පොළෝතලයත් ස්වර්ගයත් මුණගැසෙනා තැන

නිරයට විහිදී ගිය මුල් නැති නම් කුමන වෘක්ෂයකට හෝ ස්වර්ගය දක්වා අතුපතර විහිදමින් වැඩෙන්නට නොහැකි වනු ඇතැයි ලියැවී ඇත. එසේ කියනා කාල් යුං අදහස් කරන්නේ සංකේතාත්මකව ඉහළාකාශයටද එපිටින් ඇති ස්වර්ග රාජ්‍යය මෙන්ම නබෝගැබ මධ්‍යයේ ඇති නිරය දක්වා පැතිරගිය විශ්වීය සම්බන්ධතාවයක් ලෙසින් සංකේතවත් වන විශ්වීය විඥාණයක් සෑම රටකම, සෑම මිත්‍යා විශ්වාසයකම, සෑම ඇදහිල්ලකම තිබෙනා බවයි. මේ ලෝක වෘක්ෂයයි. ලෝකයේ මධ්‍යයයි. ලෝකය හා ස්වර්ගය යා කෙරෙනා දිව්‍යමය කුළුණයි.

ලෝකයේ මධ්‍යය නැතිනම් ස්වර්ගය හා පොළවේ අඳුරු ගර්භය දක්වා යා කෙරෙනා තැන සංකේතවත් වන ආකාරය දේශයෙන් දේශයට වෙනස් වෙයි. එක්කෝ ඒ ලෝක වෘක්ෂයක් විය හැක. මහා කුළුණක් විය හැක. අජටාකාශය දක්වා පැන නැඟි උත්තුංග කඳුවැටියක් විය හැක. මිනිසාගේ අතින් හෝ දිව්‍යමය හස්තයකින් නිර්මාණය වූ ඕනෑම යමක් විය හැක. ජපන් විශ්වාසයන්ට අනුව මේ ස්වර්ගය දක්වා නැඟී හිඳිනා කඳුවැටිය ෆූජි නමින් හැඳින්වෙයි. චීන මිත්‍යා විශ්වාසයන්හි මෙය කුන්ලන් කඳුවැටිය ලෙසින් වෙනස් වී තිබෙයි. ටඕ දර්ශනයේ කුන්ලන් කඳුවැටිය හැඳින්වෙන්නේ ලෝකයේ මධ්‍ය ලක්ෂ්‍යයේ පිහිටා ඇති කන්ද ලෙසයි. ග්‍රීකයින්ගේ ඔලිම්පස් කඳුවැටිය නිර්වචනය කෙරෙන්නේම දේව ගණයා එහි ස්වර්ගීය කූටය මත වැඩ හිඳිනා ලෙසට වීමද අහඹුවක් නොවේ. කෛලාශ කූටය මත මහේශ්වරයන් වැඩ හිඳී. මහාමේරුව ලෝකයේ මධ්‍යයේ ඇති බව සූර්ය සිද්ධාන්තයේ කියැවෙයි. ලෝකයේ මධ්‍යය සංකේතවත් කරනු වස් මිනිසුන් ඊට අනුරූප මිනිස් නිර්මාණයන්, සිද්ධස්ථානයන්ද නිමවයි. ඛෙමර්වරුන් නිර්මාණය කළ අන්ග්කෝර් වත් සිද්ධස්ථානයන් මහා මේරු පර්වතයේ නැතිනම් කඳුවැටියේ හැඩය යැයි සිතාගත් අයුරින් නිර්මාණය වන්නේ මෙලෙසිනි.

ඉපැරණි චීනය හැඳින්වූ නම පරිවර්තනය කළ විට ‘මධ්‍යම අධිරාජ්‍යය’ වන්නේ අත්වැරදීමකින් නොවේ. අතීත ඊජිප්තියානුවන් තම දේශය ලෝකයේ මධ්‍යයේ පිහිටා ඇති, පාලනය සහ ශිෂ්ටාචාරය පවත්නා එකම තැන ලෙසින් හැඟීමද, තම දේශසීමාවන්ට එපිටින් වියවුල් ලෝකයක් පැතිර ඇති බව විශ්වාසයට ගැනීමද එලෙසින්ම අහඹු සිදුවීමක් නොවේ.

මේ අතරේදී ස්කැන්ඩිනේවියානුවන් සිය මිත්‍යා විශ්වාසයන් තුළ ‘ඉග්ඩ්‍රසිල්’ නම් වූ ලෝක වෘක්ෂයක් සම්බන්ධයෙන් විශ්වාස කර සිටී. වසර දහස් ගණනකට පෙර බැබිලෝනියානුවන්ද විශ්වයේ මධ්‍යයේ ඇති ලෝක වෘක්ෂයක් ගැන කථා කරයි. එය ලෝක ගැඹුරේ අන්ධකාර ආදිකල්පික ජලප්‍රවාහයේ සිට මුල් විහිදී තිබෙනා අතර, ඥාණයේ දෙවියන් විසින් ආරක්ෂා කර සිටී. එහි අතුපතරෙහි ස්වර්ගීය දෙවිවරුන් හිඳී යැයි ආදි මෙසපොතේමියානු ජාතීන් විශ්වාස කරයි. මෙම විශ්වීය වෘක්ෂයම නැවතත් ජීවන වෘක්ෂය ලෙසින්ද රූපාන්තරණය වෙයි. කෙසේ නමුත් ජීවන වෘක්ෂය පිළිබඳ වෘතාන්තයන් තවත් ගැඹුරට විහිදී යන බව, ඒ වෙනම කථා කළ යුතු මාතෘකාවක් බවද අවධාරණය කළ යුතුම වෙයි.

තමන් පය ගසා සිටිනා මහ පොළොවේ සිට ඉහළාකාශයේ වූ ස්වර්ගීය රාජ්‍යය වෙත ලඟා විය හැකි උත්තුංග නිර්මාණයන් බිහි කිරීමේ මිනිස් ආශාව ඔවුන් උරුම කරගන්නේ තම ආදි මුතුන් මිත්තන්ගේ සිටයි. ආදි බැබිලෝනියානුවන්, සුමේරියානුවන්, ඇසිරියානුවන් සි(z)ගු‍රැත් නම් දැවැන්ත පිරමිඩයන් ඉදිකරන්නේ දෙවියන් වෙත ලඟා විය හැකි උත්තුංග නිර්මාණයන් මිනිස් අතින් නිමවීමට ඇති ආශාව නිසාවෙනි. මේ දෙවියන් හා සමවීමට මිනිසා එදා සිට රුධිරගතව ගෙන ආ ආශාව හැකියි.

බැබිලෝනියානුවන් නිම්රොද් රාජයාගේ අණින්, අප්‍රතිහත වීර්යයෙන් යුතුව ස්වර්ග රාජ්‍යය කරා යන තරම් උස් කූටයක් ඇති බාබෙල් කොත ඉදිකරයි. ලෝකයේ වෙසෙනා එකම භාෂාවක් කතා කරනා ජනයා එක්සේසත් කිරීමත්, මෙම මහා නිර්මාණයේ කීර්තිය තමන් සතු කරගැනීමත් බැබිලෝනියානුවන්ගේ අභිප්‍රායයි. එනමුත් දෙවියන් මෙය දැක, බැබිලෝනියානුවන්ගේ චේතනාව දැන එක් එක් මිනිස් කොට්ඨාසයන් කථා කරනා භාෂාව එකක් නොව භාෂා ගණනාවක් බවට පත් කරවයි. මෙයින් එකෙක් කථා කරනා දේ අනෙකාට නොතේරී මහා වියවුලක් හටගනී. බාබෙල් කොත සෑදීම නතර වෙයි. එක් එක් භාෂා කතා කරනා මිනිසුන් ලොව පුරා විසිර යයි. මේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ, උත්පත්ති පොතේ එන කථාවයි.

මේ අතරේදී වර්තමානයේදී පවා සමනොළ ගිර යනු පෘතුවියේ මධ්‍ය ලක්ෂ්‍යය බව කියන්නන්ගෙන් පමණක් නොව, සමනොළ කූටය ලෝකයේ අඩුම ගුරුත්වයක් ඇති ස්ථානය යැයි විශ්වාස කරන්නන්ගෙන්ද අඩුවක් නොවේ. ආතර් සී ක්ලාක් විසින් මේ මතය හැඩසවමින් සමනොළ ගිර මුදුනේ අභ්‍යවකාශ සෝපානයක් නිර්මාණය කිරීමට සුදුසු එකම තැන වූ බව කියමින් ‘ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්’ කෘතිය නිර්මාණය කරයි. සැබවින්ම සමනොළ ගිර සිරස එවැනි සුවිශේෂී භූ විද්‍යාත්මක සලකුණක්ද? එය පැනයකි.

ලෝකයේ සෑම රටකම, සෑම ඇදහීමකම එකිනෙකාට අනන්‍ය වූ ලෝකයේ මධ්‍ය ලක්ෂ්‍යයක් පැවතීම, පෘතුවි තලයේ සිට ස්වර්ගයට ඉහළ නැඟීමට හැකි යම් දෙයක් පිළිබඳ වෘතාන්තයන් තිබීම සැබවින්ම විස්මයජනක වෙයි. මේ සෑම මිත්‍යා විශ්වාසයක්ම එක් මූලයකින් ආරම්භ වූවාද? එසේත් නැතිනම් ලෝකයේ එක් එක් තැන්හි විසූ එක් එක් ගණ ගෝත්‍රයන් සෑම එකක්ම පාහේ ස්වර්ගය තෙක් ඉහළ නැඟීමේ ආශාවෙන්, ලෝකයේ මධ්‍යය සොයාගැනීමේ වුවමනාවෙන් මෙම වෘතාන්තයන් නිර්මාණය කළෝද? මෙහි ආදිකල්පික දේශපාලනික සංකල්පයක් නොමැතිද? එසේත් නැතිනම් ආදි මිනිසා සැබවින්ම ලෝක වෘක්ෂයක්, ජීවන වෘක්ෂයක් පවත්නා බව දැන සිටියාද?

කෙසේ නමුත් පුරාතන මිනිසා ලෝක වෘක්ෂයක් නමස්කාර කර වසර දහස් ගණනක් ගතවූ තැනදී ජේම්ස් කැමරන් විසින් පැන්ඩෝරාවක ලෝකයක් එකට සම්බන්ධ කරනා විශ්වීය වෘක්ෂ පද්ධතියක් නිර්මාණය කරයි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment