‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව

මායා යථාර්ථවාදයත්, යථාර්ථවාදයත් එකිනෙකට සම්මිශ්‍රණය කරමින් නවකතාකරණයේ නියැලෙන ලේඛකයෙකු වශයෙන් මොහාන් රාජ් මඩවල හඳුන්වා දිය හැකි ය. ඔහුගේ පස්වන නවකතාව වන ‘කලම්බෝ’ (2018) ඓතිහාසික නවකතාවකි.

මඩවලගේ නවකතා යථාර්ථවාදයෙන් ඔබ්බට ගමන් කරයි. මෙහි දී යථාර්ථවාදයේ විවිධ ප්‍රභේදයන් පවතින බව අප වටහා ගත යුතු ය. සමාජවාදී යථාර්ථවාදය, විවේචනාත්මක යථාර්ථවාදය, අධි යථාර්ථවාදය සහ මායා යථාර්ථවාදය ආදිය යථාර්ථවාදී ප්‍රභේද සඳහා නිදසුන් ය. මේ අතරින් මඩවලගේ නවකතා නෑකම් කියනුයේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය (Magic Realism), අද්භූත යථාර්ථවාදය (Romantic Realism), රූපකාත්මක යථාර්ථවාදය වැනි විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන මායා යථාර්ථවාදයට ය. ලියනගේ අමරකීර්ති සිය ‘අමුතු කතාව’ (2015) කෘතියේ දී මෙම න්‍යාය හඳුන්වන්නේ ‘ආශ්චර්යාත්මක යථාර්ථවාදය’ නමිනි. මායා යථාර්ථවාදය ලතින් ඇමෙරිකාව ප්‍රමුඛ තුන්වන ලෝකයේ රටවල්වල ඉතා ප්‍රචලිත ව පවතින සාහිත්‍ය න්‍යායකි. මඩවල මෙතෙක් රචිත ‘මාගම් සෝලිය’, ‘ලොවීනා’, ‘ආදරණීය වික්ටෝරියා’, ‘රැජින’, ‘I.D.’, නිල් කට්රොල්’ යන සියලු ම නවකතා මායා යථාර්ථවාදී පරිස්ථිතියෙහි හිඳිමින් රචනා කර ඇත.

මීයන් සිතන සිතුවිලි පමණක් නොව තම බිරිඳ අර බැල්ල සහ බළලා සමඟ සුද්ද සිංහලෙන් කතා කරන බවද, උන් දෙදෙනා ඇයට බොහෝ දේවල් කියන බවද, ඇය කියන දේවල් උන් තේරුම් ගන්නා බවද ඔහු පැහැදිලිව හඳුනා ගත්තේය. (18-19 පිටු.)

අව්රේලියා තනි වූ ගැහැනියකගේ ස්වරූපය පෙන්වන කැඩපතකි. නවකතාවේ අවසානය දක්වා ම ඇයගේ ජීවිතයේ ඛේදවාචකය කතුවරයා ඉදිරිපත් කර ඇත. ‘අව්රේලියා’ගේ චරිතයේ සහ මඩවලගේ ‘නිල් කට්රොල්’ නවකතාවේ ‘මැණිකී’ ගේ චරිතයේ යම් යම් සමානතා දැකගත හැකි ය. නවකතාවේ අපට හමුවන අව්රේලියා, එව්ලින්, එළිසබෙත්, ලෙනින්, සිරිවර්ධන ඇපොතිකර වැනි චරිත අද්භූත ගති ලක්ෂණවලින් යුක්ත ය. එව්ලින් සැම්සන්ගේ නිවසට පැමිණි දින සිට දින හතක් කිසිදු ආහාරපානයක් නොලබමින් කාමරයට වී සිටීම, අව්රේලියා  මී පැණි පොඟ වූ කුරුඳු පමණක් ආහාරයට ගැනීම, ඇලෙක්සැන්ඩ්‍රා බැල්ල සහ එඩින්බරෝ බළලා දීර්ඝායුෂ භුක්ති විඳීම මෙයට නිදසුන් වේ. අද්භූත සිදුවීම් සමග කැලතුණු අසිරිමත් සිදුවීම් මඟින් යථාර්ථය පාඨක අවධානයට නතු කිරීම මායා යථාර්ථවාදී නවකතාවල ස්වරූපය යි. මඩවල මෙහි දී මායා යථාර්ථවාදය යථාර්ථවාදය සමග මිශ්‍රණය කරමින් ස්වකීය නවකතාව රචනා කර ඇත.

ඇඳ ඇතිරිලි සියල්ල ඇගේ කඳුළුවලින් කෙතරම් පෙඟී තිබුණේද යත්, දෙන්නා දෙපැත්තට වී ඒ ඇතිරිලි අඹරා මිරිකාහළ විට කඳුළු උතුරා බිමට ගැලිණි. අන්තිමට මේ කඳුළු එකතු කිරීම පිණිස අවට නිවෙස්වලින් බාල්දි එකතු කිරීමට පවා සැම්සන්ට සිදු විය. (52 පිටුව.)

මඩවලගේ බොහෝ නවකතාවල ද්වේෂ සහගත ව පලිගැනීම් සිදු කරන ස්ත්‍රී චරිත අපට හමුවේ. මෙහි අපට හමුවන විජිතා ද එවැන්නියකි. ඇය තම සහෝදරිය ඝාතන කිරීම සඳහා දරන සූක්ෂ්ම ඝාතන ප්‍රයත්න සවිස්තරාත්මක ව දැක්වීම උචිත ද යන්න විමසා බැලිය යුත්තකි. එමෙන් ම එම ප්‍රයත්න නපුරු රාක්ෂයින් විනාශ කිරීමට අහිංසක සුරංගනාවියන් යෙදූ කපටි උපායන් ලෙසින් ඇගේ දරුවන්ට කියා දීම ද අනුචිත යැයි හැඟේ.

මෙහි ඓතිහාසික සංසිද්ධි රැසක් අපට හමු වේ. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය, 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවය, මැලේරියා වසංගතය, ලංකා සම සමාජ පක්ෂය, දෙවන ලෝක යුද්ධය, 1942 දී ජපානය ලංකාවට ගුවනින් බෝම්බ දැමීම මෙයට නිදසුන් ය. මෙම සංසිද්ධි අතරින් නවකතාවේ වඩාත් කතාබහට ලක් කරනුයේ දෙවන ලෝක යුද්ධ සමයේ ජපනුන් ලංකාවට බෝම්බ දැමීමේ සිදුවීම යි. මෙහි දී අංගොඩ මානසික රෝහලට බෝම්බ දැමීම ප්‍රධාන තැනක් ගනියි.

ජපන් ගුවන් හමුදාව ප්‍රථමයෙන් කොළඹ වරායට බෝම්බ දැම්මේය. ඉන්පසුව ඔවුන් රත්මලාන ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළේය. අනතුරුව සපුගස්කන්දේ තෙල් ගබඩාව ඔවුන්ගේ ඉලක්කය විය. එහෙත් ඒ ඉලක්කය වැරදී අංගොඩ මානසික රෝහලට එය එල්ල වී තිබුණි. (168 පිටුව.)

මෙම සිදුවීම පිළිබඳ ව මින් පෙර රචිත නවකතාවක් ලෙසින් රාජා කරුණාදාස ගේ ‘සාජන් බාස්’ (2009) නවකතාව හඳුන්වා දිය හැකි ය. එහි ප්‍රධාන චරිතය වන පොඩියා ජපනුන් සමඟ අදාළ ගුවන් යානයේ සිටි පුද්ගලයෙකි.

කතුවරයා තම නවකතාව රචනා කිරීම සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබේ. ඉතිහාසය, වෛද්‍ය විද්‍යාව, ජනශ්‍රැති අධ්‍යයනය, ධීවර කර්මාන්තය, වෙළදාම පිළිබඳ ව කතුවරයා දක්වන ප්‍රාමාණික බව එය සනාථ කරන්නකි. නවකතාව අවසානයේ දක්වා ඇති ආන්තික සටහන් ද පාඨකයාට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

නවකතාවේ නම ‘කලම්බෝ’ ය. අතීතයේ ‘කොළොංතොට’ නමින් හැඳින්වූ නගරය පෘතුගීසින්ට, ලන්දේසීන්ට මෙන් ම ඉංග්‍රීසීන්ට ද ‘කලම්බෝ’ ම විය. වර්තමානයේ පවා බහුල ව ව්‍යවහාර කරනුයේ ‘කොළඹ’ යන්නට වඩා ‘කලම්බෝ’ (Colombo) යන ඉංග්‍රීසි වදන ය. නවකතාවේ දී කතුවරයා ‘කොළඹ’ හඳුන්වන්නේ නගරයක් ලෙසින් නොව රටක් ලෙසිනි. කොළඹ රට ගැන තනියම ඉගෙන ගත යුතු බවත්, කොළඹ ගැන ඉගෙන ගතහොත්, එය ජීවිතය ම ඉගෙන ගත්තා වැනි යැයි පැවසීමෙන් ඒ බව ප්‍රකට වේ.

නවකතාවේ පිදුම සියවසකට පෙර විසූ ‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ට ය. ඔවුන් කෙතරම් නවීන වූ ලෝකයක විසුව ද, බොහෝ මිත්‍යා විශ්වාසවල ඇලී ගැලී සිටි ගැමියන් ම විය. බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ව පැවැති ලංකාව ඩොමීනියන් නිදහස ලබා ගන්නට ආසන්න කාලවකවානුව නවකතාවට පසුබිම් වී තිබේ. එකල කොළඹ සමාජයේ පැවති වහල් සේවය පිළිබඳ ව ද කතුවරයා සඳහන් කර ඇත. ‘ජාතියේ පියා’ වශයෙන් අප මෙතෙක් හඳුන්වනුයේ ඩී. එස්. සේනානායක ය. නමුත් කතුවරයා ප්‍රශ්න කරනුයේ හෙතෙම ජාතියේ පියා’ විය හැකි ද යන්න යි.

දිනමිණ පුවත්පත, සේනානායක මහතා මේ රට බේරා ගත් ජාතියේ පියා ලෙස හඳුන්වා දුන්නේය. සුද්දාට පයින් ගසා එළවූ අසමසම මිනිසා ලෙස සඳහන් කළේය. එහෙත් ‘සරසවි සඳරැස’ වැනි පුවත්පතකට අනුව සුද්දන් සහ සේනානායකගේ වෙනසක් නැත. දෙපිරිසම එකය. (218 පිටුව.)

මායා යථාර්ථවාදී නවකතාවල මතුපිටින් දක්නට ලැබෙන ස්වරූපයට වඩා ගැඹුරු සමාජ සත්තාවන් සහ ඓතිහාසික සිදුවීම් විවරණය වේ. ‘කලම්බෝ’ නවකතාවෙන් විවරණය වන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත්වීජිතයෙන් ඩොමීනියන් නිදහස ලබා ගැනීමට ආසන්න කාලවකවානුවේ සිටි කොළඹ ගැමියන්ගේ කතාව යි. තොටළඟ, වැලිකඩ සහ කොල්ලුපිටිය වශයෙන් පවුල් තුනක් කේන්ද්‍ර කරගනිමින් මෙම නවකතාව නිර්මිත ය.  මස්ඉඹුල ගේ ‘මාණික්කාවත’ සහ මඩවල ගේ ‘කලම්බෝ’ නවකතා ද්විත්වය එක ම කාල පරාසයක දිවෙන කතාන්දර වේ. නමුත් ‘මාණික්කාවත’ අටකළං කෝරළයට සීමා සහිත වුව ද, ‘කලම්බෝ’ එලෙස සීමා නොවන්නේ එය ලංකාවේ ප්‍රධාන නගරය කේන්ද්‍ර කර ගනිමින් රචනා කොට ඇති බැවිනි.

මඩවල තම නවකතාවලින් ප්‍රයත්න දරා ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක කාන්තාවන්ට මුහුණපෑමට සිදු වන විවිධාකාර දුක් ගැහැට පාඨක අවධානයට යොමු කිරීමට ය. මෙම නවකතාවේ කැතරින්, එළිසබෙත් වැනි චරිත ද එකී ප්‍රවාහයට ගොදුරු වෙයි. ස්වකීය විවාහ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන සිනමන් හවුස් බංගලාවට පැමිණෙන එළිසබෙත්ට ඒ කිසිවක් සඵල කර ගැනීමට නොලැබුණා ය. තරුණියක ලෙසින් ඇය බලාපොරොත්තු වූ ශුංගාරාත්මක සම්භෝභය වෙනුවට ඇයට සිදු වූයේ විවාහයෙන් පසු ගෙවුණු පළමු රැයේ බංගලාවට වී හුදෙකලා ව හිඳින්නට ය. ඩොනල්ඩ් නිදි යහන මත ඇය ව ප්‍රාණ සහිත මළමිනියක් බවට පත් කරද්දී ඇයගේ සිහින සියල්ල බිඳ වැටුණා ය. ලිංගික ජීවිතයේ දී පුරුෂයා ක්‍රියාකාරී බවට ද, ස්ත්‍රිය අකර්මණ්‍ය බවට ද වැඩි කැමැත්තක් දක්වයි. මෙයට හේතු වන්නේ පුරුෂ ලිංගික කෝෂය කර්මණ්‍ය වීමත්, ස්ත්‍රී ලිංගික කෝෂය හෙවත් ඩිම්බය නිශ්චල ව පැවතීමත් ය.  ලිංගික ක්‍රියාවලියේ දී ක්‍රියාකාරී වීමට එළිසබෙත්ට අවැසි වුව ද, ඇයට සිදු වූයේ දෑස් හොඳින් පියාගෙන අප්‍රාණික බෝනික්කියක ලෙසින් හිඳින්නට ය. ලිංගික තෘප්තිය නිසියාකාර ව ලබා ගැනීමට නොහැකි වීමෙන් පුද්ගලයින් විෂයෙහි නියුරෝෂීය රෝග ලක්ෂණ පහළ වේ. තමා තුළ පවතින ආශාවන් වහා සංතෘප්ත කර ගැනීම දළ සිතෙහි ස්වභාවයයි. එළිසබෙත් තම නිවසේ මෙහෙකාරකම් කරමින් සිටි ජෙරම් නම් වූ වහලා ව එම ආශාවන් සංතෘප්ත කර ගැනීමෙහි ලා යොදා ගන්නේ එබැවිනි.

නවකතාව අවසානයේ දී එළිසබෙත් ගේ චරිතය විපර්යාසයකට පත් වේ. ඩොනල්ඩ් කෝර්නේල් රාළහාමි සහ ඔහුගේ නිවසේ පසුබිම මීට බලපායි. කෝර්නේල් මරණයෙන් පසු කොල්ලුපිටියේ ‘සිනමන් හවුස්’ බංගලාවේ අධිපතිනිය වන එළිසබෙත් තවදුරටත් පෙර සිටි එළිසබෙත් නොවේ. ඇය ඉන්පසු පණ පොවන්නේ දෙවන ඉසබෙලා ගේ චරිතයට ය. ඇයට පසු කාලයේ දී එංගලන්තයේ දෙවන එළිසබෙත් මහ රැජින මුණ ගැසුණා ය. ඒ ඇය ඒ වන විට කොළඹ සමාජයේ විසූ සම්භාවනීය කාන්තාවක බවට පත් ව සිටි බැවිනි. දෙදෙනා ම එක ම දිනයක ඉපදීම සහ දෙදෙනා ම එක ම නමකින් යුක්ත වීම ද විශේෂත්වයකි.

‘කලම්බෝ’ නවකතාව ඉතිහාස කතාවක් බඳු වුවත් මෙය ප්‍රබන්ධ කතාවක් බව අප වටහා ගත යුතු ය. එබැවින් මෙය ඉතිහාසය කියවන්නාක් මෙන් නොකියවිය යුතු ය. ලියනගේ අමරකීර්ති ‘අමුතු කතාව’ කෘතියේ දී දක්වන පහත අදහස ඉහත දැක්වූ අදහස පැහැදිලි කර ගැනීමට උපකාරී වේ.

ප්‍රබන්ධනාත්මක ඉතිහාසය ඥාන මීමංසාත්මකව, සාමාන්‍යයෙන් ඉතිහාසය යැයි ගැනෙන දෙයින් වෙනස්ය. සැබෑ ඉතිහාසය ඒක ශබ්දිකය; හේතු විද්‍යාත්මකය. දෘෂ්ටිවාදාත්මකව, ආධිපත්‍යවාදීව ගොඩ නගන ලද්දකි. ප්‍රබන්ධනාත්මක ඉතිහාසය ද්වීශාබ්දිකය; ඉතිහාසයේ දෘෂ්ටිවාදය අභියෝගයන්ට ලක් කරයි. ඉතිහාසයේදී කතුවරයෙකු දෙසින් ගලා යාම සාමාන්‍යයෙන් සිදු වේ. ප්‍රබන්ධමය ඉතිහාසයේදී “විවිධ අර්ථ” පඨිතයේ විවිධ තැන්වලින් ඉපදී විවිධ අර්ථ පථයන්හි ගමන් කරයි. ඒ ගමන් පථ සියල්ල දැක ගැනීම සංවේදී පාඨකයාට බාරය. (144 පිටුව.)


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment