයන්ගේ වෙස්ගත් විට එය කොතරම් නම් ඛේදනීයද? එය කෙතරම් නම් උත්ප්‍රාසාත්මකද? මුළා මංසලහි කතාකරුවා වන නව හැවිරිදි දරුවාට පොලිස් පැට්රල් බලා ඉගෙනගත් තමන්ගේ රහස් පරීක්ෂක උපක්‍රම තුළින් අතුරුදන් වූ තම පාසල් මිතුරා හෝ තම අක්කන්ඩිය හෝ අනෙකුත් ළමයින් සොයාගත හැකි වීද?

රෑණුට තමන්ගේ දෙපයේ වීරියෙන් දුවා සිය අම්මාත් තාත්තාත් මල්ලීත් රැගෙන එම නරකාදියෙන් පිටවී යා හැකිද? පරීට තම අධ්‍යාපන සිහිනය ජයගත හැකි විණිද?අම්මලාට සහ තාත්තලාට ඔවුන්ගේ නැති වූ දරුවන් හමු වීද?

දීපා අනප්පරා රූපක බාහුල්‍යයෙන් යුත් අගනා ලගන්නාසුලු බසකින් කියනා මේ මනරම් කතාව කියවීමෙන් ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකිය. මෙය කියවීමෙන් ඔබට මනරමි ප්‍රබන්ධමය අත්දැකීමක් විඳ ගැනීමට හැකිය. මෙම මාහැඟි නවකතාව මොහාන් ධර්මරත්න මුළා මංසල ලෙසින් සිංහල භාෂාවට නගා ඇත.

ලංකාව තුළ දී දීපාගේ ජින් පැට්රෝල්වලට වැඩිම රූපක ගුණත්වයක් ලබා දීමට භූත සංචාරය හෝ පිසාච හෝ කුම්භාණ්ඩ සංචාරය යන නමට වඩා මුළා මංසල යන නම යෝග්‍ය බව මාගේ ද විශ්වාසයයි ඉන්දීය සමාජය තුළ භුතයාට ඇති බලපෑම් සහගත උත්ප්‍රාසක ගුණය ලාංකීය සන්දර්භයක එතරම්ම නොමැතිය. එනිසා මෙම රූපකගුණ බාහුල්‍යයෙන් යුත් නවකතාවට ලාංකීය සන්දර්භයේදී මුළා මංසල යන නම ලාංකීය පාඨකයාව බහුඅර්ථ රූපකත්වයක් වෙත කැඳවීමට සමත් වෙයි. එය පැහැදිලිවම පරිවර්තකයාගේ භාෂාව ඉක්මවා ගිය ප්‍රබන්ධමය අවඩබා්ධය යැයි මට සිතෙයි.

දැන් මෙම දිගු සටහන නිමා කළ යුතුය. අවසන් වශයෙන් මෙලෙස පැවසීමට කැමතිය. ජීවිත මංසලෙන් මුළා නොවී එතෙර වන්නට මුළා මංසල කදිම මංසලකි.මෙය මෑත කාලයේ මා කියවූ,
මුල් කෘතියේ රස හෝ බස නොනසා සිදු කර ඇති කදිම පරිවර්තනයක්ය යන්නට භාෂා ද්විත්වයෙන්ම මෙය කියවූ පාඨකයෝ සාක්ෂි දරති.

යළි පවසමි. මෙය ඔබේ දිවි ගැලවිය හැකි කතාවකි. ඒ ප්‍රබන්ධය පමණක් නොව අප දිවිගෙවන යථාර්ථයද නිරතුරුව මරණයේ අවදානම දරාගත්තක් වන බැවිනි. එය අවම කරගත හැක්කේ ලෝකය වටහා ගන්නවුන්ටය. ඔබ මේ ඝන මීදුම් දුමාරය විනිවිදිය හැකි මනසක් සහ මසෙසක් හිමිකර ගත යුතුය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment