මුහමාලේ සුළඟ

එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුණ, එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ.

දශක ගණනාවක් සිංහල ජන සමාජයට මඟ හැරුණු උතුර පිළිබඳ ලියූ පොත් දැන් දැන් මුණ ගැසේ. සිංහල පොත් දමිළ බසට හරවන්න අපි උනන්දු වෙනව වගේම, දමිළ බසින් ලියූ පොත්, කියවන්නත් අපි උනන්දු විය යුතුය. ෂර්මිලා විනෝදිනි විසින් රචිත මුහමාලේ සුළඟ අපට මඟ හැරුණු උතුර මුණගස්වන පොතකි.

අහස ද පොළොව ද ඕනෑම මොහොතක පුපුරන තලාවක, ජීවිතය උදුරවා ගෙන යන මොහොතවල් අපමණ වෙලාවක, ජීවත් වුණොත් වුණාවේ කියා පොළොවෙහි මුණින් තලා වී කන් වසා සිටි දරුවන් මිනිසුන් මට ද හමුවුනේ උතුරු කොනේ දී ය. ඒ මා වෛද්‍යවරියක ලෙස යුද්ධයෙන් පසු අවදියේ උතුරු කොන රෝහල් දෙකක සේවය කළ නිසා ය.

එකල හිතින් මිය ගිය නමුදු ගතින් පමණක් ජීවත් වූ අනන්ත අප්‍රමාණ මිනිසුන් ගේ හද ගැහෙන සර අසමින්, කේඬෑරි මැණික් කටු අත ගෙන නාඩි බලමින්, ඔවුන්ගේ බොහෝ සංවේදනා අපේ කර ගනිමින් ඒ කතන්දර අසමින් කඳුළු සලමින් සිටි මගේ උතුරු සේවයේදී මා ඇසූ සත්‍ය කතා මට මතක් වේ. එකම දේශයක ඉතා කුඩා දිවයිනක, උතුරේ දමිළ ජනයා විඳි පීඩා පිළිබඳ කරුණු කාරනා දකුණ තේරුම් ගත්තේ හරියටම මෑතක ය.

“සීයේ සීයේ බංකරේට පනින්න සීයේ…. ෂෙල් වෙඩි ළඟටම වැටෙනවා සීයේ … පුපුරල වැටෙනවා”

කන්දයියාගේ මුණුපුරා කෑ ගසන හඬ මගේ හිත පුරා දෝංකාර දේ. පුපුරා වැටෙන හෙන ගෙඩි මැද්දේ පිපිරී නොගිය ජීවිත හයියෙන් අල්ලා ගත්, විඳ දරා ගත් මේ පොතේ චරිත අතර හමුවන මිනිසුන් මට සැබෑවට හමුවූයේ උතුරු කොන රෝහල් සහ සායනවලදී ය. ශරීරයේ පෙනෙන්නට තියෙන සුව වූ තුවාල කැළැල්වලට යටින් සිතේ සුව නොවූ තුවාල අප්‍රමාණ තිබුණි. ශර්මිලා මේ පොතේ කතා දහයක දවටා ඇත්තේ එහෙව් සිත් බිඳි වන්නියේ ඛේදාන්තයන් මෙන්ම තම ජන සමාජයේ තොරතුරු ය.

සැනසුමක් සිහියක් ඇතිව තමන් උපන් ගොඩ නගා ගත් ගෙවල් දොරවල් ද අතැර පණ බේරා ගන්නට හිස් ලූ ලූ අත දිව ගිය, දිය අගල්, ගස් කඳන් වලට මුවා වී ජීවිතය පමණක් අපේක්ෂාවෙන්, දෙවියන්ගෙන් යැදි බොහෝ නිමේෂයන් මේ ජීවිත වල අඩුවක් නැත. තමන්ගේ මව පියා දරුවා කොහේ ඉන්නවාදැයි නිච්චියක් නොමැති දවස් මේ හිත් බොහෝ සෙයින් රෝගාතුර කර තිබිණි.

“අම්මා බලන්න ඕනෑ” යැයි කියන වෙණ්ණිලාගේ කතාව කියවන මට මතක් වුණේ මට හමුවූ වෙණ්ණිලා වාගේ දරුවන් ය. පණ බේරා ගන්න දුවන නමුත් මරණය අත් බැඳන් ගියා වුවද තමන්ගේ මව හමුවේයැයි බලාපොරොත්තුවෙන් සිටි වෙණ්ණිලා ය. ඇතැම් විට මග වැරදුනු හෝ මඟහැරුණු එවන් දරුන්වන් ගේ ඉකිබිඳීම් සහ රිදුම් අදටත් ඔවුන්ගේ සිත් තුළ එසේමය. දශක ගණනාවක් උතුරුකර වැසියන් වෙත හිමි වූයේ එවන් අවිනිශ්චිත මොහොතවල් ය. ආහාර, ඖෂධ, ඉන්ධන, මේ හැම අඩු පාඩු එක්ක දශක ගණනාවක් පීඩා විඳි උතුරු ජනයාගේ ජීවන අරගලය අද රටේ හැම තැනකටම දැනෙද්දී, “දැන් මෙහෙම නම් උතුරු මිනිසුන්ට එදා කොච්චර අපහසු වෙන්න ඇත්දැයි අදහස් නැගේ. දෙපිල බෙදී සිටි දේශයක අගනුවර හැදී වැඩුණු මම ද මේ අපහසුකම්, මේ ඛේදාන්ත ගැන දැනුවත් වුණේ ජීවිතයේ තරුණ කාලය උතුරේ ගත කළ නිසා සහ අනුන්ගේ වේදනාව සහ ජීවන අරගලය වටහා ගන්නට හැකි වූයේ මගේ හිතේ සහවේදනය (empathy) පිළිබඳ වැටහීමක් තිබූ නිසා ය.

සමාජ තත්ත්වය තරාතිරම, මිල මුදල් ඇතිකම යන මේ දේවල් ගැන වඩා වදවෙන සමාජයක ඒ කිසිත් නැති මිනිසුන්ට අත්වන ඉරණම මා හොඳින් දැක තිබේ. මේ කතා අපව හුදෙක් උතුරේ යුද්ධයට පමණක් කොටු කරන්නේ නැතිව සමස්ත සමාජයේ සංස්කෘතික, සදාචාරාත්මක පරිහානිය ද ගෙන හැර පායි. ගෘහස්ථ හිංසනය නිසා තම පවුල අහිමි වූ සිවඥානත්තාර්ගේ කතාව සහ තම ශ්‍රමය හූරා කන ධනපතියන්ට නො නැවුණු මහළු ගොවියාගේ කොන්ද පිළිබඳ කතා මේ සමාජ පරිහානිය පිළිබඳ කතිකා ගොඩ නගයි ඒවා සිංහල ජන සමාජයේ ද අඩුවක් නැත.

දශක ගණනක් සතුරන් සේ දෙපිළ බෙදී දේශපාලනික යුද්ධයක මරා ගත්තත්, ඒ මත දරා තම සහෝදර ජාතියට තවමත් වෛර ගිණි බිඳින පරම්පරාවක් දකිමින් ඉන්නා අතර මේ සිදුවීම් රටේ කොහේ වුනත් කුමන ජන සමාජයක වුණත් අඩුවක් නැතිව සිදුවෙන සමාජ අසාධාරණකම් බව සිහි වේ. ඉතින් අපි කොයි තරම් සමාන ද? මට සිතේ.

මේ කතා කියවද්දී නිරන්තරයෙන් මගේ සිත තුළ උතුරේ මතක එකින් එක නැවත ආවර්ජනය වෙයි. අවාසනාවන්ත ලෙස සමාජයෙන් අපහාස ලබනා වැන්ඳඹුවන් ගේ ජීවිත මේ පොතේ කතා අතර මුණ ගැසේ, මට මුණ ගැසුනු එවන් අපමණ ස්ත්‍රීන් සිහිවේ. මේ ලියන්නේ උතුරේද දකුණේද ස්ත්‍රීන් පිරිසක් විඳිනා ශෝකාලාපයන් බව සිහි නැගේ මේ ලියන්නේ මේ රටේම අම්මලාගේ බිරින්දෑවරුන්ගේ ශෝකාලාපය බව සිහිවේ.

පොතේ අවසානයට එද්දී, 2009 දී සියල්ල අවසන් කළ බව කියා උතුරට වසන්තය කැන්දන බව ඇසුණු හැටි යළි මතක් වේ. එහෙත් සියල්ල අහිමි ව මළ මිනිසුන් සේ උපන්බිමේදී අවතැන් ලේබලය වැදුණු මිනිසුන්ගේ ජීවිතවලට වසන්තය උදා වේයැයි අපේක්ෂා කරමින් එහි වැඩ කළ මගේ තරුණ කාලය මට මතක් වේ. පූන්තෝඩම් හි, මැණික්ෆාම් හි සහ අත් අඩංගුවේ සිටි විමුක්තිකාමීන් මා හමුවේ පැවසූ අතීත කතා මා විටින් විට ලියූ නමුදු ඒ සියල්ල නැවත නැවතත් සිතේ ආවර්ජනය වෙන්නේ ශර්මිලා ලියූ මේ කෙටි කතා කියවද්දී ය.

“මොනවා හරි තොරතුරක් ලැබේවි නේ දුවේ” මෙහි වැලපෙන අම්මා වැනි බොහෝ මව්වරුන්ගේ ඉකිබිඳුම් වැලපුම් යාදිනි නෑසූ කන්ව සිටි දේශයක, බෙහෙත් පෙති අහුරකින් නැතිවූ නින්ද ලබා ගැනීම පිණිස මානසික රෝග සායනයේ පෝළිම් ගැසී ඉන්නා ඒ මහත් හිස් වූ දෙනෙත් මට අද ද සිහිවේ. මේ රටේ එවන් මිනිසුන්ට සහනයක් ලැබුණු මොහොතක් තවම දැක නැත.

මේ පොත සිංහල බසින් පළ වීම අවශ්‍ය ම සමාජ කාරණාවක්, ශර්මිලා! මා එසේ කියන්නේ දශක ගණනාවක් එකිනෙකා බෙදී සහ බෙදා අන්ත දෙකක ගමන් කළ ජාතීන් දෙකක භාෂා වෙනස මේ අර්බුද වැඩි කරන්නට හේතු වූ නිසා ය. සන්නිවේදනය බොහෝ ආරවුල් විසඳන නිසාම, ඔබ අප මෙතෙක් නො කියවූ උතුර කියවන්නට මේ පරිවර්තනයෙන් ඉඩ හසර ලැබෙනවා පමණක් නොව අප උතුර කියවිය යුත්තේ ඇයි? කියන ප්‍රශ්නයට පිළිතුරු මේ පොතේ අඩු නැතිව හමුවේ. ආසියාතික ස්ත්‍රීන් ගෘහය තුළ මානසික සහ ශාරීරිකව පීඩාවට පත් වෙන අයුරු අප ජන සමාජයේත් උතුර දකුණ බේදයක් නොමැතිව දක්නට ලැබේ. මෙහි හතර වන කතාවේ පාර්වතී ගේ සංවේදනා කියා පාන්නේ එකී නිහඬ අරගලයේ ශෝකාලාපයන් ය. විවාහය සමඟ තම ජීවිතයට වසන්තය ඒවිදැයි අපේක්ෂා කරන පාර්වතීලා වැනි ගැහැනු උතුරේදීද දකුණේද හමුවේ. එහෙත් අහිමි වූ වසන්තය හමුවේ අහසේ රිදී ඉරක් මතුවන තෙක්… උපන් ගෙදරට ගිය විටද ” ගලක් වුනත් ස්වාමි පුරුෂයා, තණ කෙන්දක් වුණත් ස්වාමි පුරුෂයා” යැයි පවසා හරවා නැවත දුක් දොම්නස් අඩන්තේට්ටම් පිරි නිවසටම එවන සංස්කෘතික හැසිරීම් උතුරට වගේම දකුණටත් පොදු නොවේදැයි මේ පොත කියවාගෙන යද්දී වැටහේ. අනෙකාගේ සපත්තුව ද අපේ සපත්තුව වගේම රිදුම් දෙන කර්කෂ ගොරහැඬි එකක් බව වටහා ගන්නට අප ඒ සපත්තුව පැළඳ බැලිය යුතුයි. සාහිත්‍ය කෘතියකින් අපේක්ෂා කළ හැකි එක් කාර්යය භාරයක් වන්නේ ද හුදු වින්දනීය අරමුණකට එහා ගොස් සමාජය විවෘත කර පෙන්වීම ය.

“කුරිරු යුද්ධයට මැදිවී ගෙන්දගම් දුමාරය අතරේ සැඟවී ගිය ආදරණීය නැගණියට සෙනෙහසින්” කියා ශර්මිලා මේ පොත පටන් ගනිද්දීම ලියා තිබෙන පිදුම මගේ හිත සසල කළේ යුද්ධයෙන් අහිමි වීම් අඩු නැතිව තිබූ දේශයක, අහිමි වීම් බිඳ වැටීම්, විනාශ වීම් මිස සතුටු අන්දර හිතේ මතක් වුණේ හෝ ලියැවුණේ නැති නිසාම ය. ඔවුන්ගේ ඇසින් ඔවුන්ගේ හදෙන් නැගෙන ඒ පසුගිය දශක ගණනාවක මතක අප කියවිය යුතුම ය. ඒ අපේ සහෝදර ජනයා වටහා ගැනීම පිණිසය, ඉතිහාසය පුරා දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් විකෘති කරනා ලද සත්‍ය ය වටහා ගැනීම පිණිස ය. ඒ සඳහා වෙහෙසුණු කතෘ ශර්මිලා විනෝදිනි වෙත ද පරිවර්තනය කළ ජී.ජී. සරත් ආනන්ද වෙත මගේ ගෞරවය ස්තූතිය ලියමි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment